25.8 C
Sri Lanka
28 September,2021

සුපුරුදු කතාවක්: වෙනස්වන ලෝකයේ පුරුෂාර්ථ විපර්යාසය

Must read

■ කැත්ලීන් ජයවර්ධන

ඉවාන් ගොන්චරෝවු (1812-1891) නම් වූ රුසියානු ලේඛකයාගේ මුල්ම නවකතාව Same Old Story ය. ආනන්ද අමරසිරි නම් වූ ප්‍රවීණ පරිවර්තකයා විසින් පසුගිය වසරේදී එය (සූරිය ප්‍රකාශනයක් වශයෙන්) සිංහලට නගනු ලැබ ඇත්තේ සුපුරුදු කතාවක් ලෙස ය.
ගොන්චරෝවුගේ ‘ඔබ්ලමෝවු’ නම් වූ විශිෂ්ට නවකතාව කියවා ඇති පාඨකයන්ට මේ ලේඛකයා ගැන අමුතුවෙන් හැඳින්වීමක් කළ යුතු නැත. ඔහුගේ විශේෂත්වය පිළිබඳ විශිෂ්ට සටහන් තබා ඇත්තෝ රුසියානු නිර්මාණකරුවෝ සහ විචාරකයෝ ය. දොස්තයෙවුස්කි ඔහු දුටුවේ තමාට අභියෝගයක් විය හැකි ලේඛකයකු ලෙස ය. රුසියානු ජන ජීවිතයේ සු`ඵතර පන්තියට අයත් විෂයක්‍ෂේත්‍රය මු`ඵමනින්ම උපයෝගි කර ගත් ලේඛකයකු ලෙස තුර්ගිනිෆ් ඔහු දකිද්දී, මේ සංවේදී ලේඛකයාගේ නිර්මාණ සඳහා මූලාශ්‍රය වී ඇත්තේ රුසියානු ධනපති පන්තියේ ජීවිතය බව පවසා ඇත්තේ ලියෝ තොල්ස්තෝයි ය. යල්පිනූ රොමැන්ටික්වාදයට එල්ල වූ ප්‍රහාරයක් වශයෙන් මේ කෘතිය (සුපුරුදු කතාවක්) හඳුන්වාදී ඇත්තේ බෙලෙන්ස්කි නම් වූ ප්‍රබල විචාරකයා ය.
පිටු 571 ක් පුරා දිවෙන මේ නවකතාවේ ඉතා වැඩි ප්‍රමාණයක් වෙන් වන්නේ වාද, විවාද, ආකල්ප, විකල්ප එළිදැක්වීම සඳහා ය. මේ සංවාද විවාද බහුල වශයෙන් සිදුවන්නේ පීටර්ස්බර්ග් නුවර වෙසෙන, ජීවිතය ප්‍රායෝගිකව දකින වාණිජවාදී බාප්පා වන පියොතර් ඉවනිච් අදුයේවු සහ ඔහුගේ සංවේදී ඥාති පුත්‍ර අලෙක්සැන්ඩර් ෆියොඩොරිච් අදුයේවු අතරේ ය. වර්තමාන (තරුණ) පාඨකයන්ගේ සීමිත කාල අවකාශයට මේ දීර්ඝ සංවාද, විවාද තරමක් බාධාකාරි විය හැකි දැයි ප්‍රශ්නයක් මතුවිය හැකි වෙතත් සමාජ විකාශනය ද සමඟින් සිදුවන පුරුෂාර්ථ විපර්යාසයේ මූලයන් පිළිබඳ පැහැදිලි රූපයක් චිත්‍රණය කරගැනීමට ඉන් විවර වන්නේ ප්‍රබල අවකාශයකි. මේ දීර්ඝ වූත් සවිස්තරාත්මක වූත් පැහැදිලි කිරීම්, අවශෝෂණය කරගැනීම සඳහා යෝනිසෝමනසිකාරය මෙන් ම එක්තරා ඉවසීමක් ද අවශ්‍ය ය.
නවයොවුන් වියේ පසුවන ඇලෙක්සැන්ඩර්, ග්‍රාචි ගම්මානයේ පිහිටි මධ්‍යම ප්‍රමාණයේ වතුයායක හිමිකාරිය වන අන්නා පැවුලෝවුනාගේ එකම පුත්‍රයා ය. ග්‍රීෂ්ම ඍතුවේ එක් හිමිදිරි උදයක ඇය මෙන් ම නිවෙසේ මෙහෙකරුවන් ද මුරබල්ලා ද අවදිව, කාර්යබහුලව සිටින්නේ එදිනට යෙදී ඇති එක් විශේෂිත කටයුත්තක් නිසා ය. කටයුත්තේ නිමිත්ත වන්නේ අන්නා පවුලෝවුනාගේ එකම පුත්‍රයා සිවිල් සේවයේ තනතුරක් ලබාගැනීම සඳහා පීටර්ස්බර්ග් නුවරට (පියොතර් ඉවනිච් නම් වූ බාප්පාගේ නිවෙසට) පිටත්වීමයි.
‘පීටර්ස්බර්ග්’ යනු තමාට සිවිල් සේවයේ තනතුරක් ප්‍රදානය කිරීමට පුල පුලා බලා සිටි නගරයක් නොවන බව මේ තරුණයාට ඒත්තු යන්නේ අනුක්‍රමිකව ය. සුරපුරයකැයි සිතූ පීටර්ස්බර්ග් නගරය මෙන් ම සුරදූතයකු යැයි සිතූ බාප්පණ්ඩිය ද ඇලෙක්සැන්ඩර් තුළ සතුට දනවන්නේ නැත. ඇලෙක්සැන්ඩර්ගේ ළෙන්ගතු සිපවැළඳගැනීම්වලට පවා බාප්පාගෙන් ආදරණීය ප්‍රතිචාර නොලැබෙයි. පීටර්ස්බර්ග් නගරයේ තමා පසුකරගෙන යන මිනිසුන්ගේ මුහුණු දෙස ඔහු විමසිලිමත්ව බලන්නේ ගම්බද මිනිසකුගේ කූතුහලයෙන් යුතුව ය. ඔහුගේ සිත වඩාත් කනස්සලුසහගත වන්නේ එකදිගට පෙනීයන සෙල්මුවා මැදුරුවල දර්ශනයෙනි. ඒවා එක දිගට එකක් පිටුපස එකක් වශයෙන් විහිද යන විශාල සොහොන්ගැබ් සේ ඔහුට පෙනෙයි.
වීදිය කෙළවර වුණාම මගේ ඇස් දෙකට නිදැල්ලේ ගැවසෙන්න ඉඩක් ලැබෙන අවකාශයක් තියේවි; ඒ කියන්නේ කන්දක්, ගස් ටිකක්’
එහෙත්… හැමතැනම ඇත්තේ ගොඩනැගිලිය; නිවාස ය; එකපිට එක තැබූ ක`ඵගල් ය. බාප්පාගේ හැසිරීම, ඔහුගේ ආකල්ප, කතාබහ තරමටම ඒවා ඝන ය; ගොරහැඩි ය. නගරයේදී ඔහුගේ හැකියාවන්, ශක්‍යතාවන් අවතක්සේරුවට ලක්කෙරෙයි. ඇලෙක්සැන්ඩර්ගේ සිත වඩ-වඩාත් විපිළිසර කරන්නේ බරපතළ ලෙස ඔහුගේ හදවත බිඳ වැටෙන්නේ ආදරය, ප්‍රේමය හා විවාහය වැනි මාතෘකා සම්බන්ධයෙන් මෙන් ම පිවිතුරු පූජනීය ස්මරණයන් සම්බන්ධයෙන්, මතකවස්තු සම්බන්ධයෙන් බාප්පණ්ඩිය දරා සිටින ඍණ ආකල්ප හේතුවෙනි.
‘මට ඔය මතකවස්තු දැහැට පේන්න බැහැ’
‘හරියට ලී කොටයක් ඇතුළේ තියෙන ජීවිතයකට වඩා ඒ වගේ ජීවිතයක තවදුරටත් ආත්මයක් ඇත්තේ නැහැ. සැහැසි කලබල ගතියකින් යුතුව ඇලෙක්සැන්ඩර් උස් හඬින් එසේ කීවේ ය. ඒක දැවෙනසුලු හිම පතනයක්, ජීවිතයක් නොවෙයි! සිත් ප්‍රබෝධයක් නැතිව, කඳු`ඵ බිඳුවක් නැතිව, ජීවිතයක් නැතිව, ප්‍රේමයක් නැතිව අකර්මණ්‍ය වීමක් ඒක.’(සුපුරුදු කතාවක්, 95 පිටුව)
දුක, කඳුළ, කරදර ආදිය පිළිබඳ ආරංචිමාත්‍රයෙන් පමණක් දැන සිටි (සිදුහත් කුමරුවකු මෙන් කල් ගෙවූ) තමා, ගමේදී, නිවෙසේදී දුටු ඒ මනබඳිනසුලු ලෝකය අනුක්‍රමයෙන් පටුවී යන අයුරු ඇලෙක්සැන්ඩර් අත්දකින්නේ ද අනුක්‍රමයෙනි. සොබාදහමේ සිසිලස, මවගේ සුදුමුදු සෙනෙහස, තමා වෙනුවෙන් මෙහෙකළ සේවිකාව වෙතින් හා නිවෙසේ සියලු සේවක සේවිකාවන්ගෙන් ලැබූ භක්තිපූර්වක ආදරය, මොලොක්සුව දනවන සිය යහන, වස්කා නම් වූ බළලාගේ ප්‍රේමනීය පුරුපුරුව තමා විසින් පවරා දෙනු ලැබ ඇත්තේ අබිරහස්වලින් පිරි නොදන්නා ලොවකට බව ඔහු ඒත්තු ගනිමින් සිටී. පීටර්ස්බර්ග් නගරය මෙන් ම රැකියා ස්ථානය ද ඔහුගේ මනදොළ සපුරන්නේ නැත. ඔවදන් බවට පෙරළෙන බාප්පාගේ ආකල්ප ද සිත තැතිගන්වනසුලු ය. වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම පියොතර් ඉවනිච් යනු ව්‍යාපාරික ඥානයකින් යුතු නාගරිකයෙකි.
‘අපොයි මේ ගම්බද පළාත්! අපොයි මේ ආසියාව! නුඹ ජීවත් වෙන්න තිබුණේ නැගෙනහිර ලෝකයේ. එහේ මිනිස්සු තව මත් ගෑනුන්ට කියනවා ප්‍රේම කළ යුතු පිරිමියා කවුද කියලා. ගැහැනු උදවිය ඒකට අකීකරු වුණොත්, එවුන්ව වතුරේ ගිල්වලා මරා දමනවා. ඒත් මෙහේ?’ යනුවෙන් පැවසූ ඔහු තවදුරටත් කතා කරන්නට වූයේ තමාටම කථා කරන්නාක් මෙනි. ‘නුඹට ගෑනියෙක් එක්ක සතුටින් ජීවත් වෙන්න ඕනෑ නම්, ඒ කියන්නේ නුඹ ඉන්න විදියට වත්, පිස්සෙක් විදියට වත් නොවෙයි. බුද්ධිමත් විධියට ජීවත් වෙන්න ඕනෑ නම්, බොහෝ දේවල් අවශ්‍ය වෙනවා. හොඳින් කල්පනා කරලා බලලා, ක්‍රමානුකූලව හැදූ සැලැස්මක් මාර්ගයෙන් කෙල්ලෙක්, ගෑනියෙක් බවට පත්කරන හැටි නුඹ දැනගෙනම සිටිය යුතුයි. (259 පිටුව)
ඉනික්බිතිව ගැහැනිය ගැන, සාහිත්‍යය ගැන මෙන් ම ජීවිතේ සුන්දරත්වය ගැන ද දිගින් දිගට ම බාප්පාට කියාගෙන යන ඇලෙක්සැන්ඩර් වරක් සාහිත්‍යයික උපමාවක් ගෙන හැර දක්වන්නේ ‘ජීවිතය යනු රැලි නොනගන මනහර විලකි’ යි කියා ය. එහි සැඟවුණ බොහෝ දේ ඇතැයි ඔහු පැවසූ විට, බාප්පා අවඥාවෙන් කියන්නේ ‘මගේ යා`ඵවා, දියසෙවල නං සැඟවිලා තියනවා.’ යනුවෙනි. ඥාති පුත්‍රයාගේ මුලාව ගැන වැඩිදුරටත් පෙන්වා දෙමින් ඔහු මෙසේ ද කියයි.
‘ගමේ විදිහට නුඹ ආදරය, මිත්‍රත්වය, ජීවිතේ සතුට, විනෝදය වගේ දේවල් ගැන පමණටත් වඩා සැලකිලිමත් වෙනවා. ගම් පළාත්වල උදවියගේ මු`ඵ ජීවිතේම තියෙන්නේ අනේ! අපොයි! කියන එක ඇතුළෙ මිස වෙනත් දෙයක් ඇතුළෙ නොවේ. ඒ උදවිය කඳු`ඵ හලනවා. වැලපෙනවා. බොහොම සුන්දර දේවල් කියනවා. ඒත් ඒ උදවිය මොනවත්ම කරන්නේ නැහැ. ඒ සේරම දේවලින් මම නුඹව මුදවා ගන්නේ කොහොම ද? (85 පිටුව)
මේ කතාවේ කිසියම් ප්‍රායෝගික සත්‍යයක් සැඟව ඇතැයි යටි සිත හඳුනාගැනීමේදී හටගැනෙන වේදනාව ද ඇලෙක්සැන්ඩර් තුළ ව්‍යාකුලත්වයක් ජනිත කරයි. බහුභාණ්ඩික ලෝකයේ ඇතිතතු ඥාති පුත්‍රයාට හඳුන්වා දීම සඳහා දැරෙන බාප්පාගේ ඒ උත්සාහය බරපතළ හැලහැප්පීම්වලට ගොදුරු වන්නේ නගරයේදී ඇලෙක්සැන්ඩර්ගේ සිත දිනාගන්නා නඩේශ්ඩා නම් වූ සුරූපි තරුණියගේ ඇසුර ද සමඟිනි. ප්‍රේමයේ පාරිශුද්ධත්වය ගැන, පූජනීයත්වය ගැන කාව්‍යමය සංකල්පවලින් පිරී ගිය ඇලෙක්සැන්ඩර්ගේ සිත නඩේශ්ඩා වෙතින් අපේක්ෂා කරන්නේ ද දිව්‍යමය වූ භක්තිපූර්වක ප්‍රේමයකි. නඩේශ්ඩාගේ ඇඟිලිතුඩ සිපගනිමින් ඇය ඉදිරියේ සිටගෙන පැය දෙකක් පුරා, චිත්‍රාකාර ඉරියව්වකින් ඇය දෙස බලා සිටින කල්හි ද, අවස්ථාවට ගැළපෙන කවි උස්හඬින් ගායනා කරන කල්හි ද ඔහු අපූරු සතුටක් ලබන මුත් ඇය ඇතැම් විටක ඔහුගේ කවිවලට, ඒ සුසුම්වලට ප්‍රතිචාර දක්වන්නේ ඈනුමකිනි. මේ අතර ඇගේ නිවෙසෙහිදී ඔහුට ‘නොවින්ස්කි’ නම් වූ තරුණ සිටුවරයකු හමුවෙයි. සිටුවරයා නඩේශ්ඩාට පෙම් කරන බවක් හැඟුණු මොහොතේ පටන් ඔහු ඊර්ෂාපරවශ නොසංසුන්තාවකින් පෙළෙයි. ස්නායු කම්පනයකින් පීඩා විඳින ඔහු, වරක් ඇගේ මැඳුර අසලින් මාවතේ ගමන් කරන අතර දොරටුව අසල අස්රියක් නවතා තිබෙනු දකියි. මැඳුරේ ප්‍රධාන කෝකියාගෙන් ඔහු ඒ අස්රිය ගැන විමසයි.
‘ඒක කාගෙ අශ්වරථය ද?’
‘මේක නොවින්ස්කි සිටුතුමාගේ’
පසු දිනයේත් ඊට පසු දිනයේත් අස්රිය එතැන නැංගුරම් ලා ඇති අයුරු ඔහු දකියි. මහත් වූ වේදනාවකින් ආතුර වන ඔහු මැදුරට ඇතු`ඵව ඇය පියානෝව වයමින් සිටින තැනට ළං වෙයි.
ඔහු අපේක්ෂා සහගතව ඇය දෙස බැලවේ ය. ඈ කිසිවක් නොකීවා ය.
‘මට අනුකම්පා කරන්න! යි කියමින් ඔහු යළි කථාව ඇරැඹුවේ ය. ‘බලන්න මා දිහා… මම මම වගේ පේනව ද? මිනිස්සු මාව දැකලා වික්ෂිප්ත වෙනවා. ඒ අයට මාව අඳුනා ගන්න බැහැ. හැම කෙනෙක් ම මට අනුකම්පා කරනවා. ඔබ විතරක්…’
සත්‍ය වශයෙන්ම ඔහුගේ දෑස වියරු ආලෝකයකින් බැබැළිණ. ඔහු කෘශ වී සුදුමැලි පැහැයට හැරී සිටි අතර, ඩහදිය බිඳු නළල මත රැඳී තිබිණ.
ඇය හොරෙන් මෙන් ඔහු දෙස බැලූ අතර අනුකම්පාව බඳු හැඟීමක් ඇයගේ බැල්මෙහි සැලෙමින් පැවැතියේ ය. ඈ ඇත්ත වශයෙන් ම ඔහුගේ අත අල්ලා ගත්තා ය. එහෙත් සුසුමක් හෙළමින් එය වහා අත්හැරියා ය. සුපුරුදු නිහඬතාවෙන් ම පසු වන්නට වූවා ය.
‘ඉතින්?’ යි ඔහු කීවේ ය.
‘ඕහ්. මට පාඩුවේ ඉන්න දෙන්න!’ යි ඈ දුක්මුසු හඬින් කීවා ය. ‘ඔබ ඔය ප්‍රශ්නවලින් මට වේදනා දෙනවා.’ (233 පිටුව)
උමතු ආවේගයකින් නිවෙසට පැමිණෙන ඇලෙක්සැන්ඩර් බාප්පා හමුවන්නට යයි. තමාගේ ගැටලුව ඔහු බාප්පාට කියන්නේ ඉකිගසමිනි. තමා දුටු දැවැන්ත, උදාර ආවේගාත්මක ප්‍රේමය හදිසියේම වියැකී ගොස් මුසාවාද, කපටිකම් ආදියෙන් පිරීගිය ලිලිපුටියානු අමන ප්‍රහසනයක් බවට එය පත්වූයේ යැයි පවසන ඇලෙක්සැන්ඩර් ‘ඕහ් බාප්පණ්ඩි, මේ ලෝකයේ ප්‍රේමය තරම් පූජනීය වෙනත් දෙයක් නැහැ! ප්‍රේමය නැති ජීවිතේ ජීවිතයක් නෙවෙයි’ කියමින් වැළපෙන්නට වෙයි. පියොතර් ඉවනිච් ඊට පිළිතුරු සපයන්නේ අවඥාවෙනි.
‘මේ ලෝකෙ නොපවතින දේවල් ගැන නුඹ කල්පනා ලෝක මැවුවේ ඇයි? මේ කාලය පුරා ම නුඹට ඕනැ වෙලා තිබුණේ හිතින් මවා ගත් ජීවිතයක් ගතකරන්න. නුඹේ මතය අනුව, මිනිහකුගේ ජීවිතයේ එකම කටයුත්ත ප්‍රේමවන්තයෙක්, ස්වාමිපුරුෂයෙක් නැති නම් පියෙක් වෙන එකයි. … ඊට වැඩි කිසිම දෙයකට නුඹ ඇහුම්කන් දෙන එකක් නැහැ. මේ සියලුම දේවල් වගේම, මිනිහෙක් පුරවැසියෙක් වෙනවා. ඔහුට සමාජයේ යම් කිසි තත්ත්වයක් තියෙනවා. ඔහු ලේඛකයෙක්, ඉඩම් හිමියෙක්, සොල්දාදුවෙක්, රාජ්‍ය නිලධාරියෙක්, කර්මාන්ත හිමියෙක් වුණත් කළ යුතු වැඩ කොටසක් තියෙනවා. නුඹලා සියලු දෙනාම සම්බන්ධයෙන් බලන කොට මේ කටයුත්ත ප්‍රේමයත්, මිත්‍රත්වයත් විසින් මුවා කරනු ලැබ තියෙනවා. නුඹ ජීවත්වෙන්නේ මොන ‘ආර්කේඩියාවක ද?’ නුඹ නවකථා කටපාඩම් කර ගෙන තියෙනවා. ගම් පළාතෙදි නුඹ පුංචිඅම්මාගේ කථාන්තරවලට කන් දී තියෙනවා. ඊළඟට මේ සේරම න්‍යායික මතවාද මෙහාට අරගෙන ඇවිත් තියෙනවා. දැන් නුඹ අලුතින් ‘උතුම් ආවේගාත්මක ප්‍රේමය’ කියලා එකක් සොයා ගෙන තියෙනවා’ (266-267 පිටුව)
පියොතර් ඉවනිච්ගේ ඍජු අදහස්, ඒ තර්ක විතර්ක ඇලෙක්සැන්ඩර් තුළ වන වේදනාවට පිදුරු ලන්නේ, ඒවායේ කිසියම් තාර්කික පදනමක් ද ඔහුගේ යටිසිතට හැඟීයන නිසා ය. සිත්පිත් නැති, මුදලට ගිජු, ගොරහැඩි ව්‍යාපාරිකයකු ලෙස බාප්පා හඳුනාගන්නට තමා තුළ වූ පෙළඹීම කෙරෙහි සැකසිත් පහළ වන්නට වන්නට ඔහුගේ වේදනාව වඩ-වඩාත් තියුණු වෙයි. මේසය මත දෙවැලමිට තබා, එහි හිස හොවාගන්නා ඔහු මහ හඬින් වැලපෙද්දී කාමරයෙන් පිටව යන පියොතර් ඉවනිච් සිය බිරිඳ අමතා මෙසේ කියයි.
‘මම ඇලෙක්සැන්ඩර් එක්ක මොනවා කරන්න ද මන්දා? මිනිහා අතන වාඩිවෙලා බෙරිහන් දිදී අඬනවා’ ඔහුගේ බිරිඳ ලිසවේටා ඊට පිළිතුරු දෙමින් මෙසේ ද කියයි.
‘මට ඉඩදෙනවා ඒ ළමයා ළඟට යන්න.’
ලිසවේටා තරුණයාට සවන් යොමා සිටින්නේ කිසිදු බාධා කිරීමකින් තොරව ය. දුක්ඛිත අපේක්ෂා භංගත්වයේ සිට නීරස උකටලීභාවයක් කරා වර්ධනය වී ඇති තරුණයාගේ වේදනාවේ ප්‍රමාණය ඇයට දැනෙයි; පෙනෙයි. සිටුවරයා හා නඩේශ්ඩා සිහිකරමින්, දත්මිටිකමින්, ශාපකරමින් වැළපෙන තරුණයාගේ කෝපයට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වමින් ඇය ඔහුට සවන් යොමා සිටියි. මිතුරියකගේ සහ සොහොයුරියකගේ මුදු ගුණය පළකරන පුංචිඅම්මාගේ උපේක්ෂා සහගතබව තමා තුළ කිසියම් විපර්යාසයකට මුලපුරන්නාක් මෙන් තරුණායාට ද හැඟී යයි.
ලිසවේටා මුලින්ම කරන්නේ නඩේෂ්ඩා වෙනුවෙන් දොස්නගන, ශාපකරන තරුණයා සමඟ එක්වෙමින් ඒ දෝෂාරෝපණයන්ට හවුල්වීම ය. තරුණයාගේ අඳෝනා ඇය තුළ පිළිකුලක් ජනිත නොකරන්නේ තමාගේ බෑනණුවන් කෙරෙහි ඒ මොහොතේදී සිත තුළ හටගන්නා (ආත්මානුකම්පාවකට ද මුසුවූ) සහානුකම්පාව නිසා ය. තම හද ගැඹුරෙහි පැවැති රහසක් අවුස්සනු ලැබූ බවක් ලිසෙවේටාට හැඟෙයි. අ`ඵයට ගිනි පුපුරක් මෙන් සැඟව තිබූ ප්‍රශ්නයක් හදිසියේ දැල්වී යයි.
තමා සතුටින් කලදවස යැවී ද?
මැසිවිලි නැගීමේ අයිතියක් නොතිබුණ ද ගැහැනියක විසින් දුකසේ අත්පත්කරගනු ලැබිය යුතු අවශ්‍යතා වශයෙන් ලෝකයා පිළිගන්නා බොහෝ දෑ ඇයට ලැබී තිබිණ. ඒවා කිසියම් වැඩසටහනකට ඇතුළත් කෙරුණු අයිතමයන් හා සම වූවේ ය. ඇගේ සැමියා ව්‍යාපාර කටයුතුවල යෙදී සිටියේ වෙහෙස නොබලා ය. උසස් අරමුණු, පුරුෂාර්ථ පිළිබඳ විශ්වාසයක් ඔහුට නොවූ අතර ඒවා ගැන කතාකිරීම ද ඔහුට රුචි නොවී ය.
‘ඒත් මගේ දෙවි හාමුදුරුවනේ! යි කියමින් ලිසවේටා ඇලෙක්සැන්ඩ්‍රොවුනා කල්පනා කළා ය. ඔහු ඇත්තෙන් ම කසාද බැඳලා තියෙන්නේ ගෙදර නඩත්තු කරන්න කෙනෙක් සපයා ගන්න විතර ද? (282 පිටුව)
ස්ත්‍රීත්වයට සාප කරමින් සිටි සිය ඥාතිපුත්‍රයා, ජුලියා පැවුලොවුනා නම් වූ කනවැන්දුම් ගැහැනිය වෙත තල්ලුකරන්නේ පියොතර් ඉවනිච් ය. මේ සුරූපී තරුණ ගැහැනිය ඇමක් කරගන්නට පියොතර් ඉවනිච්ට ඕනෑ කරන්නේ සුර්කෝවු නම් වූ ව්‍යාපාරික හවුල්කරුවා පරාජය කිරීමේ උපක්‍රමික අවශ්‍යතාව පදනම් කොට ය. ජුලියාගේ රූසපුව කෙරෙහි ඇලුණ ද ඇගෙන් වෙන් ව යාම සඳහා ඇලෙක්සැන්ඩර්ට අනුබල දෙන්නේ තමා කෙරෙහි තමා තුළම ව්‍යාකූලතාවයි.
ඇලෙක්සැන්ඩර් ෆියොඩොරිඩ් අදුයේවු පීටර්ස්බර්ග් නුවර ගතකරන්නේ අවුරුදු අටක් දහයක් තරම් වූ කාලයකි. ඔහු ග්‍රාචි ගම්මානයට ආපසු පැමිණෙන්නේ තරුණ වයසේදීම ය. මේ කාලසීමාව තුළ ඔහුගේ අභ්‍යන්තරයේ සිදුවූ විපර්යාසය කෙසේ වෙතත් බාහිර වශයෙන් ඔහුගේ ස්වරූපයේ ඉස්මතුව පෙනෙන පරාභවය ගැන ගම්මුන් කිසිවකුට, ඉතා අඩු තරමින් ඔහුගේ මවට (අන්නා පැවුලොවුනාට) හෝ වටහාගත හැකි වන්නේ නැත.
ඇලෙක්සැන්ඩර්ට තම අතීතය සමඟ සමාදානයකට එළඹිය හැකිවන්නේ තමාගේ මව සමාදානයේ සැතපුණ පසුව ය. ‘මට වඩා මගේ බාප්පණ්ඩි හොඳ වෙන්නේ කවර ආකාරයෙන්ද? මා වෙනුවෙන්ම මාවතක් විවර කර ගැනීමේ හැකියාව මට නැද්ද?’ වැනි ප්‍රශ්න අතරේ දෝලනය වෙමින් කලක් ඔහු පසුවන්නේ ගමෙන් පිටව යාමට සුදුසු අවස්ථාව ගැන සිතමිනි.
අවුරුදු දොළහකට පසු පියොතර් ඉවනිච් හමුවේ ඇලෙක්සැන්ඩර් පෙනී සිටින්නේ අනපේක්ෂිත මොහොතක ය. තට්ට හිසකින් හා වටකුරු උදරයකින් ද පපුවේ රැඳුණ තරු පදක්කමකින් ද යුතුව සිටින ඇලෙක්සැන්ඩර් තමා විවාහවීමට බලාපොරොත්තුවන බව පවසයි. ‘මම ආදරය කරද්දී මගේ විවාහය සිද්ධ වුණේ නෑ.’ කියා ද කියයි. රෝගී තත්ත්වයෙන් පසුවන ලිසවේටා (පුංචි අම්ම) සුසුමක් හෙළයි.
‘ඇයි පුංචි අම්ම සුසුම් හෙළන්නේ?’
‘මම සුසුම් හෙළන්නේ මීට කලින් සිටිය ඇලෙක්සැන්ඩර් වෙනුවෙන්. ඒ කාලේ නුඹ ජීවිතය තේරුම් අරගෙනයි හිටියෙ. ජීවිතේ ගැන නුඹේම අර්ථකථක දෙන්න නුඹට හැකිවුණා. ඒ කාලේ නුඹ කදිම උදාර ප්‍රඥාවන්ත පුද්ගලයෙක්ව හිටියා… ඇයි නුඹ ඒ විදියටම නොසිටියේ?’
සුසුමක් හෙළන ඇලෙක්සැන්ඩර් මෙසේ පිළිතුරු දෙයි.
‘ඒකට තමා වයස්ගතවීම කියන්නේ. මම කාලයත් එක්ක එක පෙළට ඉන්නවා. කෙනෙකුට කාලයට වඩා පසුගාමී වෙන්න බැහැ. මම ඔබට මගේ බාප්පණ්ඩි කියූ දෙයක්… ඔහුගේ වචනම උපුටලා දක්වන්නම්.
(ඒ වන විට බාප්පා – පියොතර් ඉවනිච් අත්විඳිමින් සිටින්නේ කවර වූ කායික, මානසික තත්ත්වයක් දැයි දැනගත හැකිවන්නේ පොත කියවූ පසුව ය.)
කෙසේ වුව ද විවාහයේදී බිරිඳගෙන් තමාට රූබල් ලක්ෂ තුනක් හා ප්‍රවේණිදාසයන් පන්සියයක් ද ලැබෙන්නේ යැයි අලෙක්සැන්ඩර් කී මොහොතේ බාප්පා ඔහු වැළඳගනී. මේ වැළඳගැනීම සිදුවන්නේ ජීවිතයේ මුල්වරට ය.
‘සුපුරුදු කතාවක්’ කියවීම සඳහා දීර්ඝ කාලයක්, යම් තරමක වෙහෙසක් දැරිය යුතු වන බව සැබෑ ය. එහෙත් ඒ කාලය, ඒ වෙහෙස අපතේ යන්නක් නොවන බව නම් ඉඳුරා පැවසිය හැකි ය.■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි