No menu items!
20.1 C
Sri Lanka
19 January,2025

කුමන්ත්‍රණයට එරෙහිව…

Must read

ඔක්තෝම්බර් 26 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ගෙන තිබුණු තීරණය බරපතල ප්‍රජාතන්ත්‍ර විරෝධී තීරණයක් බව ප්‍රජාතන්ත්‍රවාදය අගයන ජනතාවගේ පොදු අදහසයි. මෛත්‍රීපාල සිරිසේන ගත් තීරණය ව්‍යවස්ථාවට, සදාචාරයට සහ ඔහුගේම පොරොන්දුවලට පටහැනි බව 2015 දී මෛත්‍රීපාල සිරිසේනගේ ජනාධිපතිවරණ සටනට සහයෝගය දුන් අය පෙන්වාදුන්නේය. මේ ඒ අදහස් අතරින් කිහිපයක් පමණි.

 

ඒකාධිපතියෙක් වෙන්න එපා

ආචාර්ය චන්දගුප්ත තේනුවර

අපි කලාකාරයෝ හැටියට පහුගිය කාලයේදි යහපාලන රජයක් ගේන්න විශාල සහයෝගයක් දැක්වූවා. නමුත් පසුගිය  කාලය පුරා වරින් වර යහපාලන රජය විසින් කලාකරුවන්ගේ භාෂණ නිදහස වාරණය කළ අවස්ථා තිබුණා. එහෙත් අඩු තරමේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා. දැන් දේශපාලන  කුමන්ත්‍රණයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ සිද්ධවෙලා තියෙන්නේ ම අප විසින් අනුග්‍රය දැක්වු ජනාධිපතිවරයා  වීම තමයි කණගාටුවට  කරුණ. ඒ නිසා අපට මෙය බලාසිටීමට බැහැ. ඒ මාර්ගයේ යන්න නෙවෙයි හැටදෙලක්ෂයක් ජනතාවත් කලාකරුවොත් ප්‍රගතිශීලී  ජනකොටස් නිර්පාක්ෂිකයන් මේ සියල්ලම සම්බන්ධ වුණේ. අපි කලා කරුවන් විදියට ඉල්ලන්නේ ජනාධිපතිවරයාගෙන් වහාම ජනතා විරෝධි නොවී ඒකාධිපතියෙකු නොවී වහාම පාර්ලිමේන්තුව කැඳවන්න කියලා. පහුගිය  කාලයේ මේ රටේ ජනතාව දිනාගත් යම් දෙයක් තියෙනවා නම් ඒ ප්‍රජාතන්ත්‍රවාදය පමණයි. ඒක දුර්වල කරන්න එපා.

 

මේක සංස්කෘතීන් අතර ප්‍රශ්නයක්

සිනමාවේදී චින්තන ධර්මදාස

රනිල් ද මෛත්‍රිද කියන පුද්ගල ප්‍රශ්ණයක් නෙවෙයි දැන් මතුවෙලා තියෙන්නේ . මේක සංස්කෘතීන්  දෙකක් පිළිබඳ  ප්‍රශ්ණයක්. මොකද 2015 ජනවාරි 08 වෙනිදා ජනතාව පරාජය කලේ මහින්ද රාජපක්ෂ  කියන පුද්ගලයෙක්ව නෙවෙයි. ඒ පුද්ගලයා එක්ක බැදිච්ච සංස්කෘතිය. ඒ තමයි හරිම අශිෂ්ඨ, අධම, පාදඩ විදියට තමයි 2015 ජනවාරි  08 වෙනිදා වෙන කම් ලංකාව තිබුනේ. ඒ සංස්කෘතිය  පරාජය කරලා තමයි මෛත්‍රීපාල  කියන චරිතය වටේ ජනතාව රොද බැදුනේ. ජනතාව ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු  වුනේ ප්‍රජාතන්ත්‍රවාදය  ස්ථාපිත කරන සමාජයක් සහ නිදහස් මිනිස් අයිතිය සුරකින සමාජයක්. යහපාලනයේ අඩුපාඩු තිබුණා තමයි. ඒත් අපි 2015 කලින් හිටිය තත්වයට ආපහු ගියේ නැහැ.

ඒ වෙනුවට ටිකෙන් ටික බාධක මැද්දේ අපි බොහෝ සටන් කලා. කලා නිර්මාණ වාරණය කළ අවස්ථාවේ ඒකට විරුද්ධවුණා. ජාතිවාදයට විරුද්ධව අපි අරගල කලා. ඒවා කරන්න අපිට නිදහස තිබුණා. කවුරුහරි අපිට ගහයි අපිව මරයි කියන බය අපිට දැනුනේ නැහැ. නමුත් දැන් මිනිස්සුන්ට ඒ බය දැනෙනවා. මේ තත්වය යටතේ කතා කලොත් මොකක් වෙයිද කියලා බය අද මිනිස්සුන්ට ආයෙමත් මතුවෙලා. මෛත්‍රීපාල සිරිසේන නැවතත් අශිෂ්ඨත්වය රටට කැඳවුවා. රූපවාහිනියට කරපු පහරදීමෙන් අපි දැක්කෙ ඒක. එහෙම මොහොතක නැවත එයට එරෙහි විය යුතුයි.

 

 

විධායක පිල්ලියෙන් ආයාචනය කරන්න වෙලා

ප්‍රවීණ කලාකරු – ලුෂන් බුලත්සිංහල

මගේ ජිවිතයේ හොඳම කාලය ගෙවිලා ගියේ විධායක ජනාධිපති කියන  කියන නරක චරිතයත් එක්ක. මේ නරක චරිතය හීලෑ කරන්න කරන ආයාචනා තමයි කරන්න වෙන්නෙ. ඒක හීලෑ කරන්න ක්‍රමයක් නෑ. පාර්ලිමේන්තුව කැදවන්න. ප්‍රජාතන්ත්‍රවාදි විදියට වැඩ කරන්න . ප්‍රජාතන්ත්‍ර විරෝධිව වැඩ කරන්න එපා කියලා අපි ආයාචනා කරන්නේ අර නරක චරිතයට. මේක නැති කිරීම වෙනුවෙන් හැම බලවේගයක් එක්කම අපි හැප්පුනා. 2015 දිත් අපි ගියේ ඒ ගමන. අපිට මේ චරිත හදන්න බැහැ. මේක හරියට පිල්ලියක් වගේ. මේ පිල්ලිය ජිවත් කරන්නේ ජාතිවාදයෙන්, ආගම්වාදයෙන්, කුලවාදයෙන්, දුෂණයෙන් හා භිෂණයෙන්. ඒ නිසා මම කලාකරුවෙක් හැටියට නීරික්ෂණ කරන්නේ මේ චරිතය අපේ සමාජයෙන් තුරන් නොකර  මේකට මොනතරම් ආයාචනා කරත් මොනතරම් ඉල්ලීම් කලත් මෙයා හොදට හැසිරෙන්නේ නැහැ. අදත් අපිට වෙලා තියෙන්නේ එයාට ආයාචනා කරන්න. කරුණාකරලා පාර්ලිමේන්තුව කැදවලා ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රියාමාර්ග අනුව කටයුතු කරන්න කියලා‍.

දක්ෂිණාංශිකයන්ගේ රණ්ඩුවක් කියලා වාමාංශිකයින්ට බජව් දාන්න බැහැ

මාධ්‍යවේදී විමල් කැටිපේආරච්චි

2015 බල හුවමාරුවෙන් පස්සේ  ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක්  තිබුනේ නැහැ කියලා  කියනවා නම් ඒක කුහක ප්‍රකාශයක්. යහපාලන තුල ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනසක් සිද්ධ වුණා. ඒක තමයි ඇත්ත කතාව.මම වැඩ කලේ රාජ්‍ය  මාධ්‍යක. රාජ්‍ය  මාධ්‍ය වලට අදහස් ප්‍රකාශ කරන්න විකල්ප මතධාරීන්ට ඉඩ ලැබුණා. සංක්‍රාන්තිය ලිංගිකත්වය  වගේ  තහනම් කරලා තිබ්බ මාතෘකා ගැනත් කතා කරන්න අපිට පුළුවන්  වුණා. ඒක කේතුමතී තත්වයත් නෙවෙයි.  එහෙම ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් තිබුණු රාජ්‍ය මාධයවල දැන් හොරු තක්කඩි පැල් බැදගෙන ඉන්නවා. දැන් ඉන්නෙ සුදර්මන් රදලියගොඩ වගේ මිනිස්සු. සමාජයේ බොටුව හිරවෙන කොට වාමාංශිකයින්ද දක්ෂිණාංශිකයින් ද කියලා භේද වෙලා වාද කරගෙන වැඩක් නැහැ. තෝර තෝරා බොටුව හිර කරන්නෙ නැහැ. මුළු මහත් සමාජයටම මේක සංයුක්තයි. මේක දක්ෂිණාංශිකයින්ගේ රණ්ඩුවක් කියලා වාමාංශිකයින්ට බජව් දාන්න බැහැ. මෙතනදි අපි හැමෝම පොදු අර්බුදයක ඉන්නෙ. සංස්කෘතික, න්‍යායික කාරණා පැත්තකින් තියලා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී ඉන්න කියලා මම හැමෝගෙන්ම ඉල්ලනවා.

 

ආණ්ඩු හැදිල්ල පුංචි කාලෙ සෙල්ලම් ගෙවල් හැදුවා වගේ වෙලා

චිත්‍ර ශිල්පී සුජිත් රත්නායක

මෙතන මහා පටලවිල්ලක් වෙලා තියෙන්නෙ. ලංකාවේ ඉහලින් ඉන්න අය පිස්සු කෙලිනවා. මේකේ පව් ගෙවන්නෙ පොඩි එවුන්. යහපාලන රාජ්‍ය සමයේ කිසියම් දියුණුවක් අපේ රටේ තිබ්බා. තොරතුරු  දැනගැනීමේ  පනත , පොලිස් කොමිසම  වගේ විවිධ දේවල් තිබුණා. ඒ අස්සෙ අනපේක්ෂිත  මොහොතක අපිට ආරංචි වෙනවා මහින්ද රාජපක්ෂ  අගමැති  හැටියට දිවුරුම් දෙනවා කියලා. සාමාන්‍යයෙන් රටක ආයතනයක වැඩ කරන පිලිවෙලක් තියෙනවා. අපි කියන්නේ අන්න ඒ පිලිවෙලට වැඩ කරන්න කියලා. දැන් ආණ්ඩු හැදිල්ල අපි පුංචි කාලෙ සෙල්ලම් ගෙවල් හැදුවා වගේ වෙලා. ඩීල්, ගේම් නැතිව ක්‍රමයට වැඩ කරන්නැයි අපි ඉල්ලනවා.

 

අදහස් දැක්වීම් යම් විදියකින් වාරණය කරලා

සිනමාවේදී විමුක්ති ජයසුන්දර

මගේ ජිවිතයේ යම්කිසි අවස්ථාවක දේශපාලන  කාරණයකට  දේශපාලනය කළේ පොදු අපේක්ෂකයෙකු  ගෙන එන මොහොතේ පමණයි. අද ඒ පොදු අපේක්ෂකයා  අපේ බලාපොරොත්තු  සුනු විසුණු කළා. දැන් නැවතත් දේශපාලන කාරණයක් ගැන කතාකරන්න වෙලා. කලාකරුවන්  විදියට අපි මේ මොහොතේ කතා කරන්නෙ පුද්ගලයෙක් හෝ පක්ෂයක් වෙනුවෙන් නෙවෙයි. අපි මේ මොහොතේ  භුක්ති විදින යම් නිදහසක් තියෙනවා  නම් අන්න ඒ දේ ආරක්ෂා කර ගැනීම සදහායි. මේ රට ආසියාවේ තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී රටක්. මට හිතාගන්නත් බැහැ මෙවැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සහමුලින්ම උල්ලංඝනය කිරීම ගැන. අද සියළු අදහස් දැක්වීම් යම් විදියකින් වාරණය කරලා. මාධ්‍ය පවා පක්ෂග්‍රාහී වෙලා තියෙන බව පේනවා.

 

ගැහුවත් මැරුවත් අපව පරද්දන්න බෑ

ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ අපරිණත බවත් මුග්ධ බවත්, මහින්ද රාජපක්ෂගේ ම්ලේච්ඡකමත් බලලෝභීත්වයත් නිසා රට අරාජිකවෙලා. ශ්‍රි ලාංකියන්ගේ ජන ජීවිතය අවුලෙන් අවුලට පත්වෙලා. මිනිස්සු ඇණ කොටා ගන්නවා. මරාගන්නවා. මේ තත්වය ඉතාම භයානකයි. ඉදිරියේදි තවදුරටත් මේ මුග්ධ  සහ බලලෝභී ක්‍රියාකලාපය යනවානම් තත්වය  තවත් දරුණු වෙනවා. මේ  මොහොතේ අපි ඉල්ලා සිටින්නේ මිනිස්සුන්ගේ අණට කන්දෙන්න කියලා. මේ රට ලේ විලක් බවට පත් නොකර පාර්ලිමේන්තුව  නැවත  කැඳවා අගමැතිවරයෙක් පාර්ලිමේන්තුවෙන් බහුතරය මතය විමසා පත් කර ගන්නා ලෙස අපි ඉල්ලනවා. සියළු මැර බලය තිබෙද්දි මුදල් තිබෙද්දී ඔය මහින්ද රාජපක්ෂව බිමට ඇඳලා දැම්මේ මිනිස්සු. මේ රටේ ජනතාවගේ සහයෝගයෙන්. ඒ නිසා පාර්ලිමේන්තුව   කැඳවන්නේ නැතිව මේ ම්ලේච්ඡ ක්‍රමය තවදුරටත් අනුගමනය කරන්නේ නම් අත් නොහරින අරගලයක් කරන්න අපිට සිදු වෙනවා. අතීතයේදී අපි ඒ අරගලය සිද්ද කලා. අපි ගුටි කෑවා තමයි. නමුත් අපිව පරාජය කරන්න කාටවත් බැරිවුණා. මෙවරත් අපිට ගහන්නට පුළුවන්. මරන්නට පුළුවන්. නමුත් කිසි දවසක අපිව පරාජය කරන්න බැහැ. මොකද අපි නියෝජනය කරන්නෙ එක පාර්ශ්වයක් නෙවෙයි. මහජනතාව.

රජ කෙනෙකුගෙන් බලු ගැත්තන් පාලනය වෙන ක්‍රමයක් ඇතිවේවි

සිනමාවේදිනී ලංකා බණ්ඩාරනායක

මම මේ රටේ පුරවැසියෙක් . පුරවැසියෙක් විදියට  මට තියෙන පරමාදිපත්ති බලය නරකාදි තැනකට ගිහින් තියෙනවා. අපි හැමෝම දන්නවා රට අරාජිකවෙලා  තියෙන මොහොතක මිනිස් බිලි දෙන්න වෙනවා. පහුගිය දවස්වල එහෙම දේවල් සිද්ද වුනා. අපි දන්නෙ නැහැ ඉදිරියට අපිට මිනිස් බිලි කියක් දෙන්න වෙයිද කියලා. මම හිතන්නේ යහපාලනය කියාගෙන ආපු රටේ ජනාධිපතිවරයා විදියට මෛත්‍රීපාල සිරිසේනට වගකීමක් තියෙනවා මේ වෙලාවේ කල් අරගන්නේ  නැතිව වහාම පාර්ලිමේන්තුව කැඳවලා මේ අරාජිකත්වයෙන් රට ගොඩගන්න. පහුගිය කාලේ අපේ දේශපාලනය තිබුණේ රජකෙනෙකුගෙන් බලු ගැත්තන් පාලනය වෙන ආකාරයට. නැවත ඒ තත්වය  ඇතිවේවි . මේ සියළු දේට වගකියන්න ඕන මෛත්‍රීපාල  සිරිසේන ජනාධිපතිවරයා.

 

දේශපාලුවෝ හිතන්නෙ මිනිස්සු ගොන්නු කියලා

නාට්‍යවේදී අසංක සායක්කාර

මේ මොහොතේ දේශපාලුවෝ හිතන්නේ මිනිස්සු හරක් මෝඩයෝ ගොන්නු කියලා. අපේ ජනාධිපතිවරයා හුරුවෙලා තියෙන්නේ සප්‍රයිස් දේශපාලනයකට. හැම තිස්සේම සප්‍රයිස්  දෙමින් මිනිස්සුන්ට විනෝදයක් දෙන්න තමයි ඔහු හුරු වෙලා තියෙන්නෙ. ඔහුගේ ස්ප්‍රයිස්  ඇතුලේ තියෙන කුමන්ත්‍රණය මිනිස්සු දන්නවා. අපි මෝඩයෝ නෙවෙයි. 16 වෙනකම් පාර්ලිමේන්තුව  කල්දාන්නෙ සල්ලි වලට මන්ත්‍රිවරුන් බාගන්න කියලා අපි දන්නවා. ඒ නිසා ගොං පාට් දාන්න අවශ්‍ය  නැහැ. ඔබට ආවශය  වෙනත් අගමැතිවරයෙක් පත්කරගන්න නම් දැනට තියෙන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය අනුගමනය කරන්න.

 

තවත් මරණ කොච්චර ඕනෑද කියලාවත් හරියට කියන්න

වෘත්තිය සමිති නායක – සමන් රත්නප්‍රිය

මෛත්‍රීපාල සිරිසේන මහත්මයා අපි වගේ සංවිධාන 49ක් එක්ක ගිවිසුමක් අත්සන් කළා. ඉන්පස්සෙ 110ක් එක්ක ගිවිසුම් අත්සන් කළා. ඒවායේ මෙහෙම කුමන්ත්‍රණ ගැන තිබුණෙ නැහැ. නීතියේ ආධිපත්‍යය, සමාජ සාධාරණත්වය වගේ කාරනා තිබුණෙ. ඒවා ඉටුකරන්න ප්‍රතිඥා පවා දුන්නා. දැන් එ්වා මතක නැහැ. දැන් කියනවා ආර්ථිකය කඩන් වැටුණා, තිබුණු අපේක්ෂා කරන්න බැරිවුණා, අගමැති සහ ජනාධිපති ගැලපෙන්නෙ නැහැ කියලා. නොගැලපෙන නිසා වෙන්වෙන්න මේක කසාදයක් නෙවෙයි. එකට යන්න බැරිනම් ඔහුට නීත්‍යානුකූල තීන්දුවක් ගන්න තිබුණා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියන යහපාලනය මේකද? පාර්ලිමේන්තුව කැඳවන්න තවත් මරණ කොච්චර ඕනෑද කියලාවත් හරියට කියන්න. පාර්ලිමේන්තුව කැඳවන්න මෙච්චර ජීවිත ප්‍රමාණයක් ඕනෑ බව කියන්න.

දැන් අගමැතිවරයාගේ ආරක්ෂාව 10ට අඩු කරලා. මේක සදාචාර සම්පන්නද. සාධාරණද. අපි දන්නවා මහින්ද රාජපක්ෂ මහත්තයා පරාජය වෙලා ගිය දවසේ ඉඳන් 201 දෙනෙකුගේ ආරක්ෂාවක් ඔහුට දීලා තිබුණා. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ දේශපාලඥයෙකුත් නෙවෙයි. ඔහුට 70ක් හිටියා. ඔහුට කිසි තනතුරක් නැහැ. රනිල් වික්‍රමසිංහ කියන්නේ මේ දේශපාලන සිදුවීම ඇතුලේ තවමත් අගමැති. අපි මොහොතකට ඔහුව අගමැතිවරයා නොවන බවට කියන තර්කය පිළිගනිමු. එහෙම වුණත් රනිල් වික්‍රමසිංහ කියන්නෙ රටේ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක නායකයෙක්. ඔහුට ආරක්ෂකයන් 10ක් ලබාදීම තමයි රටේ ජනාධිපතිවරයාගේ සදාචාරය. කථානායකවරයා පාර්ලිමේන්තුව වහා කැඳවන්නැයි ලිඛිතව ඉල්ලලා තියෙනවා. ඒකවත් පිළිගෙන නැහැ. මෛත්‍රීපාල සිරිසේන සිහියෙන්ද මේවා කරන්නෙ කියලයි අපට අහන්න තියෙන්නෙ.

 

යහපාලනයක ඉන්නවාද අවපාලනයක ඉන්නවාද කියන ප්‍රශ්නය තියෙන්නෙ

ආචාර්ය දඹර අමිල හිමි

ඕනෑම ආගමක දාර්ශනිකයො සරලවම කියනවා කෙලෙහිගුණ දක්වන්න කියලා. දුෂ්ඨ වෙන්න එපා කියලා. තමන්ට උදව්වක් කළාම යහපත් විදියට ප්‍රතිචාර දක්වන්න කියලා. ඔහු කෙළෙහිගුණය කඩ කළා. අර්ජුන රණතුංග කියන්නෙ කීර්තිමත් මනුස්සයෙක්. ලෝක කුසලානය රටට ගෙනා කෙනෙක්. ඒ සියල්ල පැත්තකින් තැබුවොත් ඔහු යහපාලන ආණ්ඩුව හරහා මෛත්‍රීපාල සිරිසේනව බලයට ගේන්න රටපුරා ගිය කෙනෙක්. ඔහුව කාමරයකට කොටු කරලා මරන්න හැදුවා. අර්ජුණ රණතුංග මරණීය තර්ජනයකට මුහුණදුන්නාට පස්සේ කෝල් එකකින් කතාකරලාවත් මොකද වුණේ කියලා බැලුවේ නැහැ. ඒක තමයි මෛත්‍රීපාල සිරිසේනගේ අකෘතඥකමේ ප්‍රමාණය.

මෛත්‍රීපාල සිරිසේනගෙන් අපි අහනවා ජනවාරි අට ඔහු එක්ක හිටපු කිසිම කෙනෙක් අද ඔහු එක්ක ඉන්නවාද කියලා. ඔහුගේ සදාචාර විරෝධී බවට සමාන කළ හැකි ලෝකයේ කිසිම උදාහරණයක් නැහැ. මෑත කාලයේ ඉඳන් අපට තේරුණා ඔහු ජනවාරි අටවැනිදා ප්‍රතිපත්ති එක්ක නැති බව. ඒ බව ඔහු 26 වැනිදා ඔප්පු කරලා පෙන්වුවා. රාජ්‍ය නායකයා අද රාජ්‍යය විරෝධීයෙක් වෙලා. මේක පක්ෂයක නායකයෙක්, අගමැතිවරයෙක් හෝ කණ්ඩායමක් පිළිබඳ ප්‍රශ්ණයක් නෙවෙයි. මේක සිංහල, දෙමළ, මුස්ලිම් මිනිස්සුන්ගෙ ප්‍රශ්ණයක්. යහපාලනයක ඉන්නවාද අවපාලනයක ඉන්නවාද කියන ප්‍රශ්ණය තියෙන්නෙ. මේක මාතෘ භූමියෙ ප්‍රශ්ණයක්.  සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සු අතර දැන් භීතියක් ඇතිවෙලා තියෙනවා. ඇත්ත සතුරා තේරුම් නොගෙන, ඩමි සතුරෙක් හදාගෙන කලබල වෙලා හදිසි තින්දුවක් අරගෙන.

 

 

 

 

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි