20.5 C
Sri Lanka
21 September,2021

මරණයම ඉල්ලන ජනමාධ්‍ය

Must read

■ අරුණ ජයවර්ධන

පහත පළවන්නේ ‘අනිද්දා’ නිදහස් ලේඛකයකුද වන ධනුෂ්ක සිල්වා සිය ෆේස්බුක්හි තැබූ සටහනකි.

‘යම් අධ්‍යයන කටයුත්තක් සඳහා මහර මිනිස් ඝාතනයට අදාළ සිංහල මාධ්‍ය පුවත්පත් ආවරණය විමසා බැලුවෙමි. විශේෂයෙන්ම අරුණ, මව්බිම, ලංකාදීප, දිනමිණ දෙසැම්බර් 01 දින කතුවැකි සකස් කර ඇති ආකාරයෙන් පහත නිරීක්ෂණ ලබාගත හැකිවිය.

  1. සිරකරුවන් මරාදැමීම යුක්තියුක්ත සත්ක්‍රියාවක් බැව් සනාථ කෙරෙන ජන විඥානය ජාතික මට්ටමෙන් අප රට තුළ ඇත. මෙම ජාතික පුවත්පත් එකී ජනවිඥානය ශක්තිමත් කිරීමට සෘජුව දායක වීම.
  2. ලංකාව යහපත් සමාජය ලෙස ගෙන එහි ‘අනෙකා‘ ලෙස සිරකරුවන් ගොඩනැගීම හෙවත් ආඛ්‍යානකරණය.
  3. සිරකරුවන් මර්දනය කිරීම සදහා මර්දනීය ව්‍යාපෘතියක් යෝජනා කිරීම.
  4. සිරකරුවන් සමාජය වැද්දගත නොයුතු පාදඩයන්ය යන අදහස යෝජනා කිරීම.
  5. කතුවරුන් අධිකාරී අර්ථනිරූපණ භූමිකාවක් ආරූඪ කරගැනීම සහ රජයේ පාර්ශ්වය (පොලිසිය/ හමුදාව/ දේශපාලකයා) සාධාරණීකරණය කිරීම.
  6. රැඳවියන් ඝාතනය වූයේ කෙසේද? අනාවරණය නොකිරීම.
  7. සිරකරුවන්ගේම අනවශ්‍ය දඩබ්බර උද්ඝෝෂණයක/ කැරැල්ලක් හේතුවෙන් ඔවුන් ඝාතනය වීම. (එය ප්‍රබන්ධකරණය කර තිබෙන්නේ බටහිර ක්‍රියාදාම විත්‍රපටයක කතා සාරාංශයක් ලෙසය.)’

මේ නිරීක්‍ෂණවලින් පැහැදිලි වන්නේ, ලංකාවේ ජනමාධ්‍ය සිරකරුවන් දෙස බලන ආකාරය ගැන පමණක් නොව්. ජනමාධ්‍යයක් විසින් රැකගනු ලැබිය යුතු මූලික මූලධර්ම හා ප්‍රමිතිවලින් ඔවුන් කෙතරම් ඈත්ව සිටින්නේද යන්නයි.

මහර සමූහ ඝාතනයෙන් රැඳවියෝ 11 දෙනෙක් මියගියහ. 117ක් තුවාල ලදහ. මාධ්‍ය වාර්තාවලට අනුව, සිද්ධිය වන විට බන්ධනාගාරයේ සිටි රැඳවියන් ගණන 2,700කි. වරදකරු කරනු ලැබ සිරදඬුවම් විඳිමින් සිටි සංඛ්‍යාව 500කි. ඉතිරි 2,200ම සැකකරුවෝය. එහි තේරුම, ඔවුන් කිසිදු වරදකට වරදකරුවන් කර නොමැති බවය. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව, නිසි බලය ඇති අධිකරණයකදි සාධාරණ නඩු විභාගයකින් පසු වරදකරු කරන තෙක් සියලුම තැනැත්තන්ට නිර්දෝෂිභාවයේ පූර්ව නිගමනයේ වාසිය ඇත්තේය. එනම් කිසිවකු වරදකරුවකු කරන තෙක්ම නිවැරදිකරුවෙකි.

මහර ඝාතනයෙන් මියගිය අය අතර, හෙටානිද්දා ඇප ලබා නිවෙසට යෑමට නියමිතව සිටි රැඳවියන් කී දෙනකු සිටින්නට ඇත්දැයි තවමත් පැහැදිලි නැත.

මහර බන්ධනාගාරයේ සමූහ ඝාතනයෙන් පසු, ප්‍රධාන ජනමාධ්‍යවල ප්‍රකාශයට පත්වුණේ ඔවුන් මරාදැම්මාට කමක් නැත කියන අදහසයි. නැතිනම්, මෙසේ ඝාතනය කරනු ලැබීමට ඔවුහු සුදුස්සෝය යන අදහසයි.

2012දී වැලිකඩ බන්ධනාගාරයේදී සැලසුම්සහගතව රැඳවියන් 27දෙනකු ඝාතනය කිරීම ගැන වාර්තා කිරීමේදීද රටේ ප්‍රධාන ජනමාධ්‍ය දැරුවේ මේ අදහසමය. එනම්, ‘ඔවුහු ඝාතනය වීමට සුදුස්සෝය’ යන්නය. ඒ ගැන පරීක්‍ෂණයක් පැවැත්වීම රජය වුවමනාවෙන්ම පැහැර හැරියේය. සීඅයිඩීය පරීක්‍ෂණය කළේද හොයන්නට නොව වහන්නටය. අවසානයේ යහපාලන ආණ්ඩුව 2015දී වැලිකඩ සමූහ ඝාතනය ගැන සොයන්නට කමිටුවක් පත්කළේය. රැඳවියෝ ඒ ඉදිරියේ සිදුවූ දේ කියූහ. ඒවායින් පැහැදිලි වුණේ, එක් පොලිස් නිලධාරියෙකු සැලසුම්සහගත අන්දමින් ලැයිස්තුවක් අනුව, රැඳවියන් නම්වලින් කතා කර දණගස්වා, සමීපයේ සිට වෙඩි තබා ඝාතනය කළ බවය. ඒ අනුව යමින් ශානි අබෙසේකර ප්‍රමුඛ සීඅයිඩීය අලුත් පරීක්‍ෂණයක් පටන්ගත්තේය. එම පරීක්‍ෂණවලින් හෙළිවුණු තොරතුරු අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රංගජීව හා එවකට මැගසින් බන්ධනාගාර අධිකාරි එමිල් රංජන් ළමාහේවා දැන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ විත්තිකරුවන් වී සිටිති.

නීතිපති දෙපාර්තමේන්තුව, මහර ඝාතනය සම්බන්ධයෙන් අධිකරණයට දැනුම් දුන්නේ, එම ඝාතන සිදුව ඇත්තේ වෙඩිතැබීම් නිසා බවයි. ගැටුමේදී නීති විරෝධී ලෙස ජීව උණ්ඩ භාවිත කර තිබෙන බවද නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය. ඒ සම්බන්ධයෙන් සොයාබැලීමට රජය පත්කළ පංච පුද්ගල කමිටුව සිය අතුරු වාර්තාවෙන් කියන්නේ බන්ධනාගාරය තුළ කෝවිඞ් පැතිරීම ගැන නිසි පියවර ගැනීමට බලධාරීන් අසමත්වීම නිසා රැඳවියන් අතර ඇතිවූ නොසන්සුන්තාව සාධාරණ එකක් බවයි. ගිනි අවි තිබී ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් අත පමණක් බවත්, ඒ නිසා වෙඩිතැබිම් සිදුව ඇත්තේ ඔවුන් අතින් පමණක් බවත් එම අතුරු වාර්තාව කියයි. විමල් වීරවංස ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී කියූ පරිදි. රැඳවියන් මත්පෙති පාවිච්චි කර නොතිබුණු බවද පරීක්‍ෂණවලදී හෙළි වී තිබේ. රැඳවියන්ගේ නොසන්සුන්තාවට හේතුව කෝවිඞ්වලින් ආරක්‍ෂාවීමට පහසුකම් නොසැපයීම බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඒ ගැන නිකුත් කළ වාර්තාවේද දැක්විණ.

මේ වාර්තා අනුව පෙනෙන්නේ, වීරවංස ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී කියූ, රටේ බොහෝ ජනමාධ්‍ය ප්‍රතිරාවය කළ, ‘මත් පෙති බී වියරු වැටුණු සිරකරුවන් එකිනෙකා අතර ගැටුම් ඇතිකරගෙන මතු නොව සිරගෙය කඩාගෙන පලායාමට කළ උත්සාහය ව්‍යර්ථ කිරීමට වෙඩි තැබීමට සිදුවිය’ කියන කතාව අමූලික බොරුවක් බවයි.

සිරකරුවන් සම්බන්ධයෙන් රටක්, සමාජයක් කටයුතු කළ යුත්තේ කෙසේද යන්න ගැන ලෝකයේ නිර්මාණය වූ දැනුම් සම්භාරයක් තිබේ. ‘සිරකරුවෝද මනුෂ්‍යයෝය’ යන ආප්තය එන්නේ ඒ දැනුම් සම්භාරයේ ප්‍රතිඵලයක් ලෙසය. එහෙත්, රටේ ජනමාධ්‍ය පවා, (ආණ්ඩු කොහොමටත් ඒවා පිළිගන්නේ නැත.) ඒ ආප්තය පිළිගන්නේ නැති බවත්, සිරකරුවන් පිළිබඳ මූලික දැනුමකින්වත් යුතුව කටයුතු කරන්නේ නැති බවත් වැලිකඩ, මහර සමූහ ඝාතනවලදී මෙන්ම, වරින් වර පොලිස් අත්අඩංගුවේ සිටියදී ඝාතනය වන සැකකරුවන් පිළිබඳවත් ඔවුන්ගේ වාර්තාවල මෙන්ම, විග්‍රහවලදීත් දක්නට ලැබේ.

ඒ අනුව බැලීමේදී, අපේ ජනමාධ්‍යද, ලේ දැකීමේ ආසාවෙන් පෙළෙන, මරණයම ඉල්ලන චින්තන සිරකරුවන් වැනි මිනිසුන් පිරිසකගේ මෙහෙයවීමට යටත්වී ඇති සැටියක් පෙනෙයි.■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි