No menu items!
20.7 C
Sri Lanka
19 January,2025

කිසිදා උත්තරයක් නොලැබෙන ප‍්‍රශ්නයක් ජෝර්දාන්ද? ලේබ්‍රෝන්ද

Must read

 

 

බාස්කට්බෝල් කියන්නේ ලෝකයෙ හත්වැනියට ජනප‍්‍රියම ක‍්‍රීඩාව වුණත් අමෙරිකාවේ දෙවැනියට ජනප‍්‍රියම ක‍්‍රීඩාව. ඒ නිසාම බාස්කට්බෝල් ක‍්‍රීඩාවට ලෝකයේ දැවැන්ත වටිනාකමක් ලැබෙනවා. බාස්කට්බෝල් ක‍්‍රීඩකයන්ටත් දැවැන්ත වටිනාකමක් හිමිවෙනවා. උණුසුම්ම බාස්කට්බෝල් තරගාවලිය වෙන්නේ ඇමෙරිකාවේ පැවැත්වෙන එන්.බී.ඒ. ලීග් තරගාවලිය. පසුගිය වසර ගණනාවක් තිස්සේ එහි වටිනාම ක‍්‍රීඩකයා වන්නේ ලෙබ්‍රෝන් ජේම්ස්.

එන්.බී.ඒ. තරගාවලියේ 2018-19 තරගවාරය ඔක්තෝබර් 16 වැනිදා ආරම්භ වුණා. ලොවපුරා බාස්කට්බෝල් රසිකයන් ලෙබ්‍රෝන් ජේම්ස් තරග කරන ලේකර්ස් කණ්ඩායම දෙසට ඇස් යොමාගෙන සිටියා. ක්ලීව්ලන්ඞ්, මියාමි හීට් යන කණ්ඩායම් දෙක වෙනුවෙන් මීට පෙර තරග කර ඇති ලෙබ්‍රෝන් ජේම්ස්, ලොස් ඇන්ජලීස් ලේකර්ස් කණ්ඩායමට එක්වීමෙන් පසුව තරග කරන පළමු තරගාවලිය මෙයයි.
ලේකර්ස් කණ්ඩායම තම පළමු තරග තුන වූ, ඔක්තෝබර් 18 වැනිදා පෝට්ලන්ඞ් කණ්ඩායම සමග තරගයත්, ඔක්තෝම්බර් 20 වැනිදා හූස්ටන් රොකට්ස් කණ්ඩායම සමග තරගයත්, ඔක්තෝබර් 22 දා සැන් ඇන්තෝනීයෝ ස්පර්ස් සමග තරගයත් පරාජය වුණා.

පිළිතුරු නැති ප‍්‍රශ්න
ක‍්‍රීඩාවේදී හමුවෙන සමහර ප‍්‍රශ්නවලට පිළිතුරු කිසිදා ලැබෙන්නේ නැහැ. එවැනි ප‍්‍රශ්න ගැන ක‍්‍රීඩාවට ආදරය කරන අය විසින් වාද විවාද කරගැනීම පමණක් නිතිපතා සිදුවෙනවා. මොහොමඞ් අලී සහ මයික් ටයිසන් එකම වයසකදී බොක්සින් තරගයක් තරග කළොත් දිනන්නේ කවුද, ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන් සහ සචින් තෙන්දුල්කාර් එකම යුගයක එකම තත්වයන්ට මුහුණදුන්නොත් වැඩිම ලකුණු ගන්නේ කවුද. රොනාල්ඩෝ, මැරඩෝනා සහ පේලේ එකට තැබුවොත් දක්ෂයා කවුද. පේලේගේ 1970 පාපන්දු කණ්ඩායම සහ කාෆුගේ (රොනාල්ඩෝද ඇතුළත් වූ) 2002 පාපන්දු කණ්ඩායම මුහුණට මුහුණ ක‍්‍රීඩා කළොත් දිනන්නේ කවුද.

විස්සයි විස්ස බිහිවීමෙන් පසුව සනත් ජයසූරිය ක‍්‍රීඩාවට ආවානම් ඔහුගේ මල්වෙඩි සංදර්ශන කෙබඳු වේවිද. ක‍්‍රිස්ගේල් සනත් ජයසූරියට වඩා දක්ෂ වේවිද. අනෙක් පැත්තෙන් 2011 දී බ‍්‍රයන් ලාරා ප‍්‍රසිද්ධ දේශණයකදී කී විදියට විස්සයි විස්ස ක‍්‍රිකට් ක‍්‍රීඩාව ආරම්භ කරන්නට අයි.සී.සී.ය තීරණය කළේ සනත් ජයසූරියගේ පිතිහරඹ නිසාමද.

මුරලිදරන් සහ ෂේන් වෝන් දෙදෙනා අතරින් වැඩිපුර දක්ෂයා කවුද? ෂේන් වෝන්ගේ කණ්ඩායමේ වෙනත් දක්ෂ පන්දු යවන්නන් රැුසක් සිටි නිසාත්, ශ‍්‍රී ලංකාවේ දඟ පන්දු යවන්නන්ට සුදුසු තත්වයන් තිබුණු නිසාත්, මුරලි එක් තරගයක වැඩි පන්දුවාර සංඛ්‍යාවක් යැවූ නිසාත් වෝන්ට වඩා මුරලිට වාසි තිබුණාද.

මෙවැනි සැසඳීම් හරිම රසවත්. ඒත් මේ ප‍්‍රශ්න කිසිවකට පිළිතුරු සපයන්න බැහැ. ඒත් විවාද කරන්නට වරු ගනන් වෙන් කළ හැකියි. ඉතින් මෙවැනි කිසිදා නොවිසඳෙන ප‍්‍රශ්න ක‍්‍රීඩාවෙහි අලංකාරත්වයේ තවත් එක කොටසක්. මේ සටහනට පාදක වන්නේ බාස්කට්බෝල් ලෝකයේ දැන් පවතින ලොකුම විවාදය. ලෙබ්‍රෝන් ජේම්ස්ද? මයිකල් ජෝර්දාන්ද?

ලෙබ්‍රෝන් ජේම්ස්
ලෙබ්‍රෝන් ජේම්ස් දෙස ක‍්‍රීඩා රසිකයන්ගේ අවධානය යොමු වෙන්නේ පාසල් කාලයේදීමයි. සාමාන්‍යයෙන් උසස් පාසල් අතර බාස්කට්බෝල් තරග නරඹන්නට සාමාන්‍ය පේ‍්‍රක්ෂකයන් පැමිණෙන්නේ නැහැ. එවැනි තරග ජාතික රූපවාහිනී නාලිකාවල විකාශය වීමත් බොහොම කලාතුරකින් සිදුවන දෙයක්. එවැනි තරඟ අන්තර්ජාලයෙන් මුදල් ගෙවා නැරඹීම කිසිසේත් වෙන්නේ නැහැ. එහෙත් ලෙබ්‍රෝන් ජේම්ස් උසස් පාසල් අවධියේ, වයස අවුරුදු 18ක්ව තිබියදී ඔහුගේ ක‍්‍රීඩා විලාශය නිසාම එවැනි සිදුවීම් සිදුවුණා.

මේ වෙද්දී ලෙබ්‍රෝන් තරග 1,145 කදී ලකුණු 31,088 ක් රැුස්කරගෙන තිබෙනවා.30,000 කියන්නේ ලොව බාස්කට්බෝල් ක‍්‍රීඩකයෙකුට පසු කළ හැකි ඉහළම ලකුණු ප‍්‍රමාණයක්. ලොව ලකුණු 30,000 පසුකළ ක‍්‍රීඩකයන් සිටින්නේ 7 ක් පමණයි. ලකුණු 30,000 අඩුම වයසකින් පසුකළ ක‍්‍රීඩකයා වන්නේ ලෙබ්‍රෝන් ජේම්ස්.

ලෙබ්‍රෝන්ට ඉහළම ලකුණු ප‍්‍රමාණය වන කරීම් අබ්දුල් ජබ්බර්ගේ ලකුණු 38 387 වාර්තාව පසු කරන්නට අවශ්‍ය වසය තිබෙනවා. සියල්ල හොඳින් සිදුවුණොත් ඔහු ඉහළම ලකුණු ප‍්‍රමාණය පසු කර යාවි. කොහොම වුණත් මේ ක‍්‍රීඩාවාරය අවසාන වෙද්දී ඔහු පහසුවෙන්ම ලකුණු 31,419 ක් ඉක්මවමින් ලකුණු ලබාගෙන මේ ඉහළම ලකුණු ලැයිස්තුවේ පස්වැනියා විය හැකියි.

ඔහු වසර ගණනාවක් තිස්සේ තමන්ගේ සාර්ථකත්වය එලෙසම පවත්වාගෙන යනවා. තරගයක ජයග‍්‍රහණ දායකත්වය නම් මිනුම් දර්ශකයක් තිබෙනවා. බාස්කට්බෝල් ක‍්‍රීඩකයෙකු සහභාගී වූ සියලූ‍ ජයග‍්‍රාහී තරගාවලදී එම ක‍්‍රීඩකයා ජයග‍්‍රහණයට දක්වා ඇති දායකත්වය ගණනය කිරීම එයින් සිද්ධවෙනවා. එවැනි තරගයක කණ්ඩායමේ අනෙක් ක‍්‍රීඩකයන් සියලූ‍ දෙනාගේම දායකත්වයට සාපේක්ෂව එම ක‍්‍රීඩකයාගේ දායකත්වය ප‍්‍රතිශතයක් ලෙස එයින් දැක්වෙනවා. ලෙබ්‍රෝන් ජේම්ස්ගේ ජයග‍්‍රහණ දායකත්වය 50% යි. ජයග‍්‍රහණයකට ඉහළම දායකත්වයක් දී ඇති ක‍්‍රීඩකයා ලෙබ්‍රෝන් ජේම්ස්. ඔහුගේ ප‍්‍රතිශතයට ළඟාවීම අතිශය අසීරුයි. එම දර්ශකය අනුව ලෙබ්‍රෝන්ට ජෝර්දාන් දෙවැනි වෙනවා. ජෝර්දාන්ගේ ජයග‍්‍රහණ දායකත්වය 39% යි. මේ දර්ශකයෙනුත් පැහැදිළි වෙන අන්දමට ලෙබ්‍රෝන් ජේම්ස් බොහෝවිට හැකියාවෙන් අඩු කණ්ඩායම් ජයග‍්‍රහණය කරා රැුගෙන ගිය ක‍්‍රීඩකයෙක්.

පවර් ෆෝවඞ්, ෂූටින් ගාඞ් සහ ස්මෝල් ෆෝවඞ් ඇතුළු ඕනෑම ස්ථානයක තරඟ කිරීමට ඔහුට ඇති හැකියාවයි. ආරක්ෂක ක‍්‍රීඩකයෙකු ලෙසත්, ප‍්‍රහාරක ක‍්‍රීඩකයෙකු යන අංශ දෙකෙන්ම ඔහු ලෝකයේ බිහිවූ විශිෂ්ඨතම ක‍්‍රීඩකයන් අතර ඉන්නවා. ක‍්‍රීඩා විචාරක බිල් සිමන්ස් විසින් 2012 දී ලියූ සටහනකින් කොටසක් මෙසේ උපුටා ගත හැකියි.

‘ලෙබ්‍රෝන් ජේම්ස් තමන්ගේ ක‍්‍රීඩා දිවියේ මැද භාගය වෙනතෙක්ම ඔහු කවුදැයි විචාරකයන්ට අනුමාන කරන්නට ඉඩ හරිමින් සිටියා. ඔහු කවුද. ඔහු විටෙක පුංචි ජෝර්දාන් යැයි හැඳින්වුවා. පුංචි ඩොක්යැයි හැඳින්වුවා. පුංචි පිප්පෙන් යැයි හැඳින්වුවා. විවිධාකාර පැරණි ශ්‍රේෂ්ඨතමයන්ගේ ක‍්‍රීඩා විලාශයන්ට ඔහුව සන්සන්දනය කළා. ඔහු පවර් ෆෝවඞ් ක‍්‍රීඩකයෙක්ද? ස්මෝල් ‍ෆෝවඞ් ක‍්‍රීඩකයෙක්ද? ටිකක් විශාල පොයින්ට් ගාර්ඞ් කෙනෙක්ද? විචාරකයන් ඔහු ක‍්‍රීඩා කරන විවිධ ස්ථානයන්ගේ ප‍්‍රවීණයෙක් ලෙස ඔහුව හැඳින්වුවා. ඒත් 2013 තරගවාරය අවසාන වෙද්දී විචාරකයන් හඳුනාගත්තා, ඔහුගේ ස්ථානය කුමක්ද යන්න. ඔහුගේ ස්ථානයට දිය හැකි එකම නම තමයි ලෙබ්‍රෝන් ජේම්ස් කියන්නේ. ඔහුගේ වර්ගයට සිටින්නේ එකම එක්කෙනෙක් පමණයි. රක්ෂක අර්ධයේදීත් ප‍්‍රහාරක අර්ධයේදීත් අතිවිශිෂ්ඨ හැකියාව පෙන්වන සුපිරි ක‍්‍රීඩකයෙක්. බාස්කට්බෝල් ක‍්‍රීඩාවේ ක‍්‍රීඩකයන් රැුඳවෙන ස්ථාන පහේම එක මෙන් හැකියාව පෙන්වන දිව්‍යමය හැකියාවක් ඇති ක‍්‍රීඩකයෙක්.’

ක්ලීව්ලන්ඞ් ශාපය
ඇමෙරිකාවේ ප‍්‍රධාන ක‍්‍රීඩා තරගාවලි ලෙස හඳුන්වන ඇමෙරිකන් පාපන්දු, බාස්කට්බෝල්, බේස්බෝල් වැනි ක‍්‍රීඩා තරගාවලි එකකවත් ජයග‍්‍රහණයක් ලබන්නට වසර 52 ක් තිස්සේ ක්ලීව්ලන්ඞ් දිස්ත‍්‍රික්කය අසමත් වුණා. ක්ලීව්ලන්ඞ්හි ශාපය, ක්ලීව්ලන්ඞ්හි නියඟය වැනි නම්වලින් මෙම වසර 52 ක කාලසීමාව හැඳින්වුවා. නියඟය අවසන් කරමින් ක්ලීව්ලන්ඞ් වෙත එන්.බී.ඒ. 2016 තරගාවලියේ ජයග‍්‍රහණය ලබාදෙන්නට ලෙබ්‍රෝන් ජේම්ස් සමත් වුණා. ක්ලීව්ලන්ඞ් ජයග‍්‍රහණය ලෙබ්‍රෝන්ට හිමි ජයග‍්‍රහණයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ.

ලෙබ්‍රෝන්ද? ජෝර්දාන්ද?
මේ වෙද්දී ලොව ප‍්‍රකට බාස්කට්බෝල් විචාරකයන් කිහිපදෙනෙක්ම ලෙබ්‍රෝන් ජේම්ස් ඉතිහාසයේ විශිෂ්ඨතම ක‍්‍රීඩකයා ලෙස නම් කර තිබෙනවා. ‘ඔහුට හිමි නමෙන් ඔහුව අමතන්න කාලය ඇවිත්. ඉතිහාසයේ ශේෂ්ඨතම බාස්කට්බෝල් ක‍්‍රීඩකයා ඔහු’ ඇතැම් විචාරකයන් එසේ ලියනවා.

කොහොම වෙතත් මයිකල් ජෝර්දාන් ශ්‍රේෂ්ඨතමයායැයි දැඩි සේ කියන අය ඉදිරිපත් කරන්නේ කිසිදා බිඳිය නොහැකි තර්කයක්. ජෝර්දාන් එන්.බී.ඒ. තරඟාවලි අවසන් තරඟ හයකට සහභාගී වී තිබෙනවා. ඒ හයම ඔහු ජයග‍්‍රහණය කර තිබෙනවා. ලෙබ්‍රෝන් සහභාගී වූ අවසාන තරග දෙකක් පරාජය වී තිබෙනවා. ලෙබ්‍රෝන්ලේ කණ්ඩායම් හය වතාවක් ජයග‍්‍රහණය කර නැහැ. අනාගතයේ ජයග‍්‍රහණ හයක් දක්වා යන්නට හැකිවුණත්, ඔහුට මීට පෙර ලැබූ පරාජයන් දෙක මකා දැමිය නොහැකියි. ඒ නිසා ජෝර්දාන් යනු බාස්කට්බෝල් ක‍්‍රීඩා ඉතිහාසයේ විශිෂ්ඨතම කතාව රැුගත් ක‍්‍රීඩකයායැයි බොහෝ අය කියනවා.

ඒත් ලෙබ්‍රෝන්ට ලැබුණු ප‍්‍රතිවාදීන් වගේම ලෙබ්‍රෝන්ට ලැබුණු කණ්ඩායම් කිසිදා ජෝර්දාන්ට ලැබී නැහැ. ලෙබ්‍රෝන් වැඩිපුර ක‍්‍රීඩා කර ඇත්තේ ජෝර්දාන්ට ලැබුණු කණ්ඩායම්වලට වඩා සාපේක්ෂව දුර්වල කණ්ඩායම්වල. බොහෝවිට ඔහුට තමන්ගේ කණ්ඩායම කර තබාගෙන අවසන් තරග වෙත යෑමට සිදුවුණා. ඒ නිසා ඔහු ඉතිහාසයේ ශේෂ්ඨතම ක‍්‍රීඩකයා වුණත් නැතත් ඔහු බාස්කට්බෝල් ක‍්‍රීඩා ඉතිහාසයේ දක්ෂතම ක‍්‍රීඩකයා යන්න කිසි කෙනෙකුට බැහැර කළ නොහැකියි. මෙවර තරඟවාරය ආරම්භය ලෙබ්‍රෝන්ට එතරම් සුවදායක එකක් නොවෙයි. ඒත් තරගවාරය අවසාන වෙද්දී තමන් කවුදැයි ලෙබ්‍රෝන් පෙන්වනු ඇතැයි ඔහුට ආදරය කරන බාස්කට්බෝල් රසිකයන් ඇස් දල්වා බලා සිටිනවා.

අනුරංග ජයසිංහ

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි