21.6 C
Sri Lanka
26 September,2021

ඕයි, ජෙනීවා !

Must read

■ උදන් ප්‍රනාන්දු

වසර කිහිපයක් තිස්සේ එකතු කළ පර්යේෂණ දත්ත හා ඇසුරු කළ න්‍යායික පොත පත එකට කළතා නව දැනුම් දේහයක් ගොඩ නගනු වස් ආචාර්ය උපාධි නිබන්ධනයක් ලිවීම එම දීර්ඝ දුෂ්කර ක්‍රියාදාමයේ අවසාන හා තීරණාත්මක අවධිය යි. මෙහි දී බුද්ධිමය අභියෝගය මෙන්ම වැදගත් වන්නේ මානසිත ඒකාග්‍රතාව හා සන්සුන්භාවයයි. බොහෝ ආචාර්ය උපාධි අපේක්ෂකයන් ‘හැළෙන්නේ‘ ඔවුන්ගේ බුද්ධිමය දෝෂයක් නිසා නොව අවසන් වසරේදී මුහුණපාන මානසික වියවුල නිසා ය. අත්දැකීම් බහුල පරිණත මහදුරුවරියක යටතේ මා කලකට පෙර මෙම ක්‍රියාදාමය අත්වින්දේ තරමක් වෙනස් හා සාධනීය ආකාරයකට ය. ඕලන්දයේ අධ්‍යයනය කළ අපගේ අවසන් අදියරේ නිබන්ධනය ලිවීම හා අවසන් කිරීම කරනාතුර කෙටි නිවාඩුවකට දෙකකට අසල පිහිටි රටකට අප යැවීම ඇගේ සිරිත විය. ඉන් ලැබෙන මානසික විරාමය කියා නිම කළ නොහැක. මේ කෙටි විරාම සඳහා යාමට මා හැම විට ම අවසර ඉල්ලා සිටියේ ජෙනීවා නුවරට ය. මොකක් ද ඔය හැටි ඔයාට ජෙනීවා එක්ක තියෙන ලවු එක කියා විහිළුවක් කරමිනි ඈ මගේ හැම ගමන් වාරයක් ම අනුමත කළේ. ඇගේ සැහැල්ලු විහිළුව මා සැම විටක ම දිගු කල්පනාවක අතරමං කළ බව මතක ය.
ජෙනීවා, යුරෝපීය නුවර අතර මනස්කාන්ත ම නුවරකි. එහි ඇති විශේෂත්වය වන්නේ නගරය හා සබැඳි ස්වාභාවිකත්වය ය. නගරයේ හරි මැදින් ම පිහිටා ඇත්තේ ජෙනීවා විල ය. විසල් පෙදෙසක් වසාගෙන ඇති එම ජල දේහය නුවර පුරා සිසිලසක් ජනිත කරයි. විල දෙපස කඳු බෑවුමක පිහිටා ඇත්තේ ප්‍රෞඪ පෙනුමකින් සපිරි අතිපැරණි ගොඩනැගිලි ය. විල් තෙරට ඔබ්බෙන් ඈතින් වට වී ඇති කඳුයාය ද්වයකි. ඉන් එකක වන්නේ ප්‍රකට හිම කඳුයායක් වන ඇල්ප්ස් වන අතර අනෙක ජූරා වේ. ලෝකයේ වාණිජ හා බැංකු ක්ෂේත්‍රයේ ප්‍රධාන කාර්යාල ද, ජාත්‍යන්තර රතු කුරුස මූලස්ථානය, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යටතට එන ජාත්‍යන්තර කම්කරු සංවිධානය, ලෝක වෙළෙඳ සංවිධානය, ජාත්‍යන්තර සරණාගත සංවිධානය, ජාත්‍යන්තර මානව හිමිකම් කාර්යාලය යනාදි ආයතනයන්හි ප්‍රධාන කාර්යාල බොහොමයක් පිහිටා ඇත්තේ ජෙනීවා නුවර ය.
‘ජෙනීවා යනවා‘ යන්න ලාංකීය (දකුණේ) ජන වහරට පැමිණියේ අසූව දශකයේ අග ය. නිශ්චිත ව කියතොත් 87-89 කාලයේ ‘භීෂණ සමය‘ ලෙස ලෙයින් වැකුණ වකවානුවේ ය. එවකට පැවැති රජය විසින් ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ ව්‍යාපාරයට එරෙහි ව කළ ප්‍රචණ්ඩ මර්දනය හා සන්නද්ධ ව්‍යාපාරය විසින් කළ ප්‍රචණ්ඩ ක්‍රියාදාමයන් මානව හිමිකම් කෝණයෙන් දැඩි අවධානයකට ලක් විය. මේ පිළිබඳ ව ජාත්‍යන්තර අවධානය හා මැදිහත්වීම අරභයා විවිධ සිවිල් සමාජ කොටස් ද එවකට සිටි විපක්ෂ බලවේග ද වැදගත් වැඩ කොටසක් ඉටු කළේ ය. තොරතුරු එකතු කිරීම ප්‍රාථමික අවධියක තිබූ ඒ යුගයේ අවදානම් ම කටයුත්ත වූයේ අදාළ තොරතුරු රැගත් පුවත්පත් කොටස් කපා, ඒවා යම් පැමිණිල්ලක සාක්ෂි ලෙස සකසා ජෙනීවා නුවරට ගෙන යාමයි. එකල මේ අවදානම ගත් වීර චරිත ද්වය වූයේ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ හා අමාත්‍ය වාසුදේව නානායක්කාර ය.
ජෙනීවා යෑම ඉන් පසු ව සිදු වුණේ ජනවාර්ගික ගැටුමෙන් ඇවිළුණු යුද්ධය උත්සන්න වීමත් සමග ය. 83න් පසු රටින් බැහැර වූ දමිල ඩයස්පෝරිකයෝ බටහිර රටවල ක්‍රමයෙන් ස්ථාපිත වූ හ. ඔවුන්ගෙන් යම් පිරිසක විවිධාකාරයෙන් දේශපාලනික ව සංවිධානගත වීම දක්නට ලැබිණ. මොවුන්ගෙන් සමහරෙක් උතුරේ සන්නද්ධ කණ්ඩායම් හා බැඳුණු අතර සමහර කණ්ඩායම් ලංකාවේ පවතින යුක්තිය හා අසාධාරණයට එරෙහි ව ක්‍රියාකාරී වූ හ. මේ පිරිස් සියල්ල ම තම අවනඩු කීමට ගියේ ජෙනීවා නුවරට යි. ඒ අතර ශ්‍රී ලංකාවේ වෙසෙන දේශපාලන හා සිවිල් සමාජ ක්‍රියාකාරකයෝ ද වූ හ. බොහෝ කාලයක් මේ පිරිස ජෙනීවා හි පැවතෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවාරවල බලපෑම් කණ්ඩායම් ලෙස වැජඹුණ හ. මොවුන්ගේ භූමිකාව අහියෝගයට ලක් වූයේ ලංකාවේ නව පන්නයේ ජෙනීවා ට්‍රැෆිකයක් බටහිර වෙසෙන සිංහල ඩයස්පෝරිකයින් හා මෙරට සිටින සිංහල-බෞද්ධ පසුබිම නියෝජනය කරන ක්‍රියාකාරිකයන් විසින් නිර්මාණය කිරීමෙනි. යුද්ධයේ අවසාන වසර හා ඉන් පසු මෙම රැල්ල ගොඩ නැගිණ. මේ කෝටාවෙන් ජෙනීවා ගිය අයවළුන් කළේ ශ්‍රී ලංකාවට එරෙහි ව ඇති මානව හිමිකම් චෝදනා පදනම් විරහිත බව ඒත්තු ගැන්වීම හා ලංකා රජය හා හමුදාව විසින් කරන ලද සාධනීය කාර්යභාරය ගැන කරුණු දැක්වීම ය. මේ රැල්ල දිගේ ජෙනීවා ගිය ප්‍රධාන ක්‍රියාකාරිකයෝ දෙදෙනෙක් අද සිටින්නෝ පාර්ලිමේන්තුවේ ය. කැබිනට් ඇමති කෙනෙකු හා රාජ්‍ය ඇමති කෙනෙකු වශයෙනි. ජෙනීවා ආනුභාවයේ තරම ඉන් පෙනෙයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ස්ථාපනය කෙරුණේ 1952 වසරේ වන අතර ශ්‍රී ලංකාව එහි සාමාජිකයෙකු ලෙස බැඳුණේ 1955 වසරේ ය. ඒ යට කී සංවිධානය ස්ථාපනය කර වසර දෙකකට පසු ව ය. එක්සත් ජාතීන්ගේ සංවිධානය අන්තර්-රාජ්‍ය සංවිධානයකි. එනම් එහි සාමාජිකයින් වන්නේ කේවල රාජ්‍යයන් ය. දැනට රාජ්‍ය 193ක් එහි සාමාජිකත්වය දරයි. එක්සත් ජාතීන්ගේ ක්‍රමය තුළ මානව අයිතීන් ගැන මුලින් කටයුතු කළේ එම සංවිධානයේ ආර්ථික හා සාමාජික කවුන්සිලය යටතේ පැවති කොමිසමක් මගිනි. එහි දක්නට ලද අකාර්යක්ෂමතා මග හරවා ගැනීමට 47ක කුඩා සාමාජිකත්වයකින් යුතු මානව හිමිකම් කවුන්සිලය දියත් කෙරුණේ 2006 වසරේ ය. දැනට බලපාන යාන්ත්‍රණය එය ය. පෙබරවාරි 22 හා 23 දෙදින මානව හිමිකම් කවුන්සිලය ජෙනීවා හිදී රැස් වන අතර ලංකාව ගැන දැඩි අවධානයක් මෙවර ඇති බවට තතු කියැවිණ. මෙවර සැසි වාරය ලංකාවට කුමන වරයක් දුන්නේ ද යන්න මේ කොලම පළ වන විට අපට දැනගත හැක.
යම් ආකාරයකට ‘රොක්‘ හා ‘බ්ලූස්‘ ආරෙන් තමන්ගේ ම සංගීත ශෛලියක් තනා ගත් නිර්මාණකරුවෙකි අජිත් කුමාරසිරි. ඔහුගේ සංගීත නිර්මාණ අතුරින් ජනප්‍රිය වූ ගීයක් වූයේ ‘හේයි, ජෙනීවා‘ ය. උපහාසය හා ව්‍යංග්‍යාර්ථය මත පිහිටවා ගොතන ලද පද මාලාව විවිධාකාර අනුභූතීන් ජනිත කරයි. මීට වසර කිහිපයකට පෙර ය අජිත් කුමාරසිරි හේයි ජෙනීවා ගීතය නිර්මාණය කළේ. තත්කාලීන ලාංකේය ජෙනීවා අනුභූතිය දරුණු පරිවර්තනයකට භාජනය වී ඇති බව මේ දිනවල අසන්නට දකින්නට ඇති දේ යෝජනා කරයි. බැරිවෙලාවත් අජිත් කුමාරසිරි පැරැණි නිර්මාණයේ රී-මික්සයක් කරනට කල්පනා කරතොත් එය ‘ඕයි, ජෙනීවා‘ ලෙස ප්රති-සූත්‍රගත වීමට ද ඉඩ ඇත.■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි