29.5 C
Sri Lanka
18 September,2021

අද බොහෝ ජනමාධ්‍යවේදීන් ඉන්නේ දේශපාලකයන්ගේ සාක්කුවේ

Must read

ජනමාධ්‍යවේදියක් වුණාම මාධ්‍ය සියල්ලම ඇසුරු කරන්න ඕනෑ. දිනපතා ප්‍රවෘත්ති බලන්න ඕනෑ. යාවත්කාලීන වෙන්න ඕනෑ. මේ වෙලාවේ ගාසා තීරයේ, මියන්මාරයේ මොනවාද වෙන්නේ කියන එක වගේම, වෙල්ලමුල්ලි වයික්කාල්වල මොකද වෙන්නේ කියලා දැනගන්නත් ඕනෑ.

අද වගේ තාක්ෂණය දියුණු නැති කාලෙක පත්තරකාරයෙක් විදිහට පත්තර කන්තෝරුවත් එක්ක වේගයෙන් තොරතුරු හුවමාරු කරගත්තේ කොහොමද?
අදට සාපේක්ෂව බැලුවාම දැනට වසර 50කටත් කලින් අපි පුවත්පත් කලාවට අත්පොත් තියනකොට කිසිම පහසුකමක් අපට තිබුණේ නෑ. පිට පළාතකට යම් ප්‍රවෘත්තියක් වාර්තා කරන්න ගියාම ඡායාරූප ගත්ත ෆිල්ම් රෝලයි, ලියපු වාර්තාවයි ලියුම් කවරයක දාලා දුම්රිය ස්ථානාධිපති බාරේ කියලා, පත්තරේ ලිපිනයයි, දූරකථන අංකයයි ලියලා කෝච්චියට දෙනවා. කෝචිචිය කොළඹට ආවාම පත්තර කන්තෝරුවෙන් කෙනෙක් ඇවිල්ලා අරන් යනවා.

1973 විතර යාපනයට ජල විදුලිය දුන්නා. එතකොට මම ‘ඇත්ත පත්තරේ’ හිටියේ. අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව, විදුලිබල ඇමති මෛත්‍රීපාල සේනානායක ඒ උත්සවේ විවෘත කරන්න ආවේ. ඒ කාලේ අපට ප්‍රවෘත්ති යවන්න තැපැල්පති අත්සන් කළ ටෙලිග්‍රෑම් පාස් එකක් දීලා තිබුණා. ඒ පාස් එකෙන් නොමිලේ පණිවිඩ යවන්න පුළුවන්. උත්සවේ ඉවර වෙනකොට හවස 6 විතර වෙලා. එවලේම මම යාපනේ තැපැල් කන්තෝරුවට ගියා. හොඳ වෙලාවට මගෙත් එක්ක විශ්වවිද්‍යාලයේ හිටිය යාළුවෙක් එතැන හිටියා. එයාට කියලා කොළඹට පණිවිඩේ යවා ගත්තේ. ඒ කාලේ දූරකථන ඇමතුම් වුණත් දැන් වගේ කෙලින්ම ගන්න බෑ. දුර පළාතක ඉඳලා කොළඹට පණිවිඩයක් එවන්න බුක් කරලා පැය ගාණක් බලාගෙන ඉන්න ඕනෑ. සීටීඕ එකේ (සෙන්ට්‍රල් ටෙලිකොමියුනිකේෂන් ඔෆිස්) අපේ යාළුවෝ හිටියා. අහවල් අංකය අරන් දෙන්න කිව්වාම ඉක්මනින් අරන් දෙනවා. ඒ විතරක් නෙමේ ඒ අය අපිට හොඳ ප්‍රවෘත්ති පවා හොයලා දුන්න අවස්ථා තිබුණා.

ඇමතිවරු යන එන හෙලිකොප්ටර්වලත් අපි ෆිල්ම් රෝල් හා ප්‍රවෘත්ති එවලා තියනවා. සැරයක් ඉන්දියාවේ ජනාධිපති වී.වී. ගිරි ලංකාවට ආවා. ලංකාවේදී එයාගේ පරිවාර ඇමති වුණේ ලලිත් ඇතුලත්මුදලි. එතකොටත් මම ඇත්ත පත්තරේ. අනුරාධපුරේ ප්‍රදේශීය වාර්තාකරුට කතාකරලා ෆිල්ම් රෝල හෙලිකොප්ටරේට බාර දෙන්න කියලා අපි කිව්වා. කොළඹට ආවාම ඇමතිතුමා අපිට කතා කරලා ෆිල්ම් රෝල ගන්න එන්න කිව්වා. ඒ අවස්ථාවේ ඡායාරූපයක් පළ වුණේ ඇත්ත පත්තරේ විතරයි. අනෙක් පත්තරවල තොරතුරු කෝච්චියේ කොළඹට එවලා තිබුණේ, එතකොට අපි ඡායාරූපයක් එක්ක ප්‍රවෘත්තිය පළ කරලාත් ඉවරයි. ඒ වගේ ගාමිණී දිසානායක ගමන් කළ හෙලිකොප්ටරේ අපි තොරතුරු හා ෆිල්ම් රෝල් ගෙන්නාගෙන තියනවා. ඒ කාලේ පත්තර, පත්තර අතරේ ලොකු තරගයක් තිබුණා. හැකි ඉක්මනින් කතාව ලියලා ඡායාරූපයක් එකක් පළකළ කෙනා දිනුම්.

ඇත්ත පත්තරේට පස්සේ මම දිනපතා ‘දිවයින’ පත්තරේට බැඳුණා. ඒ වෙනකොට ඩිරෙක්ට් ලයින් දූරකථන ඇවිල්ලා තිබුණා. දෙහිඅත්තකණ්ඩියේ මහවැලියට සම්බන්ධ උත්සවයකට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ආවා. අපි කලින් ගිහින් දෙහිඅත්තකණ්ඩියේ මහවැලි කාර්යාලයේ ටෙලිෆෝන් එකක් තියන තැනක් හොයා ගත්තා. උත්සවේ කතාව ඉවර වුණු ගමන් ඒ කන්තෝරුවට දුවගෙන ඇවිත් පත්තර කන්තෝරුවට දූරකථන අමතුමක් අරන් විස්තර ටික දුන්නා. පත්තර කන්තෝරුවේ කෙනෙක් අපි කියන වාර්තාව ලියා ගත්තා. ඩිරෙක්ට් ටෙලිෆෝන් පහසුකමටත් පස්සේ තමයි ෆැක්ස් පහසුකම් ආවේ.

විදෙස් පුවත් ගෙන්න ගත්තේ ටෙලෙක්ස් යන්ත්‍රය ආධාරයෙන්. ටෙලෙක්ස් යන්ත්‍රයෙන් නොකඩවා විදෙස් ප්‍රවෘත්ති මුද්‍රණය වෙමින් එනවා. ඒවා එකින් එක බලලා අවශ්‍ය එක තෝරා ගන්නවා. පිටරට ඡායාරූප එයාර් මේල්වලින් එවන්නේ. මම ‘සිළුමිණ’ පත්තරේ වැඩට ආවාට පස්සේ තමයි ඊමේල් පහසුකම් වගේ ඒවා ආවේ.

ඒ වකවානුවේ පොලිසිය හා ආරක්ෂාව සම්බන්ධ තොරතුරු හොයාගත්තේ කොහොමද?
පොලිස් මූලස්ථානයට කතා කරලා හැම පත්තරේම අය තොරතුරු අහනවා. ඒ අය අද ඩබල් මර්ඩර් එකක් තියෙනවා, ඇක්සිඩන්ට් එකක් තියෙනවා කියලා දිගට කියාගෙන යනවා. අපිට ඕනෑ එකක් කියවුණු ගමන් ඒ ගැන වැඩි විස්තර ඉල්ලා ගන්නවා. දවසක් යාපනේ බෝට්ටුවක් පෙරළුණ සිද්ධියක් තියනවා. 6 දෙනෙක් විතර මැරිලා කියලා ගාණක් නැතුව කිව්වා. මම සීටීඕ එකේ යාළුන්ට කතාකරලා, යාපනේ ඉස්පිරිතාලෙට අරන් බැලුවාම 26 දෙනෙක් මැරිලා කියලා දැනගන්න පුළුවන් වුණා. පහුවෙනිදා ඇත්ත පත්තරේ ප්‍රධාන පුවත වුණේ ඒක.

80 ගණන් වෙනකොටත් පාර්ලිමේන්තු වාර්තාකරුවන්ට ප්‍රෙස් රූම් එකක් තිබුණේ නෑ. අපි ලියන කොපිය ගෙනියන්න පත්තර කන්තෝරුවෙන් පාර්ලිමේන්තුවට පියන් කෙනෙක් එවනවා. විපක්ෂ නායක කාර්යාලේ ෆැක්ස් යන්ත්‍රයක් තිබුණා. පස්සේ පස්සේ ඒකත් අපි පාවිච්චි කළා.

ඔබේ දිගු කාලීන අත්දැකීම් අනුව අන්තර්ජාලය හා තොරතුරු තාක්ෂණයේ දියුණුව ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනයට බලපා තිබෙන්නේ කොයි ආකාරයෙන්ද?
අන්තර්ජාලය හා තොරතුරු තාක්ෂණය ගැන කතා කරනකොට සමාජ මාධ්‍ය අද ප්‍රචලිත ප්‍රවෘත්ති මූලාශ්‍රයක් වෙලා තියනවා. එසේ වුණත් එහි විශ්වසනීයභාවය පිළිබඳ ප්‍රශ්නයක් තියනවා. තොරතුරු ගොඩාක් අතරින් නිවැරදි තොරතුර හොයා ගන්න අපහසුකමක් තියනවා. තවමත් යම් විශ්වසනීයභාවයක් හරි තියෙන්නේ එවැනි තැනක ඵළවෙන වීඩියෝවක පමණයි. ඒත් ඇතැම් වීඩියෝවක් ව්‍යාජ වෙන්න ඉඩකඩ තියනවා. කැබිනට් රැස්වීමෙන් පස්සේ කැබිනට් ප්‍රකාශකවරුන්ගේ ප්‍රකාශ වීඩියෝවලින් සමාජ මාධ්‍යයේ බලන්න පුළුවන්. ඒක බොහෝ විට සංස්කරණය කරලා පළ කරන කොටසක් විතරයි. එතන ඇත්තටම වුණේ මොකක්ද කියලා මාධ්‍යවේදියා කියන්න දන්නේ නෑ. මොකද ඒ පළ කරන්නේ ඒ අයට ඕනෑ කොටස් පමණයි.

මම නම් අනිවාර්යෙන්ම ඒ අවස්ථාවලට සහභාගි වුණා. එතකොට අපට ඕනෑ ප්‍රශ්නයක් එතැනදි අහගන්න පුළුවන්. පහසු වුණාට ගුණාත්මකභාවයේ අඩුපාඩුවක් තියනවා කියලා මම කියන්නේ ඒකයි. මම පුවත්පත් සාකච්ඡාවකට ගියාම හැමදේම ප්‍රසිද්ධියේ අහන්නේ නෑ. මට ඕනෑ විශේෂ දෙයක් තියනවා නම් ඇමතිවරයා හෝ ලේකම්වරයෙක් හෝ වෙනත් නිලධාරියෙක් මුණගැහිලා ඒක හිමින් සීරුවේ අහගන්නවා. එතකොට ඒ තොරතුරු ලැබෙන්නේ අපිට විතරයි. ප්‍රසිද්ධියේ ප්‍රශ්න අහපුවාම උත්තරේ ලැබෙන්නෙත් ප්‍රසිද්ධියේ නිසා අනෙක් හැම මාධ්‍යයේම ඒක පළවෙනවා. අපි පුද්ගලිකව දැනගන්න කාරණය අපේ පත්තරේට විශේෂ වෙනවා. පත්තර කලාව ඇතුළේ ඒ තරගය තියෙන්න ඕනෑ. අද පත්තර ටික ඔක්කෝම අරන් බැලුවාම එකම කතාව තමයි තියෙන්නේ. ඉස්සර පත්තර හතරයි නම් හතර විදිහක ප්‍රවෘත්ති තිබුණේ. අද හැම එකේම එකම දේ. ඒකෙන් වෙන්නේ පත්තරවලට පාඨකයන්ගේ ආකර්ෂණය නැතුව යාම. ‘අයියෝ මොන පත්තරේ ගත්තත් එකම කතාවනේ තියෙන්නේ’ කියලා පාඨකයා හිතනවා.

ඉස්සර පත්තරවලට ප්‍රාදේශීය මාධ්‍යවේදියෝ වෙන වෙනම හිටියා. අද හැම මාධ්‍යයටම තොරතුරු දෙන්නේ එකම ප්‍රාදේශීය මාධ්‍යවේදියා. රූපවාහිනී නාලිකා, ගුවන්විදුලි නාලිකා ඔක්කෝටම තොරතුරු දෙනවා. හැම මාධ්‍යයේම එකම කතාව යන්නේ ඒකයි. පොඩි පොඩි වෙනස්කම් විතරයි තියෙන්නේ. ඉස්සර පත්තරේක වැඩ කරන කෙනෙක්ට තවත් පත්තරේකට වැඩ කරන්න බෑ. විශේෂයෙන්ම ප්‍රාදේශීය අයට.

දේශපාලන ගොසිප් ලියන කොලම් බලන්නකෝ. එක පත්තරයක් බැලුවාම ඇති. අනෙක් පත්තරවලත් තියෙන්නේ ඒවාම තමයි. සමහර ඒවායේ වාක්‍යවත් වෙනස් වෙන්නේ නෑ. ඒකට හේතුව හැම දේශපාලන පක්ෂයකම පත්තරවලට තොරතුරු එවන අය ඉන්නවා. ජනාධිපති කාර්යාලේ, අගමැති කාර්යාලේ, හැම පක්ෂ කාර්යාලයකම ඉන්නවා. කොලම් එක ලියන බ්‍රහස්පතින්දා වෙනකොට ඒ අය ෆැක්ස් කරලා හරි ඊමේල් කරලා හරි තොරතුරු ටික ලියන අයට එවනවා. ලියන කෙනා ඒ තොරතුරු ටික එහෙම්ම කොලම් එකේ ලියනවා. ජනාධිපති පක්ෂ නායකයෝ හමු වුණා නම් ඒක ඒ විදිහටම හැම පත්තරේකම තියනවා. පාඨකයාට එක පත්තරයක් ගත්තාම ඇති. තාක්ෂණික අතින් ලෝකය දියුණු වුණාට පත්තර කලාව ගුණාත්මක අතින් පිරිහිලා තියෙනවා කියලා මම කියන්නේ ඒකයි. තාක්ෂණයේ ඇති අවස්ථා මාධ්‍යයේ ප්‍රගමනයට දායක කරගැනීමේ අඩු ලුහුඬුකම් තියනවා.

අද ජනමාධ්‍යවේදීන්ගේ තිබෙන දුර්වලතා ලෙස ඔබ දකින්නේ මොනවගේ කාරණාද?
අද ජනමාධ්‍යවේදීන්ගෙන් කීයෙන් කී දෙනාද පොතපත කියවන්නේ. ජනමාධ්‍යවේදියෙක් වුණාම සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික ක්ෂේත්‍රවල අලුත්ම කතා වගේම පරණ කතාත් දැනගෙන ඉන්න ඕනෑ.

අපේ කාලයේ ජනමාධ්‍ය උගන්වන්න ආයතන තිබුණේ නෑ. අපේම උත්සාහයෙන් මේ විෂයේ තිබෙන සීමා මායිම් පිළිබඳව අවබෝධය ලබා ගත්තේ. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ළඟ අපට ලබා ගන්න දේවල් තිබුණා. ඒ දැනුම විශාලයි වාගේම ප්‍රායෝගිකයි. අද නම් විශ්වවිද්‍යාල තියෙනවා, ජනමාධ්‍ය ආයතන තියෙනවා. ඒ වුණත් ඒවයෙන් වැඩිපුර බිහි වෙන්නේ න්‍යායාත්මක දැනුම සහිත අය පමණයි. ඔවුන්ට ප්‍රායෝගික දැනුම අඩුයි. ඒ විතරක් නෙමෙයි ඒ අයගේ සාමාන්‍ය දැනීම අන්තිම දුර්වලයි. ජනමාධ්‍යවේදියක් වුණාම පුවත්පත්, රූපවාහිනී, ගුවන් විදුලි මාධ්‍ය සියල්ලම ඇසුරු කරන්න ඕනෑ. දිනපතා ප්‍රවෘත්ති බලන්න ඕනෑ. යාවත්කාලීන වෙන්න ඕනෑ. මේ වෙලාවේ ගාසා තීරයේ, මියන්මාරයේ මොනවාද වෙන්නේ කියන එක වගේම, වෙල්ලමුල්ලි වයික්කාල්වල මොකද වෙන්නේ කියලා දැනගන්නත් ඕනෑ. කොළඹ රණවිරු දිනේ සමරනකොට පුදුකුඩිඉරිප්පුවේ මොකක්ද වෙන්නේ කියලා ජනමාධ්‍යවේදියෙක් දැනගෙන ඉන්න ඕනෑ. පසුබිමක් දන්නේ නැතිව අපට කතාවක් ලියන්න, කියන්න බෑ.
අද බොහෝ ජනමාධ්‍යවේදියෝ දේශපාලකයන්ගේ සාක්කුවේ ඉන්නේ. මාධ්‍යවේදියෙකුට හැම පක්සෙකම දෙශපාලකයෝ එක්ක සම්බන්ධකම් තියෙන්න ඕනෑ. අනුර කුමාර දිසානායකත්, සජිත් ප්‍රේමදාසත්, මහින්ද රාජපක්ෂත්, බැසිල් රාජපක්ෂත් මේ හැමෝම එක්ක සම්බන්ධකම් තියෙන්න ඕනෑ. හැබැයි ඒ අයගේ සාක්කුවට වැටෙන්න බෑ. මහවැලියෙන් ඉඩම් ගත්තු මාධ්‍යවේදියෝ ඒ කාලේ හිටියා. ප්‍රේමදාස මහත්තයාගෙන් ගෙවල් ගත්ත මාධ්‍යවේදියෝ හිටියා. ඒ ගත්ත කෙනෙක්ට ඒ දේශපාලකයන්ට විරුද්ධව මොනවත් ලියන්න බැරි වෙනවා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මාධ්‍යවේදීන්ට කාර් එකක් ගන්න ණයක් දුන්නා. ඒක මමත් ගත්තා. ඒක ණයක් නිසා ප්‍රශ්නයක් නෑ. ඒකත් නොගෙන ඉන්න තිබුණා නම් හොඳයි. ඒ ණය ගත්තා කියලා මම මහින්ද රාජපක්ෂගේ සාක්කුවට වැටුණේ නෑ.

ඔබ අවසානයේ සේවය කළ ලේක්හවුස් ආයතනයෙන් ඉවත් වීමට ඒ අපක්ෂපාතී වීම බලපෑවාද?
සිළුමිණ පත්තරේ කර්තෘ හිටියේ තිලකරත්න කුරුවිටබණ්ඩාර, මම සමකර්තෘ. ලේක්හවුස් අයතනයේ පත්තර සමබරව පවත්වාගෙන යන්න අපි විශාල උත්සාහයක් ගත්තා. රනිල් වික්‍රමසිංහ අගමැති වෙලාවේ, සභාපති හිටියේ නලින් ලද්දුවහෙට්ටි. ඔහු අපිට ස්වාධීනව වැඩ කරන්න ඉඩ දුන්නා. ලේක් හවුස් එකේ පත්තර පාවිච්චි කරලා ප්‍රචාරයක් ගන්න රනිල් වික්‍රමසිංහට අවශ්‍යතාවක් තිබුණේ නෑ. අපි ආණ්ඩුවේ පත්තරයක් ලෙස අපේ සීමා තියාගෙන ආණ්ඩුවට පහර ගහන්නේ නැතුව සමබරව පවත්වාගෙන ගියා. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරිය ජනමාධ්‍ය අමාත්‍යාංශ්‍යය ඇතුළු අමාත්‍යංශ තුනක් පවරා ගත්තාට පස්සේ ජනාධිපති කාර්යාලයේ පුදගලයෙකුගෙන් අපට විවිධ බලපෑම් එන්න පටන් ගත්තා. ප්‍රධාන පුවත පවා ඒ අයට ඕනෑ හැටියට දාන්න කියලා බලපෑම් කළා. අපි ඒ කියපු විදිහට වැඩ කළේ නෑ. මහින්ද රාජපක්ෂ මහතා අගමැති වුණාම ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉඳන් අපිට බලපෑම් කළ පුද්ගලයා ලේක්හවුස් එකේ සභාපති වුණා. එයා ඇවිල්ලා සතියෙන් මටත් තිලකරත්න කුරුවිටබණ්ඩාරටත් අයින්වෙන්න කියලා ලියුම ගැහුවා.■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි