20.5 C
Sri Lanka
21 September,2021

ඒක කිය කියා හිටියොත් ජීවිතේට ටෙලිනාට්‍ය ලියන්න බෑ – නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ පිටපත් රචක සද්ධාමංගල සූරියබණ්ඩාර

Must read

නාඩගම්කාරයෝ කතා සංකල්පය කොහෙන්ද?
මේක මම හිතලා ගොඩනැගූ කතා සංකල්පයක් නෙවෙයි. මගේ ගම නුවර. අප්පච්චි කටුගස්තොට රාහුල විද්‍යාලයේ සංගීත ගුරුවරයා. අපි පුංචි කාලයේ ගමේ රස්තියාදු ගහන කොල්ලන් අල්ලාගෙන එකමුතු කලා කවය කියලා කවයක් හදාගෙන නාට්‍ය කළා. සරා වගේ කසිප්පුකාරයන්ම නෙවෙයි. ඒත්, තාත්තාට තිබුණ චේතනාවක් තමයි මේ ළමයින්ගේ ජීවිතයට වටිනාකමක් දෙන්න ඕනෑ කියලා. කතාවේ වස්තු බීජය ඒක. ඒත්, ඒක බොහෝදුරට වෙනස් වෙලා තියෙනවා. සමහර සිදුවීම්වලට පදනම් වුණේ තාත්තා ළමයින් එක්ක විඳපු අත්දැකීම්. මේවා මෙසේ විය යුතුයි කියලා මා හිතුවේ නෑ.

ඔබේ මූලික පදනම මුරණ්ඩු අය මෙල්ල කිරීමට කලාවට තියෙන හැකියාව වෙන්න ඇති..
ඒක තමයි මූලික අදහස. අපි සමාජයේ හැමදාම දකිනවා පුංචි වැරැද්දක් තිබුණත් පුද්ගලයන්ට ගහලා, තල්ලු කරලා දාන බව. මේ අයගේ වටිනාකම රැකගන්න උත්සාහ කරන්නේ නෑ. බෞද්ධ භික්ෂූන්ටත් ඒකයි වෙන්නේ. අධ්‍යාපනයේදීත් ඒකයි වෙන්නේ. මම ඇඟිලි සලකුණ කළ කාලයේ පාතාලයන් ඇසුරු කළා. එතකොටයි දැක්කේ, පාතාලයේ හිතාගන්න බැරි සුන්දර මිනිසුන් ඉන්න බව. අපේ සමාජය හැදිලා තියෙන්නේ ඔවුන්ට ගහලා වට්ටලා දාන්න. රිමාන්ඩ් එකට ගියත් එහෙමයි. පොලීසියට ගියත් එහෙමයි. කවදාවත් මිනිහෙක් හැදිලා එළියට එන්නේ නෑ.

හිරේ ගිහින් මිනිසුන් හැදෙන්නේ නැති බව ටෙලිනාට්‍යයේ ඉන්න හාමුදුරුවන්ගේ දෙබසක කියනවා..
ඔව්. අපේ සමාජයේ ඒ ඒ සංස්ථා තමන්ගේ වැඩේ කරන්නේ නෑ. තමන්ගේ වැඩේ කරන්න කියලා මේකෙදි කියනවා. ඔන්න එහෙම කියලා, මම සමාජ ශෝධකයෙක් නෙවෙයි උත්සාහ කරන්නේ. ටෙලිවිෂන් එක කියන්නේ මහා සමාජ වෙනසක් කරන්න ඉඩ තියෙන මාධ්‍යයක් නෙවෙයි. මම උත්සාහ කරන්නේ ඒ අවකාශයේ ඉඳන්, මේ ටෙලිනාට්‍යයවත් ඒ වගේ තැනකට ගෙනියන්න පුළුවන්ද කියා බලන්න.

ටෙලිනාට්‍ය කලාව කියන්නේ සාමාන්‍ය ප්‍රේක්ෂකයන්ට විනෝදෙන් බලන්න තියෙන අවකාශයක්. නාඩගම්කාරයෝ සරල, රසවත් ටෙලිනාට්‍යයක්..
මම උත්සාහ කළෙත් ඒක ගේන්නයි. ලොකු දේවල් කරන්න ඕනෑ නැහැ. මේක රස වින්දන මාධ්‍යයක්, සන්නිවේදන මාධ්‍යයක්. ටෙලි නාට්‍යයක් බලලා, හිනාවෙලා නිදා ගන්න පුළුවන්. ඒ නිසයි මම පොඩි හාස්‍යමය රසයක් රඳවා ගන්න බැලුවේ.

හාමුදුරුවන් සහ මාස්ටර් පැත්තක් බලාගෙන දීර්ඝ අවවාද අනුශාසනා දෙන දර්ශන තිබුණා නම් සාමාන්‍ය ප්‍රේක්ෂකයාට එපා වේවි..
ඕක ගැන තව දෙයක් කියන්න ඕනෑ. නාට්‍යය පටන්ගනිද්දී මම ඔහොම එකක් හිතුවේ නෑ. මම සාමාන්‍ය ප්‍රේක්ෂකාගාරය ගැන හිතුවේ. ඒත් දැන් පොඩි අභියෝගයක් තියෙනවා. දැන් ඔබලා වැනි අය මට කතා කළා. මේ ටෙලිනාට්‍යය බලාවි කියා නොසිතූ උදවිය මේකේ තියෙන ගැඹුර ගැන කතාබහ කළා. දැන් මම දෙගිඩියාවක. කවුරු වෙනුවෙන්ද මේක ලියන්නේ. මොන ප්‍රේක්ෂකාගාරයටද. සමහර වෙලාවක මම පිටු ගණන් ලියලා කපලා දැම්මා. සමහර වෙලාවට හාමුදුරුවන්ට පතරංග ජාතක වගේ දෙබස් ලිව්වා. අවවාද ලිව්වා. සමාජ විචාර ලිව්වා. මම ඉස්සරහට බලාගෙන ඉන්නේ මටම වුණේ මොකක්ද කියලා නැවත හැරී බලන්නට.

සමහර අය දීර්ඝ ටෙලිනාට්‍යයක් විකාශය වෙන අතරතුරේ ඉතිරි කොටස් ලිවීම විවේචනයට ලක් කරනවා. ඒත්, ඒක වෙනම අත්දැකීමක් නේද?
අපට අපි ගැනම පොඩි රාමුවක් එනවා. අපි කොටස් 40ක ටෙලිනාට්‍යයක් ලීවොත් ඒක අවසන්. මම ඒක වැරදි බව කියන්නේ නෑ. අග හිතාගෙන ටෙලිනාට්‍යයක් ලියලා ඉවර කරන්න පුළුවන් නම් හොඳයි. ඒත් අපි මේක කරන්නේ කොටස් විදියට. කොටස් විසිදෙකක් විතර එක දිගට කරනවා. ඊට පස්සේ දවස් 15ක් නිහඬව ඉන්නවා. නැවත පටන්ගන්නවා. ඒකෙන් අපට පෝෂණය ලැබෙනවා. මම ඇදගෙන යන්න බැරි තරම් ටෙලිනාට්‍යය ඇදගෙන යන්න කැමති නෑ. යම් තැනකදී අවසන් වෙන්න ඕනෑ. මිනිසුන් ඉවර කළේ ඇයිද කියලා විමසන තැනදී ඉවර කරන්න ඕනෑ. ඉවර නොකරන්නේ ඇයිද කියා අහනතුරු නොඉඳ. ටෙලිනාට්‍යයක් විකාශය වෙන අතරතුරේ ලැබෙන පෝෂණයත් එක්ක අපට වෙනස්ම තැනකට කතාව ගන්න පුළුවන්. සමහරුන් අහනවා අතර මැද්දේ, අහවල් චරිතයට වෙන්නේ අහවල් දේ නේද කියලා. එතකොට මට හැඟීමක් එනවා ඒක කරන්න එපා කියලා. එතකොට ලියන්නෙක්ට වාසියක් වෙනවා. දීර්ඝ නාට්‍යය ලියන්න වෙන්නේ ඒ විදියට තමයි.

ගේම් ඔෆ් ත්‍රෝන්ස් වගේ දැවැන්ත කතා මාලාවක පවා මුල් කොටස් විකාශය වෙනකොට අවසානය තීන්දු වෙලා නෑ..
ඒක හරි. ගේම් ඔෆ් ත්‍රෝන්ස් එකේ සමහර චරිත එක පාර මරා දානවා. කතා මාලාව ඇදෙනවා වගේ නම්, එකපාර වෙනසක් කරනවා. ඔවුන් අවුරුද්දකට වතාවක් සීසන් විදියටයි යන්නේ. අපි නාට්‍යය යන අතරේයි කරන්නේ. ඒත්, මේක ලියන්නෙක්ට පෝෂණය වෙන්න හොඳයි.

නාඩගම්කාරයෝ එකේ ඉන්න සමහර නරක චරිත පවා දුෂ්ඨයන් බව පේන්නේ නෑ. සමහර චරිත බලා ඉන්න ආසයි. ඔබ ඒ බව දන්නවාද?
මම දන්නවා. කුකුළා ලකුණ මුදලාලි පවා සංකීර්ණ චරිතයක්. ඒ කිසිම චරිතයක් එක්ක ප්‍රේක්ෂකයන් තරහා වෙන්නේ නෑ. මාලන් කියන්නෙත් ගමකින් නගරෙට ආපු කෙනෙක්. මේවා ඇත්තටම තියෙන දේවල්නේ. අපට කියන්න බෑනේ ටවුමට ඇවිත් නිළියක් වෙන්න හදන සිඟිති වගේ තරුණියක් වැරදියි කියලා. එයාලාට මේ සිස්ටම් එකත් එක්ක ගනුදෙනු කරන විදිය තේරෙන්නේ නෑ. එයාලාට තවම හුරු නෑ. එයාලා හුරුවෙනකොට පරක්කු වෙන්න පුළුවන්. ඒත්, කිසිම චරිතයක් නරකයි කියලා කියන්න බෑ.

ඔබ චරිත ගැන දන්නවා කීවා. පුංචි චරිතවලට පවා ඔබේ විශේෂ සැලකීමක් තියෙන බව පේනවා..
මේ වගේ ටෙලිනාට්‍යයක් පටන්ගනිද්දී, අවසානය ගැන සීයට සීයක් දන්නේ නෑ. නාට්‍යය වෙනස් වේවි. ඒත්, චරිත වෙනස් වෙන්න බෑ. මුලින් අපි චරිත සම්පූර්ණයෙන් හදන්න ඕනෑ. හිතන විදිය, නම, හැසිරීම් ආදිය ස්ථාවර වෙන්න ඕනෑ. ඒ ඒ චරිත වෙනස් වෙන්න ඕනෑ අපට පෙනෙන හේතු මත විතරයි. සරාගේ අභ්‍යන්තරයේ ඉන්න අහිංසක කොල්ලා එළියට එන්න ඕනෑ හැමෝටම පේන විදියට. මම දන්න විදියට සමහර පාතාලයන්, අපරාධකරුවන් බිහිවෙන්නේ හිත හොඳ වැඩි නිසා. සරා ඇයි මාස්ටර්ට යටහත් වුණේ. මාස්ටර් මුලින්ම ඔහු පොලීසියට අල්ලා නොදුන් නිසා. සමහර විට ඒ ගති ලක්ෂණ ඉස්සරහට වෙනස් වේවි. මාත් දන්නේ නෑ. ඒත් එහෙම වෙන්නේ අපට හොඳට පේන හේතු, සිදුවීම් නිසා.

කොළඹ නාගරික විසික්ත කාමරවල දෙබස් පවුල් ප්‍රශ්න විසඳන මෙගා ටෙලිනාට්‍යයකට වඩා, මේ වගේ ටෙලිනාට්‍යයක් මෙගා විදියට කිරීම අභියෝගයක්..
ඒක අමාරු වැඩක්. කලාව පෝෂණය වෙන්න නම් ආර්ථික හයිය ඕනෑ. මෙගා සහ වීකෙන්ඩ් කියලා ටෙලිනාට්‍ය බෙදන්නේ ආර්ථික සාධක නිසා. සති අන්ත ටෙලිනාට්‍යයකට බජට් තියෙනවා. මෙගා කියන වචනෙත් ගැලපෙන්නේ නෑ. මේවා මෙගා නම්, ගේම් ඔෆ් ත්‍රෝන්ස් එකට කියන්නේ මොකක්ද. ලාබෙට, දිගට කරන්න පුළුවන් ඒවා තමයි සාමාන්‍යයෙන් දිනපතා යන්නේ. වියදම අඩු නිසා තමයි හැමදාම විසික්ත කාමරයට ටෙලිනාට්‍ය සීමා වෙන්නේ. හැමවෙලේම පවුලේ අය කතා කරන්නේ සෝෆා එකේ ඉඳගෙන. අපේ ගෙවල්වල ජීවිතේට සෝෆා එකේ ඉඳගෙන කතා කරන්නේ නෑ. ඒත් මේක ලයිට් කරලා හදා ගත්තාම ටෙලිනාට්‍යයට ලේසියි. මම ඇත්තටම අභියෝගයක ඉන්නේ. හැබැයි අපේ නිෂ්පාදක, අධ්‍යක්ෂ කතා කරලා කොහොමහරි කරන්නයි සැලසුම් කළේ. ස්වර්ණවාහිනිය අපට ගෙවන්නේ නෑ කියලා නෙවෙයි මේ කියන්නේ. අපේ කර්මාන්තයම ඉන්නේ ආර්ථිකමය ගැටලුවක. ඉස්සර ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංග වගේ අය සමාජ ශක්තිය හදාගත්තේ චිත්‍රපටිවල රඟපාලා. ඒත්, දැන් නළුවෙක් ජීවත්වෙන්නේ කොච්චර අමාරුවෙන්ද.

ඒත් ඒ අමාරුකම් ගැන බැණ බැණ නිකම් ඉන්නත් බෑ නේද?
අන්න ඒක තමයි. ටෙලිනාට්‍යයක් ලිවීම වෙනුවෙන් ගෙවන මුදල ගැන මා තෘප්තිමත් නෑ. ඒත් මම ඒක කිය කියා හිටියොත් ජීවිතේට ටෙලිනාට්‍ය ලියන්න බෑ. අපි කරන්න ඕනෑ ලැබෙන දෙයින් උපරිමය. නවාතැන් අරගෙන, බාහිරට ගිහින් තමයි රූගත කරන්නේ. ගමක වුණත්, ගෙවල්වලට දර්ශන සීමා කළොත් දවසකට කරන දර්ශන සංඛ්‍යාව වැඩි කරගන්න පුළුවන්. ඒත් මම මේ නාට්‍යයම සැලසුම් කළේ බාහිර. මම කීවේ, ගෙවල් ඇතුළේ රූගත කරන්න හිතන්න එපා කියලයි. ඉදිරියේදී වැහි කාලයක් ඒවි. කොච්චර දර්ශන දවසකට කරන්න පුළුවන්ද කියන එක සැකයි. දැන් අව්ව. ඒත් එහෙමයි කියලා රූගත කිරීම් නවත්වන්න බෑ. ඔය වගේ නිෂ්පාදන අභියෝග තමයි වැඩිපුර තියෙන්නේ. කතාව දිගටම උණුසුම් විදියට ලිවීමේ අභියෝගයට වඩා අර ප්‍රායෝගික ප්‍රශ්නය තියෙන්නේ.

දැන් විශාල පිරිසක් මේ නාට්‍ය බලනවා. ඒ කියන්නේ, රාමුවෙන් පිට වැඩක් මහන්සිවෙලා කළොත් බලන්න අය ඉන්නවා කියලයි..
ඒක නම් පේනවා. ලංකාවේ මිනිසුන් ටෙලිවිෂන් බලනවා අඩුයි. මම වුණත් බලන්නේ නෑ. අපි යූටියුබ් එකෙන්, අන්තර්ජාලයෙන් තමයි වැඩිපුර බලන්නේ. මේ ටෙලිනාට්‍යය ටෙලිවිෂන්වලට කරපු නිර්මාණයක්. සෑහෙන පිරිසක් ටෙලිවිෂන් එකේ බලනවා. මමත් සිවාත් (අධ්‍යක්ෂ ජයප්‍රකාශ් සිවගුරුනාදන්) නිතර කතා කරන්නේ, මොකක්ද බං මේකට මිනිසුන් කැමතිවෙන්න හේතුව කියලා. අපට හිතෙන්නේ නාඩගම්කාරයෝ මාර වැඩක් නෙවෙයි කියලයි. එක වෙලාවක (අධ්‍යක්ෂවරයෙක් වන) අනුරුද්ධ ජයසිංහගෙන් මම ඇහුවා මේක ගැන අදහස. ඔහු කිව්වා මේක සමහරුන්ට මඟහැරුණු ගමේ සංස්කෘතික, කලා අනන්‍යතාවක් තියෙන ටෙලිනාට්‍යයක් කියලා. තණමල්විල කොල්ලෙක් එකේ ගම තියෙනවා. නාඩගම්කාරයෝ එකේ තියෙනවා තණමල්විල කොල්ලෙක්ට මඟහැරුණු සංස්කෘතික පැත්තක්. උදාහරණයක් විදියට ටෙලිනාට්‍යයේ යන නාඩගම්, නූර්ති සිංදු ගැන ලොකු උනන්දුවක් හැදිලා. අපේ හිත් ඇතුළේ ඒ ගැමි සංස්කෘතික පැත්තට බැඳීමක් තියෙනවා.

අනෙක් පැත්තෙන් ගමට ගියාට මන්දගාමී නෑ..
අපේ ජීවන රටාවම වේගවත්. දැන් අපට ළා හිරු දහසක් හදන්න අමාරුයි. වේගය ඕනෑ. අපි ලියනකොට ඒ වේගය තියාගෙන ලියන්න ඕනෑ. අපි ගැමි කවියක හෝ ගීයක කොටසක් දානකොට වුණත් සම්පූර්ණ එක දාන්නේ නෑ. සම්පූර්ණ එක ගියොත් කම්මැලි වෙනවා. ඒත් හැකි විදියට දානවා. ඉදිරියේදීත් ඒ වගේ දේවල් තියේවි. මාස්ටර් යම් වෙලාවක සිංදුවක් කිව්වොත් ඒ ගැන පසුබිම් දැනුමක් දෙන්නත් බලනවා. ප්‍රසන්නජිත් පවා ඉල්ලුවා, ඒ ගීතයක පසුබිම් විස්තරයත් ටිකක් දැනගන්න තිබුණා නම් හොඳයි කියලා. මොකද, බලන සමහර අහනවා මේ සිංදු අලුත් ඒවාද කියලා. මේ විදියට කරගෙන ගිහින් අපේ ප්‍රේක්ෂකයන් කැමති වේවිද කියලා බලමු.■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි