26 C
Sri Lanka
27 November,2021

සිංහල නවකතා කලාවේ ස්ත්‍රී මුද්‍රාව

Must read

මේ වසරේ අවසන් කෘති පහට සුමිත්‍රාගේ ‘මධුර මන්තර‘ හා ඉලයප්ආරච්චිගේ ‘මැස්සා‘ යන කෘති දෙක නොතේරී කත්‍යානා අමරසිංහගේ ‘බාණ කුසුම්‘ තේරීම නම් විස්මයකි.

සිංහල කවියෙහි ස්ත්‍රී භූමිකාව ගැන අවධානය යොමු කරන විට ගජමන් නෝනා ස්මාරකයක් සේ විරාජමාන වේ. එවැනි පෞරුෂයක් නවකතාව විෂයෙහි හඳුනා ගන්නට නොලැබේ. ඊට ප්‍රධාන හේතුවක් වන්නේ නවකතාව නම් වූ සාහිත්‍යාංගය අලුත් සාහිත්‍යාංගයක් ලෙස වැඩී වර්ධනය වීම ය. කලාත්මක අගයෙන් අනූන සාහිත්‍යාංගයක් ලෙස නවකතාව අතු ඉති ලා වැඩෙන විට ස්ත්‍රී පෞරුෂයක් ලෙස ප්‍රබලව මතු වුණේ ඊවා රණවීර ය. ලේඛකයන් තම වැඩ බිමක් බවට පත් කර ගත් ප්‍රබන්ධ කතා ක්ෂේත්‍රය තුළ ඊවා රණවීරට නිසි ගෞරවයක් නොලැබුණි. එහෙත් සෙමින් සෙමින් ලේඛිකාවන් නවකතා නිර්මාණය කරමින් අද වන විට ලේඛකයන් අබිබවන තත්වයකට පත්ව සිටින බවකුත් පෙනේ. කිවිඳියක වීමට වඩා නවකතාකාරියක වීම අතිශයින් අසීරු ය. හේතුව කවි කල්පනාවක් මනසෙහි වඩා හිඳුවා ඉඩක් ලැබුණ අවස්ථාවක කඩදාසියකට දමා එකතු කොට කාව්‍ය සංග්‍රහයක් පළ කළ හැකි වුවත් නවකතාවක් ඒ අන්දමට රචනා කළ නොහැකි ය. ඒ වෙනුවෙන් නිශ්චිතව විශාල කාලයක් කැප කළ යුතු ය. පුරුෂෝත්තම සමාජයක ස්ත්‍රියකට ඒ නිදහස උරුම වන්නේ කලාතුරකිනි. කෙසේ වුව හැත්තෑවේ දශකයෙන් පසුව නවකතාකාරියන් සම්මානයට බඳුන් වීමට සමත් වී සිටින බව පෙනේ. මේ සියලු දෙනාගේ පදනම ශක්තිමත් කිරීමට කිසියම් පුරෝගාමිත්වයක් දැරූ ලේඛිකාවක ලෙස මම සුමිත්‍රා රාහුබද්ධ හඳුනා ගනිමි. ඇය අද අපේ කතා නායිකාවයි.

සුමිත්‍රා ලකුණ


‘ජීවිතය, වෙනස් කළ හැකි බොහෝ දේ තිබේ. කිසියම් එක් සිදුවීමක් වෙනස් කළහොත්, ඉන් ඉදිරියට සිදුවිය හැකි බොහෝ දේ නිතැතින්ම වෙනස් වනු ඇත. ඉතිහාසය ද වෙනස් කිරීමට ඉඩ තිබුණ අවස්ථා එක්කෝ අප මඟහැර ඇත. නැත්නම් අප නොදැනම ඒ සිදුවීම් අපගේ ඇඟිලි අතරින් ඉහිරී ගොස් ඇත.’ (දැක නෙක විලස)


සිංහල නවකතා ක්ෂේත්‍රයේ වත්මනේ කැපී පෙනෙන සුනේත්‍රා රාජකරුණානායක, අනුලා විජයරත්න මැණිකේ, සේපාලි මායාදුන්නේ, කැත්ලින් ජයවර්ධන, ශාන්ති දිසානායක යනාදි ලේඛිකාවන්ට සිය ප්‍රතිභානය විශද කිරීමට අවශ්‍ය පදනම සාහිත්‍ය සම්භාෂණය තුළ ගොඩ නඟන්නේ සුමිත්‍රා රාහුබද්ධ බව අපගේ නිරීක්ෂණයයි. ලේඛකයන් විසින් නිරූපණය කරන ලද ‘තරුණිය සහ ස්ත්‍රිය’ නිසි වර්ණ ඔස්සේ පාඨක අවධානයට ලක් වුණේ ඊවා රණවීරගෙන් හා සුමිත්‍රා රාහුබද්ධගෙනි. අයිලීන් සිරිවර්ධන යම් පෞරුෂයක් හිමි කර ගත්ත ද ඇගේ නවකතාවල වස්තු විෂය නෑකම් කිව්වේ ජනප්‍රිය කතා කලාවට ය. ‘අහසින් පොළොවට‘ සිනමා කෘතියක් ලෙස අවධානයට ලක් වුව නවකතාවක් වශයෙන් එය අතිසරල වියමනක් වන්නේය. ඊවා සහ සුමිත්‍රා යන දෙදෙනා ගැන කල්පනා කරන විට, අඛණ්ඩව නවකතා නිර්මාණයෙහි නිමග්න වෙමින් සිය නිර්මාණ ශක්තිය සහ ලේඛන පෞරුෂය සාහිත්‍ය සම්භාෂණය තුළ ප්‍රතිෂ්ඨාපනය කරගත් ලේඛිකාව වන්නේ සුමිත්‍රා රාහුබද්ධ යි.


කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක වන සුමිත්‍රාගේ කැමැත්ත තිබුණේ ආර්ථික විද්‍යාඥවරියක වන්නටය. එහෙත් ඇය අතින් සිදුවුණ අතපසු වීමක් නිසා ඇයට ආර්ථික විද්‍යාඥවරියක වන්නට නොහැකි වේ. සිවිල් නිලධාරිනියක බවට පත්වීම හේතුවෙන් ඇය විශිෂ්ට ලේඛිකාවක ලෙස පෙරමං බලන්නට භාග්‍ය සම්පන්න වන්නීය.


විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කළ තරුණ සුමිත්‍රා සිය ජීවන වෘත්තිය ලෙස මුළින්ම තෝරාගෙන තිබෙන්නේ භාෂා පරිවර්තනය බව මා අසා ඇත. එහෙත් ඇයගේ දෛවය ඊට එහා ලොවක් ඇති බව අවධාරණය කිරීම හේතුවෙන් සිවිල් සේවයට ඇය ඇතුළත් වන්නීය. එහෙත් ඇගේ නිර්මාණ ජීවිතය ‘සිවිල් නිලධාරිනිය‘ තුළ අවසන් ගමන් යන්නේ නැත. සිදු වන්නේ දීප්තිමත් වීම ය.


‘සාහිත්‍ය ජීවිතයේ මා ගමන් කළ දුර ගැන මම බොහෝ සතුටට පත් වෙමි. මට කිසියම් කුසල කර්මයක් නිසා ලැබී ඇති ලිවීමේ හැකියාව මෙහෙයවමින් මම මගේ පෑන් තුඩින් මේ වනතුරු කිසිදු අකටයුත්තක් කර නැත. ඉදිරියට එසේ කරන්නේ ද නැත. මන්ද – මට මේ පෑන් තුඩ විවිධ, විචිත්‍ර අදහස් සමුදායක් ද සමඟ තිළිණ කරනු ලැබ ඇත්තේ අනන්ත අප්‍රමාණ වූ ස්වභාව ධර්මය විසින් වන බැවිනි. මගේ පෑන් තුඩින් හැම විටම මා ලියා ඇත්තේ මට දැනෙන දෙයයි. මා අවංකවම විශ්වාස කරන දෙයයි. මම මා ලියූ දෙයට හා ඉදිරියේ ලියන හැම අකුරක් පාසාම අවංක වන බව විශේෂයෙන් මෙහි ලා සඳහන් කරමි.’ (දැක නෙක විලස)

බුමුතුරුණක් නොවුණ උදානය


අදටත් ලංකා සමාජයේ ස්ත්‍රියකට අභිමානයෙන් නැඟී සිටින්නට අවස්ථා විරල ය. සුමිත්‍රා ඊට අභියෝග කළ ගැහැනියකි. අභියෝග කොට ජයගත් ගැහැනියකි. සුමිත්‍රාගේ ලේඛන ජීවිතය උපදින්නේ කඩදාසියක් සහ පෑනක් සමඟින් නොවේ. ඇය සතු ද්විභාෂික හැකියාව හේතුවෙන් ලෝක සාහිත්‍යය සමඟ දැඩි මිත්‍රසන්ථවයක් පවත්වාගෙන යාම ඇගේ ලේඛන පෞරුෂයේ දීප්තියට හේතු වී ඇත. ‘උදානය’ නවකතාව මුළින්ම කියවූ පාඨකයෙකු ලෙස මට එදා හැඟුණේ ඉන් පෙර හොඳ නවකතාවක් කියවූ විට ඇතිවෙන හැඟීම් නොවේ. ඒ කුඩා නවකතාව ලියා තිබුණ භාෂා රීතිය, අවස්ථා හා සිද්ධි නිරූපණයේ දී පාඨකයා කතාව තුළ ජීවමාන චරිතයක් බවට පත් කිරීම හා එහි හෘදයංගම බව විශිෂ්ට විය.
සාමාන්‍යයෙන් අප අත් විඳින්නේ කවර නිර්මාණකරුවෙකුගේ වුව පළමු නිර්මාණයේ තිබුණ ‘ජීව ගුණය – හෘදයංගම‘ බව ක්‍රමයෙන් සිඳීයාම ය. ඊට හේතුව ප්‍රතිභානය පමණක්ම අඛණ්ඩව ලේඛනයේ නිමග්න වීමට ප්‍රමාණවත් නොවන බව ය. එනිසා විය යුතුය පැරැන්නන්, ප්‍රතිභානයට අමතරව ව්‍යුපත්තිය හා බහුශ්‍රැතභාවය ගැන ද සඳහන් කළේ. කෙසේ වුව සුමිත්‍රාගේ ‘උදානය‘ කියවූ පාඨකයෙකු වූ මා ‘දළ රළ පෙළ‘ කියවන්නට පටන්ගෙන එය කියවාගෙන යන විට වැටහුණේ ‘නිර්ව්‍යාජ අත්දැකීම්වල ජීවය හා සුවඳ‘ එහි උතුරා හමන වග ය.


සුමිත්‍රාගේ ‘දළ රළ පෙළ‘ මා මිලට ගත්තේ සන්ත බස්තියම කන්දේ තිබුණ කේ. ජයතිලකයන්ගේ කුඩා පොත් සාප්පුවෙනි. පොත ගෙන ජයතිලකයන් සමඟ පිළිසඳරකත් යෙදුණෙමි. ඒ අවස්ථාවේ එතුමන් කියූ වචන මට තවමත් හොඳින් මතක ය.


”කාට වුණත් අත්දැකීම් තිබුණට බෑ. නිර්ව්‍යාජව ඉදිරිපත් කරන්න නිර්භීතකමක් ඕනැ. රාහුබද්ධ ගොඩ නඟා ගත්ත නම හොඳටම රැක ගන්නවා.”


මම සුමිත්‍රාගේ පාඨකයෙකු වූවා පමණක් නොව ඇගේ පොත් මිලට ගෙන මට කැමති අයට තිළිණ කළ, ඇතෑමුන්ට ඒ පොත් කියවීමට ආසාවක් ද ඇති කළ කෙනෙක් වෙමි. මා ඇගේ නිර්මාණවලට බැඳුණේ ‘රසවත් එහෙත් භාවාත්මක නොවුණ‘ පාඨකයා ග්‍රහණයට නතු කර ගන්නා හෘදයංගම භාෂාව නිසාම ය. පණ්ඩිතකම්වලින් වියුක්ත ඇගේ නිර්මාණයක මුළ සිටම තිබුණේ නිර්ව්‍යාජ ගුණයම ය. කිසියම් දවසක දුර ගමනක් ගොස් නවාතැන් ගන්නට තිබුණ බැවින් මම අසවල් දෙයක් නිසාදැයි නොදනිමි, මා හොඳටම කියවා තිබුණ සුමිත්‍රාගේ, උදානය, දළ රළ පෙළ සහ බුමුතුරුණු යන නවකතා තුන බෑගයට දමාගෙන ගියෙමි. දින දෙකක් තුළ පොත් තුනම යළිත් කියවීමි. මට සිහිවුණේ කේ. ජයතිලකගේ වචන ය. සැබවින්ම සුමිත්‍රා නවකතා කලාවට උදානයක් බවත්, පල්හෑලි ලියා බුමුතුරුණක් බවට පත් නොවන බවත් මට හැඟිණි.

නැවුම් අත්දැකීම්


සුමිත්‍රාගේ සියලුම නවකතා කියවා තිබෙන කෙනෙකු ලෙස මා දකින වෙසෙස් ගුණය නම් හැම කෘතියකම ඇගේ වස්තුවිෂය වෙනස්ම එකක් වීම ය. ඇතැම් කෘතිවල තිබෙන්නේ ලේඛකයෙකු තමා හොඳටම ලියන ලද වස්තු විෂයක් නැවත දුබල අන්දමට ලියා තිබීම ය. මේ කාරණය ගැන කතා බහකදී මහාචාර්ය සිරි ගුණසිංහ කී බස මෙවැන්නකි.


”අපේ රට කුඩා රටක්. අපේ සාහිත්‍යයත් ඇත්තටම සීමිත රාමුවක ලියවුණ කුඩා එකක්. ලෝක සාහිත්‍යයේ ආශ්‍රය නැතුව අද කාටවත් හරවත් දෙයක් ලියන්න බෑ. ලංකාව තුළ ජීවත් වීමෙන් විතරක් අත්දැකීම් ලබපු අයට දුක විතරයි ලියන්න පුළුවන්. නිර්මාණයක තියෙන්න ඕනැ පාඨකයාගේ කල්පනා ශක්තිය අවදි කරන ගුණයක්. නිර්මාණකාරයා ලෝකයේ සාමාජිකයෙක් වෙන්න ඕනැ….”


මට දිනක් පැවසුවේ තමන් කැමති සුමිත්‍රා ඉස්සර ලියපු නවකතාවලට. අද ලියන ඒවා මට හරි ඈතයි. යන්න ය.


සරච්චන්ද්‍රගේ බසක් මට සිහි වේ.


”සාමාන්‍යයෙන් පාඨකයා – රසිකයා තමන් කැමති වුණ නිර්මාණය හැම වෙලාවෙම නැවත නැවත කියවන්න නරඹන්න කල්පනා කරනවා. මේකට හේතුව පාඨකයා කුඩා ලෝකයක හිරවෙලා ජීවත් වීම. අලුත් නිර්මාණයක් කියන්නෙ අලුත් එකක්. ඒක සාර්ථක ද අසාර්ථක ද වෙන කතාවක්. හැබැයි ඒක කියවන්න නරඹන්න හොඳ නෑ තමන් කැමති විදිහට. නිර්මාණයට ගැළපෙන විදිහට පාඨකයා හෝ රසිකයා අවදි කරන්න ඕනැ විචාරකයො. අපේ ඒක කෙරෙන්නෙ නෑ. මගෙන් අහනවා මළගිය ඇත්තෝ – මළවුන්ගේ අවුරුදු දා භාෂාවෙන් ඇයි පස්සෙ ලියපු ඒවා ලිව්වෙ නැත්තෙ කියලා. හැම වෙලාවෙම පාඨකයා හා රසිකයා වෙනුවෙන් විචාරකයෙක් කරන්න ඕනැ දේ නොකෙරුණාම ඕවා තමයි අහන්නෙ. අලුත් කියවීමක් කෙරෙන්නෙ නෑ.”


මේ අදහස අදට එදාට වඩා වැදගත් යයි සිතමි. මට මතක විදිහට නම්, සුමිත්‍රාගේ ‘කන්දක් සේමා‘ නවකතාවට එය පළවූ වසරේ, විද්‍යොදය සම්මානය, ගොඩගේ සම්මානය, රාජ්‍ය සම්මානය හා ස්වර්ණ පුස්තක සම්මානය හිමි විය. ඒ තතු කෙසේ වුව මේ පොතගැන කතා බහකදී මහාචාර්ය සුරවීර පැවසුවේ මෙැවනි අදහසකි.


”හොඳට සිංහලෙන් ලියපු සුමිත්‍රා කටවහරට පල්ලම් බැස්සෙ ඇයි කියලා මට නම් හිතා ගන්න බෑ.”


මහාචාර්ය සුරවීර මෙහිදී අප්‍රසාදය පළ කළේ සුමිත්‍රාගේ ‘කන්දක් සේමා‘ නවකතාව දුර්වල නවකතාවක් ලෙස තමන් හිතන බව හෝ නොවේ. ඔහු කම්පාවට පත්ව සිටියේ සුමිත්‍රා සිය ලේඛන රීතිය වෙනස් කරගැනීම නිසා ය. මා කල්පනා කළේ ඊවා රණවීර සාහිත්‍ය සම්භාෂණය තුළ නිල ඇගයීමකට ලක් නොවන්නට හේතුවයි.


කන්දක් සේමා කට වහරින් ලියූ නවකතාවක් වන්නේ එහි වස්තුවිෂය ඉල්ලන රීතිය එය නිසා ය. සැබවින්ම ‘අත අත නෑර‘ කෘතිය සාම්ප්‍රදායික රීතියෙන් ලියවුණා නම් එය කියවීම කොතරම් අසීරු විය හැකි ද? භාෂා රීතිය හරි නෑ, පොත නං හොඳයි යන්න අපභ්‍රංස විචාරයක් නොවේ ද?

කියවීම හා තක්සේරුව


පොත් ප්‍රකාශකයන්ගේ සංගමය වසරක් පාසා පිරිනමන ‘ස්වර්ණ පුස්තක‘ සම්මානය නිසා නවකතා පළ වීම හා කියවීම වැඩි වී ඇති බව පැවසේ. ස්වර්ණ පුස්තක සම්මානය නිසාම නවකතා වේගයෙන් ලිවීමක් සිදු වෙන බව ද වාර්තා වේ. කෙසේ වුව සිංහල භාෂාවෙන් ලියන නිර්මාණකරුවන් කිහිප දෙනෙකුට හෝ මේ සම්මානය නිසා හොඳ වෙළඳ පලක් ගොඩ නැගෙනවා නම් එහි වරදක් නැත. ප්‍රශ්නය වන්නේ සම්මානය සඳහා පොත් කියවීම හා තක්සේරුව ඉතා අවිධිමත් තත්වයක පවතින බවක් විද්‍යමාන වීම ය. හැම විටම පොත් කියවන හා තක්සේරු කරන උදවිය සැබවින්ම නිසි ප්‍රාමාණිකයන් ද යන්න ප්‍රශ්නයකි. ප්‍රකාශකයන්ගේ සංගමය පවසන්නේ විනිශ්චය කටයුත්ත ප්‍රශ්නයක් බව දන්නා බවත් ඉන්න අය හැර වෙන අය කොහොම හොයා ගන්නද යන්නත්ය. මේක නම් කිසිම විදිහකට සාධාරණ හෝ නිවැරදි හෝ පිළිතුර නොවේ. මේ කාරණය සිහියට නැඟුණේ සුමිත්‍රාගේ ‘තුරුසමුදා‘ නවකතාවට අත්වුණ ඉරණම ගැන සිතන විට ය. ඒ වසරේ පළවුණ සම්මානවලට නිර්දේශ වුණ නවකතා සියල්ලම කියවූ කෙනෙකු ලෙස මට හැඟුණේ ‘තුරු සමුදා‘ ඉතා හොඳ නවකතාවක් බව ය. එහි තේරුම සම්මාන හිමිවුණ නවකතා සමඟ සසඳන විට මේ නවකතාව ඉහළින්ම තිබෙන බව ය. ඒ නවකතාවේ විෂය සේම රීතිය සැබවින්ම පාඨකයෙකුට නැවුම් අත්දැකීමකි.


කියවීම හා තක්සේරුව සම්බන්ධ තවත් අප්‍රසන්න කාරණා ද මතු වේ. ස්වර්ණ පුස්තක සම්මානය සඳහා අවසන් නවකතා දහයට – පහට තේරෙන ඇතැම් නවකතා කවර සාධක මත තෝරා තිබෙන්නේ දැයි හිතා ගන්නටවත් නොහැකි ය. මා අසා ඇති අන්දමට කැත්ලින් ජයවර්ධන සිය නවකතා ස්වර්ණ පුස්තක සම්මානයට ඉදිරිපත් කරන්නේ නැත. හේතුව කියවීම හා තක්සේරුව සම්බන්ධ අප්‍රසාදය වන්නට පුළුවන. මේ වසරේ අවසන් කෘති පහට සුමිත්‍රාගේ ‘මධුර මන්තර‘ හා ඉලයප්ආරච්චිගේ ‘මැස්සා‘ යන කෘති දෙක නොතේරී කත්‍යානා අමරසිංහගේ ‘බාණ කුසුම්‘ තේරීම නම් විස්මයකි. කියවීම හා තක්සේරුව එහෙම පිටින්ම සාවද්‍ය වේ. සැබවින්ම මෙවර රජත පුස්තක සම්මාන සඳහා කෘති කියවීම හා තක්සේරුව ද, විශේෂයෙන් කෙටි කතා සම්බන්ධයෙන් තත්වය ඉතාම නරක ය.


සුමිත්‍රා රාහුබද්ධ නොව සේපාලි මායාදුන්නේ වැනි ලේඛිකාවක සිංහල නවකතා කලාවට සිදු කර තිබෙන සම්ප්‍රදානය සුළුපටු නොවේ. කතා රසයක් ලුහු බඳින කෙනෙකුට ඔවුන්ගේ කතා කියවෙනවාදැයි නොදනිමි. ඒ කෙසේ වුව අද නවකතා ලියන විශේෂයෙන්ම ලේඛිකාවන්ගේ නිර්මාණ දායකත්වය හා ඔවුන් ඔවුන්ව මහන්සියෙන් ගොඩ නඟාගෙන තිබෙන පසුබිම සලකා බලන විට ඔවුන්ගේ කෘති කියවීම තක්සේරු කිරීම සම්බන්ධයෙන් ‘ඔහේ හොයාගත් උදවිය‘ අතට භාරදීම නම් අවමානයකි. සම්මාන නොලැබීමේ ගැටලුවක් නැත. එහෙත් සම්මානය තීරණය කරන තැනැත්තන් ඒ සඳහා යම් සුදුසුකම් සහිත අය විය යුතු නොවේ ද? ඇතැම් විනිසුරු චරිතවල නම් පළමු වතාවට අසන්නේ ස්වර්ණ පුස්තකය හරහා ය. ඒ කෙසේ වුව මට හිතෙන්නේ සුමිත්‍රාගේ කෘති තක්සේරු කළ හැකි – විවේචනය ද කළ හැකි විශාල පාඨක පිරිසක් ඇය ගොඩ නඟාගෙන සිටින බවය.

සුමිත්‍රාගේ ලිවීම හා සංස්කරණය


සුමිත්‍රාගේ පමණක් නොව බොහෝ ලේඛක ලේඛිකාවන්ගේ මුල් කාලයේ නවකතා ප්‍රමාණයෙන් ඉතා කුඩා ය. සිංහලෙන් පළවී තිබෙන හොඳම නවකතා ද ඉතා කුඩා ඒවා ය. විරාගය, චරිත තුනක්, දෙපා නොලද්දෝ, ප්‍රේමයේ සත්‍ය කතාවක් යනාදි නවකතා ප්‍රමාණයෙන් ඉතා කුඩා ය. අද විශාල නවකතා පළ වන්නේ මක් නිසා ද? මට හැඟෙන්නේ බොහෝ දෙනා පරිගණකයෙන් ලිවීම ඊට අදාළ හේතුව බවයි. ඊටත් වඩා කාරණය වන්නේ කිසිම ප්‍රකාශන ආයතනයක කෘතියක් සංස්කරණය කිරීමට තරම් ප්‍රාමාණිකයන් නොසිටීම ය.


සුමිත්‍රා අද සිය පොත් පළ කරන්නේ ඇගේම ප්‍රකාශන ආයතනයක් ඔස්සේ ය. එබැවින් ඇය සෑහෙන මහන්සියකින් සොයා රැස් කළ කරුණු සියල්ලම ලියා දක්වන බවක් පෙනේ. ඇයම ලියා, ඇයම මුද්‍රණාලයට යවන බැවින් කිසිම සංස්කරණයකට බඳුන් නොවේ යයි සිතමි. මෙහි හානිය දැක මා ඇගේ පාඨකයෙකු ලෙසින් කම්පා වුණේ ‘තම්මැන්නා‘ නමැති කෘතිය කියවීමෙන් අනතුරුව ය. පුදුම සහගත ලෙස පුනරුක්ති පිරුණ රචනයකි එම කෘතිය. ඉතාම වැදගත් විෂය ක්ෂේත්‍රයක් නවකතාවට පාදක කරගෙන තිබුණ ද එය රසවත් ප්‍රබන්ධයක් ලෙසින් පාඨකයා අතට පත් කිරීමට සුමිත්‍රා මහන්සි වී නැත. කිසිම ලේඛකයෙකුට තමන් ලියන වැකි නිර්ලෝභීව කපන්නට නොහැකි බවකි බොහෝවිට හඳුනා ගන්නට ලැබෙන්නේ. මේ දෝෂය අත්හළ යුතු කෙනෙකි සැබවින්ම සුමිත්‍රා.


මා අසා ඇති අන්දමට සුමිත්‍රා විවේචනය රුචි කරන්නේ නැතිලු. මා එහෙම නැතැයි ඇය පවසනු ඇත. එහෙත් ඒක නම් මම පිළි නොගනිමි. ඇගේ ‘අරගලය‘ නවකතාව කොළඹ මහජන පුස්තකාලයේ දී දොරට වැඩිය අවස්ථාවේ මමත් සභාවේ සිටියෙමි. මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර සහ මහාචාර්ය කුසුමා කරුණාරත්න කෘතිය අගය කරමින් යම් සාධනීය විවේචන කීපයක් ඉතාම සංයමයෙන් කළ සැටි මට මතක ය. එහෙත් අවසන සභාව අමතමින් සුමිත්‍රා කතා කළේ ඇයට තරම් ස්වරයකින් නොවුණි. ඇය කාටවත් දොස් නොකීවද ඇය ඇඟවූයේ ‘මම හරි‘ යන්නය. ඒ නිලධාරී ආස්ථානය පිටතට පැමිණි පසුව ඇතැමුන්ගේ අප්‍රසාදයට හේතු විය. තවත් කරුණක් සිහිවේ. සුමිත්‍රාගේ ‘මධු සමය‘ නමැති කාව්‍ය සංග්‍රහය පළ වූ අවස්ථාවේ කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් එම කෘතිය ගැන සම්මන්ත්‍රණයක් සංවිධානය කර තිබුණි. එහි මුලසුන දැරුවේ කේ. ජයතිලකය. එතුමන් සුමිත්‍රාගේ නිර්මාණ ජීවිතය ගැන මුලසුනේ දෙසුම කරමින් නිසි ඇගයීමක් කළේ ය. එහිදී ඔහු සඳහන් කළ කරුණකි මේ.


”නූතන කවියෙහි ප්‍රතිභාසම්පන්නම කිවිඳිය මොනිකා රුවන් පතිරණ නම්, නූතන නවකතාවේ ප්‍රතිභාසම්පන්නම නවකතාකාරිය සුමිත්රා රාහුබද්ධයි”


මේ අර්ථ දැක්වීමට සුමිත්‍රා සතුටු වී නැත. ඇය සිය මිතුරියකට පවසා තිබෙන්නේ, ‘මොනිකාගෙ කවි වැඩි හරිය සුචරිතට ලියපුවා. ඒවා පුද්ගලික ඒවා. මගෙ කවි මගෙ කාව්‍ය රීතිය ඊට වෙනස් එකක්‘ යන්නය. මෙහි සත්‍ය අසත්‍යතාව කුමක් වෙතත් සමුපකාර අමාත්‍යාංශයෙහි ඇය සමඟ සේවය කළ මගේ මිතුරියකි මේ පුවත පැවසුවේ. මේ පොත පිටවන විට සුමිත්‍රා සේවය කළේ ද සමුපකාර අමාත්‍යාංශයෙහි බව නම් මම දනිමි.
ඒ ඕපා දූප කෙසේ වෙතත් මෙහිදී පැවසීමට අවශ්‍ය කාරණය නම් සුමිත්‍රා තනිව ජීවත් වුණ ද නිර්මාණකරණය තුළ සිය භූමිකාව තනි එකක් නොවිය යුතුය යන්නය. සුමිත්‍රාගේ නිර්මාණ ශක්තිය සිඳී නැත යන්න ය, ඇගේ භාෂා රීතිය නීරස නැති බව ය.


සාහිත්‍ය නිර්මාණයට අවශ්‍ය සතතාභ්‍යාසය හා ව්‍යුත්පත්තිය ගැන යම් හැඟීමක් මට ඇත. ජාත්‍යන්තර ප්‍රදර්ශන භූමියේ පරණ දුර්ලභ පොත් කුටි තුළ සැරි සරමින් ඇය පොත් එකතු කරන අන්දම ද මා දැක ඇත. ඉතින් සුමිත්‍රා, ඔබ අද පරිණත ලේඛිකාවකි. අත්දැකීම් බහුල ශක්තිමත් ගැහැනියකි. එබැවින් ඔබ ඊළඟට ලියන නවකතාව තනි මතයක පිහිටා මුද්‍රණාලයට භාර නොදෙන්න. මෙය ළෙන්ගතු ඉල්ලීමකි.

පරිවර්තිකාව සහ දැක්ම


සුමිත්‍රා ළමා කෘති ලියා ඇත. කෙටි කතා සංග්‍රහයක් ලියා ඇත. කාව්‍ය සංග්‍රහයක් ලියා ඇත. එහෙත් ඇගේ අනන්‍යතාව – ‘මුද්‍රාව‘ තිබෙන්නේ නවකතාව නම් සාහිත්‍ය ප්‍රවර්ගයෙහි ය. ‘කෙළි මඬල‘ – ‘සුර අසුර‘ – ‘අග පිපිමල්‘ -‘ලොබ නොසිඳේයා‘ – ‘දුල දුලාය‘ ‘සිය සියපත් සිය‘ – යනාදි නවකතා නිර්මාණයෙන් ඇය අභිමානවත් ලේඛිකාවක – ගැහැනියකව නැඟී සිටින්නීය. මා අවංකව විශ්වාස කරන්නේ වත්මනේ නවකතා නිර්මාණයෙහි කෘතහස්ත ලේඛිකාවන්ට මාවත විවර කරන්නට ඇගේ නිර්මාණ දායකත්වය අදාළ වී තිබෙන බව ය.


සුමිත්‍රා පූර්ණ කාලීන ලේඛිකාවකි. ඇය උසස් පදවි දැරුවත් නම නරක් කරගෙන නැත. මා අසා ඇති අන්දමට ඇය සිය සැමියාගෙන් වස්තුවක් උරුම කර ගත්තේ ද නැත. සැමියා අකල් මරණයකට ගොදුරු වුණ පසුව ඇගේ ප්‍රාණය දියණිය බව ද ඇය සඳහන් කර ඇත. ඇගේ ආර්ථික ශක්තිය සියලු පදනම් ඇය සිය ලේඛන කුසලතාවෙන්ම හරි හම්බ කරගෙන සිටින බවක් ද පෙනේ. එනිසා ණයත් නැති – බයත් නැති ගැහැනියක් යයි සිතමි.


නවකතා ලියන සුමිත්‍රා නම් පූර්ණ ලේඛිකාව සිය පාඨක ජනයා අතට ඉතා වැදගත් කෘති කීපයක් සිංහලයට නඟා පළ කර තිබේ. ඒවා අතර, ‘මම ඔබ සොයමි‘ – ‘සාරා‘ – ‘කටු ඔටුනු‘ – ‘රඟ සොබා‘ – ‘දිගැසිය‘ – ‘දාර දොර කළුවර‘ – කිසිදු වෙහෙසක් නැතිව කියවා හරවත් ජීවන අත්දැකීම් ලත් බව ගෞරවයෙන් සඳහන් කරනු කැමැත්තෙමි.


සුමිත්‍රා පරිවර්තනය කර තිබෙන්නේ වෙන කිසි පරිවර්තකයෙකුගේ අවධානයට ලක් නොවුණ කෘති වීම විශේෂය. ‘කටු ඔටුනු‘ සහ ‘දිගැසිය‘ ඇගේ සාහිත්‍ය දෘෂ්ටියට සාකල්‍යයෙන්ම අනුකූලය. ඇගේ නිර්භීත ගුණය – ජීවිතාවබෝධය මෙන්ම ජීවන දෘෂ්ටිය මේ කෘති දෙක ඔස්සේ මැනවින් විශද කර ඇත.


සුමිත්‍රා සිංහලයට නඟන ලද, පාවුලෝ කොයියෝගේ (ජීවිත වන්දනාවක සටහන්) කෘතිය සහ මයිකල් ජැක්සන්ගේ ස්වයංචරිතාපදානය වන ‘සඳ මත රඟමි‘ යන කෘති දෙක අති විශිෂ්ටය. මයිකල් ජැක්සන්ගේ චරිතාපදානය මට නම් නිහඬ – ගැඹුරු ගුරුවරයෙකු සදිසි ය. එය කියවන කිසිම පිරිමියෙකුට ගැහැනියකට නිරුත්සාහකව ඇසින් වැටෙන කඳුළු වැලැක්විය නොහැකිය. හරිම අනුවේදනීය හෘදයංගම කෘතියකි. සුමිත්‍රා දීර්ඝ කාලයක් ස්වතන්ත්‍ර නිර්මාණකරණයෙහි නිමග්නව පදම් වුණ – සුමට වුණ භාෂා රීතිය නිසා මේ පරිවර්තන ස්වතන්ත්‍ර රචනා සේම රසවත් ය.

ගැහැනිය සම මව


සුමිත්‍රා රාහුබද්ධ තමන්ට අභිමත අන්දමට සිය ජීවිතයේ පදනම ගොඩ නඟා ගත් තැනැත්තියක බව ඇගේ ස්වයං ලිඛිත චරිතාපදානය කියවන විට සිතුණි. ඇය අභියෝග මැද අකම්පිතව නැඟී සිටි තැනැත්තියකි. ඇය මුළු හදින්ම භක්තිමත් ඇගේ ජීවිතය ප්‍රභාවත් කළ සාහිත්‍ය කලාවට යයි සිතමි. ඇය කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් සංවිධානාත්මකව වැඩ කරන්නට නැඹුරු වී නැත. ඇය සිය නිර්මාණ ඔස්සේ ඇගේ දායකත්වය මැනවින් කැප කොට නිර්මාණාත්මකව ඥානාලෝකයක් මුදා හැර ඇත.
ඇය සිය දියණියට ‘අත අත නෑර‘ පිළිගන්වන්නේ ඇගේ ජීවිතයත් – ප්‍රාණයත් – වස්තුවත් සිය දියණිය බව පවසමින් ලියන කවකිනි.


”මුදා හසරැල් මුදු බස් දෙන සුරතල්ම
සිත සනසා සිත පිරිමැද දෙන කැල්ම
සම කර තබමි මගෙ මව් මට දුන් ඇල්ම
සුදු දුව කුඹය මගෙ පන්හිඳ හැම කල්ම”


පියා මෙලොව හැර ගිය පසුව නෙත් පාදා දෙපයින් ශක්තිමත්ව නැඟී සිටින්නට හැකි අන්දමට හැදූ වැඩූ දියණියක සම්බන්ධ තුටු වීමට සමත් වීම ද භාග්‍යයක් යයි සිතමි.
සුමිත්‍රා සිය චරිතාපදානය නිම කරන වැකි කීපයකින් මේ සටහන අවසන් කිරීමට කැමැත්තෙමි.


”මා රැකියාව කළ හැම ස්ථානයකදීම මගේ හෘදය සාක්ෂියට එකඟව ඉතා හොඳින් මගේ රාජකාරිය ඉටු කළෙමි. මහජනතාවගේ බදු මුදලින් යැපෙන රජයේ සේවකයන් අතරින් කෙනෙක් වූ මම ඒ ජනතාවට ණයකාරියක වී රජයේ සේවයෙන් විශ්රාම නොගත් බව කිව යුතුය……..


අවසාන වශයෙන් මගේ මුළු ජීවිතයම මෙහෙයවූ බලවේග දෙකක් ඇත. ඒ මගේ අම්මා සහ මගේ දියණියයි. මට මගේ අම්මාට ඇය කළ සියල්ල වෙනුවෙන් ණය ගෙවීමේ හැකියාව ඇත්තේ ඇය නැවත මගේ මව වීමෙන් නොව ඇය කිසියම් දිනක මගේ දියණිය වුවහොත් පමණකි. එසේ වේවායි මම ප්‍රාර්ථනා කරමි.


දියණිය මා පසුපස හා මා ඉදිරියෙන් ද, මා වටා ද සිටින මේ මිහිමත ඇති අප්‍රමාණ සෙනෙහසෙහි ජීවමාන සංකේතයයි. ඒ දායාදය මට දුන් ආදරණීය ලක්ෂ්මන් ඉතා ආදරයෙන් සිහිපත් කරමි. ලක්ෂ්මන් මට බොහෝ ආදරය කළේය. මම එයට කෘතවේදී වෙමි. මම, ඉතා ආදරයෙන් හා සෙනෙහසින් මේ ලොවට හොඳ දරුවෙකු සාදා තිළිණ කර ඇත්තෙමි. ඇය මිනිසුන් කෙරෙහි ඇගේ අපූර්ව වූ කරුණාව සහ දයාව දක්වන විට කිසියම් දිනක මේ පොත ලියූ පෑන ඔබට සිහිපත් වනු ඇත.”


සුමිත්‍රා ඔබ දිරිය මවකි, ගැහැනියකි. ඔබ ඔබේ නම මැනවින් දීප්තිමත් කර ගත් ලේඛිකාවකි.


චිරං ජයතු.■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි