25.8 C
Sri Lanka
28 September,2021

ගීත 6000ක් ලියූ චන්ද්‍රදාස නම් තරුණයා තරුණය – ගීත රචක චන්ද්‍රදාස ප්‍රනාන්දු

Must read

  • ජාතියේ පිනට පහළ වෙච්ච ගායකයෝ මට නෑ. අමරදේව මාස්ටර්, සුනිල් පෙරේරා,
    ක්ලැරන්ස් විජේවර්ධන, නිහාල් නෙල්සන් එකිනෙකාට වෙනස් ගීත නිර්මාණය කළ,
    ගායනා කළ අය. මට නම් හැමෝම මේ රටේ පිනට පහළ වෙච්ච අය තමයි.

චන්ද්‍රදාස ප්‍රනාන්දු වසර පනහකට අධික කාලයක් තිස්සේ 6000කට ආසන්න ගීත ප්‍රමාණයක් රචනා කළ තවමත් නිර්මාණකරණයේ යෙදෙන වෘත්තීය ගීත රචකයෙකි. පුන්සිරි සොයිසා ගැයූ ‘මේ බස් නැවතුම, සුභාෂිනී ඔබ, අදින් පසුව නෑ අප හමු වන්නේ’, නිහාල් නෙල්සන් ගැයූ ‘උඩ කරණම් බිම කරණම් ගහන පරවියා, සල්ලි මිටි ගණන්, කාලෙන් කාලෙට එන වසංගතේ නෑ අඩුපාඩු, අන්ධ අඳුර නැග එනකොට හැන්දෑවට නගේ, පන්සල පල්ලිය’, කීර්ති පැස්කුවල් ගැයූ ‘ආදරේ සිත සනසන ආදරේ’, උපාලි කන්නංගර ගැයූ ‘ගෙලේ රන් මාල දා හැඩ වී’, රන්දීර්, භාතිය හා උමාරියා ගැයූ ‘මල් මදහාස පෑ සිනා’, සිහ ශක්ති සංගීත කණ්ඩායම ගැයූ ‘ඉස්සර කාලේ පටන්’, ජිප්සීස් සංගීත කණ්ඩායම ගැයූ ‘අයි ඩෝන්ට් නෝ වයි, කොත්තමල්ලි, තාත්තා මට ඇනපු ටොක්ක’ වැනි ගීත චන්ද්‍රදාස ප්‍රනාන්දු රචනා කළ සමහරකි.

■ ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර

සි ංදු ලියන්න පටන් ගත්තේ..
තාත්තාට වුවමනා කරලා තිබුණේ මා සිවිල් ඉංජිනේරුවෙක් කරන්න. ඒත් මගේ කැමැත්ත තිබුණේ පුවත්පත් කලාවේදියෙක් වෙන්න. පාසල් අවධියේ විමලදාස බෝදරගම කියන ගුරුවරයා පාසලේ කාව්‍ය නිර්මාණ තරගයකට බලෙන් වගේ මාව යොමු කළා. අවසානේ තාත්තාගේත්, මගේත් බලාපොරොත්තු සුන් වෙලා, මම ගීත රචකයෙක් වුණා.
රෝහණ හෙට්ටිආරච්චි රත්මලාන ප්‍රදේශයේ තරුණයෝ පිරිසක් එක්ක එක් වෙලා වෙසක් උත්සවයක් සංවිධානය කළා. ඒ උත්සවයේ පෙන්නපු නාට්‍යය ලියලා අධ්‍යක්ෂණය කළේ මම. ගීත ඔක්කොම ලිව්වේ මම. ලංකාවේ ප්‍රසිද්ධ ගායක, ගායිකාවෝ සහභාගි කරගෙන ඒ ගීත පටිගත කරලා උත්සවේ පවැත්වුණු දින ගණනක් තිස්සේ ප්‍රචාරය කළා. ප්‍රදේශයේ තරුණ තරුණියෝ ඒ හඬට අනුව රඟපෑවා. අවුරුදු ගණනක් රත්මලානේ මැලිබන් හන්දියේ පවත්වපු ඒ ප්‍රසංගයට ලක්ෂ ගණනක් සෙනග ආවා.
ඒ කලේ මිනිස්සු පොදු වැඩවලට ආවේ මුදල් බලාගෙන නෙමෙයි. අමරසිරි පීරිස් ගුවන් විදුලියේ වැඩ ඉවර වෙලා වයලීන් වාදනය කරන්න ආවා. ගුණදාස කපුගේ, සුනිල් එදිරිසිංහ, වික්ටර් රත්නායක, ටී.එම්. ජයරත්න, අබේවර්ධන බාලසූරිය, නෙරන්ජලා සරෝජනී, සනත් නන්දසිරි වාගේ අය බොහෝම නිහතමානීව මේ වැඩවලට සම්බන්ධ වුණා. පටිගත කිරීම් කළේ ගෙවල්වල. පටිගත කිරීමේ යන්ත්‍රය ගෙවල්වලට අරන් ඇවිල්ලා එළිවෙනකම් පටිගත කරනවා. පරිසරයේ ශබ්ද අඩු වෙන්න අහළ, පහළ අය නිදා ගන්නකම් ඉන්න ඕනෑ. ඒ නිසා පටිගත කිරීම් පටන් ගන්නකොට රෑ 12 පහු වෙනවා. එළි වෙන්න කලින් ඉවර කරන්නත් ඕනෑ. පෝල් වර්ණකුලසූරිය කියලා දක්ෂ පටිගත කිරීම් ශිල්පියෙක් දෙහිවල හිටියා. ඔහු ළඟ හොඳ පටිගත කිරීමේ යන්ත්‍රයක් තිබුණා. ඔහු කියන තැනකට ඒකත් අරන් ආවා. ඒ පටිගත කරපු ගීත ශබ්දාගාරයක පටිගත කළා වාගේම ගුණාත්මක මට්ටමේ තිබුණා. පස්සේ, පස්සේ අපි ඔගී රණවීරගේ බම්බලපිටියේ ඔගී ශබ්දාගාරයේ හා බොරැල්ලේ බිෂොප් පැලස් එකේ ජෝ නෙත් ශබ්දාගාරයේ පටිගත කිරීම් කළා.

ගුණදාස කපුගේ ගයන ‘ඔබත් තනි වෙලා..’ ප්‍රචලිත ගීතය ඒ උත්සවයකට පටිගත කළ එකක්..
මේ උත්සවයේ ගී තනු නිර්මාණය කළේ විශාරද ඩබ්ලියු.එෆ්. විමලසිරි. ‘ඔබත් තනිවෙලා, මාත් තනි වෙලා, මීවිත හිඳිලා..’ ගීතයට ගුණදාස කපුගේව මම තෝරා ගත්තා. ‘කපුගේ හොඳ ශබ්ද පරිපාලකවරයෙක් වුණත් ගායනය එච්චරම හරි නෑ’ කියලා විශාරද විමලසිරි කිව්වා. මම බල කළාම ‘කමක් නෑ එහෙනම් අරන් එනවකෝ’ කිව්වා. ඇත්තටම කපුගේගේ ගායනා කිරීම්වල දුර්වල තැන් තිබුණා. ඒ වුණත් ඔහුගේ පරාජිත හැඟීම් දනවන අපූරු හඬ ඒ දුර්වලතා අබිබවා මිනිසුන්ගේ සිත් ගත්තා. ඒ උත්සවයේම ‘මී විතේ මී බිඳු පිරී ගියා..’ කියන යුග ගීතයත් ඔහු නීලා වික්‍රමසිංහ එක්ක ගායනා කළා. ඊට පස්සේ කපුගේට සින්දු ලියන්න තිබුණු බොහෝ අවස්ථාවන් මට මග හැරුණා. ‘චන්ද්‍රදාස මගේ කටහඬින්ම සිංදු කියන කෙනෙක් ඉන්නවා. එයාටවත් ගීත කිහිපයක් ලියලා දෙන්න’ කියලා මිය යන්න ටික කාලෙකට කලින් කපුගේ මට ඇවිත් කිව්වා. සාමාන්‍යයෙන් තමන්ගේ හඬින් තව කෙනෙක් සිංදු කියනවාට ගායකයෙක්, ගායිකාවක් කැමති නෑ. කපුගේට එහෙම එකක් තිබුණේ නෑ. ඔහු ළඟ තිබුණේ පුදුම මනුස්සකමක්.

ඒ උත්සවය නිසා ඔබට චිත්‍රපටයක් ලියන්න ලැබුණා..
මගේ නාට්‍යයක් බලලා ලුවී වැන්ඩස්ට්‍රාටන් මට කතා කළා. විජය කුමාරණතුංග හා උපාලි ජයමහ දාලා ලුවී සටන් ජවනිකාවක් රූගත කරලා තිබුණා. අරමුණක් නෑ. කතාවක් නෑ. විජය කුමාරණතුංග, තිස්ස විජයසුරේන්ද්‍ර ගන්න බලාපොරොත්තු වෙනවා කියලා ලුවී කිව්වා. මම කතාව, දෙබස් හා ගීත ලිව්වා. චිත්‍රපටියේ නම ‘පෙම් කුරුල්ලෝ’.
ආනන්ද සෙනෙවිරත්න ලියලා සීටී ප්‍රනාන්දු ගායනා කළ එක ගීතයක් මුදල් දීලා ඒ චිත්‍රපටියට ගත්තා. අනෙක් ගීත ටික ලිව්වේ මම. නිහාල් නෙල්සන්ගේ පළමු චිත්‍රපටි ගීතය ‘කසිලි බිසිලි නෑ. අතේ පච්ච නෑ’ ඒ චිත්‍රපටියේ ගීත අතරින් වඩාත් ජනප්‍රිය වූ ගීතයක්. ජෝතිපාල හා රූපා ඉන්දුමතී, නීලා වික්‍රමසිංහ හා බන්දු රණසිංහත් එහි ගීත ගායනා කළා.
ඊට පස්සේ ‘සාජා’ කියලා චිත්‍රපටියක් ලිව්වා. සිරිල් පී. අබේරත්න ඒක අධ්‍යක්ෂණය කළේ. එහි ජෝතිපාල හා ඇන්ජලීන් ගුණතිලක ගීත ගායනා කළා. පස්සේ කාලේ කට්ටියක් ජෝතිපාලව සින්නක්කරව ලියා ගෙන හිටියේ. ප්‍රවීණ අයත් ජෝතිගේ ගෙදරමයි හිටියේ. මම එහෙම ගියේ නෑ. ‘බුවා.. මම චිත්‍රපටි ගණනාවක සිංදු කියලා තියනවා. ඉදිරියටත් කියයි. මම කියපු හොඳම ගීත 10 ක් මගේ හිතේ තියනවා. එයින් එකක් තමයි ‘සාජා ආදරෙයි ගීතය’ කියලා ජෝති කිව්වා. සාජා ආදරෙයි ගීතයේ තනු නිර්මාණය කළේ ටෝනි වීරතුංග. ඒ චිත්‍රපටියේම ‘සමාවෙන්න මගේ අතින් වරදක් වූවා නම්’ කියලා ගීතයක් තිබුණා. කොළඹ අහළ පහළ වේදිකාවක ඔය ගීත දෙක කියනවා නම්, ‘අද හවස අහවල් තැන ප්‍රසංගයක් තියනවා. ඒකෙදි මම චන්ද්‍රදාසගේ ගීත දෙකක් කියනවා. එයාටත් එන්න කියන්න’ කියලා සවුන්ඩ් කුලියට දුන්නු නුගේගොඩ දාසන් ආයතනයේ දාසන්ට දූරකතන ඇමතුමක් දීලා ජෝති කිව්වා.

ස්වතන්ත්‍ර ගීත වගේම හින්දි තනු විශාල සංඛ්‍යාවකට ඔබ පද රචනා කරලා තියනවා නේද?
පුන්සිරි සොයිසාටම එවැනි ගීත 1000 කට වැඩිය ලියලා තියනවා. පටිගත කරන වෙලාවේ තමයි ඒවා බොහෝමයක් ලිව්වේ. එකක් ලියලා දීලා ඒක පටිගත කරගන්නා තුරු අනෙක් ගීතය ලියනවා. දවසක් ඒක බලාගෙන හිටිය අපේ රටේ ගීත ලියන ප්‍රසිද්ධ හිමි නමක් ‘දවසට ගීත 10 ක් ලියන අය ඉන්න රටක කොහොමද ගීත සාහිත්‍ය දියුණු කරන්නේ’ කියලා පවසලා තිබුණා.
පුන්සිරි හින්දි තනුවලට ගීත ගායනා කළාට ඔහුගේ උසස් ස්වතන්ත්‍ර නිර්මාණ තියනවා. ඒවාට නිසි ඇගයීමක් ලැබුණේ නෑ. රන්සිළු ආයතනය නිෂ්පාදනය කළ කැසට් පටයකට අසෝක පීරිස් තනු නිර්මාණය කරලා මම ලියපු ‘මේ බස් නැවතුම..’ ගීතය ජනතාව අතර අතිශයින් ජනප්‍රිය වුණා. ඒත් ඒ ගීතයට බොහෝ අය අපහාස කළා. සමස්තයක් ලෙස පුන්සිරි සොයිසාට ඒ වගේ අඩු සැලකිල්ලක් තිබුණා. විදග්ධයි කියලා හිටිය අය එයාව ගණන් ගත්තේ නෑ. ගුවන් විදුලියේ එයාගේ ගීත ප්‍රචාරය කළේ නෑ. ඒ බලපෑම ඔහු වෙනුවෙන් ගීත ලියපු මටත් එන්න ඇති. ජාතියේ පිනට පහළ වෙච්ච ගායකයෝ මට නෑ. අමරදේව මාස්ටර්, සුනිල් පෙරේරා, කැලැරන්ස් විජේවර්ධන, නිහාල් නෙල්සන් එකිනෙකාට වෙනස් ගීත නිර්මාණය කළ, ගායනා කළ අය. මට නම් හැමෝම මේ රටේ පිනට පහළ වෙච්ච අය තමයි. විදග්ධ කියලා කොටසක් අගය කිරීම අවිචාරවත් විචාරකයන් කරපු පාප කර්මයක්.

අවුරුදු 50 ක් තිස්සේ ඔබ ස්වතන්ත්‍ර හා හින්දි තනුවලට ගීත 6000 ක් විතර ලියා තිබෙනවා. ඒත් ඔබේ නිර්මාණ ඇගයීමට පාත්‍ර වෙලා තියෙනනේ ඉතාමත් අඩුවෙන් නේද?
අඩුවෙන් ඇගයුණා කියනවාට වඩා ඇගයීමක් ලැබුණේ නෑ කිව්වොත් හරි. සම්මාන ලැබෙනවා තියා, සම්මාන උත්සවයකටවත් මට ආරාධනා ලැබුන්නේ නෑ. 2019 අවුරුද්දේ ඉන්ද්‍රජිත් මිරිහාන කියන සංගීතඥයා ඇතුළු පිරිසක් මා ඕස්ටේ්‍රලියාවට ගෙන්නලා උපහාර උත්සවයක් පැවැත්වුවා. උපහාර තිළිණයක් ප්‍රදානය කළා. ඒක තමයි 50 වසරක් ඉතිහාසයේ මට ලැබුණු එකම උපහාරය. රූපවාහිනී, ගුවන්විදුලි වැඩසටහන් හා පුවත් පත් සාකච්ඡා පිළිබඳ තත්වයත් ඒකයි. ස්වාධීන රූපවාහිනිය වරක් විනාඩියක දෙකක පොඩි වැඩසටහනක් කළා. සරසවිය පුවත්පත කිහිප විටක් මා ගැන සඳහන් කරලා තියනවා එච්චරයි. මම ලියපු ගීත අඩංගු කැසට් සිය ගණනක් පෙට්ටියක දාලා මා ගාව තියනවා.
ඇත්තටම ලංකාවේ ඇගයීමට ලක් වෙන්න නම්, නිර්මාණ කළාට මදි. ගීත රචකයා කියන තත්වය නඩත්තු කරන්න අවශ්‍යයි. අමුතු විදිහට කතා කරන්න ඕනෑ. ටිකක් උඩින් අඩිය තියලා ඇවිදින්න ඕනෑ. වෙනස් විදිහේ ඇඳුමක් අඳින්න ඕනෑ. මම කළේ ඉල්ලපු අයට තරාතිරම නොබලා ගීත ලියා දීම විතරයි. මම වෘත්තීය වශයෙන් හා වාණිජමය වශයෙන් ගීත ලිවීම ඇගයීම අඩු වීමට හේතු වෙන්න ඇති. ඒ නිසා වාණිජ මටට්මේ රචකයෙක් හැටියට මාව හංවඩු ගහලා තියෙන්නේ.

ජිප්සීස් සංගීත කණ්ඩායමට කොත්තමල්ලි ගීතයත් ඔබ ලීවා..
ජිප්සීස් සුනිල් පෙරේරා කැසට් එකක් කළා. ඒ කැසට් එකට තාත්තා ගැන ගීතයක් ඇතුල් කරන්න සුනිල්ට වුවමනා කළා. සුනිල්ම කියන විදිහට ඒ ගීතය ලියන්න ගීත රචකයෝ හත් දෙනෙකුට දුන්නා. අවසානේ මාව ගෙන්නුවා. මම ‘තාත්තා මට ඇනපු ටොක්ක..’ ලිව්වා. ඒ ගීතයේ ‘තාත්තා මට ඇනපු ටොක්ක, දවාලේ තරු පෙනුණා..’ කියන මුල් පද පේළි දෙක එම්.එස්. ප්‍රනාන්දුගේ. ඉතිරි ටික සම්පූර්ණ කළේ මම. ඒ වචනවලට සුනිල් ඉතාම කැමති වුණා. එතැන සිට අද වෙනකම්ම මම ජිප්සීස්ලාට ගීත රචනා කරනවා. බොහෝ ඒවා තවම පටිගත කරලාවත් නෑ. සුනිල් සුදුසු කාල බලලා ඒවා කරයි.
සුනිල් ගීත රචකයන්ට විශේෂ ළැදියාවක් දක්වන සංගීතඥයෙක්. ඔවුන්ගේ ඕනෑම ප්‍රශ්නයකදී නොපැකිලව ඉදිරිපත් වෙනවා. ගීතයක් නිර්මාණය කරලා දුන්නාම ඒකට කීයක් හරි දීලා ඉවර කරන්නේ නෑ. ආරම්භයේ පටන්ම මට තවමත් මාසිකව ගෙවීමක් කරනවා. හේමසිරි හල්පිට පහළ තැන ඉඳන් ඉහළට ආව දක්ෂ ගී පද රචකයෙක්. නිවේදකයෙක්. එයා මැරුණට පස්සේ එයාගේ නෝනට ලක්ෂ 35 කට පානදුරෙන් ඉඩමක් අරන් දුන්නා. සුනිල් පෙරේරා කියන්නේ එහෙම කෙනෙක්.■

 

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි