No menu items!
21.8 C
Sri Lanka
28 March,2024

කේක් ගෙඩි අප්පුලා 

Must read

මේ කොලම ලියන්නේ මැතිවරණ කැම්පේන අවසන් වූ රාත්‍රියේ ය. එනම් ඉරිදා ය. සඳුදා හා අඟහරුවාදා කැම්පේන කටයුතු කිසිවක් කළ නොහැකි නොනගතය එළඹේ. ඩිජිටල් කැම්පේන පසුබිමක නොනගතය රකී ද කියා විශ්වාසයක් නැත. පොලිසිය විසින් තාප්පවල පෝස්ටර් ඉරා දැමීම, කොඩි වැල් කැපීම, මයික්-ලැයිස්පීකර කුදලාගෙන යාම  ආදි කටයුතු කරන මෙන් ඩිජිටල් මාධ්‍ය නියාමනය ලෙහෙසි පහසු නැත.  ඇත්තෙන් ම මෙවර මැතිවරණ ව්‍යාපාර හෙවත් කැම්පේන අඩු වැඩියෙන් කරගෙන ගියේ ඩිජිටල් හෙවත් සමාජ මාධ්‍ය ඔස්සේ ය. කැම්පේනවල උණුසුම් අංගයක් වන ප්‍රතිවාදියාට පහර දීම ද මෙවර කරනු දක්නට ලැබුණේ සයිබර් අවකාශයේ ය. මෙවර කොලමේ මා සාකච්ඡා කරන්නේ එම සයිබර කැම්පේනවල ගතිකයින් ගැන ය. කෙසේ වෙතත් මෙම කොලම පළවන විට මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වී අවසාන ය. යට කී කැම්පේනවල ඡන්ද ගැනීමේ හා කැඩීමේ බලපෑම ද අපට ඒ වන විට පහසුවෙන් තේරුම් ගත හැක.  

මැතිවරණ කැම්පේන කලකට පෙර කළේ දේශපාලන පක්ෂයේ ම අයවළුන් ය. ලෙටර් ප්‍රෙස් ක්‍රමයට අච්චු ගසාගත් දැන්වීම් කොල, පෝස්ටර හා කොඩිවැල් සැරසිලි වූ අතර අදාළ පක්ෂයේ පාටින් කුඩා මේසයක ඇතිරූ ඉටි කොලයක් මත තබා ඇති ඔරේන්ජ් බාර්ලි හෝ නෙක්ටෝ බෝතලය සහිත පොකට් මීටීම ද මතක් කරනු වටී. මේ අහිංසක හා වැඩි වියදමක නැති ආධුනික කැම්පේන අඩු වැඩි වශයෙන් 1977 වන තෙක් ම අපට දක්නට ලැබිණ. ක්‍රමයෙන් මැතිවරණ කැම්පේන වෘත්තීය දැන්වීම්කරුවන් විසින් කරනු ලැබීය. 1977 දී 5/6 ක බහුතරයකින් බලයට පත් වූ ප්‍රබල රජයේ මාධ්‍ය ඇමති වූ ආනන්ද තිස්ස ද අල්විස් මහතා ප්‍රවීණ දැන්වීම්කරුවෙකි. ඉන් පසු එක්සත් ජාතික පක්ෂයේ එම භූමිකාව තවත් ප්‍රවීණ දැන්වීම්කරුවෙකු වූ අර්වින් වීරක්කොඩි මහතා ඉටු කළේ ය. ආර් ප්‍රේමදාස යුගයේ තම කැම්පේන සඳහා ජාත්‍යන්තර දැන්වීම් ඒජන්සි ද සම්බන්ධ කරගති. එකල නවමු අත්දැකීමක් වූ ප්‍රකට ටීසර කැම්පේනයක් ලෙස ‘මේ කවු ද මොනව ද කරන්නේ‘ පෝස්ටරය රට පුරා ඇළවුණේ ආර් ප්‍රේමදාස ජනාධිපතිවරණ අපේක්ෂක නාමයෝජනාව භාර දීමට ඔන්න මෙන්න තියා ය. එම කැම්පේනය කළේ ලෝ සුපතළ සාචි සහ සාචි දැන්වීම් ඒජන්සිය විසිනි.

මේ වන විට මැතිවරණ කැම්පේන මුළුමනින් ම පාහේ කරන්නේ වෘත්තීය දැන්වීම් ඒජන්සි විසිනි. එවන් සමහර ඒජන්සි එක් එක් පක්ෂ හා අපේක්ෂකයින් ප්‍රවර්ධනය පෞද්ගලික මට්ටමින් ද කරනු රහසක් නොවේ. මෙවර කැම්පේන ඩිජිටල් මාධ්‍ය ස්වරූපයක් ගත් අතර ඒවා ප්‍රචාරණය වූයේ සමාජ මාධ්‍ය වේදිකා තුළ ය. ඒවායේ වැඩි රසක් හෝ නවමු බවක් නම් නොතිබුණ  බව කිව යුතු ය. කැම්පේන සඳහා අත දිග හැර  වියදම් කිරීමේ හැකියාව වඩා ම තිබුණේ පොහොට්ටුවට ය. එහෙත් ඔවුන් විසින් මෙවර දැනෙන මට්ටමේ කැම්පේනයක් කළේ නැත. සමහර විට ඒ ඔවුන් පහසුවෙන් තරඟයක් නැති ව දිනනවා යන දැඩි විශ්වාසය ඔවුන් අතර තිබුණ නිසා විය හැක. අලි-ටැලි ලෙස දෙකඩ වූ එක්සත් ජාතික පක්ෂයේ දෙබෑයන් ද දැනෙන මට්ටමේ කැම්පේනයක් කළේ නැත. බලපෑම හා ප්‍රතිඵල කෙසේ වෙතත් මහත් උනන්දුවකින් කැම්පේන කළේ නම් ඇහැට කනට පෙනෙන ජාජබී නංගිව ඉස්සරහට දාගත් ගෙදරට වයසට ගිය ජවිපෙ අක්කා ය. පෙර කල ජවිපෙ කැම්පේන කරන නිශ්චිත ක්‍රමවේදයක් තිබිණ. දිවි දෙන්නට හෝ සූදානම් පූර්ණ කාලීන කාඩරයක් සිටි ජවිපෙ තාප්ප වැහෙන්න අතින් ඇඳි පෝස්ටර ගැසී ය. රත්මලානේ ග්ලැක්සෝ කර්මාන්ත ශාලාව හා සොයිසා මහල් නිවාස අතර පිහිටි අති විශාල තාප්පයක ජවිපෙ පෝස්ටරයක් බිල්බෝඩයක් ලෙස තිබුණා මතක ය.  යහමින් අතේ සල්ලි-බාගේ ගැවසෙන පක්ෂයක් වන ජවිපෙට මේ වන විට යට කී ශ්‍රම-සුරු (ක්ඉදමර-සබිඑැබිසඩැ) කැම්පේන කළ යුතු නැති අතර නිදි මරමින් පාප්ප බාල්දි ඇඳි කාඩරවරුන් දැන් ඔබ්සලීට හෙවත් අවලංගු වී ඇත. දැන් ජවිපේ ඇත්තේ පාප්ප-කාඩර්වරු නොව ඩිජිටල්-කාපර්වරු ය. මොවුහු යට කී හාර්ඞ්-කෝර් කාඩරයට වඩා පහසුකම් භුක්ති විඳින, කැමති වෙලාවට රැඩිකල් වෙන කැමැති වෙලාවට ලිබරල් වන ෆ්ලෙක්සි-රෙවලුෂනරීස් හෙවත් මිගෙල්-දනියෙල් විප්ලවවාදීහු ය.        

පාප්ප-කාඩරවරුන්ට සිකරැට්-අරක්කු තහනම් වුව ද ජවිපෙ නව්‍ය විප්ලවවාදීන්ට ජිං-ටොනිකයක් තොලගාන හමන් කේජියක් අදින ගමන් පක්ෂයට නිර්මාණශීලී ටැග්-ලයින, ලෝගෝ, පෙස් බුක් මීම, සූටි සූටි ජින්ගල, ඇඞ් කෑලි සෑදීමේ  නිදහස ඇත. පෙර කල මෙන් යමක් පක්ෂයේ පොලිටි බියුරෝවෙන් මධ්‍යම කාරක සභාවෙන් අනුමත වීම තව දුරටත් අවැසි නැත.  තමන් සිතා, මෝස්තරය නිමවා, සයිබරයේ පොස්ටුගත හෝ උඩුගත කිරීම කරන්නේ කේවල විප්ලවවාදියා ය. එම ප්‍රවේශයේ වාසියක් ඇත. ඒ මෙසේ ය. සතියකට පමණ යට කී පන්නයේ නිර්මාණශීලී දැන්වීමක් පෙස් බුකයේ පළ විය. නොම්බරයක් නම ලෙස යෙදූ අසුව දශකයේ ජනප්‍රිය චිත්‍රපටයක ගීතයක් එකල සිහින කුමරා ලෙස සැලකූ අතිශය කඩවසම් නළුවෙකුත් යට ගිය දවස ජනප්‍රිය විකට නළුවෙකුත් ගයන-රඟන කෙටි දසුනක් දැන්වීමේ බොඩිය ලෙස භාවිත විය. ගීතය කැපෙන්නේ යට කී පක්ෂයේ අපේක්ෂකයෙකුගේ රුව, නම හා මනාප අංකය ට ය. එම අංකය යට කී චිත්‍රපටයේ නම වන අංකය ද සමාන ය. වාවු !! කෙතරම් නිර්මාණශීලී අදහසක් ද ? එහෙත් දැන්වීම්කරුට මෑතකාලීන ඉතිහාසය ද අපේක්ෂකයාගේ ජීව-දත්ත ද අමතක වී දෝ ද කියා මට සිතුණේ මේ නිසා ය. අදාළ කසවසම් නළුවාගේ පියකරු මුහුණ ගල් කටස වෙඩි පහරකින් සුණු විසුණු කර මහා දවල් ඝාතනය කළේ යට කී පක්ෂය ම ය. කවට නළු තෙමේ මිය පරලොව ගිය විට මළකඳ ඉල්ලා පාර්ශ්ව ද්වයක් මහා කලබැගෑනියක් කළේ ය. මෙම නළු මළකඳන් දෙක ම අදාළ පක්ෂයට හා අපේක්ෂකයාට පාරා වලල්ලක් මෙන් පතිත වන්නට මහා කලක් ගියේ නැත. තණකොළ කපන්නට ගොස් සුරුස් ගා ගහෙන් බභිනා සේ අප දැන්වීම්කරු කීවේ තමන් එම දැන්වීම ‘ජොලියට‘ කළ එකක බවයි. මෙම ප්‍රවේශයේ වටිනාකම වන්නේ පක්ෂයට ද අදාළ පුද්ගලයාට ද වගකීම නොගෙන සිටීමේ පහසුකම යි. දැන්වීම පත්තු වුණා නම් හිමිකාරත්වය ද ගෞරවය ද දෙපාර්ශ්වය ම වැළඳ ගනු අතර එය තමන්ට පත්තු වන්නට එන විට මග හැර යා හැක.     

මෙම කැම්පේන සමයේ වඩාත් ම පත්තු වූ දැන්වීම නිර්මාණය වූයේ අවර ගණයේ අයෙකු ලෙස සැලකෙන, සාපේසක්ෂ ව තරුණ නොදරුවෙකු අතිනි. මෙම පීචං තරුණයා යට කී පක්ෂය ප්‍රති-සන්නම්කරණය හෙවත් රී-බ්රෑන්ඞ් කිරීම කළේ සාමාන්‍යයෙන් තිරිසන් සතුන්ට යොදන පදයක කොටසක් පක්ෂයේ නමට සන්ධි කිරීමෙනි. පක්ෂයේ පේස්බුක් බලකායේ පූර්ණකාලීන මහැදුරෝ (බදු මුදලින් පඩි ලබන නමුත් 9-5 කාලය තුල නිරතුරු පේස්බුකයේ ලැග සිටින) ද පෙරකදෝරුවරු ද යට කී අවර තරුණයා මරාගෙන කෑ හ. එහෙත් එය කොරෝනාවට ටැස්ට් කරන බෙහෙත් මෙන් අසාර්ථක විය. ඔය අල්ලේ පනල්ලේ නව ලිබරල් ආර්ථික මතධාරියෙකු ලෙස සැලැකෙන සිනමාකරුවෙකු යට කී දැන්වීම ගැන අදහසක් පළ කර සිටියේ ය. ඔහු කී පරිදි ම ඔහු නම් කළ මෝස්තරකරුවා ම ප්‍රති-ටැග්ලයිනයක් නිර්මාණය කළේ පක්ෂය වෙත තරුණයා විසි කළ උපහාසාත්මක හා අපහාසාත්මක චීත්ත රෙද්දෙන් කුරුතාවක් හා ජන්ගියක් මසා ගන්නා ආකාරයකිනි. මේ වන විට යට කී පක්ෂයේ අයවළුන් දිගට හරහට චීත්ත කුරුතා හා ජංගි, පේස්බුක් මීම ලෙස ‘සෙයාර්’ කරති.

මේ දකින විට මට සිහි වුණේ අප කුඩා කාලයේ කළ සෙල්ලමකි. එනම් අප කාට හෝ පුළුවන් නම් ‘කේක්-ගෙඩි-අප්පු‘ කියා දිගට ම කියා ගෙන යන ලෙස ‘ලණුවක්‘ දීමයි. ඕකත් වැඩක් ද කියා වීරයා ලෙස  ‘කේක්-ගෙඩි-අප්පු‘ කියා දිගට ම කියාගෙන යන විට ඉන් හඬ නැගෙන නව අර්ථය හේතුවෙන් ලණුව දෙන්නා හා අසා සිටින පිරිස කොක් හඬලා සිනාසෙති. එහෙත් තම මන්තරයෙන් අනුනට ඇසෙන්නේ කුමක් ද බව නොදැන තම වීරකම ගැන උජාරුවෙන් මෙම කේක්-ගෙඩි-අප්පුවරු තම මන්තරය කියාගෙන කියාගෙන යති ! පොහොට්ටුකාර අවර නොදරුවෙකු හා නව ලිබරල් වැඩිහිටියෙකු  දුන් ලණු දෙකක් ඇත්ත මිනිස් වර්ගයා විසින් දෙපොටට අඹරා එළියට ගන්නට උගහට ගානට දැන් ගිල අවසාන ය.■   

උදන් ප්‍රනාන්දු

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි