26.6 C
Sri Lanka
2 December,2021

දරුවන්ට දේශපාලනය කියා දෙන
සිකුරාදා පවුලේ රැස්වීම

Must read

හජර් ශෙරීෆ් ්‍ය්වැර ීය්රසf තිස් හැවිරිදි ලිබියානු කාන්තාවක්. ඇය මානව හිමිකම් ක්‍රියාකාරිනියක් වගේම සාමය ගොඩනැගීම වෙනුවෙන් හඬ නගපු ශක්තිමත් කාන්තාවක්. 2016 වන විට තරුණයන් දේශපාලනයට යොමු වීම ප්‍රවර්ධනය කෙරුණු වැඩසටහනක් සඳහා ඇය එවකට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා විසින් තෝරාගත්තා. 2019දී ඇය නොබෙල් සාම ත්‍යාගය වෙනුවෙන් නම් කළ ලැයිස්තුවටත් ඇතුළත් වුණා. ඇය පවුල තුළින් දේශපාලන දැනුම හා අත්දැකීම් ලබාගත් ආකාරය පිළිබඳව 2019 දී ‘ටෙඩ් ටෝක්’ (TED TALK) වැඩසටහනක කරන කතාවකින් කොටසක පරිවර්තනය අප ඔබ වෙත ගෙන එනවා. ටෙඩ් ටෝක් කියන්නේ ලාභ ඉපැයීමේ අරමුණකින් තොරව වගේම ඉතා ප්‍රබල අදහස් කෙටි කාලයකින් ප්‍රකාශ කරන වැඩසටහන් ආකෘතියක්.
2019 දී හජර් තමන්ගෙ පවුලේ තිබුණු විශේෂත්වය ගැන කියූ අදහස් මෙතැන් සිට කියවමු.

■ අමන්දිකා කුරේ

මීට අවුරුදු විස්සකට පෙර මගේ පවුල ‘ප්‍රජාතන්ත්‍රවාදී සිකුරාදා රැස්වීම්’ නම් ක්‍රමයක් හඳුන්වා දුන්නා. ඒ අනුව සෑම සිකුරාදා දිනකම සවස 7 ට, මගේ පවුලේ වත්මන් කටයුතු සාකච්ඡා කිරීමට නිල රැස්වීමක් සඳහා පවුලේ සියලුම දෙනා එකට එකතු වුණා. මෙම රැස්වීම් පවත්වන ලද්දේ මගේ දෙමව්පියන්ගෙන් එක් අයෙකු විසින් වන අතර, අපට වාර්තා ලියාගැනීමට සටහන් තබන්නෙකු පවා සිටියා කිව්වොත් ඔබ පුදුම වේවි. පවුලේම කෙනෙක් ඒ සඳහා පත් කෙරුණා. මෙම රැස්වීමේ නීති දෙකක් තිබුණා. පළමුවැන්න, ‘ඔබට විවෘතව හා නිදහසේ කතා කිරීමට අවසර ඇත.’ අගෞරවයක් හෝ අශික්ෂිතබවක් ලෙස නොසලකමින් දරුවන්ට දෙමාපියන් විවේචනය කිරීමට ඉඩ ලබා දී ඇත. දෙවන රීතිය ‘චැතැම් හවුස්’ රීතියයි, එයින් අදහස් වන්නේ රැස්වීමේදී පවසන ඕනෑම දෙයක් රැස්වීමේම දිගටම පවතින බවයි.


මෙම රැස්වීම්වලදී සාකච්ඡා වූ මාතෘකා සතියෙන් සතියට වෙනස් වුණා. සතියක්, අපි කන්න කැමති ආහාර මොනවාද, දරුවන් නිදාගත යුත්තේ කීයටද සහ පවුලක් ලෙස දේවල් වැඩිදියුණු කරන්නේ කෙසේද යන්න ගැන අපි කතාකළා. තවත් රැස්වීමක පාසලේ සිදුවීම් සහ සහෝදර සහෝදරියන් අතර ඇති වූ ආරවුල් විසඳාගන්නේ කෙසේද යන්න ගැන සාකච්ඡා කළා. සෑම රැස්වීමක් අවසානයේම, අපි අවම වශයෙන් ඊළඟ රැස්වීම තෙක් පවතින තීරණ සහ එකඟතාවන්ට එළැඹුණා.


ඒ අනුව මට කියන්න පුළුවන් මම හැදී වැඩුණේ දේශපාලනඥයෙක් විදියට. අවුරුදු හය හත වෙනකොට මම දේශපාලනය ප්‍රගුණ කළා. මම වෙනත් ‘දේශපාලන ක්‍රියාකාරීන්’ සමඟ සාකච්ඡා කරමින්, සම්මුති ඇතිකර ගනිමින්, සන්ධානගත වෙමින් හිටියා.


ඒ වගේම මම වරක් දේශපාලන ක්‍රියාවලිය අනතුරේ හෙළීමට උත්සාහ කළා. රැස්වීම් ඉතා සාමකාමී, සිවිල් සහ ප්‍රජාතන්ත්‍රවාදී බවක් පෙනුණ නමුත් එය සැමවිටම වුණේ නෑ. කතා කිරීමට, සාකච්ඡා කිරීමට සහ විවේචනය කිරීමට මෙම විවෘත, නිදහස් ඉඩ නිසා සමහර විට දේවල් උණුසුම් වුණා. එක් රැස්වීමක් මට ඉතා නරක එකක් වුණා. ඒ වන විට මට වයස අවුරුදු 10ක් පමණ. මම පාසලේදී ඇත්තෙන්ම භයානක දෙයක් කළා. මගේ සහෝදරයා එය රැස්වීමේදී සාකච්ඡාවට ගෙනඒමට තීරණය කළා.


මට මාව ආරක්ෂා කර ගැනීමට නොහැකි වූ නිසා මම රැස්වීමෙන් ඉවත් වී මුළු රැස්වීම් පද්ධතියම වර්ජනය කිරීමට තීරණය කළා. මම වර්ජනය කරන බව ප්‍රකාශ කරමින් නිල ලිපියක් ලියා එය මගේ පියාට ලබා දුන්නා. තවදුරටත් මේ රැස්වීම්වලට යන එක නැවැත්තුවොත් මේ ක්‍රමය කඩා වැටෙයි කියලා මට හිතුණත් මගේ පවුලේ අය රැස්වීම් දිගටම කරගෙන ගියා. ඒ අය නිතරම ගත්තේ මට අකමැති තීරණ.


නමුත් මට මෙම තීරණවලට අභියෝග කිරීමට නොහැකි වූයේ, මම රැස්වීම්වලට සහභාගි නොවූ නිසාත්, ඊට එරෙහිව යාමට අයිතියක් නැති නිසාත්. හාස්‍යයට කරුණක් නම්, මට වයස අවුරුදු 13ක් පමණ වන විට, දිගු කලක් මෙම රැස්වීම් වර්ජනය කිරීමෙන් පසු නැවත වරක් මෙම රැස්වීම්වලට සහභාගි වෙන්න සිදුවීමයි. ඒ මට පමණක් බලපෑ ප්‍රශ්නයක් ඒ වන විට ඇති වී තිබූ නිසාත් පවුලේ වෙන කිසිම කෙනෙක් ඒ ගැන සාකච්ඡා නොකළ නිසත්.


මා පමණක් මුහුණ දුන් ඒ ගැටලුව වූයේ සෑම රාත්‍රී ආහාර වේලකට පසුවම, සෑම විටම පිඟන් සෝදන ලෙස ඉල්ලා සිටියේ මගෙන් පමණක් වීම හා මගේ සහෝදරයන්ට ඒවා කිරීමට අවශ්‍ය නොවීමයි. මෙය අසාධාරණ සහ වෙනස් කොට සැලකීමක් ලෙස මට හැඟුණු බැවින්, මට එය රැස්වීමේදී සාකච්ඡා කිරීමට අවශ්‍ය වුණා. ඔබ දන්නා පරිදි,

ගෙදර දොරේ වැඩ කිරීම ගැහැනියකගේ හෝ ගැහැනු ළමයෙකුගේ භූමිකාවය යන අදහස බොහෝ සමාජ විසින් මෙතරම් කාලයක් ගෙනගිය රීතියක්. අවුරුදු 13ක දරුවෙකු වූ මට එයට අභියෝග කිරීමට අවශ්‍ය වුණා. රැස්වීමේදී, මගේ සහෝදරයන් තර්ක කළේ අපි දන්නා අනෙක් පිරිමි ළමයින් කිසිවෙක් පිඟන් සෝදන්නේ නැති බවත්, එසේනම් අපේ පවුල වෙනස් විය යුත්තේ ඇයිද යන්නත් පදනම් කරගෙනයි.


නමුත් මගේ දෙමාපියන් මා සමඟ එකඟ වූ අතර මගේ සහෝදරයන් මට උදව් කළ යුතු බවට තීරණය කළා. කෙසේ වෙතත්, ඔවුන්ට බල කිරීමට නොහැකි වූ නිසා, ගැටලුව දිගටම විසඳුමකින් තොරව පැවතුණා. මගේ ප්‍රශ්නයට විසඳුමක් නැති බව දුටු මම තවත් රැස්වීමකට සහභාගි වී සැමට සාධාරණයක් වන නව ක්‍රමයක් යෝජනා කිරීමට තීරණය කළා.


ඒ නිසා මම යෝජනා කළා එක පුද්ගලයෙක් වෙනුවට පවුලේ සියලුම සාමාජිකයන්, ඔවුනොවුන් භාවිත කරන සියලුම භාජන සෝදන්න කියලා. ඒ පිළිබඳව විශ්වාසයක් ගොඩනැගෙන ලෙස, මම භාවිත කරන භාජන මම සෝදන්නම් කියා කිව්වා. මේ ආකාරයෙන්, මගේ සහෝදරයන්ට තවදුරටත් තර්ක කළ නොහැකි වුණා. පිරිමි ළමයින් හෝ පිරිමින් ලෙස ඔවුන්ගේ වගකීමක් ලෙස පිඟන් සේදීම වෙනුවට මා යෝජනා කළ ක්‍රමය වූයේ පවුලේ සෑම සාමාජිකයෙකුම තමන් පාවිච්චි කරන දේවල් පිරිසිදු කරගැනීමයි. සියල්ලන්ම මගේ යෝජනාවට එකඟ වූ අතර, වසර ගණනාවක් තිස්සේ එය අපගේ නිවසේ පිඟන් සේදීමේ ක්‍රමය වුණා.


මම දැන් ඔබ සමඟ බෙදාගත්තේ පවුලේ කතාවක්, නමුත් එය පිරිසිදු දේශපාලනයක්. දේශපාලනයේ සෑම කොටසකටම තීරණ ගැනීම ඇතුළත් වන අතර තීරණ ගැනීමේ ක්‍රියාවලියට විවිධ පසුබිම්, අවශ්‍යතා, අදහස්, ස්ත්‍රී පුරුෂභාවය, විශ්වාසයන්, ජාතිය, වාර්ගිකත්වය, වයස් කණ්ඩායම් සියල්ලම නියෝජනය කරන පුද්ගලයන් ඇතුළත් විය යුතුයි. තීරණ ගැනීමේ ක්‍රියාවලියට දායක වීමට සහ ඔවුන්ගේ ජීවිතයට සෘජුව හෝ වක්‍රව බලපාන තීරණවලට බලපෑම් කිරීමට ඔවුන් සැමට සමාන අවස්ථාවක් තිබිය යුතුයි.
ඒ නිසා “දේශපාලනය කරන්නවත් දේශපාලන මතයක් දරන්නවත් මම පොඩි වැඩියි” කියලා තරුණ අය කියනවා ඇහෙනකොට මට ඒක තේරුම් ගන්න අමාරුයි. ඒ හා සමානව, ”දේශපාලනය මම සම්බන්ධ වීමට අකමැති අපිරිසිදු ලෝකයක්” යැයි සමහර කාන්තාවන් පවසනු මට ඇසෙන විට, දේශපාලනය සහ දේශපාලන ක්‍රියාකාරකම් පිළිබඳ අදහස ලෝකයේ බොහෝ රටවල ඒකාකාරී ලෙස ස්ථානගත වී තිබීම ගැන මම කනස්සල්ලට ඉන්නවා. මිනිසුන්ට හිතෙන්නේ, ඔවුන් දේශපාලනයට සම්බන්ධ වීමට නම්, ඔවුන් ක්‍රියාකාරිකයන් විය යුතු බව වුණත් එය සත්‍යයක් නොවෙයි. මට මේ ප්‍රශ්නය තරුණයන්ගෙන්, කාන්තාවන්ගෙන් සහ සාමාන්‍ය ජනතාවගෙන් ඇසීමට අවශ්‍යයි. දේශපාලනයට සම්බන්ධ වෙන්න ඔබට ඇත්ත වශයෙන්ම උනන්දු නොවී සිටීමට හැකියාවක් තිබේද? නැද්ද?


දේශපාලනය යනු ක්‍රියාකාරීත්වය පමණක් නෙවෙයි. දැනුවත් කිරීම, දැනුවත් වීම, කරුණු ගැන සැලකිලිමත් වීම. හැකිනම් ඡන්දය ප්‍රකාශ කිරීම වැනි දේවල්. දේශපාලනය යනු අප කණ්ඩායම් සහ සමාජයන් ලෙස අපව සකස් කරගන්නා මෙවලමයි. දේශපාලනය ජීවිතයේ සෑම අංශයක්ම පාලනය කරන අතර, එයට සහභාගි නොවී සිටීමෙන්, ඔබ කන්නේ, අඳින්නේ මොනවාද, ඔබට සෞඛ්‍ය සේවා, නිදහස් අධ්‍යාපනයට ප්‍රවේශය තිබේද, ඔබ කොපමණ බදු ගෙවන්නේද, ඒ කවදාද යන්න තීරණය කිරීමට වෙනත් පුද්ගලයින්ට ඉඩ දීමට සිදුවෙයි. ඔබට විශ්‍රාම ගත හැකිද, ඔබේ විශ්‍රාම වැටුප කුමක්ද, ඔබව අපරාධකරුවෙකු ලෙස සැලකීමට ඔබේ ජාතිය සහ වාර්ගිකත්වය යොදාගන්නවාද, නැතහොත් ඔබව ත්‍රස්තවාදී ලැයිස්තුවකට ඇතුළත් කිරීමට ඔබේ ආගම සහ ජාතිය ප්‍රමාණවත්ද යන්න වෙනත් පුද්ගලයන් තීරණය කරාවි. ඔබ තවමත් දේශපාලනයෙන් පීඩාවට පත් නොවූ ශක්තිමත්, ස්වාධීන මිනිසෙකු යැයි ඔබ සිතන්නේ නම්, දෙවරක් මේ කරුණු ගැන සිතා බලන්න.■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි