21.6 C
Sri Lanka
26 September,2021

පරාජයේ ඉව උපදන භීතිය භීතිය උපදන තර්ජනය

Must read

  • නායකයා ගැන අහස උසට අපේක්ෂා දල්වා ගත් ජනතාවගේ අපේක්ෂාභංගත්වය දිනෙන් දින ඉහළට මතුවෙන වග ද දකින්නට තිබේ. තවත් පැත්තකින් පෙනෙන්නේ ඔහු බලයට පත් කිරීමට කැපවුණ උදවිය රට නැත්තටම නැති කරන කටයුතු ය.

“සතුට සෝකේ ජය පරාජේ අපටමයි මේ ලෝකයේ
එයට පිටු පා මෙලොව මිනිසා කිසි තැනක දී නෑ ගියේ”
මේ ගීතය අසන්නට ලැබුණේ කාලයකට පසුව ය. සිතෙහි විවිධාකාර අදහස් ඉපදිණි. පැරණි ගීත ඉඳ හිට ඇසෙන විට ඒ ගීත කවර සාධකයක් නිසා ලියැවී තිබුණත්, ඒවායෙන් කියවෙන අරුත්වලින් ‘වත්මනේ කිසියම් සමාජීය හෝ දේශපාලන තත්වයක්’ කුළු ගැන්වෙන්නේ යයි මට සිතේ.

සතුට-සෝකේ
ජය-පරාජේ
මේ අපූරු පද සංඝටනය තුළින් පවසා තිබෙන්නේ අපේ ජීවිතවලට තිරිංග අවැසි බව ද? කිසිවක්ම තිර සර නොවන බව ද? එනමුත් ‘බලය’-‘අසීමිත බලය’, හැම මිනිහෙකුටම තිරිංග නැති ජීවිත උරුම කර දෙන්නට සමත්ව ඇති සේ ය. අසීමිත ලෙස බලය තමන් සන්තක කර ගත් නායකයෙකුට ‘තිරිංග’ නැති වූ කල රටක ජනතාවට අත්වන ඉරණම කුමක් ද?
මගේ මිතුරෙකු ගෝඨාභය ජය ලබන බව පවසමින් සිට ජය ලැබූ පසු ලද සතුට එදවස පැවසුවේ උද්දාමයෙනි. මිතුරාට මට කෝචොක් කිරීමේ උවමනාවක් නොතිබිණි. ඔහුත් යහ පාලනය වෙනුවෙන් පෙනී සිටි කෙනෙකි. කෙසේ වුව මේ මිතුරා ගෝඨාභය දිව්රුම් දී ටික දවසකට පසුව මගෙන් විමසුවේ මෙවැන්නකි.
“ජයග්‍රහණය සහ පරාජය” කියලා ඔයා පොතක් ලියලා තියෙනවා ද?
“ඔව්”
“මට පිටපතක් ගන්න පුළුවන් ද?”
පුළුවන් බව මම කීවෙමි. පොත කුමටදැයි මම ඇසුවෙමි.
“මට පේනවා යහ පාලනය පරදවලා ලබපු ජය ඇතුළෙ මහ භයානක පරාජයක්”

වැරදීම හා වරද්දා ගැනීම
බලු පැටියෙකු -පූස් පැටියෙකු ගෙදරක ඇති කළත් කොටි පැටියෙකු ඇති කරන්නේ නැත. නයෙකු, පොලඟෙකු ඇති කරන්නේ ද නැත. මිනිස්සු ජීවත් වන්නේ අත්දැකීම් ඔස්සේ පාඩම් ඉගෙන ගනිමිනි. අංගුලිමාලගේ ජීවිතය වෙනස් වූයේ බුදුන් දැකීම නිසා පමණක් නොව, බුදු බණ ඇසීම නිසා ය. අද කාටවත් බුදුන් දකින්නට නැත. බුදු බණ අසන්නට තිබේ ද? ඒත් නැත. ඒ ප්‍රශ්නය වෙනම තැනක විමසීම වටී.
කෙසේ වෙතත්, බුදුන් නො දැක, බුදු බණ නො අසා, අංගුලිමාල කෙනෙකු වෙනස් වූයේ නැති බව ගැන නම් වාදයක් නැත.
ඕනෑම මනුෂ්‍යයෙකුට වැරදීම් සිදු වේ. වැරදීම් හේතුවෙන් බොහෝ අනර්ථයන් ද සිදු විය හැකි ය. ඉන් උගත හැකි පාඩමක් ඔහුට තිබේ. ඉන් උගත හැකි පාඩමක් අන්‍යයන්ටත් තිබේ. කිසිවෙකු පාඩමක් ඉගෙන ගන්නේ නැත්නම් ‘වරද්දා ගැනීම්’ අනිවාර්ය වේ.
පසුගිය සතියේ මම විශ්‍රාමික මහාචාර්යවරයෙකු මුණ ගැසෙන්නට ගියෙමි. එතුමා මා පිළිගෙන කතාව පටන් ගත්තේ මෙලෙසිනි.
“රටේ මිනිස්සු පුදුම වරද්දාගැනීමක් නේද කළේ? ඇත්තටම වැරදීමක් නෙවේ, වරද්දා ගැනීමක් කළේ!”
නූතන ලෝකයේ ජීවත්වන කාටත් තොරතුරු දැනගැනීමේ හැකියාවක් ඇත. එනිසා ජනතාව ඉක්මනින් වෙනස් වන බව මම කීවෙමි. මගේ අදහසට එතුමා එකඟ වූයේ නැත. එකඟ නොවූයේත් නැත. මහාචාර්යතුමා විසින් රටේ දැන උගත් ජනයා තොරතුරු දැනගැනීමේ සොබාවය ගැන විස්තර කරන්නට පටන් ගන්නා ලදි.
“මිනිස්සුන්ට හිතන්න ¤ කල්පනා කරන්න – කල්පනා කරලා තීරණ ගන්න අවශ්‍ය වැදගත් තොරතුරු හැම විටම ඉදිරිපත් කෙරෙන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. සරලම කරුණ ලෝකයේ තොරතුරු කෙළින්ම ඉදිරිපත් කෙරෙන්නෙ ඉංග්‍රීසියෙන්. ඉංග්‍රීසියෙන් ඉදිරිපත් කරන තොරතුරු සිංහලෙන් නියමාකාරව ඉදිරිපත් වෙන්නෙ නැහැ. ඉංග්‍රීසියෙන් ඉදිරිපත් කරන තොරතුරු සිංහලෙන් යම් අන්දමකට ඉදිරිපත් කරන්නේ ජන මාධ්‍ය මඟින් නිසා ‘පොල්කුඩු’ සොබාවයක් ඒවායේ තිබෙනවා….. ඔබ කියන ඔය සමාජ මාධ්‍ය යම් තරමකට ප්‍රබල වුණත්, ඒවායෙන් විධිමත්ව නිවැරදිව තොරතුරු වාර්තා වන්නේ නැති බවයි මගේ පිළිගැනීම. ඒ ඒ පුද්ගලයාගේ දෘෂ්ටියක් නේද ප්‍රකාශ වෙන්නෙ. වැස්සකට හබරල කොළයක් ඉහළාගැනීම වගේනෙ. අපි හබරල කොළේ ඉක්මනින් විසි කරනවා. සමාජ මාධ්‍යවලින් රැල්ලක් හදන්න පුළුවන් කිව්වාට ඒ රැල්ල ඕන අතකට හදන්න පුළුවන්නෙ. මේක දේශපාලන බලය සෑහෙන්න පාලනය කරන එකක්නෙ. ජන සමාජයක් කල්පනාවෙන් තීරණ ගන්න සමත් වෙන්නෙ නිවැරදි තොරතුරු විධිමත්ව ලබා ගන්නකොට විතරයි. අනික අපේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් ජනතාවට හිරිකිතයක් නැතිව බොරු කියන්න පුරුදු වෙලා තියෙන හැටි බලන්න, බොරුවට පන්සිල් ගන්නවා වගේමයි. දැක්කානෙ පිලිප්ගෙ පුතාගෙ ගණං හැදිල්ල. මිනිහා පල් මෝඩයෙක් නෙමේනෙ. බොරුම කියලා බොරු කියන්න හිරිකිතයක් නැති මිනිහෙක් වෙලා…..”
මේ මහාචාර්යතුමා සවිස්තර ලෙස කියා සිටියේ, සිංහල භාෂාවෙන් රටට තොරතුරු ඉදිරිපත් කිරීම හෝ සන්නිවේදනය කිරීමේ බලය ප්‍රධාන ජන මාධ්‍ය සතු කරගෙන සිටින බවයි. ඒ අතර ද විද්‍යුත් මාධ්‍ය ඉහළින්ම තිබෙන බවත් පැවසිණි. සිංහලෙන් තොරතුරු රටට කියන විද්‍යුත් මාධ්‍යවලට පෞද්ගලික න්‍යාය පත්‍රයන් තිබෙන බව හරියට වටහාගෙන තිබෙන්නේ ද ඉංග්‍රීසි මාධ්‍යයෙන් තොරතුරු දැන කියා ගන්නා උදවිය බවත්, මේ උදවිය සහ රටේ සාමාන්‍ය ජනතාව අතර පරතරය අද වන විට විශාල බවත් මෙතුමා විස්තර කළේ ය. මේ පරතරය වටහා ගන්නට ඉරිදා දවසට සිංහලෙන් පළවෙන ජාතික පත්තරයක් සහ ඉංග්‍රීසියෙන් පළවෙන ජාතික පත්තරයක් සසඳා බලන ලෙසත් මෙතුමා කීවේ ය.
ඉංග්‍රීසිය යළිත් රජවිය යුතුය යන අදහසක් මෙතුමා කීවේ නැත. සාමාන්‍ය ජනතාවගේ හැඟීම් ඇවිස්සීමට, විශේෂයෙන්ම විද්‍යුත් මාධ්‍යකරුවන්ට අවශ්‍ය අන්දමට ජනතාව හැසිරවීමට ජනතාව බහුතරයක් ව්‍යවහාර කරන බසින් හැකි බවත්, එය දෙවෙනි බසින් කළ නොහැකි බවත් පැහැදිලි කෙරිණි. මෙය සිංහල ජනතාවට සේම දෙමළ මුස්ලිම් ජනතාවටත් අදාළ යථාර්ථයක් බව මෙතුමා පැහැදිලි කළේ ය. මෙතුමාගේ කරුණු දැක්වීමේ දී පෙන්වා දුන් වැදගත් කරුණක් වන්නේ, තොරතුරු නිසි මාර්ග ඔස්සේ දැන නොගැනීම නිසා රටක දැන උගත් ජනතාව ද වගකීම් විරහිතව කටයුතු කරන බවයි. ඊට හොඳම නිදර්ශනය ගුරුවරු ඇතුළු රාජ්‍ය සේවකයන් යහ පාලන ආණ්ඩුව පරාද කිරීමට එක ලෙසින් එකතු වීමයි.
“යහපාලන ආණ්ඩුව වරද්දාගැනීම් කීපයක් කළා. ඒ වුණාට රාජ්‍ය සේවය – අධිකරණය, විශේෂයෙන් පොලීසිය ඉහළ තත්වයකට ඔසවන්න කරපු වැඩ කටයුතු ටික හරි වැදගත්. ජනාධිපතිත් නීතියට යටත් කෙරුණා. ඒවා ඉතා හොඳ වැඩ. ඒ වැඩ කටයුතු දැන ගන්න ඕනැ, තේරුම් ගන්න ඕනැ රටේ රාජ්‍ය සේවකයො. ඒ අයටනෙ හොඳ සාක්ෂරතාවක් තියෙන්නෙ. ඒත් අන්තිමයි තත්වය. රජයේ තනතුරු දරන මගෙ ඥාති ළමයි එක්ක කතා කළාම වැටහුණේ ඕපාදූප මිසක් තොරතුරු දැන ගැනීමේ පුරුද්දක් හෝ උවමනාවක් ඒ අයට නැති බවයි….”

මතක තබා ගැනීම සහ අමතක කිරීම
අපට කුඩා කාලයේ ගුරුවරුන් ඉගැන්වූයේ හොඳ දේවල් මතක තබා ගත යුතු බවත්, නරක දේවල් අමතක කළ යුතු බවත් ය. එහෙත් අප වයසින් වැඩෙන විට වටහා ගත්තේ හොඳ දේවල් මතක තබා ගත යුතු බවත් නරක දේවල් අමතක කිරීමෙන් පෙරළා අනර්ථයන් සිදු වෙන බවත් ය. ඒ දැනුම ලැබුණේ, ඊට ආලෝකය සැපයුණේ පතපොත කියවීම නිසා විය යුතු ය.
මෙහිදී කිව යුතු අනෙක් කාරණය නම් සිහිබුද්ධියෙන් -විචාර බුද්ධියෙන් වැඩ කළ යුතුය යන අවබෝධයක් පත පොත කියවීමෙන් උරුම වන බවයි. මනුෂ්‍ය සමාජයක යහපතට හා දියුණුවට බාධා ඇති කරන නොමනා- සාපරාධී දෘෂ්ටිවාද හිසින් බැහැර කළ යුතු බව අප වටහා ගත්තේ විචාර බුද්ධියෙන් කරුණු සලකා බැලීම ඔස්සේ ය. පොත පත තබා පත්තරවත් නොකියවන ජනතාවක් වැඩියෙන් සිටින රටක මොන විචාර බුද්ධියක් ද?
ලංකාවේ නූතන දේශපාලන ඉතිහාසය පිරික්සන විට හොඳින්ම පැහැදිලි වන කාරණය නම් ‘බලය’ අත්පත් කර ගැනීමට ‘ව්‍යාජ දේශප්‍රේමයක්’ බලසම්පන්න වන සැටි ය. රට, ජාතිය, ආගම හිසින් ගෙන ගෝඨාභය රාජපක්ෂ දිනවන්නට වැඩ කළ සංඝයා ඇතුළු විවිධ මට්ටම්වල පුද්ගලයන් අමතක කළ එක් කරුණක් වන්නේ ගෝඨාභය රාජපක්ෂ ලංකාවේ පුරවැසියෙකු නොවන වගයි. අනෙක නම් ‘දැලි පිහියෙන් කිරි කෑ හැකිය’ වැනි මුග්ධ සිතිවිල්ලකින් භික්ෂූන් මඬනා ලද බව ද ඇත්තකි. නූතන ඉතිහාසයේ කිසිවක් මතක නැති භික්ෂූහු හිට්ලර් කෙනෙකු වීමත් අනුමත කළෝ ය.
දේශපාලනික වූ ඝාතන- අතුරුදන් කිරීම් – මාධ්‍ය ආයතන විනාශ කර දැමීම්- තරුණ තරුණියන්ගේ නිදහස අහිමි කිරීම- නීතියේ ආධිපත්‍යයට වින කිරීම- මූල්‍ය අපරාධ යනාදි කරුණු රැසකට මුල් වූ පුද්ගලයෙකු ලෙසින් ගෝඨාභය රාජපක්ෂ චෝදනා ලැබී ය. සියලු චෝදනා වල දමා තිබුණා සේ ය. එහෙත් බල පෙරළියෙන් පසුව ඇතැම් චෝදනා විමර්ශනය කෙරිණි. අධිකරණයෙන් අධිචෝදනා පත්‍ර ද භාරදීම සිදු කෙරුණි. රටක බහුතර ජනතාවකට මේ සියල්ල අමතක කිරීමට පුළුවන් වීම කොතරම් හාස්‍යජනක ද? රටේ මහනායකහිමිවරුන් මේවා ගැන දැන නොසිටියේ ද?
මා ඉහතින් සඳහන් කළ මහාචාර්යතුමා මේ සම්බන්ධයෙන් කීවේ, ගෝඨාභය දිනවීමේ ක්‍රියාවලිය තුළ ‘හාස්‍යජනක’ කමක් නොව ‘අති භයානක’ තත්වයක් තිබුණ බව ය. ඒ භයානක කම නම් පියවි සිහියෙන් කටයුතු නොකිරීමය.
පොලීසියට හමුදාවට බඳවා ගැනීමේ සිට රජයේ උසස් තනතුරුවලට බඳවා ගැනීම දක්වා අතීතයේ පැවති සම්ප්‍රදායක් වූයේ අදාළ පුද්ගලයාගේ චරිතය ගැන සොයා බැලීමයි. ගම්වල ඊට කීවේ ‘පැටිකිරිය’ සොයා බැලීම ලෙසය. එය පසෙකින් තබමු. තරුණියක විවාහ කරදෙන විට මනමාලයාගේ චරිතවත් බව ගැන විමසිලිමත් වීම සිරිතක් වූ සේ ය. එපමණක් නොව මනාලියගේ චරිතවත් බව ගැනත් විමසිලිමත් වීම සිරිතක් වූ සේ ය. මනමාලයාට මිනී මැරීම් චෝදනා වී නම්, අපරාධ චෝදනා වී නම්, දූෂණ චෝදනා වී නම්, අපමණ නඩු හබ නම්, දියණියක විවාහ කර දෙන්නට දෙමාපියන් සතුටු වූයේ නැත. එහෙත් ආදර සම්බන්ධතා ඇති වීම පොදු තත්වයක් බවට පරිවර්තනය වීම සමඟින් මොන බරපතළ කාරණා හෝ අමතක කර දමන පසුබිමක් නිර්මාණය විය. මට හිතෙන්නේ මෙහි නරකම බලපෑම තිබෙන්නේ විවාහයටත් වඩා දේශපාලනයට බවයි. දේශපාලනයේ දී චරිතවත් බව අද අදාළම නැත. සියලු නොපනත්කම් කරන තරමට දේශපාලන බලය සන්තක කර ගැනීමට ‘කීර්තියක්’ ලැබෙන සොබාවයකි අද තිබෙන්නේ.
අද වන විට සංඝයාවහන්සේලා ඇතුළු ගෝඨාභය රාජපක්ෂ දිනවීමට කැපවුණ උදවියගෙන් බහුතරය අපේක්ෂා භංගයට පත්ව, උද්දාමයට පත්වුණ ජයග්‍රහණය තුළ කෑකෑරෙන පරාජය පසක් කරගෙන නන්නත්තාරව සිටින තත්වයකි තිබෙන්නේ. මේ වූ කලී පියවි සිහියෙන් කටයුතු නොකිරීමේ ප්‍රතිඵලයයි.
සිර දඬුවම් ලබන්නට නියමිත පුද්ගලයෙකුට ඉන් බේරෙන්නට fදාර හැර දුන්නා පමණක් නොව, හිරගෙදර යතුර ද ඔහු අතට දෙන්නට රටක බහුතර ජනතාවක් පෙළඹුණේ අවිචාරවත් අන්දමට බව දැන් හෝ නිසි ලෙසින් පසක් කරගෙන තිබේ ද?
දේශපාලන බලය නම් කාරණාවේ දී මතක තබා ගත යුතු දේ සේම අමතක නොකළ යුතු දේ ද ඇති බව ජනතාවට වටහා දෙන්නට ආගමික නායකයන් හෝ නොවූ රටක් බවට ලංකාව පත් වූයේ කෙසේ ද?

වෙස් මුහුණ සහ සැබෑ මුහුණ
ගැමි නාට්‍ය රඟ දැක්වීමේ දී, විශේෂයෙන් කෝළම් නැටීමේ දී ‘වෙස් මුහුණු’ පැළඳ ගැනීම නැටුමේ අලංකාරය සදඟා හේතු විය. නාට්‍ය කලාව දියුණු වීම සමඟින් වෙස් මුහුණ වෙනුවට නළු නිළියන්ගේ සැබෑ මුහුණුය කරළිය මතින් පෙන්වා සිටියේ. එනමුත් අදත් වෙස්මුහුණක් භාවිත කරමින් රංගනයක යෙදීම ඉඳහිට සිදු වේ. දයානන්ද ගුණවර්ධනගේ ‘මධුර ජවනිකා’ නාට්‍යයේ ‘මුහුණු දෙකේ කෝළම’ නමින් අලංකාර ජවනිකාවක් ඇත.
රාජ්‍ය බලය වෙනුවෙන් ඉදිරියට පැමිණෙන නායකයෙකු වෙස් මුහුණක් පැළඳගන්නේ ද? වෙස්මුහුණ බලය අත්පත් කර ගත් පසු ඉවතට දමන්නේ ද? නැතිනම් අවශ්‍ය අවස්ථාවේ යළි පැළඳ ගැනීමට පරිස්සම් කර ගන්නේ ද?
ලංකාවේ දේශපාලන බලය උරුම කර ගත් මෑත කාලීන නායකයන් ජනතාව ඉදිරියේ පෙනී සිටියේ ‘සුදු ජාතික ඇඳුමකින්’ සැරසී ය. සියලු රාජපක්ෂවරුන් සුදු ජාතික ඇඳූමෙන් දේශපාලන රඟ මඬලේ රැඟුම් දැක්වීමට එන සන්දර්භයක ගෝඨාභය රාජපක්ෂට ජාතික ඇඳුම අදින්නට නොහැකි විය. හේතු කීපයක් තිබේ. ඔහු දේශපාලන වැඩ බිමට අවතීර්ණ වන්නේ රජයේ නිලධාරියෙකුගේ වේශයෙනි. එබැවින් යුරෝපීය ඇඳුම ඇමෙරිකානු පුරවැසියෙකු ලෙස ආරක්ෂක ලේකම් පදවිය දැරීමට ද උචිත විය. නිලධාරි භූමිකාවෙන් ජනාධිපත් භූමිකාවට මාරු වෙන විට යුරෝපීය ඇඳුම ‘මාර්කටින්’ කටයුත්තේ දී එහි ඔස්තාර්ලාට ප්‍රශ්නයක් විය. ඒ සම්බන්ධ ඕපා දූපයක් ද ඇත. ජාතික ඇඳූම අන්දවා – කුරහන් සාටකය ද දමා රිහසල් කීපයක් කර ඇත. ඒ වෙස් ගැන්වීම ප්‍රධාන භූමිකාවට නොව බම්මන්නාගේ භූමිකාවටවත් හරි නැති බව ඔස්තාර්ලා වහාම තීරණය කර ඇත.
සිස්ටම් චේන්ජ් කරන්නට පැමිණෙන පුද්ගලයා අන් කිසි කෙනෙකුට සම විය යුතු නැත. ජාතික ඇඳුම – කපටි සූට් – යුරෝපීය ඇඳූම යන කෝකටත් වඩා අලුත්ම බඩුවක් මාර්කටින් කරන්නට අත් කොට කමිසය ගැළපුණි. ප්‍රතිවාදියා ද අඳින්නේ අත්කොට කමිසය නිසා එයත් වැදගත් විය.
සිස්ටම් චේන්ජ් එකට කැපවුණ මාධ්‍ය ආයතනයක සේවය කරන පුද්ගලයෙක් අපූරු කතාවක් කීවේ ය.
“අපේ ඉස්කෝලෙ ප්‍රින්සිපල් ටයි කෝට් ඇඳලා ඉස්කෝලෙ ඇවිදින කොට අපට මාර බයක් වගේම ගතියක් තිබුණා. සුද්දගෙ ඇඳුම අඳින්න අපිත් බලා හිටිය නිසා වෙන්ඩැති. අපි උසස් පෙළ කරන කොට ආවා බඩුවක්, අත් කොට කමිසෙකුයි කලිසමකුයි ඇදගෙන. කංජයියා වගේ. අපේ ගණං මැඩම් තමයි ‘පිනා’ කියන වචනෙටම හරියටම හරි කියලා අපට කිව්වෙ.”
රජු ලෙසින් වෙස් වළා ගෙන රඟ මඬලට එන නළුවා මැනවින් ලියවුණ පිටපතක චරිතය ප්‍රේක්ෂකයන් ඉදිරියේ රඟපායි. එහෙත් ඒ වෙස් දරාගෙනම මහ මග ඇවිදින විට විකාරයක් ම වන්නේය. මෙයින් කියන්නේ ‘වෙස් ගත් පමණින්’ චරිතයක් උරුම නොවන බවයි.
අපි කුඩා කලේ නරඹපු ටීටර් එකක ජවනිකාවක් සිහි වේ. රජුගේ චරිතය නිරූපණය කළේ ආරෝහ පරිණාහ දේහයකින් හෙබි පුද්ගලයෙකි. ඔහු ගමේ මේසන් බාස් උන්නැහේය. නම සිරිල් ය. රඟපෑමට ගැම්ම ගන්නට රත්වෙන්න දෙක තුනක් දා ගන්නා බව ද අප අසා තිබේ. එක අවස්ථාවක රජ සිහසුනේ ය. රාජ පුරුෂයෙකු පැමිණ මෙසේ කියයි.
“පස්වාන් දහසකට බුදු වන්ඩ මහ රාජෝත්තමයාණෙනි. මාලිගාව වටේම සතුරන්”
රත්වීමේ සීමාව පැන සිටි රජතුමා ඔටුන්න විසි කරමින් සිහසුනට පයින් ගසා නැගිටින්නේ,
“ගනින් වේ…. පුතෝ මගෙ කඩුව මං සේරම කැති ගානවා…”
නියම නාට්‍ය රසයකි මතු වුණේ.
අපේ අම්මා කීවේ සිරිල්ට හොඳටම තරහා ගියා කියා ය. තාත්තා කිව්වේ පදම වැරදිලා බවයි.
අපි වේදිකාව මත ඔටුන්න නැතිව සිටින ඇත්තම සිරිල් බාස් දුටුවෙමු.
‘ඇත්ත තවදා නමුත් හෙළි වේ’ යන්න පොත පතෙන් අප උගත් දෙයකි.

භීතිය හා තර්ජනය
බලය අහිමි වෙන්නට ඉඩ තිබෙන බව වැටහෙන විට බලයේ රස නොමඳව විඳින කෙනෙක් කලබල වේ. අසරණ වේ. සිහි විකල් වේ. හේතුව ‘භීතිය’ යි. බලය අතට ගෙන සියලු චෝදනාවලින් නිදහස් වී සිටිය ද, බලය ගිලිහුණ විට අත්වන ඉරණම කුමක් විය හැකි ද? එය අවිනිශ්චිතය.
මහින්ද රාජපක්ෂ හෝඩියේ සිටම දේශපාලනය කළ කෙනෙකු බැවින් පරදින බව දැනුණ විටත් කටයුතු කළේ ජයග්‍රාහී මානසිකත්වයකිනි. ඒ දේශපාලන නායකයෙකු තුළ තිබිය යුතු චරිත ලක්ෂණයකි. සැබවින්ම පැරදුණ විට ඔහු කළේ කුමක් ද? කෙසේ හෝ බලය යළි අත්කර ගැනීමට දේශපාලනය කිරීමය.
කිසි දවසක දේශපාලනය කර නැති ¤ ජන විඥානය ගැන මෙලෝ හැඟීමක් නැති- ප්‍රචාරණ සමාගමක් විසින් රටට අලෙවි කළ පුද්ගලයෙකු උපරිම බලය අත මිට මොලවා ගත්ත ද රාජ්‍ය පාලනය ඔහුට අපංභ්‍රංසයක් නම් නන්නත්තාර වීම අනිවාර්ය වේ.
බලය අහිමි වේය යන හැඟීමෙන් මඬනා ලද රජෙකු වුව සුව යහනක දිගා වුව නින්දක් කොයින් ද?
අලුත්ම රටක් හදන්නට ප්‍රතිඥා දුන් නායකයෙකුට කිසිවක්ම කර ගන්නට බැරිවීම එක පැත්තකින් දරා ගන්නට අපහසු පීඩනයක් වී තිබේ. නායකයා ගැන අහස උසට අපේක්ෂා දල්වා ගත් ජනතාවගේ අපේක්ෂාභංගත්වය දිනෙන් දින ඉහළට මතුවෙන වග ද දකින්නට තිබේ. තවත් පැත්තකින් පෙනෙන්නේ ඔහු බලයට පත් කිරීමට කැපවුණ උදවිය රට නැත්තටම නැති කරන කටයුතු ය. ඒවා සාධාරණීකරණය කරන්නට සිදු ව ඇත. යථාර්ථය තේරුම් ගැනීමට අසමත් පමණක් නොව උවමනාවක් ද නැත.
දිනේෂ් ගුණවර්ධනගෙන් ගණිතය ඉගෙනගෙන ජනාධිපතිවරයා තමාගේ සමත් බවට තමාම ශබ්ද ඝෝෂා නංවමින් තර්ජනය කරන්නේ අවසිහියෙන් මෙනි. මේ තර්ජනය මුළු රටටම බව ජනතාව පියවි සිහියෙන් වටහා නොගතහොත් රටම අමු සොහොනක් විය හැකි ය.■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි