20.5 C
Sri Lanka
21 September,2021

මී ලෝකෙට විකුණමු

Must read

■ අමිල රත්නායක

මී තෙල් පොල්තෙල් වගේ කෑමවලට ගන්න පුළුවන්, මී මල් හැලප, මී මල් කැවුම්, මී මල් වෙල්ලවැහුම්, මී මල් ජෑම්, මී මල් පැණි, මී මල් සෝස්, මී මල් අච්චාරු වැනි කෑම වර්ග හදන්න පුළුවන්. ඊට අමතරව මී මල්වලින් හරකුන්ට පුන්නක්කු හැදීම, මී කොළවලින් පොහොර ආදියත් හැදුවා.

එතැනින් එහාට පොහොර විදියට, වගා සරු කරන ශාකයක් විදියට, බෙහෙතක් විදියට මී පාවිච්චි කළා. ඒත් පුංචි කාලයේ ඉඳන් අපි ඉස්කෝලේ පොත්පත්වලින් පොල් ගහ ‘කප්රුකක්’ කියලා පිළිගත්තාට මී ගහ ගැන එදිනෙදා අපි ඉගෙනගන්නේ නැහැ. උදාහරණයක් විදියට කුරුණෑගල, පුත්තලම පැත්තේ වැඩිහිටියන් මී ගහ දන්නා නිසා, අලුතින් කොළ කඩාපාන්න ඕනෑ නැහැ.

 

යටත්විජිත කාලේ

රජ කාලෙ මී ගහක් කැපුවොත් දඬුවම මරණයලු. මී ගහ එච්චර වටිනවාලු. ඒත් දැන් අපි, මී කියන්නෙ ගහක් කියලාවත් දන්නේ නෑ. අනගාරික ධර්මපාලගේ පටන් මේ දක්වා ස්වදේශික චින්තනයක් ගැන කතා කරන උදවිය නිතර කියන දෙයක් තමයි මී ගහ විනාශ කිරීමේ සැලසුමක් ‘සුද්දාට’ තිබුණ බව. ඒ කියන්නේ හිතාමතා මී ගහ අපේ සමාජයෙන් ඈත් කළ බව. මේ ගස විනාශ කිරීමේ සැලසුමක් තිබුණ බව.

කරුණු අධ්‍යයනය කරද්දී ලියුම්කරුට දැනෙන හැඟීම ඒ කතාවේ අර්ධ ඇත්තක් තිබෙන බව. මී ගසේ වටිනාකම ගැන පර්යේෂණ කරලා, ඒක අනවශ්‍ය බව බි්‍රතාන්‍යයන් කල්පනා කළ බවත් හිතන්න අමාරුයි.

හිතාමතා කළත් නැතත්, ඉංග්‍රීසි පාලන කාලයේ තමයි අපේ සංස්කෘතියෙන් මී ගහ ඈත් වුණේ.

1833 දී කෝල්බෲක්-කැමරන් දෙන්නා ලංකාවට නීතිමය ප්‍රතිසංස්කරණ තොගයක් හඳුන්වාදුන්නා. ඒ වෙලාවේ කෙරුණේ එච්චර කාලයක් තිබුණ දේශීය නීති වෙනුවට අලුත් නීති හඳුන්වාදුන්න එක. සමහර ඒවා ශ්‍රමය ගැන. තවත් ඒවා ඉඩම් අයිතිය ගැන. අලුත් බදු ක්‍රම. රටේ පාලනය කරන ආකාරය.

ඒ ප්‍රතිසංස්කරණ ගොඩක් අස්සේ මී ගහ කැපීම දරුණු දඬුවම් ලැබෙන වරදක්ය කියලා තිබුණ නීතිය බි්‍රතාන්‍යයන් ක්‍රියාත්මක කළ නීතිරීතිවලට ඇතුළත් වුණේ නැහැ. ඒ නිසා අපට හැඟෙන විදියට එදා මී ගස ප්‍රවර්ධනය කිරීමේ ‘විශේෂ අවශ්‍යතාවක්’ බි්‍රතාන්‍යයන් නොදැකපු නිසාත්, මී ගස් තිබුණු ප්‍රදේශවල හැකි තරම් පොල් වැවීමේ වුවමනාවක් තිබුණු නිසාත් ඉබේම මී ගස යටපත් වෙන්න ඇති. (අපි පොල් එක්ක තරහ වෙන්න ඕනෑ නැහැ. පොල් ගහත් ලංකාවේ අභිමානයක්. එදා බි්‍රතාන්‍යයන් ඇරඹූ පොල් වගාව නිසා ලංකාවට ආ ආයෝජන, ධනය සහ ආදායමත් අමතක කරන්න බැහැ.)

 

මී ගහේ වටිනාකම

මෙතැනින් එහාට මී ගසේ වැදගත්කම ගැන කරුණු උපුටාගන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය රවීන්ද්‍ර විතානාච්චි සහ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය එක්ව ලියූ ‘මී ගස- හෙළයේ දෙවන කප්රුක’ නම් කෘතියෙන්.

අපි මේ උත්සාහ කරන්නේ අතීතකාමී ඇහැක් වෙනුවට, විද්‍යාත්මක සහ නවීන ඇහැකින් මී ගහ දිහා බලන්නයි.

‘රජරට වැඩිහිටියා මී ගස පිළිබඳ පැය ගණනක් කතාකරනවා- ගෙදර වහළට පරාල ගන්න තැන ඉඳන් ආහාර වේල වෙනකන් කියන්න දන්නවා- මී මල් වැටෙන කොට උදේ පාන්දර මී ගහ යට අතුගාලා මී මල් එකතු කරන හැටි, ඒවා වේලන හැටි, අපේ සීයලා එක දිගට කියවනවා- ඉතින් ඇයි අපි  මී ගහ ගැන නොදන්නේ, මී තෙල්වල රස නොදන්නේ, මී ගහක් දැකලාවත් නැත්තේ, කොටින්ම කිව්වොත් මී කියන්නේ ගහක් ද කියලවත් අපේ ළමයි නොදන්නේ ඇයි?’ පොතේ පූර්විකාවේ එහෙම තියෙනවා.

මී ගහ අඩි හැත්තෑවක් විතර උසට වැවෙනවා. අවුරුදු අටකින් විතර ගෙඩි හැදෙනවා. අවුරුදු හැත්තෑවක් විතර තිස්සේ මී ගහක් ජීවත් වෙනවා.

 

මී මල

මී ගහේ වැදගත්ම කොටස මී මල. අවුරුද්දකට වතාවක් පෙබරවාරි සහ අප්‍රේල් අතර කාලයේ මී මල් හැදෙනවා. මේකේ පැණි රහකුත් තියෙනවා. ඒත්, පෝෂණවේදියෝ කියන විදියට මී මලේ තියෙන සීනි, උක්වලට වඩා පෝෂණ ගුණයෙන් ඉහළයි.

පර්යේෂණ අනුව ප්‍රෝටීන් ප්‍රමාණය අතින් ඇපල් ගෙඩිය වාගේ තිස්තුන් ගුණයක්. කෙසෙල් වාගේ පස් ගුණයක්. අඹ වාගේ දහ ගුණයක් මී මල ඉහළයි. මලේ කැල්සියම් සහ යකඩ ප්‍රමාණයත් වැඩියි. තන්තු තියෙන නිසා කෑම දිරවන එකට උදව් වෙනවා. විටමින් වර්ගත් මී මලේ වැඩියි. ඇස්වලට, දත්වලට ශක්තිය වඩවන්න උදව් වෙනවාලු.  සාමාන්‍යයෙන් මී මල් කෑමට ගන්නේ වේලලා. ලියුම්කරුගේත් පුංචි කාලයේ මතක අතර මහියංගණයේ ගල් තලා උඩ මී මල් වේලපු වැඩිහිටියන් ගැන මතකයන් යාන්තමට තියෙනවා. ඒ කාලෙ ගොඩක් පැණිරහ කෑමවලට මී මල එකතු කරන්නේ පැණි විදියට. අදටත් රත්නපුරේ, බලංගොඩ වගේ පැතිවල මී මල් දාපු කැවුම්, හැලප වගේ කෑම ජාති හදනවාලු.

 

මී පොහොර

මී ගහේ කොළය ඉක්මනට දිරන නිසා, ඒක කොම්පෝස්ට්වලට සුදුසුයි. මී ගහේ පොහොර හොඳ නිසා ඒ කාලෙ වගා බිම්වල තැනින් තැන මී ගස් හැදුවා. කොළේ බිමට වැටුණම ඉබේම පොහොරක් වෙලා පස සරු වෙන හින්දා. මී ගහේ ගෙඩි කන වවුලන්ගේ වසුරු පොළොවට වැටුණාම නයිට්‍රජන්, ඇමෝනියා, යූරියා වගේ පොහොර එකතු වෙනවාලු. ඒ විතරක්ද, මී ගහේ මල් සහ ගෙඩි කන්න කුරුල්ලන් ආවාම, ඒ කුරුල්ලන් වගාවේ ඉන්න එක එක කෘමීන් වර්ගවලටත් වැඬේ දෙනවාලු. ඒ මදිවාට මී මල්වලට ආකර්ෂණය වෙන මී මැස්සන් සහ බඹරුන් අර වගාවන්ට ඕනෑ පරාගන කාර්යභාරයත් හොඳට කරනවාලු.

ඒ වගේම මී පොත්ත යම් යම් දේශීය වෙද හෙදකම්වලට පාවිච්චි කරනවා. උදාහරණයක් විදියට පාචනයට බෙහෙත් කරන්න පොත්ත තම්බලා ගන්න වතුර තුන්වරක් පානය කිරීම නිර්දේශ කරනවාලු. සෙම් ලෙඩවලට දුම් අල්ලනකොට, මී ටිකක් පාවිච්චි කරනවාලු. මී පොත්ත සමහර කෑම වර්ගවලටත් දානවා.

 

මී ගෙඩි

අගෝස්තු, සැප්තැම්බර් වෙද්දී මී ගෙඩි හැදෙනවා. ඉදුණාම කහ පාටයි. බිම වැටෙන ගෙඩිය මිරිකීමෙන් පස්සේ, ඇටය එළියට එනවා. මී ඇටයෙන් සීයට හැත්තෑවක තෙල් තියෙනවා. දැන් නම් මී තෙල් තියෙන්නේ ගමේ වෙද මහත්තයා ළඟ හරි, බෙහෙත් බඩු කඬේක හරි. මී තෙල්වල ප්‍රෝටීන් සංයුතිය ඉහළයිලු. හැබැයි කුරුණෑගල පැත්තේ වැඩිහිටියන් බත් කනකොට මී තෙල් චුට්ටක් මිශ්‍ර කරගන්න හුරුවෙලා හිටියාලු. දැන් කුරුණෑගල, පුත්තලම පැත්තේ ඉඳහිට මී තෙල් සෙක්කුවක් බලාගන්න පුළුවන්ලු. ඒත්, එක්තරා කාලෙක මී තෙල්  සෙක්කු හරි සුලබයිලු. අපි කලින් කීව කෑම වර්ගවලට අමතරව ලාම්පු, පහන් පත්තු කරන්නත් මී තෙල් පාවිච්චි කරලා.

මී ඇටය අයින් කරගෙන, පොත්ත හීනියට ලියාගෙන, උණු වතුරෙන් තම්බලා හොඳ ව්‍යංජනයක් හදාගන්න පුළුවන්ලු.

 

ඉන්දියන් රැල්ල

මෑත කාලයේ ඉන්දියානුවන් විද්‍යාත්මක දැනුමත් පදනම් කරගෙන තමන්ගේම සංස්කෘතියක්, දැනුම් පද්ධතියක් වර්ධනය කරන්නට උත්සාහ කරනවා. ඉන්දියාවේ යෝගා සහ අනෙකුත් භාවනා ක්‍රම දැන් ලෝකයේම ජනප්‍රිය සංස්කෘතිකාංගයක්.

ඒ සියල්ල මැද මෑත කාලයේ ඉන්දියානුවන් පිරිසක් තමන්ගේ රටේ දේශීය ආහාර සංස්කෘතියටත් අවධානය යොමු කරනවා. ඒ අනුව ඔවුන් මුලින්ම ප්‍රවර්ධනය කරන කෑමක් වන්නේ ‘මී’.

පොල් තෙල් වෙනුවට පාම් තෙල්, සූරියකාන්ත තෙල් වගේ තෙල් වර්ග පාවිච්චි කරන උදවියට ඕනෑ නම් හොඳ ‘බ්‍රෑන්ඞ්’ එකක් විදියට මී තෙල් ‘ප්‍රමෝට්’ කරන්නත් පුළුවන්. ‘මී මල් පැණි’, ජෑම් ආදිය නිෂ්පාදන සංචාරක කර්මාන්තයත් එක්ක සමාජගත කරන්න පුළුවන්.

දැන් ඕනෑ මී ගහ ලෝකෙට විකුණන්න පුළුවන් හොඳ වෙළෙන්දන්. ■

(වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය සහ ආචාර්ය රවීන්ද්‍ර විතානාච්චිගේ කෘතියේ තිබුණු කරුණු වැඩිදුර තහවුරු කරගැනීම සඳහා අප ඉන්දියාවේ විශ්වවිද්‍යාලවල විද්‍යාර්ථීන් කළ පර්යේෂණ පත්‍රිකා කිහිපයක් පිරික්සුවා. 2019 දී ප්‍රසිද්ධ කළ එච්.ටී. හෙජ්, රාජේෂ් ගුනාගා සහ එන්.එස්. තාකූර් කළ ‘නව්සාරි කෘෂි විශ්වවිද්‍යාලයේ’ පර්යේෂණයක පර්යේෂණ පත්‍රිකාව ඉන් පළමුවැන්න. හයිද්‍රාබාද්හි ඉන්දීය වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය වෙනුවෙන් සී රුක්මනී කළ පර්යේෂණයක පත්‍රිකාව දෙවැන්න. පංජාබ්හි පාග්වාරා විශ්වවිද්‍යාලය වෙනුවෙන් ඬේව් ජයිදීප්, විකාස් කුමාර්, අෂ්වානි කුමාර්, යෝගේෂ් ගාට්, ෂීනම් සූරි සහ කාර්තික් ෂර්මා සිදුකළ පර්යේෂණය තෙවැන්න. ඉන්දීය විශ්වවිද්‍යාල කිහිපයක් වෙනුවෙන් නිදි දලාල්, නීරාජ් පෝගත්, විනීතා බිෂ්ත්, විෂ්නු කන්වාර් සෝලන්කි සිදුකළ පර්යේෂණයේ පත්‍රිකාව සිව්වැන්න.)■

ගස් ලක්ෂයක් හිටවලා ඇති

මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි/ ධර්මපාල පරපුර

අපි පහුගිය කාලයක් තිස්සේ ලංකාවේ මී ගස් හිටවන, ඒක ප්‍රවර්ධනය කරන වැඩසටහනක ඉන්නවා. මේ වන විට අපි ගස් දහදාහක් විතර හිටවලා තියෙනවා. ඒ වගේම අපි මී ගහේ වැදගත්කම සමාජගත කරන විට, තවත් අය ගස් හිටවනවා. ඒ විදියට දැනට ගස් ලක්ෂයක් පමණ අලුතින් හිටවලා ඇති. මම මී ගහ හඳුන්වන්නේ ලංකාවේ පොහොර ගහ කියලයි. යම් පරිසර පද්ධතියක් සම්පූර්ණ කරන්න මී ගහ උදව් වෙනවා. වගා බිම්වල පොහොර වැවීමේ සභ්‍යත්වයක්, සංස්කෘතියක් අපට තිබුණා. අපි ප්‍රචාරය කරන්නේ ඒක.■

 

මී ගස සහ සහෝදර ප්‍රේමය

කුලරත්න ආරියවංශ

‘මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා- මී ගස් යට මී වැහි වැහැලා’

මම මේ සිංදුව ලිව්වේ සහෝදර ප්‍රේමය නිසා. සහෝදර ප්‍රේමය ගැන මගේ මතකය ඇවිස්සුණේ අවුරුදු දාහතරක විතර කාලයේ මී ගස් යට සෙල්ලම් කළ අතීතය එක්ක. මී ගහෙන් සහෝදර ප්‍රේමය මැවුණා.  ඒ කාලෙ අපි දන්නෙ නෑ, මී ගස්වලට එන වවුලන්ගේ වසුරු හොඳ පොහොරක් කියලා. අපි දන්නේ මී ගස්වලට වවුලන් එනවා කියලා විතරයි. මී ගහ, ගොරක ගහ වගේ අපේ ගැමි අතීතය මතක් කරන අපූරු ගස් තියෙනවානේ..■

 

අනෙක් අයට උදව් කරන ගහක්

පරිසරවේදී සජීව චාමිකර

ලෝකයේ ඕනෑ ගහක් හෝ සතෙක් හුදකලා නැහැ. ඉන්නේ පරිසර පද්ධතියක. පද්ධතියේ අනෙක් සාමාජිකයන් එක්ක. පොහොර ගුණය නිසා, කුරුල්ලන්ට ආහාරයක් වන නිසා මී ගහ පරිසර පද්ධතියේ අනෙක් අයට උදව්වක්. ඒත් ඕනෑ ගහක් පරිසරයට හොඳයි කියලා, හැම තැනම ඒ ගහම වවන එකට මා එච්චර එකඟ නෑ. කාලෙක හැම තැනම කුඹුක් ගස් හිටෙව්වා. දැන් හැමතැනම මී ගස් හිටවනවා. ගස් හිටවන එක වැරදි නෑ. ඒත් එක ගස් වර්ගයක් විතරක් හිටවනවා වෙනුවට, පරිසර පද්ධතියක් ගැන අපි හිතන්න ඕනෑ.■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි