20.5 C
Sri Lanka
21 September,2021

‘සක්‍රීය දායකත්වයෙන් ඉවත් වුණේ හමුදාපතිවරයාගේ කොවිඩ් ක්‍රියාන්විත මධ්‍යස්ථානයෙන් ‘

Must read

■ ප්‍රියාශා හෙට්ටිහේවා

යුද්ධ හමුදාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන කොවිඩ්-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ සක්‍රීය කටයුතුවලින් ඉවත් වූ බවත් ජනාධිපති කාර්ය සාධක බලකායේ කටයුතුවලින් ඉවත් නොවූ බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු පවසයි.


‘අනිද්දා‘ කළ විමසීමකදී වෛද්‍යවරයා පැවසුවේ, මාස 9කින් පමණ තමන් සහ වෛද්‍ය පාදෙණිය යුද්ධ හමුදාපතිවරයා ප්‍රධානත්වය දරන කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ කටයුතු සඳහා සහභාගී නොවූ බවය.


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෙනත් සාමාජිකයෙකු පසුව එම කටයුතු සඳහා සහභාගී වුව ද මාස එක හමාරක පමණ සිට කිසිවෙකු එම කටයුතු සඳහා සහභාගී නොවූ බව ද වෛද්‍යවරයා පැවසීය.


හමුදාපතිවරයා ප්‍රධානත්වය දරන ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ගන්නා සමහර තීරණ තේරුමක් රහිත බැවින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කොවිඩ් මර්දනය වෙනුවෙන් ඉදිරිපත් කරන යෝජනා ජනාධිපතිවරයාට සහ ජනාධිපති කාර්ය සාධක බලකායට සෘජුව ම ඉදිරිපත් කරන බව වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.


වෛද්‍යවරයා පැවසුවේ, ජනාධිපති කාර්ය සාධක බලකායට පවා කොවිඩ් මර්දනය සම්බන්ධ යෝජනාවලි ඉදිරිපත් කළ ද ඒවා ඒ අයුරින් ම ක්‍රියාත්මකවීමක් දක්නට නොලැබෙන නමුත් යම් සාධනීය මැදිහත්වීමක් හමුදාපතිවරයාගේ ක්‍රියාන්විත මධ්‍යස්ථානයට සාපේක්ෂව සිදු වන බවය.


මින් පෙර දිනක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරකසභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ ‘අනිද්දා‘ සමග ප්‍රකාශ කළේ, සෞඛ්‍ය අංශයෙන් විය යුතු කටයුතු සම්බන්ධයෙන් ප්‍රමුඛතාව සෞඛ්‍ය අංශ වෙත ලැබිය යුතු බවත් හමුදාවට එහි ප්‍රමුඛතාව දීම කිසිසේත් ම නොවිය යුතු බවත්ය.


කොවිඩ් ව්‍යාප්තිය අනුව රටෙහි රතු කලාප හඳුනා ගැනීම, අවුරුදු 60ට ඉහළ පුද්ගලයන් එන්නත් කිරීම, කොවිඩ් රෝගීන් නිවාසවල සිට රැකබලා ගන්නා ආකාරය ආදිය සම්බන්ධයෙන් තාක්ෂණික වාර්තා සහ යෝජනාවලි 6ක් මේ වන විට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති කාර්ය සාධක බලකායට ඉදිරිපත් කර ඇති බව වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු පැවසීය.


තව ද ෆයිසර් එන්නත ළමුන්ට ලබා දෙන බවට ප්‍රතිපත්තිමය එකඟතාවකට පැමිණ ඇතත් එය ඉක්මනින් ක්‍රියාත්මක විය යුතු බවත් මෙලෙස එම කටයුතු ප්‍රමාද වීම ද නොවිය යුතු බවත් වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අමතරව, ඔක්තෝබර් වන විට ළමුන්ට එන්නත් ලබා දී අවසන් කළ යුතු බවට ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය මගින් ද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට යෝජනාවලියක් ලබා දී ඇතැයි වෛද්‍යවරයා පැවසීය.


මීට අමතරව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් එන්නත් ලබා දීමේදී අවශ්‍ය එන්නත් ප්‍රමාණ එම කාර්යාල වෙත නොලැබී හමුදා එන්නත්කරණ මධ්‍යස්ථාන කරා අනෙක් එන්නත් යවන බැවින් ජනතාව තුළ සෞඛ්‍ය පද්ධතිය පිළිබඳ විශ්වාසය ගිලිහී යන බව ද වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.


වෛද්‍යවරයා පැවසුවේ, එන්නත් බෙදා දීමේ ගැටලුව සහ එන්නත්කරණ ක්‍රියාවලියේදී සෞඛ්‍ය අමාත්‍යාංශය පාර්ශවයෙන් ඇති වූ දුර්වලතා සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අදාළ අංශවලට පැමිණිලි කර ඇති අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ද ක්‍රියාත්මක වන බවය.■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි