22.4 C
Sri Lanka
26 October,2021

ප්‍රභූන්ට නැති නිරෝධායන නීතිය

Must read

මුඛ ආවරණ නොපැළඳීම, සමාජ දූරස්ථභාවය තබා නොගැනීම යන නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් මැයි 26 දින පුද්ගලයන් 373 දෙනෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ප්‍රකාශ කර ඇත.

මේ පිරිසෙන් 327 දෙනෙකුගේ මුඛ ආවරණ නොපැළඳීම හේතුවෙන්ද, ඉතිරි 46 දෙනා සමාජ දූරස්ථභාවය නොරැකීම හේතුවෙන්ද අත්අඩංගුවට ගෙන ඇත. එම පිරිසට එරෙහිව නිරෝධායන නීතිය උල්ලංඝනය යටතේ ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවද, මේ පිරිස අත්අඩංගුවට ගත්තේ බස්නාහිර පළාතේ පොලිස් ස්ථාන 114ක පොලිස් නිලධාරී කණ්ඩායම් සිදුකළ පරීක්ෂණවලදී බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා ඇත.

නිරෝධායන නීතියක් යැයි කියා දෙයක් තිබේ නම් එය රටේ පුරවැසියන් සැමට පොදු විය යුතුය. පුද්ගල තරාතිරම අනුව එහි කිසිදු වෙනසක් නොවිය යුතුය.

එහෙත් අප අත්දකින සත්‍යය වන්නේ මේ නිරෝධායන නීතිය යැයි කියාගන්නා නීතිය පුද්ගල තරාතිරම අනුව රට තුළ ක්‍රියාත්මක වෙමින් පවතින බවය. ඊට උදාහරණ කිහිපයක් මෙසේය.

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මුඛ ආවරණ පළඳින්නේ නැත. මැයි 19 වැනිදා පාර්ලිමේන්තු ක්‍රීඩා පිටියේ පැවති රණවිරු සැමරුමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මුඛ ආවරණ පැළඳුවේ නැත. එම උත්සවයේ ජනාධිපති, අගමැති, හිටපු ජනාධිපති ඇතුළු කිසිදු ආරාධිත අමුත්තෙකුගේ අසුන් සමාජ දූරස්ථභාවයට අදාළ යැයි කියන මීටරයක දුරින් තබා තිබුණේ නැත.

කොටින්ම දැන් නියමකර ඇති ආකාරයට බස් රථවල හා දුම්රියේ අසුන් ගණනට මගීන් ගෙනයෑමේ ප්‍රතිපත්තියෙන්ද සමාජ දූරස්ථභාවයේ මීටරයක දුර රැකෙන්නේ නැත. අසුන් ගණනට ගමන් කිරීම යනු මගීන් අසල මගියා සමඟ ගෑවී ගමන් කිරීමය.

අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමාන් මහතාගේ වියෝව සැලවී තලංගම රෝහලට ආ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ තොණ්ඩමාන් පවුලේ සාමාජිකයන්ට සොව පළකළේ වැළඳ බදාගැනීමෙන්ය.

සාමාන්‍ය ජනතාවට එරෙහිව ක්‍රියාත්මක වන මේ නිරෝධායන නීති මේ ප්‍රභූන්ට එරෙහිව ක්‍රියාත්මක වන්නේ නැත. නීතිය පොදු නම් හා නීතියට ඉහළින් කිසිවෙකු නැත්නම් මේවා මේ විදියට සිදුවිය නොහැකිය.

ඔස්ට්‍රියානු ජනාධිපතිවරයා පසුගිය දිනක සමාව ඉල්ලා තිබෙන්නේ කොවිඩ්-19 වෙනුවෙන් පැනවූ ඇඳිරි නීති කාලය ඉක්මවා එය කඩ කරමින් අවන්හලක සිටීම ගැනය.නෙදර්ලන්ත අගමැතිවරයාට අසනීප තත්වයේ සිට ඔහුගේ මව බැලීමටවත් මවගේ අවමඟුලටවත් සහභාගි වීමට නොහැකි වී ඇත්තේ සෞඛ්‍ය අංශ පැනවූ නීති කඩ කිරීමට නොහැකි වූ නිසාය.

ලංකාව වැනි රටවල නම් එසේ නීතිය සැමට පොදු වන්නේ නැත. ප්‍රභූන්ට ඇත්තේ වෙනම නීතියකි. නීතිය ක්‍රියාත්මක වන්නේ නැති බැරි අහිංසක ජනයාට එරෙහිවය.

කොවිඞ්-19 රෝගය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය උපදෙස් අනුව ජනතාව මුඛ ආවරණ හා සමාජ දූරස්ථභාවය රැක්කත් මුඛ ආවරණ අනිවාර්ය හා සමාජ දූරස්ථභාවය අනිවාර්ය නීතියක් හෝ රෙගුලාසියක් ඇත්තේ කොහිදැයි අප තවම දන්නේ නැත. එම නීති ප්‍රකාරව සාමාන්‍ය මිනිසුන් අත්අඩංගුවට ගන්නා දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පොලීසියේ මහත්වරුන් රටට ප්‍රසිද්ධියේ කියාදිය යුත්තේ මුඛ ආවරණ හා සමාජ දූරස්ථභාවයට අදාළ නීති හෝ රෙගුලාසි පනවා ඇත්තේ කොහේද කියාය.

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි