25.8 C
Sri Lanka
28 September,2021

ඩයනා බි්‍රටිෂ්

Must read

  • ඇය ද්විත්ව පුරවැසියෙකු ලෙස සිටියාද යන්න පිළිබඳවත්, එසේ සිටියා නම් බි්‍රතාන්‍ය පුරවැසිභාවය අත්හැරියේ කවදාද යන්න පිළිබඳවත් පැහැදිළි පිළිතුරක් ලබාදෙන්නේ නැත.

ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රයට අදාළ තොරතුරු සමඟ ඇගේ පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්න කිරීමක් මෙහි ඇතුළත් වේ.

ද්විත්ව පුරවැසිභාවය පසුගිය කාලයේ බහුල වශයෙන් කතාබහට ලක්වූවකි. ඉන් එකක් වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවයයි. සම්මත කරන ලද 20වන සංශෝධනයේදී ද්විත්ව පුරවැසිභාවය කතාබහට ලක්වුණේ ජනාධිපතිවරණයට හා මහා මැතිවරණයට ඉදිරිපත් වීමට එය හිමි පුද්ගලයන්ට තිබූ බාධාව ඉවත්කිරීමට යෝජනා කිරීමේදීය. එම සංශෝධනය සම්මත වීමේන් පසු ද්විත්ව පුරවැසියන්ට ලංකාවේ මැතිවරණ සඳහා ඉදිරිපත්වීමේ බාධා දැන් නැත.

මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා ගෝඨාභය රාජපක්ෂ සිය ද්විත්ව පුරවැසිභාවය ඉවක්කර ගත්තේය. ගීතා කුමාරසිංහට මීට පෙර පාර්ලිමේන්තු අසුන අහිමි වූයේ ද්විත්ව පුරවැසිභාවය ඉවත්කර නොගෙන මැතිවරණයට ඉදිරිපත් වීම නිසාය.

20 වන සංශෝධනය සම්මත වීමට පෙර පැවැත්වූ මහාමැතිවරණයට ඉදිරිපත්වූවන්ට මෙම ද්විත්ව පුරවැසි කොන්දේසිය අදාළය. සමඟි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්ව ආ ඩයනා ගමගේ මන්ත්‍රීවරියටත් මෙම ද්විත්ව පුරවැසි චෝදනාව ඉදිරිපත්වී ඇත. ඒ ඇය බි්‍රතාන්‍ය ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසියෙකු වශයෙන් කටයුතු කරමින් එම මන්ත්‍රීධුරය ලබාගත් බවටය.

ඒ ගැන මන්ත්‍රීවරියගෙන් කළ ප්‍රශ්න කිරීම මෙහි වෙනම දැක්වේ. එහිදී ඇය, තමාට බි්‍රතාන්‍ය පුරවැසිභාවය හා බි්‍රතාන්‍ය ගමන් බලපත්‍රයක් තිබූ බව පිළිගනී. ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයක් තිබෙන බවද පිළිගනී. එහෙත් ඇය ද්විත්ව පුරවැසියෙකු ලෙස සිටියාද යන්න පිළිබඳවත්, එසේ සිටියා නම් බි්‍රතාන්‍ය පුරවැසිභාවය අත්හැරියේ කවදාද යන්න පිළිබඳවත් පැහැදිළි පිළිතුරක් ලබාදෙන්නේ නැත.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට අදාළ අප සතු තොරතුරු අනුව ඩයනා ගමගේ මන්ත්‍රීවරිය සිය ජාතික හැඳුනුම්පත් අංක 658534300වී යටතේ පළමු ගුවන් බලපත්‍රය ලබාගෙන ඇත්තේ 2014 වර්ෂයේ අප්‍රේල් මාසයේදීය. ඊටම අදාළ ‘ඔෆිෂියල්’ ගුවන් ගමන් බලපත්‍රය ලබාගෙන ඇත්තේ 2018.08.07 දිනදීය.

මෙම තොරතුරු අනුව කරුණු කිහිපයක් පැහැදිලි වේ. එකක් 2014 වර්ෂයට පෙර ඇයට ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රයක් නොතිබුණේ නම් ඇය ගුවන් ගමන් සඳහා භාවිත කරන්නට ඇත්තේ වෙනත් රටක ගුවන් ගමන් බලපත්‍රයක්ය. ඒ අනුව එකී ගුවන් බලපත්‍රය හිමි රටේ පුරවැසිභාවය ඇයට තිබිය යුතුය. වෙනත් රටක පුරවැසිභාවයක් තිබෙනවා යැයි කියන්නේ ඇය ශ්‍රී ලංකාවේ ඉපදුණද ඇගේ ශ්‍රී ලංකා පුරවැසිභාවය අහෝසිවී ඇතිය යන්නයි. වෙනත් රටක පුරවැසිභාවය ලබාගත් අයෙකුගේ උපන් රට ශ්‍රී ලංකාව නම් නැවත ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබාගත යුත්තේ ඉල්ලුම් කිරීමෙන්ය. අප ද්විත්ව පුරවැසියන් ලෙස හඳුන්වන්නේ එසේ ඉල්ලුම් කර පුරවැසිභාවය ලබා ගත් අයය. එවැනි අයකු ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබා ගුවන් බලපත්‍රයක් ලබාගැනීමේදී එහි ද්විත්ව පුරවැසියෙකු යන්න සඳහන් කරනු ලැබේ. එහෙත් ඩයනා ගමගේගේ ගුවන් ගමන් බලපත්‍රයේ ඇය ද්විත්ව පුරවැසියෙකු ලෙස සඳහන් වන්නේ නැත. එක්කෝ ඇය, ඇගේ බි්‍රතාන්‍ය පුරවැසිභාවය අත්නොහැර එය වසන් කර ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇත. නැත්නම් ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රය ලබාගැනීමට පෙර බි්‍රතාන්‍ය පුරවැසිභාවය අත්හැර තිබිය යුතුය. එසේ වූවත් ශ්‍රී ලංකා පුරවැසිභාවය නැවත ඉල්ලුම් කර ලබාගෙන තිබිය යුතුය. ඇය ඉපදී තිබුණේ ශ්‍රී ලංකාවේ නොවේ නම් හා ඇගේ මවද ඈ කියනා ආකාරයට උපතින් එංගලන්ත පුරවැසි කාන්තාවක නම් ඇයට උපතින් ලැබෙන ශ්‍රී ලංකා පුරවැසිභාවයක් නැත.

මේ කිසිවක් ඇගේ ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍රය ලබාගැනීමේ ක්‍රියාවලිය තුළ දක්නට ලැබෙන්නේ නැත. ඈගෙන් කළ ප්‍රශ්න කිරීමේදීද පෙන්නුම් කරන්නේද නැත. ඒ අනුව අපට ප්‍රශ්න කරන්නට ඇත්තේ ඩයනා ගමගේ බි්‍රටිෂ්ද, ශ්‍රී ලන්කන්ද යන්නය. නැතහොත් බි්‍රටිෂ්-ශ්‍රී ලන්කන්ද යන්නය.■

 

එංගලන්ත පාස්පෝට් එක දුන්නාම විසි කරනවාද
■ ඩයනා ගමගේ

ඔබේ පුරවැසිභාවය ගැන ආයෙත් කතාබහක් යනවා, ඒ පිළිබඳ නඩුවක් දාන්න යනවා කියලා. ඇත්තටම ඔබට ඩුවල් සිටිසන් තියෙනවාද? මොකක්ද මේකේ තත්වය?
එහෙම දෙයක් නැහැ. ඕක ගැන මට කතා කරන්න දෙයකුත් නැහැ. කියන්න දෙයකුත් නැහැ. දානවලුනේ නඩුව, නඩුව දැම්මාට පස්සේ ඔප්පු කරන්න ඕනේ දාපු එක්කෙනානේ. ඕක නඩුව දාපු කෙනාට ඔප්පු කරන්න කියන්න. එච්චරයි මට කියන්න තියෙන්නේ. වෙන කියන්න දෙයක් නැහැ.

මම බැලුවා ඔබ චමුදිතත් එක්ක කරන ඉන්ටර්වීව් එකක්. ඒකෙදී ඔබ කියනවා නේද මම කාලයක් තිස්සේ ඉගෙන ගන්න එංගලන්තයේ හිටියා තමයි කියලා. ඒ කියන්නේ ඔබ අධ්‍යාපනය ලැබුවේ එංගලන්තයේද? උසස් අධ්‍යාපනය ලැබුවේ එංගලන්තයේද?
ඔක්කෝම ලැබුවේ එහේ. ඕලෙවල් ඒලෙවල් ඩිග්රීස් ඔක්කෝම ගත්තේ එංගලන්තේ.

එතකොට වීසා මතද හිටියේ, කොහොමද හිටියේ?
මගේ අම්මා සුද්දියෙක්නේ. මගේ අම්මා සුදු ජාතික කාන්තාවක්නේ. මගේ අම්මා එංගලන්තේනේ. දැන් ඔයා එංගලන්තේ ගිහින්, ඔයාගේ අම්මා එංගලන්තේ නම් ඔයාට එංගලන්තේ පාස්පෝට් එක දෙනවා නම් ඔයා විසික් කරනවාද, නැහැනේ.

ඒක තමයි මම අහන්නේ ඔබට සිටිසන් එක තියෙනවා කියන එකද ඒකෙ අදහස.
ඉතිං සිටිසන් තියෙනවා. දැන් සිටිසන් තියෙන්න පුළුවන්නේ. ඊයේ තියෙන්න පුළුවන් අද නැතිවෙන්න පුළුවන්. මට ඕන නැත්නම් මට දෙන්න පුළුවන්නේ සිටිසන්.

එතකොට ඔබට තිබුණ සිටිසන් එක අයින් කර ගත්තාද?
ඔව් ඉතිං ඒක මෙහෙමනේ. මේ අහන්නකෝ මේ රටේ මැතිවරණ කොමසාරිස්නේ තීරණය කරන්නේ මන්ත්‍රීකම. ඔය කවුරුවත් නෙමේනේ. මැතිවරණ කොමසාරිස්ට අවශ්‍ය දේ තියෙනවා නම් එච්චරයි, මෙතනට අදාළ. කොමසාරිස්ට මං පෙන්නලා දීලා තියෙනවා නම් මෙන්න මේකයි මේකයි කියලා එතනින් එහාට කාටවත් කතාවක් නැහැ.

ඉලෙක්ෂන් එකේදී මන්ත්‍රීතුමිය අපි දිවුරුම් ප්‍රකාශයක් විතරයිනේ දෙන්නේ මම ඩුවල් සිටිසන් නෙවෙයි කියලා. ඒ හැර වෙන ඩොකියුමන්ට්ස් දෙන්නේ නැහැනේ.
එතකොට ගීතා කුමාරසිංහට මොකද වුණේ?

එයාගේ ඩුවල් සිටිසන් එක ඔප්පු වුණාම මන්ත්‍රීකම අත්හරින්න වුණා. ඔබ කියන්නේ ඡන්දයට ඉස්සරින් ඩුවල් සිටිසන් එක අයින් කරගත්තා කියලාද? කියන්නේ නැත්නම් තිබුනේ බි්‍රටිෂ් සිටිසන් එකක්ද?
මෙහෙමයි මේක ගැන කතා කරන්නේ මම උසාවියේ නඩුවක් දාපු දවසට. මට කතා කරන්න දෙයක් නැහැ. මොකද අදාළ වෙන්නේ නැහැනේ. මම කතා කරන්නේ අදාළ දේවල් විතරයි මට. මම අනිත් දේවල් කතා කරන්න කැමති චරිතයක් නෙමේ. මම අදාළ තැනදි වෙලාවට කතා කරන්නම්.

ඔබ ශ්‍රී ලන්කන් පාස්පෝට් එක මොන කාලයේද ගත්තේ?
ඒක මම ඔයාට කියන්න අවශ්‍යත් නැහැ.

අර ඉන්ටර්විව් එකේදී යෝජනා කරනවා එහෙනම් ඔබ පාස්පෝට් එක රටට ඉදිරිපත් කරන්න කියලා. එහෙම සූදානමක් තියෙනවද?
මම මොනවටද පාස්පෝට් එක ඉදිරිපත් කරන්නේ රට ඉමිග්‍රේෂන් එකයැයි? මේ රටේ කිසිම ජනතාවකට මගේ පාස්පෝට් එක වැඩක් නැහැ. මගේ පාස්පෝට් එක ඉල්ලන්නේ එක තැනකදී විතරයි. ඒ තමයි මේ රටෙන් පිටවීමේදී හා ඇතුල්වීමේදී. අන්න ඒගොල්ලන්ට විතරයි මම පාස්පෝට් එක ඉදිරිපත් කරන්නේ. ඔය එක එක්කෙනාට පාස්පෝට් ඉදිරිපත් කරන්න ලෑස්ති නෑ.■

 

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි