25.5 C
Sri Lanka
23 October,2021

යානි ගැන මගේ ඇල්ම
සිසිර විජේතුංග කියයි

Must read

සිසිර විජේතුංග සුප්‍රකට ඡායාරූප ශිල්පියෙකි. ග්‍රැෆික් නිර්මාණකරුවෙකි. කලා නිර්මාණ රසවතෙකි. මෙහි පළවන්නේ ලංකාවේදී සිසිර ගත් ඡායාරූපයි.

මං යානි ගැන මුලින්ම ඇහුවේ 1997-98 වගේ කාලෙක. 99දි විතර මට හම්බවුණා යානිගෙ කොන්සට් එකක එල්ඩී එකක් විඩියෝ ෂොප් එකකින්. ඒ කාලේ ඩීවීඩී තිබුණේ නැහැ. එල්ඩී කියලා ලොකු තැටි වර්ගයක් තිබුණේ. ඒක තමයි එයා මුලින්ම නිකුත් කළ කොන්සට් එක. ඒක කළේ ග්‍රීසියේ ඇක්‍රොපොලිස් එළිමහන් තියටර් එකේ. ඒ 1993දී.
අපට විශේෂයෙන් දැනෙන සංගීතයක් යානිගෙ මියුසික්වලින් දැනුණා. පොඩ්ඩක්වත් කම්මැලිකමක් නැතිව අහන් ඉන්න පුළුවන්කමක් ඒකේ තිබුණා. ඔහු කරන මියුසික් ලෝකයේ හැඳින්වෙන්නේ නිව් ඒජ් මියුසික් කියලා. ඒක ශාස්ත්‍රීය සංගීතයට වැටෙන්නේ නැහැ. ගොඩාක් දෙනකුට විඳින්න පුළුවන් සරල සංගීතයක්.


යානි ග්‍රීක ජාතිකයෙක්. ඇමෙරිකාවට ගිහිල්ලා මිනසෝටා විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාව ඉගෙනගෙන තියෙනවා. මනෝවිද්‍යාව උපාධිය ලබාගත්තත්, සංගීතයෙන් තමයි සතුට ලැබෙන්නේ කියලා හිතලා යානි සංගීතයේ දිගටම යෙදුණා. 1978 විතර ඇමෙරිකාවේ බෑන්ඩ් එකකට එකතු වුණා. ඒ බෑන්ඩ් එකේ චාලි ඇඩම්ස් කියලා ඩ්‍රමර් කෙනෙක් හිටියා. ඒ සම්බන්ධය කොයිතරම්ද කියනවා නම්, අද වෙනකම් යානිගෙ සංගීත ප්‍රසංගවලදී ඩ්‍රම්ස් වාදකයා ඔහුයි. අපි වැඩිය දන්නේ නැතිවුණත්, චිත්‍රපටි 7කට විතර මියුසික් ට්‍රැක්ස් යානි කරලා තියෙනවා.


1997දී ටජ්මහල්වල, ඊට පස්සේ චීනයේ ෆොබිඩ්න් සිටි එකේ (ඒ ප්‍රසංගයේ නම ටි්‍රබියුට්) වගේ ලෝක පුරාවිද්‍යා උරුම ස්ථාන එයා ප්‍රසංග සඳහා තෝරාගත්තේ. ඒක යානිගෙ මම දකින විශේෂයක්. ඒ අවස්ථාව ඔහුට ලැබුණේ ඔහුගේ ජනප්‍රියත්වය වගේම විශේෂත්වය නිසා.


තව විශේෂයක් තමයි කොන්සට් එකකදී යානි වාදනය කරන විදිය. එයා හැම තිස්සෙම පියානෝ එක එක පැත්තක තියාගෙන කීබෝඩ්ස් 6ක් හෝ 8ක් තියාගන්නවා අනික් පැත්තේ එක තැන. ඒවා මැද්දේ ඉඳගෙන අත් දෙකෙන්ම දෙපැත්තෙ කීබෝඩ් ප්ලේ කරනවා. ඒ අතරෙ පුදුම ජවයක් වේදිකාවේ මුදාහරිමින් තමයි ඔහු වාදනය කරන්නේ. ඒක හරිම පිරුණු ප්‍රබෝධවත් හැසිරීමක්. කොන්සට් එකක යානි දිහා බලාගෙන ඉන්නවා කියන්නේ ඉතාම ආකර්ෂණීය දෙයක්. සමහර විට ඇහැට කඳුළු එන තරමේ ප්‍රබෝධවත් හැසිරීමක්.


වාදකයන් ඒකල වාදන කර වෙලාවට යානි හැම තිස්සෙම ප්‍රේක්‍ෂාගාරයට පිටිපස්ස හරවලා වාදකයන් දිහා තමයි බලන්නේ. වාදකයන් කියනවා, යානිගේ අයි කන්ටැක්ට් එක ආවාම ගැම්මක් එනවාලු හොඳට වාදනය කරන්න. යානිත් කියනවා, මම ඒ වෙලාවට ප්‍රේක්‍ෂාගාරයට පසුපස හරවාගෙන හිටියාට, වාදකයාගේ මුහුණ දිහා බලමින් ඉන්නකොට මමත් ඒකෙන් සංගීතය විඳිනවා කියලා.


යානිගේ බෑන්ඩ් එකේ ඇමරිකානු වාදන ශිල්පීන් ඉන්නවා. වෙනිසියුලාවේ අය ඉන්නවා. ජර්මනියෙන්, කියුබාවෙන් ඉන්නවා. තායිවානයේ, රුසියාවේ, ආර්මේනියාවේ, එංගලන්තයේ වාද්‍ය ශිල්පීන් ඉන්නවා. 2006-07 ලංකාවේ එක්කනෙකුත් හිටියා. හුසෙන් ජෙෆ්රි කියලා බේස් ප්ලේයර් කෙනෙක්. එක එක සංස්කෘතීන් නියෝජනය කරන වාදන ශිල්පීන් ඉන්නකොට තමන්ගේ මියුසික්වලට විශාල පරාසයක දේවල් එකතුවෙනවා කියලා යානි සඳහන් කරනවා.


චීනයේ ෆොබිඩ්න් සිටි කොන්සට් එකේදී එයා ‘නයිටිංගේල්’ කියලා මියුසික් එකක් කළා. එයා කියන විදියට නයිටිංගේල් කියන්නේ ඉතාලි කුරුල්ලෙක්. එයාව අනුකරණය කරමින් තමයි ඒ සංගීතය හදලා තියෙන්නේ. ඒකේදි වෙනිසියුලා වාදකයා ෆ්ලූට් එක ගහනවා. කළු ජාතික වාදකයෙක් වයලින් ගහනවා. චයිනීස් ෆ්ලූට් එකක් වාදනය කරනවා. යානි ඒක හඳුන්වන්නේ ‘වන් වර්ල්ඩ්’ කියලා. සංගීතයේදී ලෝකයේ හැම දෙයක්ම එකට එකතු වෙනවා කියන එකයි ඒ.


2008දී විතර එයා අලුතෙන් කල්පනා කළා තමන්ගේ මියුසික්වලට සින්දු හදන්න. ඒ කියන්නේ එයාගෙ ජනප්‍රිය මියුසික් තනුවලට ගායනා ඉදිරිපත් කරන්න. ක්ලැසිකල් සිඟර්ස්ලා දෙන්නෙකුයි, පොප් සිඟර්ස්ලා දෙන්නකුයි අරගෙන යානි මෙක්සිකෝවල කොන්සට් එකක් කළා ‘යානි වොයිසස්‘ කියලා. ඒකේ තියෙන්නේ තනිකරම ගායනා. යානිගේ බෑන්ඩ් එක ප්ලේ කරනවා. 2010දී විතර අලුත් ඇල්බම් එකකුත් රිලීස් කළා. Truth of Touch කියලා. ඒකෙන් පස්සේ එයා ලෝක සවාරියක් පටන් ගත්තා. ඒ රවුම ගහගෙන එනකොට 2011 සැප්තැම්බර්වල සිංගප්පූරුවෙ කොන්සට් එකක් තිබුණා. කොච්චර යානි පිස්සුවක් මට තියෙනවාද කියනවා නම්, ටිකට් නිකුත් කරන්න පටන්ගන්න දවසේ රෑ දොළහට මම ඒකට ටිකට් බුක්කළා. සිංගප්පූරුවේදී ප්‍රසංගය බැලුවා. මම ජීවිතේට හිතුවේ නැහැ යානි ලංකාවට ඒවිය කියලා.


සිංගප්පූරුවෙන් පස්සේ යානි සවාරිය අවසන් කළේ පුවර්ටෝ රිකෝවලින්. ඒකෙ ‘එල් මොරෝ’ කියන ලෝක උරුම ස්ථානයේ තමයි ඒ කොන්සට් එක තිබුණේ. ඊට පස්සේ අලුත් ලෝක සවාරියක් සැලසුම් කරනකොට තමයි ඉන්දියාවට ඇවිත් එතැනින් ලංකාවට ආවේ. සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ තිබුණ ලංකාවේ ප්‍රසංගය සම්පූර්ණයෙන්ම ආසන පිරුණත්, ඒකේ සංවිධායකයන්ට ලොකු ලාභයක් නැතිව ඇති. යානිලාගේ වියදම ලංකාවේ සල්ලිවලින් ආවරණය කරගන්න බෑ. ලංකාවේ ෂිපින් කොම්පැනියක් ඒක කළේ. මම හිතන්නේ තමන්ගේ කීර්තිය සඳහායි ඔවුන් ඒක කළේ කියලා. ඒ කොන්සට් එකේ ඔෆිෂියල් ෆොටෝ ගත්තේ මගේ මිත්‍ර සාගර ලක්මාල්. ඉතින් සාගරගේ උදව්වෙන්, ෆොටෝ ගන්නත්, යානිගේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වෙන්නත් මට දුර්ලභ අවස්ථාවක් ලැබුණා.


යානි ඊළඟට ඊජිප්තුවේ පිරමිඩ් ඉස්සරහ කොන්සට් එකක් කළා. ඒකේ නම ‘ඩී්‍රම් කොන්සට්’.


ඇක්‍රොපොලිස්, ටජ්මහල්, ෆොබිඩ්න් සිටි වගේ ඒවායේදීත් ප්‍රධාන වයලින් වාදන ශිල්පිනියක් හිටියා, කළු ජාතික කාන්තාවක්. තව ෆ්ලූට් වාදකයෙක් හිටියා පේරු රටේ කෙනෙක් මට මතක හැටියට. ඒ දෙන්නා තමයි මුලින් දිගටම ප්‍රධාන අය හැටියට දිගටම වාදනය කළේ. 2006න් විතර පස්සේ සෑම් යෙර් කියන ආර්මේනියන් වයලීන වාදකයාට තමයි සෝලෝ පාට්ස් (ඒකල වාදන) අවස්ථා ගොඩක් දෙන්නේ. තව ජපාන වයලීන වාදකයෙක් ඉන්නවා සයාකා කියලා. සෑම් යෙර්ට සහ සයාකාට, කොන්සට්වල ඩුවල් පාට් වාදන ලැබෙනවා. සෑම් යෙර් තාමත් ඉන්නවා බෑන්ඩ් එකේ. මේරි සිම්ප්සන් කියලා ඇමරිකානු කාන්තාවකුත් දිගටම හිටියා. යානි තමන්ගේ අම්මා වෙනුවෙන් හදපු ‘යානි ෆෙලිට්සා’ කියන ගීතයේ ඒකල වයලීන වාදන කොටස ඉදිරිපත් කරන්නේ මේරි.
ඒ වගේම ප්‍රසිද්ධ චෙලෝ වාදකයෙක් ඉන්නවා එයා රුසියානුවෙක්. සාශා කියලා. එයාටත් ඒකල වාදන අවස්ථා ලැබෙනවා. මෑතක සාරා කියලා එංගලන්ත වාදන ශිල්පිනියකට පළමුවැනි වරට ඒකල වාදන අවස්ථාවක් ලැබුණා. චාලි ඇඩම්ස්, යානිගේ ඩ්‍රම්ස් වාදකයාගේ විනාඩි 10ක 12ක ඒකල ඩ්‍රම්ස් වාදනයක් තියෙනවා. ඊට අමතරව බේස් ගිටාරිස්ට්ගේ සහ මේරි සිම්ප්සන්ගේ ඩුවල් පාට් එකක් තියෙනවා.


මෑතක හිට සාමාන්‍යයෙන් කොන්සට්වල ගායිකාවන් දෙන්නෙක් පාවිච්චි කරනවා. එයින් එක්කෙනෙක් සුප්‍රානෝ සිඟර් කෙනෙක්. නයිටිංගේල් කියන යානිගේ මියුසික් එක එයා වොයිස් එකෙන් ඉදිරිපත් කරනවා. ඒක පුදුම ලස්සන එකක්. එවැනි සුප්‍රානෝ කෙනෙකුට ඇරෙන්න එවැනි දෙයක් කියන්න බැහැ මම හිතන්නේ. මේ ඔක්කෝම වාදකයන් පදනම් වෙලා ඉන්නේ ඇමෙරිකාවේ.


යානි කීබෝර්ඩ් 7ක් 8ක් තියාගෙන වාදනය කලාට තව කීිබෝර්ඩ් වාදන ශිල්පියෙක් ඉන්නවා සමගාමීව වාදනය කරන. මින්ග් ෆ්‍රීමන් කියන තායිවාන ජාතිකයෙක් වන එයා තමයි ප්‍රධාන සංගීත ඛණ්ඩ ගොඩක් වාදනය කරන්නේ. එයාගේ ඒකල වාදනත් තියෙනවා. ■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි