විපක්ෂ නායක ධුරය ලබාගැනීම පිණිස ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී ස්වාධීන වන බවට ඉඟි පළකළද පාර්ලිමේන්තුවේදී ස්වාධීන නොවී සිටීමට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
එයට හේතුව වී ඇත්තේ පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් බවට පත් වුවද ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන්ට විපක්ෂ නායක ධුරය ලබාගැනීම සඳහා නීතිමය පසුබිමක් නොමැති වීමය. අගෝස්තු 14 වැනි අඟහරුවාදා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් සහ ශ්‍රීලනිපයෙන් පාර්ලිමේන්තුවට පත්ව සිටින මන්ත්‍රීවරුන් අතර පැවති රැස්වීමකදී පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් විය යුතුද යන කාරණය පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කර තිබුණි. එම රැස්වීමේදී අදහස් දක්වමින් මහාචාර්ය ජී.එල්. පීරිස් ඇතුළු පිරිසක් විසින් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් වීම අවාසිදායක විය හැකි බව පෙන්වා දී ඇත.
අප සමඟ අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයෙක් මෙසේ පැවසිය. ‘අපි ස්වාධීන වුණොත් ඊළඟට වෙන්න පුළුවන් අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුර අහිමි වීම. ජී.එල්. පීරිස් මහාචාර්යතුමා පක්ෂ නායක රැස්විමේදී නීති තර්කයකුත් පෙන්වාදුන්නා. ඒ අනුව අපිම ඉල්ලා අස්වෙලා ස්වාධීන වුණාට පස්සේ අපේ මන්ත්‍රීධුර අහිමිවුණොත් අපට අධිකරණයේ සටන් කරන්නත් ශක්තිමත් නීති තර්කයක් නැහැ. එතකොට අපේ මන්ත්‍රීධුර අහිමි කරලා අධිකරණයෙනුත් තීන්දුවක් ලැබෙයි. ඒකට හේතුව අපව අසාධාරණ විදියට පක්ෂයෙන් ඉවත් කරලා නෙවෙයි. අපිම ස්වාධීන වෙලා තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහිමි වෙන්නෙ.
එහෙම වුණොත් පාර්ලිමේන්තුවට අලූත් මන්ත්‍රීවරු හැටක් පමණ පත් කරගන්න අවස්ථාවක් ශ්‍රීලනිපයට එනවා. ඒකෙන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට සහාය දක්වන ප්‍රාදේශීය දේශපාලනඥයන් එක්වරම ජාතික දේශපාලනයට ගෙනල්ලා ඔවුන්ට තැනක් ලබාදෙන්න ශ්‍රීලනිපයට අවස්ථාවක් ලැබෙනවා.’
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තුවේ ඉහළ නිලයක් දරන පුද්ගලයෙකු අනිද්දා සමඟ අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, විපක්ෂ නායක ධුරයට අදාල කාරණාව පිළිබඳව ලෝකයේ සම්ප්රදායයන් සහ ලංකාවේ නීතිමය පසුබිම පිළිබඳව කථානායක කරු ජයසූරිය මහතා ප්රමුඛ පාර්ලිමේන්තුවේ නිලධාරීන් විසින් විශාල අධ්‍යයනයක් කර ඇති බවයි. ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ස්වාධීන වුවද විපක්ෂ නායක ධුරය ලබාදිය හැක්කේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයා කැමැත්ත පළ කළහොත් පමණක් බව එම පුද්ගලයා කීය. මිට පෙර 2015 පාර්ලිමේන්තුවේදී නිමල් සිරිපාල ද සිල්වා මහතාට විපක්ෂ නායක ධුරය ලබාදුන්නේ එජනිසය කැමැත්ත පළ කිරීමෙන් පසුව බවද එම නිලධාරියා පෙන්වා දුන්නේය. එම අවස්ථාවේදී එජනිසය නිල වශයෙන් විපක්ෂයේ සිටි අතර මන්ත්ර්ීවරුන් පිරිසක් ආණ්ඩු පාර්ශ්වයට එක්ව අමාත්‍යධුර ලබාගැනීමත්, එයට එජනිස මහලේකම්වරයා එකඟතාව ලබාදීමත් සිදුවූ බව ඔහු කීය.