22.4 C
Sri Lanka
30 November,2021

දියසේන කුමාරයා සම්ප්‍රාප්ත වන්නේ කවදාද?

Must read

■ එම්.ඩී. මහින්දපාල

පසුගිය ජනාධිපතිවරණයේදී 69 ලක්ෂයක ජනතාවගේ ආශීර්වාදයෙන් මෙරට දේශපාලන බලය හිමිකරගත් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන් අනතුරුව පැවැති මහා මැතිවරණයේදී තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයද හිමිකරගත්තා පමණක් නොව 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා අසීමිත බලතල සහිත පාලකයෙකු බවටද පත්විය. ඒ අනුව ජනාධිපතිවරයාටත් ඔහු නායකත්වය දරන රජයටත් තවදුරටත් බලය පිළිබඳ මැසිවිලි නැඟීමට කිසිදු හේතුවක් තිබිය නොහැකි බව පැහැදිලි වේ. කෙසේ වුවත් සිය ධුර කාලයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් සපුරා ඇති ඔහුගේ වත්මන් පාලනය මේ වන විට පොදු මහජනතාවගේ මෙන්ම විපක්ෂ දේශපාලන ප්‍රවාහයන්ගේද දැඩි විවේචනයට හසුවී ඇති ආකාරය පැහැදිලි ලෙසම පෙනේ. තැන තැන නිරතුරුවම විවිධාකාරයේ උද්ඝෝෂණ දැකිය හැකි අතර මෙයට පෙර එවැනි උද්ඝෝෂණවල නිතර දැකගත නොහැකිවූ ගොවි ජනතාව හා ගුරුවරුන් වැනි කොටස් ද ඒවායේ පෙරමුණ ගෙන සිටින බව දැකගැනීමට ලැබේ. සැම පැත්තකින්ම ඇසීමට ලැබෙන්නේ අඳෝනාවන්ය. රජයට එරෙහි දැඩි විවේචන එල්ල කරන කොටස් අතර පෙරමුණ ගෙන සිටින්නේ සමාජ මාධ්‍ය ජාල හා ජනතා විමුක්ති පෙරමුණ වැනි දේශපාලන ව්‍යාපාරයන්ය. මෙතරම් බලසම්පන්න රජයක් සිය ධුර කාලයෙන් අඩක්වත් ගතවීමට ද මත්තෙන් මෙතරම් අප්‍රසාදයකට පත්වීම ඇදහිය නොහැකි තත්වයක් බැව් බොහෝ දෙනාගේ පිළිගැනීමයි. මෙකී ශීඝ්‍ර පිරිහීමට මුල්වූ ප්‍රබල හේතුවක් ලෙස ඉදිරිපත් වන්නේ රජය බලයට පත්වීමත් සමඟම ලොව පුරා පැතිරගිය කොරෝනා වසංගතයයි. එම තර්කයේ යම් සත්‍යතාවක් ඇතැයි හැඟෙන මුත් කොරෝනා වසංගතය සිදුකොට ඇත්තේ මෙරට නිදහස ලැබීමෙන් පසු බලයට පත් සෑම රජයක් යටතේම සිදුවූ රටේ පරිහානිය වඩාත් ඉක්මන් වීම යැයි අපට සිතේ.


ඇත්ත වශයෙන්ම අප රටේ වත්මන් දේශපාලන පක්ෂ කිසිවකටත් රට ඉදිරියට ගෙනයාම සඳහා වූ ශක්තිමත්, තිරසාර වැඩ පිළිවෙළක් ඇතිදැයි යන්න පිළිබඳව ජනතාව තුළ කිසිදු විශ්වාසයක් ඇති බවක් නොපෙනේ. එදිනෙදා හමුවන බොහෝ පිරිස් මීළඟ මැතිවරණයකදී ඡන්දය ප්‍රකාශ කිරීමට පවා මැලිකමක් දක්වන බව ඔවුනගේ කථාබහ තුළින් පැහැදිලි වේ. මෙය අතිශයින් භයානක තත්වයක් බව දේශපාලන විශ්ලේෂකයන්ගේ පිළිගැනීමයි. මැතිවරණ ව්‍යාපාරයකදී සෑම පක්ෂයක් විසින්ම ඉදිරිපත් කරනු ලබන ප්‍රතිපත්ති ප්‍රකාශනයන් ඡන්ද දායකයා රැවටීම පිණිස ගොතනු ලැබූ වාගාලාපයන් පමණක් බවට පත්වී ඇත. හඳෙන් වුවද හාල් ගෙනත් දීමට පොරොන්දුවීම, බඩු මිල අඩුකිරීම, ධාන්‍ය රාත්තල් අටක් දීම, රජයේ සේවක වැටුප් වැඩි කිරීම, සමෘද්ධි සහනාධාර වැඩි කිරීම, සහන මල්ලක් ලබාදීම වැනි නානාප්‍රකාර පොරොන්දුවලින් පුරවා ඇති එවැනි ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරි මැතිවරණවලදීද අපට කොතෙකුත් දැකගැනීමට හැකිවනු නියතය. මේ වන විට දෙකට තුනට බෙදී ඇති ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ කිසිවක් කෙරෙහි විශ්වාසයක් නොමැති ඇතැම් පිරිස් ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව වූ කිසියම් විශ්වාසයකින් කටයුතු කරන බවද පෙනේ. එකී පක්ෂයේ දැඩි විනයගරුක බව, අවංක බව හා සංවිධාන ශක්තිය දේශපාලන පක්ෂයක් වශයෙන් කවර නම් ශක්තියක් පිළිබිඹු කළද එකී පක්ෂය පසුගිය මැතිවරණයේදී අත්කරගත් ප්‍රතිඵලය සියල්ලන්ම මවිත කරවනසුලු විය. පසුගිය ජනාධිපතිවරණයේදී ගාලු මුවදොර පිටියේ පැවති එම පක්ෂය ඇතුළත් ජාතික ජන බලවේගයේ දැවැන්ත රැළියට පැමිණි මහා ජන ගඟ දුටු කවරෙකු වුවද එවැනි ප්‍රතිඵලයක් කිසිවිටෙකත් අපේක්ෂා නොකරනු ඇත. කෙතරම් විචාරශීලී, දැනුවත්භාවයකින් යුත්, ක්‍රියාකාරී, දූෂණයෙන් තොර හා කථිකත්වයෙන් අනූන කණ්ඩායමක් සිටියද ‘ජනතා විමුක්ති පෙරමුණ’ නම්වූ දේශපාලන ව්‍යාපාරයට මෙරට දේශපාලන බලය ලබා දීමට ඡන්දදායකයා මැලිවන්නේ ඇයි? මෑතකදී එම පක්ෂය හා සන්ධානගත වූ බුද්ධිමතුන් හා වෙනත් වෘත්තිකයන් ඇතුළත් කොට ගෙන ගොඩනැඟූ ‘ජාතික ජන බලවේගය’ නම් වූ දේශපාලන ව්‍යාපාරයටද මෙම තත්වය වෙනස් කිරීමට නොහැකි වූයේ ඇයිද යන්න ගැටලුවකි. ඒ පිළිබඳ සාකච්ඡාවකට මඟ පෑදීම මෙම ලිපියේ සැඟවුණු අරමුණ ද විය හැකියි.


කෙසේ වෙතත් මේ කවර නම් දේශපාලන ප්‍රවාහයක් බලයට පැමිණියද රට ඉදිරියේ ඇත්තේ දැවැන්ත අභියෝගයක්ය යන්න සක්සුදක් සේ පැහැදිලිය. ඒ අතර ප්‍රධාන වන්නේ වත්මනෙහි රට මුහුණ දී ඇති ආර්ථික ගැටලු ජයගැනීමයි. එකී අභියෝග හමුවේ රට ගොඩනඟන ආකාරය පිළිබඳ පැහැදිලි දැක්මක් ඇත්තේ කවර නම් දේශපාලන ප්‍රවාහයට ද යන්න විනිශ්චය කරගැනීමේ උභතෝකෝටිකයට මෙරට ඡන්දදායකයා මුහුණ දී සිටින බව මේ මොහොතේ පැහැදිලි ලෙසම පෙනේ.


දූෂණ වංචා පිටුදැකීම හා සමාජවාදී ආර්ථික ප්‍රතිපත්තීන් තුළින් මෙම අර්බුදයෙන් ගොඩඒමට හැකියාවක් ඇතිද? මන්ද යත් ආර්ථික අතින් කවර අන්දමේ ප්‍රගතියක් අත්කර ගත්තද චීනයේ වැනි පාලනයක් කිසිවකුත් අපේක්ෂා නොකිරීමයි.


රට ගොඩනැඟීමේ ඒකායන විසඳුම ඇත්තේ හැකි පමණ විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම හරහා බව නිතර නිතර කියැවෙන අදහසකි. එය එසේ නම් එවැනි තත්වයක් ඇතිකර ගැනීමට කළ යුතු වූ ප්‍රතිකර්ම මොනවාද? ජාතීන් අතර සමඟිය, මානව හිමිකම් ආරක්ෂා කිරීම, රටේ ස්ථාවර බව, ස්වාධීන අධිකරණ පද්ධතියක් ඇති කිරීම, නීතිය හා සාමය ආරක්ෂාවී ඇති තත්වයක් පැවැතීම වැනි ආයෝජන සඳහා උචිත පරිසරයක් ගොඩනැගීම එහිලා මූලික කොන්දේසි වනු ඇත. වසර 5න් පහට රාජ්‍ය ප්‍රතිපත්තීන්හි බරපතළ වෙනස්කම් සිදුවන අපගේ වැනි දුර්වල රාජ්‍යයන් තුළට එවැනි විදේශ ආයෝජන ගලාඒම බොහෝදුරට සීමාවීම නොවැළැක්විය හැකි කරුණක් නොවේද?


යම් යම් රජයයන් විදේශ ආයෝජන වශයෙන් හඳුන්වනු ලබන ව්‍යාපාර යෝජනා ක්‍රම ඇත්ත වශයෙන්ම රට සින්නක්කර විකුණා දැමීමේ උත්සාහයන් බවට කෙරෙන විවේචනවල ද අඩුවක් නැත. ඇතැම් යෝජනා රටේ සංස්කෘතියට හා සභ්‍යත්වයට උචිත නොවන බවටද චෝදනා නැඟේ. නිදසුනක් ලෙස එක්තරා රජයයක් යටතේ කිසියම් විදේශ ආයෝජනයක් ලෙස ලොව දැවැන්ත කැසිනෝ ව්‍යාපාරිකයෙකුට අවස්ථාව ලබා දීමට එරෙහිව සංඝයාවහන්සේලා ඇතුළු සමාජයේ බොහෝ කොටසක් අවි අමෝරාගත් බැව් අපට මතකය. එයාකාරයෙන් විපක්ෂයේ උදවිය, සංඝයාවහන්සේලා, පරිසරවේදීන් ඇතුළු සකලවිධ දේශප්‍රේමී කොටස්වල ආශීර්වාදය හිමිකරගත හැකි අන්දමේ සාර්ථක විදෙස් ආයෝජන රට තුළට ගෙන්වාගැනීමේ ක්‍රමෝපායයන් දන්නා කියන වත්මන් දේශපාලන ප්‍රවාහය කුමක්ද?


බලයට පැමිණීමට පෙර උතුරා යන දේශප්‍රේමීත්වයක් හා අවංකත්වයක් ප්‍රකට කළ පමණින් කිසියම් දේශපාලන බලවේගයක් හෝ එහි නායකත්වය කෙරෙහි විශ්වාසය තැබිය හැකිද? මෙතෙක් කලක් මෙරට ඡන්දදායකයා අනුගමනය කළ අමනෝඥ ක්‍රියා පිළිවෙත එයම නොවේද? මේ අනුව වඩාත් සුදුසු වන්නේ තම තමන්ගේ පක්ෂ ප්‍රතිපත්තීන් හා රට ගොඩනඟන වැඩ පිළිවෙළ කල් වේලා ඇතිව ජනතාව වෙත ඉදිරිපත් කොට, අවශ්‍යන ම් එය ජනතාව අතර සාකච්ඡාවට බඳුන් කිරීමට අවස්ථාව සලසා දී අනුමැතිය ලබා ගැනීමට උත්සාහ කිරීමයි. එසේ නොකොට මැතිවරණයක් ආසන්නයට පැමිණෙන තෙක් හොරගල් අහුලමින් සිටීම තවදුරටත් අනුමත කළ හැකි නොවේ. එහිදී වන අලි උවදුරේ සිට අද දින රට වැසියා පෙළෙමින් සිටිනා සියලු ගැටලු හා ව්‍යාධීන් සඳහා තමන් සතු විසදුම් ජනතාව ඉදිරියේ පැහැදිලි කිරීමට වග බලා ගත යුතු වේ. එසේම අධ්‍යාපන, සෞඛ්‍ය, ආරක්ෂක හා සංස්කෘතික ප්‍රතිපත්තීන් මෙන්ම ව්‍යවස්ථා හා ජනවාර්ගික ගැටලු වැනි එකී නොකී සියලු කරුණු පිළිබඳව ද නිරවුල් පැහැදිලි ප්‍රතිපත්තීන් ජනතාව ඉදිරියේ ප්‍රකාශ කළ යුතු වේ. අතීතයේදී විවිධ දේශපාලන පක්ෂ මැතිවරණය කට ළඟට පැමිණිවිට ඉදිරිපත් කළ කප්පරක් බොරු පොරොන්දු ඇතුළත් ව්‍යාජ ප්‍රතිපත්ති ප්‍රකාශන තවදුරටත් විශ්වාස කළ යුතු නොවේ. ඇත්ත වශයෙන්ම එවැනි අව්‍යාජ ප්‍රතිපත්තීන් ජනතාව වෙත කලින්ම ඉදිරිපත් කිරීමෙන් තමනට කිසිදා ඡන්දය දිනාගැනීමට නොහැකිවේ යැයි අප රටේ දේශපාලන පක්ෂ කල්පනා කරනවාද විය හැකියි.


මේ වන විට රට මුහුණපා සිටින දැවැන්ත ආර්ථික බිඳවැටීම මෙහිලා සාකච්ඡාවට බඳුන්විය යුතු ප්‍රධානතම ගැටලුව බව නොරහසකි. කොරෝනා වසංගතය විසින් මෙම යථාර්ථය අපට ඉතාමත් ඉක්මනින්ම අවබෝධ කර දී ඇත. අධික පොළියට විදෙස් රටවලින් ණයට මුදල් ලබා ගැනීම එයට විසදුම නොවන බව පැහැදිලිය. සාමාන්‍ය පවුලකට වුවද තමනට ලැබෙන ආදායම අනුව ජීවත් වීමට හුරු පුරුදු නොවී ජේත්තුකාර ජීවිතයක් ගත කිරීමට පෙළඹීම කවර නම් ප්‍රතිඵලයක් අත්කර දෙනු ඇතිද යන්න කුඩා දරුවකුට වුවද පැහැදිලි සත්‍යයකි. විදෙස් රටවලට ණයවී මේ රට තවදුරටත් ඉදිරියට ගෙනයා හැකිද? වත්මන් දේශපාලනඥයන්ට එසේ කිරීමට සිදුව ඇත්තේ එක් පැත්තකින් ජනතාවට බොරු පොරොන්දු දීම නිසා මෙන්ම තම තමනට කොමිස් මුදල් බෙදා හදා ගැනීමේ අරමුණින් බැව් මේ වන විටත් හොඳින් සනාථ වී ඇත. මෙම ස්වභාවය අද දවසේ අතිශයින් දරුණු අර්බුදයක් දක්වා ව්‍යාප්ත වී ඇත. විශේෂයෙන්ම අධික ලෙස මුදල් හදල් හරිහම්බ කරගැනීමේ අභිප්‍රාය අප රටේ බහුතරයක් දේශපාලනඥයින්ගේ අරමුණ වී ඇත්තේ ඇයි? එයට හේතු වී ඇත්තේ අපගේ මුතුන් මිත්තන්ගේ සිට පැවත ජානමය චෞර ගතිස්වභාවයක් හෝ සංස්කෘතිකමය අබ්බැහිකමක්ද? නොඑසේනම් අප රටේ ජනතාව වැඩි වැඩියෙන් පරිභෝජනවාදයට ගොදුරු වීම නිසාද? එම ස්වභාවය 77න් පසු කළ එළියට ආ විවෘත ආර්ථික ප්‍රතිපත්තීන්හි අතුරු ඵලයක්ද? නොඑසේ නම් අපගේ වත්මන් මැතිවරණ ක්‍රමය එයට හේතු වීද?


අනෙක් අතින් ඒ ඒ ඡන්ද කොට්ඨාසවලින් පත්වන නියෝජිතයන්ගේ ඒකායන අරමුණ වී ඇත්තේ ඉදිරි මැතිවරණවල දී තමන්ට මෙන්ම තම පවුලේ උදවියටද තවදුරටත් දේශපාලනයේ රැඳී සිටීමට හැකිවන ආකාරයෙන් මිල මුදල් හරි හම්බ කිරීම හා ඡන්දදායකයා දිනාගැනීම සඳහා හැකි පමණ ආයෝජනයන් කිරීමයි. ඒ අනුව වැඩියෙන් හරිහම්බ කළ හැකි කැබිනට් අමාත්‍ය ධුරයක් ලබා ගැනීම හා ඉන් අනතුරුව තමන් යටතේ පාලනය වන සෑම රාජ්‍ය ආයතනයකටම උසුලා ගැනීමට නොහැකි ආකාරයෙන් තම තමන්ගේ ආසනවල ඡන්දදායකයන්ට රැකියා අවස්ථා ලබා දීමටද ඔවුහු පෙළඹී සිටිති. වත්මනෙහි බහුතරයක් වූ රාජ්‍ය ආයතනවල පිරීහීමට මුල් වී ඇති එක් හේතුවක් වන්නේ මෙය නොවේද?


ඇත්තවශයෙන්ම දේශපාලන බහුශ්‍රැතයෙකු නොවන මා වැනි සාමාන්‍ය ඡන්දදායකයෙකු පවා දන්නා සරල සත්‍යයක් වන්නේ අද දින මැතිවරණ ව්‍යාපාර සඳහා අතිදැවැන්ත මුදල් සම්භාරයක් අවශ්‍ය වේය යන්නයි. රූපවාහිනී ප්‍රචාරක කටයුතු, වේදිකා ඉදිකිරීම්, පුවත්පත් දැන්වීම්, කටවුට්, පෝස්ටර් හා බැනර් ප්‍රදර්ශනය හා විශේෂයෙන්ම දුර බැහැර පෙදෙස්වල සිට බස්රථවලින් මහජන රැලිවලට පිරිස් රැගෙන ඒම හා ඔවුනට ආහාරපාන ලබාදීම වෙනුවෙන් වැය වන දැවැන්ත මුදල් සම්භාරය අදහාගැනීමට පවා නොහැකි තරම්ය. මා අසා ඇති අන්දමට එවැනි දැවැන්ත මුදල් සම්භාරයක් කිසිදු පක්ෂයකට සිය සාමාජික මුදල්වලින් පමණක් පියවා ගැනීමට නොහැක. විවිධාකාරයේ කූට ව්‍යාපාරිකයන් හා ධනවතුන් මෙන්ම විදේශීය ආයතන හා රහස් ඔත්තු සේවා ද ක්‍රියාත්මක වන්නේ මෙවැනි පසුබිමක් තුළයි. කලකට ඉහත අප රටේ කිසියම් දේශපාලන පක්ෂයක් වෙනුවෙන් ප්‍රචාරක කටයුතු කළ වෙළඳ ප්‍රචාරක ආයතනයක නියෝජිතයෙකු මා සමඟ කියා සිටියේ තමන් එම පක්ෂ කාර්යාලයට ගිය විටකදී එහි සිටි අයෙකු මුදල් නෝට්ටු පිරවූ ගෝනියකින් මුදල් මිටි කිහිපයක් තමාට ලබා දුන්නේ ගණන් කරන්නේ වත් නැතිව බවයි. මෙරට කිසිදු දේශපාලන පක්ෂයක් එලෙස තමනට ලැබෙන මුදල් හදල් කිසිවිටෙකත් විගණනය කරන බවක් අප අසා නැත. ඇතැම් ව්‍යාපාරිකයෝ දිනන අශ්වයාට ඔට්ටු අල්ලනවාක් මෙන් එක් නිශ්චිත පක්ෂයකට යහමින් වියපැහැදම් කරති. වැඩි දෙනෙක් කරට කර සටනක් ඇතැයි සිතෙන පක්ෂ කිහිපයකටම මුදල් විසිකරති. මැතිවරණයෙන් පසු ඔවුන් බලා කියා ගැනීම ඒ ඒ රජයයන්ගේ වගකීම බවට පත්වන්නේ ඒ අනුවයි. බැඳුම්කර වංචාව, පොල්තෙල් හා සීනි ගනුදෙනුව, දත්ත මගඩිය මෙන්ම ඇතැම් විට රට රටවලට වැඩි වාසි අත්වන ආකාරයට ටෙන්ඩර් රහිතව ව්‍යාපාර ප්‍රදානයන් කිරීම වැනි එකී නොකී දේ කරළියට එන්නේ මේ අනුවයි. මෑතකදී කථාබහට ලක්වූ ‘පැන්ඩෝරා ලේඛන’වල මූල බීජය ඇත්තේ ද මෙම විෂම චක්‍රය තුළ නොවේද? ශ්‍රී ලංකාව මේ වන විට කලාපීය භූ-දේශපාලනික ගැටුම්වල ගොදුරක් බවට පත්වීමට හේතුවද එය යැයි අපට සිතේ. 20වන ව්‍යවස්ථා සංශෝධනය වැනි අණපනත් කරළියට එන්නේද, පාර්ලිමේන්තුව හෝ අධිකරණය, විධායකයේ හස්තයට යට කිරීමට පලකයන් කැසකවන්නේ ද මේ සියල්ලෙහි අතුරු ඵලයක් ලෙස නොවේද?


මෙකී අධම, විෂම චක්‍රයට තිත තැබීමට හැක්කේ කවර නම් ජගතෙකුටද?


මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක මෙන්ම ඔවුනගේන් කැඩී බිඳී ගිය අනෙකුත් කණ්ඩායම් අතරද මේ සඳහා කිසිදු විකල්පයක් මෙතෙක් ඉදිරිපත් වී ඇති බවක් නොපෙනේ. මෙරට විකල්ප ධාරාවේ දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ප්‍රතිපත්තීන් පිළිබදද්‍ව අප විමසා බැලිය යුත්තේ මෙවන් සංදර්භයක් යටතේයි.


මෑතකදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා රූපවාහිනී වැඩසටහනකට සහභාගි වෙමින් එම පෙරමුණේ ප්‍රතිපත්ති පිළිබඳව කිසියම් පැහැදිලි කිරීමක් කළේය. එහිදී ඔහු කියාසිටියේ මෙම අර්බුදයෙන් ගොඩ ඒමට ඇති ඒකායන විසඳුම මෙරට දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම වන බවයි. එහෙත් තමන් අනුගමනය කිරීමට යන්නේ ලොව කවර නම් රටක දේශපාලනික මොඩලයක්ද යන්න ඔහු හෙළි නොකළේය. තවදුරටත් ඔහු සඳහන් කළේ තමන් සමාජවාදී ප්‍රතිපත්තීන් මත පදනම් වූ, සියලු ජනතාව අතර සම්පත් සමසේ බෙදීයන ක්‍රමවේදයක් අනුගමනය කිරීමට අපේක්ෂා කරන බවයි. එහිදී අපනයන ආර්ථිකයක් ගොඩ නැඟීම තමන්ගේ අරමුණ බවද ඔහු ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් එහිදී පාලකයන්ට මෙන්ම ජනතාවටද කැපකිරීම් කිරීමට සිදුවනු ඇති බවටද ඔහු ඉඟි කළේය. දැනට ගෙවා ගැනීමට නොහැකි මට්ටමක ඇති විදේශ ණය වාරික ගෙවීම අරභයා ඒ ඒ රටවලින් සහනයක් ඉල්ලා සිටීමටත් ඩොලර් අර්බුදය විසඳීමට විදේශීය ශ්‍රමිකයන්ගෙන් කිසියම් ඉල්ලීමක් කොට තමන් දැනටමත් එවන මුදලට අමතරව වැඩිපුර ඩොලර් 500ක් හෝ එවන ලෙසට ආයාචනා කිරීමට කටයුතු කරන බවත් ඔහු කියා සිටියේය. තමනට එකවරක් හෝ බලය ලබා දී බලන ලෙසද ඔහු තවදුරටත් ඉල්ලා සිටියේය.


ඇත්තවශයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ නායකයා එයාකාරයෙන් හෝ යම් පැහැදිලි කිරීමක් ඉදිරිපත් කිරීම අගය කළ යුතුවේ. කෙසේ වෙතත් ඔහු කියනා මෙකී ආර්ථික මොඩලය 70 හා 76 වසර තුළදී යම්තාක් දුරකට අත්හදා බැලූ එකක් නොවේදැයි වැනි හැඟීමක් මා සිත තුළ ඇතිවිය. එහි අසාර්ථකත්වය 77 දරුණු බල පෙරළියට හේතුවූ බව ඉතිහාසය සාක්ෂි දරයි. මෑතකදී මහාචාර්ය නලින් ද සිල්වා මහතා යූ ටියුබ් නාලිකාවක් සමඟ කළ සංවාදයකදී කියා සිටියේ 70 සිට 76 දක්වා වූ යුගය තුළ බණ්ඩාරනායක මැතිනියගේ සමඟි පෙරමුණු රජය ගෙන ගිය වැඩ පිළිවෙළ ඉදිරියට ගියේ නම් අද වන විට අප රට මෙම තත්වයට මුහුණ නොදෙනු ඇති බවයි. එම වැඩ පිළිවෙළ කඩාකප්පල් වූයේ අප රට තුළ ප්‍රසාරණය වෙමින් තිබු පසුගාමී මධ්‍යම පන්තික චින්තනය නිසා බවද නලින් ද සිල්වා මහතාගේ අදහසයි. එකී මධ්‍යම පන්තිය අද තව තවත් පුළුල් වී තිබීම මෙවැනි ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමේ දී ගැටලුවක් වන බව ඒ මහතාගේ අදහසයි.


ඇත්තවශයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන්නේ එවැනි ආර්ථික මොඩලයක්ද? එවැන්නක් දැනට ක්‍රියාත්මක කරමින් ඉන්නා ලොව වෙනත් රටක් ඇත්තේ නම් එය කුමක්ද? මහාචාර්ය රොහාන් සමරජීව මෑතකදී ලියා තිබූ කිසියම් ලිපියක ජනතා විමුක්ති පෙරමුණේ මෙකී ආර්ථික මොඩලය නම් කොට තිබූයේ ‘කෝල්බර්ට් ගේ ආර්ථික න්‍යාය’ (Colberist economic policy) යනුවෙනි. පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේදී ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ජාතික ජනබලවේගය හා එක්වී සිටින විද්වතුන් සකස්කළ එවන් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඇතැයි කියැවෙන මුත් මා එය කියවා නැත. මෑතකදී කිසියම් රැස්වීමකදී ජනතා විමුක්ති පෙරමුණු නායකයා සිය පක්ෂයේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය පැහැදිලි කරමින් කියා සිටියේ මෙරට ගොවි නිෂ්පාදන ක්‍රියාවලිය හා ඒවා ගබඩා කිරීම හා බෙදාහැරීමේ යාන්ත්‍රණය සැලසුම් සහගතව පාලනය කිරීමට උචිත සැලසුමක් තමන් සතුව ඇති බවයි. යම් යම් සංඛ්‍යාලේඛනණ කටපාඩමින් ඉදිරිපත්කරමින් ඔහු එම කථාව කළ ආකාරය විස්මය දනවනසුලු වේ. 1970දී පමණ එකළ ජනතා විමුක්ති පෙරමුණු නායකයා වූ රෝහණ විජේවීර මහතා සිරගෙදරින් නිදහස්ව පැමිණ විද්f්‍යා්දය විශ්වවි්‍යාලයේ ‘ලෙනින්’ ශාලාවේ දී පැය 3කට ආසන්න කාලයක් තිස්සේ කළ ව්‍යක්ත දේශනය මට සිහිවිය. එහිදී ශාලාව උතුරා යන තරමින් රැස්ව සිටි පිරිස එම කථාව අසා සිටියේ මීයට පිම්බාක් මෙනි.
ජනතා විමුක්ති පෙරමුණ සැලසුම් කරන්නේ 70 -76 යුගයේදී ජනතා කොමිටි හරහා වතු පාලනය කිරීමට එකලළ රජය ගත් උත්සාහය වැන්නක්ද? නොඑසේනම් වෙනත් ක්‍රමවේදයක්ද යන්න බුද්ධිමත් දේශපාලන විශ්ලේෂකයන් තවදුරටත් සාකච්ඡා කළ යුතුව ඇතැයි හැඟේ. කෙසේ වෙතත් ඉදිරි මැතිවරණයකදී ඡන්දදායකයා ඉදිරියේ ඇත්තේ උභතෝකෝටික ගැටලුවක් බව නම් සක්සුදක් සේ පැහැදිලිය.


මෙම ලිපිය අවසන් කිරීමට මත්තෙන් මෑතකදී මා කියැවූ එක්තරා ග්‍රන්ථයක ඇතුළත් වූ ඡේදයක් ඉදිරිපත් කිරීම සුදුසුයැයි මට සිතේ. එකී ග්‍රන්ථය රචනා කොට තිබූයේ එක්සත් රජධානියේ හිටපු රාජ්‍ය තන්ත්‍ර්‍රිකයෙකු වූ ශ්‍රීමත් කිම් ඩැරොක් විසිනි. පොතේ නමි ‘Collateral Damage-Britain, America and Europe in the Age of Trump’ ය. එම උපුටා ගැනීම මෙසේයි.


‘අධිරාජ්‍යවාදී යුගයේ දී බි්‍රතාන්‍යය ඉන්දියාව පාලනය කරන සමයේ දී එකී පාලකයන් මුහුණ දුන් සුවිශේෂ ගැටලුවක් වූයේ දිල්ලි නුවර ජනතාව අතර පැතිරී ගිය කිසියම් සෞඛ්‍ය ප්‍රශ්නයකි. එකී ජනතාව පළාත පුරා බෝවී සිටි කිසියම් විෂඝෝර සර්ප විශේෂයක් හේතුකොටගෙන ඇති වූ බරපතළ ව්‍යසනයකට මුහුණ දී සිටියේය. මේ අනුව එය විසඳීම සඳහා රජය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට තීරණය කළේය. එහිදී එවැනි විෂඝෝර සර්පයන් මරා ගෙන එන්නන් වෙත කිසියම් පාරිතෝෂික මුදලක් ගෙවීමට රජය කටයුතු කළේය. එහිදී සර්ප මළකුණු ඉදිරිපත් කළ යුතුවූ නිලධරයන් ද නම් කරනු ලැබීය. මුලදී මෙම වැඩ පිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක වන බවක් පෙනිණ. ඒ අනුව නගරයේ වීදිවල සර්පයන් දැක ගැනීමට ලැබුණේ අඩුවෙනි. එහෙත් ව්‍යසනය කවදාවත් කෙළවරක් වූයේ නැත. දිනෙන් දින නිලධාරීන් ඉදිරියේ ගොඩගැසුණු සර්ප මළකුණු සංඛ්‍යාව එන්ට එන්ටම වැඩි විය. ඒ අනුව දිනෙන් දින ගෙවීමට සිදුවූ පාරිතෝෂික දීමනාවද අහස උසට නඟින්නට විය.


සිදුව ඇත්තේ කුමක්දැයි පසුව හෙළිවිය.එනම්; එම නගරයේ පුද්ගලයන් වැඩි පුර පාරිතෝෂික දීමනා ලබා ගැනීමේ අරමුණින් පළාත පුරා යම් යම් ස්ථානවල සර්පයන් බෝකරන බව දැක ගැනීමට හැකිවීමයි. ඇත්තෙන්ම එයාකාරයෙන් ඇතිදැඩි කළ සර්පයන් මරා උන්ගේ මළකුණු ඉදිරිපත් කිරීම ඉබාගාතේ යනඑන සර්පයන් අල්ලා ගැනීමට වඩා පහසු බැව් ඔවුන් වටහා ගත්තාක් මෙනි. ඒ අනුව ඔවුනට වඩාත් ස්ථායි ආදායම් මාර්ගයක් හිමිකර ගැනීමට ද හැකියාව ලැබී තිබිණ. මෙම කූට ජාවාරම පිළිබඳව අවබෝධ කොටගත් රජය එකී පාරිතෝෂික දීමනා ලබා දීම වහා නතර කර දැමීමට තීරණය කළේය. ඉන් අනතුරුව මුහුණදීමට සිදුවූයේ අනපේක්ෂිත තත්වයකටයි. එනම්; තමන් සන්තකයේ උන් සර්පයන් උන්ගේ කූඩුවලින් ඉවතට මුදා හැරීමට යටකී ‘ව්‍යාපාරිකයන් ’ ක්‍රියා කිරීමයි. උන් එසේ තබාගෙන සිටීමෙන් තවදුරටත් කිසිදු ඵල ප්‍රයෝජනයක් අත්නොවීම එයට හේතුවයි. මේ අනුව කලින් සිටියාටත් වඩා විශාල සර්පයන් සංඛ්‍යාවක් නැවතත් එම පළාත පුරා ව්‍යාප්ත වීමක් සිදුවිය.’
පොතේ කර්තෘවරයා මෙම සිදුවීම ඇසුරෙන් අපට කියා සිටින්නේ කුමක්ද? එය නම්; ‘රාජ්‍ය පාලනය (government) යන්න ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බවයි.■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි