21.6 C
Sri Lanka
26 September,2021

සිහි කිරීමේ අයිතියක

Must read

ලකට ඉහත ජාතික පුවත්පතක මුල් පිටුවේ ඡායාරූපයක විස්තර මේ ය.

 

තද වැස්සක් වසියි. මහ පාරේ තාර තට්ටුව මත උඩුබැලි අතට තරුණයෙක් වැතිරී සිටියි. හැට්ටයක් හා රෙද්දක් හැඳි වියපත් ගැහැනියක් තරුණයාගේ මුහුණට ඉහළින් තමන් හැඳ සිටින චීත්ත රෙද්දෙන් පොටක් ආවරණයක් සේ අල්ලා ගෙන සිටින්නී ය. එනිසා තරුණයාගේ මුහුණ තෙමෙන්නේ නැත. එහෙත් ගැහැනිය වැස්සේ තෙමෙන්නී ය.

 

ඡායාරූපයේ පසුබිම් කතාව මේ ය.

 

තරුණයා, ආයුධ පෙන්නන්නට ගොස් පොලිසියෙන් මැරුම් කෑ අයෙකි. අපරාධයක සැකකරුවෙකි. උඩුබැලි අතට බිම හොවා ඇත්තේ ඔහුගේ වෙඩි වැදුණු මළසිරුරයි. ගැහැනිය ඔහුගේ මව ය. පුතා මළා ද යන්න ඇයට වැදගත් නැත. පුතුගේ මුහුණ සිය චීත්තයෙන් ආවරණය කර තෙමෙන්නට නොදී ඇය තෙමෙමින් සිටියි. අම්මා එහෙම කළා යැයි පුතුට දැනෙන්නේ ද නැත.

 

මව්වරුන්ට පියවරුන්ට, තමන්ගේ දරුවන් ත්‍රස්තවාදීන් ද, අපරාධකරුවන් ද, සැකකරුවන් ද, යහපත් මිනිසුන් ද, ආගමික නායකයන් ද, දේශපාලකයන් ද යන්න වැදගත් නැත. මළා ද නැද්ද යන්න ද වැදගත් නැත. හැම කල්හි ම ඔවුන්ට දරුවන් කෙරෙහි ඇත්තේ එක ම ආදරයකි.

 

මහර දී දින දෙක තුනකට පෙර සමාජය දුටුවේ ඒ ආදරයේ ම ප්‍රකාශනයකි. ‘දරුවා හදන කොට හරියට හදා ගත්තා නම් ඔහොම වෙන්නේ නෑ’යි කෙනෙකු ෆේස්බුක්හි සටහනක් තබා තිබුණි. එහෙත්, දරුවන් හැදීම හා අපරාධකරුවන් වීම යනු සියයට සියයක් පෑහෙන දෙකක් නොවේ.

 

තමන්ගේ දරුවන් කවරකු වුවත්, ඔවුන්ට ආදරය කිරීමත්, ඔවුන් ජීවත් ව නොසිටින කල ඔවුන් සිහි කිරීමත් දෙමාපියන්ගේ, වැඩිහිටියන්ගේ ස්වභාවයයි. අද ශිෂ්ට ලෝකයේ එය අයිතිවාසිකමක් හැටියට ද සැලකෙයි.

 

කෙනකුට අපරාධකාරයකු හැටියට පෙනෙන කෙනෙකු තවත් කෙනකුට යහපත් මිනිසකු ලෙස පෙනෙන්නට ද පුළුවන. අපරාධ සම්බන්ධයෙන් රටේ සම්මත නීතිය අනුව අපරාධකාරයකු ද නැද්ද යන්න ගැන අපට විනිශ්චයක් දිය හැකි ය.  එහෙත්, එයින් මිනිස්කම පිළිබඳ මිනුම් දඬු එතරම් හෙල්ලෙන්නේ නැත.

 

පසුගිය ජනවාර්ගික ගැටුමෙන් මියගිය තමන්ගේ ඥාතීන් සාමූහිකව, ප්‍රසිද්ධියේ සිහි කිරීමට අපේ රටේ අධිකරණයෙන් ම තහනමක් පැනවී තිබේ. ඒ තහනම ලබා ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව පෞද්ගලිකව ම උනන්දු වී කොළඹ සිට මුලතිව් දක්වා ම ගියේ ය. ඒ අනුව පෙනෙන්නේ එවැනි සිහිකිරීම් නොඉවසීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බව ය.

 

එහෙත් ඒ ආණ්ඩුව ම, හමුදා රණවිරුවන් මහත් උත්සවාකාරයෙන් සමරයි. එකී රණවිරුවන්ගේ ඥාති සමූහයාට ද සාමූහික ව ඒ සැමරීම්වලට සහභාගි වීමට පහසුකම් සපයනු ලැබේ. ඒ රණවිරුවෝ ජාතික වීරයන් හැටියට ද උත්කර්ෂයට නැංවෙති.

 

ජනවාර්ගික ගැටුම ආණ්ඩුව සලකන්නේ දේශප්‍රේමය හා දේශද්‍රෝහිත්වය අතර මිනුම් දණ්ඩක ලා ය. රජය වෙනුවෙන් සටන් කළ සියලු ම දෙනා දේශප්‍රේමීන් වන අතර, ඊට එරෙහිව ගිය සියලු ම දෙනා දේශද්‍රෝහීහු වෙත්. ඒ අර්ථකථනය කෙතරම් පුළුල් ද කියනවා නම්, දෙමළ ජනතාව සමග බලය බෙදා හදා ගත යුතු යැයි කියන ඕනෑ ම කෙනකු පවා ආණ්ඩුව සලකන්නේ දේශද්‍රෝහියකු හැටියට ය.

 

එහෙත්, මේ දේශප්‍රේමී-දේශද්‍රෝහී සියලු දෙනා සමාන වන එක තැනක් තිබේ. ඔවුන් සියලු ම දෙනා මේ රටේ පුරවැසියන් වීම ය. එසේ වන බව අප පිළිගන්නේ නම්, පිළිගත යුතු තවත් දෙයක් තිබේ. ඒ සියලු දෙනා ම සැමරීමට, ඔවුන්ගේ මව්වරුන්ට පියවරුන්ට මෙන්ම සමීපතමයන්ට ද අයිතියක් තිබෙන බව ය. එය සාමූහිකව ද, ප්‍රසිද්ධියේ ද කරන්නට ඔවුන්ට අයිතියක් ඇති බව ය.

 

තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්නට බට මිනිසුන් හැමදාම බලාධිකාරිය විසින් හැඳින්වුණේ ද්‍රෝහීන් හැටියට ය. ඒ හැඳින්වීමට ඇත්තේ සිමිත ආයු කාලයකි.■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි