25.8 C
Sri Lanka
28 September,2021

අලුත් ගැලවුම්කාරයකු වුවමනා කර තිබේ

Must read

‘සොමෝසා ක්‍රීඩාංගණයේදී සොමෝසා සෝමෝසාගේ පිළිරුව නිරාවරණය කරයි’ කීර්තිමත් ලතින් ඇමරිකානු සාහිත්‍යධරයකු වූ නිකරගුවානු ජාතික අර්නස්තෝ කාදෙනාල් පියතුමා ලියූ කවියක මාතෘකාවයි මේ (Somoza unveils the statue of Somoza in Somoza Stadium). 1936 සිට 1979 දක්වාවූ වසර 43ක කාලය තුළ නිකරගුවාව තම පරවේණි බූදලයක් මෙන් පරිහරණය කළ සොමෝසා පිය පුතුන් තිදෙනාගේ පවුල් පාලනය පිළිබඳව තැබුණු සටහනකි මෙම කවිය.

මානව හිමිකම් කඩකිරීම, ජාතික සම්පත් මංකොල්ලකෑම හා පවුල් වන්දනාව සොමෝසා ඒකාධිපතිත්වයේ මූලිකාංග විය. 1975 දැවැන්ත භූ චලනයකින් විනාශ වූ මනාගුවා අගනගරයේ වැසියන්ට ලැබුණු විදේශාධාර පවා සොමෝසා පවුල තම ගිණුම්වලට බැර කර ගත්තේය. 1979 බලය අහිමි වන විට එරට කෘෂි ඉඩම්වලින් 22%ක්ද, කර්මාන්ත හා ව්‍යාපාර බොහොමයක්ද හිමිවූයේ අනස්තාසියෝ සොමෝසා ජනපතිවරයාටය. නිකරගුවානු ජාතික ගුවන් සේවය, නැව් සමාගම් 2ක්, බැංකු රක්‍ෂණ සමාගම් පාලක පවුලේ බූදලය අතර විය.

ජනතා සහාය අහිමි වුවද දශක 4කට වැඩි කලක් නිකරගුවාවේ ඔටුනු නොපළන් රජුන් ලෙස ක්‍රියාකිරීමට සොමෝසා පවුලට හැකිවූ ප්‍රධාන හේතු දෙකකි. එකක් නම්, හමුදා ශක්තියයි. සොමෝසාවරු හමුදාව පාලනය කළෝය, හමුදාව සොමෝසා පාලනය රැක්කේය. අනෙක් සාධකය නම් ඇමරිකා එක්සත් ජනපදය ලබාදුන් දේශපාලන, යුද්ධමය හා ආර්ථික සහයෝගයයි.

ඇමරිකා-සෝවියට් ශීතල යුද්ධය තුළ මහා බලවතුන් දෙදෙනාම තමන්ගේ පිළ වර්ධනය කරගැනීමේ තරගයක නිරත වූහ. මේ තරගය සහ බල ව්‍යාපෘතිය වෙනුවෙන් භාවිත කිරීමට සොමෝසා පවුල සමත් විය. නිකරගුවාව ඇමරිකාවේ උපග්‍රහයකු බවට පත්කිරීමට සොමෝසාවරු ක්‍රියාකළහ. ඊට ප්‍රතිඋපකාර ලෙස සොමෝසා පාලනය සුරැකීමට ඇමරිකාව ඉදිරිපත් විය.

අද ලෝකය සිටිනුයේ ඇමරිකාව හා චීනය අතර නව ශීතල යුද්ධයක ආරම්භයේය. 1949-1989 කාලය තුළ මෙන් දැන්ද මහා බලවතුන් දෙපළ තම පිළ ලොකු කර ගැනීමේ තරගයක නිරතව සිටී. මෙම තරගය ඉතාමත් තියුණු ලෙස ක්‍රියාත්මක වනුයේ ආසියාවේය. විශේෂයෙන්ම දකුණු ආසියානු කලාපයේය.
චීනය රාජපක්‍ෂවරුන්ට දක්වන සහායත් රාජපක්‍ෂවරුන් චීනයට දක්වන සහායත් වටහාගත හැක්කේ මේ සංදර්භය තුළය.

රාජපක්‍ෂවරුන්ට අවශ්‍ය චිරාත් කාලයක් තම බලය රැකගැනීමටය. වසර ගණනාවක් දරදිය අදිමින් තමන්ට කැඹුරූ විමල් වීරවංශ හා උදය ගම්මන්පිළ වැනි ඇමතිවරුන්ට මේ දිනවල ලැබෙන සැලකිල්ල තුලින් පෙනීයනුයේ තමන්ගේ පිළ තුළ පවා තම බලයට වචනයකින් හෝ හරස් වීම රාජපක්‍ෂවරුන් නොඉවසන බවය. තමන්ට සුවච කීකරුවූවන්ට බලය නම්වූ කේක් ගෙඩියෙන් කුඩු ටිකක් හා ඉඳහිට අයිසිං රෝසමලක් දීමට රාජපක්‍ෂවරුන් ක්‍රියාකළද, කේක් ගෙඩියේ අයිතිකාරත්වය පවුලෙන් පිටට යාමට ඉඩදීමට ඔවුන් සූදානම් නැත.

2010දී මහින්ද රාජපක්‍ෂ පාලනය 18වන සංශෝධනය ගෙනාවේත් 2020දී ගෝඨාභය-මහින්ද පාලනය 20වන සංශෝධනය ගෙනාවේත් මේ පවුල් බලය රැකගැනීම වෙනුවෙනි. ද්විත්ව පුරවැසියන්ට දේශපාලන බලය අහිමි කරන වගන්තිය ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීමට රාජපක්‍ෂවරුන් දැඩි බරක් දුන්නේද එබැවිනි. පවුලේ දැක්ම අනුව ගෝඨාභය මහින්ද පාලනයෙන් පසු බිහිවිය යුත්තේ බැසිල්-නාමල් පාලනයකි. තම ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීමට බැසිල් රාජපක්‍ෂ මහතා අකැමති බව ඔහුම කියා ඇත. ද්විත්ව පුරවැසි වගන්තිය ඉවත් කිරීම ගැන ආණ්ඩුව තුළම විමල්-උදය පිළෙන් දැඩි විරෝධයක් එල්ල වූයේ බැසිල් ආගමනය වළක්වාලීමට තිබූ උවමනාව නිසාය. ද්විත්ව පුරවැසි වගන්තිය ඉවත් කිරීමට රාජපක්‍ෂවරුන් එකා මෙන් පෙනීසිටියේද බැසිල් ආගමනය සමස්ත පවුලේම අවශ්‍යතාවක් වූ නිසාය.

තම පවුල් බලය ස්ථාපිත කොට ව්‍යාප්ත කිරීමේදී දේශපාලන විපක්‍ෂයෙන් හා සාමාන්‍ය සමාජයෙන් පමණක් නොව තමන්ගේම පිළෙන් විවිධ බාධාවන් මතුවන බව රාජපක්‍ෂවරු දනිති. ලොව බොහෝ ඒකාධිපති පාලකයන් මෙන් ඔවුන්ද විදෙස් අනුග්‍රාහකයන් සොයනුයේ එබැවිනි. තමන්ට මිල මුදලින් උදව් කරන, අවි බලයෙන් රැකවරණය දෙන, එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේදී තමන් වෙනුවෙන් පෙනීසිටින බලවත් ආරක්‍ෂකයකු රාජපක්‍ෂවරුන්ට අවශ්‍ය විය. ඉන්දියන් සාගරයේ තම බලය පැතිරවීම සඳහා ආරම්භයක් චීනයට අවශ්‍ය විය.
රාජපක්‍ෂ-චීන සහසබඳතාව නිර්මාණය වූයේ මෙලෙසෙය. මෙම බැඳියාව මෙරට අනාගත ගමන හා ඉරණම තීන්දු කරන තීරණාත්මක සාධකයකි. ‘චී-ලංකා’ යෙදුම හුදෙක් දේශපාලන සටන්පාඨයකින් ඔබ්බට යන අනාගත යථාර්ථයක පිළිබිඹුවක් විය හැක්කේ එබැවිනි.

වැඩකරන විරුවා ෂෂ
2019 වන විට මෙරට දේශපාලනයේ ප්‍රධාන ධාරාවන් තුනේ නායකයන් වූයේ මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයාත්, රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාත්, මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂ නායකවරයාත්ය. මේ තිදෙනාගෙන් එක් අයකුටවත් ඊළඟ ජනපති වීමේ ව්‍යවස්ථාමය/යථාර්ථවාදී හැකියාවක් නොවිණි. එහෙත් මෙරට ප්‍රධාන පක්‍ෂ දෙක වූ එජාපය හා ශ්‍රීලනිපය විශාල නායයාමකට මුහුණ දෙන බව 2018 පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල සනාථ කළේය. 19වන සංශෝධනය නිසා මහින්ද රාජපක්‍ෂ මහතාට යළිත් ජනපතිවරණයට තරග කිරීමේ අවස්ථාවක් නොවුණි.
මේ යථාර්ථවාදී නොහැකියාවන් තුළින් ජනපති ක්‍රමය අහෝසි කිරීමේ ප්‍රතිඥාව ක්‍රියාත්මක කිරීමට විරල ඉඩක් නිර්මාණය විය. ජනපති වරම් නැති මේ ප්‍රධාන ධාරාවේ නායකයන් තිදෙනා එක් වුණා නම්, ජනපති ක්‍රමය අහෝසි කිරීම සඳහා අවශ්‍ය පාර්ලිමේන්තු සහායත් ජනතා සහායත් ලබාගැනීමට හැකියාව තිබුණි. එසේ වූවා නම් ලංකාව හා ලාංකිකයන් වන අප අද තරම් අසරණ හා අනාරක්‍ෂිත තත්වයකට වැටෙන්නේ නැත.

නමුත් තමන්ට ජනපති වරම් අහිමිය යන යථාර්ථය පිළිගැනීමට සිරිසේන ජනපතිවරයාත් වික්‍රමසිංහ අගමැතිවරයාත් මැලිවූහ. ඔවුන් දෙදෙනාම ජනපති සිහිනය අත්හැරියේ නැත. තම මූලිකම අරමුණ වූ රාජපක්‍ෂ පවුල් පාලනය යළි ස්ථාපිත කිරීම සඳහා පාර්ලිමේන්තු ක්‍රමයකට වඩා විධායක ජනපති ක්‍රමය සුදුසු බව මහින්ද රාජපක්‍ෂ මහතාද දැන සිටියේය. බල තණ්හාව නිසා ජනපති ක්‍රමය වෙනස් කිරීමේ තවත් අවස්ථාවක් මෙසේ වැළලුණි.

‘රට රකින අපේ විරුවා’ චරිතයට පණ පෙවුණේ ඉන් පසුය. පාස්කු ඉරිදා සංහාරයෙන් ඊට කදිම වටාපිටාවක් නිර්මාණය විය. ප්‍රහාරය පිළිබඳව පූර්ව දැනුම් දීමක් ලැබී වුවද එය වළක්වාගත නොහැකි වූයේ 19වන සංශෝධනයෙන් පසුවත් ජනපතිවරයා සතු වූ අත්තනෝමතික බලය නිසා බව කාටත් අමතක විය.

ජාතික ආරක්‍ෂාව බාරව සිටින ජාතික ආරක්‍ෂක මණ්ඩලය ආරම්භ වූ දින සිට මේ දක්වාත් එයට නිසි ආයතනමය හා නීතිමය රාමුවක් ලැබී නොතිබුණි. එහි රැස්වීම්වලට කැඳවීම් ලැබුණේ ජනපතිවරයාගේ අභිමතය පරිදිය. දින 52 කුමන්ත්‍රණයෙන් පසු මෛත්‍රීපාල ජනපතිවරයා අගමැතිවරයාව හෝ ආරක්‍ෂක රාජ්‍ය ඇමතිවරයාව හෝ පොලිසිය බාර ඇමතිවරයාව ආරක්‍ෂක මණ්ඩල රැස්වීමට කැඳවූයේ නැත. ඒ වෙනුවට ඔහු තමන්ට හිතවත් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට පමණක් නොව විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ටද ආරක්‍ෂක මණ්ඩල රැස්වීම්වලට ඇරියුම් කළේය. එවැනි වගකීම් විරහිත හා ළාමක හැසිරීමකට අවශ්‍ය අත්තනෝමතික බලය 19වන සංශෝධනයෙන් පසුවද ජනපතිධුරයට හිමිවිය.

එක් පුද්ගලයකුට අසීමිත බලයක් ලබාදෙන පාලන ක්‍රමයක සාර්ථක-අසාර්ථකත්වය තීන්දු කරන ප්‍රධානතම සාධකයක් වනුයේ ඒ පුද්ගලයාගේ හැකියාව හා නොහැකියාවයි. විවිධ ප්‍රචාරණ උපක්‍රම හරහා පුද්ගලයකු බැලුමක් මෙන් පිම්බිය හැක. එවන් පුද්ගලයකුට මැතිවරණයන්ද මහා ඉහළින් ජයගත හැක. එහෙත් බලය ලත් විට ඔහුගේ/ඇයගේ පාලන ස්වභාවය තීරණය වනුයේ පිට ඔපය මත නොව ඇතුළත හිස්බව මතය.

යෝධයකුට සරිලන පාවහන් යුගලක් ළදරුවකු හෝ සාමාන්‍ය උස-මහතැති පුද්ගලයකු පය ලෑවොත් කුමක් වේද? එහි ප්‍රතිඵලය වේගවත් ඉදිරි ගමනක් නොව දැවැන්ත කඩාවැටීමකි.
අද ලංකාවත් අපත් පත්ව ඇත්තේ එවන් තත්වයකට නොවේද?

රාජපක්‍ෂවරුන්ට පවුල් පාලනය ඉදිරියට ගෙන යා හැකි පවුලේ අපේක්‍ෂකයකු අවශ්‍ය විය. සිරිසේන-වික්‍රමසිංහ පාලනයේ වැරදි හා දුර්වලතා නිසා දුර්මුඛව පාස්කු ප්‍රහාරයෙන් භීතියට පත්ව සිටි ජනතාවට අලුත් බලාපොරොත්තුවක් අවශ්‍ය විය. මේ උවමනාවන් දෙක සමපාත වූයේ ‘වැඩ කරන විරුවා’ නම්වූ අපූර්ව චරිතය තුළය. එය හුදෙක් මැතිවරණ වේදිකාව මත කරන රංගනයක් බව කාට කාටත් අමතක විය.

රංගනය පිටුපස වූ යථාර්ථය වටහාගැනීමට ඉඩකඩ නොතිබුණාම නොවේ. 2019 ජනපතිවරණයට පෙර පොදු ජන පෙරමුණ පැවැත්වූ එකම මාධ්‍ය හමුවේදී ප්‍රතිපත්තිමය කාරණා පිළිබඳ නැගුණු ප්‍රශ්න අතලොස්සට වුවද ගෝඨාභය රාජපක්‍ෂ මහතා දැක්වූ ප්‍රතිචාරය ඉන් එකකි. වියත් මගේ පෙරටුගාමී වියතුන්ගේ වියත් බවත් ඔහුගේ වියත් බවත් අතරැති සමානත්වය වටහා ගැනීමට ඒ ප්‍රමාණවත් විය.

තවත් එවැනි උදාහරණයක් වූයේ ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම්වරයාගේ පාලනය යටතේ නාගරික සංවර්ධන අධිකාරියට අත්වූ ඉරණමයි. ආරම්භයේ සිටම ලාබ ලැබූ නාගරික සංවර්ධන අධිකාරිය ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම්වරයාගේ පාලනයට ලක්වූ පසු පාඩු ලබන්නට විය. ලාබ ලැබූ ආයතනයක් පාඩු ලබන තත්වයට පත්කළ පුද්ගලයකුට රටක ආර්ථිකයක් බාරදුනහොත් අත්විය හැකි ඉරණම සිතාගැනීමට අපහසු විය. නමුත් ජනපතිවරණ ව්‍යාපාරය තුළ මේ පිළිබඳව කතිකාවක් නොවීය. එක් දිනකට රුපියල් බිලියන 240 ගණන් අච්චු ගසන තැනට ලංකාව පත්ව ඇත්තේ මේ නිසාය.

මෙරට ඉතාමත් කෙටි කාලයක් තුළ වැඩිම අසාර්ථකත්වයක් ලැබූ ජනපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉතිහාසයට එක්ව හමාරය. රාජපක්‍ෂවරුන් වන්දනාමාන කරන සුළුතරයක් මේ යථාර්ථය පිළිනොගත්තද, රාජපක්‍ෂ පවුලත් ආණ්ඩුවේ බහුතරයකුත් එය දන්නා බව පැහැදිලිය. නියඟයෙන්, ආර්ථික කඩාවැටීමෙන් හා පරිසර විනාශයෙන් පීඩිතව අපේක්‍ෂා භංගත්වයට හා කෝපයට පත්ව සිටින අතිබහුතරයක් ලාංකිකයන්ට බැසිල් නම්වූ ‘නවකතම මිරිඟුව’ නිර්මාණය කිරීමට රාජපක්‍ෂ පවුලත් ආණ්ඩුවේ කොටසකුත් උත්සාහ කරන්නේ එබැවිනි.

ගෝඨාභය අයියාට වඩා බැසිල් මල්ලි දක්‍ෂයකු විය හැක. නමුත් ඔහුට තබා විශ්වකර්මයාටවත් රාජපක්‍ෂ බලය හා රට යන දෙකම රැකිය නොහැක. වසංගත පාලනය මායාවක් වී ඇත්තේත් ආර්ථිකය කඩා වැටී ඇත්තේත් රාජපක්‍ෂ නොහැකියාව නිසාය. ලංකාව චීනයේ අතකොළුවක්ව ඇත්තේ රාජපක්‍ෂවරුන්ගේ බල තණ්හාව නිසාය. නීතිය විහිළුවක්ව ඇත්තේ රාජපක්‍ෂවරුන්ගේ අවනීතිකභාවය නිසාය. මේ ප්‍රශ්නවලට මූලික හේතුව රාජපක්‍ෂ පාලනයයි. ලංකාව නොනිල රාජාණ්ඩුවක් කොට පරපුරෙන් පරපුරට එහි ඔටුනු නොපළන් රජවරුන් වීමට රාජපක්‍ෂවරුන්ට ඇති ලෝභයයි. අයියාගෙන් ගිලිහී ඇති ‘වැඩකරන විරුවාගේ’ සළු පිළි හා වෙස්මුහුණ මල්ලිට පළඳවා මුල් චරිතය ඔහුට දුන්නාට මේ කිසිවක් වෙනස් වන්නේ නැත. වනුයේ තවත් මිරිඟුවක් හඹා ගොස් හතිවැටීම පමණි.

ගැලවුම්කරුවාගේ දේශපාලනය පිළිබඳ දෙවරක් සිතීම
වැඩකරන විරුවා ෂෂ හෙවත් බැසිල් ගැලවුම්කාරයාගේ ආගමනයෙන් පසු රාජපක්‍ෂ පවුලේ මූලික අවධානය යොමුවනු ඇත්තේ තම පිටපොත්ත යළිත් ඔපමට්ටම් කොට ආර්ථික අර්බුදය තවත් තීව්‍ර වන්නට පෙර පළාත් සභා මැතිවරණය පවත්වා ඉන් ජයගැනීමය. ඒ අතරමැදි මැතිවරණය හොඳින් හා නරකින් ජයගත හැකි නම් රාජපක්‍ෂ පවුලේ දේශපාලන අවසානය නතර කොට පවුල් ව්‍යාපෘතියට නව පණක් දිය හැකි වනු ඇත.

එකම භාෂාවක් හෝ හරිහැටි නොදන්නා අයකු තමන් ෂඩ්භාෂා පරමේශ්වර යයි සිතා කටයුතු කළහොත් එහි ප්‍රතිඵලය ව්‍යසනය හා විගඩම අතර දෝලනය වනු ඇත. අද රාජපක්‍ෂ පාලනයට අත්ව ඇත්තේද, ඒ ඉරණමය. මුදල් අච්චු ගැසීමෙන් මූල්‍ය අර්බුද විසඳිය හැකි නම් ආර්ථික විද්‍යාවක් හෝ මුදල් ඇමතිවරයකු හෝ මහ බැංකුවක් අවශ්‍ය නොවේ. එවිට ඕනෑම දුප්පත් රටකට සෞභාග්‍යය අත් කරන්නට අවශ්‍ය වනුයේ මුදල් නිර්මාණය කිරීම පමණි. මේ සරල සත්‍යය වටහා ගන්නට අසමත් පාලනයකින් ව්‍යසනය වැඩිවීම විනා වෙන කිසිවක් අපේක්‍ෂා කළ නොහැක. ජනතාවටද එය වැටහෙමින් පවතී.

එළඹෙන පළාත් සභා මැතිවරණය දිනාගැනීමට රාජපක්‍ෂ පවුලේ නව ගැලවුම්කාරයාට හැකි වුවහොත් ඒ විපක්‍ෂයේ අසමගිය නිසාය.

2015 ජනපතිවරණය දිනාගත හැකිවූයේ විපක්‍ෂයේ සමගියත් ආණ්ඩුවේ අසමගියත් නිසාය. අද ආණ්ඩුව අසමගිය. ඊටත් වඩා විපක්‍ෂය අසමගිය. විපක්‍ෂයේ නායකයෝ බොහෝ දෙනෙක් ජනපති සිහිනයෙන් මත්ව සිටිති. කොතරම් මත්ව සිටින්නේද යත්, අතරමැදි මැතිවරණ දිනාගැනීම ජනපතිවරණය දිනාගැනීමට හොඳම මග යැයි වටහාගන්නටවත් ඔවුන් අසමත් සේය. රාජපක්‍ෂ පාලනයෙන් හති වැටී සිටි ජනතාවගේ ඊළඟ ගැලවුම්කාරයා බවට පත්වීම හා ඒ හරහා ජනපති පුටුවේ වාඩිවීම ඔවුන් බොහොමයක අභිප්‍රායයි. ගැලවුම්කාර දේශපාලනයේ මිථ්‍යාව හෙළිදරව් කරනවා වෙනුවට ඒ මිථ්‍යාව තමන්ගේ ඉදිරිගමන සඳහා යොදාගැනීමට ඔවුහු බොහෝ දෙනෙක් තැත් දරති.

2019 ‘වැඩ කරන විරුවා’ රංගනයට ජනතාව රැවටීම සඳහා ඉමහත් මෙහෙයක් කළ, කෙන්ද කෙන්ද බව දැනත් එය නිකම්ම කන්දක් නොව මහා මේරුවක් ලෙස හුවා දැක්වූ භික්‍ෂු දේශපාලකයන් පිටුපසින් යාමට තරම් විපක්‍ෂයේ ඇතැම් නායකයන් ප්‍රතිපත්ති විරහිත වී ඇත. ඊළඟ ‘දියසෙන්’ ලෙස මේ භික්‍ෂු-දේශපාලකයන්ගෙන් වරම් ලැබීමට විපක්‍ෂයේ ඇතැම් නායකයන් අතර ඇත්තේ තරගයකි.

දේශපාලනයත්, ආගමත් බද්ධ වීම දේශපාලනයට මෙන්ම ආගමටද අහිතකරය. 1956 සිදුවූයේත් අද සිදුවන්නේත් එයයි. ආගම හා දේශපාලනය අතර බෙදුම් රේඛාව යළි නිර්මාණය කිරීම තුළින් ආගමින් දේශපාලනයත් දේහපාලනයෙන් ආගමත් රැකගැනීමට මේ හොඳම කාලයයි. ඒ කර්තව්‍යය කරනු වෙනුවට පොදු සමාජයේ පමණක් නොව තමන්ගේ අනුගාමිකයන් අතර පවා අපකීර්තියට, අප්‍රසාදයට හා අපහාසයට පත් දේශපාලනික භික්‍ෂූන් වන්දනා කරමින් ඔවුන්ගේ සහාය දිනාගැනීමට විපක්‍ෂයේ ඇතැම් පිරිස් දරන උත්සාහයෙන් පෙනීයනුයේ බල තණ්හාවෙන් බුද්ධිය කුරුවල් වීම රාජපක්‍ෂවරුන්ට සුවිශේෂ වූ රෝගයක් නොවන බවය.

ශානි අබේසේකර නඩු තීන්දුව ප්‍රමුඛ අධිකරණ ක්‍රියාකාරකම් ගණනාවකින් සනාථ වනුයේ අධිකරණයේ කොඳු නාරටිය දුර්වල කිරීමට රාජපක්‍ෂ පාලනය ගත් උත්සාහයන් අපේක්‍ෂිත සාර්ථකත්වය ලබා නොමැති බවය. සිවිල් ක්‍රියාකාරික අසේල සම්පත් සිද්ධියෙන් පැහැදිලි වනුයේ 2015ට පෙර තිබූ අයුරින් සමාජය යළිත් භීතියෙන් අකර්මණ්‍ය කිරීම අපහසු බවය. ‘අපි තරම් හොඳින් කවුරුවත් වසංගතය පාලනය කළේ නැහැ, අපි තරම් හොඳින් කවුරුවත් පරිසරය රැක්කේ හෝ පාතාලය මට්ටු කළේ හෝ අපරාධ අඩු කළේ හෝ නීතිය ක්‍රියාත්මක කළේ හෝ නැ’ වැනි චේතිය රජ පන්නයේ ප්‍රචාරයන්ට ජනතාව රැවටීම දිනෙන් දිනම අපහසු වේ. විපක්‍ෂයකට ආණ්ඩුවක් විසින් මෙතරම් ඉක්මනින් හා මෙතරම් සාර්ථක දේශපාලන තෝතැන්නක් නිර්මාණය කළ වෙනත් අවස්ථාවක් නොමැත.

රාජපක්‍ෂ පවුල් පාලනය පරාජය කිරීම අපහසු නැත. 2015දී එය දෙවතාවක් සිදුවිය. අවශ්‍ය ඒ පවුල් පාලනයට ඉඩ සැලසූ දේශපාලන මතවාදය හා භාවිතාවන්ගෙන් ඉවත් වීමයි. සිරිසේන-වික්‍රමසිංහ පාලනයේ මූලික වරද නම් රාජපක්‍ෂ ක්‍රමය අනුකරණය කිරීමට උත්සාහ කිරීමයි. අද විපක්‍ෂයේ ඇතැම් නායකයෝද ඒ වැරැද්දම කරති. තමන් ගැලවුම්කාර වේශ ගන්නේත් ගැලවුම්කාර දේශපාලනයේ යෙදෙන්නේත් එබැවිනි.

ගැලවුම්කාරයන් අයිති ආගමට විනා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට නොවේ. එය පිළිගැනීම මේ රටට පිළිකාවක්වූ පවුල් දේශපාලනයෙන් හා එහි වත්මන් ප්‍රතිමූර්තිය වූ රාජපක්‍ෂ පාලනයෙන් බැහැර වීමේ පළමු පියවරයි.■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි