20.8 C
Sri Lanka
25 May,2022

අද කඨින පිංකමද මහජන පීඩාවකි

Must read

■ අරුණ ජයවර්ධන

ලංකාවේ ප්‍රථම වරට රාජ්‍ය කඨින පූජා පිංකමක් පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගේ ප්‍රධානත්වයෙන් පඬුවස්නුවරදී පැවැත්විණි. කියන විදියට, දයාසිරි ජයසේකර රාජ්‍ය ඇමතිවරයාගේ සංකල්පයක් වන ඒ පිංකම ඒ වන විට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා පනවා තිබුණු සෞඛ්‍යාරක්‍ෂක මගපෙන්වීම් කඩා බිඳදමමින් එම පැවැත්වීම විශේෂ ලක්‍ෂණයක් විය.


ඊට සමගාමීව, කුරුණෑගල පිටිදූවේ සිරිධම්ම හිමියන්ගේ පන්සලේද කඨින පිංකමක් පැවති අතර එහිදී කඨින චීවරය ගෙනයන ලද්දේ සුඛෝපභෝගී ලිමොසින් කාරයකිනි. සකල ශ්‍රීයෙන් විරාජමානව තිබුණු එම පිංකමෙහි, දකින්නට නොතිබුණේ බුදුදහමේ ඉගැන්වීම් මා මඟපෙන්වීම් පමණි.


ඒ අතර ගාල්ලේදී, මාධ්‍යවේදී සජීව විජේවීරට කඨින පිංකම ආශ්‍රිත අබග්ගයකට මුහුණ දෙන්නට සිදුවිය. සිය නිවෙස අසළ පන්සලක කඨින පිංකම වෙනුවෙන් නොනවත්වා කරන ශබ්ද ඝෝෂාවට විරුද්ධව ඔහු නීතියේ පිහිට පැතූ අතර, එහි ප්‍රතිඵලය වුණේ ‘බුද්ධාගමට ගරහන සජීව විජේවීර මූසලයා ගමෙන් පන්නමු’ යැයි කියා ‘ගම්වාසී බෞද්ධ ජනතාව’ පෝස්ටර් ගමේ ඇලවීමයි.


වසරේ වස් කාලය අවසන් කරමින් පැවැත්වෙන කඨින චීවර පිදීමේ පිංකම, මීට අවුරුදු පහළොවකට විස්සකට පෙර පැවැත්වුණේ ඉතාම අහිංසක, චාම් පිංකමක් ලෙසිනි. දායකයකුගේ නිවෙසක සිට උදේ පාන්දර පන්සලට කඨින චීවරය සුදු උඩු වියනක් යටින් ගෙනාවේ, කළුවරේම, නැතිනම් පන්දමක් දෙකක් හෝ පැට්‍රොමැක්ස් ලාම්පුවක් හෝ දෙකක් දල්වාගෙන සුදු ඇඳගත් ගමේ උපාසක උපාසිකාවන් බෞද්ධ කොඩියක් අතින් අරගෙන සාදු සාදු යයි කියමිනි. කිසිම ශබ්ද විකාශන යන්ත්‍රයක් පාවිච්චි නොවීය. සැරසිල්ලකට තිබුණේ පෙරහැරේ මුලින් ගිය මල් බයිසිකල් දෙක තුනකි. එදා කඨින පිංකමෙන් මිනිසුන්ට හිරිහැරයක් සිදුවී නම් ඒ, උදේ පාන්දර නැගෙන සාදු සාදු හඬින් තමන්ගේ නින්ද බිඳීයාම නිසා පමණකි.


පසුගිය කාලයේ අලුත් සිංහල බෞද්ධ ජනතාවක් බිහිවීම සමග කඨින පෙරහැරට කසකාරයෝද හේවිසි වාදකයෝද ගිනිබෝල කරකවන්නෝද එකතුවූහ. ඊට පසුව, නිවී නිවි දැල්වෙන බුදුරැස්මාලාවක් සහිත වාහනයක කඨින චීවරය ගෙනයන ලදි. නැටුම් කණ්ඩායම්ද අලි ඇත්තුද පසුව එකතු වූහ. අද, කඨින පෙරහැරේ ගහන්නේ මැණිකේ මගේ හිතේ ගීතයේ අනුනාදයක් වන තරමට අලුත් සිංහල බෞද්ධ වාණිජ ව්‍යාපාර දියුණු වී තිබේ. අද එය ‘කඨින මහා පෙරහර මංගල්‍යය’කි. වාර්ෂික පෙරහරක් පවත්වාගන්නට නොහැකි පන්සල්වලට දැන් කඨින පිංකම වාර්ෂික මහා පෙරහරක් තරම් වැදගත්ය. එහි කූටප්‍රාප්තිය රාජ්‍ය කඨින පිංකමක් පටන්ගැනීමත්, ලිමොසින් රථයක ගෙනා කඨින චීවරය, රසමසවුලු මැද හොවා, සකල විභූෂිත පිංකමක් බවට එය පරිවර්තනය කිරීමත්ය.
ඊට අමතරව අලුතෙන්ම බෝවී ඇති රෝගය නම්, කඨින චීවරය, දායක දායිකාවන් රාශියකගේ නිවෙස්වල දීර්ඝ කාලයක් තිස්සේ කෑලි ක්‍රමයට තබා, ඒ නිවෙස්ද පිංකම් පොළවල් බවට පරිවර්තනය කිරීමයි. ඒ නිවෙස් විදුලියෙන් ආලෝකකර පැය විසිහතරේම පිරිත් ඇසෙන්නට සලස්වන අතර, කඨින චීවරය තිබෙන කාලය තුළ අසල්වැසියෝ චීවරයට වන්දනා කිරීමට ඒ ගෙදරට එති. ඔවුන්ට සංග්‍රහාදිය කිරීම සිදුවෙයි. මේ ආකාරයෙන් අද කඨින පිංකම වනාහි භක්තිමත් උපාසක උපාසිකාවන්ගේ පොකට් එකට හොරෙන්ම විදින වියදම්කාරී නාස්තික මඟුලක් බවට පත්කරගෙන, එයින් පන්සල් තරකිරීමට ගන්නා උපක්‍රමයක් බවට පත්කරගෙන තිබේ. එය අලුත් බෞද්ධයන්ට තමන්ගේ බෞද්ධකම ප්‍රදර්ශනය කිරීමේ අලුත්ම මාධ්‍යයකි.


මේ කාලයේ කඨින පිංකමේ තිබෙන අනෙක් විශේෂත්වය, දවස් ගණනක් පුරා පන්සලෙන් කරන ශබ්ද දූෂණයයි. දැන් බොහෝ පන්සල්වල කඨින පිංකමෙන් අවසන් වන සති පිරිත් හෝ තුන්තිස්පෑ පිරිත් හෝ වෙනත් පිංකම් හෝ පවත්වනු ලැබේ. ඒ මුළු කාලය තුළම දිවා රාත්‍රි ගම වටා බැඳ තිබෙන ලවුඩ්ස්පීකර් මගින් මුළු ගමට පිරිත් හා පිංකම්වල ඝෝෂාව බලහත්කාරයෙන් ඇසෙන්නට සලසනු ලැබේ.


ලියුම්කරුටද, පිළියන්දල සිය නිවෙසට තදාසන්න පන්සලක කඨින ශබ්ද දූෂණයට මෙවර මුහුණ දෙන්නට සිදුවිය. කොරෝනා නිසා ලොක්ඩවුන් තත්වයේ තිබුණත් පන්සලේ සිට කිලෝමීටර් එකහමාරක් පමණ දුරට හැම දිශාවකටම අදින ලද ලවුඩ්ස්පීකර්වලින් පැය විසිහතරේම පිරිත් හා ගාථා විසුරුවා හරින ලදි. වාසනාවකට මෙන් ලියුම්කරුගේ නිවෙස අසළ ලයිට් කණුවක ලවුඩ්ස්පීකර බැඳ නොතිබුණි. තම නිවෙස ඉදිරිපිටම තමන්ගේ අවසර නැතිව බැඳ ඇති ලවුඩ්ස්පීකරවලින් පැය විසිහතරේම දින ගණනක් බලහත්කාරයෙන් පිරිත් ඇහෙන්නට සැලැස්සූ විට, ඊට එරෙහිව යන්නට නොහැකියාව නිසා අසල්වැසියන් කොපමණ පීඩාවට පත්වන්නට ඇත්දැයි සිතාගන්නට හැකිය. අධික ශබ්දයට ඔරොත්තු නොදෙන වයස්ගත හෝ රෝගී සාමාජිකයන් පවුලේ සිටියද, විවිධාකාර විභාගවලට පාඩම්කරන දරුවන් සිටියද, බුදුදහමේ නාමයෙන් කෙරෙන මේ පීඩාකාරී බලහත්කාරය එක සේ විඳින්නට ඒ සියලු දෙනාට සිදුවන්නට ඇත.


මේ ශබ්ද දූෂණය ගැනත්, අඩු ගණනේ රාත්‍රි 10න් පසු ශබ්ද විකාශන පාවිච්චි නොකළ හැකි බවත් කියා ඒ ගැන පියවරක් ගන්නැයි පිළියන්දල පොලිසියට දූරකථනයෙන් දැනුම් දුන්නද කිසිම පියවරක් ඒ සම්බන්ධයෙන් නොගැනුණි. 119 අංකයට කතාකර දැනුම් දුන් එක් අවස්ථාවකදී පිළිතුරු දුන් පොලිස් නිලධාරියකු කීවේ, රෑ 10න් පසු වුවද ලවුඩ්ස්පීකර මගින් ශබ්ද නිකුත්කිරීමට හැකි බවයි. පිළියන්දල පොලිසියේ ස්ථානාධිපතිවරයාට මේ කරදරය ගැන දැනුම් දුන්විට ඒ ගැන සොයා බලන්නම්යැයි කීවත් කිසිවක් සිදු නොවුණි. ඊළඟ දවසේත් ‘ශබ්ද විකාශන බලපත්‍ර දෙන්නේ පොලිසිය බැවින්, එය නියාමනයද පොලිසියටම පැවරී ඇති බව’ මතක් කළ විට ස්ථානාධිපති කීවේ, අපි ඔක්කොම බෞද්ධයොනේ යැයි කියාය. බෞද්ධයන්ට කියා වෙනත් නීතියක් රටේ නැති බව මතක් කළ විට ඔහු දූරකථනය විසන්ධි කළේය. පොලිසිය පියවරක් නොගත්තේ නිලධාරීන් බෞද්ධකම අගයන පිරිසක් නිසා බව එයින් වැටහිණ. අදාළ පන්සලට කතාකර මේ ආකාරයෙන් මහජනතාව පීඩාවට පත්කර බුදුදහමට නිගා නොදෙන ලෙස කී විටද දූරකථනය විසන්ධි කෙරිණ.


මෙයින් කාරණා දෙකක් පැහැදිලිය. එකක් පොලිසියද බෞද්ධ වීම නිසා මේ මහජන පීඩාව හා ශබ්ද දූෂණයට එරෙහිව නීතිමය පියවරක් නොගන්නා බවයි. දෙවැන්න, පොලිසිය යමක් කිව්වද, එය පිළිගන්නට ඒ පන්සල්වල සංඝ ගණයා සූදානම් නැති බවයි. එනම්, තමන් සිටින්නේ නීතියට ඉහළින් බවට ඔවුන් සිතාගෙන සිටින බවයි. ‘අපි කරනවා. පුළුවන් දෙයක් කරපල්ලා බලන්න.’ මේ පන්සල් හිමිකාර භික්‍ෂූන් මේ දෙස බලන ආකාරයයි. අවසානයේ සිදුවන්නේ සජීව විජේවීරට මෙන්, ගමේ වැසියන්ද පන්සල සමග එකතුවී දූෂණයට පක්‍ෂපාතිවී දක්වන ‘ගමෙන් පන්නමු’ වර්ගයේ වෛරී ප්‍රතිචාරවලට මුහුණ දෙන්නට ඊට විරුද්ධ වන්නන්ට සිදුවීමයි.


2016දී පමණ, නුගේගොඩ නගරය මැද පිහිටි, ලියුම්කරුගේ දියණිය ඉගෙනගත් ප්‍රසිද්ධ පාසලේ පිරිත් පිංකමක් පැවැති අවස්ථාවේ, රාත්‍රි 10ට පසු එහි ආ පොලිස් නිලධාරියකු දැනුම් දුන්නේ ලවුඩ්ස්පීකර් දැමීම නිසා තමන්ට කරදර බව අසල්වැසියන් 119ට දැනුම් දී ඇති බවත්, රෑ 10න් පසු ලවුඩ්ස්පීකර් දැමිය හැක්කේ පාසල් පරිශ්‍රයට පමණක් ඇසෙන ලෙස බවත්ය. ඒ මිනිස් අයිතිවාසිකම් ගැන සැලකිල්ලක් තිබූ කාලයකි.


‘එක රටක් එක නීතියක්’ ගැන උත්කර්ෂයට නංවා ඇති මේ කාලයේ, (වෙනත් අවස්ථාද අතර) කඨින පිංකම් සම්බන්ධයෙන්ද පෙනෙන්නේ ඒ ඒ අයට වෙනම නීතියක් ක්‍රියාත්මක වන බවයි. එසේ නොවේ නම්, රාත්‍රි 10න් පසු කුමනාකාරයක හෝ ලවුඩ්ස්පීකර් මගින් ශබ්ද විසිරවීම කළ නොහැකි බවට වන හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වාගේ ‘ආශික් එරෙහිව බන්දුල හා වෙනත් අය (2007 1එස්එල්ආර්191)’ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව අනුව පොලිසියත් ක්‍රියාත්මක විය යුතුය.


වැලිගමදී මුස්ලිම් පල්ලියකට ශබ්ද විකාශන බලපත්‍රයක් දීම ප්‍රතික්‍ෂෙප කිරීම නිසා පැවරුණු මේ නඩුවේදී, අධිකරණය තීන්දු කළේ, රාත්‍රි 10න් පසු ශබ්දවිකාශන ක්‍රියාත්මක නොකළ යුතු බවයි.


තවදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේ ‘ආගමික කටයුතු’, මහජනතාවට හෝ අසල ජීවත්වන ජනතාවට පීඩාවක් ඇති කරන ‘මහජන පීඩාවක්’ ඇතිකිරීම සඳහා අවසරයක් නොවන බවයි. පොලිස් ආඥාපනතේ 80(1) යටතේ, රාත්‍රී 10 සිට උදේ 6 දක්වා ශබ්ද විකාශන යන්ත්‍ර බලපත්‍ර නිකුත් නොකළ යුතු බවයි. විශේෂ අවස්ථාවලදී ආගමික කටයුතු හෝ වෙනත් අවස්ථා හෝ සඳහා ඒ කාලයට අදාළව බලපත්‍ර නිකුත් කරනවා නම් ශබ්ද විකාශනවලින් බලපෑමට ලක්වන නිවැසියන්ගෙන් අදහස් ලබාගෙන ඒවා ආසන්නතම මහේස්ත්‍රාත්වරයාට වාර්තා කර එය කළ යුතුයැයිද එම තීන්දුවේ සඳහන් වෙයි. උදේ 6සිට රෑ 10 දක්වා බලපත්‍ර නිකුත්කිරීමේදීත්, අදාළ පරිශ්‍රයේ සිට අනවශ්‍ය දුරකට ඇසෙන සේ ඒවා සවි කිරීමට අවසර නොදිය යුතුයැයිද තීන්දුවේ කියයි. අදාළ සීමා රකිනවාද යන්න ගැන සැලකිලිමත් වීම සඳහා පොලිස් නිලධාරීන් යෙදවිය යුතු බවද කියයි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය රෙගුලාසි පොලිස්පතිවරයා විසින් සකසනු ලැබිය යුතු බවද තීන්දුවේ සඳහන් වෙයි.


‘කිසිම ආගමක් අනුන්ගේ සාමයට බාධා කරන්නේ නැත. ආගමේ නාමයෙන් ශිෂ්ට සම්පන්න සමාජයකට බාධා කරන ක්‍රියාකාරකම්, හිමිදිරියේ හෝ දිවා කාලයේදී හෝ නිදාසිටින විටදී හෝ දරුවන් හෝ වෙනත් අයගේ කටයුතු කරගෙන යාමට බාධාවක් විය නොහැක. අසල්වැසි ජනතාවට ඔවුන්ගේ ස්වාභාවික අයිතිය භුක්ති විඳීමට අයිතියක් ඇත. පූජනීය යැයි කියන සූත්‍ර සජ්ජායනාවන් පරිසරයේ නිශ්චලතාවට බාධා කිරීම, එවැනි සජ්ජායනාවකට සම්බන්ධ නොවන පුද්ගලයන්ගේ කන් මත එය බලෙන් පැටවීම ආගම්වල උගන්වා නැත.’ යනුවෙන්ද නඩු තීන්දුවේ සඳහන් වේ.


එම තීන්දුවේ නියමය ප්‍රකාර එවකට අපරාධ හා මෙහෙයුම් නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න 2007 නොවැම්බර් මස 28 දිනැතිව සියලුම දිසාභාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත උපදෙස් මාලාවක් නිකුත්කර ඇත. ඒවායේ සඳහන් කරුණු මෙසේය.


ශබ්ද විකාශන යන්ත්‍ර මගින් මහජනයාට කරදර ඇතිකරන්නේ නම් දණ්ඩ නීති සංග්‍රහයේ 261 වගන්තිය අනුව එය මහජන පීඩාවක් ලෙස සැලකේ. ශබ්ද විකාශන යන්ත්‍ර සම්බන්ධයෙන් බලපත්‍ර නිකුත් කිරීම පොලිසියට පැවරී ඇති රාජකාරියකි. ඒ සඳහා මුදල් අයකිරීමක් ද සිදුකළ යුතුය.


විශේෂ ආගමික කටයුතු සහ අනෙකුත් විශේෂ සිදුවීම් සඳහා වුවද ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කළ හැකි වන්නේ අවට සිටින පුද්ගලයන්ගේ කැමැත්ත විමසීමෙන් පසු අවට ඇති ඉඩම් පරිශ්‍රයන් පිළිබඳ වාර්තාවක් ළඟම ඇති මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර අවසර ගැනීමෙන් පමණි.


බුදුන් වහන්සේ ලොව ප්‍රකට වුණේ අහිංසා දහමක් දෙසූ නිසාය. කිසිවකුට කිසිම ආකාරයකින් පීඩාවක් නොවන පරිදි කටයතු කළ යුතුයැයි සිය අනුගාමික භික්‍ෂූ සංඝවයාට හා ගිහියනට ඉගැන්වූ නිසාය. බුදුදහමේ ඉගැන්වීම්වලට අනුව ගෞතම බුදුන් ධර්ම දේශනා කරන විට ඒ හඬ අසන පිරිසෙන් බැහැරට නොඇසෙයි. මහා සහස්‍ර ලෝක ධාතුවට හෝ එයටත් වඩා දුරට ඇසෙන සේ කථා කළ හැකි ව තිබියදී බුදුහු එසේ නොකළහ. බුදුන් පැමිණෙන විට අන්‍ය ආගමිකයෝ පවා මෙසේ කියති. ‘නිශ්ශබ්ද වන්න. ශබ්ද කරන්න එපා. මේ ශ්‍රමණ ගෞතමයෝ නිහඬ බවට කැමති වෙති. නිහඬබවෙහි ගුණ කියති. ඒ උතුමා අප නිහඬ බව දැන අප වෙත පැමිණීමට සිතාවි.’ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවන් පැමිණෙන විටද අන්‍ය ආගමික පැවිද්දන් පවා නිශ්ශබ්ද වන ලෙස තම පිරිසට කියති. ‘නිශ්ශබ්ද වන්න. හඬ නගන්න එපා. මේ ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයෙකි. ඒ මිත්‍රයා නිශ්ශබ්දතාව ප්‍රියකරයි. බුදුන් විසින් ඒ ශ්‍රාවකයන් නිශ්ශබ්දතාවෙහි හික්මවා ඇත.’ ප්‍රථම ධ්‍යානයට ශබ්දය බාධා වන බව බුදුහු පෙන්වා දුන්හ. ධ්‍යාන වැඩීම සදහා අල්ප ශබ්ද, නිශ්ශබ්ද සෙනසුනක් තෝරාගත යුතු බව පෙන්වා දුන්හ. එකිනෙකා සමඟ උස් හඬින් කතා කරන භික්‍ෂූන් බුදුහු බැහැර කළහ.


එහෙත්, බුද්ධ පුත්‍රයන් හැසිරෙන්නේ බුදුන්ගේ මේ සියලු ප්‍රමිතීන්වලට පරස්පරවය. ඒ නිසා ඔවුන් පන්සල, අද මහජන පීඩක මධ්‍යස්ථානයක් බවට පත්කර තිබේ. එහි එක් මුහුණුවරක් වන්නේ මේ ශබ්ද දූෂණයයි.■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි