25.7 C
Sri Lanka
23 October,2021

මයි කාර් මයි පැට්රෝල්
පාලනය

Must read

රටේ පොදු සතුරා ජනාධිපති ක්‍රමයයි. එය වෙනස් කළ යුතු වේ. එවැනි අරමුණක් වෙනුවෙන් පෙළ ගැසෙන රටේ ජනතාවට ක්‍රමය වෙනස් කර බලයෙන් ඉවත්ව
ගෙදර යන කෙනෙකු ඉදිරිපත් කළ යුතුවේ.

■ නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

පීඩනය දැඩිව දැනෙන්නට පටන්ගෙන ඇත. පාලකයන් හැසිරෙන ආකාරය බිය උපදවනසුලු වේ. යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකාවට පැවරීම යනු මයි කාර් මයි පැට්රෝල් වැඩකි. එය තහවුරු කරන අලුත්ම සිද්ධිය බලාගාර ගිවිසුම් කතාවය. ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ සාමාජිකයන් හෝ ඒ බව දන්නේ නැත. හිරගෙදර වහලෙට නැග්ග රැඳවියන් කරන්නේත්, දේශබන්ධු තෙන්නකෝන්ලා යුනිපෝර්ම් පිටින් අස්ගිරි පන්සලට ගිහින් කරන්නේත් එකම වර්ගයේ ඉල්ලීමකි. එනම් පුද්ගලික සහනයන්ය. එවැනි සහන, සමා, අභයදාන ලබාගත හැකි නෛතික විධිවිධාන හෝ සම්මතයන් රටේ පවතී. ලංකාව යනු ගෝත්‍රික සමාජයක් නොවේ. සියවස් එකහමාරක් පුරා පැවති යටත් විජිත පාලනයකින් පසුව, ව්‍යවස්ථානුකූල නිදහස ලැබූ දිගු ලංකාව, ශ්‍රී ලංකාව ලෙස බව්තීස්ම වන තෙක්ම, විධිමත් පාලනයක් පැවති ආසියාවේ විශිෂ්ටතම රාජ්‍යයකි. එහෙත් බලාගාර ගිවිසුම් කතාවට සමගාමීව, විමසමින් පවත්නා සමහර නඩු අස්කර ගැනීම්, හිරේ ගිය එවුන් මුදා ගැනීම්, මහ රෑ ගිනි අවි ලෙලවමින් බීමතින් බන්ධනාරවල සැරිසැරීම් අපට සිහිපත් කරන්නේ කුමක්ද? නිදහස සමග රටේ ජනතාව වෙස්ට්මිනිස්ටර් ක්‍රමය යටතේ හිමිකර ගත් මිනිස් අයිතිය, නිදහස සාධාරණත්වය අවභාවිත වෙමින් පවත්නා බවය.


නීතියත් රටත් රාජ්‍යයත් කිහිප දෙනෙකුගේ සාක්කුවට වැටී හමාරය.

මේ තත්වය ඇති කළේ නීනිය යනු මමයි කී ගෝඨාභය හෝ මහා වංචාවකට සැකකරුවූ මහ බැංකු අධිපතිවරයා ගැන වගකීම පාර්ලිමේන්තුවේදී භාරගත් රනිල් හෝ, පාර්ලිමේන්තු බහුතරයක් නැති මහින්ද රාජපක්‍ෂ රටේ අගමැති ලෙස නම් කොට ජෝකරයෙකුවූ මෛත්‍රීපාල හෝ අපේ මිනිහෙක් වරදක් කළොත් ෂේප් කරනවා කී මහින්ද පමණක් නොවේ. මේ බිඳවැටීමේ අඩිතාලම වැටුණේ 1973 පළමු ජනරජ ව්‍යවස්ථාව සමගය. නිදහස් ලංකාවේ 1947 සහ 1953 පිහිටුවූ ආණ්ඩු දෙකටම උතුරු දකුණු නියෝජිත සහභාගිත්වය ලැබිණ. ඒ ජාතික සමගිය 1956 පෙරළිය සමග දෙදරා ගියේය. ශ්‍රී ලාංකේය සංස්කෘතික අනන්‍යතාවක් සහිතව වසර දහස් ගණනක් මේ රටේ එකට ජීවත්වූ ජාතීන් දෙකක අසමගිය බිඳ වැටිණ. 1958 ජාතිවාදී කෝලාහලය 56 දේශපාලන පෙරළියේ ප්‍රතිඵලයකි. ඊයේ පෙරේදා නවසීලන්තයේ අගමැතිවරිය ලාංකේය සම්භවයක් ඇති ත්‍රස්වාදියෙකු මරා දැමීමෙන් පසුව කළ විශිෂ්ට ප්‍රකාශය ලෝකයේම ගෞරවයට පාත්‍ර විය. අපට එය වැදගත් වන්නේ පාස්කු සිද්ධියේ දේශපාලනික සුලමුල හෙළිවීම නිසාය. ඊට සාපේක්‍ෂව, 1958 ජාතිවාදි අරගලයේදී, අන්තවාදීන් අතින් යාපනේ නාග විහාරය සමතලා විය. එවකට රජයේ වැඩ අධ්‍යක්‍ෂව සිටි එච්.ආර්. ප්‍රේමරත්න කැඳවූ අග්‍රාණ්ඩුකාර ඔලිවර් ගුණතිලක “නාග විහාරයයි, නාගදීපයයි දෙකම විනාසයි. මේ ආරංචිය මගේ ලේකම්වත් දන්නේ නෑ. අප මේ සිද්ධස්ථාන තිබුණ ආකාරයටම වහාම හදන්න ඕනැ. එසේ නොකළොත් තත්වය තවත් බරපතළ වේවි.”යනුවෙන් කීවේ වෙව්ලමිනි. එහි සිටි තෙවැන්නා ප්‍රසිද්ධ වැඩ ඇමති මෛත්‍රිපාල සේනානායකය. එකී දැනුම්දීමෙන් සති හයක් තුළ එකී සිද්ධස්ථාන යළි පැවති අයුරෙන් ස්ථාපනය කෙරිණ. (චරිතවත් චරිත- 83 පිට, චන්ද්‍රසිරි සෙනෙවිරත්න, සරසවිය ප්‍රකාශනයකි. 2012) නවසීලන්තයේ 41 හැවිරිදි ජෙසින්තා ආර්ඩ්න්ගේ විශිෂ්ටත්වය, මෙයින් වසර 63කට ඉහත ලංකාවේ පාලකයන් සහ නිලධාරීන් අතර පැවති බව අප අමතක කළ යුතු නැත. එපමණක් නොවේ. එකී සිද්ධීන්ගේ වින්දිතයන්ට සෑහීමට පත්විය හැකි ආකාරයට රටේ නීතිය එදවස ක්‍රියාත්මක විය. ඊට සමගාමිව පාස්කු ප්‍රහාරය ජාත්‍යන්තරයට ගෙනයන යන තවත් අවනඩුවකි.


මිනිසුන් සතු අයිතිවාසිකම් හැකිළී යාම දිනෙන් දින වැඩි වේ. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ද්විත්ව පුරවැසියන්ට වැසුණේ පාර්ලිමේන්තුවේ දොර පමණකි. රාජ්‍ය තනතුරු ලබා ගැනීමේ අවසරය ඉතිරි කෙරිණ. ඒ එවකට සිටි මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ලාංකිකයෙකු නොවූ නිසාය. 2015 ජනවාරි 8 වෙනිදා ප්‍රතික්‍ෂේප කළ මහින්ද රාජපක්‍ෂ අගමැතිකමට නම් කළ විධායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වර්තමානයේ රාජපක්‍ෂලා සමග ය. යහ පාලන ජයග්‍රහණ විනාස කළ, බැංකු මංකොල්ලයට චෝදනා ලැබූ අර්ජුන් මහේන්ද්‍රන් ආරක්‍ෂා කළ රනිල් වික්‍රමසිංහ 2024 ජනාධිපති වීමට පොර කමින් සිටියි. 2024 රාජපක්‍ෂ පළවා හැර පත් කර ගත යුත්තේ රනිල්, සිරිසේන හෝ සජිත් ය. රටක් විනාස කළ විධායක ක්‍රමය ඉවත් කිරීමට බලය අපේක්‍ෂා කරන කිසිවෙක් කැමති නොවේ. යථාර්ථය නම් රටේ පොදු සතුරා ජනාධිපති ක්‍රමය මිස, රාජපක්‍ෂලා නොවේ. එය වෙනස් කළ යුතු බවට කිසිදු සැකයක් නැත. ඒ සඳහා පවත්නා ක්‍රමය වෙනස් කර බලයෙන් ඉවත්ව ගෙදර යන කෙනෙකු නිර්මාණය කළ යුතුවේ. ඔහු වෙනුවෙන් රටෙන් අඩක් පෙනී සිටිනු ඇත.


අප හැමදාම කවුරුන් හෝ දිනවනවා කියන්නේ කවුරුන් හෝ පැරදවීමය. කිසි විටෙක අපට යහපත් කුමක්දැයි තීරණය කිරීමේ අයිතිය හිමි නොවේ. කොන්දේසි රහිතව කාට හෝ රට භාරදීමෙන් රට ගොඩගත නොහැකිය.


හැම පාලන කාලයකම විවිධ ප්‍රශ්න මතුවේ. විධායක ක්‍රමය පැවති 43 වසර පුරා ඡන්දෙන් සත් දිනක් ගෙවී ගිය තැන පාලකයා ජනතාවගේ හතුරා බවට පත්විය. ඒ සමග විපක්‍ෂය නියෝජනය කළ ඇතැම්හු මහ දවල් විකිණෙති. රිෂාඩ් බදියුදීන් සිටිද්දී ඔහුගේ ගෝලයෝ ආණ්ඩුව සමග පෙනී සිටිති. විපක්‍ෂය සීරියස්ය. එහෙත් කතා කරන්නේ තෝරා බේරාගෙනය. තනි මිනිහෙකු අතට අසුවුණ බලය පැවති කොතැනත් එහෙමය.


බලයට පත්ව සත් දිනයක් ගිය තැන් සිට ජනතාව උඹට දෙන්නම් කියා මාන බලති. ඉන්පසුව සිද්ධ වෙන්නේ ඊට පෙර එළවා දැමූ එකා දිනවා අනාගත තවත් හතුරෙකු නිර්මාණය කර ගැනීමය. මෙය සෝල්බරි යුගයේ අප හඳුන්වන ලද්දේ තට්ටුමාරුව කියාය. 1977න් පසුව, තත්වය වෙනස් විය. අද අප කරන්නේ වැරදි කළ පාලකයන් ඉවත් කිරීම මිස අප නිවැරදි වීම නොවේ. වැරදි කළ එවුන් ඉවත් කිරීම කළ යුතුවේ. එහි තර්කයක් නැත. එහෙත් ක්‍රමය වෙනස් කරන තෙක් රට නිවැරදි නොවේ.


එක දිගට නිල නාම තනතුරුවලින් ඉවත්ව යන පුද්ගල සංඛ්‍යාව වැඩිවෙමින් පවතී. විපක්‍ෂයේ කිසිදු දේශපාලන චරිතයක් ඒ හරහා ලැබෙන හරවත් පණිවිඩය කියවා නැත. හෝ එය මගහැර අනම්මනම් දොඩවයි. ඔවුන් කියන්නේ කුමක්ද? ප්‍රතිපත්ති සම්පාදනය මිස රාජ්‍ය පාලනයට දේශපාලනඥයන් මැදිහත්වීම රටේ බරපතළම අරුබුදය වේ. බීමත්ව හෝ නැතිව ගිනි අවි ගෙන හෝ නොගෙන හිරගෙදරට අවේලාවේ ඇතුල්විය නොහැකිය යන්න පාර්ලිමේන්තුව සමම්ත කළ රෙගුලාසියකි. එය කැඩූ බවට අවලාද නැගෙන පුද්ගලයා කියන්නේ කුමක්ද? මට ඕනැ වෙලාවක එහි යා හැකි බවය. එහිදී ආයතනය භාර නිලධාරීන් එහෙයියන් සේ හැසිරෙන්නේ රාජ්‍ය පාලනය නූගත් දේශපාලනඥයන්ගේ ග්‍රහණයට පත්ව ඇති නිසාය.


ආසන්න වසර හතළිස් ගණනක් පුරා මේ වරද එක දිගට සිදුවී ඇත. අමාත්‍යාංශ ලේකම්වරුන් ගණනාවක් ඉල්ලා අස්වී හමාරය. ඇබෑර්තු වන හැම තනතුරකටම විශ්‍රාමික හමුදා නිලධාරීහු පත් කෙරෙති. 2024 මැතිවරණයට දෙවසරක් තිබියදී රටේ සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් විශ්‍රාමික හමුදා නිලධාරින් වීම වළක්වාගත හැකි ජගතා කවුද? 2010 ජනාධිපති මැතිවරණය ප්‍රතිඵලය පැය විසි හතරක් පමාවූ රහස කිසිවෙක් නොදනිති. දයානන්ද දිසානායක යම් කාල සීමාවක් අවතැන්වී සිටි බව පවුලේ අය පවා දැන ගත්තේ පසුවය. එය මහා මංකොල්ලයකි.


තනි මිනිහෙකු අතට බලය පැවරෙන මේ ක්‍රමය ගමන් කරන්නේ කොහාටද?

පොළොන්නරුවේ ජීවත්වන බෞද්ධ භික්‍ෂුන් වහන්සේ පරාක්‍රම සමුද්‍ර වැව් බැම්මේ යෝජිත සක්මක් තීරුව එපා කියති. කොළඹ සහ මහනුවර ජීවත්වන ශ්‍රමණ ප්‍රතිරූපකයෝ පරාක්‍රම සමුද්‍ර වැව් බැම්මේ යෝජිත සක්මන් තීරුව අනුමත කරති. ජනතාව වෙනස වටහාගෙන සිටිති. විපක්‍ෂය බලය අල්ලා ගැනීමේ හීන දකිති. දේශපාලනඥයන් නොවන ජනතාවාදී නිර්දේශපාලනික පුරවැසි එකතුවක් පෙළ ගැසිය යුතුවේ. රාජ්‍ය සේවයට කතා කළ හැකි රාජ්‍ය සේවයෙන් සමුගත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වර්තමාන රාජ්‍ය සේවයට ආමන්ත්‍රණය කළ යුතුව ඇත.


රටේ පොදු සතුරා ජනාධිපති ක්‍රමයයි. එය වෙනස් කළ යුතු වේ. එවැනි අරමුණක් වෙනුවෙන් පෙළ ගැසෙන රටේ ජනතාවට ක්‍රමය වෙනස් කර බලයෙන් ඉවත්ව ගෙදර යන කෙනෙකු ඉදිරිපත් කළ යුතුවේ. ඔහු වෙනුවෙන් රටෙන් අඩක් පෙනී සිටිනවා නොඅනුමානය. ජනාධිපති ක්‍රමය රටට රටේ සාමාන්‍ය ජනතාවට මෙන්ම, දේශපාලනඥයන්ටද එක සේ හානිකර වේ. 1973ට පෙර පාර්ලිමේන්තුව, කැබිනට් මණ්ඩලය තීරණාත්මකය. යුගදනවි බලාගාර ගිවිසුම් කතාවේ කාලය රාත්‍රිය වේ. එහි පාර්ලිමේන්තුවට, කැබිනට් මණ්ඩලයට ඉඩක් නැත. එපමණක්ද නොවේ.


2020 මහ මැතිවරණයේදී කොළඹින් වීරවංශලා, ගම්මන්පිලලා අබිබවා, සරත් වීරසේකරද, ගම්පහින් ප්‍රසන්න රණතුංගලා අබිබවා, නාලක ගොඩහේවාද, මාතරින් ඩලස්ලා අබිබවා, නිපුන් රණවකද, අනුරාධපුරයෙන් ෂෙහාන් සේමසිංහලා, දුමින්ද දිසානායකලා අබිබවා චන්න ජයසුමනද, ඉහළට ආවේ වියත් මග නිසා නම්, කුරුණෑගලින් මහනුවරින් මාතලෙන් කෑගල්ලෙන් වියත්මග පහළට වැටුණේ කෙසේද? මේවා මැතිවරණ නීතියේ ලියැවී නැති රෙගුලාසි ඉක්මවා ගිය, පුද්ගලබද්ධ අතපෙවීම්ය. ජනාධිපති ක්‍රමය, පළමුව රැහේ එවුන්ටද, පසුව විපක්‍ෂයටද රටේ පොදු සතුරා වන්නේ එහෙමය. ශුද්ධවූ මහා මැතිවරණ සංසිද්ධියක යම් අවස්ථාවක් මෙසේ පවුලක පැවැත්ම වෙනුවෙන් මෙසේ හසුරුවයි නම්, රටේ සාමාන්‍ය ජනතාවගේ පැවැත්මට සුරක්‍ෂිතභාවයට දෙයියන්නේ පිහිටය. ජනතා අභිලාෂය එසේ දෙපයින් මැඩ, ස්වකීය ආධිපත්‍යය පාර්ලිමේන්තුවේ ගොඩ නගා ගත් විට, යුගදනවි බලාගාරය නොව, රටම තම කැමැත්තට වෙනත් රටකට විකිණිය හැකි බව විපක්‍ෂය දනියි. ඒ බව විමල් වීරවංශලා ගම්මන්පිලලා තේරුම් නොගන්නේ නම් ඔවුන් මැතිවරණ සිතියමෙන් මැකී යනවාමය. රොකට් රාජපක්‍ෂ කුරුණෑගලට බෙදන්නට පටන් ගෙන ඇත. සත් කෝරළේ ජනතා අයිතිය කොල්ලකෑමේ දෙවන පියවර එය වේ. ශෂින්ද්‍ර රාජපක්‍ෂ මොනරාගල පැටව් ගසමින් සිටියි. ලෙනාඩ් වුල්ෆ් නවසිය හැට ගණන්වල ලංකාවට පැමිණි අවස්ථාවේ කීවේ හම්බන්තොට ඡන්ද කොට්ඨාස බෙදෙන්නේ පවුලක වර්ධන වේගයට අනුව බවය. දැන් පවුල බෙහෙවින් පු`ථල්ව අමෙරිකාව තෙක් පැතිරි ඇත. එහෙත් මේ ලියුම්කරු ඉන්තේරුවටම කියා සිටින්නේ අප රටේ පවත්නා තත්වය ගැන කිසිදු පවුලකට සාප කළ යුතු නැත. අප පෙළ ගැසිය යුත්තේ කොල්වින්ලා ජේ.ආර්.ලා රෝපණය කොට රාජපක්‍ෂලා පවත්වා ගෙන යන විධායක ජනාධිපති හූනියම කපා දැමීමටය.


මේ සාකච්ඡාව අතර සමහර ඇසුවේ ක්‍රමය වෙනස් කර ගෙදර යන ඒ පුද්ගලයා කවුද යන්නය. ප්‍රභූන් කිහිප දෙනෙක් තම ගමට පන්සලක් තැනීමට කතිකා කළහ. එකී ක්‍රියාවලිය අතර, පන්සල භාරදෙන භික්‍ෂුන් වහන්සේ කවුද යන්න කෙනෙක් විමසීය. එක් නමක් යෝජනා විය. ඊට එකඟ නොවූ කෙනෙකු තවත් නමක් යෝජනා කළේය. පසුව, නම් තුන හතරක් යෝජනාවීමෙන් පසුව, පන්සල තැනීමේ උවමනාව යටපත් විය. පන්සලක් තැනෙයි නම් භික්‍ෂුවක් සොයාගත හැකිවා මෙන්ම, පළමුව ක්‍රමය වෙනස් කර ගෙදර යන්නෙකු වෙනුවෙන් පෙළ ගැසිය යුතුවේ. එවිට පුද්ගලයෙකු හමුවීම අරුමයක් නොවෙනු ඇත. තෝරා ගන්නා මිනිසා බලය හැර යන්නෙකි. එවිට, ඔහු කිසිදු සක්‍රිය දේශපාලනඥයෙකුට තර්ජනයක් අභියෝගයක් වන්නේ නැත. තවත් මොනවාද?■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි