No menu items!
22.2 C
Sri Lanka
14 May,2024

ලෝක දෙකක් එකතු කළ කොළඹ විලාසිතා සතිය

Must read

■ අනුරංග ජයසිංහ

‘ඩිං ඩිං.. ඩිං ඩිං.. ඩිං ඩිං.. ඒ තමයි හෑන්ඩ්ලූම් මැසිමක රිද්මයට මගේ උද්යෝගීමත් හදගැස්ම එකතු වෙන ශබ්දය. කාමරයට ඇතුළු වෙද්දී ඇහෙන ෆ්ලයින් ෂටල් එකේ වේගය වැඩි වෙනවා. මා බලා සිටිනවා කාන්තාව ව්‍යක්ත විදියට නිර්මාණය කරන රෙද්ද දිහා. සිල්ක්, රබර්, වානේ, රත්තරන් වියමනට එකතු කරන විලාසය මා බලා සිටිනවා.’ ලොවී සරොන්ස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා මෙන්ම, විලාසිතා නිර්මාණකරුවෙක් වන අසංක ඩි මෙල් කීවා. ඒ කොළඹ විලාසිතා සතියට සමගාමීව එහි යූටියුබ් නාළිකාවට එක් කළ කෙටි වාර්තාමය වීඩියෝවක.
ඔහු විස්තර කළේ අතින් වියන වියමනක් ගැන. ‘ලොවී සරොන්ස්’ විලාසිතා නිර්මාණය වන්නේ අතින් වියන යන්ත්‍රවලින්. ඉතා සියුම්ව වියන ලද, සුවපහසු සහ සුන්දර ඇඳුම් ලොවී සරොන්ස් එකතුවේ තිබෙනවා.
‘ලෝක දෙකක්’
මාර්තු 28 වැනි ඉරිදා අවසන් වූ කොළඹ විලාසිතා සතියේ තුන්වැනි දිනයේ ලොවී සරොන්ස් ආයතනය ඉදිරිපත් කළ විලාසිතා එකතුව හඳුන්වා තිබුණේ එලෙස. දේශීය සරම් විලාසිතා එක්ක ඉතාලි විලාසිතා කලාවේ එකට මුහු වීම ඒ එකතුවේ දකින්න තිබුණා. දේශීය කාන්තාවන් අතින් වියන ලද රෙදි මත, බටහිර ආභාසය ලැබූ විලාසිතා හැඩතල මුහු වුණා.
නවීනත්වය සහ ශ්‍රී ලංකාවේ දේශීය පැරණි විලාසිතා එහිදී එකට පටලැවීම ඉතා සුන්දර අත්දැකීමක්. එක් පැත්තකින් සරමක සැහැල්ලුව, තව පැත්තකින් බොත්තම් දැමූ බටහිර විලාසිතාවක විධිමත් බව එකිනෙක මුහු වී තිබුණා. සරමක තිබෙන සරල පෙනුමත්, ඒ එක්කම හොඳ සූට් එකක තිබෙන තේජවන්තකමත් එකට මුහු වෙලා තිබුණා. අතින් ගෙතූ සිල්ක් රෙදි, රබර්, රන්, ලෝහ එක්ක ලොවී ෆැෂන් විලාසිතා එකතුව මුසු වෙලා.
මේ ලෝක දෙක එකට මුහු කළේ අසංක සහ ඇල්බෙරිකා. අපේ රටේ අසංකත්, යුරෝපීය සම්භවයක් ඇති විලාසිතා නිර්මාණකාරියක වන ඇල්බෙරිකා ජියෝර්ජිත් තමන්ගේ ලෝක දෙක විලාසිතා මගින් එකට මුහු කළා.

විලාසිතාවක වගකීම
මාර්තු 26,27 සහ 28 දිනවල කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී කොළඹ විලාසිතා සතිය පැවැත්වුවා. මෙවර කොළඹ විලාසිතා සතිය පැවැත්වුවේ 18 වැනි වරට. ශ්‍රී ලංකාවේ විලාසිතා ක්ෂේත්‍රයේ අංක එකේ උළෙල ලෙස එය හැඳින්විය හැකියි. ක්ෂේත්‍රයේ අතිවිශිෂ්ටයන් එහිදී තම හැකියාවන් පෙන්වනවා.
ලොව පුරා විලාසිතා ක්ෂේත්‍රයට එල්ල වී ඇති ප්‍රධානතම අභියෝගය තමයි පරිසර හිතකාමී විලාසිතා නිර්මාණය කිරීම. ඇඳුම් ඇඳීමත්, නිර්මාණය කිරීමත් පසුපස තිබුණු අභිමානය, තමන් කවුදැයි ප්‍රකාශ කිරීම, තමන්ගේම ආත්ම විශ්වාසය තෘප්ත කර ගැනීම, තමන්ගේ සංස්කෘතිය මෙන්ම තත්වය කියාපෑම යනාදි කාරණාවලටත් එහායින් අද ‘වගකීම’ පවතිනවා. ඇඳුමක් නිර්මාණය කිරීම, විකිණීම, මිලට ගැනීම සහ ඇඳීම තවදුරටත් පෞද්ගලික තීන්දුවක් නෙවෙයි. ලොව පුරා ඇඟලුම් කර්මාන්තය ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමට සහ දේශගුණ අර්බුදය වර්ධනය කිරීමට හේතු වන අංක එකේ කර්මාන්තයක් බවට පත් වෙලා. සීමාව ඉක්මවූ අධිනිෂ්පාදනය මෙන්ම අධිපරිභෝජනය නිසා විලාසිතා නිර්මාණ ක්ෂේත්‍රය යම් දුරකට අපකීර්තිමත් ක්ෂේත්‍රයක් බවටත් පත්ව තිබෙනවා. මෙවර කොළඹ විලාසිතා සතිය තේමා කර ගත්තේ ඒ ‘වගකීම් සහගත විලාසිතා’ භාවිතාව.
‘කොවිඩ්-19 වසංගතයෙන් පසු විලාසිතා කර්මාන්තය අනෙක් සෑම කර්මාන්තයක්ම වාගේ අලුත් වෙලා. එහෙත් අලුත් අවස්ථා පවා නිර්මාණය වෙලා. සමාජය සහ සම්පූර්ණ විලාසිතා ක්ෂේත්‍රය අලුත් යථාර්ථයට හැඩ ගැහිලා. භාණ්ඩ පරිහරණය කරන ආකාරය මහා පරිමාණයෙන් වෙනස් වෙලා. මිනිසුන් දකින විදිය, මිලට ගන්න විදිය, පාවිච්චි කරන විදිය පරිවර්තනයකට ලක් වෙනවා.’ කොළඹ විලාසිතා සතියේ නිර්මාතෘවරයා මෙන්ම එහි වත්මන් කළමනාකරණ අධ්‍යක්ෂ අජේ විර් සිං මේ උළෙලට පූර්වයෙන් මාධ්‍ය සාකච්ඡාවකදී කියා තිබුණේ එහෙම.
ඒ අනුව පසුගිය කාලසීමාවේ ශ්‍රී ලංකාවේ විලාසිතා නිර්මාණ ක්ෂේත්‍රය උත්සාහකරමින් ඉන්නේ ඇඳුම් නිර්මාණය කිරීමේදී ඒවා පරිසරයට හානිකර නොවන ආකාරයට නැවත පරිසරයටම එකතු කිරීමත්, පරිසරයට හානිකර නොවන ආකාරයට නිර්මාණය කිරීමත් ගැන නවෝත්පාදන සංකල්ප හඳුන්වාදෙන්නට. ඇතැම්විට නවෝත්පාදනයටත් වඩා යටපත් වූ ඇතැම් පරිසර හිතවාදී නිර්මාණ ක්‍රම යළි පුබුදන්නට. ඒ නිසාම මෙවර අතින් වියන රෙදිවලින් නිර්මාණය කල විලාසිතාවලට ප්‍රමුඛතාවක් දුන්නා.
සාමාන්‍යයෙන් විලාසිතා උළෙලක් කියන්නේ හුදු ප්‍රාසංගික වැඩක් නෙවෙයි. විවිධ ඇඳුම් ඇඳගත් නිරූපක නිරූපිකාවන් දැක හිත් සනසාගැනීමක් නෙවෙයි. එය සංවාදයක්, අලුත් අවස්ථා විවර කර ගැනීමක්. අප විලාසිතා උත්සවයක දකින ඇඳුම් මහ පාරේ අඳින්න බැරි බව හිතනවා. ඒක අර්ධ ඇත්තක්. විලාසිතා එකතුවක තිබෙන ඇඳුමක් ඒ විදියටම අඳින්නට බැරි වුණත්, එහිදී පාවිච්චි කරන රෙදි වර්ග, මැස්ම, සාක්කු ඇල්ලූ විදිය, ගවුමක් එල්ලා හැලුණු විදිය ආදි ලක්ෂණ අප ඒ අවුරුද්දේදී එදිනෙදා අඳින ඇඳුම් නිර්මාණය කිරීම සඳහා බලපානවා. විලාසිතා උළෙලකදී නිර්මාණකරුවන් පාවිච්චි කළ උපක්‍රමවලින් කර්මාන්තය අභාසය ලබනවා.

එෆ්එච්
ශ්‍රී ලංකාවේ විලාසිතා ක්ෂේත්‍රයෙහි අකුරු දෙකකින් නියෝජනය වන උත්තුංග දැවැන්තයා තමයි ෆවුසුල් හමීඩ්. එස්එච් යන අකුරු දෙකට සියලු නිර්මාණකරුවන් අතර තියෙන්නේ අසීමිත ගෞරවයක්. ඒ නිසාම ෆවුසුල් හමීඩ්ට වෙනම රාජකීයත්වයක් හිමියි.
හමීඩියා ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වුවත්, හමීඩ් තමන්ගේ ව්‍යාපාර කටයුතුවලට සීමා වන්නේ නැහැ. පැසුණු කොණ්ඩය සහ පරිණත පෙනුම එක්කම තරුණ කලාකරුවන් එක්ක මුහුවෙමින් ඔහු මෙවරත් තමන්ගේ සුන්දර විලාසිතා නිර්මාණ ගොන්නක් දිගහැරියා.
උත්සව සඳහා සුදුසු ඇඳුම් එකතුවක් ඔහු එළිදැක්වුවා. කලිසම්, සූට් සහ විවිධ ජනවර්ග සඳහා සුදුසු ඇඳුම් එකතුවක් ඔහු ඉදිරිපත් කළා. ශ්‍රී ලංකාවේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනවර්ගවලට ආවේණික වූ විලාසිතා හැඩතල හා බටහිර විලාසිතා එකට මිශ්‍ර වීමක් ඔහුගේ විලාසිතා එකතුවේ දක්නට ලැබුණා.
ඇතැම් අය හමීඩ් හඳුන්වන්නේ ලාංකික පිරිමි විලාසිතාවල ගෝඩ්ෆාදර් කියායි. ඇත්තටම හමීඩ් ලංකාවේ පිරිමි විලාසිතා කතාවට මහා බලපෑමක් කළ චරිතයක්.
ඇතැම් පිරිමියෙක් කල්පනා කරනවා ඇති, ‘මා ජීවිතේට හමීඩියා ඇඳුමක් ඇඳ නෑ. ඒ නිසා මම අඳින ඇඳිල්ලට හමීඩියා බලපෑමක් නැහැ.’ කියා. එහෙත්, ලංකාවේ කොතෙකුත් වෙළඳ නාම තමන්ගේ කමිස, කලිසම් ආදිය නිර්මාණය කරන විට හමීඩියා ආභාසයෙන් ගැලවෙන්නේ නෑ. විදෙස් රටවලින් විවිධාකාර විලාසිතා ආනයනය කරද්දී හමීඩියාහි විලාසිතාවල බලපෑම නැතිව එය කෙරෙන්නේ නෑ. ඒ කාර්යාලයීය ඇඳුම් අඳින ලාංකිකයන්ගේ විලාසිතාවලට දැන හෝ නොදැන හමීඩියා බලපෑම එල්ල වී තිබෙනවා.

අමිලානි පෙරේරා
මෙවර කොළඹ විලාසිතා සතියට අමිලානි පෙරේරා ඉදිරිපත් කළ විලාසිතා එකතුව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල සමඟ ඒකාබද්ධව ඉදිරිපත් කළ එකක්. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ වාර්තා අනුව ශ්‍රී ලංකාවේ සිදු වන කාන්තා හිංසන සිදුවීම් තේමා කර ගනිමින් ඇගේ විලාසිතා එකතුව ඉදිරිපත් කර තිබුණා. ‘විත් හ(ර්)’ සහ ‘ඇය සමග’ යන වචන සහිත ඇඳුම් විලාසිතා ඒ එකතුවේ තිබුණා. ශ්‍රී ලංකාව, ඉන්දියාව, ජපානය ආදි ආසියාතික රටවල විවිධ ඇඳුම් විලාසිතාවල හැඩතල එහි තිබුණා. වඩා සැහැල්ලු බවක් මෙන්ම කාන්තාවාදී ස්වරයක් ඇගේ එකතුවෙන් ඉස්මතු වුණා. සම නිරාවරණය කිරීම සහ ආවරණය ඉතා ප්‍රවේශමෙන් කර තිබුණු බව පෙනුණා.

සොනාලි
සොනාලි ධර්මවර්ධන ශ්‍රී ලංකාවේ බතික් නිර්මාණ ක්ෂේත්‍රය මෑත ඉතිහාසය පුරා වර්ණවත් කරන්නට සමත් වූ පුරෝගාමී නිර්මාණකාරිනියක්. ඇය ඇඳුම් නිර්මාණකරණයෙන් එහා ගිය දෘශ්‍ය කලාකාරිනියක්. පාරම්පරික බතික් කර්මාන්තයත්, තමන්ගේම කලාත්මක අනන්‍යතාවත් එකට මුහු කළ කාන්තාවක්.
කහ, කළු, නිල් ආදි වර්ණවලට වැඩි අවධානයක් යොමු වූ සොනාලිගේ නිර්මාණ එකතුවට සාය විලාසිතා මෙන්ම සාරි විලාසිතාත් එක් වුණා. අතින් නිර්මාණය කරන ලද බීරලු ලේස් ඇගේ විලාසිතාවල කැපීපෙනුණා. බතික් පාවිච්චි කරමින් නිර්මාණය කළ ඇඳුමක් සාදයක් වෙනුවෙන් හෝ එදිනෙදා කටයුත්තකට කාන්තාවකට ගැළපෙන අයුරින් අඳින්නට ඇති හැකියාව ඇගේ නිර්මාණ එකතුවෙන් දැකගන්න පුළුවන්.

අයේෂ්
අයේෂ් වික්‍රමරත්න වසරකට හෝ දෙකකට පෙර නැගී එන තරුණ නිර්මාණකරුවෙක් වූවා. ඔහු ඇතුළු තරුණ නිර්මාණකරුවන් සහ නිර්මාණකාරියන් කිහිපදෙනෙක්ම කොළඹ විලාසිතා සතියේදී ජ්‍යෙෂ්ඨයන් සමග තමන්ගේ නිර්මාණ ඉදිරිපත් කළා.
අයේෂ් ඉතා නිර්මාණශීලීව චන්ද්‍රග්‍රහණය තේමා කරගත් ඇඳුම් එකතුවක් නිර්මාණය කර තිබුණා. ‘ඉන් ටු ද ඩාර්ක්’ යන තේමාවෙන් යුත් අඳුරු පැහැ, එල්ලා වැටෙන ගවුම් එකතුවක් ඒ. කාන්තා ශරීරයේ සුන්දරත්වය එල්ලා වැටෙන රෙද්දෙන් මනාව ඉස්මතු වෙන අයුරු ඔහුගේ ඇඳුම් එකතුවේ කැපී පෙනෙන ලක්ෂණය. විලාසිතාවලදී ගවුමක් එල්ලා වැටෙන ආකාරය ඉතා තීරණාත්මකයි. ගෝනියක් ඇඟේ එල්ලීමක් නොවී, සුන්දර අයුරින් එල්ලා වැටෙන ගවුමක් මැසීම ලෙහෙසි නෑ. ඔහුගේ නිර්මාණ එකතුව ආකර්ෂණීය වුණේ ඒ ගවුම් හැඩතල නිසා.
තවත් වෛවර්ණ විලාසිතා එකතු ගණනාවක් මෙම උළෙලට ඇතුළත් වුණා.
සජීවීව මේ විලාසිතාවල අරුමය දැක බලා ගැනීමට බොහෝ අයට අවස්ථාව නොලැබුණේ, එය සීමිත පිරිසක් සහභාගි වූ උළෙලක් වූ නිසා. එහෙත්, එහි අතුරු වාසියක් වුණේ අන්තර්ජාලයෙන් විශාල පිරිසකට එය නැරඹීමට හැකියාව ලැබීම. කැමති කෙනෙකුට යූටියුබ් අඩවියෙන් කොළඹ විලාසිතා සතිය නැරඹීමේ හැකියාව තිබෙනවා. විලාසිතා උළෙලේ ඡායාරූප හා වීඩියෝ මෙන්ම, තිරය පසුපස ඡායාරූප හා වීඩියෝ නැරඹීමේ හැකියාවත් තිබෙනවා.
කොවිඩ්-19 වසංගතයෙන් පසු අපේ විලාසිතා කතාව කුමන අතට ගමන් කරනු ඇතිද කියා ඉඟියක් ලබා ගන්නට කොළඹ විලාසිතා සතිය නැරඹුවොත් හැකි වේවි. අනෙක් පැත්තෙන් විලාසිතා නැරඹීම තාරුණ්‍යය, රාගය, සුන්දරත්වය විඳින්නට අවස්ථාවක්.
අප දිය ඇල්ලක, වන ලැහැබක, සුරතල් සතෙකුගේ මෙන්ම පුංචි දරුවෙකුගේ සුන්දරත්වය විඳිනවා. එහෙත් ආකර්ෂණීය විලාසිතාවකින් සැරසුණු තරුණ පිරිමි, ගැහැනු සිරුරක් තරම් ඒ කිසිවක් සුන්දරද කියා මොහොතකට කල්පනා කිරීම වටිනවා. විලාසිතා නිර්මාණකරණය සහ විලාසිතා නිරූපණය තියෙන්නේ අපට ඒ රසය විඳින්නට. ඒ අවස්ථාව මඟ හරින්න ඕනෑ නැහැ.■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි