20.8 C
Sri Lanka
25 May,2022

වැඩි මුදලට පොහොර ගත්තා කියලා හැමෝම පිළිඅරගෙන
රාජ්‍ය අමාත්‍ය
දුමින්ද දිසානායක

Must read

ඇන්තනී වෙරංග පුෂ්පික

අය වැය පාර්ලිමේන්තුවේ 3/2ක බලයකින් සම්මත වුණාට මිනිස්සුන්ගෙ ප්‍රශ්නවලට උත්තර ලැබිලා නැහැනේ..


මම හිතන්නේ සියලු දෙනාත් සමඟම සාකච්ඡා කරන්න ඇති මුදල් ඇමතිතුමා. අයවැය කතාවෙදිත් කිව්වෙ පුළුවන් විදියට සහන දුන්නා කියන එක. නමුත් ලෝක ආර්ථික තත්වෙයි රටේ ආර්ථික තත්වෙයි සැලකුවාම මේ වෙලාවෙ අපිට ඩොලර් පිළිබඳ විශාල ප්‍රශ්නයක් තියෙනවා, අපේ ආදායම පිළිබඳව විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේ විශාල අර්බුද ප්‍රමාණයකට ලක් වෙලා ඉන්න වෙලාවක්නේ මේක.

පහුගිය දවසක විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා නම් කිව්වෙ අයවැයට ඡන්දෙ දෙන්නේ විකල්පයක් නැති නිසා කියලා..


ආණ්ඩුවත් එක්ක සහයෝගයෙන් කටයුතු කරන පක්ෂයක් විදියට රටේ තිබෙන අර්බුදය පිළිබඳව ඉතාම හොඳ දැනුවත්භාවයක අපි ඉන්නවා. මම හිතන්නේ මුදල් ඇමතිතුමා දෙන්න පුළුවන් උපරිම දේ තමයි දීලා තියෙන්නේ.

මුදල් ඇමතිතුමාට බරපතළ විවේචනයක් තියෙනවා අයවැය විවාද අවස්ථාවලදීවත් පාර්ලිමේන්තුවේ නෑ කියලා..


මම හිතන්නේ මුදල් ඇමතිතුමා පාර්ලිමේන්තුවේ හිටියා නම් හොඳයි කියලා.

ආණ්ඩුවට රසායනික පොහොර නැවත ගෙන්නන්න සිද්ධවෙලා..


කාබනික පොහොරවලට යනවා කියන තීරණය නරක නෑ. නමුත් කාබනික පොහොරවලට එක පාරටම යන්නේ කොහොමද කියලා ගොවීන්ට විශාල ප්‍රශ්නයක් තිබුණා. නමුත් දැන් පුද්ගලික අංශය හරහා ගෙන්වන රසායනික පොහොර භාවිත කරන්නත් නැවත අවස්ථාවක් දීලා තියෙනවා. ගොවීන්ගේ ආර්ථිකය පැත්තෙන් ඒක මේ වෙලාවෙදි වටිනවා. නමුත් ආණ්ඩුවක් විදියට ප්‍රතිපත්ති වෙනස් කිරීම පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. උදේට එකක් කියලා හවසට එකක් කියන කාරණයේදී.

ගොවියො පාරට බැහැලා අසරණ වෙනකන්ම ඉන්නෙ නැතිව මීට ගොඩක් කලින් නේද මේ තීරණය ගන්න තිබුණේ?


ඒ පිළිබඳව කනගාටුවක් තියෙනවා, ගොවියන්ගේ සැබෑ ප්‍රශ්නෙට උත්තර දෙන්න කෙනෙක් නැති එක පිළිබඳව. සතුටු වෙනවා දැන් හරි මේ තීරණය ගන්න පුළුවන් වීම ගැන. මේක විශාල ප්‍රශ්නයක්, විශාල ආහාර හිඟයක් ඇතිවෙන්න තිබුණා. ඒ වගේම ගොවියන්ගේ ආර්ථිකයට විශාල වශයෙන් මේ තත්වය බලපානවා. නමුත් මේ ගත්ත තීන්දුව තුළවත් මේ කන්නයට සාධාරණයක් වෙයි කියලා මම විශ්වාස කරන්නේ නෑ.

ඒ වගේම තමයි නයිට්‍රජන් පොහොර ගෙන්වීම සම්බන්ධයෙන් කෝටි ගාණක වංචාවක් වෙලා තියෙනවා. මිනිස්සුන්ට කන්න අඳින්නවත් නැති තත්වයක් තුළ ආණ්ඩුව ගොවියන්ගේ පොහොර ටිකෙනුත් ගසා කනවානේ..


මම හිතන්නේ ඒ පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශය උත්තර දෙන්න ඕනෑ. මේ වෙනකොට හැමෝම පිළිඅරගෙන තියෙනවා වැඩි මුදලකට පොහොර ගත්තා කියන කාරණාව.

බත් පැකට් එකක මිලත් ඉහළ ගියා..


මේ යන ක්‍රමවේදයේ අර්බුදයක් තියෙනවා. මේ ක්‍රමවේදය වෙනස් කළේ නැත්නම් ඉදිරියේ දී ආහාර හිඟයක් දක්වා යන්න පුළුවන් කියන කාරණාව මීට ප්‍රථමත් මතක් කළා. අද වෙනකොට එළවළු මිල ඉහළ ගිහින් තියෙන්නෙ. කවුරුහරි කියනවා නම් වර්ෂාපතනය නිසා වෙච්ච දෙයක් කියලා මම හිතන්නෙ හේතුව ඒක නෙමෙයි. මේ පොහොර පිළිබඳව තිබෙන ප්‍රශ්නයේම කොටසක් හැටියට තමයි ඒකත් අපිට පෙනෙන්නෙ. මොකද අස්වැන්න අඩු වුණ ගමන් ඉල්ලුම සහ සැපයුමත් එක්ක මිල වැඩි වෙනවා. තවත් සැපයුම අඩු වුණොත් එහෙම ආහාර හිඟයක් දක්වා යන්න හැකියාව තියෙනවා. මේ අනතුරුදායක තත්වය අපි ආණ්ඩුවට පැහැදිලි කළා.

තරුණ තරුණියෝ රට හැර යන තත්වයකට ඇවිල්ලා. රට මේ ගමන් කරන්නේ කුමන දිශාවකට ද?


රටේ ජනතාවට යම් අස්ථාවරබවක් ඇති වෙලා කියන එක ඉතාමත් පැහැදිලියි. මම හිතන්නේ ඒ නිසා වෙන්නත් පුළුවන් තරුණ තරුණියෝ රට හැර යන්නේ. හැබැයි ලංකාව විතරක් නෙමෙයි ලෝකයම මේ අර්බුදයට මුහුණ දීලා තියෙනවා.

ආණ්ඩුවේ තියෙන නොහැකියාව හැම එහෙකටම කොරෝනා පිටින් දාලාද බේරෙන්න හදන්නෙ..


කොරෝනා නිසාත් ප්‍රශ්න ප්‍රමාණයක් ඇති වුණා. හැබැයි මේ රටේ තියෙන අර්බුදයට පසුගිය කාලයේ හිටපු සියලුම ආණ්ඩු වගකියන්න ඕනෑ. මොකද අපි ලබාගන්න ණයවලින් සංවර්ධන යෝජනා පමණක් ක්‍රියාත්මක කිරීමත් ඒ වගේම ආර්ථිකමය යෝජනා ක්‍රියාත්මක නොකිරීමත් එක්ක අපි ගන්න ණය ටිකට අපි ඩොලර් හොයන ක්‍රමවේදයක් හැදුණේ නැත්නම් අපිට මේ තත්වය උදා වෙනවා කියන එක අපේ ආර්ථික විශේෂඥයෝ කල්පනා කරන්න ඕනෑ. ඒ වගේම දේශපාලනඥයෝ කල්පනා කරන්නත් ඕනෑ. අපි ලබාගන්න විදේශ ණය ප්‍රමාණය අපිට රුපියලවලින් ගෙවන්න පුළුවන්කමක් නෑ. හැබැයි අපි මේ ගන්න ණයවලින් 50%ක්වත් ඩොලර් උපයන්න ක්‍රමවේද ටිකක් සකස් කර ගත්තා නම් අපට මා තත්වය අද උදාවෙන්නෙ නෑ.

අනුරාධපුරය තමයි මේ වෙනකොට කොරෝනා ව්‍යාප්තිය වැඩිම. එවැනි තත්වයක් තියාගෙන තමයි පසුගිය සතියෙ ජනාධිපතිතුමාගෙ ප්‍රධානත්වයෙන් විශාල පිරිසක් ඒකරාශි කරලා සඳහිරු සෑය විවෘත කරන්නෙ.
කොරෝනා තත්වයත් එක්ක මේ උත්සවයට විශාල පිරිසක් පැමිණීමත් මේ උත්සවයට සමගාමීව තවත් උත්සව ගණනාවක්ම පැවැත්වීමත් පිළිබඳව සමාජ මාධ්‍ය තුළත් අපි දැක්කා විශාල විරෝධයක් ආණ්ඩුවට එල්ල වෙලා තියෙනවා. මම හිතන්නේ ඒකෙන් යම් ප්‍රමාණයක් අපි බාර ගන්න ඕනෑ. මොකද මෙවැනි මොහොතක විශාල පිරිසක් එකතු කළ යුතුද නැද්ද කියන එක පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. සෞඛ්‍ය අංශ කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා විශාල වෙහෙසක් ගන්නා අවස්ථාවක ආණ්ඩුව හැටියට මෙවැනි උත්සවයක් පැවැත්වීම කොයි තරම් දුරට සදාචාර සම්පන්නද කියන කාරණාව සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා.

සපුගස්කනද තෙල් පිරිපහදුව ගමන් කරමින් සිටින්නෙ ස්වාභාවික මරණයකටද? ආණ්ඩුව සම්පූර්ණයෙන්ම මේ ගැන නොසලකා හැරලා. ..


ගම්මන්පිල ඇමතිතුමා එක්ක පුද්ගලිකවත් මම සාකච්ඡා කළා. අපිට දැන් තෙල් ආනයනය කරන්න ඩොලර් අර්බුදයක් තියෙන නිසායි ඒක වෙන්නේ.

මේ ආණ්ඩුව බලයට පත්වෙන්න දේශපාලන වේදිකාවල කියපු ප්‍රධාන සටන් පාඨයක් තමයි පාස්කු දින ප්‍රහාරය. හැබැයි මේ වෙද්දි ආණ්ඩුවෙ පැත්තටම තමයි ඇඟිල්ල දික් වෙන්නේ. කතෝලික පියතුමන්ලාත් මේ පිළිබඳව ඉන්නෙ නොසතුටෙන්. ආණ්ඩුවෙ පාර්ශ්වයෙනුත් හරි උත්තරයක් තවමත් ලැබිලා නැහැ.


ඒ ගැන නම් මුකුත් කියන්න දන්නේ නැහැ. ගිය ආණ්ඩුවෙනුත් මේ පිළිබඳ පරීක්ෂණ කළා. පරීක්ෂණ වාර්තා කිහිපයක්ම තියෙනවා. ඒ වගේම මේ ආණ්ඩුවෙනුත් කළ පරීක්ෂණ වාර්තා කිහිපයක් තියෙනවා. සීඅයිඩී එක, පොලීසිය වගේ ආයතනත් පරීක්ෂණ පවත්වනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේ මතය වෙන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳව කාට හරි චෝදනාවක් තියෙනවා නම්, කවුරු හරි වරදකරුවෙක් නම් ඒ පුද්ගලයගේ තරාතිරම නොබලා දඬුවම් දෙන්න කියන එකයි.

තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා ලිංගික අපහාසයක් වන අන්දමින් තමයි රෝහිණී කවිරත්න මන්ත්‍රීවරියට කතා කළේ..


කාන්තාවන්ට අපහාස වන අන්දමට තිස්ස කුට්ටිආරච්චි විතරක් නෙමෙයි දුමින්ද දිසානායක දෙයක් කිව්වා නම් ඒකත් වැරදියි. තම තමන් පෙන්නන්නේ තම තමන්ගේ මට්ටම. ඒ පුද්ගලයා සම්බන්න්ධව රටේ ජනතාව යම්කිසි අදහසක් ඇති කර ගනියි. අනිත් කාරණය තමයි මම දැඩිව විශ්වාස කරනවා පාර්ලිමේන්තුව තුළ අපි කැමතිම මතයන් අහන්න බලාපොරොත්තු වෙන්න හොඳ නෑ. මොකද අපිත් විපක්ෂයේ කටයුතු කරද්දි සාධාරණ විවේචන ආණ්ඩුවට ඉදිරිපත් කරලා තියෙනවා. අපි කැමති වෙන්න පුළුවන්, අකමැති වෙන්න පුළුවන් හැබැයි සියලු මතවලට ඇහුම්කන් දීමේ පුරුද්දක් ඇති කර ගන්න ඕනෑ. ඒ නිසා විපක්ෂය කතා කරන සියලු දේම බැහැර කරන්න ඕනෑ කියන මතවාදයේ මම නැහැ. මම ඒකට විරුද්ධයි.

තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා නිදහස් පක්ෂයේ නායකයන්ටත් ප්‍රසිද්ධියේ චෝදනා කරනවා.


අයවැය ඉදිරිපත් කරන්න ආව දවසෙ ජනාධිපතිතුමායි, අගමැතිතුමායි දෙන්නාම ඉන්න වෙලාවක තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීතුමාත් ඉන්න තැනම මම ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් ඉතාමත් පැහැදිලිවම කිව්වා, මෙතුමා අනෙකුත් පක්ෂවලට ආණ්ඩුවෙන් යන්න කිව්වාට අපි ආවෙ ජනාධිපතිතුමාත් එක්ක ගිවිසුම් අත්සන් කරලා, පොදුජන පෙරමුණත් සමඟ ගිවිසුම් අත්සන් කරලා. ඒ නිසා අපිට එක එක මන්ත්‍රීලා කියන කතා අදාළ වෙන්නේ නෑ කියන එක. ඒ අය දන්නේ නෑ අපි අතර තියෙන ගිවිසුම මොකද්ද කියන එක. ඒ අය සමහරවිට ඒ වෙලාවේ ඡන්දෙ ඉල්ලනවද නැද්ද කියලාවත් දන්න අය නෙමෙයි. අලුතෙන් ආව සමහර මන්ත්‍රීතුමාලා පාර්ලිමේන්තු මැතිවරණයෙදී ජයග්‍රහණයත් එක්ක පාවෙලා ආව වගේ අය තමයි ඉන්නේ. ඒ අය තමයි අපිට චෝදනා කරන්නේ.

අසමත් වෙච්ච ආණ්ඩුවක් ඇතුළේ තවදුරටත් ඉන්න එකෙන් වෙන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් හානියක් නෙවෙයිද?


වෙන බලවේග හදනවාට වඩා අපි හදපු ආණ්ඩුව තුළ යම් වැරැද්දක් තියෙනවා නම් ඒක නිවැරදි කරගෙන ඉස්සරහට යන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට අපි මැදිහත් වෙනවා.■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි