20.8 C
Sri Lanka
25 May,2022

හෙන්ද්රික් සිඤ්fඤා්, හෙන්රි සහ නිශ්ශංක: නිශ්ශංක දිද්දෙණිය

Must read

■ අරුණ ජයවර්ධන

රත්නපුරේ පනාවැන්න කියන ගමේ, එක්දාස් නවසිය හතලිස් ගණන්වල ඉපදුණු කොල්ලෙකුගේ නම නිශ්ශංක දිද්දෙනිය වෙන්නේ කොහොමද?


අපේ ගම්වල තිබුණේ පිටරටින් ආපු නම්. බුද්දාගම්කරයො දාන්නේ සයිමන්, සිමියොන් වගේ නම්. අපේ ලොකු අයියාගෙ නම සිමියොන්. දෙවැනි අයියාගෙ නම සයිමන්. පොඩි අයියා පියදාස. අක්කා රොසලින්. අම්මා ඇලිස්. ඔක්කොම ඉංග්‍රීසි නම්.

ඔබ නිශ්ශංක?


නෑ, මගේ මුල් නම හෙන්ද්‍රික් සිංඤෝ. මට පස්සෙ කාලෙ මේක මානසිකව බලපෑවා. ගමේ ඉස්කෝල කොල්ලො සෙල්ලං කරනකොට ‘හෙන්දිරිකා මන්දිරිකා වල්ග දෙකේ මීහරකා’ කියනවා. ගහමරා ගන්න හදනවා ඉතින්. ඒත් ඒගොල්ලන්ගෙ නමුත් ඒ වගේ. අප්පු සිංඤෝ, කරුණාවතී, සුමනාවතී, හරිස්වතී.. මගේ පන්තියේ ළමයින්ගෙ නම්. බියටි්‍රස්, ඇග්නස්, මොනිකා වගේ ඒවා තමයි ආඩම්බරකාර නම්.

හෙන්දිරික් සිංඤෝ කියලා දැම්මේ ඇයි?


අපේ තාත්තාගේ අයියලාගේ යාළුවෙක් හිටියා හෙන්දිරික් සිංඤෝ කියලා, රබන් ගහන එක්කෙනෙක්. හොඳටම රබන් පද දන්න එක්කෙනෙක්. රබන් කියමන්, සින්දු කවි, සුරල් පද, අත්මාරුව හොඳට දන්නවා. අපේ මහගෙදර මිදුල වටේට කට්ටිය ඉඳගෙන මෙයා ඉතින් වැඩ පෙන්නනවා. පුංචි අයියා ගාව රබන් කවි ලියපු පොතක් තිබුණා. ඒකෙ එක කවියක් මට මතකයි.


‘සද්ද ඇතුව අත තබනට
ලෙලවා අත පය නොවිතර
සිද්ද වෙවී කවි ගායන
සරඹ සුරල් දී මනහර
වැද්ද නොදී ගණ අක්‍ෂර
යවහන් දොස් යාය පැහැර
සුද්ද ලෙසට ඉගැන්නුවේ
හෙන්ද්‍රික් සිංඤෝ ගුරුවර.’
තාත්තා දැම්මා ඒ නම මටෟ


ගමේ තිබුණු පනාවැන්න ඉස්කෝලෙන් පස්සේ මම ගන්කන්ද මධ්‍ය විද්‍යාලෙට ආවෙත් හෙන්ද්‍රික් සිංඤෝ නමින්මයි. මධ්‍ය විද්‍යාලෙ ප්‍රින්සිපල් කෙනෙක් හිටියා, විලියම් තඹවිට. එයා දවසක් මට කිව්වා ඔයාගේ ඔය නම දැන් වෙනස් කරගන්න, හොඳ නෑනේ ඕක, අනිත් එක සිංහල නමකුත් නෙවෙයිනේ පෘතුගීසි නමක්නේ කියලා.


ඊට පස්සේ මම හෙන්ද්‍රික් කෑල්ල හෙන්රි කරගත්තා. නිශ්ශංක කෑල්ල පස්සේ ගත්ත එකක්.

ඔබේ කලාකාර ජීවිතේ ගොඩනැගෙන්න මොනවද බලපාපු සාධක?


තාත්තා ගොවියෙක්. අම්මා ගෙවිලියක්. අම්මා ඉස්කොලෙ ගිහින්නෑ. තාත්තා පන්සල් අකුරු කියවලා තියෙනවා. ගණදෙවි හෑල්ල එහෙම කියෙව්වා. ලියන්න පුළුවන්කමක් තිබුණෙ නැහැ. නම අත්සන් කරන මට්ටමට අකුරු ගළප්පන්න තාත්තාට පුළුවන්කම තිබුණා. පවුලෙ ළමයි අටදෙනායි. මට අයියලා තුන්දෙනායි. අක්කලා තුන්දෙනායි. බාල නංගියි මමයි.


ඒ කාලේ ගම්වල සාමාන්‍ය පවුල්වල අධ්‍යාපනය ගැන වැඩි උනන්දුවක් නෑ. ස්වාභාවිකව පවුල්වලට ළමයි හත්අටදෙනා නෙවෙයි, දහදොලොස් දෙනාත් හම්බවෙනවා. ගොවිතැන්බත් කරන්න පවුලේ අය අවශ්‍ය වෙනවානේ. අපි වුණත් ලොකුවට පාඩම් කරන්න වෙහෙසුණේ නැහැ. හැබැයි, මධ්‍ය විද්‍යාල අධ්‍යාපන ක්‍රමය හැබෑම ජාතික අධ්‍යාපන රටාවක් වුණා. එවකට ප්‍රභූ පෙලැන්තියේ අයට විතරයිනේ විශ්වවිද්‍යාලෙ දොරටු ඇරුණේ. ඒක වෙනස්වුණා මධ්‍ය විද්‍යාල ආවාට පස්සේ. මුලින්ම මධ්‍ය විද්‍යාල 54ක් පිහිටෙව්වා. ඉන් එකක් තමයි ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලය. මගේ සමකාලීන ජයලත් මනෝරත්න ආවෙ පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයෙන්.


තාත්තාට ඉතින් මුදලක් හදලක් තිබුණේ නැහැ. ගොවිතැන් කළාට තුන්වේලම බත් කෑවාට සල්ලි බාගෙ නැහැ. තාත්තා ලී ඉරන වැඩේත් කළා. අපේ ලොකු අයියාට හොඳට ඉගෙන ගන්න පුළුවන්. ඒත් හයේ පන්තියේදී තාත්තා අයියාගේ ඉස්කෝලෙ ප්‍රින්සිපල් හමුවෙලා මට ළමයාව අස්කරගෙන යන්න ඕන කිව්වා. ප්‍රින්සිපල් කිව්වාලු ඇයි ඒ, මේ ළමයා දක්‍ෂ ළමයෙක්නේ කියලා. කොහොම හරි ලොකු අයියා පස්සේ කාලෙක කියනවා, ‘මට ඉගෙන ගන්න වුවමනාව තිබුණා. තාත්තා තමයි නැවැත්තුවේ’ කියලා. පුංචි අයියාත් පන්සලෙන් ඉගෙන ගත්තේ. පොත පත කියවලා එයාට සාමාන්‍ය දැනුමක් තිබුණා. ඒ කාලෙ ගම්වල තිබුණෙ කසාය වට්ටෝරුවක් කියවන්න ඉගෙන ගත්තොත් ඇති කියන ආකල්පය.


නාට්‍යකරුවෙක් හැටියට, ගැමි රඟමඬල, පාසල් කරළිය සහ ප්‍රසිද්ධ වේදිකාව කියන තුන් ඈඳුතු සම්බන්ධතාවකින් තමයි මම බිහිවෙන්නේ. ගමේ නාට්‍ය ගුරුවරයා වුණේ රාජා සුමනපාල. (රත්නා සුමනපාලගේ සැමියා.) එයා පැල්මඩුල්ලේ. ගංකන්ද මධ්‍යමහා විද්‍යාලෙ ඉගෙනගත්තේ. අපේ ගමට යාබද කනවින්න ගමේ තරුණ ගොවි සමාජෙට නාට්‍යයක් පුරුදු කරන්න එයා ආවා.


ඒ කාලෙ ගම්වලට ආවේ ටීටර්. බීඒඩබ්ලිව් ජයමාන්නගේ, සිරිසේන විමලවීරගේ කොළඹින් පටන්ගත්ත ටීටර් කලාව ගම්වලටත් ඇවිත් තිබුණා. මගේ අයියලා දෙන්නෙක්ම ටීටර්වල රඟපෑවා. ගමේ පාසලේ එකම එක ගොඩනැගිල්ලයි තිබුණේ, ස්ටේජ් එකක්වත් නැහැ. ඩෙස්බංකු තියලා තමයි වේදිකාව හදන්නේ. බාග බිත්තිවල හිස් හරිය වහන්නේ පොල්ලතුවලින්. ‘මායාකාරි, අධර්මවාදියා’ වගේ නම් තිබුණ ටීටර් පෙන්නුවේ. පොඩි අයියා තමයි දුෂ්ටයා. ලොකු අයියා රඟ පෑවේ ගෑනු චරිත. ඒ දවස්වල ගම්වල ටීටර්කාරයන්ගේ රුක්මණී දේවි තමයි සිහින නිළිය. නළුවා ප්‍රේමජයන්ත. සත පනහයි ගැලරිය. රුපියලයි ඉස්සරහ සීට්. ප්‍රසිද්ධ සින්දුවලට වචන දාලා තමයි ටීටර් සින්දු කිව්වේ. මට තාම මතකයි ‘පනාමුරේ ඇත්රාජා’ කියන ප්‍රසිද්ධ සින්දුවට,


මෙලොව දනා මෙලොව දනා
මෙලොව දනා සැප සඳහා
විඳි ඉතිනේ දුක්
දිව රෑ දෙකෙහී
විනෝදයක් නොලබාලා
මෙලොව දනා සැප සඳහා
වචන ලිව්වේ ගමේ ඕවර්සියර් මහත්තයා.


පාසල් සමිතියේ මට හැමදාම හම්බුවෙන්නේ සිංදුවක් කියන්න. ඕක ආරංචි වෙලා රාජා සුමනපාල අපේ ගෙදර ඇවිත් කිව්වා මට නාට්‍යයකට මෙයාව අවශ්‍යයි එවන්න පුළුවන්ද කියලා. අම්මාත් බොහොම කැමති වුණා. අයියලාත් නාට්ටිකාරයොනේ. ඉතින් එයා ටීටර් වාගේ ‘ඈ කාගේ කවුද’ කියලා නාට්ටියක් ලියලා, තරුණ ගොවි සමාජයට ආධාර පිණිස පෙන්නුවා. එයා තව නාට්ටියක් කළා වෙසක් එකට ‘අංගුලිමාල’. පැල්මඩුල්ල බස්ටෑන්ඩ් එකේ පල්ලේ තිබුණ විසාල පොල්ලෙලි ගොඩක් සුද්දකරලා ස්ටේජ් එකක් ගහලා ඒක පෙන්නුවා. ඒකෙ මම අංගුලිමාල. මේ නාට්ටිවලට එකතුවෙන්නේ ඉතින් ගමේ පියුම් මහත්තයා, වෙල්විදානේ, ඕවර්සියර් වගේ අය.


විශ්වවිද්‍යාලෙට ගියේ නැත්නම් මම හොඳ නැටුම්කාරයෙක්. ඉස්කෝලෙදි ආණ්ඩුවේ අවසාන විභාගෙ දක්වා දිගටම නැටුම් ඉගෙන ගත්තා.

ප්‍රාරම්භ, මධ්‍යම, අවසාන කියන විභාග තුනෙන් දෙකකින් පාස්. ඒක මට ලොකු පහසුවක් වුණා සරච්චන්ද්‍ර මහත්තයාගේ නාට්‍යවල රඟපාන්න.

කොහෙද ඉස්කෝලෙ ගියෙ?


මගේ ගමේ මම අයන්න කියපු ඉස්කෝලෙ පනාවැන්න බෞද්ධ මිශ්‍ර පාඨශාලාව. මම ඉස්කෝලෙට ඇතුළු වෙලා තියෙන්නේ 1950. බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හාමුදුරුවො ළමයි 47 දෙනකුගෙන් පටන්ගත්ත ඉස්කෝලයක්.


පනාවැන්න තිබුණේ කළු ගං නිම්න භූමියේ. කහවත්ත නගරයටයි පැල්මඩුල්ල නගරයටයි අතරමැද පිහිටි ගම. ගල්ලඹ දොළ කියලා වේ ගඟේ ශාඛාවක් තිබුණා. ඒක අමුතුම දොළක්. කිරිබත්කන්ද කන්දෙන් පලිඟු වන් දියදහරාවක් හැටියටයි ඒක එන්නේ. දොළ එකතැනකදි අතුරුදහන් වෙනවා. ගල් අස්සෙන් ගිහින් මීටර් 500කින් විතර තමයි මතුවෙන්නේ. වතුර හරිම සිතලයි. අපේ දවසම ගතවෙන්නේ ඔය දොළ ආශ්‍රිතව.


පනාවැන්න ධම්මාරාම විද්‍යාලයෙන් ගංකන්ද මධ්‍ය විද්‍යාලයට ඇවිල්ලා එතැනින් තමයි විශ්වවිද්‍යාලයට පාස්වුණේ.

ඉස්කෝල ජීවිතේ කලාවත් එකක බැඳිලා තිබුණාද?


ඒ කාලේ සරච්චන්ද්‍රගේ මනමේ (1956), සිංහබාහු (1961) නාට්‍ය දෙකම ප්‍රසිද්ධ වෙලා තිබුණු කාලේ. විසාල ප්‍රබෝධයක් තිබුණා ඒ නාට්‍ය ගැන පාසල්වල, විද්‍යායතනවල කලායතනවල. පේරාදෙණිය විශ්වවිද්‍යාලෙන් උපාධිය අරගෙන ආපු ගුරුවරු දෙන්නෙක් හිටියා ගන්කන්ද විද්‍යාලෙ. එක්කෙනෙක් මගේ පන්ති භාර ගුරුතුමී සීතා වින්ඩ්සර්. එතකොට මම උසස්පෙළ දෙපාරක්ම ඩවුන් වෙලා. එයා මට කතාකරලා කිව්වා, පිස්සු නටන්න එපා කොල්ලො, ඔය හැකියාවන් දියුණු කරගන්න පේරාදෙණිය විශ්වවිද්‍යාලෙටම යන්න. සරච්චන්ද්‍ර මුණගැහුණාම ඕවා දියුණු කරගන්න පුළුවන් කියලා. ඒ කතාව ටිකක් ඔළුවෙ වැඩ කළා.

මාර සංස්කෘතික ජීවිතයක් තිබිලා තියෙනවානේ…


ගමේ ඒ ගැමි සංස්කෘතිය ඇවිල්ලා තියෙන්නේ ගොවිජන ජීවිතයත් එක්ක බද්ධවූ පන්සලේ ආගමික පසුතලයත් එක්ක. කලා ජීවිතේට ආගම බාධාවක් වුණේ නැහැ.


අපේ ගෙවල්වල රේඩියෝ එකක්වත් තිබුණේ නෑ. කුප්පි ලාම්පුවෙන් පාඩම් කළේ. ගම්වල ප්‍රභූ ගෙදරක තමයි චිමිනි ලාම්පුවක් තිබුණේ. ලොකුම එක තමයි ඇලඩින් ලාම්පුව. තාත්තාට මැණික්ගලක් හම්බවෙලා පැට්‍රොල් මැක්ස් එකක් ගෙනාවා. ගෘන්ඩිග් කියලා ඩ්‍රයි බැට්රිඑකකින් වැඩ කරන ජර්මන් රේඩියෝ එකකුත් ගෙනාවා.

පනාවැන්න ඉස්කෝලෙන් පස්සේ ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලෙට..


ගමේ ඉස්කෝලෙන් හයට පාස්වෙලා ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලෙට ගියා. මිස් විජයලතා කියලා හිටියා ගුරුවරියක්. හීන්දෑරි ලස්සන ගුරුවරියක්. මුනිදාස කුමාරතුංගගේ ‘කියවන නුවණ’ කවි කියවන්න එයා ගන්නේ මාව. පන්තියේ මොනිටර් ප්‍රේමරත්න කියලා කොල්ලෙක්. මේකා මට ලෙඩ දානවා.


පැල්මඩුල්ලේ පන්සලේ පෙරහැර බලන්න අපි කොල්ලො ටික ගියාම මිනිස්සු බීලා විසිකළ සිගරට් කොට අරගෙන අපි බොනවා. මේකා දවසක් ඒක ප්‍රින්සිපල්ට කිව්වා. තව දවසක කොල්ලෙක් එක්ක ගහගත්තාම ඌ අඬ අඬා ගිහිං පැමිණිලි කලා. තවත් දවසක මං ළඟ ඉන්න කොල්ලෙක් ඇඬුවා. ප්‍රේමරත්න ඉන්නේ ඊට එහා පැත්තේ. ටීචර් ඇහුවා මොකද අඬන්නේ කියලා. නෑ ටීචර් මේ.. මේ.. කිය කිය ඉන්නවා. මේ මේ කිය කිය ඉන්නේ නැතිව කියනවකො බලන්න… නෑ ටීචර් මේ හෙන්ද්‍රික් මෙයාගේ මීයා ඇල්ලුවා කිව්වා. ටීචර්ටත් ලැජ්ජයි. අර ප්‍රේමරත්න ප්‍රින්සිපල් ළඟට ඒ කතාවත් ගෙනිච්චානේ. ප්‍රින්සිපලුත් අහක බලාගෙන හිනාවෙන්න අරගෙන දුවනවායන්න කියලා එළවගත්තා. ඉතිං කොල්ලො කියනවා, උඹට දැන් රිපෙබා්ට් තුනක්ම ගියා. ඊට පස්සේ නං උඹව ප්‍රින්සිපල් අස් කරනවා කියලා. මේක මගේ ඔළුවෙ තදට වැඩකළා. මං අම්මාට කිව්වා අඬ අඬා මට ඉස්කෝල යන්න බෑ කියලා. අම්මාට දුක හිතිලා පහුවදාම ප්‍රින්සිපල් හමුවෙන්න ගියා. ප්‍රින්සිපල් කියනවා, ඇයි ළමයො අස්වෙන්න හදන්නෙ, මේ වගේ ඉස්කෝලෙකට විභාගෙකුක් පාස්වෙලානේ ඔය ළමයා ආවේ. මට විසාල සතුටක් ඇතිවුණා. අරුන් බය කළේ අස්කරයි කියලානේ. ඇයි අස්වෙන්න තීරණයක් ගත්තේ ඇහුවා. සර් මට කැමති වුණත් මම පන්තියේ ඉන්න ඕන අර කොල්ලො එක්කනේ. මං කිව්වා නෑ සර් මට ගෙදර ඉඳං ළඟ ඉස්කෝලට යන එක ලේසියි කියලා. පනාවැන්නේ ගමේ ඉස්කෝලෙ සංස්කෘතියයි මධ්‍ය විද්‍යාලෙ සංස්කෘතියයි දෙකක්. පනාවැන්න ඉස්කෝලෙට සපත්තු නෑ. සරම ඇඳගෙන යන්නේ. අරකෙ නිල්පාට කොට කලිසම සුදු කමිසෙ සපත්තු මේස්. ආපහු මධ්‍ය විද්‍යාලෙ ඉඳලා ගමේ ඉස්කෝලෙ හතේ පන්තියට ආවා. ගමේ ඉස්කෝලෙට ඇවිත් සරමට බැහැලා ඉගෙන ගත්තා. ඕලෙවල් පාස්වෙනකම්ම ගමේ ඉස්කෝලේ. ඕලෙවල් හොඳම ප්‍රතිඵල මගේ. උසස් පෙළට ආයෙත් සැරයක් ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලයට ගියා.
හොඳ ගුරුවරියක් හිටියා චන්ද්‍රා පලන්සූරිය කියලා. එයා මට හරි ආදරෙයි. ඒ කාලේ සමරු පොත් අත්සන් කරනවානේ. පලන්සූරිය නෝන මහත්තයාට සමරු පොත දුන්නාම ලිව්වා, ‘මා දයාබර සිසු පුතේ, ඔබ අනාගතේ හොඳම හොඳ කලාකරුවෙකු වී කීර්තියක් ගෙනඑන බව ප්‍රකාශ කරන එකම ගුරු මව චන්ද්‍රා පලන්සූරිය විය හැකියි.’ කියලා.


ගමෙන් විශ්වවිද්‍යාලෙයට දෙවැනියට පාස්වුණේ මම. පළවෙනියා ඩීඩීජේ විජේසුන්දර. එයා මෝටර් රථ වාහන කොමසාරිස් වෙලා හිටියා.

ඊට පස්සේ පෙරාදෙණිය ජීවිතේ..


පේරාදෙණිය විශ්විද්‍යාලයට ගියේ 1967 ඔක්තෝබර් 4 වෙනිදා. මට ලැබුණේ මාකස් ප්‍රනාන්දු ශාලාව. අර පරණ කතා එක්ක හරි ආසයි දැකබලාගන්න සරච්චන්ද්‍රව. දවසක් විශ්වවිද්‍යාලෙ ඇතුළෙ ගලහ පාර දිගේ ඇහෙනවා භක්ති ගීත. ගෑනු ළමයි පිරිමි ළමයි බකට් අරගෙන. සුදු ඇඳලා භක්තිගීත කියමින් යනවා. ඉස්සරහින් එනවා පුංචි මනුස්සයෙක්. සරච්චන්ද්‍ර.
‘මම නැවත වරක් පේමතෝ ජායතී සෝකෝ නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවා. ගායන හැකියාවන් තියෙන අය ඉදිරිපත් වෙන්න ශිෂ්‍ය පොදු කාමරේට’ කියලා දැන්වීමක් තිබුණා. මගේ යාළුවො දෙතුන් දෙනෙක් එක්ක යනකොට ශිස්‍ය පොදු කාමරේ පිරිලා කට්ටිය. සර්පිනාවක් තබ්ලාවක් තියෙනවා. සරච්චන්ද්‍ර ඉන්නවා. වටවෙලා ළමයි. තෝරගන්න ළමයි ලවා සින්දු කියවනවා. එක්කෙනෙක් අමරදේව ඉමිටේට් කර කර ‘ඉරට මුවාවෙන් ’ සින්දුව කිව්වා. පාදෙණිය කියලා සීනියර් කෙනෙක් හිටියා, එයා තමයි සරච්චන්ද්‍රගෙ තීරණය ලියා ගන්නේ. ‘පාදෙණිය, මේ අමරදේවලා එක්කකෙනෙක් ලංකාවට හිටියාම ඇතිනේද අපට’ කියලා ඇහුවා. දෙවෙනියට ආවා කෙල්ලෙක්. කොළඹ ප්‍රසිද්ධ ඉස්කෝලෙකට ගිය කෙනෙක් වෙන්න ඕන. ‘මා බාල කාලේ අම්මාගෙ උකුලේ’ ඉංග්‍රීසි ඇක්සන්ට් එකෙන් තමයි කිව්වේ. සරච්චන්ද්‍ර අහං හිටියා, ‘ම්.. හොඳයි ඉතින්.. දැන් සිංහල සින්දුවක් කියන්නකො’ කිව්වා. තව එක්කෙනෙක් අමරදේවගේ සින්දුවක් කිව්වා. ශ්‍රැතියට නෑ. ‘නෑ ඉතිං ඒ විදියටත් කියන්න පුළුවන් තමයි’ කිව්වා.


ඉන්පස්සේ මම ගියා. ‘ඉරට මුවාවෙන්’ කිව්වා. මට සරච්චන්ද්‍රගේ මූණ වෙනස් වෙනවා පේනවා. මට සහතිකයි තේරෙනවාම තමයි කියලා. සින්දුව ඉවරවුණාම ඇහුවා කොහෙද ඉන්නේ කියලා. මම කිව්වා ‘මාකස් ප්‍රනාන්දු ශාලාවේ සර්’ කියලා. පාදෙණිය මෙයාගෙ නම ලියාගන්න කිව්වා. අපි ළඟදි පුහුණුවීම් පටන්ගන්නවා. එතකොට එන්න කිව්වා.


මම විශ්වවිද්‍යාලෙදි හෙන්රි දිද්දෙණිය. පේමතෝ ජයතී සෝකො පුහුණුවීම් පටන් ගත්තා. සුවෙනියර් එකට නම දාන්න එපායැ. ‘හෙන්රි දිද්දෙනිය.. මොකක්ද ඔය නම’ කියලා සරච්චන්ද්‍ර ඇහුවා. මං කිව්වා සර් නිශ්ශංක කියලා කෑල්ලකුත් තියෙනවා, (මම දාගත්ත එකක්) ‘ආ ඉතින් ඒක හොඳයිනේ’ කිව්වා.


මගේ කතාව මේ රටේ එක්තරා අවධියක් නියෝජනය කරන කතාවක්. පස්සෙ කාලෙ පොත පත කියවනකොට මට වැටහුණා මේක තවත් හුඟ දෙනකුගේ කතාවට සමානයි කියලා.■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි