25.8 C
Sri Lanka
28 September,2021

ජර්නලිස්ට් කෙනෙක් වෙන්න හරියන්නෙ නෑ කියලා උත්තර ලැබුණා – යමුනාමාලනී පෙරේරා

Must read

‘අහස පොළොව වටපිටාව, බැබලීම වගෙම බැසයෑම, සඳ කිනිති නැවී, රෝස තොල් සිඹිම්’ වැනි අතිශය ජනප්‍රිය ගී ගොඩක් ලිවීමෙන් ඈ ජනප්‍රිය වුණා. කවි පොත් 14ක් පළකළා. නවකතා 17ක්, යොවුන් නවකතා 4ක් පළකර තිබෙනවා.  කාර්යබහුල ලියන්නියක වූ ඇගේ ලේඛන විලාසිතාව ගැන කතාබහකි මේ.

ඔබේ තාත්තා සහ සැමියා වන සේනක පෙරේරා එක ළඟ තමයි ජීවිතයෙන් සමුගත්තේ…

පොඩි කාලෙ මගේ පොත්වල ලියලා තිබුණා තාත්තාට කලින් මා මැරේවා කියලා. ආදරය කරන කෙනෙක් මට කලින් මැරෙනවා දකින්න මං බයවුණා. ඒක දැකලා තාත්තා කැළඹීමෙන්, මෙහෙම ලියන්න එපා කිව්වා. තාත්තා අවුරුදු අනූදෙකක් ජීවත්වෙලා මියගියේ. පොතක් කියවමින් ඉන්න අතරේ ලිස්සලා වැටිලායි ඒක වුණේ. තාත්තා නැතිවෙලා අවුරුද්දකින් සේනක නැති වුණා.

විවිධ අය විවිධ උපදෙස් දුන්නා. ඒ කිසිදෙයක් මට තේරුණේ නෑ. මට මතකයි මළගෙදර වෙලාවේ මං ආයේ සිංදු ලියන්නේ නෑ කිව්වා. ඒ වෙලාවේ දයාන් විතාරණ කිව්වා, අක්කා එහෙම කරන්න එපා, ඔයා  සේනක අයියා ගැන සිංදුවක් මට ලියලා දෙන්න කියලා. දවස් දෙකකට පස්සේ මම ‘අප ආ දුර දුරස් නොවී සිටියා නම්’ කියන සිංදුවයි ‘යුගත් මල් දම්’ සිංදුවයි ලියලා දුන්නා. ඔහු ගායනා කළා. ඒකෙන් මට නැගිටින්න පුළුවන් කියන හැඟීම ආවා. මම ඒ වේදනාව එක්ක සිංදු කිහිපයක් ලිව්වා. නිරෝෂා ගැයූ ‘තරු ඇස් දහසක්’, සශිකා කීව ‘දුර අහසට මා එසවූයේ’ සිංදුව වගේ. මම ඒ දුක එක්කම ඉන්නෙ නැතිව ආයෙත් නැගිට්ටා. ඒ දවස්වල ලොකු දුව උසස්පෙළ ලීවා. පොඩි දුව අටේ. ඒත්, මම අලුත් ජීවිතේට හුරුවුණා. දුවලා දෙන්නා විවාහ කළා.

 

පුංචි කාලෙ ලියන්න ආසාව ආවේ තාත්තාගෙන්ද?

තාත්තා ගෙදර විවේකීව ඉන්න හැම වෙලාවකම පොතක් අතේ තිබුණා. මම පාඩම් කරන අතරේ වුණත්, මට පේන තැනක ඉඳන් තාත්තා පොතක් කියවනවා දැක්කා. තාත්තාත් නිතර පුස්තකාලවලට යනවා. පොත් ගේනවා. මමත් පොත් පෙරළලා බැලුවා. අපේ ගෙදර තවත් කියවන්නියක් හිටියා.

 

ඒ කවුද?

අත්තම්මා. හරියට බණ පොත් කියෙව්වා. සද්ධර්මරත්නාවලිය, සද්ධර්මාලංකාරය, පන්සිය පනස් ජාතකය හිටං තිබුණා. ඒවා අරගෙන කියවලා ඉවරවෙලා පන්සලට පූජාකරන සිරිතක් තිබුණා. ඒක මාර විදියට මට දැනිච්ච දෙයක්. අත්තම්මා හරි උනන්දුවෙන් කියවන්නේ. ඉරටු කෑල්ලක් සුද්ද කරගෙන කියවන පේළියෙන් පේළියට ඉරටුව තියාගෙන තොල් මතුර මතුරා කියවන්නේ. නිකමට අත්තම්මාට කතාකළොත් අත්තම්මා කලබලයෙන් වගේ, ‘මම මේ කියවනවා’ කියනවා. මගෙන් බාධාවක් වගේ. එතකොට මට ඉරිසියා හිතුණා. මම ඒ කාලෙ කියනවාලු, ලොකු වුණාම ඔයිට වඩා ලොකු පොත් ලියනවා කියලා. ඒත් අත්තම්මා දෙවැනි ශ්‍රේණියට විතරයි ඉගෙනගත්තේ. එයා හරි ලස්සන කෙනෙක්ලු. ගෑනු ඉගෙනගන්න ඕනෑ කියලා එයාගේ තාත්තා කීවාලු. අත්තම්මා වෙරවීරියෙන් කියවන්න පුරුදු වුණාලු.

 

මුලින් ලිව්වේ කොහොමද?

මම හොර වැඩක් කරමින් හිටියා. පාඩම් පොත්වල පසුපිට පැත්තේ පොඩි සටහන් ගැහුවා. හිතට එන අදහස්. ඊට පස්සේ මෙහෙම කරලාත් හරියන්නෑ හිතලා වෙනම එක්සයිස් පොතක් අරන් අදහස් පොතක් ලියන්න පටන්ගත්තා. ලියන ඒවා නිසඳැස් කවියෙන් වගේ තමයි ආවේ. ඒක පොත් මේසයේ, පොත් ගොඬේ යටම තිබුණේ කාටවත් නොපෙනෙන්න. ඒත් තාත්තාගෙන් ලියන ඒවාට තල්ලුවක් තිබුණේ නැහැ. මට ලියන්න පුළුවන් කීවාම, ඔව් ඔව් පුළුවන් ඇති කියලා කියනවා මිසක් පුතේ තව ලියන්න කීවේ නෑ.

ගුවන් විදුලියේ ‘හඳමාමා’ වැඩසටහනට ලිව්වා නම් හොඳයි කියලා මම තාත්තාට කිව්වාම, තාත්තා කිව්වා පුතේ ඕවා කරලා හරියන්නෙ නෑ කියලා. ඉගෙනගන්න ඕනෑ, ඉගෙනගෙන ඉවරවෙලා තැනකට ඇවිත් ඕවා කරන්න කියලා.

 

තාත්තාගේ අකැමැත්ත මැද ලිව්වේ කොහොමද?

මං, අනේ තාත්තේ එකක් ලියන්නම්, පෝස්ට් කාඞ් එකක් දෙන්න කිව්වා. ගොවියා ගැන කවි දෙකක් ලියලා හඳමාමාට යැව්වා. තාත්තාම තමයි තැපැල් කළේ. ඔන්න පහුවදා ගුවන් විදුලියේ හඳමාමා වැඩසටහනෙන් මේක ප්‍රචාරය වුණා. සුමනා ජයතිලක නැන්දා කවිය ගායනා කළා. අපි ඒ දවස්වල නැන්දා කියලානේ කිව්වේ.

 

තාත්තා කැමති වුණේ දුව මොනවගේ රස්සාවක් කරනවාටද?

මම පොඩි කාලෙ ඩොක්ටර් කෙනෙක් වෙනවා කිව්වා. ඒක කිව්වේ ඩොක්ටර් සරච්චන්ද්‍ර ගැන හිතාගෙන. තාත්තා කිව්වා, කොච්චර හොඳ වැඩක්ද හොඳ පුතේ, ලෙඞ්ඩු සනීප කරන්න පුළුවන් නම් කොච්චර හොඳයිද, ඔයා ඒක කරන්න කියලා. මට ඒ පාර තාත්තා ගැන දුකයි. තාත්තා එදා හිතපු හීනය හැබෑ කරන්නම හිතාගෙන මම උසස්පෙළට ජීව විද්‍යාවත් කළා. වෛද්‍ය විද්‍යාලයට යන්න ලැබුණේ නෑ.

උසස්පෙළ කාලයේ ගුවන්විදුලියට ලියන්න පටන්ගත්තා. ‘කාන්තා කළඹ, පසන් නිවස, මලක මහිම, ශනිදා සාදය’ වගේ වැඩසටහන් ගොඩාක් තිබුණා. ඒවාට කවි, කෙටිකතා, නාට්‍ය වගේ ඒවා පුදුම විදියට ලීවා. ලියන හැම එකක්ම වගේ ප්‍රචාරය වුණා. ධර්මසිරි ගමගේ මහත්තයා දවසක් ලියලා තිබුණා ලේක්හවුස් එකේදී හමුවෙන්න කියලා.

 

තාත්තා මොකද කීවේ…

හොඳ මහත්තයෙක්නේ, හම්බවෙන්න කිව්වා. ඔය අතරේ මට ඩීඑස්අයි ආයතනයේ ගිණුම් අංශයේ රැකියාවක් ලැබුණා. ඒ වැඩට යන අතරේදී ලේක්හවුස් එකටත් ගොඩවෙලා ගමගේ මහත්තයා හම්බවුණා. යොවුන් ජනතා පත්තරේ ‘යොවුන් පහන් වැට’ට ලියන්න කතා කරගත්තා. පසුකාලීනව ජනප්‍රිය වූ ගොඩක් අය යොවුන් පහන් වැටට ලීවා. යොවුන් ජනතාවට අමතරව තවත් පත්තරවලට ලියන්න ගත්තා. තරුණි පත්තරයට ලියන්න කියලා සුමනා සපරමාදු මහත්මිය කීවා. පත්තරේක මුල් පුටුවක හිටපු කාන්තාවක් නිසා සුමනා සපරමාදු මහත්මිය එක්ක කිට්ටු වුණා. ඇය නිසා මටත් පත්තරයක වැඩ කරන්න ආසාවක් ආවා.

 

ඒ ගැනත් තාත්තාගෙන් අහන්න ඇති…

මම පත්තරයක වැඩ කරන්න ආසයි කියලා තාත්තාට කිව්වා. ධර්මසිරි ගමගේ මහත්තයාටත් කීවා. ලේක්හවුස් එකේ ඉන්ටවීව් එකකට යැව්වා. බෝධිනාගොඩ මහත්තයා තමයි හිටියේ. මේ රස්සාව තෝරාගත්තේ ඇයි කියලා ඇහුවා. මං කිව්වා පත්තරවල ලියන්න ආසයි කියලා. කැමරාමන්ලා එක්ක තැන් තැන්වල යන්න පුළුවන්ද ඇහුවා. එහෙම යන්න බෑ, ඔෆිස් එකේම ඉන්න ඕනෑ කියලා මට ටිකක් තරහට වගේ කියවුණා. ඔයා ජර්නලිස්ට් කෙනෙක් වෙන්න හරියන්නෙ නෑ කියලා උත්තර ලැබුණා. පත්තර රස්සාවට මිස් වුණා. තාත්තාත් කිව්වා, ඔයා කරන රස්සාවම කරගෙන යන්න කියලා. මගේ ලිවීම්වලට සම්මාන ලැබුණාට පස්සේ ඩීඑස්අයි එකේ ගිණුම් අංශයේ ඉඳන් ප්‍රචාරක අංශයට මාරුවීමක් ලැබුණා.

 

මුල්ම පොත ගහනකොට හයියට හිටියේ කවුද?

හැත්තෑනවයේදී විතර පුංචි පොතක් ගැහුවා ‘අධිෂ්ඨාන’ කියලා. ඒ තාත්තාගේ වියදමෙන්. පිටු විසි ගාණක්ද කොහෙදෝ. එක්කෙනෙක් මට කීවා, පොතක් ලියනවා නම් පිටු 49ට වැඩි වෙන්න ඕනෑ කියලා. ඒත් මට පොතක් ගහන්න හදිසියක් තිබුණේ නෑ. අනූවෙදී ධර්මසිරි ගමගේ මහත්තයා කිව්වා, යමුනා ඔය පත්තරවලට ලියලා වැඩක් නෑ පොතක් ගහන්න කියලා. ‘ණයට ගත් සාජ්ජය’ කියන පොත කළේ ඒ විදියට. ඒ අවුරුද්දේ සම්මානවලට නිර්දේශ වූ විශිෂ්ට කෘතියක් වුණා.

 

සේනක පෙරේරා කියන පෙම්වතා ආවේ කොහොමද?

‘පරාස්ස’ කියලා නාට්‍යයක් බලන්න යමු කියලා යෙහෙළියන් කිහිපදෙනෙකුගෙන් යෝජනාවක් ආවා. ලුම්බිණි එකේ. සේනක ඒකේ පුදුම රඟපෑමක් රඟපෑවේ. මං යාළුවන්ටත් කීවේ අර බලාපල්ලාකෝ රඟපෑම කියලා. ඒක බලලා වශීවෙලා මම කියව කියවා හිටියා.

නාට්‍යය ඉවරවුණාට පස්සේ යාළුවෝ වේදිකාව පිටිපස්සට ගියේ නාට්‍ය කණ්ඩායම මුණගැහෙන්න. මට ඔය නළුවෝ හම්බවෙන්න බෑ. තාත්තා දැනගත්තොත් අවුලක් කියලා මම කණුවක් ගාව එළියේ හිටගෙන හිටියා. ටික වෙලාවකින් මෙන්න බොලේ සේනක මා හිටපු තැනට එනවා. මම ලියපු කවිත් සේනක දන්නවා. කවුද කියලා බලන්න ආවේ කිව්වා. මම ටිකක් ආඩම්බරයි. ඒත් කවි ගැන කතාව නිසා අහුවුණා. කතාබහ ඉස්සරහට ගියා. මුණගැහුණා. පස්සේ දවසක එයා මට කවි පන්තියක් එවලා තිබුණා. මම ‘තහනම් කවියක්’ කියලා ඒකට උත්තරයක් ලිව්වා. සහෝදරත්වයෙන් ඔබ්බට ගිය සම්බන්ධයක් ඇතිවුණා. ඒත් මට බයක් තිබුණා. අපේ තාත්තාට ඔය කලාකාරයෝ අරහංනේ. සේනක බයසැක නැතුවම ගෙදර ගිහින් තාත්තා මුණගැහුණාට පස්සේ පුදුම විදියට තාත්තාගේ හිත එයාට පැහැදුණා.

 

‘අහස පොළොව’ සුනිල් එදිරිසංහට ලැබුණේ සේනක නිසාලු…

ඔය කාලෙම සේනකට රුසියාවේ යන්න ශිෂ්‍යත්වයක් ලැබුණා. එයාට ඕනෑ වුණේ විවාහ වෙලාම යන්න. කොහොම හරි කතා කරගෙන, රෙජිස්ටර් කරලා එයා රට ගියා. ඇවිල්ලා තමයි වෙඩින් එක ගත්තේ. එයා රට ඉන්නකොට ලියපු ලියුමක තමයි ‘අහස පොළොව වටපිටාව’ කියන කවිය තිබුණේ. පස්සේ එයා ලංකාවට ඇවිල්ලා මහවැලියේ වැඩ කරනකොට සුනිල් එදිරිසිංහ අයියාත් හිටියේ එතැන. සේනකම තමයි ‘අහස පොළොව’ ගෙනිච්චේ. රෝහණ වීරසිංහ සංගීතය කරලා දුන්නා. හරිම ජනප්‍රිය වුණා.

 

පවුල අස්සේ ලියන එක අමාරුවක් වුණේ නැහැ…

විවාහයෙන් පස්සේ සේනක වේදිකා නාට්‍යවල රඟපෑමෙන් ටිකක් ඈත්වුණා. එයා මීට කලින් රංගනයට සම්මාන ගත් කෙනෙක් වුණත්, යම් කැපකිරීමක් කළා. තැන් තැන්වල යන්නට සිද්ධවුණ හින්දා. වතාවක් එයා දුරබැහැර නාට්‍යයක් රඟපාන්න ගියා. තඩි රැවුළක් තියෙන කෙනෙක් නිසා මාත් දරුවනුත් එයා රැවුළ එක්කයි දැකලා හිටියේ. ඒත්, මේ කියන නාට්‍යයේ චරිතයක් වෙනුවෙන් රැවුල කපන්න වුණාලු. රැවුළත් නැතුව රෑ ගෙදරට එද්දීම මටත් ළමයාටත් එක පාර ඔහු අඳුනගන්න බැරිවුණා. දෙන්නාම බයවුණා. ළමයා බයෙන් කෑගැහුවා.

මගේ ලිවීමෙන් නම් ඈත්වෙන්න සිද්ධවුණේ නෑ. සේනකගෙන් මට ලොකු තල්ලුවක් ලැබුණා. මම බිරිඳ, මව, දියණිය සහ රස්සාවේ වැඩ කරන අතරේම දිගටම ලීවා. මම සාමාන්‍යයෙන් උදේම නැගිටලා ලීවා. ළමයි වැඩිපුර කෑගහන වෙලාවට පුතේ අම්මාට වැඬේ කරගන්න දීලා කෑ නොගහා ඉන්න කියලා සේනක කියනවා. ළමයි පුංචිම කාලයේ රස්සාවෙන් අයින්වෙන්න කියලා සේනක පොඩි යෝජනාවක් කළා. ඒත් තාත්තා මට රස්සාවෙන් අයින් වෙන්න එපා කිව්වා. තාත්තාගේ කීමට තමයි රස්සාවේ හිටියේ. කොහොමහරි ලියන එකට වටේ හිටිය හැමෝම උපරිම උදව් කළා.■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි