21 C
Sri Lanka
21 September,2021

..ඒ මගේ නංගි – දිලිනිගේ අයියාට කියන්නට තිබෙන කතාව

Must read

‘අපි හිටියේ තුන්දෙනයි. මමයි අම්මායි නංගියි විතරයි. 2002දී තාත්තා නැතිවුණේ. තාත්තා විශේෂ වැඩක් කළේ නැහැ. ගොවිතැන් කටයුතු, කම්කරු වැඩ කළේ.’
ප්‍රභාත් කතාකරන්නට පටන්ගත්තේ එහෙමය. ඔහු හිඳ සිටියේ සෝපාව කෙළවරකට වන්නටය. සෝපාව පසෙක බිම නැගණියගේ විශාල ඡායාරූපයක් තබා තිබිණ. නැගණිය, දිලිනි යසෝමා ජයසූරියය. දැන් කවුරුත් දන්නා පරිදි හංවැල්ල ලැගුම් හලක් තුළදි ගාතනයට ලක්වුණේ ඇයයි. මේ වන විට ඇගේ සිරුර මිහිදන් කොට හමාරය.
ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුගේ මවාගත් ගරුගම්භිරත්වයෙන් අංශුමාත්‍රයක්වත් ඔහුගෙන් පෙනුණේ නැත. ඔහු හැම අතින්ම සාමාන්‍ය විය. නැගණියගේ මරණය පිළිබඳ වික්‍ෂිප්තය ඔහු දැඩි ලෙස පීඩාවට පත්කර ඇති බව නම් පෙනිණි.
තෙප්පනාව, කොළඹ රත්නපුර මාර්ගයේ කුරුවිටට ටිකක් මෙහායින් දකුණු පැත්තට හැරී කිලෝමීටර් හතරක් විතර ගිය විට හමුවන, නිහඬ ගම්මානයකි. ප්‍රභාත්ගේ නිවෙස තිබුණේ, තෙප්පනාව ගමේ මනනන්දනාරාම විහාරය අසලින් යන මාවතෙන් තවත් පටු කොන්ක්‍රීට් පාරකට හැරී ගිය විට පාර අයිනේමය. කොන්ක්‍රීට් ගල්වලින් බැඳ තිබුණු අසම්පූර්ණ නිවසේ ජනෙල් වසා තිබුණේ රෙදිවලිනි. කවදාක හෝ ටයිල් අල්ලන්නට හැකිවෙතැයි සිතා බිමට රළුවට කොන්ක්‍රීට් දමා තිබිණ. බිමට කළුවර පාත්වෙන්නට පටන් ගන්නා ඒ මොහොත වන විට, ගමේ හිතවත්හු කීපදෙනෙක් ගෙදර පිලේ වාඩිවී කතාකරමින් සිටියෝය. තවත් එකිනෙකා ආවෝය. ගියෝය.
අප කතාකරන ඉරිදා සවස වන විට, දිලිනිගේ දේහය ඔවුන්ට බාරදී නොතිබිණි. මවගේ හා ප්‍රභාත්ගේ සාම්පල ලබාගෙන තිබුණත්, ඩීඑන්ඒ මළසිරුරේ ඩීඑන්ඒ සමග සැසඳුම් වාර්තා ලැබී තිබුණේ නැත. ඒ නිසා පශ්චාත් මරණ පරීක්‍ෂණයද කර තිබුණේ නැත.
ප්‍රභාත් ජයසූරිය, කුරුවිට ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරයෙකි. මෙතැන් සිට නැගණිය ගැන ප්‍රභාත්ගේ කතාව කියන්නට ඉඩ දෙමු.
‘නංගි ඉගෙන ගත්තේ සාමාන්‍ය පෙළට විතරයි. තෙප්පනාවෙ කුමාර මහා විද්‍යාලයේ. ඊට පස්සේ අවිස්සාවේල්ලේ පෞද්ගලික ආයතනයක රැකියාවක් කළා. ඊට පස්සේ ආර්පිකෝ ඉන්ෂුවරන්ස් ආයතනයේ වැඩ කළා.
ඉගෙනීමෙන් පස්සේ මම කොළඹ ආයතන කීපයක වැඩ කරලා 2014න් පස්සේ දේශපාලන වැඩවලට සම්බන්ධ වුණා.
ඉස්කෝලෙ යන කාලෙ ඉඳලාම මම තරුණ සේවා සභාවත්, ඇඩික් (මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය) එකත් එක්කත් වැඩ කළා. රැකියාව කළත් නංගි මා එක්ක ඒ වැඩකටයුතුවලත් නිරතවුණා. මට හැඟෙන විදියට සහ දැනෙන විදියට එයා ඒ පැත්තෙන් මටත් වඩා ඉස්සරහට ගියා. මේ සිද්දියත් එක්ක ගමේ විතරක් නෙවෙයි, ලංකාව පුරාම අය මගේ නම්බර් එක හොයාගෙන කතාකරලා නංගි ගැන අහනවා, කියනවා. මම දේශපාලනය කළාට මේ කුරුවිට, රත්නපුර විතරයි. ඒත්, එයාට මට වඩා වපසරියක් තිබුණා. එයා තරුණ තරුණියන් එක්ක වැඩිහිටියන් එක්ක බොහොම ළඟින් ආශ්‍රය කළා.
මෙහේ ගංවතුරට හැම තිස්සෙම අහුවෙන ප්‍රදේශයක්. අවුරුද්දකට දෙපාරක්වත් වතුර දානවා. මෙහේ යටවෙනවා. තෙප්පනාව ගම වටේට මායිම හැටියට තියෙන්නේ කුරු ගඟ. ගංවතුර ගැලුවාම, ‘අපි මිනිසුන්ට උදව් කරන්න ඕනෑ, පුළුවන් දෙයක් කරන්න’ කියලා හැම තැනම ඉන්න යාළුවන්ට කතාකරලා නංගි උදව් ඉල්ලා ගන්නවා. 2017දී මහගංවතුර ආපු වෙලාවේ නුවර බදුල්ල හම්බන්තොට වගේ පැතිවලිනුත් එයා මිනිසුන්ට ආධාර එකතුකර ගත්තා. දේශපාලනය කළාට මටවත් ඒ වගේ වැඩක් තෙප්පනාවට කරගන්න බැහැ.
ඇඩික් එකත් එක්ක, යෞවන සමාජ එක්ක තියෙන සම්බන්ධතාව උඩ විශාල වැඩ එයා කොටසක් කළා. යෞවන සමාජ මෙහෙ බලමණ්ඩලේට ගිහින්, දිස්ත්‍රික් සංගමය නියෝජනය කරලා ජාතික මණ්ඩලේට යනකං එයා ඉහළට ලියා. තරුණ සේවා සභාවේ හිටපු එරන්ද වැලිඅංග සර්ත් එක්ක එහෙම හරිම හිතවත්. ලංකාව පුරාම එයාට යාළුවො හිටියා.
වයස 30යි. ඒත් වයසට වඩා නංගිට තිබුණා හොඳ නායකත්ව ලක්‍ෂණයක්. යම් කිසි දෙයක් කරන්න කියලා පැවරුවොත් ඒක සම්පූර්ණයෙන්ම කරනවා. මේ දේ මම කරන්න ඕනෑ හිතුණොත් ඒ දේ කරනවා. ඒ ලක්‍ෂණය නිසා තමයි මම හිතන්නේ රට පුරා එයාට යාළුවො හිටියේ. ඒ වගේම අසාධාරණය පෙන්නන්න බැහැ. දේශපාලනය කරද්දි මට අවුලක් ආවොත් මම ගණං ගන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්නවා වුණාට එයා එහෙම නැහැ. ඒක එහෙම වෙන්න දෙන්න බැහැ කියලා ඕන කෙනෙකුට මූණටම කියනවා. ගෑනු ළමයෙක් වුණාට කොල්ලෙක් වගේ තමයි හැසිරුණේ. ආත්ම ශක්තිය කියන එක හොඳටම තිබුණා. කවුරු මොන දේ කිව්වත් එයාට ඕන දේ කරනවා. ඒ ලක්‍ෂණ එයාට උපතින්ම ආපු දෙයක්. ගමේ අය වුණත් කියන්නේ මම ඉන්න විදියයි එයා ඉන්න විදියයි වෙනස් කියලා. මම නෝමල් එකේ ඉන්නේ. සමහර අය කියනවා, උඹ ඡන්දෙ ඉල්ලන්නේ නැතිව නංගි ඉල්ලුවානං හොඳයි කියලා.
ඉස්කෝල යන කාලෙ ශිෂ්‍ය නායක තනතුරු දැරුවා. තූර්යවාදක කණ්ඩායමේ නායිකාව වුණා. ක්‍රීඩාවලට ඉතාම දක්‍ෂයි. මලල ක්‍රීඩා ඇතුළු බොහෝ ක්‍රීඩා කළා. මුලින්ම සීතාවක කාර්මික කලාපයේ හයිඩ්‍රාමනී ආයතනයේ වැඩ කරද්දී කාන්තා ක්‍රිකට් කණ්ඩායමේත් හිටියා. ඒ ආයතනයේ අවුරුදු පහක් සේවය කළා. අවුරුදු දෙකහමාර තුන වෙද්දී අවුරුදු පහේදී හයේදී ලැබෙන්න ඕන උසස්වීම් පවා ලැබුණා. ඊට පස්සේ ආර්පිකෝ ඉන්ෂුවරන්ස් එකේ. මම දේශපාලනේට ආවාම රැකියාවෙන් අයින් වෙලා දේශපාලන වැඩකටයුතුවලට සම්බන්ධ වුණා. දිගටම එහෙමයි හිටියේ. නමුත් එයා දේශපාලනේට අවතීර්ණ වෙන්න හිතුවේ නැහැ. මට ශක්තියක් වෙමින් වැඩ කරන්නයි වුවමනාව තිබුණේ. මට වැඩිය අපේ දිස්ත්‍රික්කයේ දේශපාලනඥයනුත් එක්ක එයායි සම්බන්ධ වෙලා වැඩ කළේ. මම ලියුමක් දීලා, සර් මැඩම් කියලා කතාකළාට එයා එහෙම නැහැ. එයාට ලියුම් නැහැ. කෙලින්ම මන්ත්‍රීතුමා ඇමතිතුමා හමුවෙලා මේක කෙරෙන්න ඕනෑ වැඩක්, කොහොම හරි කරලා දෙන්න කියලා තමයි කිව්වේ. දේශපාලනඥයන්ට වුණත් කියන්න ඒන දේ මූණටම කියනවා. හැබැයි පස්සේ හිතේ තියාගෙන ඉන්නෙත් නැහැ.
ගෙදර හිටියේ එයායි මායි. සහෝදරයා හැටියට මට ගෞරවය තිබුණා. අයියා කියලා බයකුත් තිබුණා. ඒත් විහිළු තහළුවෙන් ඉන්න ගති පැවතුම් තිබුණා. වරදක් පෙන්නලා දුන්නා වුණත්, පස්සේ අයියේ කියලා සාමාන්‍ය විදියට කතා කළා. අම්මාට උදව් කරගෙන ගෙදරදොරේ වැඩ ටිකත් කරගෙන හිටියේ. මගේත් අම්මාගේත් ඇඳුම් ටික වුණත් හේදුවෙ එයා. ගේ ඇතුළේ වැලි කැටයක්වත් පෑගෙන්න බැහැ. පිරිසිදුකම පිළිවෙළ වුවමනායි.
වටේ පිටේ මිනිසුන්ගේ කුඹුරු වැඩවලට උදව් වෙනවා. කෑම හදනවා. කෑම අරගෙන කුඹුරට යනවා. ශ්‍රමදාන කටයුත්තකදී වුණත් මට යන්න බැරි නං යන්නේ එයා.
පොලිසිය පරීක්‍ෂණ පැත්තෙන් කළ දේවල් ගැන මම සෑහීමට පත්වෙනවා. පොඩි කාලයක් තුළ ලොකු තොරතුරු ප්‍රමාණයක් හොයාගෙන ඇත්තටම එයාලා හොඳට වැඩ කළා.
මුල් අවස්ථාවෙ මාධ්‍ය හැසිරීම නෙවෙයි දවස දෙක යද්දී තිබුණේ. ඒක වෙනස් වෙන්න ගත්තා. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය පැත්තෙන්. එක එක්කෙනා කියන දේවල් මිසක මම මේ වන තෙක් ෆෝන් එකවත් බැලුවේ නැහැ ඒ කියන දේවල් අහලා බලන්න බැරි හින්දා. මට කීපදෙනක් කතාකළා. නංගිගෙ යාළුවො පවා. ‘අයියෙ මෙහෙම දෙයක් වෙනවා, නංගිටයි ඔයාලටයි අපහාස වෙන විදියට තමයි සිද්දවෙන්නේ. අනෙක් පුද්ගලයා (දිවි නසාගත්) ලියපු ලිපිය සහ අනික් කීප දෙනෙක් කිව්ව දේවල් උඩයි ඒක වෙන්නේ’ කියලා ඔවුන් කිව්වා.
ඊයේත් ටීවී චැනල් එකක මල්ලි කෙනෙක් ආවා. ඇත්තටම කිව්වොත් මම එයාට බැන්නා. මම අපේ නංගි හරි කියන්නෙත් නෑ, කවුරුවත් වැරදියි කියන්නෙත් නෑ. මොකක් හරි දෙයක් ඇතිනේ මෙවැනි සිදුවීමක් වෙන්න. මම එයාලාට කිව්වේ ඒකයි, නමුත් මේක මිනිමැරුමක්. ඒක සාධාරණීකරණය කරන්න හදන්න එපා. මට නංගි නැතිවුණා. ඒකේ වේදනාව මටයි පවුලෙ අයටයි තියෙනවා. නමුත් මේ සිද්දියෙන් මේ වගේ දේවල් නවතින්න ඕනෑනෙ. ආයෙත් මේ වගේ සිද්ධියක් රටේ සිදුවෙන්න දෙන්න හොඳ නැහැ කියන එක හිතලා මාධ්‍ය හැසිරෙන්න ඕනෑ.
මගේ නංගිගෙ තොරතුරු හොයනවා. ඉස්සර ඉඳලා තිබිච්ච ආදර සම්බන්ධතා හොයනවා. ආගිය තැන් හොයනවා. අර පුද්ගලයා ලියපු ලිපිය හරහා කරුණු අරගෙන ලියනවා, කියනවා. ඒක ඒකපාර්ශ්වික ලියුමක්නේ. මිනිමැරුම කළාට පස්සේ ලියපු එකක්. ඒ වගේම එයා මැරෙන්න බලාගෙන ලියපු එකක්. ඒකේ එයාට ඕනෑ දෙයක් ලියන්න පුළුවන්. ‘මට ගහන්න ආවා. මාව මරන්න කට්ටියක් අරගෙන ආවා’ කියලා ඒකේ ලියලා තිබුණත් නංගිත් ඒවාට වගකියන්න ඕනෑද? ඒකේ තියෙන දේවල්වලට උත්තර දෙන්න ඒ පුද්ගලයාත් දැන් නැහැ. ඉතින්, ඒක පාවිච්චි කරලා නංගි ගැන ලියන කියන එක වැරදියිනේ. උත්තර දෙන්න දැන් නංගිත් නැහැ.
මම නං හිතන්නේ නංගිගේ චරිතෙවත්, ඒ පුද්ගලයාගේ චරිතෙවත් ගැන මාධ්‍ය හොයන එකේ වැඩක් නැහැ. ඒත් විමර්ශනවලට සහායක් දෙන්න පුළුවන් නම් ඒකයි වටිනාම දේ. ඒක ඒ දෙන්නාටම කරන හොඳක් හැටියටයි මම දකින්නේ. අපේ මරණය මාකට් කරන එක හරි නැහැ. ඒකයි මම ඒ චැනල් එකේ මල්ලිට කිව්වේ. එයා මට කිව්වේ අනේ අයියෙ අපිට එහෙන් කියන දේවල් තමයි කරන්නේ. අයියා කියන එක ඇත්ත. අපිටත් නංගිලා ඉන්නවා වගේ කතාවක්. එයා මට කිව්වේ, ‘මිනිමැරුම සාධාරණීකරණය කරන විදියේ වැඩක් මාධ්‍යවල යනවා. ඒ ගැන වොයිස් කට් දෙන්න’ කියලා. මම කිව්වා, ‘ඒක ඇත්ත මල්ලි, මේ දවස් පහම ඔයාලා කළේ ඒකනේ. ඒ දවස් පහේම නංගිගේ පැත්තට කුණු ටික දාලා දාලා දැන් නේ අනිත් පැත්ත කතාකරන්න එන්නේ. දැනුයි අපෙන් ඇවිල්ලා අහන්නේ. මේ වෙනකොට ගහලා ඉවරයිනේ. ඒවා මිනිසුන්ගේ ඔළුවට ගියාට පස්සේ ආපස්සට හරවන්න බැහැනේ. අපි මාධ්‍ය සාකච්ඡාවක් තියලා කිව්වත් වෙන්න ඕනෑ දේ වෙලා ඉවරයි.’ කියලා.
තාත්තාගේ නංගි ඊයෙ ආවා මෙහෙ. එයාලගෙ ගෙදරට කවුරු හරි පත්තර ගෙනත් දාලා ගිහින් තියෙනවා. මුල් පිටුවේ හෙඩ්ලයින් එකම ගිය ඒවා. ඒ මිනිස්සු වයසයි. මානසිකව එයාලාටත් මේවා බලපානවානේ.
අපේ නංගිගෙ පැත්තෙන් කතාකළේ නැහැ. ඒක මාධ්‍යවල, විශේෂයෙන් සමාජ මාධ්‍ය කළ ලොකු වරදක්.
නංගිගෙ සිරුර අඳුනගන්න අපි කොළඹ යන බදාදා දවසෙ උදේ පත්තරවල ගිහින් තිබුණා මමයි අම්මායි නංගිගේ සිරුර හඳුනාගත්තා කියලා. අපි හිටියේ කොළඹ යන ගමන් අතරමග නවගමුවේ. මගේ යාළුවො ටීවී බලලා කතාකරලා අහනවා මගදි, ඇත්තටම ඔයාගේ නංගිද, ඔයාලා අඳුනගත්තාද කියලා. ඒත් අපි මග හිටියේ.
අද ප්‍රධාන පත්තරේක දාලා තියෙනවාලු නංගිට කොහෙද රටකත් පෙම්වතෙක් හිටියා කියලා. ඉතින් ඒවා ටීවි එකේත් කියවනවා. කියලා තියෙන්නේ රුසියාවෙ පෙම්වතායි මෙහෙ පෙම්වතායි කියලා. හොඳයි, තොරතුරක් හම්බ වුණා කියමුකො. වගකීමක් තියෙන කෙනෙක් ඒක දාන්නේ නැහැනේ එක පාරට. අපෙනුත් අහන්න එපැයි. එහෙමවත් කරන්නෙ නැහැ කියන්නේ මාධ්‍ය සදාචාරයක් නැහැ කියන එකනේ. ඒක තමයි අවුල තියෙන්නේ මෙතන. ඒ අයට හිතු හිතු දේ ලියනවා. කියනවා. එහෙම වෙන්න හොඳ නෑ. සමහර පත්තරවල නංගිගෙ නමවත් වයසවත් හරියට ලිව්වේ නැහැ. ගමේ නමවත් හරියට ලිව්වේ නැහැ. තෙප්පාගම කියලා ලියනවා. ඒ තරම් නොසැලකිල්ලකින් තමයි කොළඹ ඉඳලා ලියන්නේ. ඔය මාධ්‍ය ආයතනවල අයට අඩු ගානේ කෝල් එකක් දීලා අපිට කතා කරන්න පුළුවන්නේ. විමර්ශන කරන වේල්ල වීදියේ පොලිසියේ මගේ නොම්මරේ තියෙනවානේ.
මාධ්‍යවලින් පෙන්නුවේ නංගිගෙ චරිතෙ අවුල් කියලා. එයාට මෙහෙම කොල්ලො හිටියා කියලා. ඇත්තටම එහෙම හැසිරීමක් අපි දැකලා නැහැ. ටෙලිෆෝන් කෝල් එකකට වුණත් උත්තර දෙන්නේ අපි අතරෙදිමයි. පැත්තකට ගිහින් කුටු කුටු ගාන සිරිතක් තිබුණේ නැහැ. අපිට කිසි සැකයක් තිබුණේ නැත්තෙත් ඒ නිසායි. එයාට රෑට පොස්ටර් ගහන්න තිබුණොත් කොල්ලො දෙන්නෙක් තුන්දෙනෙක් කතාකරගෙන ගහන්න යනවා. එහෙම සමාජශීලි කාටවත් බය නැති කෙනෙක් එයා. අඩු ගණනේ ඒ ගුණේටවත් දක්‍ෂකම්වලටවත් සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕනෑනේ.■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි