22.4 C
Sri Lanka
30 November,2021

මුස්ලිම් පුද්ගල
නීතිය හා විවාහ වයස

Must read

■ මුහම්මද් තාරික්

විවිධ කණ්ඩායම් සමාජය තුළ වපුරමින් තිබූ මුස්ලිම් විරෝධය උත්සන්න වීමටත් උත්සන්න කිරීමටත් 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය හේතු විය. ඒ සමග විවිධ අරමුණු වෙනුවෙන් රට පුරා ඇවිළවීමට උත්සාහ කළ මුස්ලිම් විරෝධය ද විවිධාකාරයෙන් කරළියට පැමිණියේය. ඒ අතර මුස්ලිම් කාන්තා නිදහස, මුස්ලිම් ළමා විවාහ ආදි මාතෘකාවලට ද දැවැන්ත ප්‍රචාරණයක් ලබා දී තිබුණේය. මේවාට විරුද්ධව වැඩි වශයෙන් ආක්‍රමණශීලී ලෙස පෙනීසිටියේ ඇතැම් භික්ෂූන්ය. ඒ කෙසේ වෙතත් ළමා විවාහ සම්බන්ධයෙන් මුස්ලිම් සමාජය වෙත පමණක් ඇඟිල්ල දිගු කිරීම වෙනුවට සමස්ත ලාංකික සමාජයෙන් ළමා විවාහ තුරන් කිරීමට ගත යුතු සියලු පියවර ගත යුතුව තිබේ.
කොළඹ 12, කෙසෙල්වත්ත ප්‍රදේශයේ නිවෙසකින් බාල වයස්කාර දැරියන් තිදෙනකු (අවුරුදු 13 සහ අවුරුදු 15) අතුරුදන්ව ඇති බව කාන්තාවක් නොවැම්බර් 08 වැනිදා කෙසෙල්වත්ත පොලිසියට පැමිණිලි කළාය. එකම පවුලේ දැරියන් දෙදෙනකු සහ තවත් ඥාති දියණියක එලෙස අතුරුදන්ව තිබුණි. පැමිණිල්ලට අනුව සී.සී.ටී.වී. කැමරා විමර්ශනයට ලක්කළ පොලිසියට දැකගත හැකිව තිබුණේ දැරියන් සිය කැමැත්තෙන්ම ගමන් බෑග්ද රැගෙන නිවෙසින් පිටත්ව යන ආකාරයයි. මෙම සිදුවීමට විද්‍යුත් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ලබාදී තිබුණි.


8 වැනි සහ 10 වැනි ශ්‍රේණිවල ඉගෙනුම ලබන මුස්ලිම් ජාතික දැරියන් තිදෙනෙකු වන මොවුන් හැදීවැඩී ඇත්තේ සාම්ප්‍රදායික මුස්ලිම් දැඩි නීතිරීති යටතේය. මොවුන්ට සංගීතයට සවන් දීම හෝ රූපවාහිනිය නැරඹීමට පවා සීමා කොට තිබී ඇත. මේ පසුබිම මත ඔවුන් ඔන්ලයින් අධ්‍යාපනයේ යෙදී ඇති අතර, එම කාලයේ දී දකුණු කොරියානු සංගීත/ නර්තන කණ්ඩායමක් වන “බ්ලැක් පින්ක්” වෙත දැඩි ලෙස ආකර්ෂණය වී තිබේ.
සාම්ප්‍රදායික මුස්ලිම් පිළිවෙත් දැඩිව අනුගමනය කළ සිය නිවස තුළ තමන් ඇලුම් කළ කොරියානු ඇඳුම් විලාසිතා සහ නර්තන විලාසිතා අනුකරණය කිරීමේ නොහැකියාව හේතුවෙන් දැරියන් හොර රහසේ නිවසින් පිට වී ඇති අතර කොරියානු නර්තනය හැදෑරීමේ අරමුණක් ද ඔවුන්ට තිබී ඇත. 8 වැනිදා අලුයම නිවෙසින් පිටත්වූ දැරියන් තිදෙනා ඇඟලාගෙන සිටි සාම්ප්‍රදායික මුස්ලිම් ඇඳුම් සිය අරමුණට බාධාවක් වන බැවින් අත තිබූ මුදු කිහිපයක් විකුණා රුපියල් 60,000ක මුදලක් ලබා ගෙන එම මුදල්වලින්, තමන් ඇලුම් කරන කොරියානු නර්තන කණ්ඩායමේ සාමාජිකාවන්ට සමාන ඇඳුම් මිලට ගෙන ඒවා ඇඟලාගෙන ගොස් තිබේ. ඔවුන් කැප් තොප්පි පැළඳ, ඩෙනිම් කලිසම් ඇඳ නර්තන වීඩියෝවක් නිර්මාණය කිරීමේ අරමුණින් නර්තන පුහුණු පන්තියක් සොයා ගොස් ඇත.


එවැනි පන්ති කිහිපයකින් මොවුන් බඳවා ගැනීම ප්‍රතික්ෂේප කර ඇති පසුබිමක දැරියන් තිදෙනා අනුරාධපුර බස්රථයකට නැග ගමන් කොට තිබෙන අතර ඔවුන්ගේ හැසිරීම පිළිබඳ සැක සිතූ කොන්දොස්තරවරයා වහාම ඔවුන් අනුරාධපුරයේ සිට යළි කොළඹ එවීමට කටයුතු කර තිබේ. මන්නාරමේ සිට කොළඹ දක්වා ධාවනය වන වායුසමීකරණය කළ බස් රථයකට දැරියන් තිදෙනා නංවා ඇති කොන්දොස්තරවරයා එම බස්රථයේ රියදුරුට දන්වා ඇත්තේ දැරියන් තිදෙනා කොළඹදී මිස මගදී බැස්සවීමට කටයුතු නොකරන ලෙසටයි.


කොළඹ පැමිණ ඇති දැරියන් තිදෙනා යළි විහාර මහා දේවි උද්‍යානයට ගොස් ඇති අතර පසුව කොරියානු නර්තන පාඨමාලාවක් හැදෑරිය හැකි ස්ථානයක් පිළිබඳ විමසීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද සොයා ගොස් ඇති බව වාර්තා වේ. කොළඹ මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි ප්‍රේමදාස මහතාගේ කාර්යාලයට ගොස් ඇති නමුත් ප්‍රේමදාස මහතා හමුවීමේ තැතද ව්‍යර්ථ වීම නිසා දැරියන් තිදෙනා හෝටලයකට ගොස් නවාතැන් ඉල්ලා තිබේ. තිදෙනා බාලවයස්කාරියන් බව දැනගැනීම මත හෝටලයෙන් නවාතැන් සැපයීම ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන් වේ.


ඉන් අනතුරුව ඔවුන් කොළඹ සිට මහනුවර බලා පිටත්වූ බසයක ගමන් කර තිබෙන අතර ඇදහැලුණු අධික වර්ෂාව සහ වියදම් කිරීම සඳහා තවත් මුදල් සිය සන්තකයේ නොමැති වීම මත දැරියන් තිදෙනා යළි නිවස බලා පැමිණ ඇත. ඒ අනුව දින දෙකක කාලයක් නිවෙසින් අතුරුදන්ව සිටි ඔවුන් පසුගිය 10 වැනිදා රාත්‍රියේ යළි කෙසෙල්වතේ සිය නිවෙස වෙත පැමිණ තිබුණේ සියලු දෙනා විමතියට පත්කරමිනි. සාම්ප්‍රදායික ඉස්ලාමීය නීති රීති හමුවේ මෙම දැරියන් තිදෙනාට නිවස තුළ දැඩි පීඩනයක් පැවැති බව පසුව හෙළිදරව් විය. එමෙන්ම යළි නිවසට පැමිණි අවස්ථාවේදී පොලිස් නිලධාරීන් මැදිහත් නොවන්නට දැරියන් තිදෙනාට ඔවුන්ගේ දෙමාපියන්ගෙන් පහර කෑමට පවා ඉඩ තිබුණු බව සඳහන් වේ.


මෙම සිදුවීමෙන් පසුව ළමා මනෝ වෛද්‍ය විශේෂඥ චන්ද්‍රදාස මහතා ප්‍රකාශ කළේ, “මේ වගේ අවස්ථාවක ආගම සංස්කෘතිය මොනවා වුණත් දරුවන්ගේ හිත සන්සුන් වන පරිසරයක් නිවස තුළ ඇති කිරීම අවශ්‍යයි. සංගීතය, චිත්‍ර මෙන්ම සෙල්ලම් කිරීමට සීමාවක් ඇතුව ළමුන්ට අවස්ථාවක් දෙන්න අවශ්‍යයි. නැතිනම් දරුවන්ගේ පීඩනය වැඩි වෙලා දිගුකාලීන මානසික සංකූලතා ඇතිවෙන්න පුළුවන්” යනුවෙනි.


මුස්ලිම් පුද්ගල නීතිය ඉන්දුනීසියාවෙන් ‘මොහමදියන්’ යන නමින් මෙරටට පැමිණියකි. ඉන්දුනීසියාවේත් ලංකාවේත් ෂාෆි නිකායේ මුස්ලිම් ජනයා බහුලය. ඒ නීතිය අයත් ඉන්දුනීසියාවේ කාති විනිසුරුවරියෝ සිටිති. ලංකාවේ එසේ නොමැත. එකම දහමක් තුළ එසේ විය නොහැකිය. මුස්ලිම් නීතිය ඉස්ලාම් දහමට අනුව ස්ථාපිත බව සඳහන් කළද, විශ්ලේෂණය කරන විට මුස්ලිම් පුද්ගල නීතිය සකස් කර ඇත්තේ ඉස්ලාම් දහමට අනුකූලව නොවන බව පෙනේ. වරද පවතින්නේ ඉස්ලාම් දහමේ නොව මේ සමාජයේ සහ එහි වෙසෙන පුරුෂයන්ගේය.


ඉස්ලාම් දහමේ විවාහවීමට නිශ්චිත වයසක් සඳහන්ව නැත. එහි තිබෙන්නේ පරිණත යන අදහසයි. පරිණත යනු, ඒ ඒ රටවල සමාජ, ආර්ථික, අධ්‍යාපන සහ පරිසරය ඇසුරෙන් වන පුද්ගලයාගේ මේරීමයි. එය ගැහැනු පිරිමි දෙදෙනාටම පොදුය. එම නිසා දැරියක කායික මානසික වශයෙන් විවාහයට සූදානම් වන වයස සලකා බලා විවිධ රටවල වයස් සීමා දක්වා තිබේ. ඒ අනූව මොරොක්කෝවේ 21යි, බංග්ලාදේශයේ සහ ඉන්දියාවේ 18යි, ඉන්දුනීසියා, මැලේසියා, පකිස්ථාන් 16යි, ලංකාවේ පොදු නීතිය යටතේ වයස 18යි. එහෙත් මුස්ලිම් නීතිය අනුව වයස 12යි. කාතිවරයා අවසර දුන්විට 12ට අඩු වයසින් වුවද විවාහ විය හැකිය. ලංකාවේ දැරියන් විවාහ වන වයස් සීමාව පොදු නීතිය යටතේ එකකුත් මුස්ලිම් නීතිය යටතේ එකකුත් වන විට මේ සෑම වයසකදීම දැරියකගේ කායික මානසික තත්වය, ජීවන අත්දැකීම්, කුසලතා එක සමානද? මෙය විහිළුවක් වන තත්වයක් නොවේද? මුස්ලිම් නීතියේ මෙම ව්‍යාකූලභාවය නිසා ගැහැනු පිරිමි භේදයක් නැතිව අඩු වයසින් විවාහ වීම සිදුවන අවස්ථාද නැතිවාම නොවේ. මේ අයට පවුල් සංස්ථාවක වගකීම් දැරීමට නොහැකිය. ඔවුන් යැපෙන්නේද මහ පවුලෙනි. ටික දවසකින් විවාහයේ බර දැරීම ඔවුන්ට අසීරු වූ විට විවාහයද දෙදරා යන අවස්ථා ඇත. මෙයින් හානි වෙන්නේ දැරියටයි. මුස්ලිම් නීතියේ විවාහයත් දික්කසාදයත් හරිම පහසුය. නඩත්තු වන්දි නොපවතී. නඩත්තු හෝ වන්දි ලැබුණද එය ජීවිතය පවත්වා ගැනීමට කිසිසේත් ප්‍රයෝජනවත් නොවේ.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 ව්‍යවස්ථාව අනුව ජාති ආගම් කුල ආදි කිසිදු භේදයක් නොමැතිව සියල්ලන්ම නීතිය ඉදිරියේ සමානය යන්න සඳහන් වේ. ඒ ව්‍යවස්ථාවේම 16 ව්‍යවස්ථාව යටතේ 1978ට පෙර තිබුණ නීතිවලට එරෙහිව මූලික අයිතිවාසිකම් කඩවීමේ පෙත්සම් අධිකරණයට ඉදිරිපත් නොහැක යනුවෙන් සඳහන් වේ. 1951 මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීම අවශ්‍ය නමුත් මේ 16 වැනි වගන්තිය නිසා එය කරගත නොහැකි තත්වයක් පවති.


විවාහ වීමේ අවම වයස වයස අවුරුදු 18ක් ලෙස මුස්ලිම් නීතිය සඳහා සංශෝධන සිදු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි සඳහන් කළේය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ‘අවුරුදු 18ක අවම විවාහ වයසක් තිබිය යුතුයි කියලා අපි යෝජනා කරලා තියෙනවා. කාන්තාවන්ට කාතිවරුන් වශයෙන් කටයුතු කළ හැකියි කියලා යෝජනාවක් අපි කරලා තියෙනවා. කාන්තාවක් විවාහ වෙනකොට අත්සන් කළ යුතුයි කියලාත් අපි යෝජනා කරලා තියෙනවා. ඒකට කමිටුවකුත් දාලා තියෙනවා. අපි ක්‍රමක්‍රමයෙන් මේ සම්බන්ධයෙන් පියවර අරගෙන තියෙනවා.

අනිවාර්යයෙන්ම මේ සම්බන්ධයෙන් කටයුතු කරලා, විවාහක වයස සම්බන්ධයෙන් ඒ දේවල් සංශෝධනයට කටයුතු කරගෙන යනවා.


ඒ සම්බන්ධයෙන් වෙනම මං උපදේශක මණ්ඩලයක් පත්කරලා තියෙනවා. ඔවුන්ගෙන් ලැබෙන තොරතුරු අනුව සමාජයත් සම්බන්ධ කරගෙන ඔවුන්ගේ ඇඟට මේක බලහත්කාරයෙන් ඔබ්බවනවා වෙනුවට ඔවුන්ගේ කැමැත්ත ලබා ගෙන මේ දේ කරන්නට උත්සාහ කරනවා. පොඩි දරුවෝ විවාහ වෙන්න හොඳ නැහැ. අවුරුදු 18කට පසුව විවාහ වෙනකොට තමයි ඔවුන්ට ඒ හැකියාව තියෙන්නේ. ඒ නිසා මං ප්‍රතිපත්තියක් වශයෙන් අවුරුදු 18 වෙනකන් විවාහ වීමට ඉඩ දිය යුතු නැහැ කියන ස්ථාවරයේ ඉන්නවා.
අනිවාර්යයෙන්ම මුස්ලිම් නීතිය වෙනස් කිරීම සඳහා, සංශෝධනය කිරීම සඳහා අපි කටයුතු කරනවා. පොදුවේ එක රටක එක නීතියක් යනුවෙන් පුද්ගල නීති සියල්ල අහෝසි කිරීමට උත්සාහ කරනවා නම් එය සම්පූර්ණයෙන් සමාජ කතිකාවතක් ඇතිව සියලුම පුද්ගලික නීති එකට අහෝසි කරන අවස්ථාවේදී සිදු කළ යුතුයි කියන එකයි අපි පිළිගන්නේ. එය කළ යුතුයි කියලා රජය කල්පනා කරන්නේ නම් ඒ පිළිබඳව කටයුතු කරලා අලුත් ව්‍යවස්ථාවක් එක්ක කටයුතු කළ හැකි බව මම විශ්වාස කරනවා.’ යනුවෙනි.
කෙසේ වුවද රටක නීතිය මගින් සාධාරණත්වය සහ සමානාත්මතාව පැවතිය යුතුය. ඉස්ලාම් දැරියන්ට, කාන්තාවන්ට මේ රටේ පොදු නීතියේ රැකවරණය අවශ්‍යය. කැමති නීතියකින් විවාහ වීමේ අයිතිය අවශ්‍යය. ඉස්ලාම් දරුවන්ට පොදු නීතිය තුළ ඇති සියලු අයිතීන් අවශ්‍යය. ඉස්ලාම් දහමේ හරයට අනුව නීති සංශෝධනයක් අවශ්‍යය. එය මුස්ලිම් කාන්තාවන්ටත් දැරියන්ටත් අප්‍රමාණ සහනයක් වනු ඇත.■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි