No menu items!
24.8 C
Sri Lanka
12 May,2024

දෝසයි, මෝතගම්, කොකට්ටෙයි සමග
බර්ගර්, පිසා හැදෙන ඉයක්කි බොජුන්හල

Must read

■ මුහම්මද් තාරික්

ශ්‍රී ලංකාවේ උතුරුකරයේ ඒ9 මාර්ගයේ කිළිනොච්චියේ තල්අරණේ ඉයක්කච්චි හංදියේ සිට මීටර් 100 ක දුරින් “ඉයක්කි බොජුන්හල” පිහිටා ඇත. යුද්ධයෙන් අවතැන්වූ නොහොත් යුද වැන්දඹුවන්ගේ අත් ගුණයෙන් රසගැන්වුණු කෑමවලින් යුත් මෙම බොජුන්හල පවත්වාගෙන යන්නේ එම කාන්තාවන්ගේ ශක්තීන්ගෙන් කුළුගැන්වීමෙනි.
ඉයක්කි බොජුන්හල තල් වැටකින් වටකර ඇති අතර එය යාල්පානම් කලාව සංස්කෘතිය ආවේණිකත්වය පෙන්වා දෙන්නකි. දැනට අවුරුද්දකට පෙර කිළිනොච්චි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත්වූ ස්ථානයක ආරම්භ කරන ලද මෙම බොජුන්හලේ සූපවේදිනිය වන්නේ ඉමයකුමාරිය. ඇය විශේෂ වන්නී, කඳුළු පිසදා නැගී සිටීමට වෙර දරන කාන්තාවක නිසාමය.


‘යුද්දෙදි මගේ ස්වාමි පුරුෂයා නැති වුණා. ඉන් පස්සේ පණ බේරගෙන ජීවත් වෙන්න මං ගොඩක් දුක් වින්දා. යුද්දේ අවසන් වුණාට පස්සේ අපිට කියලා මොකුත්ම ඉතිරි වෙලා තිබුණේ නැහැ. මං රට ඉන්න මගේ යාළුවෙක් මාර්ගෙන් පිටරට ගියා රස්සාව කරන්න. සිංගප්පූරුව, මැලේසියාව වගේ රටවල රස්සාව කළා. මට භාෂා 5ක් කතා කරන්න පුළුවන්. මං කෑම ජාති හදන්න ඉගෙන ගත්තේ සිංගප්පූරුවේ ඉඳිද්දි. අන්තිමට හිටියේ මැලේසියාවේ. මම ලංකාවට ඇවිත් අවුරුදු එකහමාරක් වෙනවා. ඇවිත් කරන්න දෙයක් තිබුණේ නැහැ. ඊට පස්සේ රජයේ අනුග්‍රහයෙන් මේ තැන බොජුන්හලක් කරන්න යෝජනාවක් ගෙනාවා. යුද්දෙන් අසරණ වුණ මං වගේ ගැහැනු තව 4 දෙනෙක් මෙහෙ ඉන්නවා. අපි එකතුවෙලා මේක පවත්වාගෙන යනවා.’


යුද්ධයෙන් අනාථ වූ වැන්දඹුවන්ට අතහිත දීමට හා ඔවුන්ගේ හැකියාවන් ප්‍රවර්ධනය කරමින් ආර්ථික ප්‍රතිලාභ ලබාගැනීමට අඩිතාලම යෙදීමට ඇරඹුණු මෙම බොජුන්හල කෙටි කලකින්ම ඉතාම සාර්ථක එකක් වී ඇත. බොජුන්හල් පරිශ්‍රය තුළ මුළුතැන්ගෙයක් මෙන්ම පිඟන් කෝප්ප, මේස, පුටු, ද්‍රව්‍ය ඉවතලෑමට, භාජන සේදීමට වතුර පයිප්ප හා සින්ක්ද වැසිකිළිද රජය අනුග්‍රහයෙන් සපයා දී ඇත. එළවළු පමණක් නොව මස් හා මාළු ආහාර වර්ගද මෙහි ඇති අතර රස තරම්ම මිලද සාධාරණ වීම එහි ඉල්ලුමට හේතුවිය හැකියි.


“මට ගොඩාක් කෑම ජාති හදන්න පුළුවන්. යාපනයට ආවේණික දෝසයි, ඉට්ලි, පිට්ටු, පරිත්තිතුර වඩේ කෑම වර්ග වගේම ඉඳි ආප්ප කොත්තු, පිට්ටු කොත්තු, තක්කාලි චට්නි, පීසා, බර්ගර් ඒ වගේ කෑමත් හදන්න පුළුවන්. ධාන්‍ය යොදාගෙන හදන මෝතගම්, කොකට්ටෙයි, පනම්කායි පනියාරම්, කේසරි වගේ දේවලුත් හදන්න පුළුවන්. කිළිනොච්චි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩකරන නෝනලා මහත්තුරුත් මෙහෙ ඇවිත් කෑම කනවා. ඒ වගේම ඒ9 පාර ළඟ නිසා වාහනවලින් යන එන අයත් කෑම කන්න මෙහෙ එනවා. පටන් ගෙන පොඩි කාලයක් වුණාට, දැන් ඉයක්කි කිව්වම ප්‍රසිද්ධයි.”


හැම ආහාර දීසියක්ම පිළිගන්වන්නේ, දීසිය උඩින් කෙසෙල් කොළයක් තැබීමෙනි. ආහාර මෙනුවේ සඳහන් ආකාරයට දිනපතාම උදෑසන කොළ කැඳ ඇත. දිනපතා විවිධත්වයෙන් යුතු කොළ ජාතිවලින් එම කොළකැඳ සමන්විත වේ. චිකන් පරාටා අමුතුම කෑම අත්දැකීමකි. චිකන් පරාටා හරියට බිත්තර රොටියක් මෙනි. එහි මැද බිත්තර වෙනුවට චිකන්, කැරට්, ලූණු අඩංගු මිශ්‍රණයක් යොදා ඇත. ප්‍රධාන ආහාර වේලෙන් පසුව රසම් පානය කළ හැකිය. ව්‍යංජන අතර මුරුංගා, වම්බටු, මෑකරල්, කඩල හොද්දක්, කරනෛ කිලන්ගු, පලා වර්ගයක් සමග මාළුවක් ප්‍රධාන කෑම වේලට වරදින්නේ නැත. හොඳ සුප් කෝප්පයට ගෙවිය යුතු වන්නේ රුපියල් 50ක් පමණය. එළවළු මෙන්ම බිම්මල්වලින් ද මස් මාළුවලින්ද රසගන්වන ආහාර, පලතුරු යුෂ පානයක්ද සහිත කෑම වේලක් රුපියල් 200ක් පමණකි. එයින් බඩකට පමණක් නොවේ, හිතද පුරවාගත හැකිය.


ඉයක්කි බොජුන්හලේ පලතුරු යුෂ පානයන් හදන්නී, වාසුකී ය. 2009 වසර වාසුකිට තම ජීවිතයේ අඳුරුතම වසර වූයේ තමා සතු සියලු දේ යුද්ධය විසින් උදුරා ගැනුණු නිසාය. යුද්ධයෙන් පසුව වාසුකීට ජීවිතය නැවත මුල සිට පටන් ගැනීමට සිදුවෙයි. වාසුකි ඇයගේ වචනයෙන්ම මෙසේ කියන්නීය.


“යුද්දෙන් පස්සේ කඳවුරුවල ජීවත් වුණා. පස්සේ පරණ දේවල් අමතක කරලා මටම කියලා ජීවිතයක් හදා ගන්න ඕනෑ වුණා. මං කෑම ජාති හදලා කඩවල්වලට දැම්මා. ලැබෙන දෙයින් පිරිමහගෙන ජීවත් වුණා. අපිට දුක පුරුදුයි. ස්වාමි පුරුෂයන් අහිමිවුණ කාන්තාවන් ඉන්න පවුල් බොහෝමයක් තියෙනවා. අපිට යුද්ධය කියන වචනය ඇහුණත් පුදුම බයක් අදටත් දැනෙන්නෙ. යුද්ධය නිසා ජීවිතයේ ගොඩක් දේවල් නැති වුණා. ඒත් අපේ ඒ අහිමිවීම් ගැන හිත හිතා දුකින්ම ජීවත් වනවාට වඩා ඉතුරු වෙලා ඉන්න අයත් එක්ක ජීවිතයේ ඉතිරි කාලය ඉදිරියට ගෙනියන්න උත්සාහ ගන්නවා.”


වාසුකි ඒ වචන කිහිපය හදවතින්ම කතා කළේ කඳුළු තදකරගෙන වුණත් ඒ මතකය සිහි කරද්දී කඳුළු පාලනය කරගන්නට බැරි විය.


“කෑම ජාති හදලා කඩවලට දාන වැඩේ කොරෝනා නිසා නැතිවුණා. ඊට පස්සෙ තමයි මෙතනට පලතුරු බීම හදන්න එකතු වුණේ. මෙතන ඉඳන් අක්කලාත් එක්ක වැඩ කරගෙන යනවා. පලතුරු බීම රුපියල් 70කට දෙනවා. මේ මාසෙ ඉඳන් සංචරණ සීමා අයින් කළ නිසා දැන් බිස්නස් එක හොඳයි.”


උදේ 7 සිට හවස 6 දක්වා ඉයක්කි බොජුන්හල විවෘතව ඇත.


කුමක් සාදනවාද? කොපමණ සාදනවාද? කෙතරම් ලාබ ලබනවාද? යන වග ඔවුහුම නිගමනය කර ගනිති. මුදල් පාලනයට හුරුවීම හා වඩාත් ඵලදායී ලෙස මුදල් හා තම සේවා හසුරුවා ගැනීම කෙරෙහි ගන්නා තීරණ තමන්ගේ පැවැත්මට ඍජුවම බලපාන බැවින් ඔවුහු ඉතා කැමැත්තෙන් කැපවීමෙන් හා සතුටින් මෙම කාර්යයේ නියැළී සිටිති. යාල්පානම් ප්‍රදේශයේ තිස් වසරක යුද බිමක බැට කෑ කාන්තාවන්ගේ අනාගතයට අඩිතාලම් දැමීමට අවශ්‍ය පසුතලය හා යටිතල පහසුකම් සපයා දීම තුළින් වඩාත් හිතකර පරිසරයක් යාපන අර්ධද්වීපයේ ගොඩනැගීම මුළු රටේම යහපතට තුඩුදෙනු ඇත. රජයේ ආධාර, පහසුකම්, සුහද ඇරියුම් මැද සුදුසු ආයෝජන පසුතලයක් ගොඩනැගීම ඉතාම වැදගත් වෙයි.


ඒ9 මාර්ගයෙන් යාපනයට යන එන ගමනේදි කිළිනොච්චි ඉයක්කච්චිහි මඳකට නැවතී “ඉයක්කි බොජුන්හලෙන්” නවමු රසාස්වාදයකින් කෑම වේලක් ලබාගැනීමට ඔබට හැකිය.
විශේෂ ස්තූතිය: යාපනයේ තවකරන්■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි