No menu items!
21.8 C
Sri Lanka
28 March,2024

සයිබර් අවකාශයේ අලුත් වැස්ස : බර්ටි

Must read

■ කැත්ලීන් ජයවර්ධන

ඔබ කොංගෝවෙ, නැතිනම් ඒ වගේ රටක ජීවත් වුණා නෙවෙයි නම්, ඔබ වෙළඳ දැන්වීම් දැකල ඇති. නමුත් ඇත්තටම ඔබ කොංගෝ රටේ ජීවත් වෙන කෙනෙක් නම්, BERTIE කියන්නෙ මොකක්ද කියල ඔබට කියන්න මට ඉඩදෙන්න. BERTIE කියන්නෙ, ඉවීම, පිරිසිදු කිරීම, රෙදි හේදීම වගේ දෙවල් කාර්යක්ෂමව කරන රොබෝ කෙනෙක්… ඔබට වැටහෙනවනෙ. දෙවැනි පරම්පරාවෙBERTIE (අප ළඟ ඉන්න වර්ගයේ)ට පු`ඵවන් බල්ලන් ඇවිද්දවීම, ළමයින්ගෙ ගෙදරවැඩ වගේ ම ශරීර සම්බාහනය (මගේ නෝනගෙ ප්‍රියතම අවශ්‍යතාව) පවා.
BERTIE කියල කෙටි කරල තියෙන්නෙ Bionically Engineered Robot Trained for Intelligent Evolution- බුද්ධි පරිණාමය උදෙසා කෘත්‍රිම ශරීරාංගවලින් යම් කාර්යයන් හැසිරවීමට පුහුණු කරවනු ලැබූ රොබෝ-කියන වගන්තිය. (බර්ටි, 123 පිට)
ජොන් ලැන්ග්ෆර්ඩ් ලියූ ‘බර්ටි’ ගැන දැන් අමුතු හැඳින්වීමක් කළ යුතු නැත. ‘බර්ටි’ කෙටිකතා සංග්‍රහයේ ‘බර්ටි’ නමින් ම වූ කෙටිකතාවේ ප්‍රධාන චරිතයක වගකීම පැවරී ඇත්තේ බර්ටි නම් වූ තාක්ෂණික මෙවලමකට ය. BERTIE කොම්පැණියේ මිනිසුන් ද වෙන අය මෙන් ම ඔවුන්ගේ කෙටිනම්වලට ප්‍රිය ය. උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයෙන් බර්ටි කෙටි කතාව කියන පුද්ගලයා බර්ටි කොම්පැණියෙන් ‘බර්ටි’ මිලදී ගන්නේ සැලකිය යුතු මුදලක් වැය කොට ය.
දැන් මං පිළිගන්නවා, මෙවලමකට (නැත්නම් ඒ වහලෙකුද?) ඩොලර් විසිදාහක් වියදම් කිරීම පමණට වැඩි දෙයක් කියලා. නමුත් අපි ගණන් හදල බැලුවා, දීර්ඝ කාලීනව අපි ඒකෙන් ඉතිරි කරනවා. ඊටත් වඩා වැදගත්ව අපි කාලය ඉතුරු කරාවි. ඉතින් අපි ආයාවයි, පිරිසිදු කරන්නාවයි අස් කරලා, එක අඟහරුවාදා දවසක මං ගෙදර ආවෙ BERTIE කෙනෙක් එක්ක. (124 පිට)
ගෙහිමියා, බිරිඳ, දියණිය හා බල්ලා මැදසාලයේ වාඩි වී පුදුමයෙන් වාගේ බලා සිටින්නේ බර්ටි හෙවත් අලුත් මානවරූපියා කොනක සිටගෙන තමාට අවශ්‍ය ප්‍රාණය (විදුලිය) ප්‍රධාන විදුලි සැපයුම ඔස්සේ උරාගන්නා ආකාරය දෙස ය.
මේ මෙතන තියන්නේ එයාගෙ කෙස්. ඇත්ත මිනිස් කෙස් ම යි.
බිරිඳගේ මේ අදහස සැමියා තුළ කලම්බනයක් සිදු කරයි. සැමියා රොබෝ කෙස් දකින්නේ ඒ මොහොතේ ය.
මට නහුතෙට තද වුණා. ඒ බැල්ලියකුගෙ පුතාට, මට වැඩිය ගනට කෙස්. ඊළඟට මං කල්පනා කළේ ඒ කෙස් ආවෙ කොහෙන්ද කියලයි. ඒවා, මැරුණ මිනිහකුගෙන් ද? නැත්නම් නිෂ්පාදකයා මිනිසුන්ට සල්ලි ගෙවල කෙස් ගත්තාද? දෙකෙන් කොයික වුණත් අශිෂ්ටයි. මං දන්නෑ, එගොල්ල මේක මේ තරම්ම මිනිස් පෙනුමට හදන්නෙ ඇයි කියලා. (124 පිට)
විවේකී දවසක මු`ඵ පවුල ම උද්‍යානයකට යන්නේ බර්ටි මෙන් ම බල්ලා (ලෝගන්) ද කැටුව ය. ඔවුන් බර්ටි කැඳවාගෙන යන්නේ තමන් රැගෙන ගිය ආහාරපාන සුදානම් කර තැබීම, අස්පස් කිරීම ආදිය සඳහා උදවුවට ය. උද්‍යානයේ ඔවුන් අසලින් සිටි වෙනත් පවුලක් කෑමබීම එළියට ගත් සැණින් නගුට වනමින් එතැනට දුව යන්නේ ලෝගන් ය. හාම්පුතා කී වරක් කතා කළ ද නොපැමිණි ලෝගන් කීකරු ලෙස ආපසු පැමිණෙන්නේ බර්ටිගේ එකම ඇමතුමකිනි. සුනඛයා පස්සා කකුල්වලින් නැගී සිටිමින් ආදර ගෞරව දක්වන්නේ බර්ටිට ය.
මගේ රොබෝවා, මගේ බල්ලගෙ ස්වාමි ගරුත්වය හොරකම් කරගෙන තිබුණා. දවසෙ ඉතිරි කාලය මං ගෙව්වෙ නිහඬව කේන්තියෙන් පුපුරමින් හා අවුල් හිතින්. (125 පිට)
කථකයා වරක් නිවෙසට පැමිණෙන මොහොතක මීයට පිම්බාක් වැනි නිහඬතාවක් පරිසරයෙහි පැතිර පවතියි. ඔහු හීන් අඩි තබමින් ගෙට ඇතු`ඵ වෙයි. කාමරයකින් මතුව නැගෙන්නේ කෙඳිරිලි රාවයකි.
මං නැවතිලා කන් දුන්නා. ඒ මගේ බිරිඳ. ඈ නැවතත් කෙඳිරි ගානවා. සද්දෙත් වැඩි වෙනවා. ඒ කෙඳුරුම මොහොතක් අවකාශයේ රැඳෙන්නට ඉඩ හරිනවා. අපි රමණයෙ යෙදෙන කොටත් එයා මෙහෙම කරනවා.
රහසින්, සැකයෙන් වගේම බලාපොරොත්තු සහගතව මං අමුත්තන්ගෙ කාමරයෙ දොර ආසන්නයට අඩි කීපයක් තිබ්බා. ඈට රහස් සම්බන්ධයක් තිබුණ නම් ඒක මට ගැලවීමක් වෙන්න තිබුණා.
ඊළඟට ඈ කුල්මත්බවේ දිග හඬක් නැඟුවා. ‘ෂා! ඒක මා…ර සනීපයි.’ (126 පිට)
ඔහු දකින්නේ ඇය නිරුවත්ව මුණින්තලාව සිටින අයුරු ය. කුඩා තුවායකින් ඇගේ යටිකය වැසී ඇත්තේ යාන්තමිනි. රොබෝවා ඇය අසලින් නැගී සිටියි.
‘මෙතන මොනවද සිද්ධ වෙන්නෙ ?’ ඔහු අසයි.
‘ආ ඔයා’ බිරිඳ කියන්නේ ගාණනකට නැතිව ය.
‘ඔයා මොනවද ගෙදර කරන්නෙ? මං මසාජ් එකක් ගන්නවා.’
ඔහුට උත්තර දෙන්නට බැරි ය. ඇය වගඋත්තරකාරියක වන්නේ බර්ටි මනුස්සයෙක් නම් ය. එහෙත්…?
මිනිසාගේ ජීවිතය පහසු කළ විද්‍යාව, තාක්ෂණය මිනිසාගේ මානවීයත්වයට එල්ල කළ අනපේක්ෂිත, දැවැන්ත ප්‍රහාර ගැන ඉඟි සපයන නවකතා කෙටිකතා ගණනාවක් මේ වන විට ප්‍රකාශයට පත්වී තිබේ. රොබෝවකු කෙරෙහි ඊර්ෂ්‍යාපරවශ වෙමින් රොබෝවාට වෛර බඳින මිනිසා අපට සම්මුඛ කරන්නේ බර්ටි ය. නැවුම්බවින් යුතු මේ කෙටිකතා සංග්‍රහයේ එක කෙටිකතා කිහිපයකට යොදා ඇති නම් ද අපූර්වත්වයෙන් යුත්ත ය.
‘මතක අස්වැන්න’
‘සංගීතය එන්නේ කොයිසිට ද? සංගීතය ගොස් ඇත්තේ කොතැනකට ද?’
මෙහි එන ඇතැම් කෙටිකතාකරුවන්ගේ ජීවදත්ත තොරතුරු ද කෙටිකතාවක් සඳහා වස්තුබීජ සපයනසුලු ය. ‘බර්ටි’ කෙටිකතාවේ රචකයා, වෙබ් අඩවියකට සපයා ඇති සිය ජීවදත්ත තොරතුරු අරඹන්නේ මෙසේ ය.
‘නව එංගලන්තයේ කුඩා නගරයක වෙසෙමි. බළලුන් දෙදෙනකු, රූපවාහිනී යන්ත්‍රයක් හා කේතලයක් මා සතුය.’ (122 පිට)
මතක අස්වැන්න නමැති කෙටිකතාව ලියූ එලන් වොරල් කියන්නේ ද මේ හා සමාන කතාවකි. තමා මධ්‍යම එංගලන්තයේ ජීවත් වන්නේ එකැස් සුනඛයකු හා එකැස් බළලෙක් ද සමග යයි ඇය කියයි. මේ එකැස් කතාවේ මූලය සොයා යාමේ අතිරේක ආශාවක් ද පාඨකයාට හැඟෙයි.
සයිබර් අවකාශයෙන් සොයා සපයා ගත් කෙටිකතා 9කට කෙටිකතා සංග්‍රහයකින් උපුටා ගත් කෙටිකතාවක් ද එක්ව ඇති අතර ඒ නිර්මාණය නම් කොට ඇත්තේ ‘ජපන් බිරි`ඳ’ ලෙස ය. එය ඉන්දීය ලේඛක කුනාල් බාසුගේ ය. සරසවි ප්‍රකාශනයක් වන බර්ටි කෙටිකතා සංග්‍රහයේ හැම කෙටිකතාවකට ම පාහේ පොදු වූ ක්ෂුද්‍රභාවය, නැවුම්බව බෙහෙවින් ම වැදගත් ය. පොතේ පරිවර්තකයා වන දේ.වි. ගාල්ලගේ අපූර්ව වස්තු සොයා යාමේ පිපාසාවෙන් යුතු වූවකු බවට ඔහුගේ මුල් පරිවර්තන කෘති කිහිපයක් ද සාක්කි කියයි.
මේ හැම කෙටිකතාවක ම අනන්‍ය ලක්ෂණ ගැන කතා කිරීම දුෂ්කර වන හෙයින් මෙහිදී අප සාකච්ඡාවට බඳුන් කිරීමට අපේක්ෂා කෙරෙන අනෙක් නිර්මාණය නම් කොට ඇත්තේ The New Religan (අලුත් ආගම) ලෙස ය. කාලීන සමාජ ප්‍රවණතා සම්බන්ධයෙන් උත්ප්‍රාසයක් දනවන මේ අපූරු කෙටිකතාව කියවාගෙන යද්දී මට සිතුණේ මේ වන විට ලෝකය තුළ අලුත් ආගමකට අවකාශයක් විවර වී ඇත්තේ දැයි කියා ය. තමන් අධ්‍යාත්මිකලාභීන් යැයි කියාගන්නා එමෙන්ම අධ්‍යාත්ම ගවේෂණයන්හි යෙදෙන ඒ තරම් ම පිරිස් අප වටා විසිර පැතිර සිටිති. මෙය ලියා ඇත්තේ Clear Reddaway h’
ය.
අලුත් ආගම කෙටි කතාවේ මාර්ටින් ජෙන්කින්ස්ගේ ජීවිතය ඇරඹෙන්නේ ද අලුත් ආගමක් අරඹන්නට තීරණය කළ දවසේ ය. රිච්මන්ඩ් චන්ද්‍රවංකයේ පිහිටා ඇති ඔහුගේ නිවෙසේ අංකය 42 ය. ඝනකම සහිත උපැස් යුවළක් පැළඳ සිටිය ද මාර්ටින්ගේ වයස අවුරුදු 53 පන්නා නැත. තවමත් ඔහු දූරකථන සමාගමක අලෙවි ප්‍රධානී ලෙස රැකියාව කරයි. වෘත්තීය ඉණිමගේ ඉහළම පෙත්තක පිහිටා ඇති අධ්‍යක්ෂ ධුරයක් සඳහා සිහින දකිමින් සිටි ඔහු ප්‍රධාන ශාඛාවේ නාම පුවරුවක් සහිත මේසයක වාඩි වී යටත් සේවකයන්ගෙන් ‘සර්’ යනුවෙන් ඇමතුම් ලැබීමට බලාපොරොත්තු වූයේ කලකට පෙර ය. එකල ඔහු තමාගේ බිරිඳට උජාරුවෙන් කියා සිටියේ මෙසේ ය.
‘දැං ඕනම වෙලාවක මං මැනේජර් කෙනෙක් වෙන්න ඉඩ තියනවා’.
මේ වන විට ඇය පුවත්පත් නියෝජිතයා සමඟ සැඟවී ගොස් දුර ඈතක පදිංචි වී අවසන් ය. ඒ අතර දීප්තිමත් බොකුටු හිසකෙස් සහිත තරුණයෙකු ඔහුට ඉහළින් උසස්වීමක් ද ලබා තිබේ. ඉතින් දැන් ඔහුගේ ජීවිතයට අවශ්‍යව ඇත්තේ කිසියම් වූ හැරවුමකි. මේ ගැන කෙටිකතාව එක වැකියකින් ඉඟි කරන්නේ මෙසේ ය.
‘ගැලවුම්කාර භූමිකාවට ඔහු අපූරු තෝරාගැනීමක් විය’
මාර්ටින්ට භක්තිවන්ත ආගමිකයකු වීමට බැරි වීමේ එක් හේතුසාධකයක් නිර්මාණය කර දී තිබුණේ ප්‍රදේශයේ ඇන්ග්ලිකානු පූජකවරියයි. මාර්ටින්ගේ ඉල්ලීම පරිදි, ඔහුගේ බිරිඳ සදාකාලිකව නිරයට යැවීමේ ශාපය සහතික කිරීම, මේ පූජකවරිය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම ඊට හේතුවයි. ඒ නිසාම මාර්ටින් හා පූජකවරිය අතර නිර්මාණය වී ඇත්තේ ද විරසකයකි. නිරතුරුවම වාගේ මාර්ටින්ගේ සිත පෙඵෑ ව්‍යකූලත්වය කෙටිකතාව හඳුන්වන්නේ ආධ්‍යාත්මික කැසිල්ල ලෙස ය. එය ඔහුගේ ඉච්ඡාභංගත්වයට කදිම දීගයක් වූවේ ය.
මාර්ටින් දිනක් අන්තර්ජාලය පීරමින් සිටින්නේ අලුත් බූට් සපත්තු පිළිබඳ ආකර්ෂණීය වෙළෙඳ දැන්වීමක් සොයමිනි. එහෙත් දෛවෝපගත ලෙස ඔහුගේ නෙත් දකින්නේ වෙනත් වෙළෙඳ භාණ්ඩයක ශීර්ෂ පාඨයකි.
මිල අඩු පූජක නිල ඇඳුම්
මාර්ටින්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය සලකුණු වූ එතැන් පටන් සියලු සිදුවීම් පෙළ ගැසෙන්නේ මාර්ටින් හෝ සිතාසිටි ආකාරයට නොවේ. රිච්මන්ඩ් චන්ද්‍රවංකයේ නිවෙස්වල තැපැල් පෙට්ටි තුළට අමුතුම ලියවිල්ලක් රිංගා ගන්නේ මේ අතරේ ය.
‘ඔබ ජීවත් වන්නේ ආගමික ශූන්‍යත්වයක ද?
සාදාචාරාත්මක ප්‍රබෝධකයක් පතනවා ද?
නගර සභාවේ ප්‍රතිචක්‍රීයකරණ වියදම් ගැන කෝපයෙන් ද?
මේ සිකුරාදා 8.00 ට මාර්ටින් සහෝදරතුමා හා එක්වන්න.
ඇරියුම සැම දෙනාටම ය.’ (44 පිට)
ප්‍රදේශවාසීන් තුළ එක්තරා අවදිමත්බවකට මෙන්ම කලබැගෑනියකට ද මුල පුරන්නේ ඉන් පසුව ය. මාර්ටින් පසුවන්නේ බලාපොරොත්තු සහගතව ය. නගර සභාවේ ප්‍රතිචක්‍රීකරණ වියදම් ගැන ප්‍රදේශවාසින්ට ඇඟිල්ලෙන් ඇන මතක් කරදෙන්නට ඔහුට ඕනෑ වුයේ නගර සභාව තමාට කර තිබු කෙනෙහිලිකම්වලට සරිලන්නට ය. පරණ පත්තර කසල බඳුන්වලට ඔබා තැබීම පිළිබඳ සිල්ලර කාරණාව නගර සභාවට පෙනී ගොස් තිබුණේ තමා පුද්ගලික මට්ටමින් ගෝලීය උණුසුමක් නිර්මාණය කළ ආකාරයට ය.
ඒ සිකුරාදා මාර්ටින් නිවෙසට පැමිණෙන්නේ කැවිලි පෙවිලි පාර්සලයක් ද අතැතිව ය. අනතුරුව ඔහු ඉදිරි කාමරයක වූ කෝපි මේසය මත වීදුරු තබා සකස් කර බලාපොරොත්තු සහගතව කාමරයට වදියි. අලුත් පූජක ලෝගුව ලාගනියි. කැඩපත තුළින් ඔහුට හමුවන්නේ අධිකාරී බලය හා ප්‍රඥාව ප්‍රකට කරන අමුත්තෙකි. එහෙත් අඩුපාඩුවක් ද තිබේ. අමුත්තාට හිස්වැස්මක් නැත. වෙබ් අඩවියේ තිබු බිෂොප් හිස්වැස්ම මිලට ගැනීමට ඔහුට අමතක වී ගොසිනි.
රෑ අටට විදුලී සීනුව නද දෙන්නට වෙයි. කලබලයෙන් වහ වහා යද්දී තමා පය පැකිළී වැටෙන්නට ගියේ ඇයි දැයි මාටින්ට මතක් වන්නේ එසැණිනි. නුපුරුදු ලෝගුව ඇඟිලිවලින් ඔසවා ගනිමින් ඔහු ජෙසී හික්ස් සඳහා දොර විවර කරයි. ඇගේ පදිංචිය ඉහළ මාලයේ අංක 2 දරන නිවසේ ය. ඉනික්බිතිව අසල්වැසියෝ පෝලිමටම පැමිණෙති.
රජිව්….. ජොනතන්…. එමා යුවල …. ෆ්‍රොබිෂර් මහත්මිය….. ආහාර පානයෙන් සන්තර්පණය වූ පිරිස අමතා මාර්ටින් පූජකතුමා නැගී සිටියි. නිහඬතාව ඉල්ලා සිටිමින් අත ඔසවයි.
‘අපි ඇස් පියාගෙන හිස් පහළට හරවා ගමු. ආරම්භක යාච්ඥාවකට’
ඒ සමගම ඔහුගේ සිතට චකිතයක් නොසන්සුන්තාවක් නැගෙයි. ශාන්ත පීතර චතුරස්‍රයේ සඳලුතලය මත දී පාප්තුමා මුණ දෙන්නේත් මේ මනෝභාවයට විය හැකි යැයි ද සිතෙයි. සිය ආගමේ මූලික නියාමනයන් මාර්ටින් පූජකතුමා පැහැදිලි කරන්නේ යාච්ඥාවෙන් පසුව ය.
‘රෑ 10.00 න් පස්සේ සංගීතය බෑ’
‘බීලා පාරවල්වල වමනෙ දාන්න බෑ’
‘ගෙවල් ඉස්සරහ වල් ගැලවීම අනිවාර්යයි’
‘සිකුරාදාට මා`ඵ වෙනුවට වෙන වෑංජනයක් අනිවාර්ය කළොත් නරක ද?’ ඒ රජිව ය. ආසන්නම ‘ටේක් අවේ’ අවන්හලේ අයිතිකරු ඔහුගේ මස්සිනා ය.
‘බල්ලන් එහෙ මෙහෙ කැත කරන්න බෑ. දඬුවම් කරන්න ඕන-දඬුවම මොකක්ද මාර්ටින්?’ ෆ්‍රොබිෂර් මහත්මිය විමසුවා ය.
‘අපායෙ ගින්දර’ මාර්ටින් කියා දැම්මේ, ක්‍රමයෙන් වැඩෙන ඔහුගේ ආගමික ගැඹුරින් බාහිරව, සූදානමක් නොමැතිව ය. ප්‍රජාතන්ත්‍රවාදය ඔහුගේ සැලසුම නොවීය.’
‘මරු! බල්ලන් කැත කරනවට දඬුවම අපායෙ ගින්දර. අපි සභා වාර්තාවක් ලියනවද? මං ඒ වැඩේ කරන්නද?’ (48-49 පිටු)
මේ කුඩා ඇරඹුම සුළිසුළඟක් බවට පත්වන්නේ මාර්ටින් පූජකතුමාගේ පෞද්ගලික න්‍යාය පත්‍ර, කෝන්තර යක්ෂාරූඪයක් ලෙස ක්‍රියාත්මක වීම ඇරඹුණ දා සිට ය. පියතුමාගේ දූත මෙහෙවර අතරතුර මෙන්ම ප්‍රදේශයේ විනය පාලනය සඳහා වීදිවල මුර සංචාරයේ යෙදෙන්නට යොමුවු අතරමැදි අවස්ථාවකදීත් ඊට අවහිර කරමින් පරුෂ බස් දොඩා තිබුණේ ලූෂන් නම් වූ ඔහුගේ පසමිතුරු අසල්වැසියා ය. භක්තිමතුන් මාර්ටින් පියතුමාගේ ගෙමිදුලේ පැවැති බාබකියු සාදයේ සොසේජස් වටා එක්රොක්ව සිටිය දී ලූෂන් කුදලාගෙන එනු ලබන්නේ ද බැතිමතකු විසිනි.
“උඹ මට ‘බාබකියු’ අඬු දික් කරනවද? භූතයා!” ලූෂන් යටිගිරියෙන් මොර දුන්නේ ය. “උඹේ මේ වඳුරො මගෙන් අහකට ගනින්.”
“ලූෂන් මාක්ස්බෙරි, රිච්මන්ඩ්! ආගමික නියමයන්ට යටත් වෙන්න තමුන් එකඟ වෙනවද?” මාර්ටින් අමුතු තානයකින් ප්‍රශ්න කළේ ය. ( 51 පිට)
පව්කාර පසමිතුරන්ට දේව දඬුවම් පමුණුවන්නට, ඔවුන් පු`ඵස්සාලීම සඳහා බාබකියු ගින්නෙන් අපා ගිනි දල්වන්නට මාර්ටින් දරණ උත්සාහය අනුනමයෙන් වැළකී යන්නේ දෙවියන්ගේ සම්ප්‍රාප්තියකින් නොවේ. පොලීසිය කඩාවැදුණ නිසා ය. ‘ද ක්‍රොනිකල්’ පුවත්පතේ පසු දා පළවන්නේ සම්පූර්ණ බිෂොප් ඇඳුමෙන් සැරසී දැවෙන ගිනිඅඟුරක් තර්ජනාත්මක ලෙස ලෙළවමින් සිටින මිනිසෙකුගේ ඡායාරූපයකි. ඊට ඉහළින් අකුරු පේළියක් ද වෙයි.
ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න.■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි