23.7 C
Sri Lanka
27 November,2021

ජාතික රූපවාහිනියේ බිඳවැටීම

Must read

■ එම්.ඩී මහින්දපාල

සිය මාසික වැටුප නියමිත දිනට නොලැබීම හේතුකොටගෙන සභාපතිතුමාගේ කාර්යාලය වටකොට උද්ඝෝෂණයක නියැලෙන ජාතික රූපවාහිනියේ සේවක සේවිකාවන් පිරිසක් පෙන්නුම් කෙරෙන විඩියෝ දර්ශන පෙළක් පසුගියදා සමාජ මාධ්‍යජාල ඔස්සේ ප්‍රචාරය වනු දැකගත හැකිවිය. මෙවැනිම තත්වයක් මෙයට පෙරද එම ආයතනය තුළ සිදුවුවද එහිදී දින කිහිපයකට පසුව එම තත්වය සමනය කර ගැනීමට හැකිවූ බැව් හෙළිවිය. එවර සේවක වැටුප් ගෙවීමට හැකිවූයේ ලංකා බැංකුවෙන් ලබාගත් ණය වාරිකයක් හරහා බැව්ද සැලවිය. මෙවරද එයට සමාන පියවරක් ගැනීමට බලධාරීන් කටයුතු කරනු ඇති බව නිසැකය. ඇතැම්විට බැංකු අයිරාවක් ලබාගත නොහැකි නම් එම මුදල මහා භාණ්ඩාගාරය විසින් හෝ නිකුත් කරනු ඇත.


මෙවැනි අර්බුදයකට අද දවසේ මුහුණ දී ඇත්තේ ජාතික රූපවාහිනිය පමණක් නොවන බව බොහෝ දෙනා දන්නා සත්‍යයකි. වත්මනෙහි මෙරට ක්‍රියාත්මක වන බහුතරයක් රාජ්‍ය ආයතනවල තත්වය මෙයට නොදෙවෙනි වන බව පැහැදිලි කරුණකි. ඒ අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ඛණිජ තෙල් නීතිගත සංස්ථාව හා ලංකා විදුලිබල මණ්ඩලය වැනි ආයතන ලැයිස්තුවේ ඉහළින්ම සිටී.


ජාතික රූපවාහිනිය හෙවත් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මෙවන් ඉරණමකට ගොදුරු වී සිටින මුත් ‘ස්වාධීන රූපවාහිනී සේවය’ එවන් බරපතළ අර්බුදයකට ලක් නොවූයේ ඇයිද යන්න කෙනෙකුට ගැටලුවක් වීමට ද ඉඩ ඇත.


ඇත්ත වශයෙන්ම වත්මන් තත්වයන් යටතේ ලාභ ලබන සාර්ථක රාජ්‍ය ආයතනයක් සොයාගැනීම කළුනික සොයනවාටත් වඩා දුෂ්කර අභ්‍යාසයක් වනු නොඅනුමානය. එවැනි පසුබිමක් යටතේ ජාතික රූපවාහිනියේ වත්මන් අර්බුදය කරළියට පැමිණීම අහම්බයක් විය නොහැක. වත්මන් ලිබරල් ආර්ථික ප්‍රතිපත්තීන් හමුවේ මුළුමනින්ම දේශපාලනීකරණය වූ,අතිශයින් අකාර්යක්ෂම, මෙවන් දූෂිත රාජ්‍ය ආයතන පිරිහීමකට ලක්වීම සාමාන්‍ය තත්වයකි.


1982 දී මෙරට ප්‍රථම දීප ව්‍යාප්ත රූපවාහිනී විකාශයක් ලෙස ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරම්භ කළ යුගයේ දී මෙරට ක්‍රියත්මක වූයේ තවත් එක් රූපවාහිනී නාලිකාවක් පමණි. එය ස්වාධීන රූපවාහිනී සේවය නමින් සීමිත ප්‍රදේශයකට පමණක් විකාශනයන් සිදුකළ රජයට අයත් සමාගමක් ලෙස ක්‍රියාත්මක වූ ආයතනයකි. එය අද පවතින තත්වයට ගොඩ නැඟී ඇත්තේ ජාතික රූපවාහිනිය මෙන් විදෙස් ආධාර ලබා නොවීමද විශේෂත්වයකි. 1979 දී කිසියම් පෞද්ගලික සමාගමක් විසින් ආරම්භ කළ එම නාලිකාවේ අයිතිය එය ආරම්භවී මාස කිහිපයක් ගතවීමට ද මත්තෙන් රජයට පවරාගනු ලැබීය. එයට හේතුව එම සමාගම මුහුණ දුන් කිසියම් පරිපාලනමය ගැටලුවකැයි පැවසේ. මේ අනුව ස්වාධීන රූපවාහිනී සේවයේ පරිපාලනය එකල ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ තේවිස් ගුරුගේ මහතා යටතට පත්විය. එම ආයතනය මුල සිටම ක්‍රම ක්‍රමයෙන් ගොඩනැඟුණු එයටම අනන්‍යවූ පරිපාලන ව්‍යුහයකින් යුතුවූවකි.
එයට සාපේක්ෂව 1982 පෙබරවාරි මස 15 දින ආරම්භ කිරීමට යෙදුණු ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මුළුමනින්ම ජපාන රජයේ පරිත්‍යාගයකි. එහි ආරම්භක සභාපතිවරයා වූයේ ප්‍රවීණ පරිපාලන නිලධාරියෙකු වූ එම්.ජේ. පෙරේරා මහතායි. මා දන්නා තරමින් 1982 පෙබරවාරි 15 වෙනි දින ජාතික රූපවාහිනී ප්‍රථම විකාශය ආරම්භ කිරීම සඳහා ඒ මහතා වෙත ලබා දී තිබූයේ මාස 3කටත් වඩා අඩු කාලයකි. සංස්ථාවේ පරිපාලන ව්‍යුහය මෙන්ම ඉංජිනේරු හා වැඩසටහන් අංශවල කාර්යය පටිපාටිය සකස් කිරීම සඳහා එතුමා ආදර්ශයට ගත්තේ ලොව කවර නම් රටක රූපවාහිනී මොඩලයදැයි අපි නොදනිමු. කෙසේ වෙතත් සිය පරිපාලන අත්දැකීම්, විශේෂයෙන් මෙරට ගුවන් විදුලියේ ප්‍රථම ශ්‍රී ලාංකීය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ලැබූ අත්දැකීම් එහිදී කිසියම් බලපෑමක් කළා විය හැකියි.


කෙසේ වෙතත් එකී මුල් යුගයේ ‘ජාතික රූපවාහිනිය‘ සතුවූ වාසි සහගත තත්වයක් වූයේ එකල මෙරට කිසිදු පෞද්ගලික නාලිකාවක් ක්‍රියාත්මක නොවීමයි. එසේම ග්‍රාහකයන් වෙතින් ලැබුණු වාර්ෂික බලපත්‍ර ගාස්තුව හරහා ලැබුණු ස්ථාවර ආදායම් මාර්ගයක්ද එය සතු විය. මෙම නවතම මාධ්‍ය රට තුළ ශීඝ්‍රයෙන් පැතිරීයාම හේතුකොටගෙන එම ආදායම දිනෙන් දින ඉහළ ගියේය. එහි ප්‍රතිඵලයක් ලෙස එකල රූපවාහිනී සංස්ථාව ලැබූ ආදායම සේවක පඩිනඩි ඇතුළු අනෙකුත් වියහියදම් පියවා ගැනීමට හොඳටම ප්‍රමාණවත් වූවා පමණක් නොව විශාල මුදලක් සහිත බැංකු ස්ථාවර ගිණුමක් පවත්වාගෙන යාමටද හැකිවිය. ඒ අනුව නව බඳවා ගැනීම් මෙන්ම ආයතනය පුළුල් කිරීමේ හා විකාශයන් ව්‍යාප්ත කිරීමේ කටයුතුද ලහිලහියේ සිදුවිය. ජාතික රූපවාහිනියේ පැරණි සේවක සේවිකාවන් උත්කර්ෂයට නංවන අසිරිමත් අතීතය එයයි. රාජ්‍ය ආයතනයක් ලෙස එම ආරම්භක යුගයේදී පවා යම් යම් දේශපාලන ඇඟිලි ගැසීම් නොතිබුණාම නොවේ. ප්‍රථම සභාපති එම්.ජේ. පෙරේරා මහතාට වැඩි කලක් නොගොස් ඉල්ලා අස්වීමට සිදුවූයේද එහි ප්‍රතිඵලයක් ලෙසයි. එහෙත් එකල තත්වය අද තරමටම දරුණු වූවායැයි මට නොසිතේ.
වරින්වර රජයයන් මාරුවිය. නව රජයයන් බලයට පත්විය. සභාපතිවරු පැමිණියාක් මෙන් ම පිටවීද ගියහ. උසුලා ගැනීමට නොහැකි තරමට සේවක සංඛ්‍යාව ද ඉහළ ගියේය. සේවකයන්ගේ වැටුප් ප්‍රමාණයන් ඉහළ ගියේය. ඒ අතර ජපන් රජය විසින් ලබාදුන් උපකරණවල ආයුකාලයද ඉක්ම යන්නට විය. ඒ අනුව නව උපකරණ මිලට ගැනීම හා නඩත්තු කටයුතු වෙනුවෙන් වැය කළ යුතු වූ මුදලද ඉහළ ගියේය. අවම ආයු කාලයක් ඇති, ඉක්මනින්ම යල් පැනගිය තත්වයකට පත්වන ඉලෙක්ට්‍රොනික උපාංග බහුලව භාවිතවන රූපවාහිනිය වැනි මාධ්‍යයක් තුළ මෙම තත්වය වඩාත් බරපතළ ගැටලු නිර්මාණය කළේය.


ඒ අතර 1990 දශකයේ දී මෙරට පෞද්ගලික රූපවාහිනී නාලිකා ක්‍රියාත්මක වීම ඇරඹිණ. ඒ හා සමඟම තවත් අභියෝගයකට මුහුණ දීමට රූපවාහිනී සංස්ථාවට සිදුවිය. එය නම් බලපත්‍ර ගාස්තු අයකිරීම රජය අහෝසි කිරීමයි. මෙම තීරණය ගැනීමට මුල්වූයේ එවැනි බලපත්‍ර ගාස්තුවක් හරහා ලැබෙන මුදල් තනිකරම රූපවාහිනී සංස්ථාව පමණක් භුක්ති විදීම අසාධාරණ වන බවට එල්ල වූ චෝදනාවයි. මන්ද යත් ජාතික රූපවාහිනිය පවා මුල සිටම වෙළඳ ප්‍රචාරක පට විකාශය කිරීමෙන් ආදායමක් ලැබීමයි. මින් අනතුරුව රූපවාහිනී සංස්ථාවටද සිදුවූයේ අනෙකුත් වාණිජ රූපවාහිනී නාලිකා ආකාරයෙන්ම සිය සේවාවන් පවත්වාගෙන යාමටයි. එහෙත් රජයේ සියලු රෙගුලාසිවලින් දෑත් බැඳ දමා ඇති, එමෙන්ම විවිධාකාරයේ දේශපාලන මැදිහත්වීම්වලින් පීඩනයට ලක්ව සිටින ආයතනයකට, තනි තනි පුද්ගලයන්ගේ පාලනයට යටත් පෞද්ගලික ව්‍යාපාරයන් සමඟ තරග කිරීම අතිශයින් දුෂ්කර අභ්‍යාසයක් බවට පත්විය. ඇතැම් විට රජයේ මැදිහත්වීම් සිදුවූයේ දේශපාලන හිතවතුන් සේවක මණ්ඩලයට බඳවා ගැනීමේ දී පමණක්ම නොවේ. තනිකරම රාජපාක්ෂික අන්තර්ගතයකින් යුත් ප්‍රවෘත්ති විකාශය කිරීම, කිසිදු ගෙවීමකින් තොරව රාජ්‍ය උත්සව රූගත කිරීම හා ඒවා නොමිලේම විකාශය කිරීම මෙන්ම යම් යම් මැතිවරණවලදී රජය නියෝජනය කරන දේශපාලන පක්ෂවලට අයත් ප්‍රචාරක දැන්වීම් මුදල් නැතිව ප්‍රචාරය කිරීම වැනි නීති විරෝධී කටයුතු ද ඒ අතර විය. කලකට ඉහත මෙරට අංක එකේ නාලිකාව වූ ජාතික රූපවාහිනිය ස්වාභාවික මරණයක් කරා ගමන් කළේ එයාකාරයෙනි.


මේ වන විට රජයට අයත් වෘත්තීය සමිතියකට බැඳීම සංස්ථාවේ උසස්වීමක් ලබා ගැනීමට හැකි පහසු ම ක්‍රමවේදය බවට පත්ව ඇත. මේ සියලු කරුණු කාරණා මෙරට බහුතරයක් වූ රාජ්‍ය ආයතනවල පිරීහීමට මුල්වී ඇතිය යන්න පැහැදිලි සත්‍යයකි.


රූපවාහිනිය යනු දැවැන්ත ආයෝජනයක් අවැසි මාධ්‍ය ව්‍යාපාරයකි. එයට එක් හේතුවක් වන්නේ එහිදී යොදාගන්නා මෙවලම් ඉතා කෙටි කාලයකදී යල් පැනගිය තත්වයකට පත්වීමයි. රූපවාහිනිය ස්ථාපිත කිරීමට මුලදී ජපන් රජය ආධාර කිරීම හේතුවෙන් එය පමණට වැඩියෙන් ක්ෂණිකව පුළුල්වූවා යැයි කෙනෙකුට තර්ක කළ හැක. එයාකාරයෙන් විදෙස් ආධාර යටතේ ආරම්භ කළ බොහෝ රාජ්‍ය ආයතනවලට අත්වී ඇති ඉරණම මෙහිදී සැලකිල්ලට ගත යුතුවේ. එවැනි විදේශීය ආයතන පිටව ගිය පසු ඒවා නඩත්තු කිරීමට හා පවත්වාගෙන යාමට සැලසුමක් අපට නොතිබීම අවාසනාවකි. එම ආයතන සදාකාලිකව මෙරට රැඳී සිටිමින් අපට ආධාර ලබාදෙනු ඇතැයි සිතීම මුලාවකි.
ලංකාව වැනි රටක සමස්ත ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රචාරක කටයුතු සඳහා වෙන් කෙරෙන මුදල ඉතා සීමාසහිත වූවකි. රටට ඔරොත්තු නොදෙන මට්ටමේ රූපවාහිනී නාලිකා සංඛ්‍යාවක් ඇති අප රටේ එවැනි සොච්චම් මුදලක් සඳහා සෑම නාලිකාවක්ම මාරාන්තික සටනක නියැලීම නිතර සිදුවේ. නීරස වැඩ සටහන් හා ඒක පාර්ශ්වීය ප්‍රවෘත්ති ඇතුළත් රාජ්‍ය නාලිකා මෙහිදී පෝලිමේ අන්තිමටම වැටෙනු නොවැළැක්විය හැක්කකි. මෙහිදී අත යටින් කෙරෙන ගනුදෙනු ද බහුලව සිදුවන බැවින් රාජ්‍ය ආයතනයක් බැඳී ඇති මූල්‍යමය රෙගුලාසි අනුව එයට අනුගත වීමද පහසු නොවේ. ඒ කෙසේ වෙතත් මෙරට රූපවාහිනී නාලිකා බොහොමයක් විශාල ලෙස ලාභ ලබන බවක් නම් නොපෙනේ. බොහෝ නාලිකා ගැටගසාගෙන යන්නේ එහි අයිතිකරුවන්ට අයත් වෙනත් ව්‍යාපාරවල පිහිටෙනි. මෑතකදී ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ බොහෝ අය පුවත්පත් මගින් හෙළිකළේ බොහෝ නාලිකා විසින් විකාශය කරන ලද තමන්ගේ ටෙලි නාටක සඳහා මුදල් ගෙවීම එම ආයතන විසින් නිරතුරුවම කල් දමන බවයි. සමාජ මාධ්‍ය ජාල ව්‍යාප්තව ඇති අද දවසේ මෙය තවත් අර්බුදයක් කරා යොමුවනු නියතය.


කෙසේ වෙතත් මෙරට පැරණිතම රූපවාහිනී නාලිකාව වන ස්වාධීන රූපවාහිනී සේවයේ වත්මන් තත්වය ජාතික රූපවාහිනියේ මට්ටමට තවමත් නොවැටී තිබීමට හේතු කවරේදැයි විමසා බැලීම වටී. එයට හේතුව වන්නේ එහි සේවක සේවිකාවන් හා පරිපාලනයේ විස්මිත දක්ෂතාවක්ද? නොඑසේ නම් එහි ආරම්භක, නිසි බලධාරියා එහි ස්ථාපිත කළ පරිපාලන ව්‍යුහයද? නොඑසේ නම් එය තනිකරම දේශීය සම්පත් ඇසුරෙන් ක්‍රමක්‍රමයෙන් ගොඩනැඟුණු ආයතනයක් වීමද? ජාතික රූපවාහිනියට තරම් දේශපාලන බලපෑම් එයට එල්ල නොවීම එයට තවත් හේතුවක්ද? කෙසේ වෙතත් නුදුරු අනාගතයේදී එම ආයතනයටත් මෙවැනිම ඉරණමක් අත්නොවේයැයි අපට අනාවැකි පළ කළහැකිද?
ඇත්ත වශයෙන්ම ‘රූපවාහිනියේ’ වත්මන් අර්බුදයට විසඳුම කුමක්ද? එකී ආයතනය ‘ජාතික’ නාමයෙන් තවදුරටත් මෙලෙසම පවත්වාගෙන යාමේ අරමුණ කුමක්ද? එය බි්‍රතාන්‍යයේ බීබීසී ආයතනය හෝ ජපානයේ එන්එච්කේ ආයතනය වැනි මහජන රූපවාහිනී සේවයක් (Public broadcasting service) ලෙස පවත්වාගෙන යාමේ හැකියාවක් ඇතිද? එය එසේ නම් එහි ඒකායන අරමුණ විය යුත්තේ ග්‍රාහකයාට උසස්, රසඥතාවෙන් හා ඉහළ ප්‍රමිතීන්ගෙන් යුත් වැඩ සටහන් හා සමබර ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම නොවේද? මේ පිළිබඳව සලකා බැලීම බලධාරීන්ගේ වගකීමයි.


එසේ නොකොට තවදුරටත් භාණ්ඩාගාරයේ මුදල් පොම්ප කරමින් එය පවත්වාගෙන යාම හෝ එය තවත් පෞද්ගලික නාලිකාවක් බවට පත්කිරීමෙන් ජනතාවට සිදුවන සේවයක් නම් නැත.■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි