29.5 C
Sri Lanka
18 September,2021

ජනජීවිතය කඩාවැටීම, සමාජ අසහනය සහ ආණ්ඩුවේ අසංවේදීතාව

Must read

  • මේ පසුබිම තුළ කෙනකුට නිරීක්‍ෂණය කළ හැකි තවත් කනගාටුදායක කාරණයක්ද තිබේ. අප රටේ දුගී, කම්කරු පන්තික සහ පහළ මෙන්ම මැද පන්තික ජනයාගේ ආර්ථික කඩාවැටීම ගැන කිසිදු සංවේදීතාවක් හෝ එම කඩා වැටීම වැළැක්වීමට කිසිදු වැඩපිළිවෙළක් හෝ ආණ්ඩුවට නැති වීමයි.
  • මෙම ජනතාවට ආණ්ඩුවෙන් ලැබෙන්නේ කුමක්ද? ආණ්ඩුවේ ප්‍රචාරක යන්ත්‍රය විසින් දිනපතාම බෙදාහරිනු ලබන අන්ධ විශ්වාස, වර්ගවාදය, ව්‍යාජ දේශප්‍රේමය සහ නායක වන්දනය, දේශීය වෙදකම් මහිමය ආදි මිථ්‍යාවන්ය.

මීට දින කිහිපයකට පෙර උදයේ කොළඹ සිට කුරුණෑගලටත්, දවල් කාලයේ කුරුණෑගල සිට කොළඹටත් සංචරණය කිරීමේ අවස්ථාවක් මට ලැබිණ. මෙම වසරේ ජනවාරි මාසයෙන් පසුව කඩුවෙල සිට කුරුණෑගල දක්වා මඟ දෙපස සමාජ-ආර්ථික දර්ශනය නැරඹීමට මට ලැබුණු පළමුවැනි අවස්ථාව මෙයයි. මෙහිදී සෑම යාර සීයක් පාසාම වාගේ මා දුටුවේ වසා දමා පාළුවට ගාස් ඇති කුඩා කඩ, තේපැන් සැල්, පෙට්ටි කඩ, ලෑලිවලින් සෑදූ එළවළු කඩ, පලතුරු කඩ යනාදියයි. වැලිවේරිය, ඉඹුල්ගොඩ, මුදුන්ගොඩ, යක්කල, තිහාරිය, හොරගොල්ල නගරවල පාර දෙපස ඒ කාලයේ සුලබව තිබුණු, කෙසෙල්, ගස්ලබු, අන්නාසි, ගොටුකොළ කඩ සහ ලෑලි දැන් බොහෝ දුරට අතහැර දමා ඇත. පාර අද්දර තේ කඩ බොහොමයක් වසා දමා පුටු කකුල් උඩට සිටින සේ  අඩුක්කු කර, වෙනදා ආප්ප, පොල් රොටි, කොත්තු රොටි ආදි කෑම සෑදීමට යොදාගත් කෝකි මේස, ඒවා වටේ ඇති වීදුරු පැනෙල් සමගම පාලුවට ගොස් ඇත.

වෙනදා උදේ තේ බීමටත්, දවල් කෑම කෑමටත් සෙනග පිරී තිබුණු ආපන ශාලා බොහොමයක් එක්කෝ වසා දමාය. නැත්නම්, දොරවල් ඇර තිබුණත් පාරිභෝගිකයන් ඉන්නේ දෙතුන් දෙනෙකි. මුළු වරකාපොළම උදේ ආහාර ගැනීමට තරමක් හෝ පිරිසක් සිටියේ කඩවල් දෙක තුනකය. තුල්හිරිය, අලව්ව, පොල්ගහවෙල, පොතුහැර ආදි කුඩා නගරවල වෙළෙඳසැල් සහ ආපන ශාලා වැඩි හරියක් පත්වී තිබෙන්නේ එක්කෝ පාලුවට යෑමේ නැත්නම්, වෙළඳාම කඩා වැටීමේ තත්වයකටය. වෙළඳාම ටිකක් හෝ සිදුවන බව පෙනුණේ කුරුණෑගල නගරයේය. එහෙත් වෙනදා තිබුණු ජනාකීර්ණ බව හෝ පාරිභෝගිකවාදය හෝ ‘සශ්‍රීක’ බව හෝ එම නගරයේ දැන් පෙනෙන්නට නැත. මේවා වනාහි අප රට පත්වී ඇති දරුණු සමාජ-ආර්ථික අකර්මණ්‍යතාවක සහ කඩාවැටීමක දෘශ්‍ය සාක්‍ෂිය.

ඒ කොළඹ කුරුණෑගල පාර ගැනයි. ලංකාවේ අනෙක් පාරවල් දෙපසද, නගරවලද ඇති ආර්ථික කඩාවැටීම පිළිබඳ පොදු චිත්‍රය මෙයම විනා අන් කිසිවක් විය නොහැකිය. ඒවා සෞභාග්‍යයේ නොව නැග එන නව දරිද්‍රතා රැල්ලක පෙර මග ලකුණු ය.

 

සමාජ ඛේදයක්

මේ අතර, කෝවිඞ් පාලන නීතිවලට නිසි ලෙස අනුගත වෙමින්, වැඩි කාලයක් ගෙදරට වී සිටින ගමන්, ඉඳහිට පාරට බසින සහ අසල්වැසියන් සමග තොරතුරු හුවමාරු කරගනිමින්, ඉඳහිට නුගේගොඩ, කොහුවල පැත්තට ගොස් ඒ නගරවලටත් එහි ජනයාටත් සිදුවී ඇති විපත ගැන මා ගොඩනගා ගෙන ඇති අවබෝධය, එන්න එන්නම තියුණු වන මහා සමාජ ඛේදයක් පිළිබඳ අවබෝධයක්ද වෙයි. මෑත කාලයෙන් නිදසුනක් දක්වන්නේ නම් මෙසේය.

ඊයේ පෙරේදා දවසක, මා ගෙදරින් එළියට බැස සිටි අවස්ථාවකදී, ත්‍රීරෝද රථයකින් පැමිණි කෙනෙකු මා සොයා ඇත. ඔහු පැමිණ ඇත්තේ, තම පුත්‍රයාත් සමග ත්‍රීවීල් රථයකින්, පොල් ටිකකුත් පටවාගෙනය. මට පසුව දැනගන්නට ලැබුණ පරිදි, ඔහු මා තරමක් දන්නා, වැල්ලවත්තේ පදිංචි ටැක්සි ව්‍යාපාරිකයෙකි. මාර්තු මාසයෙන් පසු කුලී රථ ව්‍යාපාරය සම්පූර්ණයෙන් බිඳවැටී තිබේ. පසුගිය මාස කිහිපය තුළම ඔහුට ලැබී තිබෙන්නේ එකම දුර ගමනකි. ඒ නිරෝධායනයට යන පිරිසක් කොළඹ සිට කැඳවාගෙන යාමටය. කුලී රථ ව්‍යාපාරය බිඳවැටීමෙන් පසු ඔහු දැන් කරන්නේ කොළඹ පාසලක උසස් පෙළ පන්තියේ ඉගෙන ගන්නා තම පුත්‍රයාද සමග, පොල් සහ එළවළු ත්‍රීවීලරයෙන් ගෙනගොස් විකිණීමයි. ඒ අතර ඊයේ සිට අපේ පැත්තේත් පොලිසියෙන් නිවේදනය කරමින් යන්නේ, ත්‍රීවීලර්, බයිසිකල් සහ අත් කරත්තවලින් වෙළෙන්දන් ගෙන එන බඩු මිලදී ගැනීමේදී පරෙස්සම් වන ලෙසයි. හැකිතාක් දුරට පික්මී හෝ සුපර්මාර්කට් මාර්ගයෙන්, දූරකථනයෙන් හෝ ඔන්-ලයින් මගින් ඇණවුම් කර පාරිභෝගික භාණ්ඩ ලබාගැනීම අපේ සෞඛ්‍ය ආරක්‍ෂාවට හොඳ වුණත්, සිය ගණන් එදා වේල හම්බ කර ගන්නා මේ සුළුවෙනුත් සුළු ව්‍යාපාරිකයන්ගේ ජීවන මාර්ග බිඳ වැටීමද අනිවාර්ය වනු ඇත.

ත්‍රීවීලර් ගැන කථා කරන්නේ නම්, අවුරුදු ගණනාවකින්ම දැක ඇති, කළුබෝවිල, කොහුවල නුගේගොඩ අවට ත්‍රීවීලර්  රියැදුරන් දැන් මට හමුවන්නේ, පරණ කලිසම් හැඳගත්, හරියට රැවුළ කොණ්ඩයවත් කපා නැති, අලුත් නොවන මාස්ක් පැළඳගත්, අපේක්‍ෂා භංගත්වය නිසා දීප්තිය ගිලිහුණු ඇස්ද, මුහුණුද සහිත තරුණ, මැදිවියේ සහ මහලු පිරිමි පුරවැසියන්ය. ඉන් බොහෝ දෙනා දැන් පෙරදී මෙන් උනන්දුවෙන් සහ උද්යෝගයෙන් දේශපාලන සාකච්ඡා ආරම්භ කරන්නේද නැත. ජනාධිපති හා පාර්ලිමේන්තු මැතිවරණවලදී පොහොට්ටු අපේක්‍ෂකයන්ට ඡන්දය දුන් මෙන්ම ආඩම්බරයෙන් පෙනීසිටි බොහෝ දෙනා, දැන් දේශපාලනය කතා කරන්නේ ලජ්ජාවෙනි. අමාරුවෙන් හෝ එදා වේල හම්බ කර ගැනීමට තිබෙන අවකාශ එන්න එන්නම තුනී වීමේ භීතිය සහ ජීවිත කළකිරීම, ඔවුන්ගේ ඇස්වලින්ද මුහුණුවලින්ද, වචනවලින්ද, ශරීර භාෂාවෙන්ද ශබ්ද නගා ප්‍රකාශ වන පණිවිඩයයි.

මා ජීවත්වන නාගරික ගමේ, අර්බන් විලේජ් එකේ, මා වැනි මධ්‍යම පන්තිකයෝද, මට වඩා ඉහළ සෞභාග්‍යයක් හිමි ව්‍යාපාරිකයෝද, දුගී සහ කම්කරු පන්ති පවුල්ද ජීවත් වෙති. මෙම අවසානයට කී දුගී සහ කම්කරු පවුල් පෙරදී ජීවත් වූයේ, එම පවුල්වල වැඩිහිටි පිරිමි සහ ගැහැනු සාමාජිකයන් කළ දෛනික, අනියම්, රැකියාවලින් ලැබුණු වැටුපෙනි. කෝවිඞ් වසංගතය විසින් දැනට සම්පූර්ණයෙන් වාගේ හදවතක් නැතිව බිඳ දමනු ලැබ තිබෙන්නේ, නාගරික සමාජයේ දස දහස් ගණන් පවුල්වල ජීවිකාව පදනම් වූ මෙම අනියම් සේවා සහ රැකියා ව්‍යුහයයි. නාගරික මධ්‍යම පන්තික සහ ඉහළ ආදායම්ලාභී පවුල්වල, ආහාර පිසීම, රෙදි සේදීම, ගේ දොර පිරිසිදු කිරීම, ළමයින්ට තනි රැකීම, රෝගී වැඩිහිටියන් බලා ගැනීම, සුරතල් සතුන් බලාගැනීම ආදි කාර්යයන්ට පැමිණ, දෛනික ආදායමක් ලබාගත් දුප්පත් නාගරික පවුල්වල ස්ත්‍රීන්ට, දැන් එම රැකියා අවකාශය අහිමි වී ඇත. කෝවිඞ් වසංගතය පැතිරෙන්නේ දුප්පත් ජනයා නිසාය යන ප්‍රභූත්වවාදී මිථ්‍යාව ටෙලිවිෂන් මාධ්‍යයෙන් දිගින් දිගටම ප්‍රචාරය කරන පසුබිමක් තුළ මෙම දුප්පත් ස්ත්‍රීන්ගේ දෛනික රැකියා යළි නොලැබෙන පරිදි අහිමී වී ඇත.

නාගරික දුගී පිරිමින්ට සිදු වී තිබෙන්නේ කුමක්ද? මාද හවුල්කරුවෙකු වන එක් නිදසුනකින් මෙය පැහැදිලි කළ හැකිය. මගේ ගෙදර මිදුලේ තණකොළ කපා පිරිසිදු කිරීම, ඉස්සර මා මානසික හා ශාරීරික ව්‍යායාමයක් ලෙස කළ දෙයකි. එහෙත් ටික කලකදී, මා සමග මිත්‍රවූ අපේ කළුබෝවිල දුගී ජනතාව වාසය කරන කලාපයේ කෙනකු අපේ ගෙදරට පැමිණ කළ ඉල්ලීමකින් පසු ඔහුට සහ ඔහුගේ පවුලට ආධාර පිණිස, අවුරුදු ගණනාවක් මා කළ එම කාර්යය, මගේ වයසට යෑමේ කාරණයද යොදාගෙන, එම පුද්ගලයාට පැවරුවෙමි. එහෙත්, කොරෝනා කාලය තුළ, ඔහුට එම කාර්යයට ආරාධනා කිරීමට පෙර, අපේ ගෙදර බරපතළ සාකච්ඡාවක් සිදුවේ. එහෙත්, නාගරික මධ්‍යම පන්තික ජනයා එවැනි සාකච්ඡා කරන්නේ නැත. ඔවුන් තම ගෙවත්තේ වල් කපා සුද්ද කරගන්නේ කෙසේදැයි සමීක්‍ෂණයක් කර නැතත්, මා හොඳින් දන්නා දෙය නම් තණකොළ කැපීම යන ස්වයංරැකියා වෘත්තියේ යෙදෙන බොහෝ දෙනාට තම ආදායම් මාර්ග අහිමි වී ඇත යන්නයි. මෙය මා දිනපතා දකින නාගරික ඛේදවාචකයේ එක් පැත්තකි. සමහර දෙනා බයිසිකලයේ නැගී, ලවුඞ්ස්පීකරයකින් තමන් දෙන තණකොළ කැපීමේ සේවය නිවේදනය කරමින් යති. අපේ ගමේ නම් කවුරුවත් ඔවුන් නතර කර වැඩක් දෙනු මා දැක නැත.

 

මධ්‍යම පන්තිය

මෙය දුගී ජනතාවට ඇතිවී තිබෙන අභියෝගයයි. දුගීන් නොවන, පහළ මධ්‍යම පන්තිකයන්ට වී තිබෙන ඉරණම කුමක්ද? දන්නා පවුල් දෙකක් ආශ්‍රිතව, නාගරික මධ්‍යම පන්තියේ ඉරණම ගැන සුළු අදහසක් හෝ දීමට මම උත්සාහ කරමි.

මා දන්නා සහෝදර සහෝදරියන් කිහිප දෙනකු සිටින එක් පවුලක්, මාර්තු මාසය වන තුරු නාගරික මධ්‍යම පන්තියේ සාපේක්‍ෂ සුවපහසුකමෙන්ද, අපේක්‍ෂාවන්ද සහිතව ජීවත් වූහ. සහෝදර සහෝදරියන් තුන් දෙනකු සංචාරක සහ සේවා ක්‍ෂෙත්‍රයට සම්බන්ධ, ප්‍රමාණවත් වැටුප් ලැබූ තරුණ වෘත්තිකයෝ වූහ. එහෙත් කෝවිඞ් වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන් තුන් දෙනාටම රැකියා අහිමි විය. තම දෙමව්පියන්ගේ ඉතිරි කිරීම් සහ විශ්‍රාම වැටුප් නොතිබෙන්නට එම පවුලට සිදුවන්නේ කුමක්ද? මෙය වනාහි අප සමාජයේ ලක්‍ෂ සංඛ්‍යාත මධ්‍යම පන්තික පවුල් අද මුහුණ දී තිබෙන යථාර්ථයයි. එය වනාහි බිහිසුණු යථාර්ථයකි.

මා දන්නා අනෙක් පවුල මහරගම නිමි ඇඳුම් නිෂ්පාදනය කිරීමෙන් සහ විකිණීමෙන්, සෑහෙන ආර්ථික ස්වාධීනතාවක් අත්පත් කරගනිමින් සිටි පවුලකි. ගේදොර අලුතෙන් හදාගැනීම, වාහනයක් දෙකක් මිලදී ගැනීම, ළමයින්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම වැනි නාගරික මධ්‍යම පන්තික අපේක්‍ෂාවල සංකේතද ඔවුන්ගේ ජීවිතයේ කොටස් විය. එහෙත් 2019 අප්‍රියෙල් මාසයේ සහරාන් ප්‍රමුඛ ත්‍රස්තවාදීන්ද, 2020 පෙබරවාරි සිට කෝවිඞ් වසංගතය විසින්ද සිදුකරන ලද්දේ කුමක්ද? මහරගම ඇඟලුම් කර්මාන්තය සහ වෙළඳාම විනාශ කර දැමීමයි. අවුරුදු දෙකක්ම පිට පිටම දරුණු පසුබෑම්වලට ලක්වූ මහරගම සුළු වෙළඳ ආර්ථිකයට යළි ගොඩනගා ගැනීමට උදව්වීම, ජනාධිපතිතුමාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ න්‍යාය පත්‍රයට නම් අයත් නැති බව පෙනේ. මෙම පවුලේ ඉරණම, මහරගම පමණක් නොව, ලංකාවේ සියලු නගරයකම පාහේ දස දහස් ගණන් සුළු වෙළඳ ප්‍රජාවගේ අලුත් ඉරණමයි. මෙම සුළු වෙළඳ පවුල්වල ජීවිත දිනෙන් දින ආර්ථික වශයෙන් බිඳ වැටෙමින් යන හැටි, ඇස් ඇරගෙන පාරේ ඇවිදින කෙනකුට මේ දිනවල පහසුවෙන් නිරීක්‍ෂණය කළ හැකිය.

 

ආණ්ඩුවේ අසංවේදීභාවය

මේ පසුබිම තුළ කෙනකුට නිරීක්‍ෂණය කළ හැකි තවත් කනගාටුදායක කාරණයක්ද තිබේ. අප රටේ දුගී, කම්කරු පන්තික සහ පහළ මෙන්ම මැද පන්තික ජනයාගේ ආර්ථික කඩාවැටීම ගැන කිසිදු සංවේදීතාවක් හෝ එම කඩා වැටීම වැළැක්වීමට කිසිදු වැඩපිළිවෙළක් හෝ ආණ්ඩුවට නැති වීමයි. මහ බැංකුවේ නිලධාරීන් ගෙන්වා ඔවුන්ට ජනාධිපතිතුමා බැණවැදීමෙන් පසු දියත් කරන ලද ආර්ථික පුනර්ජීවන ක්‍රියාමාර්ගයෙන් තවමත් ප්‍රතිලාභ ලැබෙන බව පෙනෙන්නේ විශාල ව්‍යාපාරික සමාගම්වලටය. කොළඹ කොටස් වෙළෙඳපොළේ කටයුතු නැවත යථා තත්වයට පත්වෙමින් තිබෙන බවත්, විශාල සමාගම්වල ලාභ ඉහළ යෑම ආරම්භ වී ඇති බවත් ප්‍රකාශ කරන සුබවාදී ප්‍රවෘත්තිවලට ආණ්ඩුවේ ප්‍රචාරක මාධ්‍යවලින් විශාල ප්‍රසිද්ධියක් ලැබේ. එහෙත් නාගරික, අර්ධ නාගරික සහ ග්‍රාමීය කම්කරු, ගොවි, මැද පන්ති සහ දුගී ජනයාගේ ආර්ථික ජීවිතය බිඳවැටීමෙන් බේරා ගැනීම ගැන කිසිදු සාකච්ඡාවක් හෝ දැක්මක් හෝ කැක්කුමක් හෝ ආණ්ඩුවේ දේශපාලනඥයන්ගෙන්වත්, නිලධාරීන්ගෙන්වත්, වියතුන්ගෙන්වත් ප්‍රකාශ වන්නේ නැත.

ඒ වෙනුවට මෙම ජනතාවට ආණ්ඩුවෙන් ලැබෙන්නේ කුමක්ද? ආණ්ඩුවේ ප්‍රචාරක යන්ත්‍රය විසින් දිනපතාම බෙදාහරිනු ලබන අන්ධ විශ්වාස, වර්ගවාදය, ව්‍යාජ දේශප්‍රේමය සහ නායක වන්දනය, දේශීය වෙදකම් මහිමය ආදි මිථ්‍යාවන්ය. මහජනයා රවටා ඡන්දය දිනන දේශපාලනඥයනුත්, ඔවුන්ගේ ප්‍රචාරක ව්‍යාපාරවලින් ලාභ ලබන මාධ්‍ය ආයතනත් සිතන්නේ, මෙලෙස රවටනු ලැබීමට මහජනයා දිගින් දිගටම කැමැත්තෙන්ම සිටින බවයි. එහෙත් එය දේශපාලනඥයන් සාමාන්‍යයෙන් සිදුකරන ස්වයං-රැවටීමක් බව ටික කලකදී ඔවුන්ට පෙනෙන්නට තිබෙන ඉඩකඩ ගැනද අමතක නොකළ යුතුය. එක් නිසාද යත්, කොරෝනා අර්බුදයත්, ආණ්ඩුවේ අසාර්ථකත්වයත්, අසංවේදීතාවත් හමුවේ දිනෙන් දින වැඩෙන විශාල සමාජ අසහනයක් සහ විරෝධයක් අප රටේ සෙමෙන් සෙමෙන් ගොඩනැගෙමින් තිබේ. මර්දනය සහ රැවටීම තුළින් මෙම සමාජ අර්බුදය විසඳීමට තමන්ට හැකි යැයි ආණ්ඩුව සිතන බවද පෙනේ. එය වනාහි දුර්වල පාලකයන් ඉතිහාසය පුරාම කර තිබෙන වැරැද්දකි.

ඉහත විස්තරයෙන් පෙන්නුම් කරන ආකාරයේ නව සමාජ-ආර්ථික යථාර්ථයක් අප රටේ දැනට බිහිවී ශක්තිමත් වෙමින් පවතී. එය නම් කෝවිඞ් වසංගතයේ ආර්ථික ප්‍රතිඵල විසින්, අප රටේ අසමානතාත්, නව දරිද්‍රතා ප්‍රවණතාත්, නව සමාජ අසහනයේ මූලාශ්‍රත් ගොඩනගා තිබෙන බවයි. ආණ්ඩුවේ, ආර්ථික විශේෂඥයන්ගේ, ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ සහ ජනමාධ්‍යවල වගකීම වන්නේ ඒවා ගැන සංවේදී හා දැනුවත් වී ඒවා අඩු තරමින් කෙටිකාලීන වශයෙන් අවම කිරීමේත්, දිගුකාලීන වශයෙන් විසඳීමේත් පියවර ගැන දැන්ම පටන්ම සාකච්ඡා ඇරඹීම මිස, ඒවා මහජන අවධානයෙන් ඉවත් කරන සුරංගනා ලෝක, අද්භූත සහ අවතාර ලෝක මැවීම, කොඩිවින සහ කුමන්ත්‍රණ න්‍යායවල පිහිට පැතීම යනාදිය නොවේ.■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි