සිරිසේන ජනාධිපතිවරයා විසින් ඔක්තෝබර් 26වැනිදා, නීති විරෝධී ලෙස මහින්ද රාජපක්‍ෂ මන්ත්‍රීවරයා අගමැති හැටියට නම් කිරීමෙන් පසු, පාර්ලිමේන්තුව තුළ බහුතර බලය ඔවුන්ට සහතිකවම නැති වුවද, ජනාධිපති සිරිසේනගේ උදව්වෙන්, බලහත්කාරයෙන් රටේ රාජ්‍ය යාන්ත්‍රණය තුළට ඔවුන්ගේ විසකුරු අඬුපඬු විහිදුවනු හොඳින් දැකගන්නට ලැබිණ. එහෙත්, ඒ හා සමගාමීවම, රාජපක්‍ෂ ආණ්ඩුවේ පරණ දූෂිත හා අත්තනෝමතික බලහත්කාරය නැවත හිස ඔසවනු කාටත් පෙනුණේය. එහි කිසිම පුදුමයක් නැත. මන්ද යත්, 2015 රටේ පාලන බලයෙන් පලවාහරිනු ලබන විට, රාජපක්‍ෂ පාලනයේ තිබුණු දූෂිත, බලහත්කාර, අධිකාරිවාදී මුහුණුවර, පසු ගිය අවුරුදු තුහමාරක කාලය තුළ අබමල් රේණුවකින්වත් වෙනස්වී නැති නිසාය. අදත් වෙනසක් නැතිව ඉන්නේ පරණ හොරුමය. පරණ දූෂිතයෝමය.
ඒ බව තේරුම් ගැනීමට, ඔක්තෝබර් 26න් පසු ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය නිරීක්‍ෂණය කිරීමෙන් හැකිය.
මාධ්‍ය ආයතනවලට කඩාපැනීම
අගමැති හැටියට නීති විරෝධීව මහින්ද රාජපක්‍ෂ පත්කළ වහාම ජාතික රූපවාහිනියට හා ස්වාධීන රුපවාහිනියට කඩාපැන්න රාජපක්‍ෂ වහල්ලු, ඒවා තුළ මහත් කලබැගෑනියක් කළෝය. රූපවාහිනිය තුළ ඔවුන් කළ බලහත්කාරය වෙනත් රූපවාහිනි මාධ්‍ය තුළින් මහජනතාවට දැකගන්නට හැකිවුණු නිසා වැඩි විස්තර කීම අවශ්‍ය නොවේ. ස්වාධීන රූපවාහිනියට කඩාපැන්න එහි පරණ බලධාරී, යකඩ හොරකම් කිරීමේ නඩුවල විත්තිකරුවන් වන දූෂිතයන් ප්‍රධාන පිරිස, එහි සභාපතිනියගේ කාමරයේ අගුල් කඩා බලහත්කාරයෙන් ඇතුළුවී පිස්සු නැටූහ. මේ සිදුවීම් දෙකම, 2015 ජනවාරි 8 වැනිදා ජනාධිපති සිරිසේන පත්වීමෙන් පසු රටේ බලය හුවමාරුවු අතිශය සාමකාමී ආකාරය සමග සැසඳීමෙන්, රාජපක්ෂවරුන්ගේ ත්‍රාඩ දේශපාලනයේ තරම මැනැවින් තහවුරු වේ.
කටවුට් පිබිදීම
ඉන්පසු රට පුරාම, අඩියක් අඩියක් ගානේ කටවුට් නැගෙන්නට විය. රාජපක්‍ෂ කාලයේ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රචාරක ව්‍යාපෘති, ටෙන්ඩර් කැඳවීමකින් තොරව අත යටින් වැඩි මුදලට ලබාගත් රාජපක්‍ෂ ඥාතිවරයකු වුණු කුමා ස්ටිකර්ස් ආයතනය, යළිත් මහත් උජාරුවෙන් කොළඹ ප්‍රචාරක මර්මස්ථානවල කටවුට් ගොඩනගනු දකින්නට හැකිවිය. නීති විරෝධීව වුණත්, ඔවුන්ට ආශීර්වාදයක් වන ගජමිතුරු පාලනය යළිත් පැමිණ තිබේ. අද, බැලූ බැලූ හැම අතම මහින්ද රාජපක්‍ෂගේ කටවුට්ය. 2015 ජනවාරියේදී, දේශපාලනය වෙනස් කළ එක් අරමුණක් නම් මේ පරිසරය දූෂණය කරන කටවුට් දේශපාලනයත් පැරදවීමයි. එදා එය පැරදිණ. එහෙත්, මේ ඔක්තෝබර් 26 වැනිදා සිට ඇසිල්ලකින් යළි පිබිදිණ.
රාජපක්‍ෂවරුන් යටතේ රට යන අත ගැන විනාසකාරී නිමිති තවත් තිබේ.
වීරවංශට යළිත් ඇමතිකම
නිවාස හා ඉදිකිරීම් නව ඇමති වශයෙන් පත්කැරුණේ විමල් වීරවංශය. ඒ අමාත්‍යාංශයේම හිටපු ඇමති හැටියට ඔහුගේ ප්‍රගති වාර්තාව කුමක්ද? ආණ්ඩුවේ මුදල් යොදවා, ගොඩනගන ලද සුඛෝපභෝගී නිවාස සංකීර්ණවල නිවාස, තමන්ගේ සහෝදර සහෝදරියන්ටද, සමීප ඥාතීන්ටද, අඩු මුදලට හෝ අත යටින් හෝ ලබාදීම ගැන වීරවංශ මහතාට බරපතළ චෝදනා තිබේ. ඒ ගැන පරීක්‍ෂණ පවත්වා අවසන් කොට දැන් ගොනුව ඇත්තේ නීතිපතිවරයා භාරයේය. සිය අමාත්‍යාංශයේ වාහන 42ක්, තමන්ගේ සහෝදරයන්, පක්‍ෂයේ සාමාජිකයන්, ගැති මාධ්‍යවේදීන්ට පමණක් නොව, ජාතිවාදය අවුස්සමින් රට ගිනිතැබූ චීවරධාරීන්ගේද එදිනෙදා පරිහරණය සඳහා, මහජන මුදලින් ඉන්ධන ගසා, හිතුමනාපේ බෙදාදීම ගැනද වීරවංශ මන්ත්‍රීවරයාට චෝදනා තිබේ. යළිත් ඒ අමාත්‍යාංශයට ඊනියා ඇමති හැටියට යන්නේ මේ දූෂණ චෝදනා සහිත පුද්ගලයාය. යුක්තිය වෙනුවෙන් අපරාධ විමර්ශනයේදී තමන්ට එරෙහිව තොරතුරු දුන්, මේ අමාත්‍යාංශවල හා අනුබද්ධ ආයතනවල සේවකයන්ට දැන් අත්වනු ඇති ඉරණම කුමක්ද? දූෂිතයා යළි තමන්ගේ ඉහළ බලධාරියා වන විට? විකාරය නම්, මේ පත්වීම් දෙන්නේ, 2015දී දූෂණයෙන් තොර ලංකාවක් සඳහා හතර අතේ පිළිණ දුන් සිරිසේන ජනාධිපතිවරයා වීමය. අද ඔහුට පරණ වචන යළි කටේ ඔබාගන්නට සිදුවී නැද්ද?
සුසිල් ප්‍රේමජයන්ත
අනෙක් පත්කිරීම, අධිකරණ ඇමති සුසිල් ප්‍රේමජයන්තය. ඛනිජ තෙල් සංස්ථාවේ ඛනිජ තෙල් ගෙන්වීම සම්බන්ධයෙන් ඔහුට බරපතළ චෝදනා එල්ලවී, එෆ්සීඅයිඩීය ඒ ගැන පරීක්‍ෂණ කරගෙන යන විට, එම පරීක්‍ෂණ නැවැත්වුයේ ජනාධිපති සිරිසේනය. එදා සිට අද වන තෙක්ම එෆ්සීඅයිඩීය විසුරුවා හරින බවට පුරසාරම් දොඩන, ඒ ගැන වෛරයෙන් පසුවන කෙනෙකි මේ මහතා. (ඒ ඇයිද යන්නද පැහැදිලිය.) අද ඒ චෝදනා ලත් පුද්ගලයා අධිකරණය භාර ඊනියා ඇමතිය. නීති විරෝධී ඇමති පත්කිරීම ලද විගස ඔහු කීවේ කුමක්ද? බරපතළ මූල්‍ය අපරාධ ගැන නඩු විභාග කිරීමට නීතියෙන්ම පිහිටුවා ඇති ත්‍රිපුද්ගල මහාධිකරණය විසුරුවා හරින පියවර වහාම ගන්නා බවටය. මේ අධිකරණය පිහිටෙව්වේ කාගෙන්වත් පළිගන්නට නොවේ. මහජන දේපළ මහා පරිමාණයෙන් මංකොල්ලකෑවුන්ට එරෙහිව ඉක්මනින් නඩු විභාග කරන්නටය. එය කළ යුතුමය. පසුගිය ආණ්ඩුවේ දේශපාලකයන්ට මෙන්ම, අලි හොරකම් කළවුන්ටද, මේ ආණ්ඩුවේ මහ බැංකු වංචාවට හවුල්වූවන්ටද නඩු පැවරීමට නියමිතව තිබුණේ මේ අධිකරණයේදීය. දැන් ඒ සියල්ල ආපස්සට හරවන බව ප්‍රේමජයන්ත කියයි. රට යන බිහිසුණු අත එවැනිය.
හොරු යළි රජවීම
අද සීඅයිඩීයට, එෆ්සීඅයිඩීයට, නීතිපති දෙපාර්තමේන්තුවට සිදුවී ඇත්තේ කුමක්ද? පසුගිය කාලය පුරා, විවිධාකාර දූෂණ හා අපරාධවලට වගකිවයුතු බවට බලවත් සාක්‍ෂි සොයාගැනුණු, ඒ සඳහා නඩු පැවරුණු විත්තිකරුවන් පිරිස අද ආණ්ඩුවේ ඇමතිවරුන් බවට පත්වී සිටීමය. රාජපක්‍ෂවරුන් ඇතුළු පිරිසට වුවමනා වී තිබුණේ, මේ නඩු පටන්ගන්නට, අසා අවසන් වන්නට පෙර කොහොම හරි රාජ්‍ය බලය අල්ලාගෙන ඒවා අත්හිටුවාගන්නටය. දූෂිතයන්ට එරෙහිව නඩු පවරා දඬුවම් දෙන බව කී සිරිසේන ජනාධිපතිගේම මෙහෙයවීමෙන් එය සිදුවිය. දැන් හොරු රජ වී සිටිති. හොරුන්ට එරෙහිව නඩු පැවරූ රජයේ නිලධාරීන්ට ඇත්තේ කුමන මානසිකත්වයක්ද? බියක්ද?
කපිල චන්ද්‍රසේන
ඊළඟ දූෂිත පත්කිරීම කපිල චන්ද්‍රසේනය. ඔහු වහ වහා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති හැටියට පත්කෙරිණ. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ 2011-2014 වසරවල ප්‍රධාන විධායක නිලධාරියාව සිටිමින්, එවකට එහි සභාපති නිශාන්ත වික්‍රමසිංහගේ සියලු අවභාවිතයන්ට උදව් වෙමින්, සමාගම ශුද්ධ අලාභයේ අගාධයට ගෙනගිය එක් ප්‍රධාන දායකයෙකි, කපිල චන්ද්‍රසේන. ඔහුට විරුද්ධව, ජනාධිපතිවරයා පත්කළ කොමිසමක් විසින්ම චෝදනා එකතුකොට තිබේ. ඒවා ඉතා ප්‍රසිද්ධය. පෙර කී රාජපක්‍ෂ ඥාති, කුමා ස්ටිකර්ස් සමාගමට, අත යටින් ප්‍රචාරක කොන්ත්‍රාත් දී, වැඩි මුදලක්ද ඔවුන්ට ගෙවු බවට චෝදනා කපිල චන්ද්‍රසේනට ඉදිරිපත්වී තිබේ. හොරු අල්ලන්නට ආ සිරිසේන ජනාධිපතිවරයා මේ දූෂිත පත්වීමත් උපේක්‍ෂාවෙන් ඉවසා වැදෑරුවේය. එහෙත් චන්ද්‍රසේන එම ධුරයෙන් වහාම ඉවත්කරන ලදි. ඒ, රටේ හැම පැත්තකින්ම චන්ද්‍රසේනගේ මේ දූෂණ චෝදනා ගැන යළි මතක් කෙරුණු නිසාය. විරෝධය පළකැරුණු නිසාය. නැතිව රාජපක්‍ෂලාගේ හොඳකම නිසා නම් නොවේ. රාජපක්‍ෂවරුන්ට, යළි බලය ලැබුණහොත්, රජයේ ආයතනවලට අත්වන භයානක ඉරණම ගැන කපිල චන්ද්‍රසේන හොඳ පෙරනිමිත්තකි. එහෙත්, රාජපක්‍ෂලා කිසියම් විදියකින් බලය තහවුරු කරගත්තොත්, කපිල චන්ද්‍රසේන ටෙලිකොම් හෝ වෙනත් රජයේ ආයතනයක හෝ ප්‍රධාන ධුරයට යළි පත්කෙරෙන බවට දැන්ම කැට තියා අනාවැකි කිව හැකිය.
නිශාන්ත සිල්වා
රාජපක්‍ෂ-සිරිසේන අශුද්ධ සන්ධානයේ අලුත්ම ගොදුර වුණේ, සීඅයිඩීයේ පොලිස් නිලධාරී නිශාන්ත සිල්වාය. එල්ටීටීඊයට විරුද්ධව අපරාධ විශාල ප්‍රමාණයක් ගැන පරීක්‍ෂණ පවත්වා අධිකරණයේ ප්‍රශංසා ලබන තරමේ සාක්‍ෂි ඉදිරිපත් කළ නිශාන්ත සිල්වාට, මේ සතියේ දිනෙක හවස පහ හයට මාරු කිරීමේ ලිපියක් ලැබුණේ, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානියා අත්අඩංගුවට ගැනීමට සුදානම්වීම ගැන ජනාධිපති සිරිසේන විරුද්ධවීමේ ප්‍රතිඵලයක් හැටියට, ඔහුගේ නියමය මතය. ඝාතන, දූෂණ ගැන හොයන්නට මහජන වරමක් ලත් ජනාධිපතිවරයා, ඝාතකයන්, දූෂිතයන් සමග එකට සිටගෙන ඇත්තේ එපරිදිය. ශිෂ්‍යයන් පස්දෙනකු ඇතුළු එකොළොස් දෙනකු කප්පම් සඳහා පැහැරගෙන ගොස් මරාදැමීමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකුට රටින් පිටවන්නට ආධාර හා අනුබල දුන්නේයැයි චෝදනා ලබා ඇත්තේ හිටපු නාවික හමුදාපති, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි රවි විජේගුණරත්නය. සීඅයිඩීය සිය පරීක්‍ෂණ සඳහා කැඳවා අත්අඩංගුවට ගන්න යනවායැයි දැනගත් ජනාධිපතිවරයා, කෝපයට පත්ව ඔහු අත්අඩංගුවට නොගන්නැයි බලපෑම් කළා පමණක් නොව, ඊට විරුද්ධ වීමක් ලෙස රටින් පිටව යන්නට ඔහුට අනුබල හා ආධාරද දුන්නේය.
නිශාන්ත සිල්වා වැනි ඉතාමත් දක්‍ෂ නිලධාරියකු සීඅයිඩීයෙන් පලවාහැරීමට ගත් තීරණය, රාජපක්‍ෂවරුන් සමග එකතුවී ජනාධිපති ගත් තීරණයකි. එහෙත්, වාසනාවකට මෙන්, යුක්තිය සාධාරණය අගයකරන්නවුන් අතර මේ ක්‍රියාව ගැන බලවත් විරෝධයක් පැනනැගිණ. ජාතික පොලිස් කොමිසමද මේ නීති විරෝධී ක්‍රියාව ගැන වාර්තාවක්, පොලිස්පතිවරයාගෙන් වහාම කැඳෙව්වේය. නිශාන්ත සිල්වා වෙනුවෙන් මූලික අයිතිවාසිකම් නඩු කියා යුක්තියක් ඉටුකරගැනීමට ප්‍රකට නීතිඥවරු වහ වහා පෙළගැසුණාහ. මේ තත්ත්වය මත, ජනාධිපතිගේ වුවමනාවට තමා කළ නීති විරෝධී ස්ථාන මාරුව යළි කැඳවීමට පොලිස්පතිවරයාටම සිදුවිය. පසුගිය දිනවල, රනිල් වික්‍රමසිංහගේ අන්තේවාසිකයකු හැටියට ඕනෑ දෙයක් කර දෙන්නට සුදානම්ව සිටි පොලිස්පතිවරයා දැන් රාජපක්‍ෂ මැර රාජ්‍ය යාන්ත්‍රණයේ හොඳම රැකවලෙකු බවට සැණෙකින් රූපාන්තරණය වී සිටින බව එයින් පෙනේ.
නාලක ගොඩහේවා
දැන් වාර්තා වන අලුත්ම පත්කිරීම ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාවේ සභාපති හැටියට නාලක ගොඩහේවා පත්කිරීමයි. ඔහු රාජපක්‍ෂ ආණ්ඩුව කාලයේ විනිමය හා සුරැකුම්පත් කොමිසමේ සභාපතිවරයාව සිටියේය. ඒ කාලයේ සමහර පෞද්ගලික සමාගම් කොටස් වෙළෙඳපොළේ ලබාගත් විස්මිත හා විශාල ලාභ ලබාගැනීම් පසුපස නාලක ගොඩහේවාගේ සම්බන්ධයක් තිබුණු බවට චෝදනා නැගී තිබුණි. රාජපක්‍ෂවරුන්ට අතිවිශාල කොමිස් මුදලක් ලැබුණු බවට චෝදනා තිබෙන කුප්‍රකට ක්‍රිෂ් සමාගමේ ගනුදෙනුවටද ඔහු සම්බන්ධව සිටි බවට චෝදනා නැගී තිබුණු අතර, එෆ්සීඅයිඩීය ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වමින් සිටියේය. මීට පෙර ඩිස්ටිලරීස් ලංකා සමාගමේ සභාපති හැරී ජයවර්ධන රක්‍ෂණ සංස්ථාවේද සභාපති ධුරය දරමින් සිටියදී නාලක ගොඩහේවා එහි සේවය කළ අතර, පසුව නැවත වරක් රාජපක්‍ෂ ආණ්ඩුව විසින් ඔහු එහි කළමනාකාර අධ්‍යක්‍ෂ ලෙස පත්කරනු ලැබීය. 2015 රාජපක්‍ෂ පාලනය බිඳවැටීමෙන් පසු, නාලක ගොඩහේවා සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ විය. විනිමය හා සුරැකුම්පත් කොමිසමේ මුදල්, නාමල් රාජපක්‍ෂගේ ප්‍රචාරක ව්‍යාපෘතිවලට යොදවා රජයේ දේපළ සාවi පරිහරණය කළ බවට ඔහු ඇතුළු තිදෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩුවක් ද මේ වන විට පැවැත්වෙයි. ඔහු මේ වන විට සිටින්නේ ඇප මත මුදාහැර ය. මහින්ද රාජපක්‍ෂ රක්‍ෂණ සංස්ථාව භාරදෙන්නේ එහෙව් චුදිතයකුටය. එනයින් බලන විට නාලක ගොඩහේවාගේ පත්කිරීමද කපිල චන්ද්‍රසේනගේ පත්කිරීමද එකිනෙකට සමාන වෙයි. හෙවත්, ඒවා පරණ ආණ්ඩුවේ දූෂණ චෝදනා ලැබූවන් නැවතත් රජයේ විවිධ ආයතනවල ප්‍රධානීන් හැටියට පත්කිරීමට උදාහරණ වෙයි.
මේ යළිත් එන රාජපක්‍ෂ පාලනයක අසුබ පෙරනිමිති කිහිපයක් පමණෙකි. එහෙත්, ඒ සිදුවීම් කිහිපයෙන් පමණක් වුණත්, රටට අත්වන්නට යන බිහිසුණු ඉරණම ගැන ඉඟි සැපයෙයි. රාජපක්‍ෂවරුන් දශමයකින්වත් වෙනස්වී නැත. පුනරුත්ථාපනය වී නැත. වැරදි ගැන පසුතැවිල්ලක් නැත. අලුත් වැඩපිළිවෙළක් නැත. ඔවුන්ට රට ගියහොත්, 2015 ජනවාරියේදී නැවැත්වූ රට අඳුරට ගිය ගමන යළිත් වේගවත් ආරම්භයක් ගන්නවා ඇත.