25.1 C
Sri Lanka
27 September,2021

අපි හිතනවාට වඩා වෙනස් කෙනෙක්

Must read

■ ප්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර

මුතුකුට්ටි ක්‍ෂේවියර් අධ්‍යක්‍ෂණය කළ ‘හෙලන්’ නමින් යුත් මලයාලම් භාෂිත චිත්‍රපටියක් ඔබ නරඹා තිබෙන්නට ඉඩ ඇත. ලංකාවේ රූපවාහිනි නාලිකාවලද එය ප්‍රදර්ශනය වී තිබේ. අතිදැවැන්ත සාප්පු සංකීර්ණයක් තුළ ඇති පිට්සා හට් වැනි කෙටි ආහාර වෙළඳසැලක දවසේ සේවය අවසාන වී යද්දී, එහි සේවය කරන හෙලන් නම් තරුණියක වැරදීමකින් එහි මස් ගබඩා කර ඇති අධිශීත ගබඩාවේ සිටියදී, අනෙක් අය අගුලු ලා පිටත්ව යති. ඇයට කුමක් විණිදැයි නොදැන ඇගේ පියා ඇතුළු පිරිස බලවත් වෙහෙසක් ගෙන සොයන මුත් හෝඩුවාවක් නොලැබේ. අවසානයේ මහ රෑ හමුවන සාප්පු සංකීර්ණයේ දොරටුව මුර කරන වියපත් ආරක්‍ෂක නිලධාරියා පිරිසට ස්ථිරවම කියන්නේ ඇය එදින සවස වැඩ ඇරී පිටතට නොගිය බවයි. ඒ අනුව යන පිරිස අධිශීතාගාරයේ මාරාන්තික ලෙස සිරවී සිටින ඇය මුදාගෙන රෝහලට ඇතුළත් කරති. තරුණිය බැලීමට රෝහලට එන වියපත් ආරක්‍ෂක නිලධාරියාගෙන් හෙලන්ගේ පියා, සිය දියණිය ගැන ඔහුට මතක තිබුණේ කෙසේදැයි අසයි.

‘මේ ෂොපිං මෝල් එකට උදේ හවා යන එන දහස් ගණනක් මිනිසුන් අතරින් මා එක්ක හිනාවෙන එකම ළමයා නිසා මට ඈ මතකයි.’ ඔහු පිළිතුරු දෙයි.

මේ කෙටි කතාව හෙලන් ගැන නොවේ. ඒ වියපත් ආරක්‍ෂක නිලධාරියා ගැනද නොවේ. ඔහු වැනි අපේ රටේ ආරක්‍ෂක නිලධාරීන් ගැනය.

එදා ‘මුරකරු’ යැයි කියූ අය සිටි හැම තැනම අද සිටින්නේ නිල ඇඳුමක් හැඳි ‘පෞද්ගලික ආරක්‍ෂක නිලධාරියෙකි.’  දවසකට අප යන එන තැන්වල, ආයතනවල මෙවැනි නිලධාරීහු බොහෝ දෙනක් අපට හමුවෙති. එහෙත්, හෙලන් සේවය කළ සාප්පු සංකීර්ණයේ මෙන්ම, යන එන අපි කිසිවෙක් ඒ අය සමග සිනාවක්වත් හුවමාරු කර ගන්නට ඉස්පාසුවක් නොදක්වමු. මිනිසකු වෙනුවට දොරටුවේ ‘යමක්’ තබා ඇතිවාක් මෙන් නොසලකාම යමු, එමු. බොහෝ විට ආරක්‍ෂක නිලධාරියකු සමග කතාවක් ඇදගත්තොත්  ඒද අරෝවට මිස යාළුකමට නොවේ.

එහෙත්, ඒ සිටින්නේ අපේ තාත්තාය, අපේ සහෝදරයාය, අපේ මාමාය, අපේ සීයාය යනාදි කවුරුන් හෝ මිස හුදු ‘දෙයක්’ නම් නොවේ.

බොහෝ විට විට, විශ්‍රාම ගන්නා තුරු රජයට හෝ පෞද්ගලික ආයතනයකට ජීවිතය දියකර හැර, විශ්‍රාම ගත් පසුවත්, දරුමල්ලන්ගේ නිමක් නැති අනේකාවශ්‍යතා වෙනුවෙන් මුදල් හොයන්නට, අද දවසේ පහසුවෙන්ම හොයාගත හැකි රැකියාවක් තෝරාගත්, ඉතාම ඒකාකාරී, ඉතාම වෙහෙසදායී, ඉතාම හුදෙකලා රාජකාරි දිවියක් අද ගෙවන අපේම සමීපතමයකු විය හැකිය.

ජයවර්ධනගේ ගම කෑගල්ලය. ඔහු සේවය කරමින් සිටින්නේ රාජගිරියේ සුපිරි වෙළෙඳසැළක පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු ලෙසය. ‘මේ සුපර්මාකට් එකට විවිධ ජාතියේ විවිධ තරාතිරම්වල අය එනවා. හැමෝටම හොඳින් සමානව සලකන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඒත් සමහර අය අපට සලකන්නේ හරිම පහත් විදිහට. සමහරු අපි වැඩිහිටියෝ කියලාවත් සලකන්නේ නෑ.

මම මෙතන හිටියාට, කාටවත් මාව මනුස්සයෙක් නොවෙයි. මා වෙනුවෙන් පිටවුණොත් පිටවෙන්නෙ නොරිස්සුමක්, බැනුමක් විතරයි. දවසෙම හිටගෙන ඉන්න එක මගේ රාජකාරිය. ඒක මට උරුමයි. ඒත් මම මනුස්ස ලෝකෙට අයිති කෙනෙක් නොවන විදියට මෙතැනට යන එන අයගෙන් සලකුම් ලබනකොට, අඩු ගානෙ හිනාවක්වත් නොලැබෙන කොට, හිතට අමාරුයි.

වාහන පාර්ක් එකේ වාහන හසුරවන්න ගියාම එක වාහනයක් එළියට ගන්න පහසුකම හදන තුරු අනෙක් වාහනේ නවත්තන්න කීවාට ගණන් ගන්නේ නෑ. සමහර අය කුණුහරුපෙන් බනිනවා. සමහරු බැහැලා ගහන්න එනවා. සමහරු අපේ පුතාලාගේ වයසේ අය. මේ මොන රස්සාවක්ද කියලා හිතෙනවා. ආරක්ෂක කියලා කෑල්ලක් තිබුණාට අපි කරන්නේ බොහොම අහිංසක රස්සාවක්.’ ජයවර්ධන කියයි.

ජයරත්න අම්පාරේය. හමුදාවේ සේවය කර විශ්‍රාම ගිය අයෙකි. ඔහුට ගැහැනු දරුවෝ දෙදෙනෙක් හා පිරිමි දරුවෙක් සිටිති. එක් ගැහැනු දරුවෙක් පේරාදෙනිය විශ්වවිද්‍යාලයේය. අනෙක් දෙදෙනා තවමත් පාසල් යති. දරුවන්ට අධ්‍යාපනය සඳහා යන්නේ විශාල වියදමකි. ඔහු පෞද්ගලික ආරක්ෂක ආයතනයකට බැඳී සේවය කරන්නේ ඒ නිසාය. ඔහුගේ සේවාමුරය තිබෙන්නේ කොළඹ හයිලෙවල් පාරේ පිහිටි සුපිරි වෙළෙඳසැලකය.

‘දැන්නම් කොරෝනා නිසා අපට සැරවැර වෙනවා අඩුයි. අත හෝදගෙන එන්න කිව්වාම කරනවා. පොතේ ලියන්න කිව්වාම ලියනවා. ඒත් අපිත් එක්ක පැටලෙන්න එන අවස්ථා නැතුවාම නොවෙයි. මෙතෙන්ට එන මහත්තුරු අපි තරම්වත් ඉගෙනගෙන නැතුව ඇති කියලා සමහරවිට හිතෙනවා. මම යුද්ධය වෙලාවේ උතුරේ කට්ටපරිච්චාන්වල හිටියා. කොයි වෙලාවේ කොටි ගහයිද කියලා දන්නේ තැති කාලේ ඒක. හමුදාවෙදි අපිට තුවක්කුවක් තිබුණා. යම් නීතිමය හයියකුත් තිබුණා. ඒ නිසා වෙන්න ඇති අපිට කවුරුත් නරක විදිහට කතා කළේ නෑ. පෞද්ගලික ආරක්ෂක අංශවල යුනිෆෝම් එක විතරයි. කිසිම බලයක් නෑ. මම කස්ටමර් කෙනෙක් එක්ක ආරවුලකට ගියොත් මගේ රස්සාවමයි නැතිවෙන්නේ. දරුවෝ තුන්දෙනා ගොඩ දාන්න ඕන නිසා තව කාලයක් ඉන්නවා. නැත්නම් දාලා යන්න හිතෙන වාර අනන්තයි.’

පුද්ගලික ආරක්ෂක නිලධාරියෙකුට දවසකට පැය 12ක සේවා මුරය අනිවාර්යය. බොහෝ කොට ඒ සේවා මුරය උදේ 7 සිට සවස 7 වන තෙක්ය. නැත්නම් හවස 7 සිට පසුදා උදේ 7 වන තෙක්ය. එහෙත් පැය 12 අනිවාර්ය සේවා මුරය පමණක් වැඩ කළ කෙනෙකුට ලැබෙන්නේ මූලික වැටුප පමණකි. බොහෝ කොට එය රුපියල් දහ පහළොස් දහසකි. ඉතිරි කරගන්නට නම් පැය 12 අනිවාර්ය වැඩමුරයෙන් පසු ඕවර්ටයිම් පැය 12ද වැඩ කළ යුතුය. ඒ කියන්නේ එක දිගට පැය විසිහතරකි. එසේ වැඩ කිරීමෙනුත් ඔවුන් උපයන්නේ රුපියල් තිස්දහස නොඉක්ම වූ මුදලකි.

මතක තබාගත යුතු දෙයක් තිබේ. අද උදේ අපට කොතැනක හෝ දොරටුවකදී හමුවන්නේ ගෙවී ගිය පැය විසිහතරක් තුළ, සමහර විට ඊටත් වඩා, එක දිගට රාජකාරියේ යෙදී වෙහෙසව සිටින මිනිසකු විය හැකි බවය.

බණ්ඩාර දඹුල්ලේ දෙහිප්පාවේය. ඔහුට කුඹුරු, වතුපිටි යහමින් තිබේ. ඔහුගේ සේවා මුරය කොළඹ බාන්ස් පෙදෙසේ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයකය.

ඔහු කියන්නේ මේවායේ ඉන්න මිනිස්සු තමන්ගේ ‘ආරක්‍ෂක නිලධාරී’ වෘත්තියට ගරු කරනවා වෙනුවට, තමන්ගෙන් පුද්ගලික දේවල් කරවා ගැනීමට බලාපොරොත්තු වන බවය. මල්වලට වතුර දැමීම, නිවෙස්වල සිටින වයෝවෘද්ධ පුද්ගලයන් බලා ගැනීම, කඬේ යාම, වාහන සේදීම, බල්ලන් බලාගැනීම එවැනි පුද්ගලික කටයුතුය. එවැනි දේට විරෝධය දැක්වීමට අපහසුව, ඒ වැඩවල නියැලෙන්නට ගොස් අවසන රැකියාව පවා එපා වී කොළඹ අතහැර ගිය අය සිටින බව ඔහු පවසයි. එවැනි වැඩ ප්‍රතික්ෂේප කළ විට නොකළ වරදක පටලවා ඔවුන් රැකියාවෙන් ඉවත් කිරීමට ඇතැම් අය පසුබට නොවන බවද බණ්ඩාර කියයි.

‘හදිසියකදී කරදරයකදී උදව්වක් කිරීම වෙනම දෙයක්. අපේ රාජකාරියට අදාළ කොටස විතරක් අපි හරියට කරනවා. අනික් ඒවා අපට අදාළ ඒවා නෙවෙයි. ඒක දැනගෙන වැඩ කරන්න ඕනෑ. පෞද්ගලික ආරක්ෂක අංශවල අයට හොඳින් සලකන අය නැත්තේ නෑ. මෙතැන මම අවුරුදු පහක් වෙනවා. ඒ නිසා මේ ගෙවල්වල අය බොහෝ දෙනෙක් මා එක්ක හොඳයි. මට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. ඒ නිසා මට මේ රස්සාව එක විදිහකට කරන්න පුළුවන් වුණා.’

‘අවුරුදු 2ක් විතර හෝටල්වල වැඩ කළා. ඒවායේ ලොකු පඩි නෑ. ඊට පස්සේ අවුරුදු 10ක් විතර කුඹුරු වැඩ කළා. එන්ඩ එන්ඩ ඒවාගේ ආදායම අඩුවුණා. අපට අවුරුදු 11ක පිරිමි ළමයෙක් ඉන්නවා. අවුරුදු පහක ගැහැනු දරුවෙක් ඉන්නවා. ඒ අයට උගන්නන්න වියදම යනවා. ළමයි ඉගෙනීම් කටයුතු හොඳින් කරගෙන යනවා.’

හේ අපට වැඩියෙන් උගත්, පොත්පත් කියැවූ, පරිණත පුද්ගලයෙකු විය හැකිය. අපට වැඩියෙන් උසස් රැකියාවක නියැලී දිගු සේවා කාලයකින් පසු පෞද්ගලික ආරක්ෂක අංශවල සේවයට එක් වූ අයෙකු විය හැක. අපට වැඩියෙන් සමාජය ගැන දැන උගත් පුද්ගලයෙකු විය හැක. සමහර විට අපටත් වැඩියෙන් තමාගේ ගම්පළාතේ බුහුමනට, ගෞරවයට පාත්‍රවූ වැඩිහිටියකු විය හැකිය.

‘මම වරායේ අවුරුදු 15ක් විතර වැඩ කළා. පස්සේ එතැනින් අයින් වුණා. පෞද්ගලික ආරක්ෂක අංශයේ රැකියාවට ඇවිත් අවුරුදු 5යි. ගමේ බිරිඳ ඉන්නවා. ලොකු පුතා ඉන්නේ මුම්බායිවල. දුව පොඩි රස්සාවක් කරනවා. නමුත් අනෙක් දෙන්නාට රැකියාවල් නෑ. මට දැන් අවුරුදු 59ක්. හරියට නම් මේ ගෙදර විවේක සුවයෙන් ඉන්න ඕනෑ කාලේ. ඒත් ගෙදර හිටියොත් දරුවන්ගේ කටයුතු කරගන්න බැරිව යනවා.’

සුපිරි වෙළෙඳසැලේ අංගණයට ඇතුල් වෙන නවීන වාහන හසුරවන ගමන් ජයවර්ධන කීවේය.

සමහර විට ආයතන දොරකඩක හිඳ අපට දොර හැර දෙන්නේ අප හිතනවාට වඩා වෙනස් පුද්ගලයකු විය හැකිය. එහෙත්, එක සමානකමක් තිබේ. අපත් ඔහුත් එකම හැඟීම් තේරීම් තිබෙන සමාන මිනිසුන් බවය.■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි