20 C
Sri Lanka
2 December,2021

සමාජය අවුල් කියලා
නාට්‍ය නවත්වන්න ඕනෑ නැහැ
සඟ වෙද ගුරු ගොවි කම්කරු
නාට්‍යයේ අධ්‍යක්‍ෂ
චමිල ප්‍රියංක

Must read

නිදහසේ ආදරය කරන්න කපල් එකකටවත් තැනක් නැති රටක වේදිකා නාට්‍ය කලාවට තැනක් කොහොමත් ලැබෙන්නෙ නැහැනේ. මේ රටේ හුඟක් තියෙන්නේ වඳින්න පුදන්න තියෙන පන්සල් පල්ලි කෝවිල්නේ. ඒ වගේම සංස්කෘතිය කියලා තේරුම් අරන් තියෙන්නේත් අපේ ඉතිහාසයේ තියෙන කාරණා විතරමනේ. ඉතින් එහෙම එකක් ඇතුළේ ආදරය, කලාව, සංගීතය වගේ දේවල්වලට තැනක් නැහැ.

■ ඇන්තනී වෙරංග පුෂ්පික

කොරෝනා වසංගතයත් එක්ක නාට්‍යකරුවෙක් විදිහට මුහුණ දෙන්න සිදුවුණ අභියෝග මොනවාද ?


නාට්‍ය කලාව සම්බන්ධයෙන් කොරෝනා එන්න කලිනුත් ප්‍රශ්න අභියෝග තමයි තිබුණේ. නාට්‍ය කලාව කියන්නේ පිරිසක් එකතුවෙලා, කට්ටියත් එක්ක කරන්න ඕනෑ වැඩක්නෙ. ඉතින් ඒ වැඩේ කරගන්න විදියක් තිබුණේ නෑ. ඒක තමයි ලොකුම අභියෝගේ. හැබැයි කොරෝනා වසංගතෙත් එක්ක අභියෝග වගේම යම් යම් ආශීර්වාදත් ආවා.

කොරෝනාවලට කලින් එක දිගට වැඩ කරන නිසා විවේකය කියන දේ නැති තරම්. නාට්‍යයක් රචනා කරද්දී යම්කිසි විවේකයක් අවශ්‍යයි. කොරෝනා ආවත් එක්ක ඒ විවේකය ලැබුණා. ඒ ලැබුණ විවේකයත් එක්ක තමයි මගේ අලුත්ම නාට්‍යය ලිව්වෙ. පෙන්නන්න ගියාම තමයි ගොඩක්ම ප්‍රශ්න ආවෙ. නාට්‍යය පෙන්නන්න ගියාම කොරෝනා නිසා දෙපාරක් දර්ශන වාර අවලංගු කරන්න සිද්ද වුණා. නැත්නම් මේක පෙන්නන්න හිටියේ මාර්තු අප්‍රේල් විතර. ඊට පස්සෙ ඒක ජුනිවලට ගියා. අවසාන වශයෙන් ඒක තමයි මේ නොවැම්බර් 4 වෙනිදා පෙන්නන්න හිතාගෙන ඉන්නෙ.

වසංගතයත් එක්ක නැතිවෙච්ච ප්‍රේක්ෂාගාරය නැවත ගෙන්වා ගැනීමට පුළුවන් වෙයි කියලා හිතනවාද?


මේ කරන්න ඉන්න ෂෝ එක ගත්තත් 25%ක ප්‍රමාණයක් තමයි ප්‍රේක්ෂකයෝ ගෙන්නන්න පුළුවන්. නාට්‍යයක් පෙන්වන්නට ඒක කිසිසේත්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේක දිගටම පවත්වාගෙන යාමට නම් 50%ක් වත් තිබිය යුතුයි. ප්‍රේක්ෂක සහභාගිත්වය නැතුව නාට්‍ය කලාව පවත්වාගෙන යන්න බැහැ. මේ වෙනකොට රට අනෙත් සියලුම කාරණාවලට විවෘත කරනවා නම් රංග ශාලාවලට විතරක් මෙහෙම නීති දාන්න හේතුවක් තියෙන්න විදිහක් නහැ. රටේ මිනිස්සු බස්වල පොරකකා හැම තැනම යනවා, හැබැයි රංග ශාලාවලට විතරක් මෙහෙම නීති දානවා. මේකෙන් පෙන්වන්නෙ පාලකයෝ වේදිකා නාට්‍ය කලාව වෙනුවෙන් දක්වන අවධානයේ තරම තමයි. එහෙම නැතුව සම්පූර්ණයෙන්ම විවෘත කරලා තියෙනවා නම් ලොකු ප්‍රේක්ෂකයන් පිරිසක් එයි කියලා මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. මිනිස්සු එක තැනම ඉඳලා ඉඳලා ලැබෙන විවෘත අවකාශයත් එක්ක සමහර විට වෙනදාට වඩා වැඩි ප්‍රේක්ෂකයන් පිරිසක් එයි කියලාත් හිතෙනවා.

අද ලංකාවේ ප්‍රේක්ෂකයන්ගෙ රසවින්දනය ගැන මොන වගේ අදහසක්ද තියෙන්නෙ?


ලංකාවේ වේදිකා නාට්‍ය රසවිඳින්නෙ ඉතාමත් සුළු ප්‍රමාණයක්. ඒ ප්‍රමාණයේ රසවින්දනය ගැන කතාකළොත් ලොකූ අර්බුදයකට ගිහිල්ලාත් නෑ. යම් විදියකට එක එක කාලවලට වෙනස්කම් වෙනවා. ඒ වුණාට ඒ ඉන්න ප්‍රමාණය වේදිකා නාට්‍ය කලාවෙ හොඳ උසස් රසවින්දනයක් තියෙන පිරිසක් කියන්න පුළුවන්. ඉන්න ප්‍රේක්ෂකයන්ට අමතරව අලුත් ප්‍රේක්ෂකයෝ බිහි වෙන පරිසරයක් හැදිලා නැතිකමකුත් තියෙනවා. මගේ නම් අදහස තව නිර්මාණ බිහි වෙන්න ඕනෑ. දැන් නිර්මාණ බිහිවෙන ප්‍රමාණය ගොඩාක් අඩුයි. නිර්මාණ බිහිවෙන්න බිහිවෙන්න තමයි හොඳ රසවින්දනයක් ඇති වෙන්නෙ. නැතිව රසවින්දනය කියන්නේ පංති දාලා උගන්නන්න පුළුවන් දෙයක් නෙමෙයි.

මේ අර්බුදත් එක්ක ඔබගේ දැන් පෙන්වන්න ඉන්න සඟ වෙද ගුරු ගොවි කම්කරු වේදිකා නාට්‍යයට නිෂ්පාදකයෙක් හොයාගත්තෙ කොහොමද?


ටික දවසක් මේ නාට්‍යයේ වැඩ කරගෙන යද්දි තේරුණා මුදල් නැතුව කරන්න බෑ කියලා. ඒකත් එක්ක මම තීරණය කළා මුහුණු පොත හරහා දන්න අඳුනන සියලු දෙනාටම ප්‍රසිද්ධියේ කියන්න, මම අලුත් නාට්‍යයක් කරන්න යනවා, ඒකට අඩුම තරමේ රුපියල් 2000ක වත් ආධාරයක් කරන්න පුළුවන් නම් හොඳයි කියලා. මට ඒ වෙලාවෙ අවශ්‍ය වුණේ පුහුණුවීම්වලට මුදල් ටික හොයාගන්න එක. ඒකට හුඟාක් අය හොඳ ප්‍රතිචාර ලබා දුන්නා. මම හිතුවෙවත් නැති ලොකු මුදල් සමහරු ලබාදුන්නා. එහෙම කරලා සාමූහිකව එකතුවෙලා තමයි නාට්‍ය යසඳහා නිෂ්පාදන දායකත්වය හම්බවුණේ. එතැනදි මගේ නාට්‍යයේ රඟපාන අය ගැනත් කියන්න ඕනෑ. ඒගොල්ලොත් යම් විදියකට නිෂ්පාදනයට දායක වුණා. ඒගොල්ලෝ පුහුණුවීම්වලටවත් කිසිම මුදලක් අය කළේ නැහැ. ඒ සහායත් මෙතැනදි වැදගත් වුණා. ඒ විදියට බැලුවාම මේක සාමූහිකව කළ වැඩක්. එහෙම නැතුව තනි නිෂ්පාදකයෙක් හොයාගන්න මම උත්සාහ කළේත් නෑ. එහෙම මට කවුරුත් කතා කළේත් නෑ.

ඔබගේ නාට්‍ය නිර්මාණයන් තුළින් සමාජ දේශපාලන ප්‍රශ්න ගැන වැඩිපුරම කතාකරන්නෙ ඇයි?


මගේ අතින් ගොඩාක් නාට්‍ය නිර්මාණ ලියැවෙන්නේ සමාජ දේශපාලන තත්වයන්ට ප්‍රතිචාර වශයෙන් තමයි. මගේ වැඩිපුර කැමැත්ත තියෙන්නේ ඒ පැත්තට. මම රචකයෙක් විදියට වැඩිපුර රසවිඳින්න කැමතිත් ඒ වගේ කෘති. ඒ වගේ නවකතාවක්, ඒ වගේ චිත්‍රපටියක්, කවියක් සහ ඒ වගේ තොරතුරු එක්ක තමයි මම වැඩිපුරම ගැවසෙන්නේ. ඒකත් හේතුවක් වෙන්න ඇති මගේ රචනාවල ඒ වගේ සිදුවීම් හරහා යන දේශපාලන හා සමාජ තත්වයන් ගැන ලියැවෙන්න.

ඔබගේ වේදිකා නාට්‍ය අතරින් ඔබට හිතෙන ආකාරයට සුවිශේෂම නිර්මාණය සම්බන්ධයෙන් තියෙන මතකය කුමක්ද?


ඒ වගේ මතකයක් තියෙන්නෙ මම අවසානයට කළ ‘මෙය තුවක්කුවක් නොවේ’ නාට්‍යය. ඒක 2015 වගේ තමයි වේදිකාගත වුණේ. ඒ කාලේ ආගමික සහ ජාතිවාදී දෘෂ්ටියක ලංකාව දරුණු විදියට වෙලිලා ඉන්න තත්වයක් තුළ, විවිධ අවස්ථාවල මම විවිධ ආකාරයට අත්දැකපු දේවල් එක තැනකට ගේන්න උත්සාහ කරනකොට බිහිවෙච්ච නිර්මාණයක් තමයි ‘මෙය තුවක්කුවක් නොවේ’ නාට්‍යය. මම ඒ නාට්‍යය ලියන කොට මගේ අතින් ලියැවෙන්නේ පොඩි ප්‍රමාණයයි. ඉතුරු ටික ප්‍රේක්ෂකයෝ තමයි ලියාගන්නෙ. සමාජ දේශපාලන තත්වයන් එක්ක ලියනකොට මම ලියන එකයි ප්‍රේක්ෂකයො ඒක අල්ලගන්න එකයි දෙක එකට සම්බන්ධයි. උදාහරණයක් විදියට මෙය තුවක්කුවක් නොවේ කියලා තුවක්කුව තියෙන කොටම ප්‍රේක්ෂකයා දැනගන්නවා අද කාලේ අපි විඳින දේ නේද කියලා. ඉතින් ඒ දෙකේ එකතුවක් විදිහට ඒ නාට්‍යය හොඳට ලියවුණා. යම් විදියකට ප්‍රේක්ෂකයා සමග පවතින තත්වය පිළිබඳව එකතුවෙලා කළ සාකච්ඡාවක් විදිහට දකින්න පුළුවන් වගේම, අදටත් පෙන්වන්න පුළුවන් හොඳ නාට්‍යයක් විදියට තමයි මම ඒක දකින්නෙ.

ඔබ පසුගිය කාලේ හිටියේ ඇමෙරිකාවෙ ඉගෙනගනිමින්. ඒ අත්දැකීම ගැන කියන්න පුළුවන්ද?


නාට්‍ය අධ්‍යක්ෂණය ගැන වැඩිදුර හදාරන්න මට ශිෂ්‍යත්වයක් ලැබිලා මම ඇමරිකාවට යනවා. එහිදී විෂය කරුණු ඉගෙන ගන්නවාට අමතරව මට ලැබුණ ලොකුම අධ්‍යාපනය තිබුණේ මම හිටිය නිව්යෝර්ක් නගරයේ. නිව්යෝර්ක් නගරයේ නාට්‍ය කලාව අතිශය විචිත්‍රයි සහ විවිධයි. මේ සියලුම දේවල් මට සජීවීව බලන්න පුළුවන් වුණ එක ලොකු අද්දැකීමක් වුණා. ලංකාවට ඇවිල්ලා වැඩ කරද්දී විශ්වවිද්‍යාලයෙන් ලබපු අධ්‍යාපනය වගේම ඒ ලබපු අත්දැකීම් ගොඩක් වැදගත් වුණා. කොහොමද වේදිකාව පාවිච්චි කරන්නෙ කියන කාරණයේදී අපි හිතාගෙන ඉන්න සාම්ප්‍රදායික තත්වයට එහා ගිහිල්ලා අලුතෙන් හිතන්න පුළුවන් වුණා. ඒ වගේම නාට්‍ය කලාව සම්බන්ධයෙන් දරුණු ආදරයක් සහ ආශාවක් ඔවුන්ට තියෙනවා. ඒක හරි වැදගත් මම හිතන්නෙ ලංකාවෙත් අපිට පුරුද්දක් විදියට ඇති කරගන්න පුළුවන් නම්.

ඔබගේ නාට්‍ය නිර්මාණ සඳහා නළු නිළියන් තෝරා ගනිද්දී කුමන කාරණා ගැන සැලකිල්ලක්ද දක්වන්නේ?


ප්‍රධානම එක තමයි වැඩ කරන්න පහසු වෙන්න ඕනෑ. විශේෂයෙන්ම රංගන ශිල්පියාගේ හෝ ශිල්පිනියගේ දක්ෂතාවට වඩා මට වැදගත් වෙන්නේ කැපවීම සහ කැමැත්ත කොයි තරම් දුරට මේ විෂය සම්බන්ධයෙන් තිබෙනවාද කියන එක. එහෙම තියෙන අයව තමයි මම වැඩිපුරම තෝරාගන්න කැමති. අනිත් කාරණය තමයි මගේ නාට්‍යවල ඕනෑම නළුවෙක්ට ඕනෑම චරිතයක් කිරීමේ හැකියාවත් තියෙන්න ඕනෑ.

ඔබගේ නවතම වේදිකා නාට්‍යය වන ”සඟ වෙද ගුරු ගොවි කම්කරු” පිළිබඳව කතා කළොත්?


අපි පෙන්නන්න ඕනෑ මේ නාට්‍ය කලාව අත්‍යවශ්‍යයි කියලා. තමන්ගේ අත්‍යවශ්‍ය කාරණාවලට කඩේට ගිහිල්ලා බඩු ගන්නවා වගේම මම හිතන්නෙ මේකත් අත්‍යවශ්‍ය දෙයක්. නැත්නම් සමාජය තේරුම් ගන්නෙ නෑ නාට්‍ය කලාව කියන්නෙ අත්‍යවශ්‍ය දෙයක් කියලා.


මම හිතන්නේ නාට්‍ය බලලාම තේරුම් ගන්න ඕනෑ දෙයක්. මේකේ තියෙන්නේ මම කොහොමද පවතින සමාජය ඇතුළේ තියෙන දේවල් දකින්නෙ කියන එක ගැන. විශේෂයෙන්ම පවතින සමාජ දේශපාලන තත්වය ඇතුළේ අපේ සමාජයට වෙලා තියෙන අර්බුදය සහ සඟ වෙද ගුරු ගොවි කම්කරු කියන චරිත 1956 විතර දේශපාලන ප්‍රචාරණ මතවාදයක් අතුළේ බිහිවෙච චරිත ටිකක්. මේ චරිත අද වෙන කොට කවර තැනකට පරිණාමය වෙලා තියෙනවාද කියන එක තමයි මේ නාට්‍යයේ සාකච්ඡා කරන්නේ. ඉතින් ඒකට කවුරු හරි එකඟ වෙන්නත් පුළුවන්, එකඟ නොවෙන්නත් පුළුවන්. නැත්නම් වෙන විදිහෙ සාකච්ඡාවක් ඇති වෙන්නත් පුළුවන්. ඇත්තටම ඒ වගේ සාකච්ඡාවක් සංවාදයක් තමයි මේ නාට්‍යය තුළින් බලාපොරොත්තු වෙන්නෙත්.

අද වන විට ලංකාවෙ වේදිකා නාට්‍ය කලාවට තිබෙන තැන පිළිබඳව ඔබට තිබෙන අදහසත් දැනගන්න කැමතියි…


නිදහසේ ආදරය කරන්න කපල් එකකටවත් තැනක් නැති රටක වේදිකා නාට්‍ය කලාවට තැනක් කොහොමත් ලැබෙන්නෙ නැහැනේ. මේ රටේ හුඟක් තියෙන්නේ වඳින්න පුදන්න තියෙන පන්සල් පල්ලි කෝවිල්නේ. ඒ වගේම සංස්කෘතිය කියලා තේරුම් අරන් තියෙන්නේත් අපේ ඉතිහාසයේ තියෙන කාරණා විතරමනේ. ඉතින් එහෙම එකක් ඇතුළේ ආදරය, කලාව, සංගීතය වගේ දේවල්වලට තැනක් නැහැ. ඒ අනුව වේදිකාවෙන් සමාජයකට මහා ලොකු බලපෑමක් නෑ කියලා හිතන නිසා, පාලකයන්ට අවශ්‍ය තැන තමයි නාට්‍ය කලාවට දීලා තියෙන්නේ. නමුත් අපි එහෙමයි කියලා මේක නවත්වන්නේ නැහැ. කොරෝනා හින්දා නාට්‍ය නවත්වන්න ඕනෑ නෑ වගේම සමාජය අවුල් කියලා නාට්‍ය නවත්වන්න ඕනත් නැහැ. නාට්‍යයට නිසි තැනක් නෑ කියලාත් නාට්‍ය නවත්වන්න ඕනැ නැහැ. ඒක අපි කළ යුතුමයි. ඒක තමයි අපේ අරගලය.■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි