No menu items!
24.8 C
Sri Lanka
12 May,2024

ඇමෙරිකාවේ චීන ජාතිකයන්ට ජාතිවාදී ප්‍රහාර

Must read

‘වියපත් සුදුජාතික කාන්තාවක්. මාව දැකලා ඇය කිව්වා, ඔයාලාගේ මිනිස්සු ලෙඩ අරන් එනවා. ඈතට යන්න  කියලා.’ වෙරා චෝ නම් චීන සම්භවයක් ඇති ඇමෙරිකාවේ නිව්යෝක්හි වෙසෙන තරුණියක් එසේ කියනවා.

‘මගේ ළඟ හිටියා පණස් හෝ හැට ගණන්වල සුදු ජාතික යුවළක්. සැමියා මගේ ළඟට ඇවිත් අතින් සන් කරමින්, අඩි හයක් හොඳේ කියලා කීවා. මම විතරක් නෙවෙයි එතැන හිටියෙ. ඔහු කෙළින්ම මටයි ඒක කිව්වෙ.’ කෙන්ට් කැඕ නම් ෆ්ලොරිඩාහි සරසොටා ප්‍රදේශයේ වෙසෙන කෙනෙකු කියනවා.

‘මාව පහුවෙද්දීම කීවා, ආපු දිහාකට යන්න කියලා.’ ස්ටෙෆනි සුන්ග් නම් නිව්යෝක්හි තරුණියක් එසේ කියනවා.

ආසියානු සම්භවයක් ඇති ඇමෙරිකා එක්සත් ජනපද වැසියන්ට මෙලෙස වසංගතයට අදාළ ජාතිවාදී සැලකීම් 1700කට වඩා මාර්තු මාසයේදී ආරම්භ කළ හදිසි දැනුම්දීමේ දූරකථන අංකයකට වාර්තා වී තිබෙනවා. මෙය දිනකට සිදුවීම් 38ක් පමණ.

අප කලින් කීවේ ඉතාම සුළු සිදුවීම්. සීසීටීවී කැමරාවල සටහන් වූ බරපතළ පහරදීම් ගණනාවක් අන්තර්ජාලයේ හුවමාරු වුණා. ඇවිදගෙන යන විට හදිසියේ පහරදී දිවයෑම්, පහරදී බිම දිගේ ඇදගෙන යෑම් එලෙස දකින්නට ලැබුණා. ඇතැම් පහරදීම් අතිශය අමානුෂික ඒවා.

‘මම හැදුණෙ වැඩුණෙ හදිසියේ චිංචොචොං වගේ හඬක් නඟමින් කවුරුහරි විහිළු කිරීමේ සිදුවීම්, නැත්නම් වෙනත් විහිළු කිරීමේ සිදුවීම් එක්ක. ඒත් එකපාරම පුද්ගලයන්ව කෝච්චි පාරවල්වලට තල්ලු කිරීම්, ඇසිඩ්වලින් පහරදීම වගේ සිද්ධි ගැන අහන්න සිද්ධවුණා. මේ වගේ දෙයක් මම බලාපොරොත්තු වුණේ නැහැ.’ වෙරා චෝ එසේ කියනවා.

කොවිඩ්-19වසංගතයට අදාළව ජනවර්ගය මුල් කරගත් පීඩාවට පත්කිරීම් ගැන පෙබරවාරි මාසයේ සිට සිවිල් සංවිධාන වාර්තා කර තිබුණා. එහෙත් එය ජාතික මට්ටමේ ගැටලුවක් බවට පත්ව තිබුණු බව කියන්නේ මාර්තු 18 වැනිදා පැවති එක්තරා නිශ්චිත මාධ්‍ය සාකච්ඡාවක් නිසා.

‘ඔබ එයට චීන වෛරසය කියන්නේ ඇයි?’ ධවල මන්දිරයේ වාර්තාකාරිනියක් ජනපතිවරයාගෙන් එසේ විමසුවා.

‘ඒක චීනයෙන් එන හින්දා. ඒක ජාතිවාදී නැහැ. කොහෙත්ම නෑ. ඒක එන්නේ චීනෙන්.’ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා එලෙස කීවා.

ඊළඟ සතියේදී පහරදීමේ සිදුවීම් 650ක් දක්වා වර්ධනය වී තිබුණා. ධවල මන්දිරය කම්පාවට පත්ව ජාතිවාදී ප්‍රචාරක ව්‍යාපෘතිය අත්හැරියේ නැහැ. ජාතිවාදී ප්‍රචාරක මෙහෙයුම ඉදිරියටම ගියා. තත්වය දරුණු වුණේ ගෙවුණු සතියේදී චීන- අමෙරිකානු ජාතික මාධ්‍යවේදිනියකට ඇමෙරිකානු ජනාධිපතිවරයා ඉතාම පහත් ආකාරයේ ජාතිවාදී ප්‍රතිචාරයක් දැක්වූ නිසායි.

‘හැමදාම ඇමෙරිකානුවන් මියයද්දී, අලුත් රෝගීන් දිනපතා හමුවෙද්දී ඔබට මේක ගෝලීය තරඟයක් බවට පත්වෙලා තියෙන්නේ ඇයි?’ ආසියානු සම්භවයක් ඇති මාධ්‍යවේදිනියක් මැයි 11 වැනිදා විමසා තිබුණා.

‘ලෝකෙ හැමතැනම ජීවිත නැතිවෙනවා. සමහරවිට ඔය ප්‍රශ්නෙ ඔබ අහන්න ඕනෑ චීනෙන්. මගෙන් අහන්න එපා. ඕක චීනෙන් අහන්න. ඔබ ඔවුන්ගෙන් ඇහුවොත් හිතාගන්න බැරි උත්තරයක් ලැබෙයි. පිටිපස්සෙ ඉන්න කෙනා, ප්‍රශ්නෙ අහන්න.’ ජනාධිපතිවරයා එසේ පිළිතුරු දී තිබුණා.

මෙම පිළිතුරෙහි ඇති ජාතිවාදී ස්වරය නිසා ක්ෂණිකව මාධ්‍යවේදිනිය ප්‍රතිචාර දැක්වුවා. තමාගේ මුඛ ආවරණය පහළ දමා, ‘ඔබ මට එහෙම නිශ්චිතව කියන්නේ ඇයි?’ ඇය එසේ විමසා තිබුණේ ඒ නිසායි.

මහාචාර්ය රසල් ජන්ග් පරම්පරා පහක් තිස්සේ ඇමෙරිකාවේ ජීවත්වූ ආසියානු සම්භවයක් ඇති පවුලක කෙනෙක්. ඔහු සැන් ෆ්‍රැන්සිස්කෝ විශ්වවිද්‍යාලයේ ආසියානු- ඇමෙරිකානු අධ්‍යයන අංශයේ කටයුතු කරනවා.

‘ආසියානුවන්ට එරෙහි ප්‍රචාරයක් යන විට ඔවුන් ප්‍රහාරයට ලක් වෙනවා. හිංසනයට ලක්වෙනවා. මෙවැනි චෝදනා එල්ල කිරීමෙන් ඍජු වෛරය හා හිංසනයට මුල් වෙනවා. 19 වැනි සියවසේදී වසූරිය බෝ වන විට චීන ජාතිකයන්ට බැණවැදුණා. රෝගය පතුරවන්නන් ලෙස ඔවුන්ට චෝදනා කළා. 1900 දී මහාමාරිය ආවා. ඔවුන් ඇත්තටම ‘චයිනාටවුන්’ ගිනි තැබුවා. මෙලෙස ඉතිහාසය පුරාවට වසංගතවලදී මෙවැනි සිදුවීම් වාර්තා වුණා.’

මෙවැනි ජාතිවාදී සිදුවීම්වලට එරෙහිව අප වැනි රටවල නැති තරම් ශක්තිමත් හඬක් ඇමෙරිකාව වැනි රටවල මතුවෙන බව කියන්න ඕනෑ. මෙවැනි අපරාධ වැළැක්වීමට පියවර ගත යුතු බව සෙනෙට් සභිකයන් 16 දෙනෙකු ප්‍රතිපත්තිමය යෝජනා ඉදිරිපත් කර තිබුණා.

සමාජ විශේෂඥයන් බිය පළ කරන්නේ ලොක්ඩවුන් තත්වය ලිහිල් කරන විට, මෙවැනි සිදුවීම් වැඩිපුර වාර්තා විය හැකි බව. ඇමෙරිකාවේ ජනාධිපතිවරණය ළංවෙන තරමට මෙවැනි ජාතිවාදී ප්‍රචාරයන් ශක්තිමත් වෙනවා. කොවිඩ්-19 වසංගතය හමුවේ අසමත් වූ ට්‍රම්ප් පාලනය ජාතියකට වරද පැටවීමට වඩා සංවිධානාත්මක උත්සාහයන් ගනු ඇති. ඒ අනුව ඉදිරියේදී තත්වය බරපතල වීම ගැන සැකයක් තිබෙනවා.

අනුරංග ජයසිංහ

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි