21.6 C
Sri Lanka
26 September,2021

සමුදුරු සර ධීවරයන් වෙත ආදරයෙනි

Must read

■ කමලා ත්‍යාගරාජන්
පරිවර්තනය:
අභිෂේකා වාසල බණ්ඩාර

ශ්‍රී ලංකාවට කිලෝ මීටර 29ක් පමණ දුරින් පිහිටි පම්බන් දුපතට (රාමේස්වරම් දූපත) නුදුරු මුහුදේ නවතා තිබූ ට්‍රෝලර් යාත්‍රාවේ සිටි 40 හැවිරිදි අරෝකියරාජ් ෆ්‍රැන්සිස්ට, මුහුදේ එලා තිබූ මාළු දැලෙහි මඩිය සිරවෙනු දැනුණි. වෙලාව රෑ එකොළහට පමණ විය. කැළඹෙන මුහුදු ජලය ද බෙහෙවින් අඳුරු විය. දැලට හසුවූයේ කුමක්දැයි ඔහුට වැටහී ගියේ මහත් වෙහෙස වී එය බෝට්ටුවට දමාගත් පසුව ය. ඒ සිමෙන්ති මුට්ටයක් තරමට බරැති ඔලිව් රිඩ්ලි මුහුදු කැස්බෑවෙකි.
ඔලිව් රිඩ්ලි කැස්බෑවෙකු කොටුවුවහොත් ධීවරයන් දෙවරක් නොසිතාම ඌ ආහාරයට ගත් කාලයක් සිය කුඩා අවධියේ දී තිබුණු බව තුන්වැනි පරම්පරාව නියෝජනය කරන ෆ්‍රැන්සිස් කියයි. ‘ගණින්න බැරිතරම් වාර ගානක් මම මුහුදු කැස්බෑවෝ උයලා කාලා තියෙනවා’. ‘කෑවාම ලේ වඩනවා, ඇට හයිවෙනවා කියලා අපේ වැල්ලේ මිනිස්සු විශ්වාස කරනවා. ඒත් අද ඒක වෙනස් වෙලා.’
පැද්දෙන බෝට්ටුවක කා දැමූ වැඩ පැය දෙකක් මෙන්ම, ඉන්දීය රුපියල් 2000ක මුදලක් හිලව්වෙන බව දැනදැනත් ෆ්‍රැන්සිස් තමන්ගේ නිල් මාළු දැලෙන් සැලකිය යුතු ප්‍රමාණයක් කපා දැමුවේ කැස්බෑවා නිදහස් කර යැවීමට යි. ”ධීවරයන්ට හරි ප්‍රයෝජනවත් මේ සත්තු වඳවෙමින් ඉන්න කොටසක් කියලා මන් දන්නවා- මම ඒක රේඩියෝවෙන් ඇහුවා, අනික උගේ ජිවිතේ බේරන්න ලැබිච්ච එක මට සතුටක්.’
‘කඩල් ඕසායි’ (සමුදුරු සර) ප්‍රාදේශීය රේඩියෝ නාලිකාවේ විකාශය කෙරෙන සමුද්‍රම් පලගු (මුහුද ගැන දැනගන්න) නම් රේඩියෝ වැඩසටහනට ගෙවී ගිය අවුරුදු තුනේදීම ඔහු සවන් දී තිබුණි. එය, සිය දැක්ම වෙනතකට යොමු කළ බව ඔහු කියයි. මුහුදු ප්‍රාණීන්ගේ ජිවිතවල වටිනාකම මෙන්ම මුහුද යමක් පිරිනමයි ද එය සතුටින් බාරගැනීමට එම වැඩසටහනෙන් ඔහුට උගන්වා තිබුණි.
සමුදුරු සර රේඩියෝ නාලිකාව 2016 වසරේ සිට ධීවරයන් සහ ඔවුන්ගේ පවුල් වෙනුවෙන්ම නිර්මිත වැඩසටහන් ප්‍රචාරය කරන අතර එහි ගුවන්විදුලි තරංග පම්බන් දූපතේ පිහිටි ප්‍රධාන රේඩියෝ මධ්‍යස්ථානයේ සිට කිලෝමීටර 15ක වපසරියක් ඇතුළත පිහිටි ධීවර ගම්මාන 30ක 50,000ක පමණ ශ්‍රාවක පිරිසක් කරා ගමන් කරයි. දේශගුණික විපර්යාස සහ එය ප්‍රදේශයේ ජනතාවට බලපාන ආකාරයේ සිට, මුදුදේදී ප්‍රථමාධාර ලබාදෙන ආකාරය දක්වා මෙන්ම වේලාගත් මාළු කල් තබාගන්නා ආකාරය දක්වා එකී මෙකී නොකී සියලු දෑ පිළිබඳ දැනමුතුකම් ලබාදෙමින් වැඩසටහන් මෙහෙයවන්නන් 12 දෙනකු විසින් පැය 24ක ගුවන් කාලය ආවරණය කරනු ලබයි. ශීඝ්‍රයෙන් වෙනස්වෙමින් පවතින ලෝකය ගැන අවබෝධයක් ලබා ගැනීමට මෙන්ම ධීවර ප්‍රජාවේ දිරි වඩන සහ ඔවුන්ගේ යහපැවැත්ම උදෙසා රුකුල් දෙන තොරතුරු බෙදා ගැනීමට මෙම රේඩියෝ වැඩසටහන් බෙහෙවින් උපකාරී වේ.
ධීවර රැකියාවේ නියැලුණු 43 හැවිරිදි ආම්ස්ට්‍රෝන්ග් ෆර්නැන්ඩු මෙම රේඩියෝ මධ්‍යස්ථානය ස්ථාපනය කළ අතර ඔහු පවසන්නේ සන්නිවේදනය ඔස්සේ ධීවර ජනයාගේ ජීවිත වෙනස් කළ හැකිය යන්නට ‘සමුදුරු සර’ හොඳ සාක්ෂියක් බවයි. කලාපය තුළ බහුලව අත්විඳින්නට ලැබෙන ආන්තික කාලගුණ තත්වයන් පිළිබඳ අනතුරු ඇඟවීමට ඔහු මෙය පිහිටුවා තිබුණි. ‘නිවැරදි වෙලාවේදී ලැබෙන නිවැරදි තොරතුරකින් ජීවිත බේරා ගැනීමට හැකිවන බව මම විශ්වාස කරනවා’ ෆර්නැන්ඩු පවසන්නේ ය.
‘බලධාරීන් නිකුත් කරන කුණාටු පිළිබඳ අනතුරු ඇඟවීම් ධීවරයන් කනකට ගන්නේ නැති තරම්, මොකද ඔවුන් ඒ කාලගුණ තත්ව සමඟ නිතරම ගැටෙන නිසා. ඒත් තමන්ගේම උදවියගෙන් -ඔවුන්ගේ පුත්තු, දූවරු, මිතුරෝ සහ අසල්වාසී පිරිස්- ලැබෙන අනතුරු ඇඟවීම් අහක දාන්න අමාරුයි.’ රේඩියෝ නාලිකාව ජනප්‍රියත්වය අතින් මෙන්ම විෂය පථයෙන් ද ඉක්මනින් වර්ධනය විය.
අද, ෆර්නැන්ඩු පම්බන් දූවේ සිට පැය දහයක ගමන් දුරකින් පිහිටි චෙන්නායිහි පතල් සමාගමක් පවත්වාගෙන යන්නේය. ක්‍රමයෙන් අඩුවී යන මත්ස්‍ය සම්පත සහ මුහුදේ ගෙවෙන පැය ගණන වැඩිවීම නිසා හිත් කරදරයට පත් ඔහුගේ දෙමව්පියන් කීවේ ධීවර කර්මාන්තය අත්හරින ලෙසයි. එනමුත් ඔහු මුල අමතක කළේ නැත. පම්බන් දූපතේ ධීවර ගම්මානයක හැදීවැඩුණු ඔහු, ගුවන්විදුලි විකාශන ව්‍යාපෘතිය ඔස්සේ ගම වෙනුවෙන් යමක් කළ යුතුය යන්න තමන්ගේ හිතෙහි තිබුණු බව පවසයි. රේඩියෝ මධ්‍යස්ථානය පිහිටුවීමට පෙර සිටම ෆර්නැන්ඩු ධීවර ප්‍රජාවට අතහිත දුන්නේ ය. 1990 ගණන්වල ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවති කාලවකවානුවේ දී එරට සාගර කලාපයට අනවසරයෙන් ඇතුල්වීමේ වරදට පම්බන් දූපතේ ඇතුළු තමිල්නාඩු ප්‍රාන්තයේ ධීවරයන් අත්අඩංගුවට ගෙන සිරගත කර තිබූ අවස්ථාවේ, නිදහස වෙනුවෙන් සටන් කරමින් සිටි ඔවුන්ට ඖෂධ, ආධාර සහ කෑමබීම ආදිය ලබාදීමට ඔහු විවිධ මාර්ග පාදාගෙන තිබුණි. ‘මාළු සීමාමායිම් ගැන දන්නේ නැහැ. ධීවරයනුත් එහෙමයි.’ ඔහු පවසයි. ‘ඒත්, රටවල් මේක හැමවෙලේම තේරුම් ගන්නේ නැහැ.’
ගුවන්විදුලි සේවා ස්ථානය පිහිටුවීම සඳහා ඇමරිකානු ඩොලර් 270,000ක මූලික ආයෝජනයක් කර තිබුණි. ධීවර සමිති දළ වශයෙන් අඩක් පමණ මුදල් ලබාදුන් අතර ඉතිරිය ෆර්නැන්ඩු දැරීය. විශාල මුදලක් වෙන්වූයේ නවීන ශබ්දාගාර උපකරණ සහ ශබ්දාගාරයේ හඬවරණය සඳහාය. රටවල් දෙකක සමුද්‍රීය කලාප වෙන්කෙරෙන මායිම ආසන්නයේ මෙම ගුවන්විදුලිය ක්‍රියාත්මක වෙන බැවින් බලපත්‍ර ලබාගැනීමට වසර 4ක කාලයක් සීරුමාරුවෙන් ගමන ගෙනයාමට ෆර්නැන්ඩුට සිදුවුණි. සෑම මසකදීම වුවමනා තැනදී වියදම් ද කළේ ය. කෙතරම් විශාල ආයෝජනයක් වුවත් එමඟින් නිර්මාණය කෙරෙන වෙනස වටිනාකමින් ඉහළ බව බව ඔහු පවසයි.
පැරණි තාලයේ, ට්‍රාන්සිස්ටර් රේඩියෝ අතින් රැගත් බොහොමයක් මසුන් මරන්නෝ ගොඩබිමේදී මෙන්ම මුහුදේදී ද සමුදුරු සරට සවන් දුන්හ. ගොඩබිමෙන් දුරස්ව සිටිය දී පැහැදිලි රේඩියෝ තරංග අල්ලා ගැනීමට ඇන්ටනා දඟර සවි කරගත්හ. මෙම කලාපයේ ධීවර බෝට්ටුවලටම-බොහෝවිට සාමාන්‍ය ඔරු, රුවල් බෝට්ටු සහ මෝටර් ට්‍රෝලර් යාත්‍රා- සවිකරන ලද රේඩියෝවක් ඇත්නම් ඒ කලාතුරකිනි.
සීනාත් රබියා, 2018 දී සමුදුරු සර ගුවන්විදුලියට බැඳෙන්නේ ධීවරයකු වූ පියා මුහුදේ ගතකරන දීර්ඝ පැය කිහිපයේ දී මෙම ගුවන්විදුලි නාලිකාවට සවන් දෙන්නේ කෙතරම් ආසාවෙන් දැයි පැවසූ පසුය. රේඩියෝව ඇගේ ජීවිතයට සමීප වන්නේ ඉතාමත් පීඩාකාරී අවධියකදී ය; එම ප්‍රදේශයේ විශ්වවිද්‍යාලයකින් ඉංග්‍රීසි සාහිත්‍ය උපාධිය ලබාගැනීමට හයමසක් තියන තැනදී ඇය විවාහ දිවියට පිවිසෙන නමුත් ස්වාමියාගේ පාර්ශ්වයේ උදවිය ඇගේ අධ්‍යාපනයේ වටිනාකමක් දකින්නේ නැත. අර්ථවත් යමක් කිරීමට අවශ්‍යව තිබූ බැවින් විශ්වවිද්‍යාලයෙන් ඉවත් වීම 27 හැවිරිදි රබියාට ඉතාමත් වේදනාකාරී අත්දැකීමක් විය. රේඩියෝ නාලිකාවේ රැකියාව හිමිවූ පසු ඇය සතුටින් පිනා ගියාය.
ඇගේ පළමු වැඩසටහනට නමක් පවා නොතිබුණි. ‘මම පුහුණුවෙමින් හිටියේ, මගේ එකම අරමුණ වුණේ ප්‍රජාව එක්කලා සම්බන්ධ වෙන එක’ ඇය පවසන්නීය. ඇය පැය තුනක ගුවන් කාලයක් සජීවී වැඩසටහන මෙහෙයවූවාය. රබියා සිය අසන්නන්ට ඉදිරි කාලගුණ තත්වය සහ නවතම පුවත් ගැන දැනුම් දුන්නා ය. ‘ධීවර ප්‍රජාවට අදාළ වෙන පුවත් සොයමින් මම දවසකට පත්තර 3ක් හෝ 4ක් කියවනවා, විශේෂයෙන් හවස නිකුත් වෙන පුවත්පත්. සිසුන්ට ශිෂ්‍යත්ව, ධීවරයන්ට හෝ කාන්තාවන්ට ප්‍රයෝජන වන රජයේ යෝජනා ක්‍රම සහ ණය ක්‍රම ආදිය තිබෙනවා නම් ඒ ගැන ඔවුන් දැනුවත් වග අපි සහතික කරගන්නවා.’
පම්බන් දූවේ බටහිරට වන්නට පිහිටි මණ්ඩපම් නම් කුඩා වෙරළ නගරයේ රබියා වාසය කරයි. වැඩිමනත් ධීවරයන් වූ එහි ජනගහනය 18,000ක් පමණ වේ. ඇය දිනපතා ගමන් කරන්නේ පෝර්ක් සමුද්‍ර සන්ධිය සහ මන්නාරම් බොක්ක දිස්වෙන ඉතාමත් දර්ශනීය පාලමක් මතිනි. ඇගේ අසන්නන්ට අතිශය වැදගත් මෙම කලාපය එකට ගත්විට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දැඩි ආරක්ෂිත මෙන්ම පාරිසරික වශයෙන් තර්ජනයට ලක්වී තිබෙන කලාපයක් නිර්මාණය කරයි. කොරල් පර, මුහුදු තෘණ පාත්ති සහ කඩොලාන පරිසර පද්ධතිය අභ්‍යන්තරයේ ජෛව විවිධත්වය ඉතාමත් පොහොසත්ය. බොක්ක ආශ්‍රිත නොගැඹුරු මුහුද, මුහුදු ඌරන් ආහාරයට ගන්නා තෘණ විශේෂ 15කින් සමන්විත කලාලයකින් වැසී තිබේ. එසේම ඉන්දීය ෆින්ෆිෂ් විශේෂ 450කට, කබලු මත්සයන් අවම වශයෙන් විශේෂ 79කට, මුහුදු හතු විශේෂ දළ වශයෙන් 108කට, මුහුදු කැස්බෑවන් විශේෂ 5කට (ඉන් හතරක් වඳවීමේ තර්ජනයට මුහුණ දී ඇත) ද මෙය නිවහන වේ. පම්බන් ධීවරයන් මේ අවිවේකී මුහුදේ සිටින සැමන් මාළු, පොකිරිස්සන්, වව්වාලයන්, ලූල් මාළු, ඉස්සන් සොයායයි.
පම්බන් දූපතේ බොහොමයක් ධීවරයන් පුරුෂයන් වන අතර, පවුලේ ආදායමට සවියක් වීම සඳහා කාන්තාවන් ද මුහුදු යනු මෑත වසරවල සිට දකින්න ලැබෙන්නකි. ඉන් සමහරෙක් මුහුදු පැලෑටි එක්කාසු කරන අතර සමහරෙක් ප්‍රාදේශීය කර්මාන්ත සඳහා මුතු වගා කරති. සැඟවුණු පරිශ්‍රමයන් එළියට ගෙනඒම සඳහා එවැනි කාන්තාවන් බොහොමයක් දෙනා සමඟින් රබියා සජීවී සම්මුඛ සාකච්ඡා පවත්වා තිබේ. සුගන්ති නම් එවැනි ධීවර කාන්තාවක රබියාට මෑතකදී ප්‍රකාශ කර සිටියේ මුහුදු පැළෑටි එකතු කිරීම සිතන තරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බවයි. දවස පුරාම කරවටක් මුහුදු ජලයේ බැස ඉන්නා අයුරුත්, මුවහත් ගල්වලට නිතරම දෑත් කැපෙන අයුරුත් සුගන්ති විස්තර කළාය. කම්පා වූ රබියා, තුවාලවලට බෙහෙත් කරන්න වැඩ නතර කරන්නේ දැයි විමසූ විට සුගන්ති සිනාසුණාය. ‘ප්‍රථමාධාර කරන්න වැඩ අතරමග නතර කරන්න තරම් සැපපහසුවක් අපට කොයින් ද?’
ධීවර බිරියන් වන බොහොමයක් අසන්නෝ සෞඛ්‍ය උපදෙස්, පෝෂණය, ඉවුම් පිහුම් මෙන්ම රූපලාවන්‍ය ආදිය ගැන ද විමසීම් කරති.
රේඩියෝ නාලිකාවෙන් කෙරෙන බලපෑම ඉහළ යද්දී ආරාධිතයන්ගේ සහභාගිත්වයෙන් විකාශය කෙරෙන සාකච්ඡා වඩාත් අවධානයකින් සිදුකෙරුණි. 2019දී පැවැත්වූ බොහොමයක් සාකච්ඡාවල ප්‍රධාන මාතෘකා බවට පත්වූයේ දේශගුණ විපර්යාස සහ සාගර සංරක්ෂණයයි. ‘ජීවන වෘත්තීය රැකගැනීමට නම් පරිසරය රැකබලාගත යුතු බව වටහා ගැනීම උදෙසා අසන්නන්ට උපකාරී කිරීම අපේ අභිප්‍රායයි.’ 36 හැවිරිදි නාලිකා කළමනාකාරිනී ගයත්‍රී උස්මාන් පවසන්නී ය. ‘දීර්ඝ කාලයක් තිස්සේ මේ ප්‍රජාව පැටලිලා ඉන්න ගැටලු තමයි මේ.’
අසන්නන් මුහුණ දෙන ගැටලු පිළිබඳ ගැඹුරු අවබෝධයක් රේඩියෝ වැඩසටහන් මෙහෙයවන්නන් ලබාගන්නේ ප්‍රජා සාමාජිකයන් හමුවී කතාබහ කිරීමෙනි. දේශගුණික විපර්යාස ජීවිතවලට බලපාන්නේ කෙසේද යන්න විමසමින්, පසුගිය වසරේ දී රබියා ධීවරයින් 25 දෙනකු මුණගැසී කතාබහ කර තිබුණි. එම හමුවීම්වලින් පුදුම අවබෝධයක් ලබාගැනීමට ඇයට හැකිව තිබුණි. ‘ඉහළ යන උෂ්ණත්වය මෙන්ම ජලකඳ ගැන තමන්ට අවබෝධයක් ඇති බව ඔවුන් කිව්වා. නමුත් පුදුමයකට වගේ එය ඔවුන් ලොකු අවධානයක් යොමු කරන දෙයක් නෙවෙයි.’ ඇය පවසයි. ■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි