25.7 C
Sri Lanka
23 October,2021

විශ්‍රාම ජීවිතේ
හිතන තරම් සුන්දරද?

Must read

රිටයමන්ට් එක කිට්ටු වෙනකොට ඊළඟට කරන්න ඕනෑ මොකක්ද කියන එක ගැන අදහසක් නැති වුණා ම තමයි සමහර වැඩිහිටියෝ ජීවිතේ කලකිරිලා අසනීප වෙන්නේ හෝ එපාවීමකින් ජීවත්වෙන්නේ.

■ ප්‍රියාශා හෙට්ටිහේවා

විශ්‍රාම යාම පිටින් බැලූ විට ජීවිතයේ සන්ධ්‍යා කාලය විවේකීව ගත කළ හැකි යැයි කෙනෙකුට සිතිය හැක. නමුත් ඇත්තට ම විශ්‍රාම දිවිය සුන්දර ද?


විශ්‍රාම දිවිය නම් ගඟට පා තැබීමෙන් පසු ජලයේ සැඩ පහර කෙසේ දැයි වටහා ගත් කිහිප දෙනෙකු සමගත්, විශ්‍රාම ගිය පරිපාලන සේවා නිලධාරියෙකුගේ දරුවෙකු සමග සහ පූර්ව සැලසුමක් සහිතව විශ්‍රාම ගිය විදුහල්පතිවරයෙකු සමගත් අපි කතාබහ කළෙමු.
‘අහල ඇතිනේ පෙන්ෂන් ගිය රාළහාමි වගේ කියලා කතාවක්. මමත් දැන් ඒ වගේ තමයි.’ කතාවට මුල පිරුවේ පොලිස් නිලධාරියෙකු ලෙස සේවයේ යෙදී සිට විශ්‍රාම ගොස් මේ වන විට මුර සේවයේ නිරත වන විශ්‍රාමික පොලිස් නිලධාරී මහතෙකි. ඔහු පොලිස් සේවයෙන් විශ්‍රාම යාමට ආසන්න කාලයේ සෙකියුරිටි සේවය සඳහා යොමුවීමට සිතාගත් කෙනෙකි.


‘පොලිසියේ වැඩ කරන කාලේ මිනිස්සු අතර මට තිබුණ ගෞරවේ දැන් නෑ. ඉස්සර මාව දැක්කා ම මිනිස්සු රාළහාමි කියලා කතා කරනවා. ගමේ කඩේකට ගියත් වාඩිවෙන්න පුටුව දෙනවා. දැන් කීපදෙනෙක් ඇරෙන්න අනිත් අය මාව සිකුරිටිකාරයා කියන මානසිකත්වෙන් දකින්නේ. හිතට හරි කලකිරීමක් දැනුණා ඒ දේවල් එක්ක’ ඔහු පැවසුවේ රාජකාරි කාලයේ පොලිස් නිල ඇඳුම සහ තනතුර වෙනුවෙන් තිබූ ගෞරවය මුරකරුවාගේ නිල ඇඳුමෙන් වැසී යන ආකාරයයි.


සියලු රැකියා ගෞරවයෙන් සැලකිය යුතු වුවත් මිනිසුන්ගේ ආකල්ප සමග ඔහු පත්ව ඇති කනගාටුදායක තත්ත්වය ඔහුගේ විශ්‍රාම දිවියේ සැහැල්ලුව ද නැති කර තිබේ.


‘දඩබ්බර කොල්ලෝ සිකුරුට්ටා කියල දුවනකොට හිත බර වුණ වෙලාවල් තියෙනවා. අද කාලේ වියදමත් වැඩියි. රස්සාවක් නොකර ඉන්නත් අමාරුයි. ඉගෙනගන්න දරුවෝ ඉන්නවා. මම ඉන්න ආයතනෙට එන සමහරු මගේ දිහා නිකමෙක් කියල බලනවා වගේ කියලා දැනෙන වෙලාවල් තියෙනවා.’


‘ඒ මොනවා වුණත් ගෙදර ගියා ම මම පරණ පොලිස්කාරයා වගේ ආඩම්බරෙන් මගේ දරුවෝ ඉස්සරහ ඉන්නවා. දරුවන්ට මේ දේ දැනෙන්න දෙන්න බැහැ.’


ඇය ග්‍රාමීය ප්‍රදේශයක රෝහලක සේවය කළ විශ්‍රාමික හෙද නිලධාරිනියකි. රාජකාරි කාලයේ රෝගීන්ට ඉතා කරුණාවෙන් සලකමින් රැකියාව කළ ද විශ්‍රාම යාමෙන් පසු සිතාගත නොහැකි ලෙස තම ගතිගුණ පවා වෙනස් වූ බව ඇය කියයි.


‘මම රිටයර් වුණාට පස්සේ ගෙදරදි නිතර මගේ ලේලියි, දුවයි දෙන්නා ම එක්ක රණ්ඩු වෙන්න ගත්තා. මට හේතුවක් ඕනෑ වුණේ නෑ රණ්ඩු වෙන්න. මාව දරුවන්ට එපාවෙලා ගියා මගේ වැඩ එක්ක.’


දුරබැහැර ප්‍රදේශයක පදිංචි ඇයට රෝහලට යාමට නම් පැය දෙකකට පමණ පෙර නිවසින් පිට විය යුතුව තිබුණි. එම හේතුවෙන් විශ්‍රාම ගිය පසු ද උදෑසන ඇහැරෙන පුරුද්දක් දැන් ඇයට තිබේ. ඇහැරෙන වෙලාවත් සමග සැලකිය යුතු කාලයක් ඉතිරි වන බැවින් ඇයට කරන්නට දෙයක් නැත.


‘ගෙදරට වෙලා ඉන්න ගත්තා ම මම ටිකෙන් ටික නොසන්සුන් වුණා. වෝඩ් එකේ මිස්ලා එක්ක කතාබහ කරලා, ලෙඩ්ඩු ගැන බලලා දවස ගෙව්ව මට ඒ දේවල් මතක් වෙන්න ගත්තා. හරි කාන්සියක් ආවා හිතට. ඒකෙන් මම පෙළඹෙන්න ඇති ළමයි එක්ක රණ්ඩුවට. පොඩි දුවට මම හේතුවක් නැතිව කෑගහන නිසා පාඩම් කරන්න බැරිව එයා යාළුවෙකුගේ ගෙදර ගියා අන්තිමට.’


ඇය පැවසුවේ, විශ්‍රාම ගිය පසු තමාට අවශ්‍ය වූයේ දරුවන් සමග කාලය ගෙවීමට බැවින් නිවසට වී සිටින බව මුලින් සිතාගත් බවය. ගුරුවරු දෙපළක් විසින් පන්සලේ ලොකු හාමුදුරුවන් මුණගස්වා පත්ව ඇති තත්ත්වය පිළිබඳ කතාබහ කිරීමට තමා යොමු කළ බවත් කාලයත් සමග ආගමික කටයුතුවලට හුරු වී තමාගේ චර්යා වෙනස් කරගත් බවත් ඇය කියයි.


”ලොකු හාමුදුරුවෝ ජීවිතේ ගැන හිතන්න, පාලනය වෙන්න කියල දුන්නේ නැත්නම් මම අද වෙනකොට දරුවන්ට එපා ම වෙලා තියෙන්න ඉඩ තිබුණා.”


පරිපාලන සේවයේ නිරතව සිට විශ්‍රාම ගත් පියෙකුගේ හැසිරීම් රටා හේතුවෙන් පීඩාවට පත් පුතෙකු අප සමග පැවසුවේ, පියා රාජකාරියේදී මෙන් ම ගමේ ද ගෞරවය දිනා සිටි අයෙකු බවත් විශ්‍රාම යාමෙන් පසු නිවසට වී සිටීම තම පියාට හුරු නොවූ බැවින් ක්‍රමයෙන් දරුවන්ට ද පීඩාවක් සමහර හැසිරීම් හරහා සිදුවුණ බවත්ය.


කාර්යාලයේ ගත කළ දිවිය අහිමි වීමෙන් ඔහු තම මිතුරන්ගේ නිවෙස්වලට නිතර ගොස් ඔවුන් සමග කතාබහ කරමින් කාලය ගතකිරීමට විශ්‍රාම යාමෙන් පසු හුරුව තිබේ. පසුව එම මිතුරන්ට ද එය කරදරයක් වී ඔවුන් තම පියා මගහැරීමට කටයුතු කළ බව කතානායකයා අප සමග පැවසීය.


”අප්පච්චි ගමේ කඩේට ගිහින් එතැන ඉන්න අය, යන එන අය එක්ක කතා කරන්න පටන් ගත්තා. අන්තිමට අප්පච්චිට ගරු කළ මිනිස්සු පවා හිනාවෙන්න ගත්තා. අපිටත් ලැජ්ජාවක් දැනුණා. කිව්වාට ඇහුවේ නෑ. ගොඩක් වෙලාවට ඉස්සර වැඩ කළ හැටි, එක එක ව්‍යාපෘති කරලා ඒවා සාර්ථක වුණ හැටි වගේ දේවල් ඒ මිනිස්සු එක්ක කියලා තිබුණේ.”


මෙම හැසිරීම් වෙනස් කිරීමට පියා වගා කටයුතු සඳහා යොමු කළ බවත් ව්‍යාපාරයක් ලෙස වැඩිදියුණු කිරීමේ අරමුණෙන් වගා කටයුතු ආරම්භ කිරීමට සැලැස්මක් සාදා දුන් බවත් ඔහු පැවසීය. එය ද කෙටි කලකින් ම අසාර්ථක විය. උදෑසන අවදි වන පියා ගමේ කඩය වෙත යාමට හුරු වූ නිසා ව්‍යායාමයක් ලෙස ඇවිදීමට හුරු කර කඩේට යාමේ පුරුද්ද නැති කිරීමට උත්සහ කළ ද පියා කැමැත්තක් දැක්වූයේ කඩයට එන මිනිසුන් සමග දොඩමළු වීමට බව ඔහු පැවසීය.


විශ්‍රාම දිවිය දරාගැනීම හිතන තරම් සුන්දර නොවන බව ඉහත කතා අනුව වැටහේ.
එහෙත් දරුවන් සමග විවේකීව විශ්‍රාම දිවිය ගෙවන පුද්ගලයෝ ද අපට හමුවෙති. මේ අතර පූර්ව සැලැස්මක් සහිතව විශ්‍රාම දිවියට ඇතුළු වූ විදුහල්පතිවරයෙක් ඔහුගේ අත්දැකීම් අප සමග බෙදා ගත්තේය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඟුල්මඩුව කනිෂ්ඨ විද්‍යාලයේ විශ්‍රාමික විදුහල්පති කරුණාසේන ගමගේ විශ්‍රාම යාමට වසර දෙකකට පෙර සිට ආහාර සම්බන්ධ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සැලසුම් කළේය. ඔහු මේ වන විට පොල්තෙල් නිෂ්පාදනාගාරයක් කුඩා පරිමාණයෙන් පවත්වාගෙන යයි. කුළුබඩු සහ යෝගට් ව්‍යාපාර ආරම්භ කිරීමට ගොස් ඒවා අසාර්ථක වූ බවත් පසුව පොල්තෙල් සිඳීමට පටන් ගත් අතර මේ වන විට ඉන් සැලකිය යුතු ආදායමක් ද ලබන බවත් ඔහු කියයි.
”මම පොල්තෙල් නිෂ්පාදනයට අමතරව මේ වෙනකොට ව්‍යාපාරික කහ වගාවක් දාලා තියෙනවා. කෙසෙල් වගා කරනවා. නිරෝගීව ඉන්න නම් වෙහෙසවෙලා මොනවා හරි කරන්න ඕනෑ කියලායි මම හිතන්නේ. විශ්‍රාම ගියා කියලා වැඩක් නොකර ඉන්න මට කැමැත්තක් නැහැ.”


විශ්‍රාම ගිය ද ඒ පිළිබඳව දුකක් දැනුණේ පාසලේ දරුවන් මතක් වූ විට බවත් ඒ හැරෙන්නට කාලය කළමනාකරණය කරගෙන තම ව්‍යාපාරය කරන බැවින් ජීවිතය සම්බන්ධයෙන් ඇත්තේ සුබවාදී හැඟීමක් බවත් ඔහු පැවසීය.


”මේ කර්මාන්තය දියුණු කරලා පොල්තෙල් මෝල් ගාන වැඩි කරලා හොඳ වෙළෙඳ නාමයක් යටතේ වෙළෙඳ පොළට පොල්තෙල් යවලා ඒ හරහා මගේ දරුවන්ට ඉදිරියට යන්න මාර්ගය සලසන එක තමයි මගේ බලාපොරොත්තුව”


විශ්‍රාම යන ඕනෑ ම පුද්ගලයෙකු විශ්‍රාම දිවියේ සැලසුම ගැන පෙර සිට ම සිතන්නට පෙළඹිය යුතු බව අපට මේ කතාබහ ඔස්සේ වැටහේ. මේ පිළිබඳව උපදේශන මනෝ විද්‍යාඥ භාග්‍යා අබේසිංහ මහත්මියගෙන් අපි විමසුවෙමු.


”රිටයමන්ට් එක කිට්ටු වෙනකොට ඊළඟට කරන්න ඕනෑ මොකක්ද කියන එක ගැන අදහසක් නැති වුණා ම තමයි සමහර වැඩිහිටියෝ ජීවිතේ කලකිරිලා අසනීප වෙන්නේ හෝ එපාවීමකින් ජීවත්වෙන්නේ. ඒක පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස්. සමහරු කැමතියි දරුවෝ ළඟ ඉන්න. සමහරු කැමතියි තනියම ඉන්න. තව සමහරු බිස්නස් එකක් හරි වෙන ජොබ් එකක් හරි කරන්න කැමතියි. තව සමහරු වගා කරන්න කැමතියි. තමන් නිරෝගී සෞඛ්‍ය තත්ත්වයකින් ඉන්නවා නම් පෙන්ෂන් යන්න අවුරුද්දකට දෙකකට කලින් තමන් පෙන්ෂන් ගියා ම මොකද කරන්නේ කියන එක ප්ලෑන් කරන්න ඕනෑ. ඒ ප්ලෑන් එක කරන්න ඕනෑ තමන් රාජකාරියේ ඉන්න කාලෙමයි” භාග්‍යා මහත්මිය කියන්නීය.


සමහර වැඩිහිටියන් මානසික රෝගවලට ගොදුරුවීමට හේතුව විශ්‍රාම ගැනීමෙන් පසු නිවසේ සිටියදී මීළඟට තමා කුමක් කළ යුතු දැයි කල්පනා කරමින් සිටීම බවද ඇය කියයි.


රාජකාරියේ නිරත වන කාලයේ තමන්ට ලැබුණ පිළිගැනීම නොලැබෙන බව සිතමින් සහ සමාජයේ පුද්ගලයන් තමා නොසලකා හරින්නේ යැයි පුහු බියකින් සමහර විශ්‍රාමික වැඩිහිටියන් කල් ගෙවන බව ද ඇය ප්‍රකාශ කළාය.


විශේෂයෙන් තමාගේ දුර්වලතා සහ ශක්තීන් මොනවා ද, තමාට තිබෙන සම්පත් සහ අවස්ථා මොනවා ද හඳුනාගෙන වසර 5ක් සඳහා සැලැස්මක් සකසා ගැනීම විශ්‍රාම දිවිය සාර්ථකව ගතකිරීමට රුකුලක් වන බව භාග්‍යා මහත්මිය පැවසුවාය.


තම දෙමාපියන් විශ්‍රාම යාමට ආසන්න නම් දරුවන් තම දෙමාපියන් සමග කතාබහ කර විශ්‍රාම යාමෙන් පසු කුමක් කරන්නේ ද කියා විමසා බැලිය යුතු බව භාග්‍යා මහත්මිය කියයි. දෙමාපියන් විශ්‍රාම ගිය පසු තම දරුවන් බලාගනිමින් සිටීවි යැයි සමහර දරුවන් සිතන බවත් බොහෝ විට දෙමාපියන්ගේ කැමැත්ත එය විය නොහැකි බවත් ඇගේ අදහසයි.■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි