No menu items!
20.7 C
Sri Lanka
19 January,2025

එජාපය, අපේක්ෂිත අයුරින් බලය අත්හැර ගියේ නැහැ ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල

Must read

 

 

ඔබේ කණ්ඩායමට කලෙක ද්‍රෝහියෙක් වූ මෛත‍්‍රීපාල සිරිසේන සමග එක්වුණේ කොහොමද?
අහසින් වැටෙන දිය බිංදුවක් මල් පෙත්තක් මත තියෙද්දී අපි ඒ දිය බිඳුව දිවෙන් උරාබොනවා. එහෙත් දිය බිඳුවක් අසූචි ගොඩක් මත තියෙද්දී අපි දිය බිංදුව පයින් පාගන්නේවත් නැහැ. ප‍්‍රශ්නය තියෙන්නෙ දිය බිංදුව නෙවෙයි. දිය බිඳුව තියෙන තැන අනුවයි වටිනාකම ලැබෙන්නෙ. මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා 2014 නොවැම්බර් වනතුරු අපි එක්ක සිටියදී අපට එතුමා ගැන විවේචනයක් තිබුණේ නැහැ. එතුමා දේද්‍රෝහී ප‍්‍රතිගාමී පිලේ නායකයා වන රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාව බලයට ගෙන ඒමට ඔවුන් හා එකතුවී සිටීම නිසා තමයි අපි ඔහුට විරෝධයක් ඉදිරිපත් කළේ. ඔහු රනිල් වික‍්‍රමසිංහ රටට කරන විනාශය පිළිබඳව අපි නඟපු චෝදනා සත්‍යයක් බව තේරුම් අරගෙන අප සමග එක්වී සිටිනවා. දැන් අපි ඔහුව විවේචනය කළයුත්තේ ඇයි. කරුණා අම්මාන් කොටි සමඟ එකතුවී සිටියදී අපි ඔහුව ද්‍රෝහියෙක් හැටියට සැලකුවා. ඒත් ඔහු අප සමග එකතුවී කොටි සංවිධානය පරාජය කරන්නට කටයුතු කරද්දී අපට ඔහුව වීරයෙක් වුණා. කැප්පොටිපොල සුදු ජාතිකයන් සමග එක්ව ජනතාව සූරාකන්නට කටයුතු කරද්දී අපට ඔහුව ද්‍රෝහියෙක්. එහෙත් ඔහු එයින් ඉවත්ව සුදු ජාතිකයන්ට එරෙහිව සටන් කළ නිසා ඔහු වීරයෙක්.

එහෙත් මෛත‍්‍රීපාල සිරිසේන මහත්මයා සමග එකතුවීම ඔවුන් දෙදෙනා අතර පෞද්ගලිකව ඇතිවුණු එකඟතාවයක්. බොහෝ අය සිද්ධවෙනතෙක් ඒ ගැන දන්නෑ. මේ එක්වීමෙන් පසුව කණ්ඩායම් දෙකේ ලොකු මත ගැටුමක් ඇතිවෙන්නට ඇති?
මෛත‍්‍රීපාල සිරිසේන මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස කටයුතු කළ ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙක්. මහින්ද රාජපක්ෂ මහතා ශ‍්‍රීලනිපයේ සභාපති ලෙස කටයුතු කරද්දී මෛත‍්‍රීපාල සිරිසේන ඒ පක්ෂයේ ලේකම්වරයා. එකට වැඩ කළ යුතු වැඩපිළිවෙල මොකක්ද කියලා ඒ දෙන්නාට අත්දැකීම් තියෙනවා. මේ අර්බුදවලින් රට ගොඩගැනීම ගැන අත්දැකීමක් මහින්ද රාජපක්ෂ මැතිතුමාට තියෙනවා. රටේ ඉන්න දක්ෂතම කළමණාකරුවාට රට බාරදීමයි මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කරලා තියෙන්නෙ. එතුමාගේ ප‍්‍රතිපත්තිය මොකක්ද කියලා අමුතුවෙන් විමසලා ගිවිසුම් ගහන්න දෙයක් නැහැ. වසර ගණනක් තිස්සේ දෙදෙනාගේම ප‍්‍රතිපත්තිය ගැන අවබෝධයක් තියෙනවා.

දෙදෙනා අතර ඇතිවිය හැකි වෙනත් කෝන්දේසි ගැන විමසුවොත්…
රට ගොඩගැනීමේ කොන්දේසිය හැරුණුකොට වෙනත් කිසිම කොන්දේසියක් නැත.

ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂව ඉදිරිපත් කළයුතු බවට ඔබේ ස්ථාවරයක් තිබුණා. මේ වෙනස සමග මෛත‍්‍රීපාල සිරිසේනට ජනාධිපතිවරණ අපේක්ෂකයා විය යුතු බවට එකඟතාවයක් ඇතිව තිබෙනවාද?
ජනාධිපතිවරණය ගැන එදා දරපු ස්ථාවරයෙ තමයි අපේ කණ්ඩායම අදත් දරන්නෙ. ජනාධිපතිවරණයට මාස 13ක් තියෙනවා. දැන්ම අපේක්ෂකයාව තෝරාගැනීමට කිසිම වුවමනාවක් නැහැ. මීට කලින් ජනාධිපති අපේක්ෂකයන්ව තෝරාගත්තෙ ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කළාට පස්සෙ. මෙවරත් ජනාධිපතිවරණය ප‍්‍රකාශ කළාම ඒ වෙද්දී ඉන්න හොඳම අපේක්ෂකයාව ඉදිරිපත් කරනවා.

ඔබ ගෝඨාභය රාජපක්ෂ පිළිබඳ ස්ථාවරයේම ඉන්නවාද?
ජනාධිපතිවරණය ගැන පක්ෂයේ සංවාදයක් ඇතිවුණ අවස්ථාවේ නම් ගණනාවක් ඉදිරිපත් වුණා. සමහරු කිව්වා මහින්දව කොහොමහරි මහින්දව ඉදිරිපත් කරන්න ඕනෑ වගේ ප‍්‍රායෝගික නොවන යෝජනා. ඒ හැරුණුකොට බැසිල් හා චමල් යන රාපක්ෂ සහෝදරවරුන්, දිනේෂ් ගුණවර්ධන ඇතුළු නම් යෝජනා කළා. ඒ නම් අතරට දැන් මෛත‍්‍රීපාල සිරිසේන නාමයත් එකතුවෙනවා. අපේක්ෂකයන් ගණනාවකගේ නම් ඉදිරිපත් වෙලා තියෙනවා. ජනතා ප‍්‍රසාදය වැඩිපුරම තියෙන, ජනාධිපතිවරණය ජයගතහැකි පුද්ගලයාව අපි අනිවාර්යයෙන් ඉදිරිපත් කරනවා. ඒ සාකච්ඡුාව ඉදිරියට එන එකක්.

දුමින්ද දිසානායක, රංජිත් සොයිසා, ප‍්‍රසන්න රණතුංග, විමල් වීරවංශ, විජිත් විජයමුණි සොයිසා වගේ දෙපැත්තේම නායකයෝ අනෙක් කණ්ඩායමේ නායකයාව විවේචනය කර තිබෙනවා. මහින්ද සහ මෛත‍්‍රී ගත් තීරණය ඔවුන්ට අතුල් පහරක් එල්ලකිරීමක් නෙවෙයිද?
සිත් වේදනා තිබුනු බව ඇත්තයි. ඒත් අවුරුදු 40ක් එජාපයට එරෙහිව දේශපාලනය කරපු මෛත‍්‍රීපාල සිරිසේනව තමන්ගේ අපේක්ෂකයාව කරගැනීමට තරම් ඒ වෙලාවෙ තිබුණු දේශපාලන අවශ්‍යතාවය එජාපයට ප‍්‍රබල වුණා. එතකොට තරහ යටවෙනවා. රනිල් වික‍්‍රමසිංහට දොන් ජුවන් ධර්මපාලයැයි කියූ චම්පික රණවක එජාපය සමඟ එක්වෙද්දී පරණ තරහා යටවෙනවා. රාජිත සේනාරත්න අද එ.ජා.ප.යේ මාධ්‍ය ප‍්‍රකාශකයෙක් ලෙස කටයුතු කළත් ඔහුගෙ දේශපාලන ජීවිතය ඇතුලෙ වැඩිපුරම බැණවැදිලා තියෙන්නෙ එජාපයට. මේ වෙලාවෙ තියෙන රට වැටිලා තියෙන අර්බුදයෙන් ගොඩගැනීමට අප මත පැටිවලා තියෙන වගකීම හේතුවෙන් මේ තරහ මරහ අමතක කරගැනීම අසීරු නැහැ.

ඔබේ අදහස, මෙවැනි පුද්ගලානුබද්ධ විවේචනයන් වලින් පසුව විවේචනය කළ පුද්ගලයන් සමඟ එකට කටයුතු කිරීම ලංකාවේ සාමාන්‍ය දෙයක් නිසා ගැටලූ‍වක් නැති බවද?
අපේ ඉතිහාසයේ හැටියට ඔබ කියන දේ දරුණු ගැටලූ‍වක් වෙන්නෙ නැහැ.

ආණ්ඩු බලය සඳහා අයිතිවාසිකම් කියන දෙපාර්ශ්වයක් සිටින පසුබිමක, ඉදිරියේදී වෙන්නේ කුමක්ද?
මහින්ද රාජපක්ෂගේ සුභවාදී ගමන දැන්ම ආරම්භ වෙලා. කොටස් වෙළෙඳපොළ ඉහළ නැග්ගා. ආයෝජකයන් මේ වෙනස ආස්වාදයෙන් වැළඳගත් බව අපට පෙනෙනවා. තව කල්යද්දී රුපියලේ අගයත් වැඩිවෙලා රට සුබවාදී ගමනකට යන්න ඉඩ තියෙන බව විශ්වාසයි.

දේශපාලන උපක‍්‍රමික වශයෙන් ඉදිරියේදී සිදුවිය හැකි දේ කුමක්ද?
අපේක්ෂිත අයුරින් එ.ජා.ප.ය බලය අත්හැර ගියේ නැහැ. ඒ නිසා දැන් බල අරගලයක් ඇතිවෙලා තියෙනවා. ඒත් වාසනාවන්ත ලෙස 2016 ඔක්තෝබර් 26 වැනිදා සමස්ථ රටම පාලනය කරමින් සිටි එජාපය අරලියගහ මන්දිරයට පසුබැහැලා. දැන් අරලියගහ මන්දිරයේවත් රනිල් වික‍්‍රමසිංහගේ අණ පවතින්නේ නැහැ. ඒ නිසා තමයි අපේ නියෝගය පිළිගෙන අරලියගහ මන්දිරයේ ආරක්ෂක අංශ නිලධාරීන් ඉවත්වුණේ. ඒ යථාර්තය තේරුම් නොගෙන එජාපය ව්‍යාකූලත්වයක් මතු කරමින් සිටින නිසා අනෙකුත් දේශපාලන කාරණා ගැන සාකච්ඡුා කරන්න තවම අවස්ථාවක් ලැබුණෙ නැහැ.

ඒ කියන්නේ එ.ජා.ප.ය මහින්ද රාජපක්ෂව අගමැති ලෙස පිළිගෙන බලයෙන් ඉවත්වේවි කියලා ඔබේ කණ්ඩායම විශ්වාස කළාද? දැන් ඇතිව තිබෙන්නේ අනපේක්ෂිත තත්වයක්ද?
අපි ඇත්තෙන්ම හිතුවෙ නැහැ එජාපය රටේ නීතියට, ව්‍යවස්ථාවට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අභියෝග කරමින් මේ ආකාරයට හැසිරේවි කියලා. එ.ජා.ප.ය මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ගත්ත තීන්දුවට විරෝධය පළකරමින් 30 වැනිදා කොළඹදී විරෝධයක් පැවැත්වුවා. ඒත් පාක්ෂිකයන් 2500ක් පමණ තමයි ආවේ. ඒකෙන් පේනවා එ.ජා.ප. සාමාජිකයන්ටත් රනිල් වික‍්‍රමසිංහව අගමැති ධූරයෙන් ඉවත් කිරීමේ වුවමනාව තිබුණු බව.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි