25.8 C
Sri Lanka
28 September,2021

අපි නොවෙන්න කවුරු කරන්නද? කවුරු බලන්නද? අන්තිම කැමති පත්‍රය ලියා තබා රෝහලට ආ නාඳුනන දොස්තරවරුන්ගේ කතාව

Must read

  • ඩොක්ටර් ගයාන් කොවිඩ් රෝගියෙක් නිසා එයාගෙ අම්මාටයි වයිෆ්ටයි ඉඩක් දෙන්න හැමෝම බයවුණා. අපි මැදිහත්වෙලා පන්සලේ හාමුදුරුවෝ තමන්ම දූවිලි පිසදාලා කාමරයක් මේ අයට ලබාදුන්නා.
  • කොවිඩ් වසංගතය හා පොරබදමින් සිටින දහස් ගණන් අය අතරේ ඔවුන් සිටින්නේ හිසේ සිට පාදාන්තය තෙක් වසාගෙනයි. ඒත් හිතේ ඇති මනුස්සකම්, ලෙඩ ඇඳේ වැතිර සිටින්නන්ගේ සිත් තුළ වැපිරවීම ඔවුන්ට මඟහැරී තිබුණේ නැහැ. මේ දොස්තරවරුන්ට තමන්ගේම වූ කතාවක් තිබෙනවා. දහසක් රාජකාරි අතරේ ඒවාටම මුල්තැන දෙමින්, ඔවුන් අප හා කතාකළා.

‘අපි දැන් ඉන්නේ පාරෙ බස්එකේ වගෙයි. පැය විසි හතරේම ඇහැ ගහගෙන ඉන්නේ ඉස්පිරිතාලේ ගැන. ඕනෑ වෙලාවක රෝගියෙකුට හුස්ම ගන්න බැරි වෙන්න පුළුවන්. වාට්ටුවලදී රෝගීන් එක්ක කතාකරනවා. කෑම කෑවාද, පපුව රිදෙනවාද, හුස්ම ගන්න අමාරුකමක් තියෙනවාද, ගෙදරට කතාකළාද අහනවා. සමහරු කියනවා මට කිසි අමාරුවක් නෑ කියලා. තවත් අය කියනවා, මට හරිම අමාරුයි කියලා. වේදනාව දැනෙන විදිය එක එක්කෙනා වෙනස්ව විස්තර කරන්නේ. පුංචි අමාරුවක් තියෙන අය සමහර විට හුඟක් අමාරුයි කියනවා වෙන්න පුළුවන්. ලොකු අමාරුවක් තියෙන කෙනා සමහරවිට ගාණක් නැතිව ඉන්නවා. අපේ කොවිඩ් රෝගීන් හොඳට ඉන්නවා, ඒත් ඇඟේ ඔක්සිජන් අඩුයි. නිහඬ ඔක්සිජන් ඌනතාවක් ලෙඩා තුළ තිබෙනවා. ලෙඩාට මේ මොකුත් තේරෙන්නේ නැහැ. දවසම රෝගියා දිහා ඇහැ ගහගෙන ඉන්නේ ඒ නිසායි. රෝගියාගේ තත්වෙ අල්ලාගන්න ලොකු උත්සාහයක් දරමින් ඉන්නේ.’ එහෙම කිව්වේ කොවිඩ් රෝගීන් වෙනුවෙන් වෙන්කළ රෝහලක පැය විස්සක් එක දිගට වැඩ අහවර කරලා හුස්මක් අරන් වාඩිවූ වෛද්‍යවරයෙක්.

කොවිඩ් රෝගීන් දිගට හරහට මැරෙනවා නේද ඩොක්ටර්? ‘මැරෙන ගණන නෙමෙයි, මැරෙන්නෙ කොහොමද කියලා අහන්න. මම දන්නේ ඒකට උත්තර දෙන්න විතරයි’ ඔහු කිව්වා. ‘එහෙම මගේ රෝගියෙක් මැරෙන එක මං කොහොමද දරාගන්නේ, හැරිහැටි ප්‍රතිකාරයක් නැතිව මැරෙන එක ගැන ඉවසන්න බැරි වේදනාවක් පපුවේ හිරවෙලා තිබෙනවා.’

හැබැයි, මරණය ඔබට අමුතු අත්දැකීමක් නොවෙයි නේද?

‘ඔව්, මරණය අපට පුරුදුයි. ඒත් දියේ ගිලිලා මැරෙන මනුස්සයෙක් වගේ මේ මිනිස්සු මැරෙද්දී බලා ඉන්න බෑ. ඇඳේ ඒ පැත්තට හැරෙනවා, මේ පැත්තට හැරෙනවා, මුණින් අත වැටෙනවා. මාව බේරගන්න කියලා කෑ ගහන්න උත්සාහ කරනවා. පපුව රිදෙනවා කියනවා. බලන්න හරිම අමාරුයි. මේවා ඉතාම දුක්ඛිත මරණ. වෙන ලෙඩ වගේ නෙමෙයි. මේ වගේ ඉතාමත් බෑඩ් වෙන රෝගියාව අයිසීයූ දාන්නත් විදියක් නෑ. අයිසීයූ පිරිලා. ඔක්සිජන් දෙන්නත් විදියක් නෑ. හයි ෆ්ලෝ ඔක්සිජන් ඕනෑ වුණාට දෙන්න තැනක් නැතිවුණාම මොකක්ද අපි කරන්නේ. හරිම අසරණ හැඟීමක් හිතට දැනෙනවා. දවසම ඉන්නේ මේ වාගේ සිත් රිදීම් එක්ක. රෝගියා වෙනුවෙන් කරන්න දෙයක් නැතිව බලා ඉන්න වෙලා තියෙනවා කියන එක පොඩි පහේ හැඟීමක් නෙමෙයි. යාළුවො ඉන්න වෙන රෝහල්වලට ටෙලිෆෝන් කරනවා. මගේ රෝගියාට ඉඩක් ගන්න පුළුවන්ද කියලා හොයන අවස්ථා එමටයි. බොහෝ වෙලාවට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මොකද ඒ ඉස්පිරිතාලත් පිරිලා. මේ වෙලාවට දැනෙන අසරණකම වචනවලින් කියන්න අමාරුයි. කාටද ඉතින් අපි බනින්නේ? ඒ වෙලාවට කවුද මේවාට වගකියන්න ඕනෑ කියලා තේරෙන්නෙත් නැතිවෙනවා. රාජකාරි කරන වෙලාවෙදි විතරක් නෙමෙයි ගෙදර ගියත් ඉන්නේ මේ වේදනාවන් එක්කම තමයි.’
දූරකථනය විසන්ධි වුණා. තත්පර හැටක් ගතවුණා, නැවත දූරකථනය නාදවෙනවා.

‘ඔව්, වෝඩ් එකෙන් කතාකළා, ප්‍රශ්නයක් නැහැ. කතාකරමු’ ඔහු කිව්වා.

මේ දුක් කරදර අස්සේ ජීවිත අවදානමකුත් තියෙනවා නේද? ‘ජීවිත ගැන අවදානමක් ගැන දැනෙන්නේ නැහැ. අපි එන්නතේ මාත්‍රා දෙකමත් අරගෙන තියෙන්නේ. රෝගීන් ගැන කිසිම චකිතයක් හෝ බියක් දැනෙන්නේ නැහැ. ඒත් කොරෝනා මුල් කාලයේ එහෙම දෙයක් තිබුණා. දැන් එහෙම හැඟීමක්වත් නැහැ. අපි නොවෙන්න කවුරු කරන්නද, කවුරු බලන්නද මේ අයව.’

‘කොවිඩ් රෝගීන්ට පහසුකම් මදි බව හැම තත්පරයකම දැනෙනවා. අපට තිබෙන පුද්ගලික සම්බන්ධතා හරහා යම් යම් දේ අපිට හිතවත් අයගෙන් ඉල්ලනවා. එහෙම ඉල්ලන්න බැරි දේවලු‍ත් තිබෙනවා. වාට්ටුව ඇතුළේ ඉඩ හදාගැනීම මුල ඉඳලාම අපිම තමයි කරගත්තේ. මේ ලෙඩේ යම් දෙයක් වේගයෙන් ඉල්ලනවා. ඒ වේගයෙන් ඒ දේවල් ලබාදෙන්න බැරි බව අපට දැනෙනවා. හිතේ ලොකු කඩාවැටීමක් ඒ වෙලාවට ඇතිවෙනවා. මොකක්දෝ හිරිවැටීමක් හිතේ තියෙනවා.’

‘රෝගීන්ට ප්‍රතිකාර කරද්දී අපට මීට වඩා දෙයක් කරන්න පුළුවන් කියන අදහස හැම මොහොතකම හිතේ ඇතිවෙනවා. ඒක බලාපොරොත්තුවක්’

ඔහු නතරවුණේ ආයෙත් වෝඩ්එකට යන්න ටයිම්එක ඇවිත් කියමිනුයි.

කාලය සමඟ පොරයක් නේද මේ කරන්නේ කියලා අහන්න කොළඹ කොවිඩ් රෝහලක දොස්තර නෝනා කෙනෙකුට කතාකළා.

‘පුංචි ළමයි කීපදෙනෙක්ම මං එක්ක ඉන්නවා. එයාලාට අමාරුවක් නැහැ. ළමයි වෛරසය ගෙනියන අයද කියලා මට හැමවෙලේම හිතෙනවා. වෛරසයට එයාලා බය නෑ. ජීවිතේ කියලා එකක් ගැනවත්, හුස්ම ගන්න එක ගැනවත් එයාලා දන්නෙ නැහැ. නොදරුවො සතුටින් තියන්න ඕනෑ වුණත් ඒකට මේ වෙලාවෙ ඕනෑවට වඩා ළංවෙන්න බෑ. පොසිටිව් වුණ අවුරුදු හතරක පුතෙක් ඉන්නවා. ඉස්පිරිතාලෙට එන්න බෑ කියලා කෑගහද්දී ගෙනාවේ මොන්ටිසෝරිය ගාවින් බස්සනවා කියලායි. කාලෙකින් මොන්ටිසෝරි යන්න හිතාගෙන පාට පැන්සල්, කතන්දර පොත් දාගෙන ඇවිත් දැන් වාට්ටුවේ ඉන්නවා. ඒ අය දකිද්දී හිතේ බයකුත්, ආදරයකුත් එකවර ඇති වෙනවා’
‘මේ වෛරසය ඇඟ ඇතුළෙදි මොකක්ද කරන්නේ කියලා නිරන්තරවම කල්පනා වෙනවා. ඒකට උත්තරයක් තවම අපට ලැබිලා නැහැ නේද කියලා හිතෙනවා. දවසේ පැය විසි හතරෙම මගේ හිතේ දැවෙන්නේ ඔන්න ඕවා’

කරාපිටිය දොස්තර මහත්මයෙකුට කතාකළා, තොරතුරු අහන්නත් කලින්ම මෙහෙම කිව්වා.

‘මං විතරක් නෙමෙයි, දන්න හුඟක් අය දැන් වැඩ කරන්නේ තමන්ගේ අන්තිම කැමති පත්‍රය ලියලායි. අන්තිම කැමති පත්‍රය ලියන්න ගියාම ලෝයර් මට කිව්වා, අද තවත් කීපදෙනෙක් ඩොක්ටර්ස්ලා ඇවිත් අන්තිම කැමති පත්‍රය ලිව්වා කියලා. මං නැතිව මගේ දරුවන්ට යන කල මොකක්ද කියන අතිශය පුද්ගලික බය හිතේ තියෙනවා. දරුවෝ තාම ඉස්කෝලෙ යන්නෙවත් නැහැ.’

‘කොවිඩ් රෝගීන් රෝහලට එද්දී ඒ සමඟ ඥාතීන් එනවා. ඔවුන්ගේ මුහුණුවලින් අපට කියනවා කොහොම හරි මගේ තාත්තා, අම්මා හෝ දරුවා බේරාදෙන්න කියලා. සමහර අවස්ථාවල රෝගියා දාලා යන්න බෑ කියලා හඬා වැටෙනවා. තවත් අවස්ථාවකදී පුංචි පුතෙක් ආවා පොසිටිව් වෙලා. අම්මා පුතා එක්කම වාට්ටුවට දැම්මා. අම්මා පොසිටිව් නැහැ. ඒත් අම්මා පුතා දාලා ගියේ නැහැ. රෝගියා ගැන විතරක් නෙමෙයි, රෝගියාගේ ඥාතීන්ගේ වේදනාවත් අපට හැර ඔවුන්ට කියන්න කෙනෙක් නෑ. එක් වරක්, මුළු පවුලටම එක එක වාරයේදී කොවිඩ් ආසාදනය වෙලා රට පුරාම පවුලේ අයව යවා තිබුණා. අපි ගාව සිටි රෝගියා හරියට අඬනවා. ගෙවල් දොරවල් වහලා දාලා, පවුලේ අය ලෙඩවෙලා සීසීකඩ ගිහින්. හැමදේම අතහැරලා ඔවුන් හුස්ම බේරගන්න බලාපොරොත්තුව විතරක් තබාගෙන ඉන්නවා.’

‘හැමෝටම අමතක වුණත් මටත් අපේ සහෝදර වෛද්‍යවරුන්ටත් දරාගන්න බැරි දෙයක් තියෙනවා. ඒ තමයි වෛද්‍ය ගයාන් දන්තනාරායනගේ මරණය. එයා එක්මෝ එකට අයිඩීඑච් එකේ ඉඳන් අපේ රෝහලට ආවේ මහ රැයකයි. ඩොක්ටර් ගයාන්ගෙ බිරිඳ සහ අම්මා රාත්‍රියේ රෝහලට ආවා. ඒ අයට සිහිකල්පනාවක් තිබුණේ නැහැ. ඒ දෙන්නාට රාත්‍රියේ නවතින්න තැනක් දෙන්න කවුරුත් ඉදිරිපත්වුණේ නැහැ. ඩොක්ටර් ගයාන් කොවිඩ් රෝගියෙක් නිසා එයාගෙ අම්මාටයි වයිෆ්ටයි ඉඩක් දෙන්න හැමෝම බයවුණා. අපි මැදිහත්වෙලා පන්සලේ හාමුදුරුවෝ තමන්ම දූවිලි පිසදාලා කාමරයක් මේ අයට ලබාදුන්නා. වෛද්‍යවරයෙක් වුණත් තත්ත්වය ඒකයි. කොවිඩ් හැදුණු ඩොක්ටර්ගේ පවුලේ අය කියලා තමයි මිනිස්සු සැලකුවේ. ඒ අසරණබව මට තාමත් මතකයි. අපට ගයාන් බේරගන්න බැරිවුණා. ගයාන්ගේ දේහය මෝචරියේ තිබෙද්දී අපි පිරිකරක් ගෙනැවිත් ස්වාමීන්වහන්සේලා දෙනමක් වඩම්මවලා ඉස්පිරිතාලෙම ආපනශාලාවට සමීප කාමරය අරගෙන පාංශුකූලය දුන්නා. ඒක අමුතු පාංශුකූලයක්. කොවිඩ් දේහය ආදාහනය කරන්න නගර සභාවෙන් අනුමැතිය එන්න යන පොඩි කාලය ඇතුළේ අපේ සහෝදර වෛද්‍යවරු මැදිහත්වෙලා ඒ කටයුත්ත සිදුකළා. ගයාන්ගේ වයිෆ්ටයි අම්මාටයි සිහියක් තිබුණේ නැහැ.’

‘අපේ මරණයත් ඉස්සරහ තියාගෙනයි අපි ඉන්නේ. ඒ බව අපේ ගෙවල්වල අයත් දන්නවා. දිනපතා ගෙදර යනවා එනවා. ගෙදර ඉන්න අම්මා, තාත්තා ළමයි ගැන බයයි තමයි. අපි ගෙදර යන්නේ ලෙඩේ අරගෙන වුණත් වෙන්න පුළුවන්. ගෙදර මිනිස්සු ලෙඩ වුණොත් එහෙම වෙන්නේ අපි නිසායි. සමහරු අම්මායි තාත්තායි වෙනම තැන්වල පදිංචි කරන්න කටයුතු කරලා තිබෙනවා. දැන් ගෙදර වැඩකළ සේවක සේවිකාවන් ගෙදරට එන එක නවත්වලා. නොකියාම ඒ ඇය නැවතිලා. එදිනෙදා ජීවිතයේ ගොඩක් දේවල් කඩාවැටිලා තියෙන්නේ. මං දවසකට පැය දොළහක් විතර වැඩ කරනවා. සමහර දවස්වලට පැය විස්සක්. රාජකාරියට අමතරව වැඩි වෙලාවක් රෝහලේ ඉන්නවා. පහසුකම් තිබිලාත් රෝගීන් මැරෙනවා. පහසුකම් නැති නිසාත් රෝගීන් මැරෙනවා. අපි නැත්නම් කවුරු මේ අයට බලන්නද කියන හැඟීම හිතේ තියෙනවා.’

කලබලයෙන් ඔහු කිව්වේ ගයාන්ගේ මරණය ගැන කම්පනය රටට අමතක වුණත් මට තාම දරාගන්න අමාරුයි කියමිනුයි.■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි