No menu items!
20.2 C
Sri Lanka
25 November,2024

ජනපතිවරණයට ගෝඨා එපා අතුල් කේශප්ගේ දේශපාලන බෝම්බය

Must read

 

සිය තානාපති සේවා කාලය නිම කළ ශ‍්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති අතුල් කේශප්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගෙන් සමුගැනීමේ හමුවේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතා ගැන දැක්වූ අදහස පසුගිය සතියේ දේශපාලන ලෝකයේ විශාල අවධානයක් දිනාගත්තේය. සමහර මාධ්‍ය ඒ අදහස හැඳින්වුයේ, ‘දේශපාලන බෝම්බයක්’ හැටියටය.
තානාපතිවරයෙකු සිය සේවා කාලය නිමවූ පසු සිය රට බලා යෑමට පෙර, සේවය කළ රටේ දේශපාලන නායකයන්, වෙනත් විශේෂ පුද්ගලයන් හා සිවිල් සංවිධානවල නියෝජිතයන් හමුවීම සාමාන්‍යයෙන් සිරිතක් වශයෙන් පවතින්නකි. 2015 වසරේදී ලංකාවේ අමෙරිකානු තානාපති හැටියට වැඩ බාරගත් ඉන්දියානු සම්භවයක් ඇති අමෙරිකානුවකු වන අතුල් කේශප්, ඒ සිරිතට අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හමුවීමට පසුගිය ජුනි 10වැනි ඉරිදා සවස ඔහුගේ නිලනිවෙස පිහිටි විජේරාම මාවතට ගියේය.
මාධ්‍ය වාර්තා කළේ, විනාඩි 90ක පමණ කාලයක් එහිදී පැවැති සාකච්ඡුාවේදී, අතුල් කේශප් මහතා, ගෝඨාභය රාජපක්‍ෂ ඉදිරි ජනාධිපතිවරණයකට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් තමාගේ අප‍්‍රසාදය බලවත් ලෙස පළකළ බවයි.
ඔහු එහිදී කියා ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදය හා අනෙක් බටහිර රටවල් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීම කිසිසේත් පිළිනොගන්නා බවත්, ඊට විරුද්ධවන බවත්ය. එනිසා, ඉදිරි ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්‍ෂ මහතා අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් නොකරන ලෙසද අතුල් කේශප් මහතා, හිටපු ජනාධිපතිවරයාට එහිදි කියා ඇතැ’යි සඳහන් වෙයි. මාධ්‍ය වාර්තා කරන අන්දමට අමෙරිකානු තානාපතිවරයා මහින්ද රාජපක්‍ෂට ඒ බව කියා තිබුණේ, ‘පැහැදිලි, කිසිදු ව්‍යාකුලතාවක් නැති හා නිශ්චිත’ වචනවලිනි.
පසුගිය ජුනි 12වැනිදා සිය පුවත්පතේ ප‍්‍රධාන සිරස්තලයෙන් මේ කරුණු හෙළිකළ යාපනයේ ‘කාලයික්කතිර්’ පුවත්පත කියා තිබුණේ ඉතාමත්ම විශ්වාසදායි ආරංචි මාර්ගවලින් මේ සාකච්ඡුාවේ තොරතුරු තමන්ට ලැබුණු බවයි. ‘කාලයික්කතිර්’ පුවත්පතේ ප‍්‍රධාන සංස්කාරක නඬේසපිල්ලෙයි විද්‍යාදරන්, කලෙක ’උදයන්’ පුවත්පතේ කර්තෘ හැටියට කටයුතු කළ අතර, දැන් මහින්ද රාජපක්‍ෂ මහතාගේ සමිපතමයකු හැටියට සැලකෙයි.
එම පුවත්පත කියන අන්දමට අතුල් කේශප් මහතා කියා ඇත්තේ, තමන් බලාපොරොත්තු වන්නේ දේශපාලන පරිණතභාවයකින් යුක්ත, ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන අවකාශය තුළ පලදායක ලෙස කටයුතු කළ හැකි පුද්ගලයකු ලංකාවේ ජනාධිපතිවරයා වන බවටයි. ඔහු තවදුරටත් කියා ඇත්තේ, යකඩ අතකින් ත‍්‍රස්තවාදය විනාශ කිරීමත්, දේශපාලන ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ පාලනයක් ගෙනයෑමත් දෙකක් මිස එකක් නොවන බවයි. මේ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්‍ෂගේ අමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීමට අමෙරිකානු නීතිවලින් ඉඩක් නොලැබෙන බව අමෙරිකානු තානාපතිවරයා එහිදී පවසා ඇත. ඔහුගේ අමෙරිකානු පුරවැසිභාවය අවසන් කරගැනීමට නම්, ඔහුට එල්ලවී ඇති යුද අපරාධ, මානව සංහතියට එරෙහි අපරාධ හා මානව අයිතිවාසිකම් උල්ලංඝනයන් ගැන ඇති චෝදනාවලින් පළමුව ඔහු නිදහස් විය යුතුයැයිද අතුල් කේශප් පවසා තිබේ. එම චෝදනාවලින් නිදොස් වුවහොත් පමණක්, ගෝඨාභය රාජපක්‍ෂට අමෙරිකානු පුරවැසිභාවයෙන් නිදහස් විය හැකි අතර, ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරණයටද ඉදිරිපත් විය හැකිය.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19වැනි සංශෝධනයට අනුව, ද්විත්ව පුරවැසිභාවයක් ඇත්තකුට ලංකාවේ ජනාධිපතිවරණයකට හෝ මහමැතිවරණයකට අපේක්‍ෂකයකු හැටියට ඉදිරිපත් විය නොහැකිය. පසුගිය මහමැතිවරණයේදී, ස්විට්සර්ලන්තයේ හා ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය තිබියදී අපේක්‍ෂිකාවක ලෙස ඉදිරිපත්වී ජයග‍්‍රහණය කළ ගීතා කුමාරසිංහ මහත්මියට, ලංකාවේ අධිකරණ විසින් මන්ත‍්‍රීධුරය අහිමි කළේ ඒ පදනම මත පිහිටමිනි.
අතුල් කේශප්ගේ නිරීක්‍ෂණ හා අදහස්වලට මහින්ද රාජපක්‍ෂගේ ප‍්‍රතිචාරය කුමක්දැයි එම පුවත්පත වාර්තා නොකරන නමුත්, තානාපතිවරයාගේ එම අදහස්වලින් ඔහු විමතියට පත්වන්නට ඇතැ’යි පුවත්පත විශ්වාස කරයි.
යුද හමුදාවේ මැද පෙළේ නිලධාරියකු හැටියට සිටියදී, කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව ඉන් ඉවත්ව අමෙරිකාවට ගිය ගෝඨාභය රාජපක්‍ෂ මහතා, අමෙරිකාවේදී විවිධාකාර රැුකියාවල නිරතවෙමින් එහි පුරවැසිභාවය ලබාගත්තේය. අමෙරිකාවේ සිටිය කාලය තුළ කිසිම වැදගත් රැුකියාවක හෝ පිළිගත් දේශපාලන භාවිතයක ගෝඨාභය රාජපක්‍ෂ මහතා යෙදුණු බවක් දැනගන්නට නැත. ගෝඨාභය ලංකාවට නැවතත් පැමිණියේ, මහින්ද රාජපක්‍ෂ මහතා 2005 ජනාධිපතිවරණයට ඉදිරිපත්වන විට ඔහුට සහාය වන්නටය. ජනාධිපතිවරණය අවසන්වී යළිත් අමෙරිකාවට යන්නට බලාපොරොත්තු වුණු නමුත්, තමාට යන්නට එපැයි කී නිසා ලංකාවේ නැවතුණු බව ගෝඨාභය කියා ඇත. ඔහු මුලින් කීවේ කිසිම හේතුවක් නිසා තමා අමෙරිකානු පුරවැසිභාවය අත්හරින්නට කල්පනා නොකරන බවයි. එහෙත්, ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ අදහස හා පසුබිම බලවත් වෙමින් තිබෙන මේ අවස්ථාවේදී, තමාට ජනාධිපති අපේක්‍ෂකකම ලැබෙන්නේ නම්, අමෙරිකානු පුරවැසිභාවය අත්හරින බව ඔහු දැන් කියයි.
මේ අතර, මාධ්‍ය හමුවක් ඇමතූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල, අමෙරිකානු පුරවැසිභාවය ඉවත්කරග ැනීම හැඳන්වූයේ ඉතාමත් සරල, හරියට කජු කන්නා වාගේ දෙයක් හැටියටය.
‘ඇමෙරිකානු පුරවැසිකමට අදාළ නීතිය තමයි Immigration and Nationality Act of 1952  නොහොත් 1952 සංක‍්‍රමණ සහ ජාතිකත්ව පනත. මේ පනතේ 349(ඒ)(5) වගන්තිය යටතේ ඕනෑම පුරවැසියෙකුට ඇමෙරිකානු පුරවැසිකම අත්හරින්න පුළුවන්. දෙපැත්තම කැමැති වෙන්න ඕනෑ නෑ. පුරවැසියා කැමති නම් අත්හරින්න පුළුවන්. පුරවැසිකම අත්හැරීම ප‍්‍රතික්ෂේප කළ යුතු හෝ කළ හැකි අවස්ථා නීතියේ සඳහන් වෙන්නේ නෑ. නමුත් නඩු තීන්දුවලින් තීරණය වී තිබෙනවා.
ඇමෙරිකාවේ සිටිමින් පුරවැසිකම අත්හැරීමට අයදුම් කළොත් ප‍්‍රතික්ෂේප කළ යුතුයි. ඒ වගේම අයදුම් කරන පුද්ගලයා සතු එකම පුරවැසිකම ඇමෙරිකානු පුරවැසිකම නම් ඔහුගේ ඉල්ලීමත් ප‍්‍රතික්ෂේප කරන්න පුළුවන්.
පළමු පියවර තමයි වෙනත් රටක පුරවැසිභාවය ලබාගැනීම. රටක් නැති පුද්ගලයෙකුට බරපතළ නීතිමය ගැටලූවලට මුහුණ දෙන්න වන නිසා බොහෝ විට ඇමෙරිකාව ප‍්‍රතික්ෂේප කරනවා. ඒ නිසා ඇමෙරිකානු පුරවැසිකම අත්හැරීමේ සම්මුඛ සාකච්ඡුාවට යන විට පුරවැසිකම තිබෙන අනිත් රටේ ගමන් බලපත‍්‍රය රැගෙන යෑම අතිශයින්ම වැදගත්. ගෝඨාභය මහතා දැනටමත් ලංකාවේ පුරවැසියෙකු නිසා පළමු පියවර සම්පූර්ණයි.
දෙවන පියවර වන්නේ ඞීඑස් 4079 සිට ඞීඑස් 4083 දක්වා වන පත‍්‍ර පිරවීමයි. ඞීඑස් 4079 යනු පුරවැසිකම අත්හැරීමට අදාළ ප‍්‍රශ්න මාලාවක්. ඞීඑස් 4080 කියන්නේ පුරවැසිකම අත්හැරීමේ දිවුරුම් ප‍්‍රකාශයයි. ඞීඑස් 4081 යනු පුරවැසිකම අත්හැරීමේ ප‍්‍රතිවිපාක තමන් දන්නා බවට කරන ප‍්‍රකාශයයි. ඞීඑස් 4082 යනු පුරවැසිකම අත්හැරීම පිළිබඳ සාක්ෂිකරුවන් පුරවන පත‍්‍රිකාවයි. ඞීඑස් 4083 යනුවෙන් හඳුන්වන්නේ පුරවැසිකම අත්හැරීමේ සහතිකයයි.
මේ පත‍්‍රිකා අධ්‍යයනය කරලා අවශ්‍ය තොරතුරු සූදානම් කර ගත් පසු තෙවන පියවර වන්නේ ඇමෙරිකානු තානාපති කාර්යාලයට අවශ්‍යතාව දන්වලා වෙලාවක් වෙන්කර ගැනීමයි. හතරවන පියවර අදාළ පත‍්‍රිකා පුරවලා සාක්ෂිකරුවන් දෙදෙනෙකු සමග තමන්ගේ දෙවන පුරවැසිකම තහවුරු කරන ලේඛනද සමග අදාළ වේලාවට ඇමෙරිකානු තානාපති කාර්යාලයට යෑමයි.
තානාපති කාර්යාලයේදී පුරවැසිකම අත්හැරීමේ ලේඛනයට තානාපති කාර්යාලයේ නිලධාරියා සහ සාක්ෂිකරුවන් ඉදිරිපිට අත්සන් තැබුවාම ඒ මොහොතේ සිට පුරවැසිකම අවසන් වෙනවා. ඒ බව සහතික කරලා ඞීඑස් 4083 කියන ලේඛනය ලබාදෙනවා. ඒකට තමයි පුරවැසිකම අත්හැරීමේ සහතිකය කියන්නේ. රියදුරු බලපත‍්‍රය ලැබෙන තුරු දෙන තාවකාලික රියදුරු බලපත‍්‍රය වගේ, රක්ෂණ සහතිකය ලැබෙන තුරු දෙන තාවකාලික රක්ෂණ ආවරණය වගේ මේ සහතිකය තාවකාලිකයි. ඇමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පුරවැසිකම අත්හැරීමේ ස්ථිර සහතිකයක් නිකුත් කරන තෙක් මෙම ලේඛනය වලංගුයි.
අවසාන පියවර වන්නේ අවසාන බදු වාර්තාව ගොනුකළ දිනයේ සිට පුරවැසිකම අත්හරින දිනය තෙක් වූ කාලයට අදාළ බදු වාර්තාව ගොනුකිරීමයි. ඊට පස්සේ මාස දෙකක් සහ හයක් ඇතුළත පුරවැසිකම අත්හැරීමේ ස්ථිර සහතිකය නිකුත් කරනවා.
මේ ක‍්‍රියාවලිය දෙස බැලූ‍වාම කාරණා දෙකක් පැහැදිලියි. පළමු කාරණය තමයි වෙනත් රටක පුරවැසියෙකු වන ඇමෙරිකානුවෙකු විසින් ඇමෙරිකානු පුරවැසිකම අත්හැරීම නැවැත්වීමට ඇමෙරිකානු ආණ්ඩුවට හැකියාවක් නැති බවයි. දෙවන කාරණය වන්නේ ඇමෙරිකානු තානාපති කාර්යාල නිලධාරියෙකු ඉදිරියේ පුරවැසිකම අත්හැරීමේ ප‍්‍රකාශය නිසි ලෙස සම්පූර්ණ කළ වහාම ඇමෙරිකානු පුරවැසිකම අත්හැරෙන බවයි. මේ නිසා ගෝඨා-භය කියන භීතිකාව වැළඳුණු පිරිස් පතුරන ආකාරයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනපතිවරණයට තරග කරන්න ඇමෙරිකානු පුරවැසිකම බාධාවක් නොවන වග ඉතාම වගකීමෙන් ප‍්‍රකාශ කරනවා.’
ගම්මන්පිලගේ මේ සරල පැහැදිලි කිරීම ඇත්තක් නම්, හුදෙක් කවුන්ටරයක් ඉදිරියේ සිටගෙන අමෙරිකානු පුරවැසිභාවය අත්හැරිය හැකිය. එහෙත්, අමෙරිකානු තානාපතිවරයාගේ කතාව ඊට වඩා බැරැරුම් එකකි. තානාපතිවරයා දක්වා ඇති බාධක ගැන ගම්මන්පිල සංයුක්ත පිළිතුරක් දුන් බවක්ද දැනගන්නට නැත. තානාපතිවරයා කියන්නේ, පුරවැසිභාවය අත්හැරීම ප‍්‍රතික්‍ෂෙප කළ හැකි අවස්ථා ගැනය. ගම්මන්පිල එවැනි අවස්ථා ගැන කිසිවක් නොකියන අතර, නඩු තීන්දුවලින් තිබෙන වෙනත් උදාහරණ පමණක් කියයි. එහෙත්, යුද අපරාධ, මානව සංහතියට එරෙහි අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනයන් ගැන චෝදනා ඇත්තකුගේ පුරවැසිභාවය අත්හැරීම ප‍්‍රතික්‍ෂෙප විය හැකි බවට කේශප් කියන කතාව ඊට වඩා ප‍්‍රබලය. ඒ ප‍්‍රතික්‍ෂෙප කිරීමේ බලය ඇත්තේ අමෙරිකානු ආණ්ඩුවටය. එය දේශපාලන තීරණයකි. එවැනි තීරණයක් ගත්තොත්, ගම්මන්පිලගේ සීනිබෝල කාර්ය පටිපාටිය දියවී යනවා ඇත.

- Advertisement -spot_img

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

අලුත් ලිපි