21 C
Sri Lanka
21 September,2021

නාස්තිය පිටුදැකීම දේශපාලන උගුලක් නොවේ

Must read

■ නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

සුළඟටත් බදු ගසා රට ගොඩ දැමීමේ කතිකාව යනු නාස්තිය පිටු දැක රට ගොඩ නගන පලදායි ප්‍රවේශයකි. නිදහස් අධ්‍යාපනය පූජනීය ලෙස කල්පනා කරන විශ්‍රාමික පරිපාලන නිලධාරියෙකු ඇසුවේ අධ්‍යාපනයට කරන වැය බර නාස්තියක්ද කියාය.
නිදහස් අධ්‍යාපනය යනු අදට දේශපාලන පන්දුවක් පමණකි. එහි නිර්මාතෘන් අපේක්‍ෂා කළ අරමුණු කිසිවක් ඒ තුළ නැත. පහේ ශිෂ්‍යත්වලාභීන්ගේ ලකුණු අනුව පාසල් නම් කරමින්, ඉසුරුපායෙන් ප්‍රසිද්ධ කරන, ලැයිස්තුවේ මධ්‍ය විද්‍යාලයක නමක් ලියැවෙන්නේ කීවෙනි ස්ථානයටද? 1963 උපකෘත පාසල් රජයට ගැනීම නිසා, සෙන් ජෝසප්, සෙන් තෝමසස් ඉස්මතු වී නිදහස් අධ්‍යාපන සන්නාමය ලෙස සැලකුණ මධ්‍ය විද්‍යාල පද්ධතිය බිඳ වැටිණ. මේ වෙනස්කම් සිදුවූ කාලයේ රාජ්‍ය සේවය මෙහෙයවූ බහුතරය නිදහස් අධ්‍යාපනයෙන් හැදී වැඩී ලොකු මහත්වූ පරම්පරාවේ සාමාජිකයෝය. ඒ කිසිවෙකු තම පදනම වෙනුවෙන් පෙනී සිටියේ නැත.
පාඨලී චම්පිකගේ 43 සේනාංකය යනු නිදහස් අධ්‍යාපන චින්තනයට මුවාවී ගොඩ යාමට වෙර දරන ස්වාර්ථය හා බල තණ්හාව මුසුවූ තවත් හුදෙකලා උප්පරවැට්ටියකි. 43 බිහි කළ චින්තනය අදටත් සක්‍රිය නම්, රාජ්‍ය සේවය මේ තරමට දූෂණය වෙන්නේ නැත. පස්දුන් කෝරළවාසී, බහුතර ගැමි ජනතාව සී.ඩබ්.ඩබ්. කන්නන්ගර වෙනුවට ඉඩම් හිමි ඉහළ මධ්‍ය පන්තික විල්මට් පෙරේරා තෝරාගත්හ. ජනතාව ප්‍රතික්‍ෂේප කළ නිදහස් අධ්‍යාපනයේ පියා අවසන් කාලයේ ජිවත්වුණේ රජයේ ආධාර මුදලකිනි. දඹුල්ලේ ගමක මිනිස්සු 1970 එජාපය පරාද කළ ජොලියෙන් එජාප ආණ්ඩුව ඉදිකළ පූට්ටු පාලමක් කඩා දැමූහ. රාජ්‍ය සේවා ඉතිහාසයේ එක්වර වැඩිම වැටුප් වැඩිවීම සිදු කළ යහපාලන ආණ්ඩුව ගෙදර යැවීමට ඒ රාජ්‍ය සේවයම මුල් විය. මෙසේ රටේ ජනතාව දේශපාලනිකව ත්‍රිල්වාදීව හැසිරීම ගැඹුරෙන් විමසිය යුතුවේ. ප්‍රතිලාභ නිසා, දේශපාලකයන්ට හිස නොනැමීමට මෙන්ම, ලැබෙන සේවා සහ ප්‍රතිලාභ, දේශපාලන උන්මාදයෙන් අවතක්සේරු නොකිරීමටද ජනතාව දැනුවත් කළ යුතුවේ. ඉන්දීය ගිලන් රථ සේවය හෙළා දුටු රජයේ වෛද්‍ය නිලධාරී සංගමය තුළින්ද මේ මන්දබුද්ධික හැසිරිම දැකිය හැකිය. ඔවුන් විෂ මිශ්‍ර පොල් තෙල් ගැටලුවේදී රකින නිහඬතාව දේශපාලනික වැඳවැටීමකි.
ලංකාවේ යම් දේශපාලන තාර්කිකභාවයක් දැකිය හැක්කේ මධ්‍ය පන්තික සමාජය තුළිනි. එකී නිරීක්‍ෂණයද මු`ථමනින්ම නිවැරදි නැත. හේතුව ගතික තත්වය කෙරෙහි කලකිරිමෙන් ඡන්දය භාවිත නොකිරීමේ භාවිතයක් මධ්‍යම පන්තිකයන් තුළ පවත්නා හෙයිනි. තාවකාලික වාසියට ඡන්ද පොළට යන සමාන්‍ය ජනතාව වසර පහකට පසුව, තවත් හොරුන් පිරිසකට බලය දී වැටුණ තැනම ලැග සිටිනවා මිස, රටේ පරිහානිය ගැන විමසිලිමත් නොවේ. දිගු කලක් පැවති මේ තත්වය නිසා, ජනතාව තුළ දිළිඳු මානසිකත්වයක් ඇති කොට රජයේ සල්ලි බෙදීම අඛණ්ඩව සිදුවේ.
ගිය සතියේ ලිපියෙන් සඳහන් අඛිල උත්තර නම් යව්වනයාගේ මැදිහත්වීම, සුවිශේෂ හැසිරීමකි. ගෙවුණ යහපාලන කාලයේ ලංකාවේ හැම පුරවැසියෙකුටම ආදායම් බදු ලිපි ගොනුවක් විවෘත කිරීම පිළිබඳ කතිකාවක් මාධ්‍ය වාර්තා කළේය. ඒ වහාම රාජපක්‍ෂවාදී පරපෝෂිතයෝ ඊට බරපතළ විවේචන එල්ල කළහ. ආදායම් ලිපි ගොනුවක් යනු බදු ගැසීම පිළිබඳ එන්තරවාසියක් හෝ වරෙන්තුවක් නොවේ. යම් පමණකට පුද්ගල ආර්ථිකය අධ්‍යයනය කිරීමකි. එවැනි විධිවිධානයක් සැකසීම අපහසු නැත. එහෙත් කිසි විටෙක රාජපක්‍ෂ පාලනයෙන් එවැනි කාර්යයක් අපේක්‍ෂා කළ නොහැකිය. හේතුව තම හෙංචයියන් ලවා ගම්වල සමෘද්ධි ලැයිස්තු පිළියෙල කිරීමේ වාසිය අහිමි වන හෙයිනි. වර්තමානයේ ආධාරලාභී ලැයිස්තුව යනු, දුප්පත්කම විනිවිද දැකිය හැකි සමීක්‍ෂණයක් නොවේ. සියයට සියයක්ම දේශපාලන හිතවාදි සටහනකි. විශ්‍රාමික විගණකාධිපති ගාමිණි විජේරත්න අනුව, බිලියන පහක දෛනික රාජ්‍ය ආදායම නාස්ති වන අවස්ථා මේවාය.
නිදහස් අධ්‍යාපනයට කරන ආයෝජනය සමෘද්ධි දීමනාව මෙන් තවත් රටේ ධනය නාස්තියකි. ලංකාවේ උසස් පෙළ පන්ති පැවැත්වෙන පාසල් ගණන 100ක් නම් එයින් පාසල් 83ක උසස් පෙළ පන්තිවල සිසු දරුවෝ පුද්ගලික උපකාරක පන්ති කෙරෙහි විශ්වාසය තබති. ඊට හේතුව ගුරු හිඟය, සම්පත් සහ පහසුකම් ඌනතාව නොවේ. දරුවන් උපකාර පන්තිවලට යැවීමේ සමාජගත මානසික රෝගයයි. ඉතිරි පාසල් 17 පිළිබඳ කතිකාව පසෙක තබා සම්පත් හිඟයෙන් වැසී යන ගම්බද පාසල් වෙත යොමු විය යුතුවේ. බෙහෙත් සීට්ටුවක් කියවා ගන්නා තරමක අහිංසක සාක්‍ෂරතාවක් අපේක්‍ෂිත සමෘද්ධි පන්තියේ දිළිඳු පවුල්වල දරුවන්ගේ ඉරණම කුමක්ද?
අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ පවත්නා මේ අර්බුදයට හේතුව මුදල් හෝ සම්පත් නැතිකම නොවේ. ජාතික ප්‍රතිපත්තියක් හෝ නිසි කළමනාකාරිත්වයක් නැතිකමය. එසේ කියන්නේ ඇයි? ඉහතින් දැක්වුණ උසස් පෙළ පන්ති පැවැත්වෙන පාසල් 83න් බහුතරය, අවශ්‍ය සම්පත්වලින් ආඪ්‍ය පාසල් නාගරික හෝ අර්ධ නාගරික වෙයි. විවිධ හේතු නිසා, සමහරක් පාසල් ඇති හැකි අයගේ කරුණාවට අවධානයට නිරන්තරව ලක්වේ. හෝ බලපුළුවන්කාරයන් හරහා රාජ්‍ය සම්පත් සැපයෙයි. විශේෂයෙන් මෙවැනි පාසල්වල ගුරු අතිරික්තයක් මිස, හිඟයක් ඇත්තේම නැත. පවත්නා සු`ථ අඩුපාඩුකම් වුවද, විවිධ අංශ හරහා සමාලෝචනය වෙමින් නිතර සම්පූර්ණ වේ. පරිත්‍යාගශීලින් නිතර යටිතල පහසුකම් සපයමින් සිටිති. පාසලට ඇතුළත් කර ගන්නා දරුවන්ගේ භාරකාරයන් පාසල් සංවර්ධන සමිතිවලට ලක්‍ෂ ගණන් මුදල් පරිත්‍යාග කළ යුතුවේ.
මහනුවර මහාමායා බාලිකා විදුහලේ අඩි සියයක් පමණ උස ඇති පළලින් අඩි හත් අටසීයක් වන පැති බැම්ම ඉදිකළේ මහනුවර නියෝජ්‍ය පොලිස්පති බෝධි ලියනගේ පාසල් සංවර්ධන සමිතියේ සාමාජිකයෙකුව ලබාදුන් සහායෙනි. ඉහත කී පාසල් 83න් බහුතරයක්, දෙමාපිය සහභාගිත්වයෙන් පෝෂණය වේ. එවැනි තැනක නිදහස් අධ්‍යාපන ප්‍රතිලාභ නාස්ති වෙනවා නොවේද? අධිපෝෂිත පාසලක උපගුරුවරයෙකු ගම්බද මහා විද්‍යාලයක ශ්‍රේණිධාරි විදුහල්පතිවරයෙකුට වඩා සමාජ වටිනාකමෙන් ශක්තිමත්ය. හේතුව ධනවත් දරුවන් යන පාසල් ඉබේම ඉහළ පැලැන්තියක් ලෙස බුහුමන් ලැබීමය. සුපිරි පාසල්වල ගුරුවරුන් ඈත පාසල්වලට මාරු නොකිරීමත් යම් යම් හේතු මත ගම්බද පාසල්වල ගුරුවරුන් මෙවැනි පාසලකට ස්ථාන මාරු ලැබිමත් නිසා, ගම්බද පාසල් පද්ධතිය බිඳවැටේ. මෙය එකම කාසියක දෙපැත්තකි. අධ්‍යාපනයට වෙන් කරන සම්පත් බහුතරය නාස්තිවේ. මෙය නතර කිරීමට සිංගප්පූරු මොඩලය තේරුම් ගත යුතුවේ.
සමෘද්ධිය හෝ ගමේ පාසල් බලගැන්වීම යන තේරීම් දෙකින් එකක් තෝරා ගැනීමේ කතිකාවට දිළින්දන් රටේ සිටිති යන සිහිනයක සැරිසරන කිසිදු දේශපාලනඥයෙකු කැමති නොවනු ඇත. හේතුව, ගමේ මිනිස්සු සමෘද්ධි එපා කීවොත්, පෝස්ටර් ගැසීමට හෝ බත් පාර්සලයට ඡන්ද ලබාදෙන පිරිස් අහිමි වන නිසාය. ලංකාවේ දේශපාලකයන්ගේ හිඟන ලැයිස්තුවේ ලියැවුණ සිංහල බෞද්ධයෝ ගමේ පන්සල, වෙසක් දන්සල නඩත්තු කරති. ආත්ම මානයෙන් ජීවත්වෙති. සියල්ල කෙලවර මිනි මරා එල්ලුම් ගස් ගිය එකා ඡන්ද අපේක්‍ෂකයෙකුවූ වූ විට වීරයෙකු කරන ලද්දේ මේ හිඟන ආකල්පය විසිනි. කලකට පෙර නීතියෙන් දඬුවම් විඳි එකෙකුගේ හතර වරිගයේ එකෙකුට ආණ්ඩුවේ රස්සාවක් ලැබුණේ නැත.
විශ්‍රාමික විගණකාධිපති ගාමිණි විජේරත්න කියන නාස්තියට අධ්‍යාපන වියදම්ද ඇතුළත් කළ යුතුවේ. උක්ත පාසල් 83හි ගොඩ ගැසූ සම්පත් නාස්තියකි. එකී 83 කාණ්ඩයේ පාසල්වලට ගුරුවරුන්ද සිටියත්, නැතත්, එයින් රටේ අධ්‍යාපනයට, ශිෂ්‍ය ප්‍රජාවට සිදුවන හානියක් නැත. නුවුවමනා ස්ථානයන්ට සම්පත් ස්ථානගත කිරීමෙන් ගම්බද පාසල් වැසීයාමෙන් රටේ දරුවන් පිරිසකට අධ්‍යාපනය ලැබීමට ඇති ඉඩකඩ අහිමිවේ. එය අනවශ්‍ය පිරිසකට සමෘද්ධි සහන ලබාදීම වැනි නාස්තියකි. දේශපාලන අරමුණු මත සමෘද්ධි ලැයිස්තු පිළියෙල වීමත් 83 කාණ්ඩයේ පාසල් පොදු අරමුදලින් ශක්තිමත් කිරීමත් යන දෙකම නාස්තියකි. මේ දෙතැනම පවත්නා නාස්තිය නතර කළ හැකිය. මුදල් වැය කිරීමේදී අන්තිම සතය තෙක් එකී පලදායිතාවක් අපේක්‍ෂා කළ යුතුවේ. ඊට බාධා කරන්නේ දේශපාලනඥයාය. ලී ක්වාන් යූ දර්ශනය අනුව, රට ගොඩ දැමීමට නම්, උක්ත පාසල් 83ට සැපයුන පහසුකම් ගමට බෙදිය යුතුවේ. එහෙම කරන්නට මධ්‍යම පන්තික චින්තනය ශක්ති කිරීමට හැකියාව ඇති ව්‍යාපාරය කුමක්ද? ජාතිමාමකත්වය, දේශ වාත්සල්‍යය කියන්නේ පපුවට තඩි බාගැනීම හෝ ආබාධිත රණවිරුවන් පාරට බැස්සීම හෝ තැන නොතැන චෛත්‍ය ඉදිකිරීම නොවේ. ලී ක්වාන් යූ දර්ශනය තේරුම් ගැනීම, රාජපක්‍ෂලාට කැලෑ කැපීමට, අධිකරණ තීන්දු වෙනස් කර පල්හොරුන් මිනිමරුවන් නිදහස් කිරිමට, ඉඩදී බලා සිටිනවාට වඩා පින්කමකි. නිදහස් අධ්‍යාපනය යනු නැතිබැරි ජනතාව නගාසිටුවූ චින්තනයකි. ඒ චින්තනය අදට ගැළපිය යුතුවේ. එදාත් ශිෂ්‍යත්වලාභී ඇති හැකි පවුල්වල දරුවන්ගෙන් නේවාසික මුදල් අය කළහ. පින් පඩියකින් ජීවත්වූ තඹුත්තේගම වැන්දඹු මවකගේ දරුවෙකු දිසාපතිවරයෙකු තෙක් ගෙන ගියේද නිදහස් අධ්‍යාපනය විසිනි. අද එවැනි ගම්වල පාසල් සම්පත් හිඟයෙන් වැසී යමින් පවතී.
පවත්නා බොරුව යථාවාදීව හඳුනාගෙන ඊට අනුගතව රටේ සම්පත් යෙදවිය යුතුවේ. මේ කළ හැකි දෙයක්දැයි කෙනෙකුට ඇසිය හැකිය. එය ඉතා සරලය. නාස්තිය යන්න තේරුම් ගැනීම පමණක් ඊට ප්‍රමාණවත්ය. බුලත් විටකට රුපියල් පනහක් වැය කරන ගැමි සමාජයේ සමෘද්ධි පවුලකට මාසයක් ජීවත්වීමට බෙදන රුපියල් එක් දහස් පන්සීය යනු බුලත් විටි 30ක පිරිවැයකි. රට නගා සිටුවිය හැක්කේ බිඳවැටෙන රුපියල් බෙදීමෙන් නොවේ. ශක්තිමත් දැක්මකිනි. මා`ථවෙක් වෙනුවට, බිලි පිත්ත බැගින් දුන් විට, ඔවුහු යමක් උපයා ජිවත්වීමට හුරුවෙති. ඒ ඉපැයීම රටට බොහෝ දේ හිමිකර දෙනු ඇත. එය තරමක් කටුක විය හැකිය. එහෙත් පලදායි අලුත් ගමනකි.
පසුගිය සතියේ ලිපිය ලියැවූ සමගි ජන බලවේගයේ මහනුවර ආසන සංවිධායකයෙක් මා ඇමතීය.
“ඔය විදියට සජිත් විවේචනය කිරීමෙන් ආණ්ඩුවට ආරක්‍ෂාවක් ලැබෙනවා. ඒක කරන්න එපා.” ඔහු කතා කළේ බෙහෙවින් සුහදවය.
“ලී ක්වාන් යූ ලිපියෙන් කතා කරන්නේ රටේ දේශපාලනය නොවේ. ආර්ථිකය සහ ප්‍රතිපත්ති ගැන. එහෙම අවස්ථාවක විපක්‍ෂය බේරලා ආණ්ඩුව ගස් බඳින්න බැහැ. හරි කුමක්ද මිස හරි කවුද කියලා දෙයක් නැහැ. මේ ලිපියේ සජිත් විවේචනය වෙන්නේ එයාගේ දේශපාලන දර්ශනයත් දිළින්දන් හඳුනාගෙන සල්ලි බෙදලා මිනිසුන් රවටා බලය ලබා ගැනීම නිසා. රාජපක්‍ෂලා පන්දාහයි කියන කොට, නෑ විසිපන්දාහක් යයි කියන සජිත් යනු තවත් නාස්තියකි. ඒ නිසා රටට ඔබින අලුත් දැක්මක් පෙළගැසෙන තෙක් රාජපක්‍ෂලාම රට පාලනය කෙරුවාවේ කියලාත් ලිපියේ එළිපිටම ලියලාත් තියෙනවා. එතන හොරයක් නැහැ. ඉඟුරු දීලා මිරිස් ගන්න අවශ්‍ය නැහැ. උඩරට ගිවිසුම පාවා දීමක් ලෙස විග්‍රහ කෙරෙනවා. මේ සිදුවන්නෙත් ගිවිසුම් හරහා ටික ටික මාතෘභූමිය විදේශයන්ට විකිණීම හෝ පාවාදීමයි.”
මේ සාකච්ඡාව අතර, ඉහත කී සජබ සංවිධායක තවත් දෙයක් කීය.
“සජිත් සැලසුම් කරලා තියෙන්නේ බලය ලැබුණාම, සමෘද්ධි දෙන අතර, පොන්සේකාට නීතිය සාමය ඇමතිකම දීලා වංචා දූෂණ සොරකම් නතර කරන්න. එවිට නාස්තිය අඩුවෙනවා.”
අපූරු ප්‍රතිපත්තියකි. ජාතික ආදායමෙන් 25%ක පමණ ප්‍රමාණයක් දූෂණ වංචා නිසා අහිමි වන බවට අනුමාන කරති. එය නතර කළ හැකිද? ප්‍රශ්නය ඇත්තේ එතැනය. කොළේ කන්නේ කොළේම යන හරකුන් විසිනි. වසරකට පාර්ලිමේන්තුවේ කෑම සඳහා වැයවන කෝටි 12ක මුදල නාස්තියක් නොවන්නේද? පානීය ජලය සඳහා ලක්‍ෂ 90කි. ලංකාවේ නාස්තිය අඩු කර රට ගොඩ නැගීමට සජිත්-පොන්සේකා දෙදෙනාට තම පාර්ලිමේන්තු කණ්ඩායමේ සහායවත් ලබාගත හැකිද? සජබ සංවිධායකයා විශ්වාසය තබන, සජිත්-පොන්සේකා දෙදෙනාට 20 වෙනි සංශෝධනයට අවශ්‍ය තුනෙන් දෙක සඳහා තම පිලේ මන්ත්‍රීන්ගේ සහාය ලබාදීම නතර කරගත නොහැකි වුණා නම් තවත් කුමන කතාද?
අකමැත්තෙන් හෝ දුලාංජලී ප්‍රේමදාසගේ නම ගෑවුණ හොර සල්ලි සෝලිය සිහිපත් කළ යුතුවේ. එහි අන්තර්ගතය අප නිතර කතා කරන දෙපිලට බෙදී ජනතාව අන්දවමින් සිය මඩිය තර කර ගන්නා දූෂිතයන් පිළිබඳ කතාවකි. රටේ ප්‍රශ්නය ඔවුන් මිස ජනතාව නොවේ. ඒ සියල්ලට අමතරව පොන්සේකා යනු අද දවසට මතයක් නොවේ. මතකයක් පමණකි. කිසිදු නායකයෙකු පොන්සේකාට නීතිය හා සාමය හෝ ආරක්‍ෂක වගකීමක් භාර දෙන්නේ නැත. ■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි