21.1 C
Sri Lanka
19 October,2021

විස්සට ප්ලේන්ටි දෙන
ජෝති විජේ ගැලරි කැෆේ

Must read

■ මුහම්මද් තාරික්

ලංකාවේ අගනුවර තැනින් තැන ‘ගැලරි කැෆේ’ දකින්නට ලැබේ. එහි තේරුම ‘කලාගාරයක් සහිත කැෆේ එකක් හෙවත් ආපනශාලාවක්, හොටලයක්’ යන්නය. මේ මහේශාඛ්‍ය හා අල්පේශාඛ්‍ය ගැලරි කැෆේවල බිත්ති සහ අවකාශය සරසා තිබෙන්නේ මිල අධික චිත්‍රවලින් හෝ වෙනත් කලාකෘතිවලිනි. සමහර විට මූර්තිවලිනි. ඒවාට එන්නෝ එක පැත්තකින් කලාකාමියෝය. තවත් පැත්තකින් ටිකක් වැඩියෙන් වියහියදම් කරන්නට පුළුවන් උදවියය. ඔවුහු තේ කෝපි බොමින් සාමිච්චියෙහි යෙදෙමින් කලාකෘතිද රස විඳිති.


‘ජෝති විජේ හෝටලය’ කියන්නේ, පුත්තලම දිස්ත්‍රික්කයේ නාත්තන්ඩිය පාරේ උඩුබද්දාවේ තියෙන එක්තරා විදියක ගැලරි කැෆේ එකකි. ඒත් කිසිසේත් මහේශාඛ්‍ය තැනක් නම් නොවේ. අල්පේශාඛ්‍ය තේ කඩයකි. එය ගැලරියක් කර තිබෙන්නේ, ජනප්‍රිය කලාකරුවන් දෙදෙනකුගේ නාමයෙනි. ඒ වගේම එය කාට කාටත් අතේ පොඩි සල්ලියක් තියාගෙන ගොඩවැදිය හැකි පොදුජනයාගේ ස්ථානයකි. ජෝති-විජේ හෝටලය, නම් කර තිබෙන්නේ, නමෙන්ම කියවෙන විදියට එච්ආර් ජෝතිපාල සහ විජය කුමාරතුංග කලාකාර-සුමිතුරන් දෙදෙනාගේ නාමයෙනි.


ලංකාවේ රිදී තිරයේ සිහින කුමාරයා වූ විජය කුමාරතුංග වෙනුවෙන් එච්.ආර්. ජෝතිපාල මුල් වරට පසුබිම් ගායනයක් කළේ “හතර දෙනාම සූරයෝ” චිත්‍රපටය වෙනුවෙනි. එතැන් පටන් අවස්ථාවක් හෝ දෙකක් හැර විජය වෙනුවෙන් සම්පූර්ණයෙන්ම ගී ගැයුවේ ජෝතිපාලය කිව්වොත් වැරදි නැත. මේ අනුව ලාංකේය සිනමාවේ හැත්තෑව-අසූව දශකයේ සුවහසක් රසික රසිකාවන්ගේ ආදරයට පාත්‍රවූ විජය කුමාරතුංග සහ ජනප්‍රිය ගායක එච්.ආර්. ජෝතිපාල සැමරීම පිණිස ජෝති විජේ හෝටලය නමින් පවත්වාගෙන යන එකම හෝටලය උඩුබද්දාව හන්දියේ පිහිටා ඇත්තේය. ජෝති විජේ හෝටලයේ හිමිකරු වන්නේ, දැනට 55 හැවිරිදි වියේ පසුවන ජේ.එච්. බන්දුල ජයසිංහ මහත්තයාය.
මේ හෝටලයේ විශේෂත්වයන් රාශියකි. හෝටලය හිමිදිරියේ විවෘත කරන මොහොතේ සිට රාත්‍රිය වනතෙක් ශබ්ද විකාශනවලින් වාදනය වන්නේ විජය කුමාරතුංගගේ සහ එච්.ආර්. ජෝතිපාලගේ රසබර ගීතය. ඒ ගීතම පමණකි. පර්චස් දෙකක් පමණ ඉඩකඩින් යුක්ත හෝටලයට ඇතුළු වන විට පෙනෙන බිත්ති දෙපැත්තෙන්ම සරසා තිබෙන්නේ මෙම විජේකෙග් සහ ජෝතිගේ රාමු කරන ලද පින්තූරවලිනි. ඒ විතරක් නොවේ. අවුරුද්දක් පාසා ඒ කලාකරුවන් දෙන්නා වෙනුවෙන් ගුණසමරු උත්සවයක් දානමය පින්කමක් පැවැත්වීමද ජෝති විජේ හොටලයේ චාරිත්‍රයකි.


විජේ ජෝති හෝටලයට ගොඩ වී බනිස් ගෙඩියක් කා තේ කෝප්පයක් බොන්නට පැමිණෙන ඕනෑම අයෙකුට මේ හෝටලයේ හුදී ජන කලාගාර රසය විඳින්නට පුළුවන. එහි බිත්තිවල ජෝතිගේ.් විජයගේත් මන බඳින, ප්‍රේමනීය නානාප්‍රකාර ඉරියව්වලින් යුක්ත රූපාවලියක් දකින්නට ලැබේ. විජය රඟ පෑ විවිධ චිත්‍රපටිවල චරිත, ඔහුගේ ආලේඛ්‍ය ඡායාරූප,පවුලේ ඡායාරූප, පුවත්පත්වල විජය ගැන පළවූ ලිපි ආදියෙන් මේ රූපාවලිය සමන්විතය. ඒ අතර ජෝතිගේ ඡායාරූපත්, පුවත්පත් ලිපිත් හැකි පමණින් බිත්තිගතකර තිබේ. හෝටලයට වරින්වර ආ ගිය, ක්‍ීවන් කුමාරතුංග, ක්ලීටස් මෙන්ඩිස් වැනි ජෝති-විජය මිතුරන්, හෝටලය හිමිකාර ජයසිංහත් සමග එකට ගත් ඡායායාරූපද එකක් දෙකක් ඒ අතර තිබේ. ඊට අමතරව නම්, හෝටලයේ බිත්තිවල තියෙන්නේ බුද්ධ රූප කීපයකුත්, දේව රූපයක් දෙකකුත්ය.


හෝටලයේ හිමිකරු බන්දුල ජයසිංහගේ කතාව මෙහෙමය.


‘උඩුබද්දාව තමයි මගේ ගම. මං කුඩා කාලයේම තාත්තා නැති වුණාට පස්සේ අපේ පවුලේ බර කරට ගත්තේ අම්මා. ආර්ථික අමාරුකම් නිසා මමත් ඉස්කෝලෙ ගමන නැවැත්තුවා. එතැනින් පස්සේ මං උඩුබද්දාව, දුම්මලසූරිය හා කුලියාපිටිය වගේ තැන්වල මහජනපොළ දවසට පොඩි පොඩි වෙළඳාම් කළා.


පොඩි කාලේ ඉඳලා මං ජෝතිපාල මහත්තයාගේ සිංදුවලට, විජය මහත්තයාගේ චිත්‍රපටිවලට ආසයි. ඒ කාලේ සින්දු අහන්න මට විදියක් තිබ්බෙ නෑ. උඩුබද්දාව හන්දියෙම බාබර් සාප්පුවක් තිබුණා. ඒකෙ තිබුණා නැෂනල් පැනසොනික් රේඩියෝ එකක්. ඒ බාබර් සාප්පුවේ ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවය සද්දෙට දාලා තියෙනවා. මම ඉතිං එතනට යන්නෙම සිංදු අහන්න. එහෙම අහලාම මට සිංදු කටපාඩම්. අදටත් ජෝතිපාල මහත්තයාගෙත් විජය මහත්තයාගෙත් ගොඩක් සිංදු මට කට පාඩම්. ‘සරසවිය’ පත්තරේ ආවාට පස්සේ ඒකේ තියෙන ජෝතිපාල මහත්තයාගෙයි විජය මහත්තයාගෙයි පින්තූර කපලා අරගෙන ෆයිල් කවරවල දාලා පරිස්සමට මං නිදාගන්න මෙට්ටය යට අරන් තිබ්බා. මේ පින්තූර නිසාමයි සරසවිය පත්තරේ ගත්තෙත්. පස්සේ පොඩි පොඩි වෙළඳාම්වලින් අයින් වෙලා මං සත්ව ආහාර නිෂ්පාදන ආයතනයක වැඩකළා. පස්සේ කසාද බැන්දා.


විජය මහත්තයා රඟපාපු චිත්‍රපටි දෙපාර තුන්පාර මං බලලා තියෙනවා. ජෝතිපාල මහත්තයා සිංදු කියන සංදර්ශනවලට මං ගිහින් තියෙනවා. ඒ වගේම විජය මහත්තයාගේ දේශපාලන රැස්වීම්වලටත් ගිහින් තියෙනවා. ඒත් කවදාවත් මට ඒ දෙන්නා එක්ක කතාකරන්න ලැබිලා නෑ.


දවසක් මං මාදම්පේ ඉඳලා බස් එකේ එද්දි දැක්කා දුම්මලසූරියෙ සාරංගා සිනමාහලේ සුදු කොඩියක් දාලා තියෙනවා. හොයලා බලද්දි තමා දැනගත්තෙ විජය මහත්තයාට වෙඩි තියලා මරලා දාලා කියලා. මට එදා දැනුණ හැඟීම තාමත් දැනෙනවා. කියාගන්න බැරි වේදනාවක් ඒක.


මුලින්ම මේ කඩය තේ කඩයක් විදියට කළේ මගේ අම්මා. පස්සේ එයාගේ වයසත් එක්ක කරගෙන යන්න අපහසුකම් නිසා 2004දී වගේ හෝටලය කරගෙන යන්න මට බාර දුන්නා. එතකොට හෝටලයට නමක් තිබුණේ නෑ. හෝටලය කරන්න මං බාර ගත්තාට පස්සේ වෙනස් විදියකට කරන්න ඕනෑ කියලා හිතුණා. අලුත් සැලැස්මකුත් හිතේ තිබුණා. එතකොට මුලින්ම කළේ අලුත්වැඩියා කටයුතු. ඒකට ලොකු වියදමකුත් දරන්න වුණා. ඊට පස්සේ කළේ කඩේට ජෝති විජේ හෝටලය කියලා බෝඩ් එකක් ගහපු එක.
එතැනින් පස්සේ මං ආදරය කරන මේ කලාකරුවන්ගේ ෆොටෝ එකතුවක් තිබුණු නිසා ඒවා රාමු කරලා හෝටලයේ එල්ලුවා. ෆොටෝ සීයකට වැඩිය මෙතන තියෙනවා. කැසට් එකක් අරගෙන ඒ කලාකරුවන්ගේ සින්දු දාන්න පටන් ගත්තා. පාන්දර 4ට හෝටලය ඇරලා බුදුන් වැඳලා පිරිත් දානවා. රෑ 8ට වහනකම්ම ජෝතිපාල- විජය කුමාරතුංග මහත්වරුන්ගේ සින්දු තමයි දාලා තියන්නේ. ජෝතිපාල විජය මහත්තයා කියපු සින්දුවලට අමතරව මිල්ටන් මල්ලවආරච්චි, ප්‍රියා සූරියසේන, ඇන්ජලින් ගුණතිලක, සුජාතා අත්තනායක වගේ ගායක ගායිකාවන්ගේ සින්දුත් දානවා. මේ සේරම වෙන කාගෙවත් අදහසක් වෙයි. මං හිතලාම කරපු දේවල්.’


සෑම වසරකම පාහේ විජය කුමාරතුංග සහ එච්.ආර්. ජෝතිපාල වෙනුවෙන් හෝටලයේදී ගුණ සැමරුම් උත්සවයක් පවත්වනු ලබන අතර දානමය පින්කමක්ද කරනු ලැබේ.
“මං හෝටලය කරන්න බාරගත්ත අවුරුද්දේ ඉඳලා ජෝති විජය සමරු උත්සවයක් කරන්න පටන් ගත්තා. මුලදී පොඩිවට කරේ. දැන් අවුරුදු දොළහක වගේ කාලයක ඉඳලා ලොකුවට කරනවා. මේකට මං සල්ලි හොයාගන්නේ සීට්ටු දාලා.


මං ආරාධනා කළාම මේ හැම සැමරුම් උත්සවයකටම එදා සිනමාවේ ජනප්‍රිය නළුවන් දෙතුන්දෙනෙක් එනවාමයි. ගිය අවුරුද්දෙත් මේ අවුරුද්දෙත් ඒ වැඩේ කරගන්න බැරි වුණා කොරෝනා නිසා. ඊට කලින් අවුරුදුවල නම් ජීවන් කුමාරතුංග, ක්ලීටස් මෙන්ඩිස් වගේ මහත්වරුන් ආවා. ඒ වගේම රෙජිනා ජෝතිපාල, බ්ලොසම් ජෝතිපාල මහත්මීන්ද ආවා. මේ පැත්තේ ටෙලිනාට්‍යයක් එහෙම කරද්දි එන නළුනිළියන්ට මේ හෝටලය ගැන ආරංචි වුණාම බලලා යන්නත් එන අවස්ථා තියෙනවා. කුමාර තිරිමාදුර මහත්තයා එහෙම දවසක ඇවිත් ගියා.


ජෝතිපාල මහත්තයා ඉපදුණේ පෙබරවාරි මාසේ දවසක. ඒ වගේම තමයි විජය මහත්තයාව මරා දැමුවෙත් පෙබරවාරි මාසෙ. ඉතිං මේ ගුණසමරු උත්සවය මං පවත්වන්නේ පෙබරවාරි මාසෙ 16 වැනිදා. විජය-ජෝතිපාල මහත්වරුන්ගේ ඡායාරූපවලට මල්මාලා පළඳලා සැමරුම් උත්සවය ආරම්භ කරනවා. මේ දවසෙදි ආගමික වතාවත් පවත්වලා විශාල පිරිසකට කැවුම් කිරිබත් රසකැවිලිවලින් සංග්‍රහ කරනවා. ඒ වගේම පෙරපාසල් ළමයින්ට පොත්පත් දෙන්නත් කටයුතු කරනවා. මේ ගුණසැමරුම් කටයුතුවලට පවුලේ අයගෙනුත් ලොකු සහායක් මට ලැබෙනවා. මේ වැඩේ මේ අවුරුද්දෙත් කරගන්න බැරිවුණා කොරෝනා නිසා.’


ජෝති විජේ හෝටලයේ කෑම බීම ඉතා සාධාරණ මුදලකට අලෙවි කරමින් ධාර්මික වෙළඳාමක බන්දුල නිරතව සිටියි. ගිය අවුරුද්ද වෙනතුරුම හකුරු කෑල්ලක් සමඟ කහට කෝප්පයක් රුපියල් 05කි. ප්ලේන්ටියක් රුපියල් 10 කි. නමුත් කොරෝනා උවදුරෙන් පසුව භාවිත කරනු ලබන්නේ වරකට පමණක් පාවිච්චි කර ඉවත ලන ප්ලාස්ටික් කෝප්ප නිසා දැන් ප්ලේන්ටියක වටිනාකම රුපියල් 20කි. උදෑසන ආහාර ද දහවල් ආහාර ද මෙහි තිබෙන අතර ඒ සියලු ආහාර නිවසේ සාදා හෝටලයට ගෙනවිත් අලෙවි කෙරෙයි. සවස තේ කෝප්පය සමඟ කැවිලි වර්ග රස විඳීමටද හැකිවේ.


නමුත් කොරෝනා උවදුරෙන් පසුව හෝටලයේ වෙළඳාම අඩු වී තිබේ.


“ජෝති විජේ හෝටලයේ කරගෙන යන මේ වැඩකටයුතු මං ජීවත්වන තාක්කල් මේ විදිහටම කරගෙන යනවා.” ■

(ඡායාරූප සඳහා ස්තූතිය සනුජ රවිශ්ක.)

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි