20.6 C
Sri Lanka
18 October,2021

‘ලොහාන් රත්වත්ත ගැන පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා රිට් ආඥාවක් ගැනීමට කටයුතු කරනවා‘ – නීතිඥ සේනක පෙරේරා

Must read

■ ප්‍රියාශා හෙට්ටිහේවා

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළු වී සිරකරුවන් කිහිප දෙනෙකුට පිස්තෝලය පෙන්වා තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ ක්‍රියාත්මක නොකෙරේ නම් ඉදිරියේදී රිට් ආඥාවක් ගැනීමට කටයුතු කරන බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති, නීතිඥ සේනක පෙරේරා පවසයි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් සැප්තැම්බර් 16 වන දා පැමිණිල්ලක් ඉදිරිපත් කළ ද මේ වන තෙක් සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ ක්‍රියාත්මක නොවීම හේතුවෙන් පරීක්ෂණ ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයෙන් රිට් ආඥාවක් ලබා ගන්නා බව සේනක පෙරේරා මහතා ‘අනිද්දා‘ සමග පැවසීය.


අපරාධ නඩු විධාන සංග්‍රහයේ 109 (1) වගන්තිය අනුව අපරාධයක් සම්බන්ධ තොරතුරක් ලැබුණු වහාම පොලිසිය ඒ පිළිබඳ විමර්ශන කර අවශ්‍ය පියවර ගත යුතු බවත් පැමිණිල්ලක් ලැබුණු පසු විමර්ශන ඇරඹිය යුතු බවට සඳහනක් එහි නොමැති බවත් ඔහු ප්‍රකාශ කළේය.


මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ විමර්ශන සහ වැටලීම් සිදු කරන්නේ ඒ සම්බන්ධව පැමිණිලි කිරීම් හේතුවෙන් නොවන බවත් ලැබෙන තොරතුරු අනුව බවත් එසේ නම් මෙම සිද්ධියේදී පැමිණිල්ලක් සම්බන්ධයෙන් පවසමින් පරීක්ෂණ සිදු නොකර සිටීම අනුමත කළ නොහැකි බවත් ඔහු අවධාරණය කළේය.


පැමිණිල්ලක් නොමැති බව, රාජ්‍ය අමාත්‍යවරයා රැගෙන ගිය පිස්තෝලය ලයිසන් සහිත එකක් බව සහ ඇමතිතුමාට ඕනෑ වෙලාවක බන්ධනාගාරයට යාමට හැකි යැයි වැනි විවිධ හේතු පවසමින් සිද්ධියේ බරපතළ බව සමනය කිරීමට විවිධ කණ්ඩායම් කටයුතු කරන බව ඔහු පැවසීය.

ඔහු පැවසුවේ, රජයේ ප්‍රතිපත්තිය අදාළ සිදුවීම සම්බන්ධයෙන් කිසිවක් නොකළ සිටීම බවය.


ජනාධිපතිට පමණක් අපරාධ මුක්තිය ඇති නමුත් මේ සිදුවීම අනුව ඇමතිවරුන්ට ද අපරාධ මුක්තිය ඇති බව පැහැදිලි වන බව සේනක මහතා පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් අද දින කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක නොවන බවය.


මීට අමතරව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් බන්ධනාගාර පද්ධතියේ තිබෙන අසාධාරණ තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලියවිල්ලක් අද (සැප්තැම්බර් 22) දින භාර දුන් බව ද සේනක පෙරේරා මහතා ප්‍රකාශ කළේය.■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි