22.6 C
Sri Lanka
7 December,2021

එයා ෆේල් තමයි ඒත් කියන්න තහනම් – පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක

Must read

මම හිතුවා කර්නල් කාලේ රටෙන් පැනලා ගියාට, ආරක්ෂක ලේකම් කාලයේ සමහර දේවල් කළාට, විධායක ජනාධිපති වුණාට පස්සේ ටිකක් වගකීම් සහගතව වැඩ කරයි කියලා.

■ තරිඳු උඩුවරගෙදර

මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇතැම් ප්‍රශ්න කිරීම් සහ සමාජ මාධ්‍යවල අදහස් දක්වන පුද්ගලයන් ඉලක්ක කර පරීක්ෂණ මෙහෙයවීම් ගැන සාකච්ඡාවක් තියෙනවා. ආණ්ඩුව අදහස් මර්ධනය කරන බවට චෝදනා එනවා…

අපි මුලින්ම ඒ බව ජනතාවට කීවා. පහුගිය මැතිවරණවලදි වගේම ඊට කලිනුත් අපි කීවා මේ පුද්ගලයාගේ චර්යාව ගැන. ඔහු ලසන්ත වික්‍රමතුංග ගැන කතා කරපු විදිය අපි දැක්කා. ලසන්ත කවුද, ටැබ්ලොයිඞ් පත්තරකාරයෙක් විතරයි කියා ඔහු කීවා. ඇයි ලසන්ත ගැන විතරක් කතා කරන්නේ, එයා එක්කෙනෙක් විතරයි කියලා කිව්වා. ඒ වගේ දේවල් අපි දැකලා තියෙනවා. ජනාධිපතිවරයාගේ රුචි අරුචිකම් එක්ක එයාගේ ගෝලයන් හැසිරෙන විදිය, වටේ ඉන්න අය හැසිරෙන විදිය, නිලධාරීන් හැසිරෙන විදිය වගේම අධිකරණය හැසිරෙන විදිය පවා හැඩගැහෙනවා. ඒ කාලයේ පෝද්දල ජයන්ත, එක්නැලිගොඩ, කීත් නොයාර්, ලලිත්-කූගන් වගේ ඕනෑ කෙනෙකුගේ කතා බැලුවාම තේරෙන්නේ ඒක. අපේ හඬට ජනතාව ඇහුම්කන්දුන්නේ නැහැ. ඉතින්, දැන් මිනිසුන්ට එහි පීඩාව අත්විඳින්න වෙනවා. මේක පහුගිය දවස්වල අලුතින් ආපු දෙයක් නෙවෙයි. බලයට පත් වූ විගස ස්විස් තානාපති කාර්යාලය සම්බන්ධ සිදුවීමෙන් තමයි ඔය වැඩ පටන්ගත්තේ.

 

එදා මේ ආණ්ඩුව බලයට ගේන්න උත්සාහ කරපු අයට පවා දැන් හිරිහැරවලට මුහුණදෙන්න වෙනවා…

අන්න ඒකයි. දැන් මැඩිල්ලේ පඤ්ඥාලෝක හිමියන්ට පවා ඒ හිරිහැර විඳින්න වෙනවානේ. ආණ්ඩුව ප්‍රශ්න විසඳාගන්න බැරිව අසමත් වෙලා. ආණ්ඩුව ගෙනාපු අයටත් ආණ්ඩුව ගැන පසුතැවිල්ලක් තියෙනවා. ඒත් ජනාධිපතිවරයා ආණ්ඩුව ෆේල් නෑ කියන්නම ජනතාව ඇමතුවා. ඒවායින් පෙනෙන්නේ ඔවුන් කලබල වෙලා ඉන්න බව. විපක්ෂය වැලි බර, තාර බර එක්ක ආණ්ඩුවට බණිනවා කියා හිතන්න පුළුවන්. ඒත් ඒ පැත්තට වාසියට හිතුවත්, සර්ව ලෝක සත්‍යය කියන එක වෙනස් කරන්න බැහැ. මොනවා කිව්වත්, හැමෝගේම හෘදය සාක්ෂිය දන්නවා මේ ආණ්ඩුව සාර්ථකද අසාර්ථකද කියලා. මුහුදෙන් වට වූ රටකට කොවිඞ්-19 ආපු එකේ ගෞරවය එන්න ඕනෑ ඒ ආණ්ඩුවටනේ. ඒ දවස්වල දිලිත් ජයවීරගේ ප්‍රචාරක ආයතනයෙන් සංචාරක අමාත්‍යාංශයේ සල්ලි අරගෙන දැන්වීමක් කළා ලංකාව කොරෝනාවලින් තොර රටක් කියලා. ලෝකය වටේ යැව්වා සංචාරකයන් ගේන්න කියලා.ලංකාවේ මුලින්ම කොවිඞ්-19 පැතිරෙද්දී සංචාරක ව්‍යාපාරයට අදාල අයටයි වැළඳුණේ. යම් දුරකට පාලනය කළාට පස්සේ ලෝකයෙන්ම අංක දෙක කියලා ප්‍රචාරයක් ගෙනිච්චා. ඡන්දෙටත් කොවිඞ්-19 සාර්ථක වුණා කියලා වික්කා. කොවිඞ් පැරැද්දුවා කියලා කිව්වා. පන්දාහ බෙදීමත් දේශපාලනයට යොදාගත්තා. අවදානය ගිලිහුණ අතරේ ආයෙත් කොවිඞ් මතුවෙලා.

 

මේක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ මුල් අවුරුද්ද එක්ක සංසන්දනය කළොත්..

ඒ බලද්දී, ඉතාම අඩු කාලයකින් අසාර්ථක වුණ බව පේනවා. ලක්ෂ හැටනවය මෙහෙම එකක් බලාපොරොත්තු වුණේ නැහැ. මෛත්‍රීගේ මුල් අවුරුද්ද මීට වඩා හොඳයි. කරපුවා ගැන කියන්න ගොඩක් දේවල් තියෙනවානේ. මහබැංකු බැඳුම්කර වංචාව තමයි වරදක් තිබුණේ. එහෙත් මුල් අයවැයෙන් රුපියල් දහදාහක පඩි වැඩිවීමක් දුන්නා. පාසල් රක්ෂණය පටන්ගත්තා. පෝෂණ මල්ලක් දුන්නා. හෘද රෝගීන්ට ස්ටෙන්ට්, අක්ෂි රෝගීන්ට කාච දුන්නා, ජීඑස්පී ප්ලස් ලැබුණා. මත්ස්‍ය අපනයන තහනම අයින් කළා. තොරතුරු දැනගැනීමේ පනත සම්මත කළා. 19 වැනි සංශෝධනය සම්මත කළා. ඒ අවුරුද්ද ඉවරවෙද්දී ලංකාවෙ රාජපක්ෂ හිතවාදී මාධ්‍ය ටික ඒ ආණ්ඩුවට ගැහුවාට, මුළු ලෝකෙම පිළිගැනීමක් ඒ ආණ්ඩුවට මුල් අවුරුද්දේ තිබුණා. බරක් ඔබාමා, ඇන්ජෙලා මර්කල්, බි්‍රතාන්‍ය මහරැජිණ ආදී හැමෝම ගෞරව කළා. ඒ අවුරුද්ද එක්ක බැලුවාම මෙතුමා ඉතා පහළ මට්ටමක ඉන්නේ.

මේවා අහම්බයක් නෙවෙයි. සියල්ල ගෝඨාභය රාජපක්ෂගේ ඉතිහාසයේ ලියැවිලා තිබුණා. පඹයා කිව්වාට මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කවදාවත් යුද්ධය කාලයේ රට දාලා ගියේ නැහැනේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා යුද්ධයේ තීරණාත්මක අවස්ථාවේත් රට දාලා ගියා. රන්ජන් විජේරත්න හම්බවෙලා, මහින්ද රාජපක්ෂ මහත්තයාගෙත් උදව් ඇතිව කතා කළා. ආතතිය කියලා රටත් අත්හැරලා ගිහින් ඇමෙරිකන් පුරවැසියෙක් වුණා. ජනාධිපති අපේක්ෂකත්වය ගන්නාතුරු ඒ පුරවැසිකම තියාගත්තා. අපි ගෙදරකට යද්දී බල්ලෙක් ගැන වුණත් අහනවා. මේ බල්ලා හපලා තියෙනවාද කියලා. ඒ කියන්නෙ ඉතිහාසය ගැන බලනවා. කිට්ටුවෙන්න එපා, ඔය බල්ලා ෂුවර් නැහැ, එකට ඉඳලා හපලා තියෙනවා කියලා සමහර ගෙවල්වලට ගියාම කියනවා. එහෙම කිව්වාටත් පස්සේ බල්ලා හැපුවොත් පුදුම වෙන්න දෙයක් නෑ. ඒ බල්ලාගේ හැටි.

 

බල්ලාගේ උදාහරණයෙන්ම කතාකළොත්, 2019 දී මිනිස්සු ඡන්දය දුන්නේ ‘බල්ලා හැපුවාට ගෙදර ආරක්ෂා කරාවි.’ කියන හැඟීමෙන් වෙන්න ඇති…

අන්න හරි. ඒ දවස්වල ස්වාමීන් වහන්සේලා පවා කීවා තද පාලකයෙක් ඕනෑ කියලා. වෙඬරුවේ උපාලි හිමියන් නම් ඉල්ලුවේ හිට්ලර් කෙනෙක් වෙන්න කියලා. සමහරුන් ඒකාධිපතියෙක්, මිලිටරි පාලනයක් ගේන්න කියලා කිව්වා. මගේ ස්කෑනින් යන්ත්‍රෙ ටිකක් දුර්වලකමක් නිසාදෝ මමත් හිතාගෙන හිටියේ අඩු තරමේ මේ ජනාධිපතිවරයා ඇවිත් ටිකක් වැඩ කරයි කියලා. පිළිවෙලක් තියේවි කියලා හිතුවා. මහින්ද රාජපක්ෂත් පාලනය කරලා, සුදුස්සන් තනතුරුවලට පත් කරලා, නීතියට සහ වෙලාවට වැඩ කරමින් සිංගප්පූරු ක්‍රමේට රට ගොඩදායි කියලා මගේ හිතේ කොණක සිතිවිල්ලක් තිබුණා. ඒ දවස්වල කීවෙත් එහෙමයි. එක රටක් එක නීතියක්, දූෂිතයන්ට නාමයෝජනා දෙන්නෑ, වියත්මග එක්ක බුද්ධියට තැන දෙනවා කියලා කිව්වා.

චණ්ඩාශෝක ධර්මාශෝක වුණානේ. අංගුලිමාල රහත් වුණානේ. ඉතින් මම හිතුවා කර්නල් කාලේ රටෙන් පැනලා ගියාට, ආරක්ෂක ලේකම් කාලයේ සමහර දේවල් කළාට, විධායක ජනාධිපති වුණාට පස්සේ ටිකක් වගකීම් සහගතව වැඩ කරයි කියලා. ඒත්, ආපු ගමන් ගානියා බැරිස්ටර් උස්සපු නිසා මට තේරුණා වැඬේ අවුලක් තියෙනවා කියලා. ශානි අබේසේකරට, නිශාන්ත සිල්වාට වුණ දේවල් නිසා මට නං අවුල පෙනුණා. ඒ අතරේ අජිත් නිවාඞ් කබ්රාල්, පී.බී. ජයසුන්දර වගේ අයත් ගෙනැත් දාගත්තා. අර විශ්වාසය නැතිවෙලා ගියා. ඊට පස්සේ දවසින් දවස කරපු දේවල්වලින් ඔහුගේ කියුම් සහ කෙරුම් අතර වෙනස පෙනුණා. එක රටක්, එක නීතියක් කිව්වාට බුවනෙක හෝටලේ කඩපු එකට නීතිය වෙනස් වුණා. ඒ නගරාධිපතිට අත තියන්න දෙන්නෑ කියලා ජොන්ස්ටන් ප්‍රනාන්දු කිව්වාට පස්සේ දැඩි පියවර ගනීවි කියලා සමහරුන් හිතුවා. ඔහු අතරින් පතර කැමරා අරගෙන ආයතනවලට පැන්න එක පවා අසාර්ථක වුණා. පහුගිය දවස්වල තමයි මනුස්සයා කවුද කියලා මහජනතාවට වැටහුණේ. වසංගතයක් සහ යුද්ධයක් අතර වෙනස තේරුම් ගන්න බැරි බව මාර්තු මාසයේදී ඔහු කතා කරපු විදියෙන් තේරුණා. යුද්ධයක් නම් කරන්න තිබුණා, වසංගතයක් නිසා බැරි බව ඔහු කියද්දී ඔහුටත් ඒ දෙකේ වෙනස තේරිලා තියෙන බව පේනවා. දැන් අපි ඉන්නේ ඔහුගේ අසාර්ථකත්වය ගැන කතා කරන අයට සීමා දාන අවධියේ. දැන් එයා ෆේල් තමයි, ඒත් ඒක කියන්න තහනම්.

 

සමහරවිට 2015න් පස්සේ හැදුණ නිදහස් අවකාශයේ වටිනාකම මිනිසුන්ට වැටහෙන්නේ දැන් වෙන්න ඇති…

හරියට හරි. නිදහස සහ ආයතන ස්වාධීනත්වය කොච්චර වටිනවාද කියලා මිනිසුන්ට වැටහුණේ නැහැ. දැන් අධිකරණය ගැන මහජන ආකල්ප බලන්න. අපි මේවා ගැන ඒ දවස්වල කීවා. පිල්ලෙයාන්ට ඇප, ජනක බණ්ඩාර තෙන්නකෝන් නිදහස්, බැසිල් රාජපක්ෂගේ විදෙස් ගමන් තහනම ඉවත් වෙනවා. මම අධිකරණයට අපහාස කරන්න නෙවෙයි මේක කියන්නේ. සාමාන්‍යයෙන් රටක පාලකයන්ගේ භාවිතාවට අධිකරණයත් යම් දුරකට අනුගත වෙනවා. අධිකරණය සියල්ලට ඉහළින් නෙවෙයිනෙ තියෙන්නේ. ඒකත් රටේ කොටසක්. රටේ ආණ්ඩුව සහ ජනතාව දූෂණ විරෝධය, නිදහස, සමානාත්මතාව, නීතියේ ආධිපත්‍යය පැත්තට හැරෙද්දී අධිකරණයත් ඒ පැත්තට යනවා. නඩු ගොඩක චූදිතයෙක් ජනාධිපති වෙලා, ඔහුගේ අතට අධිකරණයේ පත්කිරීම් බලයත් ගත්තාම ජනතාව අධිකරණය ගැන විශ්වාස කරන්නෙ කොහොමද. පාර්ලිමේන්තුවේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නීතිඥයා වෙලා ඉඳලා අධිකරණ ඇමති වූ අලි සබ්රි මහතා කීවා ගෝඨාභය රාජපක්ෂට නඩු 35ක් තියෙන බව. ඒක හැන්සාඞ් වෙලා තියෙනවා. ඇත්තටම නඩු තිස්පහක් තියෙනවා කියලා මං දන්නෙත් නෑ. මම දැනගෙන හිටියේ හතරයි පහයි. මහජන මුදලින් අම්මටයි තාත්තටයි ස්මාරකයක් හදපු එක, නාවික හමුදාවට ලාභ ලැබුණ ව්‍යාපාරයක් ඇවන්ගාඞ් එකට දීම වගේ දෙකතුනක් විතරයි මම දැනගෙන හිටියේ.

 

සමහර අධිකරණ තීන්දු ගැන සමාජ මාධ්‍යවල විවේචන පළවෙනවා. 20 වන සංශෝධනයෙන් පස්සේ අධිකරණයේ තීන්දු ගැන මිනිසුන් අතර අවිශ්වාසයක් හැදෙන එකත් වළක්වන්න බෑ…

විස්ස නැතිව මුකුත් කරන්න බෑ කියලා තමයි එයාලා කිව්වේ. විස්ස සම්මත කරගත්තාට පස්සේ කරන්නේ මේවානේ. දැන් මිනිස්සු හිතන්නේ විස්ස නැතිව බැහැ කිව්වේ මේවා කියලයි. අතිරේක මහේස්ත්‍රාත්වරයෙක් තමයි පිල්ලෙයාන්ට ඇප දුන්නේ. මීට කලින් රත්නපුර මහාධිකරණයෙන් චොකා මල්ලි වරදකරු කළා. ඊට පස්සේ වාසුදේව නානායක්කාර වගේ අය කීවා, ඒ නඩු තීන්දුව පිළිගන්නෑ කියලා. ඒ තීන්දුව අභියාචනයකින් වෙනස් කරගන්නවා, ඒ නිසා බය නැතිව ඡන්දය දෙන්න කීවා. සිල් රෙදි නඩුවේ වෙනම කතාවක්. ඒ වෙලාවේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සල්ලි අරගෙන සිල් රෙදි බෙදුවාට විරුද්ධව, ඒක අල්ලසක් බව කියමින් නඩු දැම්මේ මැතිවරණ කොමසාරිස්. ඊට පස්සේ විනිසුරු ගිහාන් කුලතුංග තීන්දුව දුන්නා ඒ අය වැරදිකාරයන් කියලා. දැන් අභියාචනාධිකරණය තමයි කියන්නේ අර තීන්දුව වැරදියි කියලා. ඒත්, අනේ දෙවැනි තීන්දුව ලැබෙනතුරු අවුරුදු එකහමාරක් අර අහිංසකයෝ දෙන්නා හිරේ හිටියා.

 

මේ දිනවල ආණ්ඩුවේ හැසිරීම් එක්ක ඔබටත් පීඩා විඳින්න සිද්ධවේවි කියා හිතනවාද?

මගේ අධිකරණයට අපහාස කිරීමේ නඩුවේ තීන්දුව ලැබෙන්න නියමිතයි. මං හිතන විදියට මට බඩුම තමයි. ගොනා හැරෙනකොට තේරෙනවා කෙහෙල් පැළේට කියලා. මම හැමදේටම හිනාවෙලා මුහුණදෙන කෙනෙක්. සමහර අය මට කියනවා ආණ්ඩුව වැටිලා ඉන්න වෙලාවේ මා වගේ කෙනෙක් ඇතුළට දැම්මොත් ලොකු විරෝධයක් ඒවි කියලා. ඒත් මම හිතන්නේ එහෙම නෙවෙයි. මම එළියේ හිටියොත් මේ වගේ කතාකරනවානේ. පාර්ලිමේන්තුවේත් කෑගහනවා. ඉතින්, මම ඇතුළට දැම්මොත් පොඩි විරාමයක් ලැබෙනවානේ. ඉතින්, මං ඇතුළට ගියොත් ඒක ආණ්ඩුවට වාසියක් වේවි. ඉතින්, මං ඇතුළට යන්න හිත හදාගත්තා.■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි