No menu items!
27.6 C
Sri Lanka
19 April,2024

රනිල් වික්‍රමසිංහ සම්ප්‍රාප්තිය යථාර්ථයක්ද?

Must read

රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ඇබෑර්තුවට, මාන්නප්පෙරුම සතියකින් නම් කෙරිණ. 2010දී පොන්සේකාට අහිමි වූ මන්ත්‍රීකම යම් කාලයක් ඇබෑර්තුව තිබෙන්නට හැරීයහ. මීට සමගාමීව, සජිත් පිලේ දේශපාලන සදාචාරය කිසිවෙකු විමසුවේ නැත. එහෙත් ලංකාවේ පස්වෙනි පස්වෙනි පක්‍ෂය බවට පත් එජාපයේ එකම මන්ත්‍රී තනතුරට රනිල් වික්‍රමසිංහ නම් කිරිම දේශපාලන ප්‍රශ්නයකි.

රටේ පාලනය කැබිනට් මණ්ඩලයට බලය පවරා වසංගත මර්ධනය කරන්නැයි රනිල් කළ ප්‍රකාශයට සමගි ජන බල වේගයේ ඉම්තියාස් බාකීර් මාකර් වහා ප්‍රතිචාර දැක්වීය. ඒ හරහා ඉම්තියාස් කියන්නේ, සජිත්ගේ පුහු පොල් ගෝනියේ තවත් එකක් පමණක් බව තහවුරු විය. බැසිල් රාජපක්‍ෂ ලංකාවේ සිටියා නම් කිසි විටෙක ඉන්ධන මිල වැඩි කිරිමට ඉඩ නොදෙන බව කී රාජ්‍ය ඇමති නිමල් ලංසා රටේ කැබිනට් පාලනයක් නැති බවට සහතික විය. මත්පැන් ඔන් ලයින් ක්‍රමයට ගෙන්වා ගැනීමට ආණ්ඩුව ගත් ප්‍රතිපත්ති තීරණය නතර කළේ හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා විසිනි. ඒ ප්‍රකාශය ඇසූ මිතුරෙකු දුර කතනයෙන් මා අමතා, ලෝක සිතියමක් ළග තිබේදැයි විමසීය. ඔහුට අවශ්‍ය වුණේ මා ලවා ලංකාව මියන්මාරයට පාවී ගොස් ඇතිදැයි දැන ගැනීමටය. මෙසේ රනිල්ගේ ඉසිවර දැක්ම යථාර්ථයක් වූ අවස්ථා බොහෝය. කොවිඩ් මරණ වාර්තා කිරිම, රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණයකි. දැන් ගෝඨාගේ සෞභාග්‍ය කැඳ වට්ටෝරුව පාදෙනියට හැඳි ගාමින් සිටී. එක් දිනක් තුළ මහනුවරින් වාර්තාවූ මරණ ගණනට වඩා අඩු මරණ සංඛ්‍යාවත් පසුදා රටේ මරණ ලෙස දැක්විණ. ඒ ගැන විමසූ විට, තේරුම් ගියේ දිවයිනේ සිදුවන මරණවලට හේතුව කොවිඩ්ද යන්න දැන ගැනීමට ගතවන කාලය වාර්තාවල සංඛ්‍යාවල පරස්පරයට හේතුව බවය. මෙය දත්ත වාර්තා සැකසීමේදී සිදුවිය හැකි බව රාජ්‍ය සේවය දනී. සුවසැරියේ ගියොත් විදුලි සැර වදි යයි කී පාදෙණීයලා පැනිය ඉස්සුවේත් සෞඛ්‍ය සේවයට තඩි බාන්නටය. මේ කිසිවක් නොදත් ජනාධිපති එය මාධ්‍යට කියා දැම්මේ උඩක් බිමක් නොබලාය. සංඛ්‍යා වෙනස් කළා ආණ්ඩු පෙරළෙන්නේ නැතිවා වාගේම වසංගතය හෝ මරණ පාලනය වන්නේද නැත.

අනුෂ පැල්පිට සිද්ධිය විමල් වීරවංශට ෂොට් එක දීමක් මිස අනුෂට රාජ්‍ය සේවය හෝ වීරවංශ එපාවීමක් නොවේ. ඒ වීරවංශගේ අතට යන ගාණක් යන ව්‍යාපෘතිය උදුරා ගැනීමේ කකුල් මාට්ටුවකි. වීරවංශ තවමත් 89දී බස් ගිනි තැබූ විමලසිරි ගම්ලත්මය. අනුෂ පැල්පිට කොහොමටත් සිල්රෙදි කවුදෝම වේ. බය නැතිව ලොතරැයි මණ්ඩලය භාරදී ඇත්තේ සරණ ගුණවර්ධන ලවා කරගත් වැඩේ අනුෂගෙන් කරගත හැකි බවට රාජපක්‍ෂලාට විශ්වාස නිසාය. ලංකාවේ රාජ්‍ය සේවයේ සමස්තය අනුෂ පැල්පිට වැනි ය. අනුෂ පැල්පිට දමයන්ති ජයරත්න බේරා දීමට යහ පාලන බලය යෙදූ තක්කඩියා කළ වජිර අබේවර්ධන බව රනිල් වික්‍රමසිංහ මතක තබා ගත යුතුවේ. කුණු කෑවත් දරු මල්ලන්ට පාරේ යන්න බැරි විදියට මෙහෙම කෑ යුතු නැත. මෙහිදී රාජපක්‍ෂලාට අනුෂ තරම් ජනරාල් දයා රත්නායක, විශ්වාස නැති බවද දැන ගනිත්වා. රටකට මෙහෙම යන්න බැරිය. කොවිඩ් හැර අන් සරණයක් මේ අයියෝ මලයන්ට නැත. ලලිත් වීරතුංගලා අනුෂ පැල්පිටලා ආණ්ඩුවේ මුදලින් සිල් රෙදි අරන් බෙදුවේ නීතිය නොදැන නොවේ. හොර හිතිනි. රටට ආ මුදල් හෙල්පින් හම්බන්තොට ගිණුමට දමා හොරකම සංස්ථාගත කළේ මේ අයියලාය. උන් බේරුවේ සරත් නන්ද සිල්වාය. සරත් නන්ද සිල්වා දූෂිතයෙකු ලෙස තින්දු කළ පී.බි.ජසුන්දරටට මුල් වෙඩිල්ල තිබ්බේ වීරවංශය. ඒ ජයසුන්දර වීරවංශ ලලිත් වීරතුංග, අනුෂ පැල්පිට, හතර දෙනාම අද මේ ආණ්ඩුවේ සිටිති. ඩේසි ආච්චිගේ රිදී කාසි මැද පෙරදිග තෙල් ළිඳක් වාගේය. උනනවා පමණකි. හිස් වන්නේම නැත. රනිල් වික්‍රමසිංහ පර්ලිමේන්තුවට ඒම ප්‍රශ්නයක් වී ඇත්තේ මෙවැනි හැසිරීමක් ඇති ආණ්ඩුවට පමණක් නොවේ. කවුරු මෙනවා කීවත් විශේෂ අපරාධ විමර්ෂණ ඒකකයක් පිහිටුවන ලද්දේ රනිල් මිස රාජපක්‍ෂලාට කඹුරණ පාස්කුව බලා ගත් සිරිසේන නොවේ. රනිල් පාර්ලිමේන්තු ආගමනයෙන් සමගි ජන බග වේගය ගැහෙන්නේ ඇයි? රටේ ආණ්ඩුවත් විපක්‍ෂයත් දෙකම ඔත්පල නිසා විය හැකිය.

රනිල්ගේ පුනරාගමනය පිළිබඳව මගේ විග්‍රහය එවැන්නකි. මෙහි මගේ යනුවෙන් දක්වා ලිපියේ පදනම පටු කළේ මා දිගු කලක් තිස්සේ රනිල් වික්‍රමසිංහ දැඩිව විවේචනය කරන නිසාය. මා රනිල් කෙළින් කිරීමට උර දෙති යයි සමහරු කියති. සිනාසෙති. මගේ විවේචනය හෙටටත් වලංගුය. රනිල් කළ දේ රටට නරක නැත. මේ චලනය වන්නේ එහි හරබර ගිණුමේ වාසි අවාසිය. බටලන්ද සහ බැඳුම්කර කතා තටු ලබන්නේ ඒ නිසාය. බටලන්ද තීන්දු කළ නඩුවකි. රෙස් ජුරිකාටා කී විට ඉන් එපිටට යමක් නැත. බැඳුම්කර නඩුවේ විත්තිකරුවන්ට අධි චෝදනා භාරදි ඇත. පේමන්ට් දේශපාලනය අනුව, බටලන්දට වැලිකඩ මහර හිර කරුවන් මැරීම සමාන කළ හැකිය. බැඳුම්කරයට සීනි තෙල් ගැහිලි සමානය. මේ සමීකරණ රටේ දේශපාලනයට අගුණය. සෝදා සෝදා රට හොරුන් අතර හුවමාරුවීමකි. හෝද හෝදා හොරු දිනවීමකි. කිසිවෙකු ඊට ලැහැස්ති නොවිය යුතුවේ.

සුව සැරිය, දායාද කළ, ගමේ දරුවන්ට ටැබ් දීමට සැලසුම් කළ, විද්‍යා පීඨ ඩෙලික් ක්‍රමය හරහා රටේ ගුරු සේවය ශක්තිමත් කළ 1969දී එජාප ආණ්ඩුව ඇති කළ තරුණ සේවා සභාව වැර ගැන්වූ බෙල්වුඩ් ගම්මානය වැනි ශාන්ති නිකේතනය මොඩල රටට හිමි කළ, ෂර්ලි වෛජයන්ත, චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මාෂල් ජනතා, සෝමසිරි මැදගෙදර චන්ද්‍රලේඛලා ….. වැනි කලාකරුවන් බිහිකළ රනිල් වික්‍රමසිංහ එජාපයෙන් බිහිවූ නායකයෙකි. ඔහු දැක්මක් ඇත්තෙකි. රනිල් එපා වුණේ යුඇන්පියට මිස රටට නොවේ. ඉතා විශිෂ්ඨ සේවා සපයන සමහර කීර්තිමත් ආයතන ඇතුළේද අවුල්ය. ඒ අර්ථයෙන් රනිල් අබ්ලික් එජාපයට මිස රටට නොවේ. 2015 මැතිවරණ දෙකක් දිනුවේ පාක්‍ෂික ශක්තියෙනි. මාස ගණන් මාධ්‍ය කණ්ඩායම් එක්ව වැඩ කළහ. බලයට පත්ව පිහිටවූ ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයට පත් කළේ පත්තරයක් නො කියවූ පුස්සන්ය. රාජ්‍ය ආයතන පාලනය සඳහා අර්ුජන් මහේන්ද්‍රන් ආදි විදේශ ගත ලාංකිකයන් රංචු පිටින් පැමිණියහ. තවමත් සිටින්නේ ඒ රනිල්මය. 2020 ජූනියේ ගාල්ලේ රැස්වීමකදී වජිරගේ ලෙලි අරිණ පාඨලී චම්පික රණවකගේ විඩියෝව නොඇසූ කෙනෙකු නැත. ඒ ඇවන්ගාර්ඩ් වජිර එජාපයේ වර්තමාන සභාපතිය. පාඨලී චම්පික යළි රනිල්ට එක් වන්නේ කෙසේද? රනිල් සමග යහ පාලන ආණ්ඩුවේ සිටි පාඨලී චම්පික පොන්සේකා දෙදෙනාම සමගි ජන බලවේගයට එක්වූ සැනින් තනිව ඉගිලෙන්නට සැරසිණ. රනිල් සහ සජිත් අතර වෙනසය.

2016 පමණ සාකච්ඡාවක් සඳහා ස්වාධීන රූපවාහිනියෙන් හදිසි කැඳවීමක් ලැබිණ. පණිවිඩය ලැබුණේ වැඩජ සටහන ප්‍රචාරය වීමට පැය දෙකකට කලිනි. මාතෘකාව ගැන ඇසූ විට සමන් අතාවුද කීවේ ඕන ඔහෙ වරෙන් කියාය. මම එහි යන විට, ඉම්තියාද් බාකිර් මාකර් පැමිණ සිටියේය. සුලු මොහොතකින් රෝසි සේනානායකද පැමිණියාය. අප තිදෙනා ආරාධියන් වූහ. මාතෘකාව අගමැති රනිල් වික්‍රමසිංහගේ නායකත්වය ගැනය. ඒ වනවිට අප තිදෙනාටම රනිල් අබ්ලික්ය. එකිනෙකා හයිවෙන් සිනාසුණා පමණකි. සමහර විට එය උගුලක් විය. අප වැඩ සටහන සාර්ථකව කළෙමු. සහභාගිත්වයට සතයක් හෝ ගෙව්වේ නැත.

රනිල් එපාවූ කෙනෙකුට විනාඩි ගණනාවක් ඇතුළත ඔහුගේ වටිනාකම් ඉස්මතු කළ හැකිය. ලංකාවේ ජනගහනයෙන් බහුතරය ගැමියන් වෙති. ගමේ පොල් අතු පාසලට ගිය 43 බලකාය ලෙස දකින අපට අදටත් රනිල් යනු මාන්නක්කාර රෝයලිස්ට් ලුම්පන් පොරකි. වඩා පහසු තමන් වෙනස්වීම මිස සමාජය වෙනස් කිරීම නොවන බව රනිල් තේරුම් ගත යුතුව තිබේ. රට ගැන හිතන මිනිස්සු රනිල්ට නැඹුරු වෙති. තම වාසියට නම් මිනිසුන් යා යුත්තේ රජපක්‍ෂලා වෙතය. දිගු කලක් ලංකා කොමියුනිස්ට් කාරයෙකුව සිටි කෙනෙකු පසුව එජාපයට එක් විය. දැන් ඔහුට රනිල් තිත්තය. කලක් සිරිකොත මූලස්ථානයේ පූර්ණකාලීනයෙකුවූ හෙතෙම
රනිල් ගැන කීවේ අපූරු කතාවකි.

“උදේට සෝඩා බෝතලයක් අරගෙන සිරිකොතට එන රනිල් හවස ආපහු යනකල් ඒ සෝඩා බෝතලයෙන් ටික ටික බිබී වැඩ කරනවා. වෙන කෑමක් බීමක් නෑ. එහෙම කෙනෙකුට කාගෙවත් බඩගින්න උවමනාව දැනෙනවාද? එකී කියවීම හෝ අවබෝධය බරපතල එකකි. බොහෝ මාන්නක්කාර ලොක්කන් කනබොන සියල්ල ගෙදරින් ගෙන එති. ඒ අඩුම කුඩුම මලු කන්තෝරුවේ එකෙකු පැමිණ උස්සාගෙන යා යුතුවේ. ගෙදරින් දෙන දුර කතන නියෝග අනුව, ඒවා පිළිගැන්විය යුතුවේ. මේ හැසිරිම සමග කියැවෙන සෝඩා බොන රනිල්ගේ නිහතමානිකම සරල ගතිය ඉස්මතු නොවන්නේ ඇයි…? එයට රනිල් වහා පිළිතුරු සොයා ගත යුතුවේ. 2005 ජනාධිපති තරගය ආසන්නයේ රටේ ප්‍රකට යතිවරයෙකු රනිල් යම් යම් ගුරුහරුකම් දුන්නේය. පසුව රූපවාහිනියෙන් දුටු යම් ඉරියව්වක් දැක කීවේ මේකා හදන්න පුලුවන් එකෙක් නොවේ කියාය. මේ විස්තර කරන්නේ පිළිබිඹු වන්නේ එජාප නායකයාගේ අව්‍යාජ භාවය විය හැකිය. රතුපස්වල ඝාතනවලට වගකිව යුතු බියගම වෙළඳ කලාපය බිහි කළ රනිල් බව කීවෙත් සුවසැරිය බොරුව මෙන් එයද මිනිසුන් විශ්වස කරනු ඇත. මේ රටේ දේශපාලනය කිරීම පහසු නැත. රනිල් තමන් උදේ කතා කළ එකා හවස දුටුවොත් නොදැක්කා මෙන් යයි. කරු ජයසුරියලා, තිස්ස අත්තනායකලා එක් දිනකට දුර කතන ඇමතුම් සිය ගණනකට උත්තර දෙති. 1994 ජනාධිපති මැතිවරණ සටන අතර දවසක, ගාමිණි දිසානායක අප සමග කීවේ මට දැන් රටේ දකුණේ කොතනට ගියත් හත් අට කෙනෙකුට නමින් කතා කරන්න පුලුවන් කියාය. නවසිය හැත්තෑවේ පරාජයට පසුව, උඩරට බලා යමින් සිටි ඩඩ්ලි සේනානායක විරාමයක් සඳහා ගම්පොල තානායමට ගොඩ විය. සු`ථ මොහොතකින් ගම්පොල දහ දොළොස් දෙනෙකු ඩඩ්ලි දැකීමට තානායමට ගොඩ විය. ආ ගිය කතාබහ අතර, ඩඩ්ලි වටපිට බලමින් කඩුවා ආවේ නැද්දැයි විමසීම කාගේ විමතියට හේතු විය. කඩුවා යනු ගම්පොල නගරයේ කල් මැරූ රැකියා විරහිත යුඇන්පීකාර තරුණයෙකි. ඩඩ්ලි වෙන්න ගාමිණී වෙන්න අවශ්‍ය නොවේ. එහෙත් ඊයේ රනිල් වික්‍රමසිංහම නම් හෙට දවසට වලංගු වන්නේ නම් නැත. කිරිඇල්ල වෙනුවට හරින්ද්‍ර දුනුවිල වැන්නෙක් තේරුවොත්…. මහනුවර ගොඩය. මහනුවර පක්‍ෂ මූලස්ථානය අද හිස් අරක්කු බෝතල් ගබඩාවකි.

ගොවි ජනපද හරහා වියලි කලාපය ජනාවාස කළ ඩී.එස්.සේනානායක එජාප නිර්මාතෘ වේ. නිදහස් අධ්‍යාපනයේ පියා කන්නන්ගර එජාප ආශ්‍රිතයෙකි. කොළඹ ක්‍රම ප්‍රතිලාභ එජාපය දුන් දායාදයකි. මහපොළ මහවැලිය කල්පය පුරා පවතී. ඊට සමගාමීව 56 සිංහල පමණයි යන්න ලාංකේය ජාතියේ මළ බෙරය විය. මහාචාර්ය නන්දදාස කෝදාගොඩගේ පියා බස් හිමියෙකි. ඔහුට තිබුණේ එක් බස් රථයකි. ඒ බස් රථය සර් සිරිල් ද සොයිසාගේ සවුත් වෙස්ටන් බස් රථ ව්‍යාපාරය සමග තරග කිරිමට සමත් විය. බස් ජනසතුව දේශීය ව්‍යාපාරිකයා මරා දැමුවේ එසේය. නැවත රටට සරිලන පුද්ගලික බස් සේවය එජාප සංකල්පයකි. 1963 උපකෘත පාඨශාලා ආණ්ඩුවට ගත්තේ කිරිබත් කාලාය. එහි ප්‍රතිපලය ගම්බද දරුවන් මිනිසුන් කළ ශක්තිමත් මධ්‍ය විද්‍යාල පද්ධතිය ඇද වැටීමය. ඒ ඇද වැටුණ ගම්බද පාසල් පද්ධතිය නගා සිටුවන ලද්දේ රනිල් බව දන්නේ කී දෙනාද?

මේ සංසන්දනාත්මක තක්සේරුවේදී බොහෝ තර්ක ගෙන ආ හැකිය. කිසිවකු කිසි තැනක සියල්ල නිවැරදි හෝ අංග සම්පූර්ණ නැත. ජනතාව රටේ ආණ්ඩු මාරු කළේ ඒ නිසාය. අදටත් රටට විකල්පය රනිල් බව යථාර්ථය වී ඇත. ගිය ඡන්දය දිනුවේ කැලණි පන්සලේ නයා සහ සහරාන් මිස රාජපක්‍ෂලා නොවේ. ලංකාව එහෙමය. දන බිම ඇණුන විට නැවත ප්‍රතික්‍ෂේප කළ සොයා යති. මෙය කලබල විය යුතු දෙයක් නොවේ. සමාජය තේරුම් නොගෙන දේශපාලනය කරන රනිල් වික්‍රමසිංහ මේ නඩුවේ චුදිතයා වේ.

ලංකාවේ මාධ්‍ය සංස්කෘතිය බිහි කළේ විජයවර්ධනලා රනිල්ගේ මව් පාර්ශවය වේ. අදටත් රනිල්ගේ මාමාට රටේ ලොකුම පත්තර ව්‍යාපරයක් හිමිය. එහෙත් මෙහෙම වෙන්නේ, රනිල් මාධ්‍ය පසුපස නොයාමත්, විජයවර්ධන පත්තර කලාවේ මහාරාජලා නොවීමත් නිසාය. මේ ද්විත්ව ස්වරූපය නිසා රටට සිදුවූ හානිය බරපතලය. මාධ්‍ය කලාව මුදලට විකිණිච්ච ව්‍යාපාරයක් කළේ රාජපක්‍ෂලාය. අද සමහර ජාතික කියන පත්තරවල කතුවරුන් කියන්නේ ආණ්ඩුව අපහසුවට පත් කරන්නට බෑ කියාය. ඒ තුවක්කුව පත්තුවේ යයි බියෙන් නොවේ. මාසිකව කරදාසි කවරවල ඔතා එවන නිල් කොල ගණන මාසිකව ගණන් බලන ආශාවෙනි. පිටරට සිටින දූ දරුවන් බලා ගන්නා නිසාය. මේ තත්වය මෙසේ තිබියදීත් තනි රනිල් පාර්ලිමේන්තු යාම භූමි කම්පාවක් වී හමාරය. ජනාධිපති මැතිවරණයෙන් පසු එජාපය දෙකඩ විය. රනිල් සිරිකොතේ හුදෙකලා විය. නයි පනික්කියා අතහැර ගම් වැදුණ නයාට සිද්ධ වුණ දේ සජිත්ටත් සිදුවී ඇත. මැතිවරණයෙන් බිංදුවට වැටුණාට වසරක් යාමට පෙර රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාපය, පාර්ලිමේන්තු විපක්‍ෂයෙන් සියයට පනහක් බව දැනෙයි. අනුර කුමාරලාගේ සිංදු හැමදාම අසා සතුටින් නිදා ගන්නවාට වඩා සක්‍රිය උත්තේජනයක් ලංකාවේ ජනතාවට අවශ්‍ය බව රට තේරුම් ගනිමින් සිටිති. මහ මැතිවරණය අවසානයේ රටේ ප්‍රශ්නය වුණේ එජාපයෙන් පාර්ලිමේන්තු යන්නේ කවුද කියාය. ඒ සමග රට්ටු ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන්නට විය. වසර දෙකක් ගතවීමට පෙර රට ඉල්ලන උත්තරය රනිල් වික්‍රමසිංහ බවට පරිවර්තනය වී ඇත. ගිය ඉරිදා දිවයින දේශපාලන විග්‍රහයේ රනිල් උඩ දමා ඇත. ඒ සමග යොදා ඇති කාටූනය රනිල් පොළොවේ ගැසීමකි. හොඳ නරක නැත. වඩා හොඳ අපලය.

ඉම්තියාස්,නිමල් ලන්සා, සජිත් ප්‍රේමදාස එකට පේළි ගැසි මේ කියන්නේ රට ඉල්ලන උත්තරය රනිල් වික්‍රමසිංහ බවය. මේවා අසන යුඇන්පී කාරයෝ රත්තරනේ දහ අතේ ගා ගත් එවුන් අතහැර අප සමග සිට ගන්න යනුවෙන් කෑ ගසති. වජිර අපේවර්ධන හෙට කැමැත්තෙන් එජාප සභාපති කමෙන් අස්වී ගමේ යුඇන්පි කාරයන්ට කොළ පාට කමිස ඇඳ පාරේ ඇවිදින ඉඩකඩ ලබා දිය යුතුවේ. එය රනිල්ට වඩා රටේ පැවැත්මට අවශ්‍ය වෙනසකි. රනිල් තුන් කල් දැක්ම කොරෝනා වසංගතය හරහා රාජපක්‍ෂලාද තහවුරු කරමින් සිටිති. ජේ.ආර්. ට කළ නොහැකිවූ බොහෝ දේ රනිල් රට වෙනුවෙන් කළෙහිය. ශිලා ලේඛනවල තම නම ලොකුවට නොදා රටේ ඉතිහාසය පෙරළා වෙච්ච දේ සෙයා බලන්න රටට පුරුදු කළේ රනිල්ය.

වඩාත් රනිල්ව විවේචනය කළේ එජාප ක්‍රියාකාරින්ය. හේතුව ඔහු බලයට පත් හැම විටෙකම ගමේ සාමාජිකයා අමතක කිරිමය. අද රනිල් ඕනැ කියන්නේත් ඒ විවේචකයන්ය. රනිල්ට 2005දී මොකද වුණේ ? 2005 ප්‍රභාකරන් රනිල්ට එරෙහිව තුවක්කුව ඉස්සුවේ අගමැති මහින්දගේ උවමනාවටය. කිලිනොච්චියේ පාවිච්චිවූ එකම ඡන්දය රනිල් වික්‍රමසිංහට හිමිවිය. එදා පළවූ උතුරු නැගෙනහිර ජනමතය අදටත් එසේමය. 2005 වසරට ලියා පදිංචිවූ 13327160ක්වූ ඡන්දදායකයන්ගෙන් ඡන්ද පොළට පැමිණියේ 9826778 දෙනෙකු පමණි. මහින්ද රනිල්ට වඩා වැඩියෙන් ලබා ගත් ඡන්ද ප්‍රමාණය 180786කි. එදා මැතිවරණ ප්‍රතිපල නිකුත් කිරිම වළකා ඉදිරි පියවර ගැනීමට බොහෝ ඉඩකඩ විය. මේ බව එජාපයට හිතැති නීතිඥයන් සිය ගණනක් කරුණු දක්වා තිබිණ. එදා රනිල් ඊට ඇහුන්කම් දුන්නා නම් වෙනම උතුරු නැගෙනහිරට වෙනම ඡන්දයක් ගන්ට තිබිණ. එය නොවුණේ තිලක් මාරපනලා දයා පැල්පොලලා නිසාය.

රනිල්ට කතිරය ගැසීමේ වරදට ප්‍රභාකරන් අතක් කපා දැමූ කිලිනොච්චියේ ලාංකික පුරවැසියා තනි අත ඔසවා රනිල් ඕනැ කියා කෑ ගසා කියනවාය. ඒ රට බෙදන නිසා නොවේ. උතුරේ දමිළ ජනතාව කරුණා අම්මාන්ලා ප්‍රභාකරන් වෙන් කොට, උතුරු දකුණු සංහිඳීයාව ඇති කළ නිසාය. අද ගමේ දරුවන් ගස් නැග අකුරු කරන්නේ සිරිසේන ටැබ් පරිඝනක දීමට බාධා කළ නිසා නොවේ. ටැබ් පාවිච්චිය නිසා දූ වරුන් වඳවේ යයි ගම්මන්පිල කී බේගල් අසා රනිල්ගේ පක්‍ෂය ගෙදර යැවූ දෙමව්පියන් කළ වරද නිසාය.

නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න විසිනි.

ඉම්තියාස්,නිමල් ලන්සා, සජිත් ප්‍රේමදාස එකට පේළි ගැසි මේ කියන්නේ රට ඉල්ලන උත්තරය රනිල් වික්‍රමසිංහ බවය. මේවා අසන යුඇන්පී කාරයෝ රත්තරනේ දහ අතේ ගා ගත් එවුන් අතහැර අප සමග සිට ගන්න යනුවෙන් කෑ ගසති.■

- Advertisement -

පුවත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -

අලුත් ලිපි