20 C
Sri Lanka
2 December,2021

වසන්ත පණිවුඩය

Must read

ඡායාරූපය : එම්.ඒ. පුෂ්පකුමාර

‘මේ බක් මාසයයි. මේ කාලයට රාශි වශයෙන් එකතු වන වියළි බට කොළත්, බට ගස්වල කොපුත් ගැන ඔහුට සිහිවේ. කලකට පෙර අපූ කුඩා කාලයේදී නිවසේ කැඩුණු ජනේලය අසල හිඳගෙන කල්පනාවෙන් ගත කළ ආනන්දයෙන් පිරුණු ඒ දවස් ඔහුට සිහි වේ. සීතල රාත්‍රිවල සැප පහසු ස්පර්ශයක් ගෙන දෙන පොරෝණය යට ගුළි වී සිටි සැටි ඔහුට සිහි වේ. ඒ සියල්ල අනන්ත වූ කාල ප්‍රවාහයට අසු වී ගසා ගෙන ගොස් ඇත.

සමහර දිනවල සිහිනෙන් පමණක් ඔහු නිශ්චින්දිපුරයට ගමන් කරයි. ඔවුන්ගේ ගේ අසල ඇති පාළු ඉඩමට වසන්තය පැමිණ ඇත. බක් මස මුල් භාගයේ දී හඳුනන සහ නොහඳුනන වන මලින් කැලෑ රොද පිරී යයි. නිවසේ කැඩුණු ජනේලය අයිනේ සිටියදී අතීතයේ සැප දුක් අතර දී හඳුනා ගත් කුරුල්ලෝ කීචි බීචි හඬින් ගී ගයති. දස වසරක වයසේ දී ගෙවූ ළමා කාලය පෙරලා ඔහු වෙත සිහිනෙන් පැමිණෙයි. මේ වන විට ජනේලයේ සලකුණක්වත් තිබිය නොහැක. දීර්ඝ වූ දවල් කාලයෙන් පසු සන්ධ්‍යාවේ රන්වන් හිරුරැස් වැටේ. තුරු වදුළුවල සෙවණැළි දික් වන වෙලාවේ පොල්කිච්චාගේ නාදය ඇසේ. අර මෝඩ ළමයා දැන් ජනේලය අසල නැත.:’ අපූගේ ලෝකය, විභූතිභූෂණ බන්ද්‍යොපාධ්‍යාය, පරිවර්තනය : චින්තා ලක්‍ෂ්මී සිංහ ආරච්චි.


ගහ කොළ මලින් පලින් බරවෙන බක් මාසය සශ්‍රීකත්වයේ මාසය කියලයි අපි හඳුන්වන්නෙ. තමන් වාසය කරන තැන් අලු‍ත්වැඩියා කරලා, අලු‍ත් පාටක් හරි සුදු හුණු හරි පිරියම් කරලා, දොර ජනෙල්වලට අලු‍ත් රෙදි තිර පළන්දලා, තමනුත් අලු‍ත්ම ඇඳුම් අඳින්න සූදානම් වෙන වකවානුවක් තමයි මේ. ඇහැට පෙනෙන මේ සූදානම සමාජීය සහ සංස්කෘතික අච්චු දෙකටම දාල බැලු‍වමත්, බහුතරයකට හරිම සතුටුදායක අත්දැකීමක්. මේකෙ මූලිකම ප්‍රකාශනය තමයි අලු‍ත් වීම. ඒ අලු‍ත්වීම තමයි සන්තුෂ්ටියේ මුහුණුවරින් එළියට එන්නෙ. මේ කාලයෙදි ජීවිතේ අනුන්ගෙන් දිනාගන්න බැරිවුණ දේවල් තෑගි බෝග මාර්ගයෙන් දිනා ගන්නත් සමහර අය උත්සුක වෙනවා. ‘පහුගිය වතාවෙ නං අපි අවුරුද්දට අර වැඩේ කළා. මේ පාර නං ඒක කරන්න වෙන්නෙ නැහැ’ විදිහට සමහරුන් වෙතිනුත්, ‘ඉස්සර අපේ කාලෙ අවුරුද්දට කරපු සහ දැකපු දේවලින් කීයෙන් කීයද අද අයට දකින්න තියෙන්නෙ’ කියල වැඩිහිටියන්ගෙනුත් සංකේතාත්මකව එළියට එන්නෙ මොකක්ද? සමාජයේ බහුතරයක් සිදුවීම් සිද්ධවෙන්නෙ එහෙම නැත්නම් උපදින්නෙ ඔවුන් සිතාගෙන සිටින හේතුවලින් නොව ඊට බොහෝ සෙයින් වෙනස්වූ හේතුවලින් බව තේරුම් ගන්නේ කීයෙන් කීදෙනෙක්ද? වැඩි දෙනෙක් හිතාගෙන ඉන්නෙ තමුන් වර්තමානයේ ගතකරන ජීවිතය දුෂ්කර එකක් කියලා. නමුත් තමන්ගේ සෙවණැල්ල වගේ තමන් එක්කම ඉදිරියට යන ඒ වර්තමානය කාලයක් ගියාම ඒ අයට මතක් කරලා දෙන්නෙ අතීතයට එක වුණු එදා වර්තමානය තමන්ගේ දැන් වර්තමානයට වඩා මොනතරම් පලදායක වෙලා තිබුණාද කියන එක.


මේ විදිහට කාලයා විසින් මකා හරින්න හරි, වැඩි දියුණු කරගන්න හරි උත්සාහ කරන්නෙ මොන වගේ රූපකයක්ද? සන්තුෂ්ටිය හරි අසන්තුෂ්ටිය උත්පාදනය වෙන්නෙ තමන්ගෙම මානසික උපයාගැනීම් මත නෙවෙයිද? මේකෙ ප්‍රධානතම කරුණුකාරණා බවට පත්වෙන්නෙ සංවිධිත චින්තනයකින් තොරව ක්‍රියාත්මක වීම කියලයි අපට නම් හිතෙන්නෙ. ඒ සංවිධිතබව වුණත් සාම්ප්‍රදායික සන්නිවේදනයකට බඳුන් වුණාම බොහොමයක් සංසිද්ධිවල හේතු ඵල සම්බන්ධයන් විමසා බැලීමේ දුරස් වීමක් වෙන්න පුළුවන්. ගතානුගතික මතිමතාන්තරවල එල්බ ගැනීමෙන් තොරව, බුද්ධිමත් වාහකයෙක් ඔස්සේ යවන පණිවුඩයක්, තවත් බුද්ධිමත් ග්‍රාහකයෙකුගේ සංජානනයකට බඳුන් වුණොත් ඒ තුළින් ඉස්මතුවෙන සංවේදනය දෙන පණිවුඩය ‘හැමදාම වසන්තය’‍ කියන එකයි.
වසන්තය හැමෝටම වසන්තයක්ම වෙනවාද, ඒ වසන්තය එක එක තැන්වලට ඇතුල්වෙන්නේ ඒ ඒ තැන්වලට අනන්‍ය විදිහටද? බහුජන ව්‍යවහාරය අනුව ගම කියන්නෙ සුන්දර, පිවිතුරු නිදහස් තැනක්. පිරිසිදු වාතාශ්‍රය, දිය උල්පත් එක්ක ගමේ ජීවත්වෙන්නෙ වාසනාවන්ත උදවිය. අර ගමේ ගෙදර ජනේලෙන් බලන ළමයා දකින්නෙ වර්ණවත් වටාපිටාවකින් සහ කුරුලු‍ කූජනයෙන් පොහොසත් අති මනස්කාන්ත දර්ශනයක්. කෙමෙන් කෙමෙන් සංකෝචනය වී තිබුණත් මේ දැක්ම යම් තාක් දුරට ගමේ රැඳිලා තියෙන බව පිළිගන්න වෙනවා. එහෙම නම් ගමේ බහුතරයක් නගරයට සංක්‍රමණය වෙන්නෙ ඇයි? මෙතෙන්දි තමයි ආර්ථිකය කියන සන්දර්භය උඩට එන්නෙ. මොකද වෙළඳපොළ ආර්ථිකය ක්‍රියාත්මක වෙන්නෙ නගරයෙ. උගත්කමෙන් සන්නද්ධ වෙන්න වෙන්න මූල්‍ය ආයතන ඇතුළු බහුතරයක් ආර්ථික දැතිරෝදය කරකවන ආයතනවල තිබෙන රැකියා වරප්‍රසාද සියල්ලම තිබෙන්නෙ නගරයේ. ඉතින් නාගරික ජීවන රටාවත් ග්‍රාමීය ජීවන රටාවට අභියෝග කරමින් සිටිනවා. නගරයේ මිහිරි හඬින් ගීත ගයන සියොත් කැලක් නැහැ. නගරයේ දෘශ්‍ය පථය සමන්විත වෙන්නෙ කපුටු ගහනයෙන්. මේ ඡායාරූපයේ නගරයේ ගසක අත්තක වසා සිටින කපුටු ජෝඩුවේ සංවාදය මොන වගේ එකක්ද? නගරයේ දූවිල්ලෙන් සමන්විත කර්කශ පරිසරය මැද දිරාපත්වී මිය යමින් තිබෙන අත්තක් මත සිදුවන සංවාදයේ මූලික නිමිත්ත තමන්ට උරුම රාජධානියේ තම වාසස්ථානය අහිමිවීම වෙන්න බැරිද? නගරයේ කපුටාගේ නිවාසය අහිමිවීම පසුබිම් වන්නේ අලු‍තින් ඉදිවී ඇති සුඛෝපභෝගී නිවාස සංකීර්ණයකට. අහිමිවීම සහ හිමිවීම පිළිබඳ සංකේතය මෙයයි. අද නාගරික සමාජ සංස්ථාව තුළ ආර්ථික ශක්තියෙන් පොහොසත්ව ස්ථාවරව සිටින බහුතරයක්, මම මුලින් පැවසූ ගමෙන් නගරයට සංක්‍රමණයවූ කණ්ඩායමයි. මේ නිවාස සංකීර්ණයේ නිවසක ජනේලයෙන් අවට බලන ළමයෙකුගේ නෙත ගැටෙන රූපකය සටහන් වන්නේ කුමන සන්දර්භයක් මතද? වසන්තයේ පණිවුඩය සංජානනය කරන ග්‍රාහක තනතුර ඔබ සතුද?■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි