20.9 C
Sri Lanka
25 May,2022

සීමා මායිම් නැති ජීවිතයක නිදහස සහ තෘප්තිය

Must read

”මේ ලියන මට වගේම කියවන ඔබට හරියට වෙහෙසක් දැනෙනවා. අර නිදහස කියන බිබික්කම කන්න පටන් ගත්ත දා සිට ගත කළ හැත්තෑ අවුරුද්දක කාලයක් ලාංකික අපි හැම, දුක අඩු කරගෙන සැප වැඩි කර ගන්න ගත්ත හැම උත්සාහයක්ම පියාපත් තියෙන ඉබ්බෙක් දකින්න දැකපු හීනයක්. පරිසරය කාබාසිනියා කරලා. වහින කොට වහිනව සුනාමියක් වෙන්න. නියඟයක් ආවාම සබ්බ සනුහරේ ඔක්කොම කේඩෑරි වෙලා යනවා. වෙනස් කරන්න දෙන්නෙම නැහැයි කියලා…… ඔස්තාද්ලා වඳින පුදන ජේ.ආර්ගෙ බහුභූත ව්‍යවස්ථාවෙ නීතිගත කරලා තියෙන ‘දේවෝ වස්සතු කාලේන – සස්ස සම්පත්ති හේතුච, පීතෝ භවතු ලෝකෝච – රාජා භවතු ධම්මිකෝ‘ ප්‍රාර්ථනාවක් ව්‍යවස්ථාවට ලියපු රටක් මේක….”


ඉහතින් දැක්වෙන්නේ මගේ අදහසක් නොවේ. ඒ අදහස, නිදහසේ ජීවත්වුණ පුරවැසියෙකුගේ කෘතියක ඇතුළත් අදහසකි. නිදහස යන වචනය අපට නිතර ඇසෙන්නකි. ජීවත් වීමේ නිදහස, දේශපාලන නිදහස, අදහස් පළ කිරීමේ නිදහස ආදි වශයෙන් නිදහස යන වචනය නිතරම කවුරුත් වාගේ පරිහරණය කරති. ඉතින් නිදහස තරම් වටිනා දෙයක් තවත් තිබේ ද?


දෙපයින් නැඟී සිට ජීවත් වන්නට පුළුවන් කාලයේ නානාප්‍රකාර සංස්කෘතික බන්ධනවලින් සිරව වෙහෙසකර ජීවිතයක් ගත කර මහලුව මියයාම ඛේදයක් නොවේ ද? ඇතමෙකු කිසිම සංස්කෘතික බන්ධනයකට ගොදුරු නොවී, ‘මයි කාර් – මයි පෙට්රල්- මයි ලෝ‘ කියා ජීවත් වන තත්වයන් ද ඇත. අද අපගේ කථා නායකයා එවැන්නෙකු යයි සිතමි.

රංග භූමියට කැපවුණ මිනිසා


‘දුන්න දුනු ගමුවේ’ නාට්‍යය පුහුණු වීමේ දී ජයසිරි ලද අත්දැකීමක් හෙවත් පේළි කීපයකින් පවසයි. ඒ පේළි කීපය තුළින් ඔහු රංගනයට අත් පොත් තබන්නන්ට ගුරුහරුකමක් ලබා දෙන සැටියක් හඳුනා ගත හැකි ය. නාට්‍යයේ පුහුණු වීම් අවසන සුගතපාල ද සිල්වා සියලු ශිල්පීන්ට උපදෙස් දී ඇත. එහෙත් ජයසිරිට උපදෙස් දී නැත. පිටත් වන්නට මත්තෙන් ජයසිරිගේ කනට ළංව යමක් කියා තිබේ. ඒ ‘සිංහලෙන්‘ උපදෙසකි. පුහුණු වීම් අවසන පිරිස සාමීචියක යෙදෙන විට කාටත් ඒ කියූ දේ ගැන කුකුසක් ඇත. ජයසිරිට කියා ඇති දේ පැවසුව විට ඔහු රංගනයේ වැදගත්ම පාඩම උගත් බව පවසන්නේ මෙසේය.


”සියලුදෙනා සාකච්ඡා කර මගේ රංගනයේ දුර්වල ස්ථානය හඳුනා ගත්තේය. මා නාට්‍ය රංගනයේ දුර්වල ස්ථානය හඳුනා ගත්තේය. මා නාට්‍ය රඟපෑමේ දී ප්‍රතික්‍රියා දක්වා ඇත්තේ පුද්ගලයාට මිස චරිතයට නොවේ. එම තේරුම් ගැනීමත් සමඟ මම පසුදා ආලෝක පුහුණුවට සහභාගි වුණෙමි. විවේකයේ දී වේදිකාවට පැමිණි සුගත් මාව වැළඳ ගත්තේ ජයග්‍රාහී සිනහවක් සමඟ ය.”


ජයසිරි යනු සුගත්ට ළෙන්ගතු මිනිසුන් අතර ඉහළින්ම සිටි මිනිසෙකි. එහෙත් ජයසිරි චරිතයට ආවේණික ලක්ෂණය වන්නේ ‘හිතුණොත් හිතුණාම‘ යන්නය. කිසිවකින් සිය ප්‍රතිරූපය නංවා ගැනීමට උත්සුක නොවුණ ජයසිරි දුන්න හැර යන්නේ නැවතත් වේදිකාවට පය නොතබන්නට සිතා ගෙන ය.


”මම තනිවම තීරණයක් ගත්තෙමි. මින් පසු කිසි දිනක වේදිකාවට අඩියක් නොතබමි. ඒ වගේම අවුරුදු දොළහක් මම 1985 මරාසාද් නාට්‍යයේ රඟපෑමට එකතු වන තුරු වේදිකාවේ රඟ නොපෑවෙමි.”


දැඩි සිත් තැවුලක් ඇති කළ හේතුව කුමක් ද?


”අඹු දරුවන් නාට්‍ය කටයුතුවලට අත පෙවීම අපිට අරුචි විය”


ජයසිරි පවසන්නේ ක්ෂණික තත්වයකට වඩා ටිකක් එයා ගිය තත්වයක් විය හැකි ය. කෙසේ වුව අතිදක්ෂ කලාකරුවන් ලංකාවේ විනාශ මුඛයට ඇද වැටීම පිටු පස අඹු දරුවන් අත පෙවීම සත්‍යයක් බව අපිත් දන්නෙමු.


ජයසිරිගේ චරිතයේ වෙසෙසා දැක්විය යුතුම ලක්ෂණය නම් කෝන්තර පිරිමසා ගන්නට මාන නොබැලීම ය. ඒ වෙසෙස් ගුණය නොවන්නට ‘මරාසාද්‘ නිෂ්පාදනය නොවන්නට තිබුණි. සැබවින්ම කලාව පිටුපස නොලියවෙන දේවල් කොතරම් ද?


”දිනපතාම හවස සාද් ඈපාණන්ගේ චරිතය පුරුදු වෙන්නයි, නාට්‍යය පවත්වා ගැනීමට මුදල් හොයාගන්නයි මගේ කායික හා මානසික ශක්තිය දරාගැනීමේ හැකියාව මට ලැබුණෙ මම කිසිම දෙයක් බරපතළ විධියට ගණන් නොගන්නා පුරුද්ද නිසාම ය. කොටස් වශයෙන් ගෙවීමේ ගිවිසුම මත මා මිලදී ලත් ජයවඩනගම තට්ටු නිවස නැවත නිවාස සංවර්ධන අධිකාරියට බාර දුන්නොත් මට රුපියල් එක් ලක්ෂ විසිපන් දහසක් ලබාගත හැකි ය. 1985 මෙය විශාල මුදලකි. ඒ මුදල ලැබෙන තෙක් හදිසි අවශ්‍යතාව උදෙසා මුදල් ලැබුණේ කේමදාස මාස්ටර්ගේ බිරිඳගේ රත්තරං බඩු උකසට තබා ය. සති දෙකක් ඇතුළත රත්තරං බඩු උගසින් බේරා ගත් පසු නාට්‍යයේ බරපැන දරන්නේ මා බව මාස්ටර් දැනගත්තේය. පදිංචි ගෙදර විකුණලා මේ නාට්‍යය නිෂ්පාදනය කරන්න සල්ලි වියදම් කරන්නේ ඇයිද කියා මාස්ටර් මගෙන් විමසූ විට මට දෙන්නට පිළිතුරක් තිබුණත් මම එය මාස්ටර්ට නොකීවෙමි. කිසිම අයුරකින් සාධාරණීකරණය කිරීමට නොහැකි හේතුවකට ‘දුන්න දුනුගමුවේ‘ කඩාකප්පල් කිරීමේ අනුවණ ක්‍රියාවට සහභාගි වී මා කළ නොහොබිනා ක්‍රියාවට මම සුගත්ට වන්දි ගෙවන්නේ මෙහෙමයි. ගෙදරදොර විකුණා හෝ ‘මරාසාද්‘ වේදිකාව මත ජීවමාන කරන්න මම තීරණය කළේ එනිසා ය. නාට්‍ය වෙනුවෙන් මුල්ම දර්ශනවාරයේදී බෙදා හැරිය පත්‍රිකාවේ ‘නම සඳහන් කිරීමට අකමැති අර්ථපතියෙක්…’ ලෙස සුගත් ලීවේ මගේ බලවත් ඉල්ලීම නිසා ය.”

රංග භූමිය මත පෞරුෂය


ජයසිරිගේ පමණක් නොව ජැක්සන් ඇන්තනීගේ රංගන ප්‍රතිභාව ලාංකේය ප්‍රේක්ෂකයන් හොඳම විදිහට හඳුනා ගත්තේ ‘මරාසාද්‘ නාට්‍යය නැරඹීමෙන් යයි සිතමි. විශ්වවිද්‍යාලයක ශාස්ත්‍ර හදාරමින් සිටි තරුණියක වන කෞශල්‍යා ප්‍රනාන්දුගේ රංගන උරුමය ප්‍රේක්ෂාගාරයක් මැනවින් හඳුනා ගත්තේ ද ‘මරාසාද්‘ නාට්‍යය නැරඹීමෙන් යයි සිතමි. ජැක්සන් ඇන්තනිට තිබුණේ එවක තරුණයෙකු ලෙස ලස්සණ මුහුණකි. ඔහුව මරාගේ චරිතයට පරිවර්තනය කළේ අංග රචනයේ මහිමයයි. ජයසිරිගේ ශරීරය මිටි මහත එකකි. එහෙත් ඒ සිරුර ඇතුළෙන් ඔහු සිය කටහඬ ප්‍රබලව හසුරුවමින් පිටතට ගත් ඈපාණන් අදටත් මගේ මතකයේ සිතුවමකි.


ජයසිරිගේ රංගන පෞරුෂය උපදින්නේ ඔහුගේ සිරුරෙන් ද, නැතහොත් ඔහුගේ හඬින්ද යන්න ගැන මම හැම විටම කල්පනා කළෙමි. ඔහු සතර අභිනය පරිහරණය කරන අන්දම වෙන කිසිම නළුවෙකුගෙන් සැබවින්ම මා නම් දැක නැත. අතුල පතිරණ නිර්මාණය කළ ‘දොළහක්’ නාට්‍යය සහ රාජිත දිසානායක නිර්මාණය කළ ‘ආපහු හැරෙන්න බෑ’ නාට්‍යය ජයසිරි වේදිකාවක් මත නළුවෙකු සතර අභිනය විවරණය කළ බවකි මා සිතන්නේ. මේ නාට්‍ය දෙකේම ප්‍රේක්ෂකයා ලත් නාට්‍යමය අත්දැකීම උදෙසා ජයසිරිගේ රංගන කෞශල්‍යයේ ජවය පිටිවහල් වුණ බව පවසනු කැමැත්තෙමි. ජයසිරි පෑමේ නාට්‍ය දෙකේ දී රඟපෑම පැත්තකට විසි කර, චරිත දෙක තුළ හැබෑවටම ජීවත් වෙනවා යයි පැවසුවේ අසම සම රංගධරයෙකු වූ ජයලත් මනෝරත්නය.


වේදිකාව මත, විශේෂයෙන්ම ලෝක ධර්මී නාට්‍යයක දෙබස් අවශ්‍ය රිද්මය තබා ගනිමින් පැහැදිලි – නිරවුල් හා ප්‍රබල උච්චාරණයකින් ප්‍රේක්ෂකයාට ඉදිරිපත් නොවුණහොත් ඉන් නාට්‍යය විඳින්නට බාධාවකි. හරියට පිටියක ක්‍රිකට් නරඹන විට උඩ පන්දුව අල්ලන අන්දම නුදුටුවා හා සමාන ය. ජයසිරි කිසිම නාට්‍යයක දී ප්‍රේක්ෂකයාගේ ග්‍රහණයෙන් නොමිදෙන නළුවෙකි. ‘දොළහක්’ නාට්‍යයේ විවිධ තලවල නළුවන් සමඟය ජයසිරි රඟපාන්නේ. ඔහු අනෙක් නළුවන් දොළොස් දෙනාගේම වර්ණ පළුදු නොවන අන්දමට සිය වර්ණය මතු කරන්නේ නාට්‍යකරුවාට නිසි සාධාරණය ඉටු කරමිනි. ‘ආපහු හැරෙන්න බෑ’ නාට්‍යයේ විවිධ තලවල නළු නිළියන් සමඟය ජයසිරි රඟපාන්නේ. එහිදී ඔහු සියලුම චරිත සමඟ නිසි මිශ්‍රණයක යෙදෙමින් සිය චරිතය විදහා පාන්නේ කටහඬ සතු බලය නිරුත්සාහකව පරිහරණය කරමිනි. එය ඔහු ඉතා දැනුවත්ව කරන්නක් බව කිව යුතු ය.

මතක සමඟ ලට්ට ලොට්ට


‘මතක සමඟ ලට්ට ලොට්ට’ යනු අලුත් පොතක නමකි. පොතේ කතුවරයා ඩබ්ලිව්. ජයසිරි නම් වේ. හෙතෙම අති දක්ෂ නළුවෙකි. කවියෙකි. කෙටි කතා කරුවෙකි. වේදිකාවේ ද සිනමාවේ ද බින්දුවේ සිට අත්දැකීම් ඇති – කරක් ගැසූ වැඩකාරයෙකි. ඔහු සිය චරිතයෙන් සඟවා තිබෙන කාරණය නම් තමන් ශාස්ත්‍රාලයීය උගතෙකු ද වන බව ය.
මා දන්නා – අසා තිබෙන අන්දමට ඩබ්ලිව්. ජයසිරි තරම් මැනවින් සාහිත්‍යය කියවූ තවත් නළුවෙක් නැත. ධර්මසේන පතිරාජා දිනක පැවසුවේ, මිලාන් කුන්දේරාගේ පොතක් තමා මුළින්ම කියවූයේ ඒ පොත ගැන ජයසිරිගේ වරුණාව අසා සිටින්නට බැරි තරම් රසවත් වූ එකක් නිසා බව ය.


‘මතක සමඟ ලට්ට ලොට්ට‘ ලියන්නට ජයසිරි හැරුණ විට තවත් අය සිටියත් නිදහසේ කැමති විදිහට ලියන්නට ඒ හුඟ දෙනෙකුට පුළුවන් දැයි නොදනිමි. කෙසේ වෙතත් ජයසිරි උසස් අධ්‍යාපනය ලබන්නේ – කලාවට සම්බන්ධ වන්නේ ඒ ඒ ක්ෂේත්‍රවල වැඩෙන්නට හොඳම සරු පස තිබුණ අවධියේ ය. එබැවින්ම සාහිත්‍ය කලා ක්ෂේත්‍රයේ ඔහු ඇසුරු නොකළ කෙනෙකු නම් නැති තරම් ය. ද්වි භාෂික උගතෙකු වූ බැවින් කවරෙකු සමඟ වුව අවැසි අන්දමේ ඇසුරකට ජයසිරිට හයිය තිබුණි. බොහෝ චරිතවල අප්‍රමාණ ගති ලක්ෂණ සම්බන්ධ අසාමාන්‍ය අත්දැකීම් ඇතත් ජයසිරි කිසි දවසක ඒවා දඩමීමා කරගෙන පල්වැඩ නොකළ – නොකරන බව පැවසුවේ සුගතපාල ද සිල්වා ය.


‘මතක සමඟ ලට්ට ලොට්ට‘ කුඩා රචනා – අදහස් කැටිති, අනූ අටකින් සංගෘහිත ය. ඇතැම් රචනාවක ඇත්තේ ජයසිරි නම් සාහිත්‍යකරුවාගේ හැඩ රුව ය. බහුතරයක් රචනා ඔහුගේ මරුම මරු අත්දැකීම් ය. කිසිම රචනයක් නීරස නැත. ඒ ජයසිරිද නීරස නොවන පුද්ගලයෙකු බැවින් යයි සිතමි. ලොකු කුඩා නැතිව කා සමඟ වුව ජයසිරි කතා බහ කරන්නේ හරිම සතුටිනි – සැහැල්ලුවෙනි. ඔහුගේ චරිතය පුරාම තිබෙන්නේ සිනා රසයට දක්වන අසීමිත ඇල්ම ය. මේ පොත තුළ තිබෙන හැම රචනාවක් තුළින්ම මට ජයසිරිගේ කටහඬ – රිද්මය ඇසෙයි, දැනෙයි. ඉතා සැහැල්ලුවෙන් ලියන ලද රචනා ගොන්නක් වුව මේ කෘතියෙන් ලංකාවේ සමාජ සංස්කෘතික ජීවිතය විෂයෙහි තියුණු නිරීක්ෂණ ග්‍රහණය කර ගැනීමට හැකි ය. ජයසිරිට තිබෙන අත්දැකීම් සම්භාරය ගැන කෘතියේ අවසානය කරා යන විට මසිතේ ඇති කළේ ඉරිසියාවකි.

පැවසීමේ රිද්මය


ජයසිරි වචනයේ අර්ථයෙන්ම නියම රසවතෙකි. එහෙත් ඔහු තුළ අවශ්‍ය තැනට පරිහරණය කරන්නට නියමාකාරව පීදෙන සූක්ෂ්ම සන්නිවේද ශක්‍යතාවක් ඇත. ඒ වග වටහා ගන්නට ‘ලට්ට ලොට්ට‘ පළවෙනි ලිපියම මනා නිදසුනකි. ගම් උදා උළෙලෙහි මරාසාද් රඟ දැක්වීමට සාකච්ඡාවකට පැමිණෙන සාගරිකා ගෝමස් කරකවා අත හරින අන්දමත්, රාජ්‍ය යාන්ත්‍රණයේ හස්තයෙන් අත් මිදෙන්නට වගබලා ගන්නා අන්දමත් ජයසිරිගේ, මුඛරි බව – බුහුටි බව සේම සියම් බව ද විශද කරයි.


”අගමැතිතුමාගේ ගම් උදාව බොහොම සුපිරිසිදු සංකල්පයක්… ඒ වෙනුවෙන් පැවැත්වෙන උත්සවයකදී මරාසාද් වගේ සවුත්තු නාට්‍යයක් පෙන්නන එක ගම් උදා සංකල්පයට කරන විහිළුවක්… පණ්ඩුකාභය, සුභ සහ යස, සිංහබාහු වගේ උතුම් නාට්‍යයක් නෙවි මරාසාද්… උදවුවක් කරන්න ඕන හින්දා ගම් උදාව පොතට දැන්වීමක් දෙන්නං”


මෙහිදී ජයසිරි මරාසාද් බේරා ගත් වග කීව ද, ඉන් පවසා සිටින්නේ කලාව හා කලාකරුවන් දැන හෝ නොදැන දේශපාලනීකරණය වූ බවකි. සැබවින්ම සුගතපාල ද සිල්වාට සිය නාට්‍යයක් ගම් උදාවේ රඟ නොදක්වමි කියා තීන්දුවක් ගන්නට බැරි බවත් ජයසිරිම දන්නේය.


ජයසිරි සතු තවත් කුසලතාවක් වන්නේ ‘චරිත නිරූපණ‘ කුසලතාවයි. මේ වූ කලි නිර්මාණයක චරිත නිරූපණය නම් නොවේ. අදෘශ්‍යමාන සංසිද්ධි සහ ඒවා හා බැඳුණ පුද්ගලයන් පිළිබඳ තතු අණාවරණයයි. ලට්ට ලොට්ට අස්සේ ඒවා ද හංගා දමා ඇති අන්දම අපූරු ය.


”නිම් වළල්ළ” රංජිත් ලාල් නිර්මාණය කළ චිත්‍රපටයකි. රංජිත් ලාල් ඩේව්ඩ් සිල්වා නම් ධනවත් පුද්ගලයෙකුගේ පුත්‍රයෙකි. ඔහු සිය ගම හැර අගනුවරට වී රජයේ චිත්‍රපට අංශයේ සේවය කළේ ය. රංජිත් ලාල් නිපදවන ‘නිම් වළල්ළ‘ තිර කතාව ලියන්නේ ධර්මසේන පතිරාජා සහ ජයසිරි බව ලේඛනගතව නැති කාරණාවකි. එහි අලගිය මුල ගිය තැන් ජයසිරි සිත් රිදීම් පෑරීම් නැතිව විස්තර කරයි. ඉතින් ඉමහත් වෙහෙසක් ගෙන සකස් කළ ‘නිම් වළල්ළ‘ තිර නාටකය අතුරුදන් වේ. පසුව අනාවරණය වන්නේ ‘නිම් වළල්ළ‘ රූප ගත කරන බව ය. මෙය වෙන්නේ කොහොම ද? මේ එය වූ වග පවසා ඇති සැටි ය.
”පිටපත නැති වීම සූක්ෂ්ම හොරකමකි. ආරංචියේ හැටියට රූපගත කිරීම් කෙරෙන්නේ ජාවත්ත පාරේ දාස මුදලාලිගේ ගෙදර ය. කුණු ලොරියේ චන්දරේ මිතුරෙකුගෙන් ඉල්ලා ගත් මොරිස් මයිනර් ටැක්සියකින් රෑ හතට පමණ ජාවත්ත පාරට ගියෙමු. පාරේ සිට පේන දුර ය. රාත්‍රී රූප ගත කිරීමක් සිදුවෙන බව පෙනේ. චන්දරේ, තෙන්නෙ හා මම වාහනයේ සිටියදී පතී පමණක් එතැනට ගියේ අඩුම වශයෙන් පොරොන්දු වූ මුදල හෝ ඉල්ලා ගෙන එන්නටය. හිස් අතිං ආපහු පැමිණි පතී කිවුවේ මෙපමණකි. ‘ඔක්කොම ඉස්කෝලෙ යන කොල්ලො. රංජිත් ලාල් මගෙන් අහනවා ‘නිම් වළල්ළ’ කියන්නේ මොකක්ද කියල. අපි ආපහු යං. මෙහෙම දෙයක් උනේ නැහැ කියල අමතක කරල දාමු.”


‘නිම් වළල්ළ’ නමැති චිත්‍රපටයේ තිර කතාකරුවන් කවුරුන් ද? මේ නම පවා පතිරාජගේ බවත් සොරකම විලාසයත් ජයසිරි ලේඛනගත කරන්නේ මතු දිනක හෝ තුවාල සිදු නොවන අන්දමටය.


ජයසිරි ඉතා සියුම් විදිහට ඉරටු පාර දෙන්නට ද සූරයෙකි. එහෙත් ඔහු තමන්ගේ මතක සමඟ සැඟවුණ ලට්ට ලොට්ටයක් පිටතට ගන්නා විටක පවා තමන්ට කෙසේ වෙතත් අන් අයෙකුට සවුත්තු වැඩ කර ඇති කිසිවෙකුට ඉරටුවක් උලුක් කරන්නේ හෝ නැත. එහිදී නම් ජයසිරිට කළු සුදු චරිත නැත. වර්ග චරිත නැත. සේරම සුදු චරිත ය. ඇතැම් සවුත්තු වැඩවලට නම් දරා ඇති චරිතයකට ජයසිරි සිය ලට්ට ලොට්ට අඩුක් කරමින් සුදු හුණු නොව නොම්බර එකේ රබර් පේන්ට් එකෙන්ම තීන්ත ආලේප කරන්නට සූර වෙයි. ඉතින් කුමක් කියන්න ද?


”මිනිස් හට සොඳුරු ගුණ හා නුඟුණ ඇත
නිදොස් කෙනෙක් මෙදියක ඉපදුණේ නැත”

ජයසිරි විවරණ


ජයසිරිගේ සාමාන්‍ය සොබාවය අනුව ඔහු ‘මට උලත් එකයි පිලත් එකයි‘ යන ශීර්ෂයෙන් ජීවත් වෙන්නෙකි. ඔහුගේ මතක සමඟ ලට්ට ලොට්ට තුළින් ඔහු ඒ චරිතයට ජලය පොහොර සපයා ලොකු මහත් කරයි. ලිංගිකත්වය – විවාහය – ආගම – කුලය යනාදි දෘෂ්ටිවාද සම්බන්ධයෙන් ජයසිරි හරිම ප්‍රගතිශීලි මනුස්සයෙකි. එමෙන්ම ඔහුගේ සටන්කාමී බවක් – පරාර්ථකාමී බවක් ද පම්පෝරි නැතිව ඔහු ගෙනහැර පායි. ඔහු හැම විටම තමාට සාපේක්ෂව අනෙකාගේ ගුණයහපත්කම් දකිමින් හා සියුම් ඉරටු පාරදීම් කරන්නේ විදහාපාන සදාචාරයට තරමක් පටහැනිව යයි සිතේ. එහෙත් ඒ සම්බන්ධයෙන් ජයසිරිට දොසක් කිව නොහැකි ය. දොසක් වේ නම් ඒ සෝදා පිරිසිදු කළ අන්දමේ බාල තීන්ත ටිකක් ආලේප කිරීමය.


නාට්‍ය කලාව යනු කැපවුණ ශිල්පීන්ගේ මාධ්‍යයක් ලෙස ලංකාවේ වැඩී වර්ධනය වූවකි. ටෙලි නාට්‍ය සම්ප්‍රාප්තියත් සමඟ කැපවුණ ශිල්පීන්ගේ ද විනය පිරිහුණි. එය රඟපෑම ජීවන වෘත්තිය බවට පත්වුණ පසුව සාධාරණ යයි කිව හැකි ය. එනමුත් යම් කිසි කෙනෙකුට කලා ක්ෂේත්‍රයේ චරිතයක් වන්නට ලැබුණ අත හිත අමතක වීම නම් කලාවේ නොව කලාකරුවන්ගේ ප්‍රශ්නයකි.


‘මරාට සම්මාන‘ මැයෙන් ලියන සටහන මම කීප වාරයක් කියවීමි. එහි කොටසකි මේ.
”එවකට අගමැති ප්‍රේමදාස උන්නැහැගේ අනුග්‍රහය හේතුවෙන් ‘නල්ලතම්බි‘ හොඳම නාට්‍ය සම්මානය දිනාගන්නා බවට රාවයක් පවතිද්දී විනිශ්චය මණ්ඩලයේ සභාපති බන්දුල ජයවර්ධන උන්නැහේ උළෙල අවසන් වූ රාත්‍රියේම ප්‍රතිඵල ප්‍රසිද්ධ කළේය. ‘මරාසාද්‘ ප්‍රධාන සම්මාන සියල්ල දිනා ගත්තේය. ජැක්සන් හා මම රඟපෑමට සම්මාන දින්නෙමු. එහෙත් පිට එම ජයග්‍රහණය උපයෝගී කරගෙන දිගු ගමනක් යාමට පුළුවන් කමක් තිබුණත් නියමිත ලෙස ජැක්සන් ඇන්තනි දින වකවානු නොදුන් නිසා එක දිගටම ලැබුණු අගනුවරින් බැහැර දර්ශන වාර කිහිපයක්ම අවලංගු විය. මෙය නාට්‍යයේ දිගුකාලීන පැවැත්මට අවහිර කළේ ය. පසුව ජැක්සන්ගේ නාට්‍ය උළෙලකට ‘මරාසාද්‘ පෙන්වීමට නැවත පුහුණුවීම් කළෙමු. එම දර්ශනයෙන් පසු දිගටම නාට්‍ය පවත්වා ගෙන යාමට ජැක්සන් සහයෝගය දෙන බවට පොරොන්දු වූ නමුත් එය ප්‍රථම සිංහල චිත්‍රපටය වගේම කඩවුණු පොරොන්දුවක් විය. ‘මරාසාද්‘ මරා විසින් මරා දැමී ය. නාට්‍යය වෙනුවෙන් වියහියදම් දැරුවේ මා නිසා සුගත් ණයකරුවෙක් නොවීය…. ”


ජයසිරි ඇතැම් නාට්‍යකරුවෙකු ගැන කතා කරමින් සංවේගයක් පළ කරන අතර තරුණ නාට්‍යකරුවෙකු ගැන කතා කරමින් සිය බුහුමන පළ කිරීමටද වග බලා ගනියි. රාජිත දිසානායක ගැන ලියා ඇති සටහනකින් කොටසකි මේ.


”මට හමුවූ නාට්‍ය නිෂ්පාදකයන්ගෙන් දශමයක පලුද්දක් නැතිව පිළිවෙළක් සහිතව කටයුතු කළේ ඔහු ය. පුරුදු පුහුණුව කලට වේලාවට වූ අතර අසනීපයකදී හැර වෙනත් කිසිම හේතුවකට රිහර්සල් මිස් කිරීමට නොහැක. එම විනය නඩත්තු කරන්නේ ඒකාධිපති ආකාරයට නොවේ. සුන්දර විදියකට ය…..


තවමත් පරිවර්තන නාට්‍ය නොව ස්වතන්ත්‍ර නාට්‍ය පමණක් කරන රාජිත තම කලා භාවිතය වේදිකාව මත දී පමණක් නිර්මාණය කරන එකම කලාකරුවාය. ලංකාවේ සිටී නම් තම නාට්‍යය පෙන්වන ඕනෑම දර්ශනයක් මුල සිට අගට නරඹන එකම නාට්‍ය නිෂ්පාදක රාජිත පමණි.”

දැවැන්ත කැන්වසයක රේඛා චිත්‍ර


ජයසිරි ඉපදී හැදී වැඩී ගොඩ නැඟී ඇත්තේ තවත් මිනිසෙකු ලෙසින් නොවේ. ඔහු සමාන ඔහුටම ය. සාහිත්‍ය කලා සංස්කෘතික හා දේශපාලන ක්ෂේත්‍රයේ ඔහු සතු අත්දැකීම් තවත් ජීවතුන් අතර සිටින කී දෙනෙකුට තිබේ දැයි නොදනිමි. මේ හැම ක්ෂේත්‍රයකම ඔහු ඇසුරු කළ අය බොහෝ ය. සැබවින්ම ඇසුරක් – මිතු දමක් – පයුරු පාසානයක් නොතිබිණ කෙනෙකු ගැන හිතත්නට පවා අසීරුය. ඔහුම පවසන්නේ තමන්ට සම්බන්ධ උදවියගෙන් මිය ගිය අය මෙනෙහි කිරීමට වඩා ජීවතුන් අතර සිටින ගණන සිහි කිරීම පහසු බව ය. ඔහුගේ සටහන් අනූ අටෙන් එදා මෙදාතුර සිටි දැවැන්තයන් ගැන වැදගත් තොරතුරු – රසවත් තොරතුරු කියැවේ. ‘මතක සමඟ ලට්ට ලොට්ට‘ සැබවින්ම නූතන සාහිත්‍ය කලා සංස්කෘතිය විෂයෙහි විසල් කැන්වසයකි. එනමුත් එහි සියල්ලම පාහේ රේඛා සටහන් ය. ලංකාවේ හොඳම ගුරුවරුන්ගෙන් ඉගෙනීමට හා ඔවුන් ඇසුරු කිරීමට භාග්‍යසම්පන්න වූ ජයසිරිට, නිකංම නළුවෙකු නොවුණ ජයසිරිට, වියතුන් සභා මැද හරඹ කිරීමට සමතෙකු වූ ජයසිරිට විසල් කැන්වසයක අමරණීය බිතුසිතුවම් වැනි සිතුවම් අඳින්නට හැකි යයි මම සිතමි. තවත් ජවයෙන් වැඩ කරන ඔහුට විවේක සුවයෙන් ලංකා සමාජය විෂයෙහි සමාජ විද්‍යාත්මක අගයකින් යුත් දේශපාලනික කියවීමක් කළ හැකි ය. ඊට අවශ්‍ය දැක්ම – කුසලතාව හා සියලු සම්පත් ඔහු සතු යයි ද මම සිතමි.

ජයසිරි නම් කවියා


ජයසිරි සහ පතිරාජා ඇසුර ගසට පොත්ත වැනිය. පතිරාජාගේ හොඳම නිර්මාණ පසුපස ජයසිරි ශක්තියක් විය. ජයසිරි සතු කුසලතා මැනවින් දැන සිටියේ පතිරාජා ය. එනිසාමය පතිරාජා ජයසිරි ලවා ‘බඹරු ඇවිත්’ චිත්‍රපටයේ තේමා ගීතය බලෙන් ලියවන්නේ. ඒ ගීතය කේමදාසගේ සංගීතය ද සමඟ මුසුව පතිරාජාගේ චිත්‍රපටයට ලබා දුන් ආලෝකය – අසිරිමත්ය.


ජයසිරි ලියූ මේ ගීතය ගැන කතා කරමින් කාලෝ ෆොන්සේකා පැවසුවේ ජයසිරිගේ කවිකමට මේක හොඳටම ඇති කියා ය. එය නම් ඇත්තක්මය.


ජයසිරි හොඳ කියවන්නෙකු – රසිකයෙකු බව මම කීවෙමි. එහෙත් ඔහු ටිකක් අලියෙකුට සමාන ය. අලියා අලියා ගැන නොදන්නවා සේ ජයසිරි, ජයසිරි ගැන නොදන්නවා නොවේ. ඔහු කැමති මොනවාටදැයි කල්පනා කළ කෙනෙකු ප්‍රශ්නයක් ඇසුවොත් ඔහු දෙන පිළිතුර කුමක් විය හැකි ද?


‘මම කැමතියි කුඩුකේඩුකම් නොකරන හිත මිත්‍රයන් සමඟ හොඳට බොන්න, බිබී කතා කරන්න’ කියා කියනු ඇතියි මම සිතමි.


ජයසිරිට හරි රහට ලියන්න පුළුවන් යයි උජාරුවෙන් කීවේ දයා තෙන්නකෝන්ය. ඒ යාළුවා මුරුංගාඅත්තට නැංවීමක් නොවේ. ජයසිරි රහට ලියූ තැනක් උපුටා දක්වනු කැමැත්තෙමි. ඒ මාලිනී ගැන ලියා ඇති සටහනෙනි.


‘ජීවිත වන්දනාවේ ඕනෑම චරිතාංගයක් ප්‍රතිනිර්මාණය කිරිමට හා කැමරාව කොයි මුල්ලක තියා රූපගත කළත් ෆොටොජෙනික් විමට ඇයට තිබූ ශක්‍යතාව ලංකාවේ වෙනත් කිසිම නිළියකට නොතිබිණ. මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකාට ලංකාවේ නිළි රැජින ලෙස විරුදාවලිය ලැබුණේ එනිසාය. බොහෝ රූමත් පෞරුෂය ඇති නැති තරුණයන් මාලිනී පිටුපස පෝලිමේ සිටි අතර ඒ හැම දෙනෙක්ම ඇගෙන් ප්‍රයෝජන ගත්හ. ඇය ද නිර්ලෝභීව ඒ හැම දෙනෙකුටම නොමසුරුව ඉල්ලන හැම දෙයක්ම දුන්නාය. ඇය නිළි රැජින පමණක් නොව හිත හොඳ අම්මණ්ඩි ද විය. හිත හොඳ අම්මණ්ඩි හැමදාම බඩින් යයි කතාවක් තිබේ. එහෙත් ඇය කිසි දිනක දරුවන් වැදුවේ නැත. වරක් අපිට සිටි මහා නාට්‍යකරුවෙකු වූ ගුණසේන ගලප්පත්ති ‘සෙනෙහලතා‘ නමින් වේදිකා නාට්‍ය පිටපතක් ලියාගෙන මාලනී සමඟ එම පිටපත වේදිකා ගත කිරීමට සිහින දැක්කේය. ඒ දිනවල ගලප්පත්ති උන්නැහේ දුටු හැම හීනයකම මාලිනී සිටියාය. මෙය මොන තරම් බලවත් වූවා ද කිවහොත් ඔහු උමතුව පාරක් පාරක් ගානේ ඇවිද ගිය බව දන්නේ ටික දෙනෙකි…”
කතාවක් රහට ලියන්නට බස හැසිරවීමට හැකි විය යුතු ය. එමෙන්ම ලියන්නට සාරවත් නිර්ව්‍යාජ අත්දැකීම් තිබිය යුතු ය. තව ද අත්දැකීම් නිරීක්ෂණය කොට, විනිවිද දකින්නට ඉසියුම් පරිකල්පන ශක්තියක් තිබිය යුතු ය. මේ උපුටනය ඒ සියලු දේ ජයසිරි සතු බව නොවේ ද පවසන්නේ.


ජයසිරිමෙවන් රචනා කීපයක්ම ලියා ඇත.


ඔහුගේ තියුණු නිරීක්ෂණ ශක්තියට දෙස් දෙන වැකියක් ස්වර්ණා ගැන සටහන නිම කරමින් ලියා ඇත.


”ස්වර්ණා අභියෝගයක් වූයේ ගැහැනුන්ට නොවේ. මිනිසාගේ අනගතය වෙනුවෙන් යයි සිතා අපි පරම්පරා ගණනාවක් හදා වඩා ගත් නිසරු වටිනාකම්වලට ය.”

ජයසිරිගේ සදාචාරය


ජයසිරි ප්‍රගතිශිලී අදහස් හිසින් ගත්තෙකි. ඔහු සටන්කාමියෙකි. රැකියාව ද උපයා ගත් වස්තුවද අත් හරින්නට ඔහු දෙවරක් කල්පනා කර නැත. හැම විටම තමන් වෙනුවෙන් නොව අන්‍යයා වෙනුවෙන් ඔහු කැපවුණ බවට තතු විත්ති මේ කෘතියේම අන්තර්ගතය.
නාට්‍ය උළෙලක සම්මාන ප්‍රතික්ෂේප කළේ ය. ලාභය වෙනුවෙන් කටයුතු නොකරන චරිතයක් ඔහු සතු විය.


ජීවිතයේ අපමණ දුක් කම්කටොලු විඳ දෙවන වතාවට ඔහු නිල වශයෙන් සැමියෙකු බවට පත් වෙයි. ඔහු ඒ භූමිකාවට ළෙන්ගතු වීමේ කිසි වරදක් නැත. හැමදාම මනුෂ්‍යයෙකු නන්නත්තාර විය යුතු නැත.


එහෙත් සැමියෙකු, පියෙකු වූ ජයසිරිගේ දිවි පෙවෙත අංශක එකසිය අසුවකින් අනෙක් පැත්තට කැරකුණ සැටි නම් පුදුම සහගත ය.


වරක් ඔහු පුවත් පතකට පවසා තිබුණේ, ”මගෙ ගාන ගෙවනවා නම් මං කුණු වුණත් අදිනවා” යන්නය.


මේ ජයසිරි ”මං දැන් වෙනස් මිනිහෙක්” කියා කියූ සැටි නොවේ ද?


යහ පාලනයක් වෙනුවෙන් කැපවුණ පිරිස අතර පතී මෙන්ම ජයසිරිද සිටි බවය වාර්තා වන්නේ. ඒ කැපවුණ උදවිය අපේක්ෂාභංගත්වයට පත්ව ඇතැම් කටයුතු ගැන විරෝධය පළ කරමින් සංදේශ අත්සන් කරන විට කිසිවෙකු පාට වර්ණ හෝ පෞද්ගලිකත්වය සැලකුවේ නැත. කිසිම කිසි සුදුසුකමක් නැති පුද්ගලයෙකු දියුණු රටක තානාපති ලෙස පත් කරන්නට ජනාධිපතිවරයා තීරණය කළ විට ඊට විරෝධය පා සන්දේශයක් සකස් කොට ඊට අත්සන් එකතු කරන විට ජයසිරි අත්සන් කිරීම ප්‍රත්ක්ෂේප කළේ ය. ඊට ඔහු හේතුවද දක්වා තිබුණි.


”එයා තානාපති වුණාට මට කිසි ප්‍රශ්නයක් නෑ. මට පාඩුවකුත් නෑ ලාභයකුත් නෑ. මට අදාළත් නෑ”


”මතක සමඟ ලට්ට ලොට්ට” කියවා හීන් අඩියක් ගහන විට මෙහි ඇත්තේ ඉස්සර ජයසිරිගේ ‘මතක සමඟ ලට්ට ලොට්ට‘ විනා, අද ජයසිරිගේ ‘මතක සමඟ ලට්ට ලොට්ට‘ නොවේ නේදැයි මට සිතුණි.


ජැක්සන් ඇන්තනි ගැන ලියන ජයසිරි කිව්වේ ‘මරාසාද්‘ මරා විසින් මරා දැමී ය කියා ය. ඒවා එහෙම වෙන එක හරි පුදුම යයි කියා ද සිතුණි.■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි