29.5 C
Sri Lanka
18 September,2021

යුනුස්ගේ තොණ්ඩුව බෙල්ලට වැටුණු වැලිඔය ගැහැනු

Must read

අතරින් පතර කෙටි වැසිය. අතරින් පතර දිගු සුළං ය. මා අනුරාධපුරය පසුකර මැදවච්චියට ආවේ කාලයකට පසුව වැලිඔයට යන්නට ය. කැබිතිගොල්ලෑව පදවිය පසුකරමි. වැලිඔය චෙක් පොයින්ටෙක තවමත් යුද්ධය සිහි කරයි. චෙක් පොයින්ටෙකට පසුව පාර වයි අකුරක් සේ දෙකට බෙදෙයි. එක පසක් නැදුන්කර්නි ය. අනෙක් පස මුලතිව් ය. අප මුලතිව් මඟ ගත යුතුය. මේ බිම කලින් දෙමළ ය. 1984 සිට සිංහල ය. අපි ඒ ඉතිහාසයට ගොස් නැවත වර්තමානයට එමු.
‘අපි වැලිඔයට ආවේ 1984. එනකොට මට වයස 11යි. අපි එනකොට මේක කැලයක්. ඇහැටුගස් වැව හරියේ දෙමළ ගම්මානයක් තිබුණා. අපි කලින් හිටියේ දිඹුලාගල දම්මින්න කියන හරියේ. ඉන්න බෑ අලි ගහනවා. ගමේ හිටපු හැමෝටම යන්න කිව්වා. අන්තිමට පවුල් 300ක් විතර ඉතුරුවුණා. ඒ ඉතුරු වුණ අයට දිඹුලාගල ශීලාලංකාර නායක හාමුදුරුවෝ පන්සලට එන්න කියලා මෙහෙට එව්වා. අපේ අප්පච්චි කෙහෙල් අල කීපයකුයි, අඟල් හයට කපපු මඤ්ඤොක්කා දඬු ටිකකුයි ටංකා පෙට්ටියේ දාගෙන තමයි ආවේ. ඒ දුෂ්කර ගමනේ ප්‍රතිඵල තමයි මේ වැලිඔය කියන්නේ. අලි මූකලානෙට ගෙනත් බැස්සුවේ. මුලින්ම හිටියේ පරාක්‍රමපුර චේතියගිරිය පන්සලේ. ඊළඟට තමයි මේ නිකවැව කියන හරියට ඇවිත් පදිංචි වුණේ. අපි එනකොට මෙහේ හිටිය දෙමළ මිනිස්සු අපිට හරියට උදව් කළා. පස්සේ කලබල පටන් ගත්තාම ඒ මිනිස්සු ගම අතෑරලා ඈතට ඈතට ගියා.’
වැලිඔය සිංහල ගම් කොලනියේ ආරම්භය ගැන එලෙස හඬ අවදි කළේ බිසෝ මැණිකේය. ඇය කියන්නැහේ මේ වෙන විට වැලිඔය සිංහල ජනපදය ගම් 18ක් දක්වා පොකුරු ගසා ඇත. පවුල් 5000ට වැඩිය. ඒ පවුල් අතරින් 80%ක් සහනාධාරලාභීහු ය. අප කතා කරන්නට හදන කතාව තියෙන්නේ මෙන්න මෙතැනය.
පාලකයන් එවකදී වැලිඔය සිංහල ජනපදය නිර්මාණය කරන්නේ උතුරේ සිංහලයන් ව්‍යාප්ත කරලීමේ වැඩක් විදිහට ය. මේ බිමට පැරිෂූට්කරණය වූ දුප්පත්කමේ අඩියේ සිටි මේ අහිංසකයන්ට, විඳින්නට වුණේ අටානුවක් ව්‍යාධීන්වලට ය.
තැනින් තැන කුඩා නෂ්ටාවශේෂ වැව් තිබුණත් ඒවාට ඊසාන දිග මෝසම ගෙනෙන දිය බිඳ ආරක්ෂා කරගන්නට බැරිය. එනිසා මේ බිම සදා ශුෂ්ක ය. පදවියේ වතුර හෝ වැලිඔයට හරවා වැලිඔය ගොවිතැනට සුදුසු බිමක් කර ජනතාව පදිංචි කළ යුතු වුණත්, ආණ්ඩුව සහ එකල සිටි සිංහල නායකයන් ඒ කිසිවක් ගැන නොසිතා, මේ දුප්පතුන් ගෙනත් වීසි කළේ උතුරේ දෙමළාට පාඩමක් උගන්වන්නය. මේ ජනපදයට දැන් අවුරුදු 30කට වැඩිය. තවමත් එකුදු ආණ්ඩුවකට හෝ වැලිඔයට වතුර ලබාදෙන්නට හැකිවී නැත. එහෙත් 1984 සිට අද දක්වාම පදිංචි කිරීම් සිදු වෙයි.

වතුර නැති වැලි ඔය
වැලිඔයට වාරි තාක්ෂණය මගින් ජලය සම්පාදනය කරන්නේ නැත. තැන තැන කුඩා වැව් තිබුණත් ඒවාට ඊසාන දිග මෝසම ගෙනෙන වතුර රැකගන්නට ශක්තියක් නැත. එනිසා මේ බිමේ මිනිසුන් වගාවන් කරන්නේ වැසි ජලයෙන් ය. සරු ගොවිතැනක් නැත.
දුප්පත්කම සමග පැමිණෙන ව්‍යාධීන් සියල්ලගෙන් මේ ගම් පොකුර සරු ය. වකුගඩු රෝග, මන්දපෝෂණය, ළමා විවාහ, රැකියා වියුක්තිය මේ බිමට උරුම කරුමයන් ය. දැන් දැන් බොහෝ ගැහැනුන් මැදපෙරදිගට සංක්‍රමණය වෙමින් සිටින්නේ රැකියාව සඳහා ය. තවත් පිරිසක් දකුණට සංක්‍රමණය වෙන්නේ ගාමන්ට් රැකියාවන් සඳහා ය. තවත් සැලකිය යුතු ගැහැනු දරුවන් ප්‍රමාණයක් දකුණට සංක්‍රමණය වෙන්නේ සම්බාහන රැකියා සඳහා ය. එහිම දිගුව ලිංගික ශ්‍රමය අලෙවි කිරීමය. වැලිඔය කලාපයේ අධ්‍යාපන තත්ත්වය වාගේම සෞඛ්‍ය තත්ත්වයද තිබෙන්නේ පිරිහුණු තත්වයකය.
දැන් මේ දුප්පත්තු ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලකට හසුව ජීවිතය ඉල්ලා සිටිති.

ක්ෂුද්‍ර මූල්‍ය ණය ව්‍යසනය
“අපි 2013 තමයි නැවත පදිංචි කිරීම් නිසා මෙහෙට එන්නේ. 2016 අපිට ගෙවල් හදාගන්න රජයෙන් ආධාර කළා. 2016 තමයි ‘ප්‍රගති’ එකෙන් මුලින්ම ණය දෙන්න පටන් ගත්තේ. මේ කාලේ ගමට කොම්පැණි ගොඩාක් ඇවිත් ගමේ සමිති පිහිටෙව්වා. අපිත් සොයන්නේ බලන්නේ නැතුව ඒවාට සම්බන්ධ වුණා. අපේ ගෙදරත් සමිති පිහිටුවලා තියෙනවා. මුලින්ම තියෙන්නේ 15ක විතර කණ්ඩායමක් හදාගන්න. ඊට පස්සේ ඒ සර්ලා ඇවිත් අපිට ණය දෙනවා. ඉතිං ඒ කාලේ ගත්ත ණය අපි හැමෝම වගේ ගෙව්වා, මොකද අපිට ගෙවල් හදාගන්න රජයෙන් ආධාර මුදලක් දුන්නානේ. පස්සේ තමයි අපිට මේ ණය ගෙවාගන්න නොහැකි වෙන්නේ. ආධාර නැතුව ගියා, රස්සාව නැතුව ගියා, ඉතිං ණය ගෙවාගන්න බැරි වුණා.“ මේ හඬ රේණුකා කරුණාරත්නගේය. ඇය වැලිඔය සපුමල් තැන්නේ පදිංචිකාරියක් ය.
“මයික්‍රෝ ෆයිනෑන්ස් කියන සංකල්පය එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක බැංකුව, ආසියා සංවර්ධන අරමුදල වගේ ආයතන පිළිගන්නේ දුප්පත්කම දුරලීම, කාන්තාවන් සවිබල ගැන්වීම වගේ යාන්ත්‍රණයන් සඳහා ඉතාමත් හොඳ ක්‍රමයක් විදිහට. 2006දී මයික්‍රෝ ෆයිනෑන්ස් ක්‍රමය හඳුන්වා දුන්න මොහොමඞ් යූනුස් කියන බංගලිදේශ ආර්ථික විද්‍යා මහාචාර්යවරයාට නොබෙල් සාම තෑග්ග ලබාදෙනවා. අපිට ඒකෙන් පේනවා ලෝක මට්ටමින් මේක කොච්චර පිළිඅරගෙන තියෙනවාද කියන කාරණය. නිරන්තරයෙන්ම අපිට මයික්‍රෝ ෆයිනෑන්ස් ගැන තියෙන මේ ජනප්‍රිය මතය සමග ගැටෙන්න සිද්ධවෙලා තිබෙනවා. මේ ජනප්‍රිය මතය එක්ක හැංගුණ කතාව තමයි මේක සෑහෙන්න විශාල ප්‍රාග්ධනයක් ගලාගෙන යන ක්ෂේත්‍රයක් කියන එක. එක්සත් ජාතීන්ගේ සංවිධානය වගේ ජාත්‍යන්තර සංවිධාන ඇරුණාම ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ බැංකු, ධනවත් පුද්ගලයන් කොටස් මුදල් විදිහ කරන ආයෝජන, උතුරු යුරෝපය වගේ සංවර්ධිත රටවල විශ්‍රාම වැටුප් අරමුදල්, ආයෝජනය කරන ක්ෂේත්‍රයක් වෙලා තියෙනවා මේ ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රය. ස්වීඩන්වල තිබෙන විශ්‍රාමික අරමුදල තමයි ස්වීඞ් ෆන්ඞ් කියන්නේ, ඒ වගේ ආයතන ලංකාවේ එල්ඕඑල්සී වගේ ආයතනවල මුදල් ආයෝජනය කරලා තියෙනවා.’
ලංකාවේ ක්‍රියාත්මක ක්ෂුද්‍ර මූල්‍ය ණය ව්‍යාපෘතීන් නිසා දුප්පතුන්ට මුහුණදෙන්නට සිදුවී තිබෙන තත්ත්වයන් පිළිබඳව දීර්ඝ කාලයක සිට පර්යේෂණයේ නිරත පර්යේෂිකාවක වන අමාලි වෙදගෙදර එසේ කීවාය. ක්ෂුද්‍ර මූල්‍ය ණය පිළිබඳ ජනප්‍රිය මතය ඇත්තද? අපට ඒ පිළිබඳව වැලිඔය ප්‍රදේශයෙන්ම සොයා බැලිය හැකිය.

තොණ්ඩුව බෙල්ලට වැටුණ හැටි
‘ධීවර රැකියාවට තමයි ණය ගත්තේ. ආයතන හතරකින් ණය අරං තියෙනවා. ධීවර වැඬේ කරන්න බැහැ කිඹුල්ලු ගහලා දැල් ආම්පන්න විනාශ වුණා. දැන් අවුරුදු 1 1/2ක ඉඳලා රැකියාවක් නැහැ. ළමයි හතරක් ඉස්කෝලේ යනවා. චූටි දරුවා විතරයි ගෙදර ඉන්නේ. තව දරුවෙක් ලැබෙන්නත් ඉන්නවා. දැන් අපිට කරගන්න දෙයක් ඇත්තේම නැහැ. ණය ගෙවාගන්න ක්‍රමයකුත් නැහැ. සර්ලා ගෙදරට ඇවිත් හැමදාම කරදර කරනවා. ඇපකාරයොත් තර්ජනය කරනවා. එක ආයතනයක් නම් නඩු දාලා කැබිනට් එකයි, ටීවී එකයි වෙන්දේසි කරගෙන ගියා. දැන් තවත් ආයතනයක් නඩු දාලා. නඩු දැම්මත් හිරේ දැම්මත් අපිට ගෙවන්න ක්‍රමයක් නැහැ. ළමයින්ට කන්න බොන්න දෙන්නවත් ක්‍රමයක් නැහැ. අපිට ගොවිතැන් කරන්න කියලා කුඹුරු නැහැ.’ මේ හඬ නිකවැව දකුණ පදිංචි රසිකා කුමාරිගේ ය. ඇය වැලිඔය දෙවෙනි පරපුර නියෝජනය කරන්නී ය. ඇය කසාද බඳින්නී වයස 15දී ය. වැලිඔයට සුලබ ළමා විවාහ අතර ඇයගේ විවාහය ද වෙයි. දැන් ඇයට ළමයින් පස් දෙනෙකු එක්ක හැප්පෙන්න සිද්ධවී ඇත. එහෙත් ඇය තවමත් අවුරුදු 30ක තරුණ කාන්තාවක් ය.
‘මම ලෝන් එක ගත්තේ එල්ඕඑල්සී එකෙන්, දැන් මම ලෝන් එක අරං අවුරුදු තුනක් විතර වෙනවා. ගත්තේ ලක්ෂයයි. දැන් ලක්ෂයට 1.30ක් ගෙව්වා. පස්සේ ගෙවාගන්න බැරිවුණා. ඇත්තටම ලක්ෂයක් ඉල්ලුවත් මට අතට ලැබුණේ රුපියල් අනූදාහයි. ඒ ගාණට තමයි 130,000ක් ගෙව්වේ. ඒ ගෙවලත් තවත් 45000ක් ගෙවන්න තියෙනවා කියලා තමයි එයාලා අපිට කියන්නේ. මගේ ඉතුරුමේ රුපියල් 35000ක් තිබුණා, මම කිව්වා ඒක අඩුකරගන්න කියලා. එයාලා කියනවා එහෙම බැහැ ලෝන් එක සම්පූර්ණ ගෙව්වාට පස්සේ ඒක අතට දෙන්නම් කියලා. ඒ කිව්වාට මාසයක් ගාණේ ඒකෙනුත් සල්ලි අඩුවෙනවා. අපි ගන්නකොට මේක මෙච්චර පොලියක් අය කරයි කියලා හිතුවේ නැහැ. මොකවත් සොයන්නේ බලන්නේ නැතුව තමයි ණය ගත්තේ. මම ඌරෝ කොටුවක් කරන්න තමයි සල්ලි ගත්තේ. ඒත් හදිස්සියේ මහත්තයා අසනීප වුණ නිසා ඒක කරගන්න බැරිවුණා. දැන් ඉතිං නඩු දානවා කියලා කරදර කරනවා. වහ ටිකක් බීලා මැරෙන්න හිතිලා තියෙන්නේ.’ මේ සපුමල්තැන්න ග්‍රාමයේ ජීවනී අප්සරාගේ කතාවය.

ණය බරින් මිරිකෙන පවුල
‘මම සණස බැංකුවෙන් ලෝන් එකක් අරගෙන තිබුණා. 22,000ක විතර වාරිකයක් ආවා. සත්ව පාලනයට තමයි මම ණය ගත්තේ. ඒක හරියට කරගන්න බැරිවුණ නිසා ණය ඇරියස් වුණා. මහත්තයා කොළඹ ගිහිං වැඩ කරලා එවන සල්ලිත් අන්තිමට මදිවුණා ණය වාරික ගෙවන්න. අන්තිමට මහත්තයා රණ්ඩු වෙලා ගෙදරිනුත් ගියා. මට දූලා දෙන්නෙක් ඉන්නේ. බොහොම අමාරුවෙන් දරුවෝ දෙන්නා ඉස්කෝලේ යවනවා. මේ ප්‍රශ්න නිසා මම ජීවිතය නැතිකරගන්න ගියා. දරුවෝ දෙන්නා නිසා තමයි දැන් මේ ජීවත් වෙන්නේ. වැලිඔය මට වගේම ගොඩාක් කාන්තාවන්ට ප්‍රශ්න තියෙනවා. සමහරුන්ට ණය ගෙවාගන්න බැරිවුණාම සර්ලා අයුතු යෝජනා පවා කරලා තියෙනවා. සමහර කාන්තාවෝ ගෙවල් දාලා ගිහිං තියෙනවා ලැජ්ජාවට සහ ගමේ ඇතිවෙන කතන්දර නිසා. මොකද සර් කෙනෙක් ණය එකතු කරන්න ගෙදරට ආවාම දෙනකම් යන්නේ නැහැ, දවසක් මගේ ගෙදරට ඇවිත් උදේ 8 ඉඳලා හවස දෙක වෙනකම් ඉඳගෙන හිටියා. දවසක් මම මේ ළඟ ගෙදරකට යනකොට ණය එකතුකරන සර් කෙනෙක් ඇවිත් එළියේ ඉඳගෙන ඉන්නවා. ගෙදර දොරත් වහලා. මම කුස්සිය පැත්තෙන් ගියා. යනකොට ඒ ගෙදර නංගී සාරියක් බාල්කෙට දාගෙන එල්ලෙන්න හදනවා. මම බොහොම අමාරුවෙන් තමයි ඒ මනුස්සයාගේ ජීවිතය බේරා ගත්තේ. මේ සිද්ධිය නිසා මට හිතුණා මේකට මොනාහරිම කරන්න ඕනෑ කියලා. ඊට පස්සේ තමයි මම ජයතිස්ස මාමා හොයාගෙන හිඟුරක්ගොඩ ගියේ.’ මේ කතාව රේණුකා කරුණාරත්නගේ ය. ඇය, මුලින් කීවා සේ ක්ෂුද්‍ර මූල්‍ය ණය බර දරාගන්නට නොහැකිව ජීවිතයෙන් යන්නට කල්පනා කළ කාන්තාවක් ය. එහෙත් දැන් ඇය මෙම ප්‍රශ්නයෙන් පීඩා විඳින ලක්ෂ ගණනක් කාන්තාවන් වෙනුවෙන් හඬ නඟන්නීය.
වැලිඔය කාන්තාවන් හැමෝම වාගේ ණය අරගෙන තිබෙන්නේ දුප්පත්කමෙන් මිදෙන්නටය. ආර්ථිකයේ ඉහළට පැනගන්නය. එහෙත් ක්‍රමයේම වරද නිසා ඔවුන් දැන් කබලෙන් ළිපට වැටී සිටියි. ණය ගත්තා නම් ගෙවන්න ඕනෑ ව්‍යාපාර ආයතනවල අදහසයි. මේ ගම්මුන්ගේත් අදහස එයමයි. එහෙත් ප්‍රශ්නය ණය ගෙවන්නට ඔවුන්ට ධනයක් උත්පාදනය නොවීමය. සමහරුන්ට ගොවිතැනට ඉඩම් නැත. සමහර පවුල්වල ඉඩම් කුඩා කැබලිවලට බෙදී අවසන් ය. ඒ කොහොම වෙතත් වවන්නට වතුරත් නැත. ඉතිං ණය ගෙවන්නේ කෙසේද? එහෙත් ඇපකරුවන් සමිතියේ අනෙකුත් සමාජිකයන් ආයතනයේ සර්වරුන් ණය ගෙවන්න යැයි බල කරයි, ගෙදරට පැමිණ මිදුලට වී හිඳ උපවාස කරයි, එවැනි විටෙක මේ කාන්තාවන්ට වගා ළිඳට පැණීම හෝ ගෙල වැලලා ගැනීම හැර අන් විසඳුමක් නොපෙනෙයි.!

ජයතිස්ස අයියාගේ කතාව
‘මේ ණය උගුලට හසුවුණ පුද්ගලයෝ 28 ලක්ෂයක් ඉන්නවා. එයින් ලක්ෂ 2,438,000 ක් කාන්තාවෝ. මෙයාලා හොඳ අධ්‍යාපනයක් ලබපු අය. හැමෝම වගේ අට පාස්. විශ්වවිද්‍යාලයේ ගිය අයත් මේ අතර ඉන්නවා. අලි ගහන ගම්මාන, ඉතාමත් දුෂ්කර යල මහා දෙකන්න වවන්න බැරි ගම්මානවල ගොවියෝ තමයි මේකේ ඉලක්කය වෙලා තිබුණේ. සුනාමි සහනාධාරවලින් ඉතුරු වුණ සල්ලි සහ යුද්ධයෙන් ඉතුරු වුණ සල්ලි අරං තමයි මේක ලංකාවේ ආරම්භ කරලා තිබෙන්නේ. 220% පොලිය අය කරලා තියෙනවා. දින පොලියක් කියලා සීයට රුපියලක් අය කරලා තියෙනවා. රුපියල් සීයක් ගත්තොත් අවුරුද්දට රුපියල් 365ක් නිකම්ම ගෙවන්න ඕනෑ. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් එකට අපි මේ කාරණය පැහැදිලි කළාට පස්සේ තොරතුරු පනත යටතේ ඔවුන් මහ බැංකුවෙන් මේ තොරතුරු ඉල්ලුවා, එතැනින් තමයි මේ ගණන් මිනුම් එළියට එන්නේ. 15,000ක් විතර මූල්‍ය ආයතන ගම්වලට වැඳිලා මේ වැඬේ කරලා තියෙනවා. අපිට පේන්නේ මේක හුදු ණය දීමක් නෙවෙයි, ලංකාවේ තියෙන කුඩා ඉඩම්වල පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් මෙතැන තියෙන්නේ. කුඩා ඉඩම් මහා ඉඩම් බවට පත් කිරීමේ ව්‍යාපෘතිය තමයි මේ. වැඩි දෙනෙක් තමන්ගේ පවුල් ජීවිත අවුල් කරගෙන තිබුණා මේ ණය උගුලට හසුවෙලා. දරුවා සහ මව අතර සහ-සම්බන්ධය විනාශ කරලා තිබුණා මේ ණය ක්‍රමය. සමහර ගෙවල්වල දරුවෝ පාසල් අධ්‍යාපනය නවත්තලා ගඩොල් කපන්න ගිහිං තිබුණා අම්මාට මේ ණය ගෙවන්න බැරි නිසා. අද වෙනකොට මේ ප්‍රශ්නය නිසා 200කට ආසන්නව සිය දිවි හානි කරගෙන තියෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නය බරපතළයි. ඒ නිසාම අපි සංවිධානයක් ගොඩනගලා මේ ණය ව්‍යසනයට විරුද්ධව වැඩ කරගෙන යනවා. අපි වැලිඔයත් ගොවි සමිතියක් හදලා ඔවුන්ට දේශීය දේවල් වවන්න දිරිගන්වමින් ඔවුන්ව ආර්ථිකව නැඟිට්ටවන්න දැන් කටයුතු කරමින් ඉන්නවා. පහුගිය යහපාලනය මේ ණය කපාහරිනවා කියලා පොරොන්දු වුණාට ඒක කළේ නැහැ. දැන්නම් ක්ෂුද්‍ර මූල්‍ය ණය සඳහා ඇමතිවරයෙකුත් ඉන්නවා. ඒ නිසා අපි කියන්නේ ආණ්ඩුවට, මේ ණය කපාහැරලා මිනිස්සුන්ව මේ උගුලෙන් බේරගන්න වහාම කටයුතු කරන්න කියලයි.’ මේ කවුඩුල්ලේ ජයතිස්ස ගොවි මහතාගේ අදහසය. ඔවුන් ජනතාව එකතුකරගනිමින් මෙම ණය උගුලෙන් ජනතාව මුදාගැනීමට විශාල වැඩ කොටසක් කරමින් සිටියි. එය ඇගයිය යුතුය.

අවුල තියෙන්නේ කොතැනද?
‘අපි දන්න විදිහට ක්ෂුද්‍ර මූල්‍ය ණය කියන්නේ ව්‍යවසායකයන් බිහිකිරීම සඳහා ගෙවල් ආශ්‍රිත ව්‍යාපාරවලට දෙන ණයක්. මේ ණය ගන්න කාන්තාවෝ බහුතරය දුප්පත්කමේ පතුලේ ඉන්නේ. මට මඩකළපුවේ එක කාන්තාවක් හමුවුණා, ඇය ණය අරං තියෙනවා ඇඳුම් මහන්න, පමුණුවෙන් තමයි රෙදි අරගෙන තියෙන්නේ, එක වෙලාවකදි හස්බන්ඞ්ගේ අත කැඩෙනවා, එතනින් තමයි ප්‍රශ්නය ඇතිවෙන්නේ. ඒ ව්‍යාපාරය එතැනින් එහාට සැලසුම් කළ විදිහට කරගෙන යන්න බැරිවෙනවා. ඊට පස්සේ ණය ගෙවාගන්න බැරිවෙනවා. අපි ව්‍යාපාරයක් පටන්ගත්තාට ඒක ඒ පටන්ගත්ත මාසේම ලාභ දෙන්නේ නැහැ, හැබැයි මේ ණය ක්‍රමයේදී පළවෙනි මාසේ ඉදලා වාරිකය ගෙවන්න වෙනවා. සහන කාලයක් නැහැ. අනික දරාගන්න බැරි විශාල පොලියක් අයකරනවා. එක කාන්තාවක් කිරි එළදෙනක් ලබාගන්න ණයක් ගන්නවා, මාස හයකින් විතර හරකා මැරෙනවා. ඊට පස්සේ ඇයට ණය ගෙවාගෙන යන්න ක්‍රමයක් නැහැ. සමහරු ගොවිතැනට ගන්නවා, කලට වෙලාවට වැස්ස එන්නේ නැහැ, ඊට පස්සේ කොහොමද ණය ගෙවන්නේ? මේකයි අපි කියන්නේ මේක දුප්පතුන් නගාසිටුවන ණයක් කියන ජනප්‍රිය මතය බොරුවක් කියන එක. මේ ක්‍රමය ලෝකෙට හඳුන්වා දුන්න බංගලිදේශයේත් අද මේක අසාර්ථකයි. ඉන්දියාව පාකිස්තානය වගේ රටවලත් තත්ත්වය ඒකම තමයි. ලෝකය පුරාම පයර්යේෂකයෝ මේ ණය ක්‍රමය අසාර්ථකයි කියන එක මේ වෙනකොට කියමින් ඉන්නවා.’ අමාලි වෙදගෙදර කියන ලෙස සමස්තයක් ලෙස ලෝකය පුරාම මෙම ණය ක්‍රමය අසාර්ථකය.
අපගේ රාජ්‍යය හෝ දේශපාලන බලධාරීන් මෙය තවමත් තේරුම්ගත් බවක් පෙනෙන්නට නැත. එයට එක හේතුවක් වන්නේ ගිනි පොලියට ණය දෙන මේ බොහෝ ආයතන සමග දේශපාලකයන්ට තිබෙන ළඟ බැඳියාවය. මේ ණය අර්බුදයට ඉක්මන් විසඳුමක් ලබා නොදුනහොත් එය විශාල සමාජ ව්‍යසනයක් බවට වර්ධනය වෙනු ඇත.■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි